2010–2019
සහෝදරියන් තිදෙනා
2017 ඔක්තෝම්බර්


සහෝදරියන් තිදෙනා

අපේ අනුගාමීකමට වගකීම අප සතුවන අතර, අනුන් අපහට සලකන ආකාරය ඒ සඳහා කිසිදු බලපෑමක් නැත.

දයාබර සහෝදරියනි, මිතුරනි, ලොවපුරා සහෝදරියන්ගේ සැසිවාරයකින් ප්‍රධාන සම්මන්ත්‍රණය ඇරඹීම වැදගත්ය, අසිරිමත්ය. මොහොතක් සිතන්න: සියළු වයස්වල, සමාජ වටපිටාවන්ගෙන්, ජාතීන් හා භාෂාවන්ගෙන් එන සහෝදරියන්, ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් එක්සත්ව සිටී.

අපගේ දයාබර අනාගතවක්තෘතුමා තෝමස්  එස්. මොන්සන් ව ලඟදී හමුවුන විටදී ඔහු ස්වාමීන්වහන්සේට කොතරම් ප්‍රේමකරනවාදැයි අපට ප්‍රකාශ කලේය. ස්වාමීන් කෙරෙහිවූ ඔබේ ප්‍රේමයට, යච්ඤාවට හා භක්තියට මොන්සන් සභාපතිතුමා ස්තූතිවන්තවන බව මම දන්නෙමි.

එකමත් එක කාලෙක, ඈත රටක, සහෝදරියන් තිදෙනෙක් සහිත පවුලක් සිටියා.

ඉන් පළමු සහෝදරිය දුකින්සිටියාය. ඇගේ නහයේ සිට නිකට දක්වා, හමේ ඉදන් දෙපතුල දක්වා සියළු දේම ඇයට හොඳ මදියි සිතුනා. ඇය කතා කළ විට, සමහර විට වචන පැටළුනා, ඒකට අනෙක් අය උසුළු විසුළුත් කලා. කෙනෙක් ඇයට විවේචනය කළ විටදී, නැත්නම් යම් දෙයකට ආරාධනා කරන්න “අමතක” වු කල්හි, ඇය බිම බලා, ඉන් ඉවත් වී තනියම ඉන්න රහස් ස්ථානයක් සොයාගෙන දුක්මුසු සුසුම් හෙළමින් ඇගේ ජීවිතය මෙතරම් දුක්බර, අඳුරු වූයේ කෙසේදැයි තනිවම ප්‍රශ්න කළා.

දෙවැනි සහෝදරිය කුපිත අයෙකි. ඇය ඥාණවන්ත අයෙක් යැයි ඇයම සිතුවද, පාසලේ සෑම විටම ඇයට වඩා විභාගවලට ලකුණු ගත්ත කෙනෙක් සිටියා. තමන් විනෝදකාමී, පැහැපත්, හැඩකාර හා ආකර්ෂණීය යැයි හිතාගෙන ඇය සිටියා. නමුත් සැම විටම වගේ ඊට වඩා විනෝදකාමී, පැහැපත්, හැඩකාර, ආකර්ශණීයයන් සිටියා.

ඈ කිසිම දේකින් පළමුවැනියා නොවු අතර, මෙය ඇයට දරාගන්නට නොහැකි වුනා. ජීවිතේ මෙහෙම වෙන්න බෑ!

සමහර විට ඇය අනුන්ට කෝපය පිටකළා, ඈ එකක් ඇරුනුකොට තවත් දෙයකට ප්‍රකෝපිත වෙන්නට ඉතාමත්ම ආසන්න යැයි පෙණුනා.

මේ නිසා ඇය වැඩිදුරටත් ආකර්ශණීය හෝ ජනප්‍රිය වූයේ නැහැ. සමහර වෙලාවට ඇය දත්මිටි කාගෙන, මිටිමොළවාගෙන, “ජිවිතේ හරි ආසාධාරණයි” යැයි සිතුවා.

