2010–2019
ස්වර්ගීය එළිය දරන්නන්
2017 ඔක්තෝම්බර්


ස්වර්ගීය එළිය දරන්නන්

දෙවියන්වහන්සේගේ පුජකවරය දරන්නෙකු හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන්, ඔබ ආලෝකය දරා සිටින්නෙකි.

සේවා කවුළුවෙන් මුද්දර මිළදී ගන්නට තැපැල් කන්තෝරුවේ පෝලිමක මහළු කෙනෙක් සිටගෙන සිටියේය. ඔහු අමාරුවෙන් ඇවිදින බව දුටු තරුණියක් යන්ත්‍රයකින් මුද්දර මිළ දී ගෙන කාලය ඉතුරු කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණාය. එවිට ඔහු පිළිතුරු දුන්නේ, “ස්තූතියි, ඒත් මම ඉන්නම්. මැෂිම මගේ ආතරයිටිස් ගැන අහන්නේ නෑනේ.” යැයි කියමිනි.

අපගේ කරදර පිළිබඳව සැලකිල්ලක් ගන්නා අයෙකු සමග කාට හරි කතා කිරීමත් සමහර විටෙකදි හොඳයි.

වේදනාව, කණගාටුව, රෝගීකම අපි සැමදෙනා අත්විදිනා දේවල් වේ - අත්වැරදීම් අවාසනාවන්ත, දුක්බර අවස්ථාවන් එකතු වී අපගේ ආත්මයේ ඇති දෘඩ ධාවකයට සෑහෙන විශාල දත්ත ප්‍රමාණයක් පිරේ.

අපගේ ශාරීරික යහපැවැත්ම සළකා බලන කළ, අපගේ මැරෙනසුළු ගමනේදී කොටසක් ලෙස වියෝ වීම හා ලෙඩ දුක් අපි පිළිගන්නෙමු. භෞතික ශරීරය පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තිකයන්ගේ උපදෙස් අපි සොයා යන්නෙමු. අපි හැඟීම් පිළිබඳ පීඩාවක් හෝ මානසික රෝගයකින් පෙළෙන විටදී, එවැනි රෝග සුව කරන විශේෂඥයින් අපි සොයා යන්නෙමු.

මැරෙන සුළු ජීවිතයේ දී ශාරීරික හා මානසික පිරික්සුම් වලට මුහුණ දෙන සේම, අපි අධ්‍යාත්මික පිරික්සුම්වලට මුහුණ දෙන්නෙමු. අපගේ සාක්ෂිය දිදුලන කාලපරිච්ඡේද අපි බොහෝදෙනෙකු ජීවිතයේ අත්විඳ තිබෙනවා. එමෙන්ම දෙවිපියාණන්වහන්සේ දුරස්ථ වී ඇතැයි දැණුන අවස්ථාවන්ද තිබෙන්නට ඇති. මුළු හදවතින්ම ශුද්ධාත්මයේ සම්බන්ධ දෑ උතුම් කොට සැලකූ කාලයන් අපට ඇත. එමෙන්ම ඒවා එතරම් නොවටිනා, නැත්නම් සුළු වැදගත්කමකින් යුතුයැයි පෙණුන අවස්ථාවන්ද තිබෙන්නට පුළුවණි.

අධ්‍යාත්මික යහපැවැත්ම - එකතැනක රැඳිමෙන් වැළකී, ඉන් සුව වී විචිත්‍රවත්, අධ්‍යාත්මික සෞඛ්‍යයකින් හෙබි මාර්ගයක් ඇවිදින්න කළ යුතු දෑ පිළිබඳ කතා කිරීමට මම අද බලාපොරොත්තු වෙමි.

