සෙමනේරි සහ ආයතනික පන්ති
විවිධ ඉගැන්වීම් සැකසුම් සහ ඉගෙනගන්නන් සඳහා යෝජනා


“විවිධ ඉගැන්වීම් සැකසුම් සහ ඉගෙනගන්නන් සඳහා යෝජනා,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“විවිධ ඉගැන්වීම් සැකසුම් සහ ඉගෙනගන්නන් සඳහා යෝජනා,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

රූපය
පිරිමින් පවුලට උගන්වමින්

විවිධ ඉගැන්වීම් සැකසුම් සහ ඉගෙනගන්නන් සඳහා යෝජනා

ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම ඕනෑම ඉගැන්වීමේ අවස්ථාවක් සඳහා—නිවසේදී, සභාවේදී, සහ වෙනත් ස්ථාන වලදී අදාළ විය හැකිය. කෙසේවෙතත්, සෑම අවස්ථාවක්ම එහි අනන්‍ය තත්වයන් සමඟ පැමිණේ. මෙම කොටස මගින් විවිධ ඉගෙනගන්නන් සහ ඉගැන්වීම් සැකසුම් සඳහා විශේෂිත වූ අමතර යෝජනා ලබාදෙයි.

නිවස සහ පවුල

ශුභාරංචිය ඉගැන්වීමට සහ ඉගෙනීමට හොඳම ස්ථානය නිවසයි

සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ නිවස “ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානය” විය යුතු බවයි (“ආදර්ශමත් පසුදවස් වල ශුද්ධවන්තයන් බවට පත්වීම,” ලියහෝනා, 2018 නොවැම්බර්, 113). සභාවේදී හෝ සෙමනේරියේදී සිදුවන ඉගැන්වීම වටිනවා සහ අවශ්‍ය වෙනවා, නමුත් එය ලබාදී ඇත්තේ නිවසේ සිදුවන ඉගැන්වීමට සහාය වීමක් ලෙසයි. අපටත් අපේ පවුල් වලටත් ශුභාරංචිය ඉගෙනීම සඳහා ප්‍රධාන සැකසුම—සහ හොඳම සැකසුම—නිවසයි.

නමුත් හොඳ ශුභාරංචිය ඉගෙනීමක් නිවසේදී ස්වයංක්‍රීයව සිදුවන බව එයින් අදහස් නොවේ; ඒ සඳහා අවංක උත්සාහයක් අවශ්‍ය වේ. සභාපති නෙල්සන් යෝජනා කර ඇත්තේ ඔබට “ඔබේ නිවස පරිවර්තනය” කිරීමට හෝ “ප්‍රතිසංස්කරණය කිරීමට” අවශ්‍ය විය හැකි බවයි—ඇත්තෙන්ම ඒ බිත්ති කඩා දැමීමෙන් හෝ නව බිම් ඇතිරිලි එකතු කිරීමෙන් නොවේ, නමුත් එම අධ්‍යාත්මික බවට ඔබේ දායකත්වය ඇතුළුව, ඔබේ නිවසේ ඇති සමස්ත අධ්‍යාත්මික බව තක්සේරු කිරීමෙනුයි (“ආදර්ශමත් පසුදවස් වල ශුද්ධවන්තයන් බවට පත්වීම,” 113). උදාහරණයක් ලෙස, ඔබේ නිවසේ ඇති සංගීතය, වීඩියෝ, සහ අනෙකුත් මාධ්‍ය; බිත්ති මත ඇති පින්තූර; සහ ඔබේ පවුලේ සාමාජිකයන් එකිනෙකාට කතා කරන ආකාරය සහ සලකන ආකාරය සලකා බලන්න. මේ දේවල් ශුද්ධාත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරනවාද? ඔබ තනි තනිව සහ පවුලක් වශයෙන් ශුභාරංචිය ඉගෙනීමට කාලය වෙන් කරනවාද? ඔබේ නිවසේ සිටින විට පවුලේ සාමාජිකයන්ට ආදරය, සුරක්ෂිතභාවය, සහ දෙවියන්වහන්සේට සමීප බව දැනෙනවාද?

ඔබේ නිවසේ අධ්‍යාත්මික පරිසරය පාලනය කිරීමට ඔබට හැකියාවක් ඇති බව ඔබට දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. එය එසේ නම්, ඔබට කළ හැකි හොඳම බලපෑම සහ උපකාරය සඳහා ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. උන්වහන්සේ ඔබේ ධර්මිෂ්ඨ උත්සාහයන්ට ගරු කරනු ඇත. ඔබ ශුභාරංචිය ඉගැන්වීමට සහ ඉගෙනීමට උත්සාහ කරන විට, ඔබට වහාම අපේක්ෂිත ප්‍රතිඵල නොපෙනුනත්, ඔබ සාර්ථක වෙමින් සිටියි.

