අත්පොත් සහ කැඳවීම්
20. ක්‍රියාකාරකම්


“20. ක්‍රියාකාරකම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“20. ක්‍රියාකාරකම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
වතුර විදිනයක් සහිත තරුණ ගැහැණු ළමයෙක්

20.

ක්‍රියාකාරකම්

20.1

අරමුණු

සභාවේ ක්‍රියාකාරකම් මගින් සභාවේ සාමාජිකයින්ව සහ අනෙක් අයව “ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියන්” ලෙස එකට එක් කරයි (එපීස 2:19). ක්‍රියාකාරකම් සඳහා පහත සඳහන් අරමුණු ඇතුළත් විය හැකිය:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීම.

  • විනෝදය ලබා දීම සහ සමගිය පෝෂණය කිරීම.

  • පුද්ගලික වර්ධනය සඳහා අවස්ථා ලබා දීම.

  • පුද්ගලයින් සහ පවුල් ශක්තිමත් කිරීම.

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට සාමාජිකයින්ට උපකාර කිරීම (බලන්න 1.2).

20.2

ක්‍රියාකාරකම් සැලසුම් කිරීම

ක්‍රියාකාරකමක් සැලසුම් කිරීමට පෙර, නායකයින් සාමාජිකයින්ගේ අධ්‍යාත්මික හා ලෞකික අවශ්‍යතා සලකා බලති. එම අවශ්‍යතා සපුරාලීමට උපකාරී වන්නේ කුමන ආකාරයේ ක්‍රියාකාරකමක්ද යන්න තීරණය කිරීමේදී නායකයින් ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයති.

20.2.1.

ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සඳහා වූ වගකීම

ප්‍රාදේශීය අවශ්‍යතා මත පදනම්ව, කොට්ඨාශ ක්‍රියාකාරකම් පහත සඳහන් ඕනෑම ආකාරයකින් සැලසුම් කළ හැකිය:

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවට මෙම සැලසුම් කිරීම අධීක්ෂණය කළ හැකිය.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවට, ක්‍රියාකාරකම් එකක් හෝ කිහිපයක් සැලසුම් කිරීමට උපකාර කිරීම සඳහා නිශ්චිත සංවිධාන වලට පැවරිය හැකිය.

  • අවශ්‍ය වූ විට සහ ප්‍රමාණවත් සාමාජිකයන් සිටින විට, සභානායකවරයාට කොට්ඨාශ ක්‍රියාකාරකම් කමිටුවක් සංවිධානය කළ හැකිය.

කොට්ඨාශ යෞවන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම පිළිබඳ තොරතුරු සඳහා, 10.2.1.3 සහ 11.2.1.3 බලන්න.

20.2.2

සහභාගී වන ලෙස සැමට ආරාධනා කිරීම

ක්‍රියාකාරකම් සැලසුම් කරන අය, සෑම කෙනෙක් වෙතම එනම් විශේෂයෙන්ම නව සාමාජිකයන්, අඩු ක්‍රියාකාරී සාමාජිකයන්, යෞවනයින්, තනි වැඩිහිටියන්, ආබාධ සහිත අය සහ වෙනත් ආගම්වල අය වෙත එය දැන්විය යුතුය.

ක්‍රියාකාරකම් නිසා නායකයින්ට සහ සාමාජිකයින්ට අනවශ්‍ය බරක් පැටවීම සිදු නොවිය යුතුය.

20.2.3

ප්‍රතිපත්ති

සභාවේ ක්‍රියාකාරකම් නඟාසිටුවිය යුතු අතර “ගුණවත් වූද, ප්‍රේමනීය වූද, එමෙන්ම සම්භාවනීය වූ හෝ ප්‍රසංසාවට යෝග්‍ය වූ” දේ අවධාරණය කළ යුතුය (ඇදහිල්ලේ කරුණු 1:13). මෙම ක්‍රියාකාරකම්වලට සභාවේ ඉගැන්වීම්වලට පටහැනි කිසිවක් ඇතුළත් විය නොහැකිය.

20.2.6

ක්‍රියාකාරකම් සඳහා අරමුදල්

බොහෝ ක්‍රියාකාරකම් සරල විය යුතු අතර අඩු වියදමක් හෝ වියදමක් නොමැති ඒවා විය යුතුය. ඕනෑම වියදමක් සභානායකත්වය හෝ ස්ටේක සභාපතිවරයා විසින් කල්තියා අනුමත කළ යුතුය.