තුන්වැනි සහෝදරියක් ද සිටියා. ඇගේ දුක්බර, කෝපිත සහෝදරියන් මෙන් නොව - ඇය ප්‍රීතිමත් වූවා. එසේ වූයේ ඇය, ඇගේ සහෝදරියන්ට වඩා බුද්ධිමත්, රූමත් නිසා නොවේ. සමහර අය ඇයටත් වෙනස්කම් කළා, ඇය ඇඳු පැළඳු දේ වලට, කියන කතා වලට සමහර විට උසුළු කළා, ඇය ගැන නරක දේවල් සමහර විට මිනිසුන් කියුවා, නමුත් එයින් ඇය සැලුණේ නෑ.

මේ සහෝදරිය ගීත ගයන්නට ප්‍රියකලා.එය මිහිරි හඬක් නොවුණු අතර ඒ නිසා මිනිසුන් උසුළු, විසුළු කලා. නමුත් එයින් ඇය නැවතුනෙත් නැහැ. ඇය, “අනිත් අයගේ එක එක කතා නිසා මම සිංදු කියන එක නතර කරන්නේ නැහැ” යි කියා සිටියා.

ඇය නොනවත්වා ගීත ගැයු නිසාම ඇගේ පළමු සහෝදරිය දුක් වු අතර ඇගේ දෙවන සහෝදරිය කෝපවත් වුනා

වසර ගණනක් ගත වු අතර, අවසානයේදී සියළුම සහෝදරියන් මෙලොව ඔවුන්ගේ අවසාන කාලයට ලංවුනා.

පළමු සහෝදරිය, ජීවිතයේ බලාපොරොත්තු කඩවිම් වල නිමක් නැති බව නැවත නැවත සොයාගෙන, අවසානයේදි දුකින් මිය ගියා.

සෑම දිනකදීම අමනාප වන්නට අළුත් දෙයක් සොයාගත් දෙවැනියා, කෝපයෙන් මිය ගියා.

තුන්වන සහෝදරිය, ආත්ම විශ්වාසයකින් යුතු සිනහවක් පාමින්, මුළු ශක්තියෙන්ම ඇගේ ගීතය ගායනා කරමින් දිවි ගෙවා, සතුටින් මිය ගියා.

ඇත්තවශයෙන්ම, ජිවිතය මෙතරම් සරල නොවන බවටත්, මේ කතාවේ සහෝදරියන් තිදෙනා මෙන් ඒකාරූප මිනිසුන් මෙලොව නැති බවටත් සැකයක් නැත. නමුත් මෙවැනි අතාත්වික උදාහරණ වලින් අපිට, අපි ගැන යමක් ඉගෙන ගන්නට පුළුවන්. අපි බොහෝ දෙනා මෙන් ඔබත්, මේ එක් එක් සහෝදරියන්ගේ චරිත ලක්ෂණ එකක්, දෙකක්, නැත්නම් සියල්ලම ඔබ තුළම දැක තිබෙන්නට පුළුවන්. මේ එක් එක් ලක්ෂණය සමීපව අධ්‍යනය කරමු.

ගොදුර

පළමු සහෝදරිය, තමන් ගොදුරක් ලෙසට දුටුවාය.1 ඇයව කණස්සල්ලට පත්කරන හේතු එකපිට එක පැමිණෙනවායැයි සිතුවාය, ජිවිතයේ දී මෙවැනි පෙරමඟකින් ඇගේ හැඟීම් හා හැසිරිම්වලට අනුන්ට බලය ඇය භාරදුන්නාය, මෙසේ කරනා විටදී, අපි සෑම දෙනාම මතවාදවල සුළග මෙන් එහෙ මෙහෙ පාවෙනු ඇත - තවද, වර්ථමානයේ සමාජ වෙබ් අඩවි සමගම, මේ සුළං රැළි, සැඩ කුණාටු බවට පත්වෙයි.

දයාබර සහෝදරියනි, තමනුත්, තමුන්ගේ ප්‍රීතියත් ගැන වටිනා කොට නොසලකා, ඔබ පිලිබඳ හෝ ඔබේ ප්‍රීතිය පිලිබඳ ඉතාමත් සුලුවෙන් සිතනා තවකෙනෙකුට හෝ පිරිසකට ඔබගේ ප්‍රීතිය කැපකරනුයේ ඇයි?

