2010–2019
අපිට පෙර, අවශ්‍යතාවයන්
2017 ඔක්තෝම්බර්


අපිට පෙර, අවශ්‍යතාවයන්

අපිට සපුරාලිය හැකි වඩාත් වැදගත් අවශ්‍යතාවයන් අපගේ පවුල් තුළම, මිතුරන් අතර, කොට්ඨාශයේ, හා සමාජයේ අපට හමුවේ.

මෑත කාලයේදී මෙක්සිකෝව, එක්සත් ජනරජය, ආසියාවේ බටහිර කොදෙව් හා අප්රිකාව ස්වාභාවික විපත් විශාල ගණනකට මුහුණ දී ඇත. දහස් ගණනින් මිනිසුන් ඉදිරියට පැමිණ අනතුරේ, අසරණ වී, පීඩිත වී ඇති පිරිස් වලට පිහිට වීමෙන් මිනිසුන්ගේ යහගුණය ඉස්මතු වී ඇත. බොහෝ අයත් සමඟ ටෙක්සස් හා ෆ්ලොරිඩා ප්රාන්තවල තරුණ කාන්තාවන් කහපාට ‘Helping Hands’ කමිස පැළඳගෙන නොබෝ කාලයකට පෙර පැමිණි සුළි කුණාටු නිසා හානි වූ නිවෙස් වල සුන්බුන් ඉවත් කරන අයුරු මගේ සිතේ සතුටක් ඇති කරන්නක් විය. දහස් ගණනක් තවත් අය ද උදව් කරන මූලස්ථානවලට යන්න අවශ්ය වුවත්, දුර - කතර නිසා පැමිණියේ නැත. ඒ වෙනුවට, ඔබ පීඩාව අඩුකරනු පිණිස නොමසුරුව මුදල් පරිත්යාග කර ඇත. ඔබගේ පරිත්යාගශීලී බවත්, කරුණාවත් සිත් ඇදගන්නාසුලු අතරම එය ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් ගුණාංගයකි.

රූපය
සභාපති අයිරින් සමග තරුණ කාන්තාවක්

අපි කොහේ සිටියත්, සියළුදෙනාටම වැදගත් යැයි මට හැගෙන සේවයේ එක් පැතිකඩක් ගැන සඳහන් කරන්න මම කැමතියි. මෑතකදී වූ සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති බලා කළ හැකි දේ ගැන නොදැන ළතවුණ අපි සියළු දෙනාටම, පිළියම අප ඉදිරියේම තියෙන්නටත් පුළුවන්.

ගැලවුම්කරුවාණන්වහන්සේ ඉගැන්වුයේ, “තම ජිවිතය රැක ගන්නා හෙතෙම එය අහිමි කරගනියි: නමුත් මා වෙනුවෙන් එය නැතිකරගන්නා කවරෙක්ද, ඔහු එය රැකගනියි.”1 තෝමස් එස්. මොන්සන් සභාපතිතුමා මෙම ශුද්ධලියවිල්ල ගැන සඳහන් කළේ මෙලෙසයි: “මම හිතන්නේ ගැලවුම්කරුවාණන්වහන්සේ අපට කියන්නේ, අපි අනුන් වෙනුවෙන් සේවයේදී තමන්ව අමතක කරන්නේ නැත්නම්, අපගේ ජිවිතයේද වැඩි අර්ථයක් නොමැති බවයි. තමන් වෙනුවෙන් පමණක් ජීවත් වන්නන් අවසානයේදී හැකිළී තම ජීවිත උපමාකාරව අහිමි කරගනියි, නමුත් අනුන් වෙනුවෙන් සේවය කර තමන් අතහරින්නා වර්ධනය වී වැජඹෙයි - එයින් තම ජිවිතය රැකගනියි.”2

අප අවට ඇති පිරිස්වලට වඩා අතේ ඇති කුඩා තිරය කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය දෙන සංස්කෘතියක අපි ජීවත් වෙන්නෙමු. කෙනෙක් දිහා බලා, එකිනෙකා සමඟ සිනාසෙන, නැත්නම් ඊට වඩා දුර්ලභ දෙයක් වන මුහුණට මුහුණලා කතා බස් කිරීම වෙනුවෙන් අපි දැන් දුරකථන පණිවුඩ හුවමාරු කරන්නෙමු. මිතුරෙකුගේ කරට අත තබා දයාව, සැලැකිල්ල හා සැබෑ උවමනාව පෙන්වන්නට වඩා අපිට සිටින “Followers” හා “Likes” ගැන අපි සිතා බලයි. පවුලේ උදවිය හා මිතුරන් සමඟ සම්බන්ධව ඉන්නට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පණිවිඩය පතුරවන්නට නුතන තාක්ෂණය පුදුමාකාර වුවත්, අපි අපගේ පෞද්ගලික උපාංගය භාවිතා කරන අයුරු ගැන අවබෝධයෙන් සිටියේ නැත්නම්, අපිත් තමන් තුළ හැරී, ශුභාරංචියේ ජීවත් වීමේ අර්ථය, සේවාව බව අමතක කරන්නට පුළුවනි.