නිවසේදී ඉගෙනීම සබඳතා මත පදනම් වේ

“ඔබ උගන්වන අයට ආදරය කරන්න” යන කියමන ශුභාරංචිය ඉගැන්වීම සඳහා සියලු සැකසුම් සඳහා අදාළ වේ, නමුත් නිවස තුළ, ආදරය වඩාත් ස්වභාවිකව පැමිණිය යුතු අතර වඩාත් ගැඹුරින් දැනිය යුතුය. ඔබේ නිවස බලාපොරොත්තු වනවාට වඩා කුඩා වුවත්ව, එය ශුභාරංචි ඉගැන්වීමේ මධ්‍යස්ථානය වීමට අදහස් කරන්නේ අපගේ වඩාත්ම කල්පවත්නා සබඳතා ගොඩනැගෙන්නේ එහි නිසයි. නිවසින් පිට සිටින ගුරුවරුන්ට ගුරුවරුන් ලෙස වැඩි පළපුරුද්දක් හෝ පුහුණුවක් තිබිය හැකි නමුත්, ඔවුන්ට කිසිවිටෙකත් නිවසේ පවතින ප්‍රේමනීය, සදාකාලික සබඳතා සඳහා ඇති හැකියාව ප්‍රතිනිර්මාණය කළ නොහැක. ඒ නිසා එම සබඳතා පෝෂණය කරන්න. ඔබේ පවුලේ සාමාජිකයන්ට ඇහුම්කන්දීමටත් ඔවුන් සමඟ විශ්වාසය සහ අවබෝධය ගොඩනගාගැනීමටත් අවශ්‍ය කාලය හා ශ්‍රමය වැය කරන්න. මෙය නිවසේදී ශුභාරංචිය ඉගැන්වීමට සහ ඉගෙනගැනීමට ඔබ දරන උත්සාහයන් සඳහා ස්ථිර පදනමක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

නිවසේදී ඉගෙනීම සැලසුම් කළ හැකි නමුත් සිය කැමැත්තෙන්මත් සිදුකළ හැකිය

බොහෝ සභා පන්ති සතියකට වරක්, නියමිත ආරම්භයක් සහ අවසානයක් සමඟ සිදුවේ, නමුත් සැමවිටම නිවසේදී සිදුවන්නේ මෙය නොවේ. ඔබට නියමිත නිවාස සන්ධ්‍යා පාඩමක් හෝ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනයක් තිබිය හැක, නමුත් පවුල තුළ ඉගැන්වීමේ අවස්ථා බොහෝ විට සිදුවන්නේ අවිධිමත්, එදිනෙදා අවස්ථාවන්හිදී—එනම් ආහාර ගන්නා විට, ගෙදර දොරේ වැඩ කරන විට, ක්‍රීඩාවක් කරන විට, රැකියාවට හෝ පාසලට යන විට, පොතක් කියවන විට, හෝ එකට චිත්‍රපටියක් නරඹන විට විය හැකිය. ආත්මික කුණාටු වලින් ගැලවුම්කරුවාණන් අපට රැකවරණය දෙන ආකාරය ගැන කතා කිරීමට වැසි කුණාටුවක් අවස්ථාවක් විය හැකිය. දුෂ්කර තීරණයක් ගැනීමට යන යෞවනයෙකු පෞද්ගලික එළිදරව් කිරීම් ගැන ඉගෙනගැනීමට සූදානමින් සිටිනවා විය හැකිය. බියට පත් දරුවෙකුට සැනසිලිදායකයාණන් පිළිබඳ ඔබේ සාක්ෂියෙන් ප්‍රයෝජන ගත හැකිය. එකිනෙකාට වැරදි ලෙස හැසිරෙන හෝ නරක ලෙස සලකන දරුවන්ට පසුතැවිලි වීම සහ සමාව දීම ගැන ඉගැන්විය හැකිය.

එවැනි අවස්ථාවන් සැලසුම් කරන ඒවා නොවන බැවින්, ඔබ සාම්ප්‍රදායික පාඩමක් සඳහා සූදානම් වන ආකාරයෙන් ඒවා සඳහා සූදානම් විය නොහැක. කෙසේවෙතත්, ආත්මයාණන්ට සංවේදී වීමෙන් සහ “සැමවිටම සූදානම්ව සිටීමට” උත්සාහ කිරීමෙන් ඔබට ඔබව සූදානම් කරගත හැකිය (1 පේත්‍රැස් 3:15). ඕනෑම මොහොතක් ඉගැන්වීමේ හෝ ඉගෙනීමේ මොහොතක් බවට පත්විය හැකිය.

