සෙමනේරි සහ ආයතනික පන්ති
ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න


“ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

රූපය
යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේදී

වෝල්ටර් රනේ විසින්, Peace I Leave with You [සාමය මම ඔබ සමඟ තබා යමි]

ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළ ඉගැන්වීමට බොහෝ දේවල් තිබේ—ප්‍රතිපත්ති, ආඥා, අනාවැකි, සහ ශුද්ධලියවිලි කථා. නමුත් මේ සියල්ල එකම ගසක අතු වේ, මන්ද ඒ සියල්ලටම එක අරමුණක් ඇත: සියලු මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට උපකාර කිරීම (බලන්න යාරොම් 1:11; මොරෝනි 10:32). ඉතින්, ඔබ කුමක් උගන්වමින් සිටියත්, ඔබ සැබවින්ම උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේ හා සමාන වන්නේ කෙසේද කියා බව මතකතබාගන්න. මේ එක් එක් ශුභාරංචි මූලධර්ම, ආඥා, සහ අනාවැකිමය ඉගැන්වීමක් තුළම, ගැලවුම්කරුවාණන් පිළිබඳ සහ උන්වහන්සේගේ මිදීමේ බලය පිළිබඳ සත්‍යයන් හඳුනාගැනීමට ශුද්ධාත්මයාණන්ට ඔබට උපකාර කළ හැකිය (බලන්න යාකොබ් 7:10–11).

ඔබ පරිත්‍යාගය ගැන උගන්වනවාද? අප කරන පරිත්‍යාග අපගේ ප්‍රාණයන් ගැලවුම්කරුවාණන්ගේ “ශ්‍රේෂ්ඨ සහ අවසාන පරිත්‍යාගය” වෙත යොමුකරන්නේ කෙසේදැයි ඉගෙනගන්නන් සමඟ ගවේෂණය කිරීම සලකා බලන්න (ඇල්මා 34:10). ඔබ එකමුතුකම ගැන උගන්වනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පියාණන් සමඟ ඇතිකරගත් එකමුතුකම සහ උන්වහන්සේලා සමඟ එක්වීමට අපට කළ ආරාධනය ගැන සාකච්ඡා කිරීම සලකා බලන්න (බලන්න යොහාන් 17). සෑම ශුභාරංචි මාතෘකාවක් දෙසම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීමට සහ ඉගෙනගැනීමට අවස්ථාවක් ලෙස බලන්න.

සෑම ආඥාවක්මත් මෙම අවස්ථාව ලබාදෙයි. ශුභාරංචියේ නීති ගැන පමණක් අවධානය යොමුනොකර—නීති සපයන්නා ගැනද ඉගෙනගන්න. ඔබ ප්‍රඥාවේ වචනය ගැන සාකච්ඡා කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කළ යුතු සහ නොකළ යුතු දේ ගැන උගන්වා එතනින් නැවතුනහොත්, මෙම නීතිය අපට ලබාදීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප ගැන—අපගේ අධ්‍යාත්මික හා ශාරීරික යහපැවැත්ම යන දෙකම ගැන—කෙතරම් ගැඹුරින් සැලකිලිමත් වන්නේ දැයි මෙනෙහි කිරීමේ අවස්ථාව ඔබට මගහැරෙන්නට පුළුවන්. ගැලවුම්කරුවාණන් අපට උන්වහන්සේගේ නීති අනුව ජීවත්වීමට උපකාර කිරීම සඳහා, උන්වහන්සේගේ බලයෙන් අපට ආශිර්වාද කිරීමට කෙතරම් කැමැත්තෙන් සහ උද්යෝගයෙන් සිටිනවාද යන්න පිළිබඳව අවධානය යොමුකරන්න. උන්වහන්සේ අපට දෙන සෑම ආඥාවක්ම උන්වහන්සේගේ මනස සහ කැමැත්ත සහ හදවත ගැන යමක් හෙළිකරයි—මෙය සොයාගැනීමෙන් එකට එකතුවී සතුටක් ලබන්න!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අවධාරණය කරන්න

සියලු ශුභාරංචි මූලධර්ම වල පරිපූර්ණ ආදර්ශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව හඳුනාගෙන, ඉගැන්වීමේ හා ඉගෙනීමේ ප්‍රධාන අරමුණ ලෙස උන්වහන්සේව තැබිය හැකිය. ගෝලයන් වශයෙන්, අපි ප්‍රතිපත්ති පමණක් අනුගමනය නොකරමු—අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නෙමු. අපි ගැලවුම්කරුවාණන්ගේ පරිපූර්ණ ආදර්ශය කෙරෙහි අවධානය යොමුකරන විට, ශුද්ධාත්මයාණන් උන්වහන්සේ ගැන සාක්ෂි දරන අතර උන්වහන්සේව අනුගමනය කිරීමට අපව පොළඹවනු ඇත.