තරුණ හා යෞවන වියේ පසුකරන ඔබ සියළු දෙනා කෙරෙහි මම මහා ප්‍රේමයකුත්, ඇදහිල්ලකුත් ඇත. ලොවට සේවය කර, වෙනසක් ඇති කරන්නට ඔබ තුළ ඇති අවශ්‍යතාවය මට දැනී තිබෙනවා. බොහෝ සමාජිකයන් තම ගිවිසුම් හා අනුගාමීකමේ ප්‍රධාන අංගය සේවය යැයි සලකන බව මම විශ්වාස කරමි. එනමුත් අපි ලෝකය වෙනස් කරන්නට අරමුණ තියාගෙන සිටින විට අපගේ පවුල තුළ, මිතුරන් අතර, කොට්ඨාශවල හා සමාජයේ වඩා වැදගත්, අපිට සපුරාලිය හැකි අවශ්‍යතාවන් නොදකින්නට පහසු බවත් මට වැටහී ඇත. ලෝකයේ අනෙක්පස මනුෂ්‍යයින්ගේ පීඩාවන් හා මහඟු අවශ්‍යතාවයන් දැක අපේ සිත් උණු වෙන්නට පුළුවන්, නමුත් අපගේ පන්තියේ තමන්ගේ පුටුව අසළ අපේ මිතුරුකම අවශ්‍ය කෙනෙක් සිටින බව නොදකින්නට පුළුවන්.

සමුහය සමඟ එක්ව, 1990 වසරේ දී අවශ්‍යතාවන් තිබු අයට ඇතිරිලි එකතු කළ ස්ටේක, සහන සමිති සභාපතිනියකගේ කතාවක් පිළිබඳව ලින්ඩා කේ. බර්ටර්න් සහෝදරිය බෙදාගන්නා ලදි. “ඇයත්, ඇගේ දියණියත් ඒ ඇතිරිලි පිරවූ කැබ් රථයක් ලන්ඩන් සිට කොසෝවො දක්වා පැදගෙන ගියහ. සියල්ල අවසන් කර ගෙදර බලා එන විටදී වරදවාගත නොහැකි අධ්‍යාත්මික පෙළඹවීමක් තම හඳවතේ කා වැඳුණි: ‘ඔබ කළ දේ ඉතා අගනා දෙයක්. දැන් ගෙදර ගිහින්, පාර පැන තමන්ගේ අසල්වැසියාට සේවය කරන්න! යි එහි කියැවුණි”’3

අපි ලොවම බේරගෙන, අපි හා සමීප, අපි හිතාදර පිරිසගේ අවශ්‍යතා නොසළකා හැරීමෙන් ඵලක් තිබේද? ලොවම පිළිසකර කර, අප අවට පුද්ගලයින් විනාශ වී යන එක නොදැක සිටීමේ අර්ථයක් තිබේද? අපිව අවශ්‍ය අය, දෙවිපියාණන්වහන්සේ අපට සමීපව තැබුවේ, ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමට අපි වඩාත් සුදුසු පුද්ගලයින් බව දන්නා නිසා විය හැක.