නිවසේ ඉගෙනීම කුඩා, සරල, අඛණ්ඩ උත්සාහයන්ගෙන් සමන්විත වේ

නිවසේදී ශුභාරංචිය ඉගැන්වීමට දරන උත්සාහයන් සාර්ථක නොවන බව පෙනෙන විට දෙමාපියන් සමහර වෙලාවට අධෛර්යමත් වේ. තනි තනිව ගත් විට, එක් නිවාස සන්ධ්‍යාවක්, ශුද්ධලියවිලි අධ්‍යයන සැසියක්, හෝ ශුභාරංචි සංවාදයක් බොහෝ දේ ඉටුකරන බවක් නොපෙනේ. නමුත් කුඩා, සරල උත්සාහයන් එකතු කිරීමෙන්, කාලයත් සමඟ නිරන්තරයෙන් පුනරාවර්තනය වීමෙන්, ඉඳහිට විශේෂ අවස්තාවක උගන්වන හෝ ඉතා වැදගත් පාඩමකට වඩා ඒවා බලවත් හා ශක්තිමත් විය හැකිය. “එහෙත් සියලුම දේවල් නියමිත කාලයේදී සිදුවිය යුතු වන්නේය,” ලෙස ස්වාමින්වහන්සේ පැවසුවේය. “එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය” (දහම සහ ගිවිසුම් 64:32–33; තවත් බලන්න ඇල්මා 37:6–7). එබැවින් අත්හරින්න එපා, එමෙන්ම සෑම අවස්ථාවකදීම විශිෂ්ට දෙයක් ඉටුකිරීම ගැන කරදර වෙන්න එපා. ඔබේ උත්සාහයන් තුළ ස්ථාවර වන්න.

නිවස තුළ, ඉගෙනීම සහ ජීවත්වීම වෙන්කළ හැකි දේවල් නොවේ

ශුභාරංචිය නිවස තුළ ක්ෂණික දේ මත අදාළ වේ. එහිදී ඔබ ශුභාරංචිය ඉගෙනගන්නා අය, සෑම දිනකම ඔබ සමඟ ඒවා අනුව ජීවත් වන අය වනු ඇත. ඇත්තවශයෙන්ම, බොහෝ විට, ශුභාරංචිය අනුව ජීවත්වීම අප ශුභාරංචිය ඉගෙනගන්නා ආකාරයයි. එබැවින් ඔබ නිවසේදී ශුභාරංචිය ඉගෙනගන්නා විට සහ උගන්වන විට, ඔබ ඉගෙනගන්නා දේ ඔබ කරන දේ සමඟ සම්බන්ධ කිරීමට ක්‍රම සොයන්න. ඔබේ නිවස තුළ, ශුභාරංචිය ඔබ කතා කරන දෙයක් පමණක් නොව, ඔබ ජීවත් වීමට උත්සාහ කරන දෙයක් වීමට ඉඩ හරින්න.

රූපය
කාන්තාවක් ළමයින්ට උගන්වමින්

පවුල තුළ ඉගැන්වීමේ අවස්ථා බොහෝ විට අවිධිමත්, එදිනෙදා අවස්ථාවන්හිදී සිදුවේ.

දරුවන්ට ඉගැන්වීම

දරුවන්ට විවිධත්වය අවශ්‍යයි

සියලුම දරුවන් වෙනස් වන අතර, ඔවුන් වර්ධනය වන විට, ඔවුන්ගේ අවශ්‍යතාද වෙනස් වනු ඇත. ඔබේ ඉගැන්වීමේ ක්‍රම වෙනස් කිරීම ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට ඔබට උපකාරී වනු ඇත. උදාහරණයක් ලෙස, පහත සඳහන් දේ භාවිතා කිරීම සලකා බලන්න:

  • කතන්දර. ශුභාරංචිය එදිනෙදා ජීවිතයට අදාළ වන ආකාරය දැකීමට කතන්දර දරුවන්ට උපකාර කරයි. ශුද්ධලියවිලි වලින්, ඔබේම ජීවිතයෙන්, ඔබේ පවුල් ඉතිහාසයෙන්, හෝ සභා සඟරා වලින්, විශේෂයෙන්ම ගැලවුම්කරුවාණන් පිළිබඳ කතන්දර භාවිතා කරන්න. පින්තූර අල්ලාගෙන සිටීමෙන්, වාක්‍ය ඛණ්ඩ පුනරුච්චාරණය කිරීමෙන්, හෝ කොටස් නිරූපණය කිරීමෙන්—එම කතාවට ළමයින්ව සම්බන්ධ කරගැනීමට ක්‍රම සැලසුම් කරන්න.

  • දෘශ්‍ය ආධාරක. පින්තූර, වීඩියෝ, සහ වස්තූන් වලට දරුවන්ට ශුභාරංචි මූලධර්ම තේරුම්ගැනීමට සහ මතකතබාගැනීමට උපකාර කළ හැකිය. බොහෝ පින්තූර සහ වීඩියෝ ChurchofJesusChrist.org හි මාධ්‍ය පුස්තකාලයෙන් සොයාගත හැකිය.