තමන් ගැන වටපිට අය කුමක් කියනු දැයි සිතමින් ඔබ ලතවෙනවානම්, ඒ සඳහා ප්‍රතිකාරයක් මම යෝජනා කරන්නම්; එනම් ඔබ කව්ද යන වග මතක තබාගන්න. ඔබ දෙවියන්වහන්සේගේ රාජධානියේ රාජ්‍ය නිවෙසේ සාමාජිකයෙක් බවත්, විශ්වයම රජ කරනා දිව්‍යමය දෙමව්පියන්ගේ දියණියක් බව මතක තබාගන්න.

ඔබට දෙවියන්වහන්සේගේ දිව්‍යමය ජාන තිබේ. ඔබගේ දිව්‍යමය නිමැවීමේදී හිමිවූ හා, පෙර ජීවිතයේදී ඔපවත් වූ ඔබටම විශේශිත වූ ප්‍රසාදයන්ද, ඔබට ඇත. ඔබ කරුනාවන්ත වූ සදාකාලික ස්වර්ගයේ පියාණන්වහන්සේගේ දරුවෙකි. උන්වහන්සේ මුලු විශ්වයේම මැවුම්කරුවාණන්ය, විශ්වයේ එහා මෙහා යන තාරුකවන්ගේද, කක්ශයේ ඇති සෑම ග්‍රහලෝකයකම මැවුම්කරුවාණන්වහන්සේය.

ඔබේ ජීවිතය උන්වහන්සේගේ දෑතේය.

ඒ යහපත් දෑතකි.

එය ප්‍රේමාන්විත දෑතකි.

දයාබර දෑතකි.

වෙනකිසිවෙකු, කුමක් කීවක් එය වෙනස් නොවේ. දෙවියන් වහන්සේ ඔබ ගැන කියා සිටි දේට සාපේක්ෂව ඔවුන්ගේ වචන වල අර්ථයක් නැත.

ඔබ, ඔහුගේ වටිනා දරුවෙකි.

උන්වහන්සේ ඔබට ප්‍රේම කරයි.

ඔබගේ ගමන අඩාල වුණත්, උන්වහන්සේගෙන් ඉවතට හැරුණත්, දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරයි. ඔබ අතරමං වී, අමතක වී සිටිනවා යැයි දැණුන විට - බිය නොවන්න. යහපත් එඬෙරුවාණන් ඔබව සොයාගනු ඇත. උන්වහන්සේ, තම කර මතට ඔබව ඔසවනු ඇත. උන්වහන්සේ ඔබව ගෙදර රැගෙන එයි.2

දයාබර සහෝදරියනි, මෙම දිව්‍යමය සත්‍යයන් ඔබේ හදවතේ ගැඹුරට කිදාබහින්න ඉඩදෙන්න. ඉන්පසුව ඔබට දුක් නොවී ඉන්නට හේතු ගොඩක් සොයාගන්නට හැකිවනු ඇත. මක්නිසාද ඔබට ඉටු කරන්නට සදාකාලික ඉරණමක් ඇත.

ලෝකයාගේ දයාබර ගැලවුම්කරුවාණන් තම ජිවිතය කැපකළේ ඔබට ඒ ඉරණම, යථාර්තයක් කරන්නට ඔබට තෝරාගන්නට ඉඩදෙන්නටයි. ඔබ උන්වහන්සේගේ නම භාරගෙන තිබෙනවා; ඔබ උන්වහන්සේගේ ගෝලයින්. උන්වහන්සේ නිසා, ඔබට සදාකාලික කීර්තියේ ලෝගුව පළදින්නට අවස්ථාව හිමි වී තිබෙනවා.

කුපිත චරිතය

දෙවනි සහෝදරිය ලෝකයන් සමඟ කෝපයෙන් සිටියාය. ඇගේ දුක්බර සහෝදරිය මෙන් ඇය සිතාගෙන සිටියේ, ඇගේ ජීවිතයේ ගැටළු සියල්ල වෙනත් අයෙකු නිසා සිදුවන බවයි. ඇගේ පවුල, ඇගේ මිතුරන්, කාර්යාල නිලධාරින් හා වැඩපළේ සම මිතුරන්, පොලිසිය, අසල්වැසියන්, සභාවේ නායකයින්, අලුත් විලාසිතා, සුර්ය රශ්මිධාරා වැඩිවීම, නැතහොත් අවාසනාවන්තකම එමෙන් ඒ සියළු දෙනාටම ඇය ප්‍රහාරත් එල්ල කලා.

