ශුද්ධලියවිලි
ජෝසෆ් ස්මිත්—මතෙව් 1


ජෝසෆ් ස්මිත්—මතෙව්

1831 දී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට එළිදරව් කළ බයිබල් පරිවර්තනයෙන් උපුටාගත් කොටසකි: මතෙව් 23:39 සහ 24 වෙනි පරිච්ඡේදය.

1 වෙනි පරිච්ඡේදය

යෙරුසලමේ සිදුවීමට යන විනාශය ගැන යේසුස්වහන්සේ අනාවැකි කියන සේක—මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දෙවන පැමිණීම සහ දුෂ්ඨයන්ගේ විනාශය ගැනද උන්වහන්සේ දේශනා කරන සේක.

1 මක්නිසාද මම නුඹලාට කියමි, ස්වර්ගයෙහි වලාකුළු තුළින්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා, සහ ඔහු සමඟ පැමිණෙන ශුද්ධ වූ දේවදූතයන් ආශිර්වාද ලද්දේ යැයි නුඹලා කියන තෙක්, මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැත, තවද අනාගතවක්තෘවරුන් විසින් ලියන ලද උන්වහන්සේ මම බව දැනගන්නේද නැත. එවිට උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පස මහිමාන්විත වී තවද ඔටුනු දැරීමෙන් පසු, නැවතත් පොළොවට පැමිණෙන බව ඔහුගේ ගෝලයන් තේරුම්ගත්හ.

2 තවද යේසුස්වහන්සේ පිටතට ගොස්, දේවමාළිගාවෙන් පිටත් වූ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේට ඇහුම්කන්දීමට උන්වහන්සේ වෙත පැමිණ, මෙසේ කීවෝය: ආචාරීන්වහන්ස, දේවමාළිගාවේ ගොඩනැගිලි සම්බන්ධව අපට පෙන්වන සේක්වා, ඔබවහන්සේ කී ලෙස—ඒවා පෙරලා දමා, තවද පාළුවට හරින්නේද.

3 තවද යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද, තවද නුඹලාට එය තේරුම්ගන්නට නොහැකිද? සැබවක් මම නුඹලාට කියමි, කඩාදමනු නොලැබ, මෙම දේවමාළිගාව මත ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේය.

4 තවද යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඉවත්ව, තවද ඔලීව කන්දට ගිය සේක. තවද උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල, ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්, මෙසේ කීවෝය: දේවමාළිගාවේ සහ යුදෙව්වරුන්ගේ විනාශය පිළිබඳ ඔබවහන්සේ පැවසූ එම දේවල් කොයි කලෙක සිද්ධ වන්නේද; තවද ඔබවහන්සේගේ පැමිණීමේ, තවද ලෝකාන්තිමයේ, හෝ අධර්මිෂ්ඨයන්ගේ විනාශයේ, එනම් ලෝකයේ අවසානයේ ලකුණු කිමෙක්ද?

5 තවද යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, ඔවුන් හට මෙසේ කී සේක: කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලාගනිල්ලා;

6 මක්නිසාද බොහෝ දෙනෙක්—මම ක්‍රිස්තුස්ය—කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය;

7 එකල ඔවුහු නුඹලා පීඩා විඳීමට පාවාදී, තවද නුඹලාව මරන්නෝය, තවද නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නහුය;

8 එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ, තවද ඔවුනොවුන් පාවා දෙන්නෝය, තවද ඔවුනොවුන්ට වෛර කරන්නෝය;

9 තවද නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට, බොහෝ දෙනෙකු මුළා කරන්නෝය;

10 තවද අධර්මිෂ්ඨකම බොහෝ වන බැවින්, බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වන්නේය;

11 එහෙත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නා පරාජය නොවන්නේය, එවැන්නා ගැලවෙන්නේය.

12 එබැවින්, නුඹලා යෙරුසලමේ විනාශය ගැන අනාගතවක්තෘ දානියෙල් විසින් කියන ලද පාළුකරන පිළිකුල තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද, එවිට නුඹලා ශුද්ධ ස්ථානයෙහි සිටිය යුතු වන්නෝය; කියවන්නා තේරුම් ගනිත්වා.

13 එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායත්වා;

14 ගේ උඩ සිටින්නා පලායත්වා, තවද තමාගේ ගෙයි තිබෙන කිසිවක් ගන්ට නොබසීවා;

15 කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා;

16 තවද ඒ දවස්වල ගර්භණීන්ටත්, කිරිදෙන මවුවරුන්ටත් දුක්වේ;

17 එසේහෙයින්, නුඹලාගේ පලායාම ශීත කාලයේදීවත්, සබත් දවසකවත් නොවන ලෙස, ස්වාමින්වහන්සේට යාච්ඤා කරපල්ලා;

18 මක්නිසාද එවිට, යුදෙව්වරුන්ටත් එසේම යෙරුසලෙම් වාසීන්ටත්, මහත් පීඩාවක් ඇතිවන්නේය, එය මතු කොයිකලෙකවත් දෙවියන්වහන්සේ විසින් ඔවුන්ගේ රාජ්‍යයේ ආරම්භයේ සිට මේ කාලය දක්වා ඉශ්‍රායෙල්වරුන් හට එවා නැත්තේය; එමෙන්ම කිසිකලෙක නැවතත් ඉශ්‍රායෙල්වරුන් මත නොපැමිණෙන්නේය.