ඔබ අවසානය දක්වා විඳදරාගැනීමේ මූලධර්මය උගන්වනවා යැයි මොහොතකට සිතන්න. ගැලවුම්කරුවාණන් අවසානය දක්වා විඳදරාගැනීමේ ආදර්ශයක් වන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට, උන්වහන්සේ කෙරෙහි මිහිරි ගෞරවයක් ඇතිකළ හැකිය. ඔබ උගන්වන අයට උන්වහන්සේගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ සහ දැනෙන්නේ කුමක්ද?

රූපය
ගැලවුම්කරුවාණන් බිම වැතිර සිටින මිනිසෙකුව සුවකරමින්

ගැලවුම්කරුවාණන් අප සැමට කදිම ආදර්ශයක් තැබුවේය. මයිකල් මැල්ම් විසින්, He Healed Them All [උන්වහන්සේ ඔවුන් සියල්ලන්වම සුවකළේය]

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නම්, භූමිකාවන්, සහ ගුණාංග ගැන උගන්වන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ශුද්ධලියවිලි වල බොහෝ නම් ඇත. ඒ සෑම එකක්ම දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේගේ එක් එක් භූමිකා පිළිබිඹු කරන අතර, උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග ගැන අපට උගන්වයි. දෙවියන්වහන්සේගේ බැටළු පැටවා, උපදේශකයා, අපගේ ඇදහිල්ල අවසන් කරන්නා, සහ ලෝකයේ ආලෝකය වැනි නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට උගන්වන්නේ කුමක්දැයි ඉගෙනගන්නන් සමඟ ගවේෂණය කිරීම ඔබට සලකා බැලිය හැකිය. එසේම, ගැලවුම්කරුවාණන් ගැන වැඩි විස්තර දැනගැනීමට ඉගෙනගන්නන්ට ඔබ උපකාර කරන විට, උන්වහන්සේ පැවසූ සහ කළ දෙයින් ඔබ්බට ගොස් උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ අපගේ ජීවිත තුළ ඉටුකිරීමට කැමති කාර්යභාරය කුමක්ද යන දේවල් වෙත යන්න. ගැලවුම්කරුවාණන්ගේ චරිතය සහ ගුණාංග ගැන ඔබ එකට එක්ව ඉගෙනගන්නා විට, ශුද්ධාත්මයාණන් උන්වහන්සේ කෙරෙහි ඔබේ අවබෝධය සහ ආදරය ගැඹුරු කරනු ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන සංඛේත සොයන්න

ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය, “සියලු දේ මවා, තවද මා ගැන සාක්ෂි දැරීමට සලස්වා ඇත” (මෝසෙස් 6:63; තවත් බලන්න 2 නෙපි 11:4). එම සත්‍යය මනසේ තබාගෙන, ගැලවුම්කරුවාණන් ගැන සාක්ෂි දරන සංඛේත රාශියක් ශුද්ධලියවිලි වල දැකීමට අපට ඉගෙනගත හැකිය. මෙම සංඛේත වලට පාන්, ජලය, සහ ආලෝකය වැනි දේ ඇතුළත් වේ. මෙම වස්තූන් ගැලවුම්කරුවාණන්ට සම්බන්ධ වන්නේ කෙසේදැයි අප තේරුම්ගත් පසු, ඒවාට උන්වහන්සේගේ බලය සහ ගුණාංග පිළිබඳ අපට ඉගැන්විය හැකිය. ශුද්ධලියවිලි වල අනාගතවක්තෘවරුන්ගේ සහ අනෙකුත් ඇදහිලිවන්ත පිරිමින්ගේ සහ ස්ත්‍රීන්ගේ ජීවිත වල ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයට සමාන්තරයන් පවා ඔබට සොයාගත හැකිය. සංඛේත සෙවීමෙන් ඔබ සාමාන්‍යයෙන් නොසලකා හැරිය හැකි ස්ථාන වල ගැලවුම්කරුවාණන් පිළිබඳ සත්‍යයන් හෙළිකරයි.