ඇය නරක පුද්ගලයෙකු බව ඇයට සිතුණේ නැහැ. ඒ වෙනුවට, ඇය සිතුවේ තමන් වෙනුවෙන් පෙනී සිටි බවයි. අනෙක් සියළු දෙනාම ආත්මාර්ථකාමිත්වයෙන්, උද්දච්ඡකමෙන් හා වෛරයෙන් ක්‍රියාකරන බව ඇය විශ්වාස කළාය. ඒ වෙනුවට ඇය, යහපත් අරමුණින් ක්‍රියාකළාය - එනම් යුක්තියෙන්, සාධාරණත්වයෙන්, ප්‍රේමයෙන්.

අවාසනාවට, කෝපවත් සහෝදරියන්ගේ මානසිකත්වය ඉතා සුබලයි. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් පිළිබඳ පරික්ෂා කළ අධ්‍යනයකදී මෙය සටහන් වී තිබුණි. එහි කොටසක් ලෙස, පරික්ෂකයින් විසින් අරාබිකරයේ පලස්තීන හා ඊශ්‍රායල ජනතාවන් සමඟ, එක්සත් ජනපදයේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රට් පක්ෂවල සමාජිකයන් සමඟ සාකච්ඡා සිදු කරන ලදී. එහිදී “දෙපාර්ශවයම, තම කණ්ඩායම ක්‍රෝධයට වඩා ප්‍රේමයෙන් ක්‍රියාත්මක කෙරුණු බවට විශ්වාස කරනවා යැයි ප්‍රකාශ කර සිටි අතර, ප්‍රතිවිරුද්ධවාදීන් ගැටුමට සහභාගී වන්නේ ඇයිදැයි විමසු කල, ඔවුන්ගේ ප්‍රධාන අභිමතාර්ථය වෛරයෙන් ක්‍රියාත්මක බව සහභාගිකරුවන් පවසු” බව ඔවුන් සොයාගන්නා ලදී.3

තවත් අයුරකින් පවසනවානම්, කණ්ඩායම් සියළු දෙනාම විශ්වාස කළේ තමන් “හොඳ කට්ටිය” - සාධාරණ, දයාබර, සත්‍යවාදී බවයි. තවද, ඔවුන් ගේ ප්‍රතිවාදීන් “නරක කට්ටිය” - අණුවන, සාවද්‍ය, පාපකාරී බව ඔවුන් සිතාගෙන ඉන්නවා.

මා ඉපදුන සමයේ, මුළු ලොවම, කම්පාවට හා වැසී යන ශෝකය ගෙන ආ ඛේදජනක ලෝක යුද්ධයකට හසුවී තිබුණි. මේ යුද්ධයට මුල පිරුවේ මගේම මව් බිමේ පිරිසකි - ඔවුන් ඇතැම් වෙනත් සමුහයන් පාපකාරි යැයි හඳුනාගෙන ඔවුන් වෙත වෛරය දක්වන්නට උනන්දු කළ පිරිසකි.

ඔවුන්ට නොමනාප පිරිස් නිහඬ කළෝය. ඔවුන්ට නින්දා කර යක්ෂයින් සේ සැලකූහ. ඔවුන් පහත් ලෙසට - මනුෂ්‍ය නොවන තරමටද සැලකූහ. මිනිසුන් සමුහයක් පහත් කරවීමෙන් පසුව, ඔවුන් කෙරෙහි වූ හිංසාකාරි වචන හා ක්‍රියා නොසලකා හැරීමට අවස්ථාව වැඩි විය.

මෙවැනි ආකල්ප නිසා විසි වන ශත වර්ෂයේ ජර්මනියේ වූ දෑ ගැන සිතන විට ඇගේ හිරගඩු පිපේ. අවාසනාවට, අප තුළින් එවැනි හුරුකම් දකින්නට අපි පටුගාමී, නොහැකි වී ඇත.

