අලුත් ගිවිසුම 2023
හැරීම අපගේ ඉලක්කයයි


“හැරීම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“හැරීම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
කාන්තාවක් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

හැරීම අපගේ ඉලක්කයයි

සියලුම ශුභාරංචි ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අරමුණ වන්නේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ පරිවර්තනය ගැඹුරු කිරීම සහ උන්වහන්සේලා හා සමාන වීමට අපට උපකාර කිරීමයි. මේ හේතුව නිසා, අපි ශුභාරංචිය අධ්‍යයනය කරන විට, අපි හුදෙක් නව තොරතුරු සොයන්නේ නැත; අප “නව ජීවියෙකු” වීම අවශ්‍යයි (2 කොරින්ති 5:17). මෙයින් අදහස් කරන්නේ අපගේ හදවත්, අපගේ අදහස්, අපගේ ක්‍රියාවන්, සහ අපගේ ස්වභාවයන් වෙනස් කිරීමට අපට උපකාර කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත රැඳී සිටීමයි.

නමුත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන සහ හැරීමේ ආශ්චර්යට තුඩුදෙන ආකාරයේ ශුභාරංචි ඉගෙනීම එකවරම සිදුනොවේ. එය පන්ති කාමරයකින් ඔබ්බට අපගේ හදවත් සහ නිවෙස් දක්වා විහිදේ. ශුභාරංචිය අවබෝධ කරගැනීමට හා ජීවත්වීමට, නොනවතින දිනපතා උත්සාහයන් අවශ්‍ය වේ. සැබෑ පරිවර්තනයකට තුඩුදෙන ශුභාරංචි ඉගෙනීමට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අවශ්‍ය වේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යයට මගපෙන්වන අතර එම සත්‍යය පිළිබඳව සාක්ෂි දරයි (බලන්න යොහාන් 16:13). උන්වහන්සේ අපගේ මනස ආලෝකවත් කරයි, අපගේ අවබෝධය වේගවත් කරයි, සියලු සත්‍යයන්ගේ උල්පත වන දෙවියන්වහන්සේගෙන් ලැබෙන එළිදරව් මගින් අපගේ හදවත් ස්පර්ශ කරයි. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් පවිත්‍ර කරයි. සත්‍යය අනුව ජීවත්වීමේ ආශාව උන්වහන්සේ අප තුළ ඇතිකරයි, සහ මෙය කිරීම සඳහා ආකාර උන්වහන්සේ අපට මුමුණයි. සැබවින්ම, “ශුද්ධාත්මයාණන්වහන්සේ … [අපට] සියල්ල උගන්වනු ඇත” (යොහාන් 14:26).

මෙම හේතු නිසා, ශුභාරංචිය අනුව ජීවත්වීමට, ඉගෙනීමට හා ඉගැන්වීමට අප දරන උත්සාහයේදී, අප පළමුව හා ප්‍රධාන වශයෙන් ආත්මයාණන්වහන්සේගේ සහකාරත්වය සෙවිය යුතුය. මෙම ඉලක්කය අපගේ තේරීම් පාලනය කළ යුතු අතර අපගේ සිතුවිලි හා ක්‍රියාවන්ට මගපෙන්විය යුතුය. අප ආත්මයාණන්වහන්සේගේ බලපෑමට ආරාධනා කරන ඕනෑම දෙයක් සෙවිය යුතු අතර, එම බලපෑම් ඉවත්කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කළ යුතුය—මක්නිසාද ශුද්ධාත්මයාණන්වහන්සේගේ පැමිණීමට අපට සුදුස්සෙකු විය හැකිනම්, ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ජීවත්වීමටද අප සුදුසු බව අපි දනිමු.