ශුද්ධලියවිලි
හැඳින්වීම


හැඳින්වීම

අනගි මුතු ඇටය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඇදහිල්ල සහ දහම පිළිබඳ බොහෝ වැදගත් අංශ වලට අදාළ ඉතා විශේෂිත ලිපිවල එකතුවකි. මෙම ලිපි අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් පරිවර්තනය කර නිෂ්පාදනය කළ අතර, තවද බොහොමයක් ඔහුගේ කාලයේදී සභා පුවත්පත් තුළ ප්‍රකාශනය කරන ලදි.

අනගි මුතු ඇටය යන මාතෘකාව යටතේ එන පළමු ලිපි එකතුව 1851 දී, එවකට දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු සහ බ්‍රිතාන්‍ය ධර්මදූතයේ සභාපතිවරයා වූ, වැඩිහිටි ෆ්‍රෑන්ක්ලින් ඩී. රිචර්ඩ්ස් විසින් සාදනු ලැබුවේය. එහි අරමුණ වූයේ ජෝසෆ් ස්මිත්ගේ කාලයේ සීමිතව සංසරණය වූ වැදගත් ලිපි කිහිපයක් වඩාත් පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීමය. යුරෝපය සහ අමෙරිකාව පුරා සභා සාමාජිකත්වය වැඩි වූ විට, මෙම අයිතම ලබාගැනීමට ඉඩ සැලැස්වීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. අනගි මුතු ඇටය පුළුල් ලෙස භාවිතා වූ අතර, පසුව 1880 ඔක්තෝම්බර් 10 වන දින, සෝල්ට් ලේක් නගරයේ, ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සහ පළමු සභාපතිත්වයේ ක්‍රියාමාර්ග මගින් එය සභාවේ අනුමත ප්‍රමිති පොතක් බවට පත්විය.

සභාවේ අවශ්‍යතාවය මත එහි අන්තර්ගතයන් වල සංශෝධන කිහිපයක් කරන ලදි. 1878 දී මෝසෙස්ගේ පොතේ පළමු මුද්‍රණයේ ඇතුළත් නොවූ කොටස් කිහිපයක් එයට එකතු කරන ලදි. 1902 දී අනගි මුතු ඇටයේ තිබූ, දහම සහ ගිවිසුම් තුළද ප්‍රකාශනය වූ යම් අනුකොටස් කිහිපයක් එයින් ඉවත් කරන ලදි. පාදසටහන් සමඟින් පරිච්ඡේද වලට සහ පද වලට කළ යම් යම් සැකසුම් සිදුකරන ලද්දේ 1902 දීය. තීරු දෙකක් සහිත පිටු වල, දර්ශකය සමඟ, පළමු ප්‍රකාශනය 1921 දී සිදුවිය. 1976 අප්‍රියෙල් මාසයේදී එළිදරව් දෙකක කරුණු එකතු කරන තෙක් වෙනත් කිසිඳු වෙනසක් සිදුනොවිණ. 1979 දී මෙම අයිතම දෙක අනගි මුතු ඇටයෙන් ඉවත්කර, දහම සහ ගිවිසුම් තුළ ඇතුළත් කළ අතර, ඒවා දැන් 137 සහ 138 කොටස් ලෙස පවතියි. මුල් ලේඛන සමඟ ගැලපෙන පරිදි පද පෙළ සැකසීම සඳහා වර්තමාන සංස්කරණයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත.

පහත දැක්වෙන්නේ වර්තමානයේ ඇතුළත් අන්තර්ගතයන් සඳහා කෙටි හැඳින්වීමකි:

  1. මෝසෙස්ගේ පොතෙන් තෝරාගත් කොටස්. 1830 ජුනි මස ජෝසෆ් ස්මිත් ආරම්භ කළ, ඔහුගේ බයිබල් පරිවර්තනයේ, උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි.

  2. ආබ්‍රහම්ගේ පොත. ආබ්‍රහම්ගේ ලියවිලි වල අනුභාවලත් පරිවර්තනයකි. මිසර පැපිරස් කිහිපයක් ලබාගැනීමෙන් පසුව 1835 දී ජෝසෆ් ස්මිත් විසින් මෙම පරිවර්තනය ආරම්භ කරන ලදි. 1842 මාර්තු 1 වන දිනෙන් ආරම්භ වී, නාවූ ඉලිනොයිස් හිදී, මෙම පරිවර්තනය කොටස් වශයෙන් Times and Seasons (ටයිම්ස් ඇන්ඩ් සීසන්ස්) හි ප්‍රකාශයට පත්කෙරිණි.

  3. ජෝසෆ් ස්මිත්—මතෙව්. බයිබලයේ ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනයේ මතෙව්ගේ සාක්ෂියෙන් උපුටාගත් කොටසකි (අලුත් ගිවිසුම පරිවර්තනය කිරීම ආරම්භ කිරීම සඳහා ලැබූ දිව්‍යමය ආඥා සඳහා බලන්න දහම සහ ගිවිසුම් 45:60–61).

  4. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය. ජෝසෆ් ස්මිත්ගේ නිල සාක්ෂිය සහ ඉතිහාසයෙන් උපටාගැනීමකි, එය 1838–1839 අතර ඔහු සහ ඔහුගේ ලියන්නන් විසින් සූදානම් කළ අතර 1842 මාර්තු 15 වන දිනෙන් ආරම්භ වී, නාවූ ඉලිනොයිස් හිදී, Times and Seasons (ටයිම්ස් ඇන්ඩ් සීසන්ස්) හි කොටස් වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

  5. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඇදහිල්ලේ කරුණු. මෙය 1842 මාර්තු 1 වන දින, Times and Seasons (ටයිම්ස් ඇන්ඩ් සීසන්ස්) හි වෙන්ට්වර්ත් ලිපිය ලෙස ප්‍රසිද්ධ සභාවේ කෙටි ඉතිහාසයක් සමඟ ප්‍රකාශයට පත්කරන ලද ජෝසෆ් ස්මිත්ගේ ප්‍රකාශයකි.