ශුද්ධලියවිලි
ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1


ජෝසෆ් ස්මිත්—ඉතිහාසය

අනාගතවක්තෘ, ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසයෙන් උපුටාගත් කොටස්

1 වෙනි පරිච්ඡේදය

ජෝසෆ් ස්මිත් ඔහුගේ පෙළපත, පවුල් සාමාජිකයන්, සහ ඔවුන්ගේ මුල් වාසස්ථාන ගැන පවසයි—බටහිර නිව්යෝර්ක් හි ආගම පිළිබඳ අසාමාන්‍ය උනන්දුවක් පැතිරී යයි—යාකොබ්ගේ මගපෙන්වීම අනුව ප්‍රඥාව සෙවීමට ඔහු තීරණය කරයි—පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ප්‍රකාශ වී, තවද ජෝසෆ්ව ඔහුගේ අනාගතවක්තෘමය දේවසේවයට කැඳවනු ලබයි. (පද 1–20.)

1 නපුරාගේ විධානයෙන් සහ උගුල් අටවන පුද්ගලයන් විසින් බෙදාහරින ලද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පිබිදීම සහ වර්ධනය සම්බන්ධව වන, සභාවක් ලෙස එහි ස්වභාවය සහ ලෝකයේ එහි වර්ධනයට එරෙහිව සටන් කිරීම සඳහා ඒවා ලියන ලද නිර්මාතෘවරුන් විසින් සැලසුම් කරන ලද ඒ සියල්ල වන, බොහෝ වාර්තා වල ප්‍රතිඵලයක් ලෙස—එවැනි කරුණු මා සන්තකයේ ඇති පරිදි, මා සම්බන්ධව සහ සභාව සම්බන්ධව, මහජනයාගේ මනස නිවැරදි කිරීමට, සහ සත්‍ය සොයන සියල්ලන්ට, ඔවුන් සොයා ඇති ඒ කරුණු පිළිබඳව දැනගැනීමට සැලැස්වීම සඳහා මම මෙම ඉතිහාසය ලිවීමට පෙලඹුණෙමි.

2 මෙම ඉතිහාසයෙහි සභාව සම්බන්ධ විවිධ වූ සිද්ධීන්, සත්‍ය ලෙස සහ ධර්මිෂ්ඨ ලෙස, ඒවා සිදුවූ ලෙස, හෝ ඉහත සඳහන් කරන ලද සභාව සංවිධානය වූ කාලයේ සිට අවුරුදු අටක් වූ දැන් [1838], එනම් වර්තමානයේදී පවතින ලෙස, මම ඉදිරිපත් කරන්නෙමි.

3 මා ඉපදුනේ ස්වාමින්වහන්සේගේ වර්ෂ එක්දහස් අටසිය පහක් වූ, දෙසැම්බර් විසිතුන්වෙනි දින, ෂැරොන් නගරයේ, වින්ඩ්සර් ප්‍රාන්තයේ, වර්මොන්ට් ජනපදයේය. … මාගේ පියා, ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ, වර්මොන්ට් ජනපදයෙන් පිටත්වී, නිව්යෝර්ක් ජනපදයේ, ඔන්ටාරියෝ (දැන් වෙයිනි) ප්‍රාන්තයේ, පැල්මයිරා හි පදිංචියට ගියේ, මට අවුරුදු දහයේදී හෝ එපමණ කාලයේදීය. මගේ පියා පැල්මයිරා නගරයට පැමිණීමෙන් අවුරුදු හතරකට පමණ පසුව, ඔහු සිය පවුල සමඟ එම ඔන්ටාරියෝ ප්‍රාන්තයේම, මැන්චෙස්ටර් නගරයේ පදිංචි විය—

4 ඔහුගේ පවුල ප්‍රාණයන් එකොළහකින් සමන්විත විය, නම් වශයෙන් මාගේ පියා, ජෝසෆ් ස්මිත්; මාගේ මව, ලූසි ස්මිත් (විවාහයට පෙර ඇගේ නම මැක් විය, සොලොමන් මැක්ගේ දියණියයි); මාගේ සොහොයුරන්, ඇල්වින් (ඔහු 1823, නොවැම්බර් 19 වෙනිදා, ඔහුට වයස 26 දී, මිය ගියේය), හයිරම්, මම, සැමුවෙල් හැරිසන්, විලියම්, ඩොන් කාර්ලෝස්; සහ මාගේ සොහොයුරියන්, සොෆ්රොනියා, කැතරීන්, සහ ලූසි ය.