අධ්‍යාත්මික රෝගාතුරවීම

සමහර විට පාපය, නැත්නම් චිත්තවේගී තුවාල, අධ්‍යාත්මික රෝගවලට හේතුකාරක වේ. සමහර විට අධ්‍යාත්මික කඩාවැටීම් කෙතරම් සෙමෙන් සිදුවන්නේද යත් එය සිදුවන බවත් නොදැනෙන්නට පුළුවන්. අවසාදිත පාෂාණ තට්ටු සෑදෙනවා මෙන්, කාලයත් සමඟ අධ්‍යාත්මික වේදනාව හා සාංකාව ගොඩගැසී, දරාගැනීමට නොහැකි තරමටම අපගේ ආත්මවලට බරක් වෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, වැඩ පළේදී, නිවසේදී, සභාවේදී, අපගේ වගකීම් ඉටුකර ගැනීමට නොහැකි තරම් වැඩි වීම මගින් ශුභාරංචියේ ප්‍රීතිමත් බව දැකගන්න නොහැකි වීම නිසා අපට තව දෙන්නට දෙයක් නැති බව, නැත්නම් දෙවියන්වහන්සේගේ අණපනත් අනුව ජීවත්වන්නට තරම් අපි ශක්තිමත්  නොවන බව අවසානයේදී හැඟෙන්නට පුළුවන්. මෙය යථාර්ථයකි.

නමුත් අධ්‍යාත්මික පිරික්සුම් සැබෑවක් වුවත්, ඒවා සුවකළ නොහැකි ඒවා නොවේ.

අපිට අධ්‍යාත්මිකව සුව විය හැකිය.

ගැඹුරුම අධ්‍යාත්මික තුවාල වුවත් - ඔව්, සුව කළ නොහැකි යැයි පෙනුණ තුවාල වුවත් සුව කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කරන බලය අපගේ දවස් වලදී තුරන් වී නැත.

ගැලවුම්කරුවාණන්වහන්සේගේ සුව කරනා ස්පර්ශය, උන්වහන්සේගේ සමය මෙන් අපගේ කාලයේදීත් ජීවිත වෙනස්කරන්නට සමත් වේ. අපි ඇදහිල්ල රැකගතහොත්, උන්වහන්සේට අපගේ දෑත් අතට ගෙන, දිව්‍යමය ආලෝකය හා සුවකිරීමෙන් අපගේ ආත්ම පුරවා, අපිට ආශිර්වාදාත්මකව “නැඟිටින්න, තම ඇතිරිල්ල අතරට ගෙන, ඇවිදින්න” යන වචනය පවසන්නට සමත් වන සේක.1

අඳුර හා ආලෝකය

අපගේ අධ්‍යාත්මික දුබලතාවලට හේතුකාරකය කුමක් වුවද, ඒවායේ පොදු කරුණක් ඇත; එය නම් දිව්‍යමය ආලෝකය නොමැතිකමයි.

අඳුර නිසා අපිට පැහැදිළිව දකින්නට අමාරුය. අපිට පෙර කලක පැහැදිලි, සරල යැයි පෙණුන දේවල් එයින් අඳුරු වී නොපෙනී යයි. අපි අඳුරේ සිටින විටදී අපි ඉදිරියේ වූ මාර්ගයේ අනතුරු නොපෙනෙන නිසා, වැරදි තීරණ ගන්නට ඉඩකඩ වැඩිය. අපි අඳුරේ සිටින කළ බලාපොරොත්තූන් අහිමි වීමට ඉඩකඩ වැඩිවේ: මක්නිසාද ඉදිරියට ගියොත් හමුවන සැනසීම හා ප්‍රීතිය අපට නොපෙනෙන නිසාය.

අනෙක් පැත්තෙන්, අලෝකය නිසා ඇති දේ, ඒ සැටියෙන්ම දකින්නට පුළුවන. සත්‍යය හා වැරැද්ද, අත්‍යවශ්‍ය හා වැදගත් නොවන දෑ අතර වෙනස හඳුනාගන්න උදව් කරයි. අපි ආලෝකය තුළ සිටින විට, සත්‍ය මුලධර්ම මත පදනම් වූ ධර්මිෂ්ඨ තීරණ ගන්නට අපිට පුළුවන් වේ. ආලෝකය තුළ සිටින විට, අපිට අපේ මැරෙන සුළු පිරික්සුම් සදාකාලික දෘෂ්ටිකෝණයකින් දැකගන්නට පුළුවන් නිසා “බලාපොරොත්තුවේ සර්වසම්පූර්ණ දීප්තියක්”2 හිමිවේ.

ලෝකයේ සෙවනැලිවලින් ඉවතට පිය මැන ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික ආලෝකයට ඇතුළු වන විටදී අපිට අධ්‍යාත්මික සුවයක් අත්කරගන්නට පුළුවන්.