  • සංගීතය. ගීතිකා සහ අනෙකුත් පූජනීය ගීත වලට දරුවන්ට දෙවියන්වහන්සේගේ ආදරය දැනීමට, ආත්මයාණන්ව දැනීමට, සහ ශුභාරංචි සත්‍යයන් ඉගෙනගැනීමට උපකාර කළ හැකිය. තනු, රිද්ම, සහ සරල තාල ඉදිරි වසර සඳහා ශුභාරංචි සත්‍යයන් මතකතබාගැනීමට දරුවන්ට උපකාර කරයි. ඔබ දරුවන් සමඟ ගායනා කරන විට, එම ගීත වල උගන්වන මූලධර්ම සොයාගැනීමට සහ තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

බොහෝ දරුවන් ඉන්ද්‍රියයන් කිහිපයක් සම්බන්ධ වූ විට හොඳින් ඉගෙනගනිති. දරුවන්ට ඔවුන් ඉගෙනගන්නා විට ඔවුන්ගේ පෙනීම, ශ්‍රවණය, සහ ස්පර්ශය යන ඉන්ද්‍රියයන් භාවිතා කිරීමට උපකාර කිරීමට ක්‍රම සොයන්න. සමහර අවස්ථා වලදී, ඔවුන්ගේ සුවඳ සහ රසය පිළිබඳ සංවේදනයන්ද ඇතුළත් කිරීමට ඔබට ක්‍රම සොයාගත හැකිය!

ළමයින් නිර්මාණශීලීය

“ඔබ ළමයින්ට ශුභාරංචි මූලධර්මයක් හා සම්බන්ධ යමක් ඇඳීමට, ගොඩනැගීමට, පාට කිරීමට, හෝ ලිවීමට ආරාධනා කරන විට, එම මූලධර්මය වඩා හොඳින් වටහාගැනීමට ඔබ ඔවුන්ට උදව් කරන අතර, ඔවුන් ඉගෙනගත් දේ පිළිබඳ පැහැදිලි මතක්කිරීමක් ඔබ ඔවුන්ට ලබාදේ. ඔවුන් ඉගෙනගත් දේ අන් අය සමඟ බෙදාගැනීමට ඔවුන් නිර්මාණය කළ දේ ඔවුන්ට භාවිතා කළ හැකිය. මිතුරා සඟරාවේ සෑම කලාපයකම ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

ළමයින් කුතුහලයෙන් සිටිති

දරුවන් ප්‍රශ්න අසන විට ඒවා අවධානය වෙනතකට යොමුකරන දේවල් ලෙස නොව අවස්ථා ලෙස දකින්න. දරුවන්ගේ ප්‍රශ්න ඔවුන් ඉගෙනීමට සූදානම් බවට ඇඟවීමක් වන අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් සිතන සහ ඔවුන්ට දැනෙන දේ පිළිබඳ වටිනා අවබෝධයක් ඔබට ලබාදෙයි. ඔවුන්ගේ අධ්‍යාත්මික ප්‍රශ්න වලට පිළිතුරු ශුද්ධලියවිලි වලින් සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන වලින් සොයාගත හැකි බව දැකීමට ඔවුන්ට උපකාර කරන්න.

දරුවන් කඩාකප්පල්කාරී අවස්ථා වලදී පවා ඔවුන්ට ආදරය අවශ්‍යයි

සමහර අවස්ථා වල දරුවා අන් අයගේ ඉගෙනීම කඩාකප්පල් වන ආකාරයෙන් ක්‍රියා කරයි. බොහෝ කඩාකප්පල් කිරීමේ හැසිරීම් අවධානය යොමු නොවූ අවශ්‍යතාවයක් මත වර්ධනය වේ. මෙය සිදුවූ විට, දරුවා මුහුණදෙමින් සිටිය හැකි අභියෝග ගැන ඉවසීමෙන්, ආදරයෙන්, සහ අවබෝධයෙන් සිටින්න. ඔහුට හෝ ඇයට ධනාත්මක ආකාරයෙන් පාඩමට සහභාගී වීමට තවත් අවස්ථා අවශ්‍ය විය හැකිය—නිදසුනක් වශයෙන්, පින්තූරයක් අල්ලාගෙන සිටීමෙන්, යමක් ඇඳීමෙන්, හෝ ශුද්ධලියවිල්ලක් කියවීමෙන්.

දරුවෙකු දිගටම බාධාකාරී ලෙස හැසිරෙන්නේ නම්, ඔහු හෝ ඇය සමඟ පුද්ගලිකව කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. ආදරයේ සහ ඉවසීමේ ආත්මයකින්, ඔබේ අපේක්ෂාවන් සහ ඔහුට හෝ ඇයට ඒවා සපුරාලිය හැකි බවට ඔබේ විශ්වාසය පැහැදිලි කරන්න. දරුවා වඩා හොඳ තේරීම් කරන විට දරුවාව ප්‍රශංසා කරන්න.

දරුවන්ට බෙදාගැනීමට බොහෝ දේ ඇත

දරුවන් අලුත් දෙයක් ඉගෙනගන්නා විට, ඔවුන්ට ස්වභාවිකවම එය අන් අය සමඟ බෙදාගැනීමට අවශ්‍යතාවයක් ඇති වේ. එකිනෙකාට, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, සහ ඔවුන්ගේ මිතුරන්ට ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට දරුවන්ට අවස්ථා ලබාදීමෙන් මෙම ආශාව දිරිමත් කරන්න. ඔබ උගන්වන මූලධර්ම වලට අදාළ ඔවුන්ගේ සිතුවිලි, හැඟීම්, සහ අත්දැකීම් ඔබ සමඟ බෙදාගැනීමටද ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔවුන්ට සරල, නිර්මල, සහ බලවත් අදහස් ඇති බව ඔබට පෙනීයනු ඇත.