19 ඔවුන්ට සිදු වූ සියලු දේවල් ඔවුන් වෙත පැමිණෙන්නාවූ ශෝකජනක දේවල ආරම්භයක් පමණි.

20 තවද ඒ දවස් ලුහුඬු නොකරන ලද්දේ නම්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැලවීම නොලබන්නෝය; නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා, ගිවිසුම අනුව, ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේය.

21 බලන්න, යුදෙව්වරුන් පිළිබඳ මා නුඹලාට කී මේ දේවල්; තවද නැවතත්, යෙරුසලම තුළ ඒ කාලයේ සිදුවන විපත්තිවලට පසුව, යමෙක් කතාකොට, බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය, නොහොත් එතන යැයි, නුඹලාට කියන්නේ නම්, විශ්වාස නොකරල්ලා;

22 මක්නිසාද ඒ දවස්වලදී බොරු ක්‍රිස්තුවරුද, තවද බොරු අනාගතවක්තෘවරුද නැගිට, තවද පුළුවන්නම්, ගිවිසුමට අනුව තෝරාගනු ලැබූ, එම තෝරාගනු ලැබූවන්ව මුලාකරන ලෙස පවා, මහත් ලකුණුද, පුදුමද දක්වන්නෝය.

23 බලන්න, මම මේ දේවල් නුඹලා හට කියන්නේ තෝරාගත්තවුන්ගේ යහපත උදෙසාය; තවද නුඹලාට යුද්ධ සහ යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති ගැන අසන්ට ලැබෙන්නේය; නුඹලා කරදර නොවෙන්නට වගබලාගන්න, මක්නිසාද මම නුඹලාට පවසා ඇති සියල්ල සිදුවිය යුතු වන්නේය; එහෙත් අවසානය තවම පැමිණ නැත.

24 බලන්න, මම නුඹලාට කලින් කීවෙමි;

25 එසේහෙයින්, ඔවුහු නුඹලාට කතාකොට: බලන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටින සේක; ඉදිරියට නොයල්ලා; බලන්න, උන්වහන්සේ ඇතුල් ගෙවල සිටින සේක යැයි කියන්නේ නම්; එය විශ්වාස නොකරල්ලා;

26 මක්නිසාද යම් සේ උදෑසන ආලෝකය පෙරදිගින් නික්ම, අපරදිග දක්වා බබළන්නේද, තවද මුළු පොළොවම වසාගන්නේද, තවද මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේම වන්නේය.

27 තවද දැන් මම නුඹලාට උපමාවකින් පෙන්වන්නෙමි. බලන්න, යම් තැනෙක මළකුණ ඇත්තේද, එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය; එමනිසා ඒ අන්දමින්ම මාගේ තෝරාගත් අයද පොළොවේ සතර කොනින් එකතු වන්නෝය.

28 තවද ඔවුන්ට යුද්ධ සහ යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති අසන්ට ලැබෙන්නේය.

29 බලන්න මා කතාකරන්නේ මාගේ තෝරාගත්ගවුන්ගේ යහපත උදෙසාය; මක්නිසාද ජාතියක් තවත් ජාතියකටද, රාජ්‍යයක් තවත් රාජ්‍යයකටද විරුද්ධව නැගී සිටින්නේය; විවිධ ප්‍රදේශවල සාගත, වසංගත, සහ පොළෝ කම්පාද සිදුවන්නේය.

30 තවද නැවතත් අධර්මිෂ්ඨකම බොහෝ වන බැවින්, මනුෂ්‍යයන්ගේ ප්‍රේමය හීන වන්නේය; නුමුත් යටපත් නොවන්නා, ගැලවීම ලබන්නේය.

31 තවද නැවතත්, රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස, ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය, තවද එවිට අවසානය හෝ දුෂ්ටයන්ගේ විනාශය පැමිණෙන්නේය;

32 තවද නැවතත්, දානියෙල් අනාගතවක්තෘවරයා විසින් කතා කරන ලද, පාළුකරන පිළිකුල, සම්පූර්ණ වන්නේය.

33 තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරු වන්නේය, තවද සඳ එහි එළිය නොදෙන්නේය, තවද තාරකාවෝ අහසෙන් වැටෙන්නේය, තවද අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නේය.