5 අපි මැන්චෙස්ටර් නගරයේ පදිංචියට ගොස් දෙවන අවුරුද්දේදී යම් කාලයකදී, එහි අපි ජීවත් වූ ප්‍රදේශයේ ආගම සම්බන්ධ කාරණාව පිළිබඳ අසාමාන්‍ය උනන්දුවක් ඇතිවිය. එය මෙතෝදිස්තයන්ගෙන් ආරම්භ වී, එහෙත් ඉක්මනින්ම එම පළාතේ ප්‍රදේශයේ සියලුම ආගමික නිකායන් අතර පොදු දෙයක් බවට පත්විය. ඇත්තවශයෙන්ම, එම පළාතේ සම්පූර්ණ දිස්ත්‍රික්කයටම එය බලපා ඇති බවක් පෙනෙන්නට තිබුණි, තවද විශාල ජනසමූහ විවිධ ආගමික පක්ෂ වලට ඔවුන් විසින්ම එක්සත් වී සිටියහ, එමගින් ජනතාව අතර ඇතිවූ කැළඹීම සහ බෙදීම් සුළුපටු නොවේ, සමහරු “මෙහි, බලව!” කියාද, තවත් සමහරු “එහි, බලව!” කියාද කෑගැසූහ, සමහරු මෙතෝදිස්ත ආගම උදෙසා වාදකළ අතර, සමහරු ප්‍රෙස්බිටේරියන් උදෙසාද, තවත් සමහරු බැප්ටිස්ට් උදෙසාද වාද කළහ.

6 මක්නිසාද, මෙම විවිධ විශ්වාසයන්ට හැරුණු පුද්ගලයන්, ඔවුන් එසේ හැරීමේදී ප්‍රකාශ කළ උතුම් ප්‍රේමයද, එමෙන්ම සියල්ලන්වම හැරවීමට, [හැරවීම යනු ඔවුන් එය හඳුන්වන්නට කැමති වූ වචනයයි,] ක්‍රියාකාරීව නැගී සිටි සහ මෙම ආගමික හැඟීමේ අසාමාන්‍ය සිද්ධියට අනුබල දුන් විවිධ ආගම් වල නායකයින් මගින් ප්‍රකාශ කළ මහා උද්යෝගය එසේ තිබියදීම, ඔවුන්ට ඔවුන් කැමති නිකායකට එක්වීමට ඉඩ ලැබී තිබිණි; එහෙත් හැරී ආ අය, සමහරෙක් එක් පක්ෂයකටත් තවත් සමහරෙක් තවත් පක්ෂයකටත් ලෙස, එකකින් ඉවත් වී තවත් එකකට සම්බන්ධ වීමට පටන්ගත් විට, පූජකවරුන්ගේ සහ ආගමට හැරුණු අයගේ පෙනෙන්නට තිබූ හොඳ හැඟීම් යථාර්තයට වඩා මවාපෑමක් බව පෙනී ගියේය; පූජකයා පූජකයාට එරෙහිවත්, එමෙන්ම හැරී ආ පුද්ගලයා හැරී ආ පුද්ගලයාට එරෙහිවත්—විශාල ව්‍යාකූලත්වයක් සහ නරක හැඟීමකින් යුත් සිදුවීමක් පසුව ඇතිවිය; එබැවින් ඔවුන් එකිනෙකා කෙරෙහි තිබූ ඔවුන්ගේ සියලුම යහපත් සිතුවිලි, ඔවුන්ට එසේ තිබුණි නම්, වාග් අරගලයකත්, මත ගැටුමත් තුළ එය සම්පූර්ණයෙන්ම අහිමි වී ගියේය.

7 මෙකල මම මාගේ පසළොස් වන වියේ සිටියෙමි. මාගේ පියාගේ පවුලට ප්‍රෙස්බිටේරියන් ආගමට හරවා ගැනීම සඳහා දේශනා කර තිබූ අතර, ඔවුන්ගෙන් හතරදෙනෙක් එම සභාවට එකතු විය, නම් වශයෙන්, ඒ මාගේ මව, ලූසි; මාගේ සොහොයුරන් වන හයිරම්, සහ සැමුවෙල් හැරිසන්; සහ මාගේ සොහොයුරිය සොෆ්රොනියායි.