කවුරුන් හෝ අපට එරෙහි වූ කල, එකඟ නොවු කල, ඔවුන් තුළ වැරැද්දක් ඇති බව අනුමාන කිරීම ආකර්ෂනීයයි. එතන සිට ඔවුන්ගේ වචන හා ක්‍රියාවන් පිටුපස දුෂ්ඨ අරමුණු තිබෙනවා යැයි සිතාගැනීම සුළු කාර්යයකි.

යහපත වෙනුවෙන් නැඟි සිටින්න, එම මෙහෙවර වෙනුවෙන් හඬවල් නගන්න අවස්ථාවන් පැමිණෙන බවට සැකයක් නැහැ. නමුත්, අපි එසේ හදවතේ කෝපය, වෛරය තබාගෙන - අනුන්ට රිද්දවන්න, අවමාන කරන්න, නිහඬ කරන්න පහර දෙන විටදී - බොහෝ විට අපි එය කරන්නේ ධර්මිෂ්ඨකමකින් නොවේ.

ගැළවුම්කරුවාණන්වහන්සේ ඉගැන්වුයේ කුමක්ද?

“මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට සාපකරන්නන් හට ආශීර්වාද කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;

"මෙසේ ඔබ ස්වර්ගයේ වැඩසිටින ඔබේ පියාණන් වහන්සේගේ දරුවන් වන්නාහුය."4

මෙය ගැළවුම්කරුවාණන්වහන්සේ ගේ මාර්ගයයි. ලෝකයේ මෙතරම් වෛරය, ක්‍රෝධය, භේදතා, ප්‍රචණ්ඩතා නිර්මාණය කරන බාධක බිද දමන්නට පළමු පියවර මෙයයි.

ඔබ, “ඔව්, මගේ ප්‍රතිවාදීන්ට ප්‍රේම කරන්න කැමතියි - නමුත්, ඔවුන් මටත් එසේ කරන්න කැමතිනම් විතරයි” කියා පවසනු ඇති.

නමුත් එය අර්ථයත් නැති දෙයක් නේද? අපි අපගේ අනුගාමීකම සම්බන්ධයෙන් වග කියන අතර, අනුන් අප හට සලකන ආකාරය පොඩ්ඩක්වත් බලපාන්නේ නැහැ. ඔවුන් අපිට ප්‍රතිචාර ලෙස සාධාරණ, කරුණාවන්ත වනු ඇතැයි බලාපොරොත්තු කළත්, ඔවුන් අප කෙරෙහි ඇති හැඟිම්වලට අපි, ඔවුනට දක්වන ප්‍රේමය ස්වාධීනයි.

අපගේ සතුරන්ටත් ප්‍රේම කරන අපි ගන්නා උත්සහයෙන්, ඔවුන්ගේ හදවත වෙනස් වී යහපත වෙනුවෙන් ඔවුන්ට බලපෑමක් වන්නට පුළුවන්. නමුත්, එයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන්නට අප සතු කැපවීම වෙනස් නොවේ.

ඒ නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින් වශයෙන්, අපි අපගේ සතුරන්ටත් ප්‍රේම කරමු.

වෛරය හා ක්‍රෝධය අපි අභිබවා යමු.

දෙවියන්වහන්සේගේ සියළුම දරුවන් කෙරෙහි දයාවෙන් අපගේ හදවත් පුරවාගමු.

අපිට “පීඩා කරන්නන්” හටත් - අපි අනුන් වෙත දෑත දිගුහැර ආශිර්වාද කර, මෙහෙකරමු.5

සැබෑ අනුගාමිකයා.

තුන්වැනි සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙක් නිරූපණය කරයි. කරන්නට ඉතා අපහසු විය හැකි දෙයක් ඇය කළාය - උපහාසය ඉදිරියෙන් ඇය දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවාය. කෙසේ හෝ, ඇය වටා නින්දා, අපහාසයන් මැද්දේන් ඇගේ ඇදහිල්ල හා බලාපොරොත්තුව ඇය රැක ගත්තාය. ඇය ප්‍රීතිමත්ව ජීවත් වූයේ, ඇගේ පරිසරය ප්‍රීතිමත් නිසා නොව, ඇය ප්‍රීතිබර වූ නිසාවෙනි.