රූපය
සාරා සහ ඇයගේ සහෝදරිය ඇවිදිමින්

ක්‍රිස්තුස්වහන්සේ මෙන් සේවය කරන්න ක්‍රම සෑමදෙනෙක්ටම සොයාගත හැකිය. මගේ අනුශාසක, කැරොල් එෆ්. මැකොන්කී සහෝදරිය මෑතකදි, ඇගේ දියණිය අසනීපව සිටිකාලයේදී, ඇගේ 10 හැවැරිදි මිණිබිරිය සාරා, තනිවම උදව් කරන්නට තීරණය කළ ආකාරය පිළිබඳව කියා සිටියාය. ඇය තමන්ගේ සහෝදරියව දිනපතා නැගිට්ටුවා, ඇඳුම් අදින්න උදව් කර, දත් මද්දවා, කොණ්ඩය පීරා, උදේ කෑමත් දී තමන්ගේ අම්මාට විවේක ගන්න‍ට අවස්ථාව සැළසුවාය. අවශ්‍යතාවය දැක උදව් කිරීමේ උවනාවෙන් ඇය මේ සරල සේවාව නිහඬව ඉෂ්ඨ කළාය. සාරා, තම මවට ආශිර්වාදයක් වුණා මෙන්ම, තමන් ආදරය කරන කෙනෙක්ගේ බර සැහැල්ලු කළ නිසා ප්‍රීතිමත් වූ අතර, තමන්ගේ සහෝදරියන් අතර බැඳීමත් ශක්තිමත් කළාය. ජේම්ස් ඊ. ෆෝස්ට් සභාපතිතුමා පවසා සිටියේ : “එකිනෙකාට සේවය කිරීම ඕනම වයසකින් ඇරඹිය හැක..... එය මහා පරිමාණයෙන් වෙන්නට ඕන නැති අතර පවුල තූළම සිදුකරන විට එය වඩාත් උතුම් වේ.”4

රූපය
සාරා සහ ඇගේ සහෝදරිය පොතක් කියවමින්

තමන්ගේ ගෙදර දීම සේවය කරන්න විදියක් සොයන විටදී තමන්ගේ දෙමාපියන්ටත්, පවුලේ අයටත් එය කෙතරම් වටිනවාදැයි දරුවනී ඔබ දන්නවාද? යෞවන වියේ පසුවන ඔබ, ලෝකය වෙනස් කරන්න ක්‍රම සොයනා විටදී තමන්ගේ පවුලේ උදවියට සේවය කිරීම, හා ඔවුන් ශක්තිමත් කිරීම ඔබේ වඩාත් වැදගත් ප්‍රමුඛතාවයක් විය යුතුය. තමන්ගේ දෙමාපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත් කරුණාවන්ත වීමෙන්, එකමුතු පරිසරයක් ඇති වී ශුද්ධාත්මයාණන් වහන්සේ නිවසට කැඳවයි. ලෝකය වෙනස් කිරීම ඇරඹෙන්නේ තමන්ගේම පවුල ශක්තිමත් කිරීමෙනි.

අපට සේවය කල හැකි තවත් ප්‍රදේශයක් වන්නේ අපගේ කොට්ඨාශයේ පවුල් වේ. විටින් විට අපේ ළමයින් “ ඇයි මම mutual යන්න ඕනි ? ඒකෙන් මට ලොකු වැඩක් වෙන්නෙ නෑනේ“ යැයි අසනු ඇති.

හොඳ දෙමාපියෙකු ලෙස මම ක්‍රියාකළොත්, මම මෙසේ පිළිතුරු දෙමි, “ඔයාට එයින් ලැබෙන දෙයක් නිසා ඔයා mutual යනවා කියලා හිතන්නේ ඇයි?”

මගේ තරුණ යහළුවනි, තනිකම දැනෙන, කරදර මැද්දේ ඉන්න නිසා යාළුවෙකු අවශ්‍ය, තමන් කොන්වී ඇතැයි දැනෙන කෙනෙකු අනිවාර්යයෙන් ඔබ සිටිනා සෑම සභා රැස්වීමක ඉන්නා බවට මම සහතික කරමි. සෑම රැස්වීමකටම හා ක්‍රියාකාරකමකටම ඔබට ඉතා වැදගත් දෙයක් දායක කළ හැකි මෙන්ම, තමන්ගේ සගයින් දෙස වටපිට බලා ස්වාමින්වහන්සේ මෙන් ඔවුන්ට මෙහෙ කරන්නට ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වී සිටින සේක.

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් “ස්වාමින්වහන්සේ සභාවක් පිහිටුවීමට හේතුව වන්නේ එකිනෙකා දරාගනිමින්, මේ ‘සදාකාලික ජීවිතයෙන් අවසන් වන සෘජු හා පටු මාර්ගය’ තුළ සිටිනා ශුද්ධවන්තයින් ප්‍රජාවක් පිහිටුවීමයි.” තවත් ඔහු කියා සිටියේ, “ තමන් ගැන පමණක් මේ ධර්මය සැලකිල්ලට නොගනියි; ඒ වෙනුවට අපි සේවය කිරීමට කැඳවුම් ලබන්නෙමු. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අපි දෑස්, දෑත්, හිස, පාද හා වෙනත් අංග වන්නෙමු.”5