8 මේ මහත් කලබල සමයේ මාගේ මනස ගැඹුරු කල්පනාවකටත්, මහත් අපහසුතාවයකටත් පත්විය; එහෙත් මාගේ හැඟීම් ගැඹුරු සහ තියුණු වුවද, අවස්ථාවක් ලැබෙන පරිදි ඔවුන්ගේ රැස්වීම් කිහිපයකට මම සහභාගී වුවද, මම මේ සියලු පක්ෂ වලින් ඈත්ව සිටියෙමි. කල්යාමේදී මාගේ මනස මෙතෝදිස්ත නිකායට යම් පක්ෂපාතිකමක් ඇතිවී, ඔවුන් සමඟ එකතු වීමට මා තුළ යම් ආශාවක්ද ඇතිවිය; එහෙත් විවිධ නිකායන් අතර ආරවුල් සහ ව්‍යාකූලතාවයන් ඉතා තදින්ම තිබූ බැවින්, මිනිසුන් සහ කාරණා නොහඳුනන මා වැනි බාල පුද්ගලයෙකුට කවරෙක් හරිද, කවරෙක් වැරදිද කියා යම් අවසාන නිගමනයකට ඒම කළ නොහැක්කක් විය.

9 මෙම කෑගැසීම සහ මහත් ඝෝෂාව ඉතා විශාල සහ නිරන්තරව තිබූ නිසා, මාගේ මනස සමහර අවස්ථා වලදී මහත් සේ කලබලයට පත්විය. ප්‍රෙස්බිටේරියන්වරු නිතරම බැප්ටිස්ට්වරු සහ මොතෝදිස්තවරුන්ට විරුද්ධව ඔවුන්ගේ මනස සකසාගෙන සිටියහ, එමෙන්ම ඔවුන්ගේ වැරදි ඔප්පු කිරීමට, හෝ, අවම වශයෙන් ඔවුන් වැරදි බව මිනිසුන්ට සිතීම සඳහා හේතු හෝ බොරු තර්ක ගෙන ඒමට මුළු ශක්තියම යෙදූහ. අනෙක් අතට, බැප්ටිස්ට්වරුන් සහ මොතෝදිස්තවරුන්ද අන් අය ව්‍යාජ බව ඔප්පුකර ඔවුන්ගේ මතය ස්ථාපනය කිරීමට ඒකාකාර උද්‍යෝගයකින් උත්සාහ දැරූහ.

10 මෙම වාග් අරගල සහ මත පිළිබඳ කෝලාහල මැද, මම නිතර මටම මෙසේ කියාගත්තෙමි: කළ යුත්තේ කුමක්ද? මේ පක්ෂ වලින් කවරෙක් හරිද; නැතහොත්, ඔවුන් සියලුදෙනාම එක සේ වැරදිද? ඔවුන්ගෙන් කිසිවෙක් නිවැරදි නම්, ඒ කවරෙක්ද, එමෙන්ම මා එය දැනගන්නේ කෙසේද?

11 මෙම භක්තිකයන්ගේ ආගමික පක්ෂ වල තරඟ මගින් ඇතිකරන ලද අතිශය දුෂ්කරතා යටතේ මම වෙහෙසෙන අතරතුර, මම එක් දිනක් යාකොබ්ගේ සංදේශයේ, පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදය, කියවමින් සිටියෙමි, එහි මෙසේ කියවේ: නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝකොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

12 ශුද්ධලියවිලි වල කිසි කොටසක් මෙවර මාගේ හදවතට පැමිණියාට වඩා වැඩි බලයකින් මිනිසාගේ හදවතට කිසිදා පැමිණ නැත. එය මහත් බලපෑමකින් යුතුව, මගේ හදවතේ සෑම හැඟීමකටම ඇතුල් වූ බව පෙනිණ. යම් මිනිසෙකුට දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව අවශ්‍ය වී නම්, එය මට අවශ්‍යව තිබුණු බව දැන, මම ඒ ගැන නැවත නැවතත් මෙනෙහි කළෙමි; මක්නිසාද කෙසේ ක්‍රියාකළ යුතු දැයි මම දැන නොසිටියෙමි, තවද එවිට මට තිබූ ප්‍රඥාවට වඩා මට වැඩි ප්‍රඥාවක් ලබාගන්නට නොහැකි වූයේ නම්, මම කෙදිනකවත් ඒ ගැන දැන නොගනිමි; මක්නිසාද විවිධ නිකායන් වල ආගම පිළිබඳ ගුරුවරු එකම ශුද්ධලියවිලි කොටස වෙනස් ලෙස වටහාගෙන තිබීමෙන්, ප්‍රශ්නය බයිබලයට යොමුකර විසඳාගැනීමේ විශ්වාසය විනාශ කර තිබිණි.