බාධක නොමැති අපි කිසිම අයෙකු ජිවන ගමනේ නොයයි. අපිව ඈත් කරන්නට මෙතරම් බලපෑම් පවතින විටදී, ඇදහිලිවන්තයින්ට පොරොන්දු වී ඇති උතුම් ප්‍රීතියට අපගේ අවධාණය ස්ථිර කරන්නේ කෙසේද?

වසර දහස් ගණනකට පෙර, අනාගතවක්තෘවරයෙකු දුටු සිහිනයක ඒ පිළිතුරු ඇති බව මට විශ්වාසයි. ඔහුගේ නම ලීහායි, ඔහුගේ සිහිනය අගනා මෝර්මන්ගේ පොතෙහි සටහන්ව තිබේ.

ඔහුගේ සිහිනයෙහි, ලීහායි විශාල තණතිල්ලක් මැද කියා නිම කළ නොහැකි තරම් ලස්සන පුදුමාකාර ගසක් දුටුවේය. ඒ ගස වෙතට විශාල පිරිසක් ගමන් කරන ආකාරය ද ඔහු දුටුවේය. එහි කීර්තිමත් ඵලය රස විදින්නට ඔවුන්ට අවශ්‍යව තිබුණි. ඔවුන්ට එයින් උතුම් ප්‍රීතියක් හා නොනිමෙන සැනසිල්ලක් ලැබෙන බව ඔවුහු විශ්වාස කළෝය.

ඒ ගස වෙතට පටු මාර්ගයක් මැද යන්නට තිබුණු අතර, එහි යන්නට උපකාරයක් ලෙස ලෝහ දණ්ඩක් තිබුණි. නමුත් මාර්ගයත්, ඒ ගසත් වැසී යන අඳුරු මී දුමාරයක්ද පැවතිනි. ඇතැම් විට ඊටත් වඩා භයානක වුණේ ඒ අසළ වූ විශාල, එළිමහන් ගොඩනැගිල්ලකින් පැමිණෙන සිනහවයි, උපහාසයයි. ඒ උපහාසයන් නිසාම ගස වෙතට පැමිණ, එම පුදුමාකාර ඵලයේ රස විඳි පිරිසකටත් ඉන් ලැජ්ජා සිති එතැනින් ඉවත්වන්නට ද සිදුවිය.6

පෙර සිතූ තරම් ගස රමණීය දැයි ඔවුන්ට සැක පහල වන්නට ඇති. ඔවුන් අත්වින්ද දේ යථාර්ථය ප්‍රශ්න කරන්නට ඔවුන් අරඹන්න ඇති.

ගසින් ඉවතට හැරුණු විට ජීවිතය පහසු වනු ඇතැයි සිතන්නට ඇති. ඔවුන් උපහාසයට ලක්වීම නතර වෙන්නට ඇති.

ඇත්තෙන්ම බැලුවහොත්, ඔවුන්ට උසුළු විසුළු කළ පිරිස සතුටින් කාලය ගත කරනවා යැයි පෙණුනි. ඔවුහු ගස අතහැර ගියොත්, ඔවුනුත් ඒ විශාල, එළිමහන් ගොඩනැගිල්ලේ පිරිස විසින් පිළිගෙන ඔවුන්ගේ තීරණයට, බුද්ධිමත්කමට, නිපුනත්වයට ප්‍රශංසා ලැබෙන්නටත් ඉඩ තිබෙනවා යැයි සිතෙන්නට ඇති.