ධර්මයෙහි ඇති ආලෝකයේ සංකල්පය තේරුම්ගෙන යොදවාගන්නා තරමට, හතරවටින්ම අපිට හිංසා කරදර කරන අධ්‍යාමික අසනීපතාවන් ගෙන් ආරක්ෂා වන්නට පුළුවනි. එමඟින් අපිට වැඩිවැඩියෙන් උද්යෝගීමත්ව, නිර්භීතව, කරුණාවෙන්, නිහතමානීව ශුද්ධ වූ පුජකවරය දරන්නන් ලෙස සේවය කරන්නට පුළුවනි. එනම් අපගේ දයාබර හා සදාතනික රජුන්ගේ සැබෑ සේවකයින් හා ගෝලයින් වශයෙන්.

ලෝකයේ ආලෝකය

යේසුස්වහන්සේ මෙසේ දේශනා කළ සේක, “ලෝකයේ ආලෝකය මමය: මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවිතයේ ආලෝකය ලබන්නේය.”3

මෙහි අරුත කුමක්ද?

සරලව කිවුවොත්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නිහතමානීව අනුගමනය කරන්නාට උන්වහන්සේගේ ආලෝකය විඳින්නට හා බෙදා ගන්නට පුළුවන් වේ. ඒ ආලෝකය දිගටම වැඩි වී අවසානයේදී ඝණම අන්ධකාරය ද මකා දමනු ඇත.

එහි අරුත වන්නේ ගැලවුම්කරුවාණන්ගෙන් පිටවන බලයේ, ශක්තිමත් බලපෑමක් ඇති බවයි. එය “දෙවියන්වහන්සේගේ සිට විශ්වයේ සතර කොනටම පැතිරේ.”4 මේ බලය අපගේ ජීවිත ආලෝකමත්, උසස්, දීප්තිමත් කරන නිසා, ශුද්ධ ලියවිලිවල නිතරම ආලෝකය ලෙස හඳුන්වන අතර එය ශුද්ධාත්මය හා සත්‍යය ලෙසත් සඳහන් කර ඇත.

දහම හා ගිවිසුමේදී අපි කියවන්නේ, “ස්වාමීන්වහන්සේගේ වචනය සත්‍යය, තවද සත්‍ය වන සියළු දේම ආලෝකයය, ආලෝකය වන සියළු දේම ශුද්ධාත්මයය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධාත්මයය.”5

මෙය ගැඹුරු චින්තනයකි. ආලෝකය යනු ශුද්ධාත්මය හෙවත් සත්‍යය බවත්, මෙම ආලෝකය මෙලොවට එන සෑම ආත්මයකට ආලෝකය දෙන බවත්, එය වැදගත් මෙන්ම බලාපොරොත්තුවක් සහිත බවත්ය. ශුද්ධාත්මයේ හඬට සවන් දෙන සියළු ආත්මයන්ට ක්‍රිස්තුස්වහන්සේගේ එළිය බැබලී, පිරී ඉතිරෙයි.6

මුළු විශ්වමය ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයෙන් පිරී ඇත.

එය පොළෝ තලයම පුරවාදමයි.

සියළුම හදවත් එයින් පිරවිය හැක.

“දෙවියන්වහන්සේ පුද්ගල තරාතිරම් නොසලකයි”7 උන්වහන්සේගේ ආලෝකය උතුම්, සරල, පෝසත්, දුප්පත්, වරප්‍රසාද ලත් නොලත් සියළු දෙනාටම විවෘතය.

ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ලබන්නට ඔබේ හිතත්, හදවතත් විවෘත කර ගැලවුම්කරුවාණන් නිහතමානීව අනුගමනය කරන විටදී, ඔබට තවත් ආලෝකය ලැබෙනු ඇත. පේළියෙන් පේළියම, අතනින් - මෙතනින් ටිකෙන් ටික, තම ජීවිතයේ අඳුර නෙරපා හැරෙන තෙක් ඔබේ ආත්මයේ තව තවත් එළිය හා සත්‍යය එකතු වනු ඇත.8

දෙවියන්වහන්සේ ඔබේ ඇස් විවෘත කරන සේක.