13 යම් කාලයකට පසු මම තීරණයකට එළඹියෙමි එනම් මා අන්ධකාරයේ සහ ව්‍යාකූලත්වයේ සිටිය යුතුය, නැතහොත් යාකොබ්ගේ මගපෙන්වීම අනුව ක්‍රියාකළ යුතුය, එය නම්, දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය. යම් කාලයකට පසු මම “දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට” අධිෂ්ඨාන කළෙමි, උන්වහන්සේ ප්‍රඥාව අඩු අයට ප්‍රඥාව දුන්නේ නම්, තවද නොමසුරුව දෙන්නේ නම් සහ දොස් නොතබන්නේ නම්, මාද දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතු බව මම නිගමනය කළෙමි.

14 එසේහෙයින්, මීට අනුකූලව, දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමේ මාගේ අධිෂ්ඨානය අනුව, උත්සාහ කර බැලීම සඳහා පුද්ගලික ස්ථානයක් සොයාගැනීමට මම කැලයට ගියෙමි. එය වර්ෂ එක්දහස් අටසිය විස්සෙහි, වසන්ත කාලයේ මුල, එක් පැහැදිලි දිනයක, අලංකාර උදෑසනකි. එය මාගේ ජීවිතයේ එබඳු උත්සාහයක් කළ පළමු අවස්ථාව විය, මක්නිසාද මාගේ සියලු අවුල් සහගත බව මැද වුවද, මා මේ වනතුරු කිසිදිනෙක වාචිකව යාච්ඤා කිරීමට උත්සාහ කර නැත.

15 මා කලින් අරමුණුකොට ගත් පුද්ගලික ස්ථානයට ගිය පසු, මාගේ අවට බලා, මා හුදකලාව සිටින බව වටහාගනිමින්, මම බිම දණගසා මාගේ සිතේ පැවති අභිලාෂයන් දෙවියන්වහන්සේට ඉදිරිපත් කීරීමට පටන්ගතිමි. මා ඉතා අමාරුවෙන් එසේ කොට අවසන්වූ සැනින්, ක්ෂණයකින් කිසියම් බලයකින් මා අල්ලා සම්පූර්ණයෙන්ම යටපත් කර දැමූ අතර, මට කතා කිරීමට නොහැකි ලෙස මාගේ දිව බැඳ දැමීමට තරම් එහි පුදුමාකාර බලයක් විය. ඝණ අඳුරක් මා වටා එක්රැස් විය, ඒ අවස්ථාවේ මට පෙනුනේ මොහොතකට මා ක්ෂණික විනාශයකට නියම වූ ලෙසය.

16 එහෙත්, මා අල්ලාගෙන සිටින මෙම සතුරාගේ බලයෙන් මා මුදාගැනීම සඳහා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම පිණිස, එම මොහොතේ මාගේ සියලු ශක්තිය එක්තැන් කරන අතරතුර, බලාපොරොත්තු රහිත බවේ ගිලී මා විනාශ වීමට ඉඩහැරීමට මම සූදානම්ව සිටියෙමි—එය පරිකල්පනික විනාශයකට නොව, එහෙත් නොපෙනෙන ලොවක සැබෑ ප්‍රාණියෙකුගේ යම් සත්‍ය බලයකටය, ඔහුට තිබූ එවැනි පුදුමාකාර බලයක්, මා මින් පෙර කිසිඳු ප්‍රාණියෙකුගෙන් අත්විඳ නැත—මේ බියජනක මොහොතේ, මාගේ හිසට උඩින්, හිරුගේ දීප්තිය ඉක්මවූ ආලෝක ස්ථම්භයක් මම දුටුවෙමි, එය මා මත පතිත වනතුරු ක්‍රමයෙන් පහත් විය.