මාර්ගයේ සිටින්න

දයාබර සහෝදරියනි, මිත්‍රයිනි, ලෝහ දණ්ඩට තදින් අල්වාගෙන ගැලවීම කරා නොපසුබටව යන්නට අසීරු විටදී; ආත්ම විශ්වාසයකින් යුතුව අනුන් ඔබට දක්වන උපහාසය හා විවේචනය නිසා සැලෙන්නේ නම්; තවමත් නොතේරුණු දහම් නිසාවෙන්, පිළිතුරු නැති ගැටළු නිසාවෙන් සිත් තැවුලෙන් සිටින්නේ නම්, බලාපොරොත්තු සුන් වීමේ නිසාවෙන් අධෛර්යමත්ව සිටින්නේ නම්, මම ඔබට ලීහායි ගේ සිහිනය මතක් කරන්නට අවවාද කරමි.

මාර්ගයේ රැඳී සිටින්න!

දෙවියන්ගේ වචනය - ලෝහ දණ්ඩ කිසිදා අත්නොහරින්න.

දෙවියන්වහන්සේගේ ආදරය භුක්තිවිඳීම ලැජ්ජා සහගත දෙයක් බව ඇඟවීමට කිසිවෙක් උත්සහ කලෝතින්, ඔවුන්ව නොසලකා හරින්න.

ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකි; උතුම් ආශිර්වාද ඉදිරියේ ඇත; උන්වහන්සේගේ කැමැත්ත කරන්න ඉගෙනගන්නා විට, නැවතත් උන්වහන්සේ සමඟ ජීවත්වන්නට ඉඩ ඇති බව අමතක කරන්න එපා!7

ලෝකයේ ප්‍රශංසාවේ, පිළිගැනීමේ පොරොන්දු අවිශ්වාසයි, අසත්‍යයි, අතෘප්තිමත්ය. දෙවියන්ගේ පොරොන්දු ස්ථාවරය, ප්‍රිතිමත්ය, අදටත් සදාකාලයටමත්ය.

ඉහළ පැතිකඩකින් ධර්මය හා අඳහිල්ල සලකන්නට මම ඔබට ආරාධනා කරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ස ශුභාරංචියේ ජීවත් වීමේ ඵලයට, විශාල එළිමහන් ගොඩනැගිල්ලේ ඇති කිසිවක් සම කළ නොහැක.

සැබවින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවක් ඇසින් නොදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ අනුගාමීකමේ මඟ, ප්‍රීතියට මාර්ගයක් බව මම අත්දැක තිබේ. එය සුරක්ෂිත බවට, සැනසිල්ලට මාර්ගයයි. එය සත්‍ය කරා යන මාර්ගයකි.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ තිළිණය හා බලයෙන්, ඔබටත් මෙය දැනගන්නට පුළුවන් බව මම සාක්ෂි දරමි.

ඒ අතරතුරේදී, මඟ අසීරු යැයි දැණුන විට, ඔබ සභාවේ යහපත් සංවිධාන තුළින් ශක්තිය හා රැකවරණය සොයාගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එනම් ප්‍රාථමික, තරුණ කාන්තාවන් හා සහන සමිතිය. ඒවා මාර්ගයේ නවාතැන්පොලවල් හා සමානයි, ඉදිරි ගමනට ඔබට අවශ්‍ය ධෛර්යය හා ඇදහිල්ල අලුත් කරගන්නට පුළුවන්. ඔබට එහි කොටස්කරුවෙක් යැයි හැඟවෙන්නා, සහෝදරියන් හා ඔබගේ මිත්‍ර අනුගාමිකයන්ගෙන් දිරිමත් කිරීම් ලබාගත හැකි ආරක්ෂිත නිවසකි.

ප්‍රාථමිකයේදී ඔබ ඉගෙනගන්නා දෑ, තරුණ කාන්තාවන් හිදී ඉගෙනගන්නා වැඩි දුර සත්‍යයන්ට මඟපාදයි. ඔබගේ තරුණ කාන්තාවන් පන්තියේදි ඇවිද යන මාර්ගයෙන්, සහන සමිතියේ මිත්‍රත්වයට හා සහෝදරිත්වයට ඔබව සුදානම් කරයි. මාර්ගයේ පියවරෙන් පියවරට, ඔබට දයාන්විත, කරුණාවන්ත ඇදහිලිවන්ත, සේවයේ ක්‍රියාකාරකම් මඟින් අනුන් කෙරෙහි ඔබ සතු ප්‍රේමය විදහා දක්වන්නට වැඩි දුර අවස්ථාද හිමිවේ.