දෙවියන්වහන්සේ ඔබට නව හදවතක් දෙන සේක.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය, එළිය හා සත්‍යය මගින් අක්‍රීය දේවල් සක්‍රීය කරවන අතර, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබ නැවුම්බර ජීවිතයකට නැවත උපදවයි.9

ස්වාමීන්වහන්සේ පොරොන්දු වී ඇත්තේ, “මගේ මහිමයට පමණක් ඔබේ ඇස යොමු වී ඇත්නම්, ඔබේ මුළු ශරීරයම ආලෝකයෙන් පිරෙනු අතර, ඔබ තුළ අඳුරක් ඉතිරි නොවෙනු ඇත. තවද එම ආලෝකයෙන් පිරුණු ශරීරය සියළු දෑ අවබෝධ කරගනු ඇත.”10

මෙය අධ්‍යාත්මික රෝගවලට හොඳම පිළියමය. ආලෝකය හමුවේ අඳුර මැකී යයි.

අධ්‍යාත්මික අඳුරට උපමාවක්

එනමුත්, දෙවියන්වහන්සේ තම එළිය වැළඳගන්නට අපිට බල නොකරයි.

අඳුරට අපි හුරුපුරුදු වුවහොත්, අපගේ හදවත් වෙන්ස්වන්නට ඇති අවස්ථාව ඉතා අඩුය.

වෙනස්වීම් සිදුවන්නට, අපි සක්‍රීය වී ආලෝකය අප තුලට ගැනීම අවශ්‍යයි.

 අපගේ පෘථිවිය වටා, ගුවන්යානා කපිතාන්වරයෙකු ලෙස මම පියාසර කරන අතරතුරේදී, දෙවියන්වහන්සේගේ නිර්මාණයේ අලංකාරයත්, සර්වසම්පූර්ණ බවත් මගේ සිත් ඇදගත්තා. පෘථිවියත් සූර්යයාත් අතර සම්බන්ධතාවය එයින් විශේෂිත කාරණාවක් විය. අඳුර හා ආලෝකය පවතින ස්වරූපය පිළිබඳ වැදගත් පාඩමක් එහි ඇති බව මම හිතනවා.

අපි සියළුදෙනාම දන්නා පරිදි, පැය 24 ක් ඇතුළ තුළදී රැය දහවල් වෙනවා මෙන්ම දවල් රෑ වෙනවා.

එහෙනම්, රෑ කියන්නේ මොකද්ද?

රැය වෙන කිසිවක් නොව හෙවණැල්ලක් පමණි.

රැයේ ගැඹුරුම අන්ධකාරයේදීත්, සුර්යයාගේ එළියේ අඩුවක් නොවේ. සුපුරුදු පරිදි එය ආලෝකය දෙයි. නමුත් පෘථිවියෙන් භාගයක් අඳුරේ සිටියි.

එළිය නොමැතිකම නිසා අඳුර ඇති වේ.

රැයේ අඳුර පැමිණෙන විටදී, ඉර නිවී ගොස් ඇති බව අපි ලතවෙමින් විලාප දෙන්නේ නැත. ඉර මිය ගොස් ඇති බව, නැති වී ඇති බව උපකල්පනය කරන්නේ නැත. අපි හෙවනැල්ලක ඉන්න බවත්, පෘථිවිය දිගටම භ්‍රමණය වී, අවසානයේ දී අපිට නැවතත් හිරුගේ රැස් හමුවන බව අපි වටහා ගෙන ඇත.

අඳුර මඟින් ආලෝකය නොමැතිකමක් හඳුන්වන්නේ නැත. බොහෝ විට, ඉන් අරුත් වන්නේ අපි එළිය ලබන්නට නිසි තැනක නොමැති බවයි. මෑතකදී වූ සුර්යග්‍රහණයේදී බොහෝදෙනෙකු, දහවල් එළිය දීප්තිමත් වේලාවක, හඳින් ඇති වූණු පටු සෙවණැලි තීරුවේ ඇතුළුවන්නට උත්සහ කළා.

ඊට බොහෝ සෙයින් සමානව, දෙවියන්වහන්සේගේ සියළු නිර්මාණයන්ට අධ්‍යාත්මික එළිය දිගටම බැබළේ. සතන් නිර්මාණය කල සේවනල්ලකට හෝ අපිම සාදාගත් සෙවනැල්ලකට අපිව ඇතුළු කරන්නට සාතන් උපරිම උත්සහයක් දරයි. අපිට සූර්යග්‍රහණයක්, අපි විසින්ම හදවාගන්නට ඔහු අපිව පොළඹවා: ඔහුගේ විමානයේ අඳුරට ඔහු අපිව තල්ලු කර දමයි.