17 එය දර්ශනය වූ විගස මා බැඳ සිටි සතුරාගෙන් නිදහස් වූ බව මට දැනිණ. එම ආලෝකය මා මත පතිත වූ විට, අවකාශයේ මට ඉහළින් සිටගෙන සිටින, උන්වහන්සේලාගේ දීප්තිය සහ මහිමය වර්ණනා විෂය ඉක්මවන තරම් වූ, උත්තමයන් දෙදෙනෙකු මම දුටුවෙමි. එයින් කෙනෙක් මාගේ නමින් මට කතා කොට, අනෙක් තැනැත්තා පෙන්වා මෙසේ කීවේය—මේ මාගේ ආදරණීය පුත්‍රයාය, ඔහුට සවන්දෙන්න!

18 ස්වාමින්වහන්සේගෙන් අසා දැනගැනීම සඳහා මාගේ අරමුණ වූයේ, මා කුමකට සම්බන්ධ විය යුතුදැයි දැනගැනීම පිණිස, මේ සියලු නිකායන් වලින් කුමන එක නිවැරදිද යන්න දැනගැනීමයි. එසේහෙයින්, ඉක්මනින්ම, මට කතා කිරීමට හැකිවීමට තරම්, මම පියවි තත්වයට පත්වූ විගස, ආලෝකයෙහි මට ඉහළින් සිටින උත්තමයන්ගෙන් මම ඇසුවෙමි, මේ සියලුම නිකායන් අතරින් කුමන නිකාය නිවැරදිද (මක්නිසාද මේ අවස්ථාවේ සියල්ල වැරදි යැයි මගේ හදවතට කෙදිනවත් ඇතුල් වී තිබුණේ නැත)—එසේම, මා සම්බන්ධ විය යුත්තේ කුමකටද.

19 ඔවුන් සියල්ලෝම වරද සහගත බැවින්, ඒවා එකකටවත් මා සම්බන්ධ නොවිය යුතු යැයි පිළිතුරු ලැබිණ; ඉන්පසු මා ඇමතූ උත්තමයා මෙසේ කීවේය, ඔවුන්ගේ සියලු ඇදහිලි උන්වහන්සේ ඉදිරියේ පිළිකුල්ය; ඒ සියලු ධර්මාචාර්යවරුන් දූෂිත අයය; එමෙන්ම: “ඔවුහු ඔවුන්ගේ තොල් වලින් මා සමීපයට පැමිණෙති, එහෙත් ඔවුන්ගේ හදවත් මාගෙන් ඉතා දුරස්ය, ඔවුහු දිව්‍යමය ආකාරයක් සහිතව, මිනිසුන්ගේ ආඥා දහම ලෙස උගන්වති, එහෙත් එහි ඇති බලය ඔවුහු ප්‍රතික්ෂේප කරති.”

20 ඒවා කිසිවකට සම්බන්ධ වීම උන්වහන්සේ මට නැවතත් තහනම් කළේය; උන්වහන්සේ විසින් තවත් බොහෝ දේ මට පවසන ලදි, ඒවා මේ අවස්ථාවේ මට ලිවිය නොහැකිය. මා නැවතත් ප්‍රකෘති තත්වයට පැමිණි විට, මම ස්වර්ගය දෙස බලමින්, බිම වැතිරී සිටින බව මට පෙනිණි. ආලෝකය නැතිවී ගිය පසුව, මට ශක්තියක් නොවීය; එහෙත් ඉක්මනින් යම් ප්‍රමාණයකට සුවයක් ලැබුණු විගස, මම නිවසට ගියෙමි. තවද මා ගිනි උඳුන ලඟ හේත්තු වූ විට, මාගේ මව මා අමතා, කරදරය කුමක්දැයි මගෙන් ඇසුවාය. “කිසිවක් නැහැ, සියල්ල හොඳින්—මම හොඳ සුවෙන් සිටිමියි” මම පිළිතුරු දුන්නෙමි. ඉන්පසු මම මගේ මවට මෙසේ කීවෙමි, “මම මා වෙනුවෙන්ම දැනගත් පරිදි, ප්‍රෙස්බිටේරියන් වාදය සත්‍ය නොවේ.” පෙනෙන ආකාරයට සතුරා දැන සිටි බවක් පෙනෙන නිසා, මාගේ ජීවිතයේ මුල්ම කාල පරිච්ඡේදයකදී, උන්වහන්සේගේ රාජ්‍යයේ මා කලබලකාරයෙක් සහ කරදරකාරයෙක් ලෙස ඔප්පු කිරීමට නියමිතව තිබියදීත්, තවදුරටත් අන්ධකාරයේ බලය මට විරුද්ධව ඒකරාශි වන්නේ මක්නිසාද? විරුද්ධත්වයන් සහ හිරිහැර කිරීම් මාගේ ළදරුවියේ සිටම, මට විරුද්ධව නැගිටින්නේ මක්නිසාද?