සාමාජිකයින් සාමාන්‍යයෙන් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට මුදල් නොගෙවිය යුතුය. ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලබාදීම පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සඳහා, 20.6 බලන්න.

20.4

යෞවන සම්මන්ත්‍රණය

තරුණ පිරිමි ළමුන්ගේ සහ තරුණ ගැහැණු ළමුන්ගේ වයස අවුරුදු 14 ක් වන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට, යෞවන සම්මන්ත්‍රණයකට එකට එක්ව සහභාගී වීමට ඔවුන්ට ආරාධනා කරනු ලැබේ. යෞවන සම්මන්ත්‍රණ සාමාන්‍යයෙන් වසරකට වරක් කොට්ඨාශ හෝ ස්ටේක මට්ටමින් පවත්වනු ලැබේ. ඒවා ස්ටේක කිහිපයක එකතුවකින් හෝ ප්‍රාදේශීය මට්ටමින් ද පැවැත්විය හැකිය. FSY සම්මන්ත්‍රණයකට සහභාගී වීමට යෞවනයින්ට අවස්ථාව ලබා දී ඇති අවුරුද්දක් තුළ, ස්ටේක සහ කොට්ඨාශ යෞවන සම්මන්ත්‍රණ නොපැවැත්විය යුතුය.

කොට්ඨාශ යෞවන සම්මන්ත්‍රණ සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන්නේ සභානායකත්වයේ මගපෙන්වීම යටතේ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව විසිනි (බලන්න 29.2.6). කොට්ඨාශ යෞවන සම්මන්ත්‍රණයක් සඳහා වන සැලසුම් සඳහා සභානායකත්වය විසින් ස්ටේක සභාපතිත්වයේ අනුමැතිය ලබා ගනියි.

නායකයින් සහ යෞවනයින් යෞවන සම්මන්ත්‍රණයක් සැලසුම් කරන විට, ඔවුන් මෙම පරිච්ඡේදයේ ප්‍රතිපත්ති සහ පහත මාර්ගෝපදේශ නිරීක්ෂණය කළ යුතුය:

  • සභාවේ වාර්ෂික යෞවන තේමාව සම්මන්ත්‍රණ තේමාව ලෙස භාවිතා කිරීම.

  • තේමාවට අනුකූල ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.

  • සියලුම කථිකයන් සහ ක්‍රියාකාරකම් සඳහා සභානායකත්වයේ හෝ ස්ටේක සභාපතිත්වයේ අනුමැතිය ලබාගැනීම.

  • සෑම විටම ප්‍රමානවත් වැඩිහිටි අධීක්ෂණයක් සහතික කිරීම (බලන්න 20.7.1).

20.5

ක්‍රියාකාරකම් තෝරාගැනීම සහ සැලසුම් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

20.5.1

වාණිජ හෝ දේශපාලන ක්‍රියාකාරකම්

කිසියම් වාණිජ හෝ දේශපාලන අරමුණක් සඳහා පවත්වනු ලබන ක්‍රියාකාරකම්වලට අවසර නැත (බලන්න 35.5.2).

20.5.2

නර්තනය සහ සංගීතය

සියලුම නර්තන වලදී, ඇඳුම, සැරසීම, ආලෝකය, නැටුම් විලාසයන්, පද රචනය සහ සංගීතය ස්වාමින්වහන්සේගේ ආත්මයට පැමිණිය හැකි වාතාවරණයකට දායක විය යුතුය.

20.5.3

සඳුදා රාත්‍රීන්

සඳුදා හෝ වෙනත් දින වලදී පවුලේ ක්‍රියාකාරකම් පැවැත්වීමට සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ. සඳුදා දිනවල සවස 6:00 න් පසු සභා ක්‍රියාකාරකම්, රැස්වීම් හෝ බව්තීස්ම සේවා නොපැවැත්විය යුතුය.

20.5.5

රාත්‍රී ක්‍රියාකාරකම්

තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන්ගේ ඒකාබද්ධ කණ්ඩායම් සඳහා සභාවේ රාත්‍රී ක්‍රියාකාරකම් සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් අනුමත කළ යුතුය. පිරිමි සහ කාන්තා තනි සාමාජිකයින් සඳහා ක්‍රියාකාරකම් සඳහාද එය එසේම වේ.

සභාවේ රැස්වීම් ශාලාවල හෝ රැස්වීම් ශාලාවෙන් පිටත එළිමහනේ රාත්‍රී ක්‍රියාකාරකම් අනුමත නොකෙරේ.