34 සැබවක්, මම නුඹලාට කියමි, මා නුඹලාට කී සියලු දේවල් සම්පූර්ණ වන තුරු, මෙම දේවල් පෙන්වනු ලබන, මෙම පරම්පාව පහව නොයන්නේය.

35 එහෙත්, අහසත් පොළොවත් පහව යන දවස් එනු ඇත; එහෙත් මාගේ වචන පහව නොයන්නේය, එහෙත් සියල්ල සම්පූර්ණ වන්නේය.

36 තවද, මා කලින් කී ලෙස, ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, තවද අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නේය, ඉන්පසු මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සළකුණ අහසේ පෙනෙන්නේය, තවද එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැළපෙන්නෝය; තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වළාකුල් පිට එනවා ඔවුන් දකින්නෝය;

37 තවද යමෙක් මාගේ වචන අගය කරන්නේද, ඔහු මුලාවන්නේ නැත, මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව උන්වහන්සේ ඉදිරියෙන්, තම දේවදූතයන් එවන සේක, තවද ඔවුහු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස් කරන්නෝය.

38 දැන් අත්තික්කා ගසේ උපමාව ඉගෙනගන්න—එහි අතු මෘදුව කොළ හටගන්නා කල, ග්‍රීෂ්ම කාලය ලඟ එන බව නුඹලා දන්නෙහුය;

39 එමනිසා එසේම, මා තෝරාගත් අය, ඔවුන් මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් ඔවුන් දැනගන්නවා ඇත;

40 එහෙත් ඒ දවස, සහ ඒ පැය, දන්නා කෙනෙක් නැත; නැත, මාගේ පියාණන්වහන්සේ මිස, ස්වර්ගයේ දේව දූතයන්වත් එය දන්නේ නැත.

41 එහෙත් නෝවාගේ දවස්වලදී තිබුනාක් මෙන්, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එලෙසම වන්නේය;

42 මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී මෙන්, එය ඔවුන් හා තිබෙනු ඇත; මක්නිසාද නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔවුහු කමින්, බොමින්, සරණපාවා ගනිමින්, සරණපාවා දෙමින් සිටියෝය;

43 තවද ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යන තුරු ඔවුහු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එලෙසම වන්නේය.

44 එවිට ලියා තිබෙන දේ සම්පූර්ණ වන්නේය, එනම් අන්තිම දවස්වලදී, දෙදෙනෙක් කෙතෙහි සිටිනවා දැක, එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය;

45 දෙදෙනෙක් ඇඹරුම්ගලේ අඹරමින් සිටිනවා ඇත, එක් තැනැත්තියක්ව ගනු ලබන්නේය, තවද අනෙකාව අත්හරිනු ලබන්නේය;

46 තවද මම එක් අයෙකුට කියන යමක්, මම කියන්නේ සියලුම මනුෂ්‍යයන් හටය; එබැවින්, අවදිව සිටින්න, මක්නිසාද නුඹලාගේ ස්වාමින්වහන්සේ කොයි පැයේ එන්නේදැයි නුඹලා දන්නේ නැත.

47 එහෙත් මෙය දැනගන්න, සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින්, තවද තමන්ගේ ගෙය උමං කණින්ට නොදෙන බවත්, එහෙත් සූදානම්ව සිටින බවත් දැනගන්න.

48 එබැවින් නුඹලාත් සූදානම්ව සිටින්න, මක්නිසාද නුඹලා නොසිතන පැයකදී, මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙන සේක.

49 එසේනම්, ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වෙලාවට කෑම දෙන්ට ඔවුන් විසින් පත්කළ විශ්වාසවන්ත වූ නුවණැති දාසයා කවුද?

50 ස්වාමියා එන කළ යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශිර්වාද ලද්දෙක්ය; සැබවක් මම නුඹලා හට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහුව අධිපති කරන්නේය.

51 එහෙත් ඒ නපුරු දාසයා තම සිතින් මෙසේ සිතන්නේය: මාගේ ස්වාමියා ප්‍රමාද වන්නේය,

52 තවද තමාගේ සහකාර දාසයන්ට තලන්ට පටන්ගෙන, තවද බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්,

53 ඒ දාසයාගේ ස්වාමියා ඔහු පැමිණෙතැයි බලා නොසිටින දවසක, ඔහු නොදන්නා පැයක ඇවිත්,

54 තවද ඔහුට තදබල ලෙස අච්චු කොට, තවද වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියම කරන්නේය; එහිදී හැඬීමත් දත්මිටි කෑමත් වන්නේය.

55 තවද මෙසේ දුෂ්ටයන්ගේ අවසානය පැමිණෙන්නේය, මෝසෙස්ගේ අනාවැකිය අනුව, මෙසේ කියවේ: ඔවුන්ව ජනතාව අතරින් කපාදමනු ලබන්නේය; එහෙත් පොළොවේ අවසානය තවම පැමිණ නැත, එහෙත් කල්යන්නේ නැත.