අධ්‍යාත්මික අන්ධකාරයට, වරෙක ස්වාමීවහන්සේගේ ආලෝකයේ ඇවිද, එහි ප්‍රීති ඝෝෂා නගපු අය වටා වුවත් අමතක කෙරෙන තිරයක් අදින්නට සමත්ය. කෙසේ වුවත්, ගැඹුරුම අඳුරේදී වුවත්, අපි “ස්වාමීනි, මම විශ්වාසකරමි, නුඹ මාගේ අවිශ්වාසයට උදව් කරන්න”11යි යාච්ඤා කරන විටදී දෙවියන්වහන්සේට අපගේ නිහතමානී ඉල්ලීම් ඇසේ.

ඇල්මාගේ සමයේදී අධ්‍යාත්මික දේවල් පිළිගන්නට බොහෝ දෙනෙකු අසමත් වූහ. “ඔවුන්ගේ අවිශ්වාසය නිසා” ඔවුන්ගේ ආත්මවලට දෙවියන්වහන්සේගේ එළිය හා සත්‍යයට ඇතුළු වන්නට නොහැකි වී ඔවුන්ගේ හදවත් තද විය.12

අපි ආලෝකය දරාසිටින්නන්

සහෝදරවරුනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ දිව්‍යමය සත්‍යය හා එළිය දකින්නට නිසි තැන සිටීම අපට භාරය. රැය පහන් වී ලොවම අඳුරු යැයි පෙණුනත්, ක්‍රිස්තුස්වහන්සේගේ එළිය තුළ පිය නගා, උන්වහන්සේගේ අණපනත් රැකගෙන, උන්වහන්සේගේ යථාර්තය හා මහිමය පිළිබඳ නිර්භීතව සාක්ෂි දරන්නට අපිට තීරණය කළ හැක.

දෙවියන්වහන්සේගේ පුජකවරය දරන්නෙකු හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන්, ඔබ ආලෝක දරාසිටින්නෙකි. උන්වහන්සේගේ දිව්‍යමය එළිය වඩවන බව ඔබ දන්නා දෑ දිගටම කරන්න. “ඔබේ එළිය ඔසවන්න”13, “මිනිසුන් ඉදිරියේ එය බබළවන්න” - එය ඔබව බලා ප්‍රශංසා කරන්නට නොව, “ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ය.”14

මගේ දයාබර සහෝදරවරුනි, ඔබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ආත්මවලට එළිය හා සුවය ගෙන දීමේ අරමුණු ඇති, ස්වාමීන්වහන්සේගේ හස්ථයේ ආම්පන්න වේ. තැපැල් කන්තෝරුවේ සේවකයෙකු ආතරයිටිස් වලට උදව් කරන්න සුදුසු නැති මෙන් ඔබත් අධ්‍යාත්මිකව අසනීපව සිටින අය සුවකරන්නට නුසුදුසු යැයි සිතෙන්නට පුළුවන්. සමහර විට ඔබ, තමන්ගේම අධ්‍යාත්මික අභියෝග වලට මුහුණ දෙනවා ඇති. කෙසේ වුවත්, ස්වාමීන්වහන්සේ ඔබට කැඳවීමක් කර ඇත. උපකාර අවශ්‍ය අයට පිහිට වෙන්නට බලය හා වගකීම උන්වහන්සේ ඔබට ලබා දී ඇත. අඳුරට එළිය ගෙන දී දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරන්නට, ඔසවා තබන්නට උන්වහන්සේගේ ශුද්ධ වූ පුජකවර බලය ඔබට ලබා දී ඇත. “තුවාල වූ ආත්මක සුව කරනා”15 දෙවියන්වහන්සේගේ සභාව හා උතුම් ශුභාරංචිය නැවත ස්ථාපනය කර ඇත. අධ්‍යාත්මික සෞඛයට; අක්‍රීය බවත් සුව වී විචිත්‍රවත් අධ්‍යාත්මික සෞඛ්‍යකට මාර්ගයත් උන්වහන්සේ සුදානම් කර තිබෙන සේක.