20.5.8

සබත් දවස පැවැත්වීම

ඉරිදා දින වල, කිසිඳු සභා කඳවුරක්, ක්‍රීඩා ඉසව්වක් හෝ විනෝදාත්මක ඉසව්වක් සැලසුම් නොකළ යුතුය. යෞවන කණ්ඩායම් සහ වෙනත් අය ඉරිදා දින වලදී කඳවුරුවලට හෝ යෞවන සම්මන්ත්‍රණවලට හෝ ඉන් පිටතට ගමන් නොකළ යුතුය.

20.5.10

දේවමාළිගා චාරිකා

පවරා ඇති දේවමාළිගා දිස්ත්‍රික්කය තුළ කොට්ඨාශ හෝ ස්ටේක මට්ටමින් දේවමාළිගා චාරිකා සංවිධානය කෙරේ.

20.6

ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලබාදීම සඳහා වන ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

20.6.1

කොට්ඨාශ හෝ ස්ටේක අයවැය අරමුදල් මගින් ගෙවන ක්‍රියාකාරකම්

20.6.2 හි ලැයිස්තුගත කර ඇති, ව්‍යතිරේක සහිතව—සියලු ක්‍රියාකාරකම් සඳහා ගෙවීම් කිරීමට කොට්ඨාශ හෝ ස්ටේක අයවැය අරමුදල් භාවිතා කළ යුතුය.

20.6.2

යෞවන කඳවුරු සඳහා අරමුදල් ලබාදීම

පහත ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් සඳහා කොට්ඨාශ හෝ ස්ටේක අයවැයේ ප්‍රමාණවත් අරමුදල් නොමැති නම්, නායකයින්ට සහභාගිවන්නන්ගෙන් එයින් කොටසක් හෝ සියල්ල සඳහා ගෙවීමට ඉල්ලා සිටිය හැකිය:

  • එක් වාර්ෂික විස්තීරණ ආරෝනික පූජකවර කඳවුරක් හෝ ඒ හා සමාන ක්‍රියාකාරකමක්.

  • එක් වාර්ෂික විස්තීරණ තරුණ ගැහැණු ළමුන්ගේ කඳවුරක් හෝ ඒ හා සමාන ක්‍රියාකාරකමක්.

  • වයස අවුරුදු 8 සිට 11 දක්වා ප්‍රාථමික ළමුන් සඳහා එක් වාර්ෂික දින කඳවුරක් හෝ සමාන ක්‍රියාකාරකමක්.

වාර්ෂික කඳවුරක් සඳහා වියදම් හෝ ගමන් වියදම් මිල අධික නොවිය යුතුය. පුද්ගලික අරමුදල් නොමැතිකම සාමාජිකයෙකුව ඒවාට සහභාගී වීමෙන් නොවැළැක්විය යුතුය.

20.6.3

FSY සම්මන්ත්‍රණ සඳහා අරමුදල් ලබාදීම

යෞවනයින්ගේ ශක්තිය සඳහා (FSY) සම්මන්ත්‍රණවලට සහභාගී වීමට ගාස්තුවකින් දායක වන ලෙස යෞවනයින්ගෙන් ඉල්ලා සිටිය හැකිය. එයට යන වියදම නිසා යෞවනයෙකුට සහභාගී විය නොහැකි නම්, සභානායකවරයාට මෙම ගාස්තුවේ සම්පූර්ණ ප්‍රමාණය හෝ කොටසක් ගෙවීමට කොට්ඨාශ අයවැය අරමුදල් භාවිතා කළ හැකිය. බලන්න FSY.ChurchofJesusChrist.org.

20.6.5

අරමුදල් රැස්කිරීමේ සිදුවීම්

කොට්ඨාශ සහ ස්ටේක ක්‍රියාකාරකම් සඳහා වියදම් සාමාන්‍යයෙන් අයවැය අරමුදල් වලින් ගෙවනු ලැබේ. කෙසේවෙතත්, ස්ටේක සභාපතිවරයෙකුට හෝ සභානායකවරයෙකුට පහත සඳහන් අරමුණු සඳහා පමණක් සෑම වසරකම එක් අරමුදල් රැස්කිරීමේ ක්‍රියාකාරකමකට අවසර දිය හැකිය:

  • 20.6.2 හි ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් සඳහා ගෙවීමට උපකාර කිරීමට.

  • වාර්ෂික කඳවුරු සඳහා ඒකකයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට උපකාර කිරීමට.