දරුවන්ට ආත්මයාණන්ව දැනිය හැකි නමුත් උන්වහන්සේගේ බලපෑම හඳුනාගැනීමට උපකාර අවශ්‍ය විය හැකිය

තවමත් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබී නොමැති දරුවන්ට පවා, විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඉගෙනගන්නා විට, උන්වහන්සේගේ බලපෑම දැනිය හැකිය. ඔවුන් ධර්මිෂ්ඨ තේරීම් කරන විට, ආත්මයාණන් තුළින් ගැලවුම්කරුවාණන්ගේ අනුමැතිය ඔවුන්ට දැනිය හැකිය. ආත්මයාණන්වහන්සේ අප සමඟ සන්නිවේදනය කරන විවිධ ආකාර ගැන දරුවන්ට උගන්වන්න. උන්වහන්සේ ඔවුන්ට කතා කරන විට උන්වහන්සේගේ හඬ හඳුනාගැනීමට ඔවුන්ට උපකාර කරන්න. මෙය ඔවුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පුද්ගලික එළිදරව් සෙවීමේ සහ ඒවා අනුව ක්‍රියා කිරීමේ පුරුද්දක් වර්ධනය කරගැනීමට උපකාරී වේ.

යෞවනයින්ට ඉගැන්වීම

යෞවනයන්ට විශාල විභවයක් ඇත

ස්වාමින්වහන්සේගේ සේවය තුළ කැපීපෙනෙන දේවල් කිරීමට යෞවනයන්ට හැකියාව තිබේ. යෞවනයන්ගේ අධ්‍යාත්මික හැකියාවන් ගැන දෙවියන්වහන්සේට විශ්වාසයක් තිබෙන බව ශුද්ධලියවිලි වල වාර්තා වී ඇති බොහෝ අත්දැකීම් වලින් පැහැදිලි වේ. ඔබ ඔවුන්ව විශ්වාස කරන බව යෞවනයන්ට හැඟෙන්නේ නම්, ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් කෙරෙහි ඔවුන්ගේ ආත්ම-විශ්වාසය වර්ධනය වන අතර ඔවුන්ට කළ හැකි දේ ගැන ඔවුන් ඔබව මවිතයට පත්කරනු ඇත. ඔවුන්ට විය හැකි බව ස්වර්ගික පියාණන්වහන්සේ දන්නා දේ දැකීමට ඔවුන්ට ආදරයෙන් උපකාර කරන්න. ඔවුන්ට දිගටම ප්‍රේම කිරීමෙන් සහ දිරිගැන්වීමෙන්, ඉවසිලිවන්තව ඔවුන් සමඟ ක්‍රියා කිරීමෙන්, සහ කිසිවිටෙක ඔවුන්ව අත් නොහැරීමෙන් ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරන්න.

යෞවනයන් තමන් ගැනම ඉගෙනගනිමින් සිටිති

ඔබ උගන්වන යෞවනයන් ඔවුන්ගේ සාක්ෂියේ පදනම දමමින් සිටිති. ඔවුන් තම විශ්වාසයන් සහ අවබෝධයන් සොයාගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිති. ඔවුන් තම ජීවිතයට බලපාන තීරණ ගනිමින් සිටිති. මෙම අනතුරුදායක කාල වලදී ආත්මිකව දිවි ගලවා ගැනීමට සහ ඔවුන් වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ මෙහෙවර ඉටුකිරීමට, ඔබ උගන්වන යෞවනයන් තම පරීක්ෂා වලදී ශක්තිය සොයාගන්නේ කෙසේද කියාත්, ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු, සහ “දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට” ධෛර්යය ලබාගන්නේ කෙසේද කියාත් දැන සිටිය යුතුය (මොසායා 18:9).

යෞවනයින් තුළ හුදු දේවල් කියා දෙනවාට වඩා තර්කානුකූලව හා අත්දැකීමෙන් දේවල් ඉගෙනගැනීමට වර්ධනය වෙමින් ඇති ආශාවක් පවතී. මෙයින් අදහස් කරන්නේ යෞවනයන්ට ඉගැන්වීමට හොඳ සවන්දීමේ කුසලතා අවශ්‍ය වන බවයි. යෞවනයන්ව තේරුම්ගත් විට, ඔවුන්ට උපදෙස් හා මගපෙන්වීම සඳහා වඩාත් විවෘත බවක් දැනෙනු ඇත. ස්වාමින්වහන්සේ ඔවුන්ව හඳුනන බවත් ඔවුන් ප්‍රශ්න සහ පරීක්ෂාවන් සමඟ පොරබදින විට ඔවුන්ට උපකාර කරන බවත් ඔවුන්ට සහතික වන්න. දිනපතා යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේ පුරුද්දක් ඇතිකරගැනීමෙන් සහ අන් අයට සේවය කිරීමෙන් ඔවුන්ට උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කළ හැකිය. සභාවේ පන්ති වලට සහභාගී වීමට සහ තනිවම අධ්‍යයනය කිරීමට යෞවනයන් දිරිමත් කිරීම ඔවුන්ගේ දිව්‍යමය උරුමය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය ගොඩනගන පුද්ගලික අත්දැකීම් ලබාගැනීමට ඔවුන්ට උපකාර කළ හැකිය.