සෑම නිහතමානී යාච්ඤාවකට ඔබගේ  හදවත් දෙවියන්වහන්සේට යොමු කරන විටදී, ඔබ උන්වහන්සේගේ එළිය අත්විදියි. ශුද්ධලියවිලි තුළ උන්වහන්සේගේ වචනය හා මනාපය සොයනා විටදී, ඒ එළිය දීප්තියෙන් වැඩිවේ. කවුරුන් හෝ අසරණ වී සිටින අයුරු ඔබ දැක, තමන්ගේ ශුභවිහරණය කැපකර ප්‍රේමයෙන් දෑත් දිගුකරන විටදී, ඒ ආලෝකය වැඩිවේ. පෙළඹවීම ප්‍රතික්ෂේප කර පවිත්‍රතාව තීරණය කරන, සමාව අයදින හා ලබාදෙන, සත්‍යය පිළිබඳ නිර්භීතව සාක්ෂි දරන සෑමවිටකදීම, ඒ ආලෝකයෙන් අඳුර පළවා හැර දමා, ආලෝකය සොයා යන වෙනත් පුද්ගලයින් ආකර්ෂණය කරවයි.

දේවමාළිගයේදී, සක්‍රමේන්තු මේසයේදී, නිහඬ යාච්ඤාබර මෙනෙහි කිරීම් වලදී, පවුල් එක් රැස්වීම්වලදී, පුජකවර සේවයක් කරන කල්හි, ඔබ දෙවියන්වහන්සේට හා සහෝදර මිනිසුන්ට සේවය කල අවස්ථාවලදී තම ජීවිතයට ඒ දිව්‍යමය එළිය බැබලුණ ඔබේ අත්දැකීම් ගැන සිතන්න. ඒ එළිය සොයා යන පවුලේ උදවිය, මිතුරන්, විශේෂයෙන්ම අපගේ තරුණයින් සමඟ ඒවා බෙදාගන්න. මේ එළියත් සමඟ බලාපොරොත්තු හා සුවය පැමිණෙන බව අඳුරෙන් පිරි මේ ලෝකයේ ඔබෙන් අසන්නට ඔවුන්ට අවශ්‍යයි.

ක්‍රිස්තුස්වහන්සේගේ එළිය, බලාපොරොත්තුව, සතුට හා ඔනෑම අධ්‍යාත්මික තුවාලයක් හෝ අසනීපයකට සුවය ගෙන දෙයි.16 මෙම පිරිපහදු කෙරෙන අනුබලය අත්දකින සියළුදෙනා, ලෝකයේ ආලෝකයට, අනුන්ට එළිය ගෙන දෙන්නට හස්තයේ ඇති ආම්පන්නය වේ.17 ලැමෝනි රජතුමාට දැණුනු දෙය ඔවුන්ට ද දැණෙනු ඇත: එසේය මෙම ආලෝකය ඔහුගේ ප්‍රාණය තුලට එවැනි ප්‍රීතියක් කාවැද්දුවේය, අන්ධකාරයේ පටලය පලවා හරිනු ලැබ, තවද එනම් සදාකාල ජීවනයේ ආලෝකයෙන් ඔහුගේ ප්‍රාණය ආලෝකමත් වුයේය.”18

මගේ සහෝදර සහෝදරවරුනි, මාගේ මිතුරනි, ස්වාමීන්වහන්සේගේ සදාතනික ජිවිතයේ එළිය අප තුළ බැබළෙන කල්, අඳුර මධ්‍යයෙත් ශක්තිමත් හා අභිමානවත් සාක්ෂියක් අප තුළ ඇතිවෙන කල්, උන්වහන්සේව හඹායෑම අපගේ කාර්යයි.

සර්වබලධාරී දෙවියන්වහන්සේගේ පුජකවරය දරන්නන් හා උන්වහන්සේගේ දිව්‍යමය ආලෝකය දරන්නන් වශයෙන් ඔබේ ඉරණම සපුරාගැනීමට ඔබ සමත් වන්නටත් උන්වහන්සේගේ ස්වාර්ගික ආලෝකයේ දරන්නන් ලෙස සැමවිටම සිටින්නටත් මම යාච්ඤා කරමින් ආශිර්වාද තබමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වූ අපගේ ස්වාමියාගේ ශුද්ධවූ නාමයෙන්, ආමේන්.