20.7

ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂක ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

20.7.1

වැඩිහිටි අධීක්ෂණය

ළමුන් සහ යෞවනයින් සහභාගී වන සභාවේ සියලුම ක්‍රියාකාරකම් සඳහා අවම වශයෙන් වැඩිහිටියන් දෙදෙනෙකු සහභාගී වී සිටිය යුතුය. කණ්ඩායමේ ප්‍රමාණය, ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කුසලතා හෝ වෙනත් සාධක මත අමතර වැඩිහිටියන් අවශ්‍ය විය හැකිය. උපකාර කිරීමට දෙමාපියන්ව උනන්දු කරනු ලැබේ.

ළමුන් සහ යෞවනයින් සමඟ වැඩ කරන සියලු දෙනා ළමා හා යෞවන ආරක්ෂණ පුහුණුව සම්පූර්ණ කළ යුතුය. බලන්න ProtectingChildren.ChurchofJesusChrist.org.

20.7.2

යෞවන ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම සඳහා වයස් අවශ්‍යතා

ඔවුන්ගේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව, යෞවනයින්ට ඔවුන්ගේ වයස අවුරුදු 12 ක් වන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට රාත්‍රී කඳවුරුවලට සහභාගී විය හැකිය. ඔවුන්ගේ වයස අවුරුදු 14 ක් වන අවුරුද්දේ ජනවාරි මාසයේ ආරම්භයේ සිට ඔවුන්ට නර්තන, යෞවන සම්මන්ත්‍රණ සහ FSY සම්මන්ත්‍රණවලට සහභාගි විය හැකිය.

20.7.4

දෙමාපියන්ගේ අවසරය

ළමුන්ට සහ යෞවනයින්ට ඔවුන්ගේ දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරයකින් තොරව සභාවේ ක්‍රියාකාරකමකට සහභාගී විය නොහැකිය. රාත්‍රියේ රැඳී සිටීම, දිගු ගමනක් හෝ සාමාන්‍ය අවදානම්වලට වඩා වැඩි සභා ක්‍රියාකාරකම් සඳහා ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ.

අවසර සහ වෛද්‍ය තොරතුරු [Permission and Medical Release] පෝරමය අත්සන් කිරීමෙන් දෙමාපියන් සහ භාරකරුවන් මෙම කැමැත්ත ලබා දෙති.

20.7.5

අපයෝජන පිළිබඳ වාර්තා

සභාවේ ක්‍රියාකාරකම් අතරතුර සිදුවන ඕනෑම අපයෝජනයක් සිවිල් බලධාරීන්ට වාර්තා කළ යුතුය. සභානායකවරයාව වහාම සම්බන්ධ කර ගත යුතුය. සාමාජිකයින් සඳහා උපදෙස් 38.6.2.7 හි ඇත. සභානායකවරුන් සඳහා උපදෙස් 38.6.2.1 හි ඇත.

20.7.6

ආරක්ෂිත පූර්වාරක්ෂාවන්, හදිසි අනතුරු ප්‍රතිචාර සහ අනතුරු වාර්තා කිරීම

20.7.6.1

ආරක්ෂිත පූර්වාරක්ෂාවන්

නායකයින් සහ සහභාගිවන්නන් විසින් තුවාල හෝ රෝගාබාධ අවම අවදානම සහතික කිරීම සඳහා ක්‍රියාකාරකම් හොඳින් තක්සේරු කරනු ලබයි. ක්‍රියාකාරකම් වලට, දේපළ වලට හානිවීමේ අවම අවදානමක් ද ඇතුළත් විය යුතුය. ක්‍රියාකාරකම් අතරතුර, ආරක්ෂාව සහතික කිරීමට නායකයින් සෑම උත්සාහයක්ම දරති.

20.7.6.2

හදිසි අනතුරු ප්‍රතිචාර

සභා දේපළ මත හෝ සභාවේ ක්‍රියාකාරකම් අතරතුර හදිසි අනතුරක් හෝ තුවාලයක් සිදුවුවහොත්, අදාළ වන පරිදි නායකයින් පහත සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරති:

  • ප්‍රථමාධාර ලබා දෙන්න. යම් පුද්ගලයෙකුට අතිරේක වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම්, හදිසි වෛද්‍ය සේවා අමතන්න. දෙමාපියන්, භාරකරු හෝ වෙනත් ළඟම ඥාතීන් සහ සභානායකවරයාව හෝ ස්ටේක සභාපතිවරයාව සම්බන්ධ කර ගන්න.