මේ තෝරාගත් අනුගාමීත්වයේ මාර්ගය අවසන් වන්නේ ඔබේ දිව්‍යයමය ස්වභාවයේ කිව නොහැකි තරම් සතුටකින් හා තෘප්තියකින්.

එය පහසු කාර්යයක් නොවේ. ඔබ සතු සියල්ල - ඔබේ බුද්ධිය, නිර්මාණශීලිත්වය, ඇදහිල්ල, විශ්වාසවන්ත බව, ශක්තිය, ධෛර්යය, ප්‍රේමය උපරිමයට අවශ්‍ය වේ. නමුත් එක්තරා දිනයකදී ඔබ ආපසු හැරී බලා සිතන විටදී, ඔබ ශක්තිමත්ව, විශ්වාස තබමින්, මාර්ගයෙන් ඉවතට නොගොස් සිටි බවට කෙතරම් ස්තූතිවන්ත වනු ඇත්ද‍.

ඉදිරියට යන්න

ඔබට පාලනය කළ නොහැකි, ඔබේ ජීවිතයේ බොහෝ දෑ තිබෙන්නට පුළුවනි. නමුත් අවසානයේදී, ඔබට ඔබගේ ගමනාන්තය හා ඒ මාර්ගයෙහි අත්දැකීම් විදින්නට තීරණය කිරීමේ බලය ඔබ සතුයි. ජීවිතයේදී ඔබගේ හැකියාවට වඩා ඔබ ගන්නා තිරණ විශාල බලපෑම් සිදු කරයි.9

භාහිර බලපෑම් නිසා දුක්වෙන්නට ඉඩ දෙන්න එපා

ඔවුන් නිසා ඔබ කෝප වන්නට එපා

ඔබ දෙවියන්වහන්සේගේ දියණියක් බවට සතුටු විය හැක. දෙවියන්වහන්සේගේ මහිමයෙන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබට ප්‍රීතිය හා තෘප්තිය අත්කර ගත හැක.

ඔබට ප්‍රීතිමත් විය හැක.

දෙවියන්වහන්සේගේ නොනිමෙන, අනන්ත යහපතට ඇති ස්තූතිවන්ත බව තම හදවතේ පුරවාගන්නට මම ඔබට උනන්දු කරනවා. මාගේ දයාබර සහෝදරියනි, ඔබට මෙය කළ හැකියි! මගේ ආත්මේ ඇති දයාවේ උපරිමෙන්ම මම යාච්ඤා කරන්නේ ඔබ ජීවිතයේ වෘක්ෂය වෙතට ඉදිරියට යන්න තීරණය ගැනීමටයි. ඔබ හඬනගා තම ජීවිතය ප්‍රශංසාවේ අසිරිමත් ගීතයක් කර ගෙන, දෙවියන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ සභාව හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට මෙලොවට ගෙන දිය හැකි ආශ්චර්යයන් ගැන ප්‍රීතිමත් වනු ඇතැයි මම යාච්ඤා කරමි.

සමහරුන්ට අනුගාමීත්වයේ ගීතය, තාලයක් නැති බවට, ඝෝෂාකාරී බවට සිතෙන්නට පුළුවන්. කාලයේ මුල පටන්ම එය එසේ වී ඇත.

නමුත් අපගේ දෙවිපියාණන්වහන්සේටත්, උන්වහන්සේට ප්‍රේම කරන, ගරු කරන පිරිසටත් එය උතුම්, රමණීය ගී පදයකි. ගලවාගන්නා ප්‍රේමයක හා දෙවියන්ටත්, සහෘද මිනිසුන්ටත් සේවය කිරීමේ උත්කර්ෂවත්, ශුද්ධවත් ගීතයකි.10

ගෝලකමේ උතුම් මාර්ගයේ දිනෙන් දින සතුටින් පිය නගන විට ඔබට දෙවිපිණන් වහන්සේගේ දියණියක් ලෙස ප්‍රීතියෙන් වැජඹීමට ශක්තිය ලබන්නට, ස්වාමීන්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වශයෙන් ඔබහට මම ආශිර්වාද කරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමේන්.