සමහර දේශකයෝ සහ වෙනත් ආගමික පඬිවරුන් පළමු දර්ශනයේ විස්තර ප්‍රතික්ෂේප කරති—හිංසා කිරීම් ජෝසෆ් ස්මිත් මත ගොඩගසා තිබිණ—දර්ශනයේ සත්‍යය ගැන ඔහු සාක්ෂි දරයි. (පද 21–26.)

21 මා මෙම දර්ශනය දැක ටික දිනකට පසුව, ඉහත සඳහන් කළ ආගමික උනන්දුවේ ඉතා ක්‍රියාකාරී තැනැත්තෙකු වූ, මෙතෝදිස්ත දේශකයෙකු සමඟ සුහද සාකච්ඡාවකට අවස්ථාවක් ලදිමි; තවද, ආගම පිළිබඳව ඔහු සමඟ කතා කරමින් සිටියදී, මා දුටු දර්ශනය ගැන විස්තරයක් කිරීමට මම අවස්ථාව ලබාගතිමි. ඔහුගේ හැසිරීමෙන් මම මහත් විමතියට පත්වුනෙමි; ඒ සියල්ල යක්ෂයා බවත්, මේ දිනවල දර්ශන හෝ එළිදරව් වැනි දේවල් නොමැති බවත්; එබඳු දේ ප්‍රේරිතවරුන් සමඟ නැවතුන බවත්, එවැනි දේ නැවත කෙදිනකවත් ඇති නොවන බවත් කියමින්; ඔහු මාගේ සාකච්ඡාව සැහැල්ලුවෙන් පමණක් නොව මහත් අවඥා සහගත ලෙසත් සැලකීය.

22 කෙසේවුවද, මාගේ කතාන්දරය කීම, ආගම පිළිබඳ ධර්මාචාර්යවරුන් අතර, මහත් අවිචාරක හැඟීමක් ඇතිවීමට සහ මහත් හිංසා කිරීමකටද හේතු වූ බව මට ඉක්මනින් වැටහිණ, එමෙන්ම මේ තත්වය වර්ධනය වන්නට විය; තවද මම අප්‍රකට, වයස අවුරුදු දහහතරක පහළොවක පමණ පිරිමි ළමයෙකු වුවද, එමෙන්ම ජීවිතයේ මගේ තත්වයන් ලෝකයට කිසිඳු බලපෑමක් අති නොකරන පිරිමි ළමයෙකුගේ මෙන් වුවද, උසස් තත්වයක් ඇති මිනිසුන් ජනතාවගේ මනස මට විරුද්ධව කැළඹවීමට තරම් මෙය සැලකිල්ලට ගෙන මට මහත් හිරිහැරද ඇති කළහ: තවද මෙය සියලු නිකායන් අතර පොදු විය—සියල්ලෝම මට හිංසා කිරීමට එකතු වූහ.

23 එකළද, ඊට පසුව මේ දක්වාද, වයස අවුරුදු දහහතර මඳක් ඉක්මවූ, සිය ‍දෛනික වෙහෙස මහන්සියෙන් යන්තම් පිරිමසින ජීවිතයක් ගතකිරීමේ ඉරණමට නියම වූ සාමාන්‍ය ළමයෙකු, එකළ ඉතා ජනප්‍රිය නිකාය වල උසස් පුද්ගලයන්ගේ අවධානයට යොමුකිරීමට තරම් ප්‍රමාණවත් වැදගත්කමකින් යුත් චරිතයක් ලෙස සිතීමත්, ඉතා කටුක හිංසා කිරීමේ සහ ගැරහීමේ හැකියාවක් ඇති ආත්මයක් ඔවුන් තුළ ඇතිවූ ආකාරයත්, කෙතරම් පුදුම සහගතද යන්න, මගේ ගැඹුරු කල්පනාවට භාජනය විය. එහෙත් පුදුම සහගත වුවද, නොවූවද, එය එසේ වූ නිසා, බොහෝවිට එය මට මහත් ශෝකයක් ගෙන ඒමටද හේතුවක් විය.