බොහෝ යෞවනයන් තාක්‍ෂණය ඉතා පහසුවෙන් භාවිතා කරමින් සිටිති

ඔබ උගන්වන යෞවනයන්ට ඔවුන්ගේම ඉලෙක්ට්‍රොනික උපාංග තිබේ නම්, මෙම උපකරණ ඉගෙනීම වැඩිදියුණු කරන මෙවලම් බව මතකතබාගන්න. ශුභාරංචි පුස්තකාලයේ ඇති ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික ශුද්ධලියවිලි සහ අනෙකුත් සම්පත් භාවිතා කරන ආකාරය ඔවුන්ට උගන්වන්න. ඔබට ඉදිරි පාඩම් සඳහා සූදානම් වීම සඳහා යෞවනයින්ට පණිවිඩ සහ සබැඳි යැවිය හැකිය.

රූපය
ඉරිදා පාසල් පන්තිය

යෞවනයින් ඔවුන්ට විය හැකි බව ස්වර්ගික පියාණන්වහන්සේ දන්නා දේ තේරුම්ගැනීම අවශ්‍යයි.

වැඩිහිටියන්ට ඉගැන්වීම

වැඩිහිටියන්ට ඔවුන්ගේ ඉගෙනීම සඳහා වගකීම ගත හැකිය

වැඩිහිටි ඉගෙනගන්නන්ට ශුභාරංචි ඉගෙනුම් සැකසුම් තුළ තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව ඇත (බලන්න 2 නෙපි 2:26). යමක් කලින් අධ්‍යයනය කිරීමෙන් ශුභාරංචි සාකච්ඡා සඳහා සූදානම් වීමට ඔවුන්ට ආරාධනා කරන්න, ආත්මයාණන්ගෙන් ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඔවුන් එකට එක්ව ඉගෙනීමට කාලය ගතකිරීමට කැමති කුමන ශුභාරංචි මූලධර්ම පිළිබඳවද යන්න ඔබට ඔවුන්ගෙන් ඇසිය හැකිය.

වැඩිහිටියන් ඉගෙනීමේදී ඔවුන්ගේ අත්දැකීම් මත රැඳී සිටිති

යෝබ් මෙසේ පැවසුවේය, “ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය” (යෝබ් 12:12). සාමාන්‍යයෙන්, ප්‍රඥාව සහ අධ්‍යාත්මික අවබෝධය පැමිණෙන්නේ වසර ගණනාවක අත්දැකීම් වලින් පසුවය. ඔබ වැඩිහිටියන්ට උගන්වන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනැගී ඇති අත්දැකීම් බෙදාගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඔවුන් අධ්‍යයනය කරන ශුභාරංචිය මූලධර්ම සත්‍ය බව ඔවුන් දැනගත් ආකාරය ගැන සාක්ෂි දීමට මෙය ඔවුන්ට අවස්ථාවන් ලබාදෙනු ඇත. අත්දැකීම් බෙදාගැනීමෙන් ඔබ උගන්වන අය අතර සබඳතා ගොඩනැගී, “සියල්ලෝම සියල්ලෙන්ම අභිවෘධිය ලබන පිණිසය,” එකිනෙකාට උපකාර කරයි (දහම සහ ගිවිසුම් 88:122).

වැඩිහිටියන් ප්‍රායෝගික යෙදීම් සොයයි

ඔබ උගන්වන වැඩිහිටියන්ට ඔවුන්ගේ වෘත්තීන්, ප්‍රජාවන්, සභා කැඳවීම්, සහ පවුල්වල බොහෝ භූමිකාවන් සහ වගකීම් තිබිය හැකිය. ඔවුන් ශුභාරංචිය අධ්‍යයනය කරන විට, ඔවුන් බොහෝ විට සිතන්නේ ඔවුන් ඉගෙනගන්නා දේ එම භූමිකාවන් සඳහා ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද යන්න ගැනය. ඔවුන්ගේ අනන්‍ය තත්වයන්ට දෙවියන්වහන්සේගේ වචනය අදාළ වන්නේ කෙසේදැයි බැලීමට ඔවුන්ට ආරාධනා කරන්න. ශුභාරංචිය මූලධර්ම ඔවුන්ගේ ජිවිත වලට අර්ථවත් සහ අදාළ වන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසීමෙන් ඔබට මෙය කළ හැකිය.