  • යමෙකු අතුරුදහන් වුවහොත් හෝ මිය ගියහොත්, වහාම ප්‍රදේශයේ නීතිය බලාත්මක කරන්නන්ට දැනුම් දෙන්න.

  • චිත්තවේගීය සහය ලබා දෙන්න.

  • නීතිමය ක්‍රියාමාර්ග දිරිමත් කිරීම හෝ අධෛර්යමත් කිරීම නොකරන්න. සභාවෙ වෙනුවෙන් බැඳීම් ඇතිකර නොගන්න.

  • සාක්ෂිකරුවන්ගේ නම්, ඔවුන්ව සම්බන්ධ විය හැකි තොරතුරු, සිදු වූ දේ පිළිබඳ වාර්තා සහ ඡායාරූප එකතු කර තබා ගන්න.

  • හදිසි අනතුර වාර්තා කරන්න (බලන්න 20.7.6.3).

20.7.6.3

හදිසි අනතුරු වාර්තා කිරීම

පහත තත්ත්වයන් අන්තර්ජාලය හරහා වාර්තා කළ යුතුය incidents.ChurchofJesusChrist.org.

  • සභාවේ දේපළ මත හෝ සභාවේ ක්‍රියාකාරකමක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හෝ තුවාලයක්.

  • සභාවේ ක්‍රියාකාරකමකට සහභාගී වෙමින් සිටි අයෙකුගේ අතුරුදහන් වීමක්.

  • සභාවේ ක්‍රියාකාරකමකදී පුද්ගලික, පොදු හෝ සභා දේපළවලට සිදු වූ හානියක්.

  • නීතිමය ක්‍රියාමාර්ගවලට එල්ල වූ තර්ජනයක් හෝ අපේක්ෂාවක්.

යම් සිදුවීමක් නිසා බරපතල තුවාලයක්, මාරාන්තික සිද්ධියක් හෝ පුද්ගලයෙකු අතුරුදහන් වූවේ නම්, ස්ටේක සභාපතිවරයා, සභානායකවරයා හෝ ඔහු විසින් පත්කරන සාමාජිකයා වහාම ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය යුතුය.

20.7.6.4

රක්ෂණය සහ ප්‍රශ්න

සභාවේ සිදුවීමක් අතරතුර තුවාලයක් සිදුවුවහොත්, සභාවේ ක්‍රියාකාරකම් වෛද්‍ය ආධාර වැඩසටහන අදාළ වන්නේ දැයි නායකයින් තීරණය කරති.

සමහර අවස්ථාවලදී, ස්ටේක සභාපතිවරයාට හෝ සභානායකවරයාට ආරක්ෂාව පිළිබඳ ගැටළු හෝ සභාව සඳහා ඇති හිමිකම් ගැන ප්‍රශ්න තිබිය හැකිය. ස්ටේක සභාපතිවරයා (හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින සභානායකවරයෙකු) එවැනි ප්‍රශ්න අවදානම් කළමනාකරණ අංශයට [Risk Management Division] හෝ ප්‍රාදේශීය කාර්යාලයට යොමු කරයි.

20.7.7

ගමනාගමනය

සභාවේ කටයුතු සඳහා ගනාගමනය සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් අනුමත කළ යුතුය. මෙම ගමනාගමනය සාමාජිකයන් මත අනවශ්‍ය බර පැටවිය යුතු නැත. ක්‍රියාකාරකම් සඳහා දුර බැහැර ගමන් අධෛර්යමත් කරනු ලැබේ.

හැකි අවස්ථා වලදී, සභාවේ කණ්ඩායම් දිගු දුර ගමන් සඳහා වාණිජ ප්‍රවාහන භාවිතා කළ යුතුය. එය වගකීම් රක්‍ෂණයෙන් බලපත්‍ර ලබාගෙන ආරක්‍ෂා වී තිබිය යුතුය.

සභාවේ කණ්ඩායම් පුද්ගලික මගී වාහනවල ගමන් කරන විට, සෑම වාහනයක්ම ආරක්ෂිතව ක්‍රියාත්මක වන තත්වයක තිබිය යුතුය. සෑම පුද්ගලයෙකුම ආසන පටියක් භාවිතා කළ යුතුය. සෑම රියදුරෙකුම බලපත්‍රලාභී වගකීම් සහිත වැඩිහිටියෙකු විය යුතුය.