මූලධර්ම වලට සහභාගි වන්නට, ධර්මය ඉගෙනගන්නට, සිත් පැහැදී සිටින්නට අපි සතිපතා සභා රැස්වීම්වලට සහභාගි වන බව සත්‍යයකි. නමුත් ඊටත් වඩා වැදගත් හේතුවක් වන්නේ, අපි කොට්ඨාශ පවුලක් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයින් වශයෙන්, එකිනෙකාට උදව් කර, දිරිමත් කර, එකිනෙකාව ශක්තිමත් කරන්නට ක්‍රම, සේවය කරන්නට ක්‍රම සොයා ගැනීමයි. සභාවෙන් පිළිගැන්වෙන දෙය පිළිගන්නන් පමණක් නොව; අපි ප්‍රදානය කරන්නන් හා බෙදාහරින්නන් විය යුතුයි. තරුණියනි, තරුණයනි, mutual වලට මීළඟ පාර සහභාගි වන විටදී, දුරකථනය අතට ගෙන අනෙක් යහළුවන් කරන දේවල් සොයා නොබලා, නැවතී, වටපිට බලා තමන්ගෙන්ම අසන්න, “කාටද මාව අවශ්‍ය ?“ යාළුවෙකුගේ ජීවිතයට සහපතක් වීමට, නැත්නම් නිහඬව තැවී ඉන්න යාළුවෙකුට දිරිමත් කිරීමට ඔබ හේතු කාරකය විය හැක.

තමන්ගේ උදව් අවශ්‍ය, අවට සිටිනා අයව පෙන්වා දෙන ලෙසටත්, ඔවුන්ට සේවය කළ හැකි යහපත්ම ක්‍රමය කුමක්දයි පෙන්වන්නට දෙව්පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. එක් වරෙකට එක්කෙනෙකු හට පමණක් ගැලවුම්කරුවාණන්වහන්සේ බොහෝ විට මෙහෙකෙරූ බව මතක තබාගන්න.

රූපය
ඊතන් සහ ඔහුගේ පවුල

අපගේ මුණුබුරු ඊතන් ගේ වයස 17 කි. තම මවගේ ආදර්ශය ගෙන, දිනපතාම ඔහු කාටහරි සේවය කරන්නට අවස්ථාවක් ඉල්ලා යාච්ඤා කරන බව දැනගත් විට මගෙ සිත උණුවිය. ඔහුගේ පවුල සමඟ කාලය ගත කරන විටදී, ඊතන් තම සහෝදර සහෝදරියන්ට ඉවසීමෙන්, ප්‍රේමයෙන් හා කරුණාවෙන් සලකන බව; තම දෙමව්පියන්ට සහයෝගය දෙන බව; අනුන්ට දෑත් දිගුහරින්නට ක්‍රම සොයා බලන බව මම නිරීක්ෂණය කලෙමි. තමන් වටා ඇති පිරිස පිළිබඳ ඔහුගේ අවබෝධයත්, ඔවුන්ට සේවය කරන්නට ඔහුගේ උවමනාවත් මගේ සිතේ පැහැදීමක් ඇති කළේය. ඔහු මට ආදර්ශයකි. ඊතන් මෙන් - අනුන්ට සේවය කිරීමට ක්‍රම සොයාගන්නට ස්වාමින් වහන්සේට ආරාධනා කිරීමෙන් - අප වටා සිටින්නන්ගේ අවශ්‍යතාවයන් වටහාගන්නට එනම් අපව අවශ්‍ය “එක්කෙනා” දකින්නටත්, ඔහුට හෝ ඇයට මෙහෙකළ යුතු ආකාරය දැනගන්නටත්, ශුද්ධාත්මයානන්වහන්සේ අපගේ දෑස් විවෘත කරන සේක.

රූපය
ඊතන්ගේ පින්තූරයක්

තමන්ගේ පවුලටත්, කොට්ඨාශ පවුලටත් සේවය කරන්නට අමතරව, තමාගේ අසල්වාසින් හා ප්‍රජාවට සේවය කරන්න අවස්ථාවන් සොයන්න. මහා විනාශයක් සිදුවීමෙන් පසුව උදව් කරන්නට අපිට ආරාධනාවන් එන අතරත්, සාමාන්‍ය දිනපතා ජීවිත වලදී අවශ්‍යතා ඇති අයට උපකාර කරන්නට අවස්ථා සොයා යන්නට උනන්දු කර ඇත. බොහෝ ලෞකික අභියෝග ඇති රටක සේවය කරන ප්‍රදේශයක පුද්ගලයින්ට උපකාර කළ හැකි හොඳම ක්‍රමය වන්නේ, නොමසුරු උපවාස ප්‍රදානයක් දීම, සභාවේ මානුෂීය සහන අරමුදලට දායකත්වය දීම සහ තමන් ජීවත් වන ප්‍රජාවේ සේවය කරන්නට ක්‍රම සොයා බැලීමයි.