24 කෙසේවුවද, ඒ කෙසේවෙතත් මා දර්ශනයක් දුටු බව සත්‍යයකි. එතැන් සිට මම මෙසේ සිතුවෙමි, එනම් බොහෝ සෙයින් මා පාවුල් මෙනි, ඔහු අග්‍රිපා රජතුමා ඉදිරියේ සිය විත්තිවාචිකය ඉදිරිපත් කිරීමේදී, සහ ඔහු ආලෝකයක් දැක, සහ කටහඬක් ඇසූ විට, දුටු එම දර්ශනය පිළිබඳව විස්තර කළේය; එහෙත් එහි සිටියේ ඔහුව විශ්වාස කළ ස්වල්ප දෙනෙක් පමණි; සමහරෙක් ඔහු වංක යැයි පැවසුවෝය, සමහරෙක් ඔහු උමතු යැයි පැවසුවෝය; තවද ඔහුව අවඥාවට සහ ගැරහීමට භාජනය විය. එහෙත් ඒ සියල්ල ඔහු දුටු දර්ශනයේ සත්‍යතාව විනාශ කළේ නැත. ඔහු දර්ශනයක් දුටුවේය, ඔහු එය දැන සිටියේය, ස්වර්ගයෙන් පහළ වූ සියලු හිංසා වලින් එය වෙනස් කළ නොහැකි විය; මරණය දක්වා ඔවුන් ඔහුට හිංසා කළද, එහෙත් ඔහු දැන සිටියේය, තවද ඔහුගේ අවසන් හුස්ම දක්වා වුවද, තමා ආලෝකයක් දුටු බවත් ඔහුට කතා කරන හඬක් ඇසුන බවත් ඔහු දැන සිටින්නේය, ඔහුගේ සිතීම හෝ විශ්වාසය වෙනස් කිරීමට මුළු ලොවටම නොහැකි විය.

25 මා පිළිබඳවද එසේම විය. මම සැබවින්ම ආලෝකයක් දුටුවෙමි, තවද ඒ ආලෝකය මැද මම උත්තමයන් දෙදෙනෙකු දුටුවෙමි, තවද ඔවුහු සැබවින්ම මා සමඟ කතා කළහ; මා දර්ශනයක් දුටු බව කීම නිසා මට ද්වේෂ කළද හිංසා කළද, තවමත් එය සත්‍යයක් විය; එසේ කීම නිසා, ඔවුහු මට හිංසා කරද්දී, මට ගරහද්දී, සහ වැරදි ලෙස මට විරුද්ධව සියලු ආකාරයේ නපුරු දේ කතා කරද්දී, මගේ හදවතින් මෙසේ කියන්නට මා පෙළඹුණි: සත්‍යය පැවසීම නිසා මට හිරිහැර කරන්නේ මක්නිසාද? සැබවින්ම මම දර්ශනයක් දුටුවෙමි; දෙවියන්වහන්සේට යටත් නොවී සිටිය හැකි මා කවරෙක්ද, එමෙන්ම මා සැබවින්ම දුටු දේ ප්‍රතික්ෂේප කරවීමට ලෝකයා සිතන්නේ මක්නිසාද? මක්නිසාද මා දර්ශනයක් දුටු බැවින්; මම එය දනිමි, දෙවියන්වහන්සේ එය දන්නා බවද මම දැන සිටියෙමි, තවද මට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය, නැතහොත් මා එසේ කීමට නිර්භය වන්නේද නැත; එසේ කිරීමෙන් මා දෙවියන්වහන්සේව අමනාප කරගන්නා බවත්, තවද වරදට පත්වන බවත් මම දැන සිටියෙමි.

26 නිකායික ලෝකය සලකන තාක් දුරට, ඒවායින් කිසිවකට බැඳීම මාගේ යුතුකම නොවන බවද—තවදුරටත් උපදෙස් ලැබෙන තුරු, පෙර සේ කටයුතු කරගෙන යාම පිළිබඳව මාගේ සිත තෘප්තිමත් විය. යාකොබ්ගේ සාක්ෂිය සත්‍ය බවත්—එනම් ප්‍රඥාව අඩු මිනිසෙකුට දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට හැකි බවත්, දොස් පවරන්නේ නැතිව, එය ඔහුට ලබාගත හැකි බවත් මම සොයාගත්තෙමි.