වැඩිහිටියන්ට සංකීර්ණ ආකාර වලින් සිතිය හැකිය

ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම නිසා, ශුභාරංචි ප්‍රශ්න වලට සෑමවිටම පහසු පිළිතුරු නොමැති බව වැඩිහිටියන් දනිති. ශුද්ධලියවිලි ඡේදයකට බහුවිධ අර්ථයන් තිබිය හැකි බව ඔවුන්ට අගය කළ හැකි අතර, එක් ශුභාරංචි මූලධර්මයක් විවිධ ජීවන තත්වයන් සඳහා අදාළ කරගැනීමට ඔවුන්ට හැකිය. ශුභාරංචි මූලධර්ම එකිනෙක සම්බන්ධ වන්නේ කෙසේද සහ ඔවුන්ගේ ජීවිත වල එමගින් සිදුවන දේ ගැන මෙනෙහි කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඔවුන්ට එකිනෙකාගේ අද්විතීය දෘෂ්ටිකෝණයන්ගෙන් ඉගෙනගැනීමට හැකිවන පරිදි සහභාගීත්වය සහ සාකච්ඡාව දිරිමත් කරන්න.

රූපය
කාන්තාවක් පන්තියකට උගන්වමින්

වැඩිහිටියන්ට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනගා ඇති බොහෝ අත්දැකීම් බෙදාගත හැකිය.

ආබාධ සහිත පුද්ගලයින්ට ඉගැන්වීම

සෑම පුද්ගලයෙකුටම වර්ධනය වීමට සහ දියුණු වීමට උපකාර කරන්න

ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වූවේය, “දෙවියන්වහන්සේ ලෝකයට එවන ලද සියලුම මනසවල් සහ ආත්මයන්ට විශාල වීමට ඉඩ ඇත” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 210). දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට දැනුම වැඩිකර ගැනීමට හා දියුණු වීමට හැකි බව සිතන්න. එක් එක් පුද්ගලයාට උපකාර කරන ආකාරය දැනගැනීමට ඔබට උපකාර කරන ලෙස ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්න.

විශේෂිත අවශ්‍යතා ගැන ඉගෙනගන්න

ඉගෙනගන්නන් හෝ ඔවුන්ගේ දෙමාපියන් හෝ රැකබලා ගන්නන් සමඟ කතා කරන්න. එක් එක් පුද්ගලයා වඩාත් හොඳින් ඉගෙනගන්නේ කෙසේද සහ වඩාත් ප්‍රයෝජනවත් වන උපාය මාර්ග මොනවාදැයි සොයා බලන්න. බෙදාගැනීමට අත්දැකීම් සහ අදහස් ඇති අනෙකුත් නායකයින් සහ ගුරුවරුන්ගෙන්ද ඔබට උපදෙස් ලබාගත හැකිය. උපකාරක ඉගැන්වීමේ උපාය මාර්ග සඳහා, බලන්න disabilities.ChurchofJesusChrist.org.

ධනාත්මක වටපිටාවක් නිර්මාණය කරන්න

සෑම කෙනෙකුටම ආරක්ෂිත සහ ආදරය දැනෙන ධනාත්මක වටපිටාවක් නිර්මාණය කරන්න. ආබාධ සහිත සියලුම ඉගෙනගන්නන් එක හා සමාන යැයි නොසිතන්න, සෑම පුද්ගලයෙකුටම ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්න. කරුණාවන්ත වීමට සහ පිළිගැනීමට අන් අයව දිරිමත් කරන්න.

සියල්ලන්ටම සහභාගී විය හැකි බවට සහතික වන්න

ශාරීරික සීමාවන් හෝ ඉගෙනීමේ දුෂ්කරතා ඇති අය ඇතුළුව සියලුම ඉගෙනගන්නන්ට ඉගෙනගත හැකි බව සහතික කිරීම සඳහා ක්‍රියාකාරකම් සඳහා කුඩා වෙනස්කම් සිදුකළ හැකිය. නිදසුනක් වශයෙන්, කිසියම් ක්‍රියාකාරකමක් පින්තූරයක් පෙන්වීමට යෝජනා කරන්නේ නම්, දෘශ්‍යාබාධිත සිසුන් ඇතුළත් කිරීම සඳහා ඔබට එයට අදාළ ගීතයක් ගායනා කළ හැකිය.

ස්ථාවර චර්යාවන් සහ ව්‍යුහයක් ස්ථාපිත කරන්න

චර්යාවක් ස්ථාපිත කිරීම සඳහා එක් ක්‍රමයක් වන්නේ කාලසටහනක් සහිත පෝස්ටරයක් නිර්මාණය කිරීමයි. ඔබේ කාලසටහනට යාච්ඤා, ඉගැන්වීමේ වේලාවන්, සහ ක්‍රියාකාරකම් සඳහා කාලය ඇතුළත් විය හැකිය. කාලසටහනක් අනුගමනය කිරීමෙන් සමහර ඉගෙනගන්නන් හට අවිනිශ්චිතභාවය සහ කාංසාව පිළිබඳ හැඟීම් අඩු කරගත හැකිය.

අභියෝගාත්මක හැසිරීම් සිදුවන්නේ මන්දැයි තේරුම්ගන්න

පුද්ගලයෙකුට නුසුදුසු ලෙස ක්‍රියා කිරීමට බලපෑම් කළ හැකි ආබාධ හෝ තත්වයන් ගැන ඉගෙනගන්න. අභියෝගාත්මක හැසිරීම් පැනනගින විට සිදුවන දේ ගැන ප්‍රවේශමෙන් අවධානය යොමුකරන්න. ඉගෙනගන්නන්ට වඩා හොඳින් උපකාර කිරීම සඳහා තත්වය වෙනස් කරන්නේ කෙසේදැයි යාච්ඤාවෙන් යුතුව සලකා බලන්න.