සහෝදර සහෝදරියනි, විශේෂයෙන්ම තරුණයිනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හෙවත් ගැලවුම්කරුවානන්වහන්සේ සේ වීමට ඔබ උත්සාහ කරමින් තම ගිවිසුම් වලට අනුව ජීවත් වන්නට ඔබ මහන්සි වන විටදී, පීඩාවට සහන දෙන්නටත්, අවාසනාව හිමි අයට උදව් කරන්නටත් කැමැත්ත වැඩිවෙන්නට ආශිර්වාද ලැබෙනු ඇති. ඔබ ඉදිරියේම සමහර උතුම් ක්‍රියාවන් ඇතිබව මතක තබාගන්න. තමන්ගේ නිවසින් හා පවුලෙන් සේවය කරන්නට අරඹන්න. මේවා සදාකාලික බැඳීම් විය හැක. ඔබගේ පවුලේ පසුබිම අංගසම්පූර්ණ නොවුනත් - නැත්නම් ඒ නිසාවෙන්ම, ඔබට සේවය කරන්න, ඔසවා තබන්න, ශක්තිමත් කරන්න ක්‍රම සොයාගත හැක. ඉන්න තැනින් අරඹන්න, ඔවුන්ට අඩුවක් නැතිව ප්‍රේම කරන්න. අනාගතයේදී ඔබ සිටින්න කැමති පවුලකට සූදානම් වෙන්න.

දයාව හා දිරිමත් කිරීම උවමනා කෙරෙන ඔබේ කොට්ඨාශ පවුලේ සාමාජිකයින් හඳුනාගන්නට උදව් ඉල්ලා යාච්ඤා කරන්න. “මේ රැස්වීමෙන් මට ගත හැක්කේ කුමක්ද?“ යි අසන්නැතුව “මාව උවමනා කාටද? මට දායක විය හැක්කේ කෙසේද?” යි විමසා සභාවට සහභාගි වන්න.

තමන්ගේ පවුල් හා කොට්ඨාශ සමාජිකයින්ට ඔබ ආශිර්වාද කරන අතරතුරේදී, තමන්ගේ ප්‍රදේශයේ ජන සමූහයට ආශිර්වාදයක් වෙන්න ක්‍රම සොයන්න. දීර්ඝ කාලීන සේවයක් නැත්නම් මාසයකට පැය කිහිපයයක් වුවත්, ඔබේ උත්සාහය ජීවිත වලට ආශිර්වාදයක් වනවා මෙන්ම ඔබටත් සිතාගත නොහැකි අයුරින් ආශිර්වාදයක් වනු ඇත.

ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් සභාපති තුමා මෙසේ ඉගැන්වූයේය: “දෙවියන්වහන්සේ අපිව දකින සේක., උන්වහන්සේ අපව ආරක්ශා කරන සේක. නමුත් බොහෝවිට වෙනත් අයෙකු හරහා උන්වහන්සේ අපගේ අවශ්‍යතා සපුරාලයි.”6 දෙවිපියාණන්වහන්සේගේ දරුවන්ගේ උවමනා සැපරීමේ කාර්යය ජයගැනීමට, සහභාගි වීමේ වරප්‍රසාදය හා ආශිර්වාදය අපි සියළු දෙනාටම හඳුනාගන්නට හැකිවේවායි මා යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. ලූක් 9:24.

  2. තෝමස් එස්. මොන්සන්, “What Have I Done for Someone Today? Liahona, Nov. 2009, 85.

  3. ලින්ඩා කේ. බර්ටන්, “I Was a Stranger,” Liahona, May 2016, 15.

  4. ජේම්ස් ඊ. ෆෝස්ට්, “Womanhood: The Highest Place of Honor,” Liahona, July 2000, 117.

  5. ඩී. ටොඩ් ක්‍රිස්ට්‍රෝෆසන්, “Why the Church,” Liahona, Nov. 2015, 108, 109.