ආබාධ සහිත පුද්ගලයින්ට ඉගැන්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, බලන්න disabilities.ChurchofJesusChrist.org.

රූපය
තරුණ කාන්තා පන්තිය

සෑම කෙනෙකුටම පිළිගැනීම සහ ආදරය දැනෙන ධනාත්මක ඉගෙනුම් පරිසරයක් ගුරුවරුන්ට නිර්මාණය කළ හැකිය.

අන්තර්ජාලය හරහා ඉගැන්වීම

තාක්ෂණය සමඟ හුරුපුරුදු වන්න

ඔබේ පන්තියට හෝ රැස්වීමට පෙර, ඔබ භාවිතා කරන තාක්ෂණය පිළිබඳව හුරුපුරුදු වීමට යම් කාලයක් ගතකරන්න. වීඩියෝ හෝ පින්තූර බෙදාගන්නා ආකාරය වැනි එහි විශේෂාංග කිහිපයක් ගවේෂණය කරන්න. පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමඟ “පරීක්ෂණ” රැස්වීමක් පැවැත්වීම ගැන සලකා බලන්න.

බොහෝ කොට්ඨාශ සහ ස්ටේක වල තාක්ෂණික විශේෂඥයෙක් සිටියි. අන්තර්ජාලය හරහා කෙරෙන රැස්වීම් පිළිබඳ අත්දැකීම් ඇති වෙනත් අයද ඔබ දැන සිටිය හැකිය. ඔවුන්ගේ උපදෙස් හෝ මගපෙන්වීම උදෙසා විමසන්න.

විය හැකි බාධා ඉවත් කරන්න

හැකිනම්, ඔබේ රැස්වීමට සහභාගී වීමට නිහඬ ස්ථානයක් සොයාගන්න. පසුබිමේ ශබ්ද අවධානය වෙනතකට යොමුකළ හැකිය. එසේම කිරීමට හෝ ඔවුන් කතා නොකරන්නේ නම් ඔවුන්ගේ මයික්‍රෝෆෝනය නිශ්ශබ්දව තබාගන්නට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

කැමරාව භාවිතා කරන්න

හැකිනම්, ඔබේ කැමරාව විවෘත කර තබාගන්න, එවිට ඉගෙනගන්නන්ට ඔබේ මුහුණ දැකගත හැකිය. ඔවුන්ගේ කැමරාවන්ද සක්‍රීය කිරීමට ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න (නමුත් අත්‍යවශ්‍ය නොවේ). මෙය සමගිය සහ අන්‍යෝන්‍ය සහයෝගයේ ආත්මයක් ඇතිකිරීමට උපකාරී වේ.

Virtual Chat [කතාබස් කවුළුව] විශේෂාංගය භාවිතා කරන්න

අන්තර්ජාලය හරහා බොහෝ රැස්වීම් වැඩසටහන්, සහභාගිවන්නන්ට කතාබස් කවුළුවක ප්‍රශ්න හෝ අදහස් ලිවීමට ඉඩදෙයි. සහභාගිවන්නන්ට අන්තර්ජාලය හරහා දෑත් එසවීමටද සමහර ඒවා ඉඩදිය හැකිය. මෙම විශේෂාංග ගැන ඉගෙනගන්නන්ට දැනගැනීමට සලස්වන්න. සාකච්ඡාව මෙහෙයවීමට ඔබේ අවධානය යොමුකිරීමට හැකිවන පරිදි කතාබස් වල අත් එසවීම් සහ අදහස් බැලීමට යමෙකුව පත්කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය.

ඉගෙනගන්නන්ව සම්බන්ධ කරගැනීමට මාර්ග සොයන්න

අන්තර්ජාලය හරහා ඉගෙනුම් සැකසීම් සමහරවිට මිනිසුන්ට ඉදිරිපත් වීම සහ කතා කිරීම අපහසු කරවයි. සම්බන්ධ වීමට කැමති අයව සම්බන්ධ කරගැනීමට දැනුවත් උත්සාහයක් ගන්න. සමහරවිට මේ සඳහා කුඩා කණ්ඩායම් නිර්මාණය කිරීම අවශ්‍ය විය හැකිය (උදාහරණයක් ලෙස, විශාල ඉරිදා පාසල් පන්තියක් කොටස් වලට වෙන්කිරීම). සමහරවිට එයින් අදහස් වන්නේ නිශ්චිත ආකාරයකින් සහභාගී වීමට ඉගෙනගන්නන්ගෙන් කලින් ඉල්ලා සිටීමයි. තාක්‍ෂණයේ සීමාවන් නිසා ඉගෙනීමට උනන්දුවෙන් සිටින පුද්ගලයන් ගැන ඔබට අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඉඩ නොදෙන්න.