මොරෝනි ජෝසෆ් ස්මිත්ට ප්‍රකාශ වෙයි—ජෝසෆ්ගේ නාමය ජාතීන් අතර හොඳටත් නරකටත් කතාවෙනු ඇත—මොරෝනි ඔහුට මොර්මොන්ගේ පොත ගැනත් එමෙන්ම ස්වාමින්වහන්සේගේ මතු පැමිණෙන විනිශ්චය ගැනත් පවසා, ශුද්ධලියවිලි බොහොමයක් උපුටා දැක්වීය—රන් තහඩු සඟවා ඇති තැන් හෙළිකරනු ලබයි—මොරෝනි විසින් අනාගතවක්තෘවරයාට නොකඩවා උපදෙස් දෙනු ලබයි. (පද 27–54.)

27 එක්දහස් අටසිය විසිතුනේ සැප්තැම්බර් විසිඑක්වෙනි දින දක්වා මම මාගේ ජීවිතයේ සාමාන්‍ය රැකියාවන් කරගෙන ගියෙමි, මා දර්ශනයක් දුටු බව දිගටම සහතික කළ නිසා, ආගමික සහ ආගමික නොවන, සියලු පාන්තික මිනිසුන්ගෙන් ලද කටුක හිංසාවන්ගෙන් මුළු කාලය තුළම පෙළෙමින් සිටියෙමි.

28 මා දර්ශනය දුටු කාලයේ සිට, එක්දහස් අටසිය විසිතුන දක්වා මැද වූ කාල පරාසය අතරතුර—එකළ තිබූ කිසිම ආගමික නිකායකට බැඳීම මට තහනම් කර තිබුනෙන්, සහ නොමේරූ තරුණ වයසෙහි සිටිමින්, මාගේ මිතුරන් විය යුතු වූ සහ මට කරුණාවන්තව සැලකිය යුතු වූ, තවද ඔවුන් මා මුලාවී ඇති බව සිතා සිටියේ නම්, යෝග්‍ය පරිදි දයාන්විත ලෙස, මා මුදාගැනීමට උත්සාහ කළ යුතුව තිබූ, ඒ අය විසින්ද හිංසා කරනු ලැබූවෙමි—මම සියලු ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය වීමි; තවද, සියලු වර්ග වල සමාජ සමඟ මිශ‍්‍ර වෙමින්, මම නිතර බොහෝ අඥාන වැරදි වලට වැටුන අතර, තුරුණුවියේ දෝෂයන්ද, මිනිස්බවේ දුර්වලකම්ද විදහා දැක්වීමි; එනම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරද සහගත වන, අනේක පෙළඹවීම් වලට භාජනය වූ බව කීමට මම කණගාටු වෙමි. මේ පාපොච්ඡාරණය කිරීම නිසා, මා ඉතා උග‍්‍ර පාප වලට වරදකරුවෙකු යැයි කිසිවෙකු සිතීමට වුවමනා නැත. එවැන්නක් කිරීමට සිතීම මාගේ ස්වභාවය නොවීය. එහෙත් නොසැලකිලිමත් බවට මම වැරදිකරුවෙක්මි, සමහර අවස්ථා වලදී විනෝදාත්මක සමාගම් ආදිය පැවැත්වූයෙමි, එය මා වැනි දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූවකු පවත්වාගත යුතු චරිතයකට එකඟ නොවන්නකි. එහෙත් මාගේ තරුණ විය ගැන සිතන කිසිවෙකුට මෙය මහත් අමුතු දෙයක් ලෙස නොපෙනෙන්නේ, එය මාගේ සහජ ප්‍රකෘතිමත් විනෝදශීලීත්වයට සුපුරුදු දෙයක් වූ නිසාය.

29 මෙම දේවල් වල ප්‍රතිඑලයක් ලෙස, මට බොහෝවිට, මාගේ දුර්වලකම් සහ අසම්පූර්ණත්වය පිළිබඳව දෝෂ සහිත බවක් හැඟුණි; ඉහත සඳහන් කළ සැප්තැම්බර් විසිඑක්වෙනි දින සවස, මා රාත්‍රී නින්දට ගිය කළ, මාගේ සියලු පාපයන්ට සහ අඥාන ක්‍රියාවන්ට කමාව පිණිස, සර්වබලධාරී දෙවියන්වහන්සේට යාච්ඤා කරමින්, උන්වහන්සේ ඉදිරියේ මාගේ තත්වය දැනගැනීම සඳහා සහ මා හට ප්‍රකාශ වීමක් ලබාගැනීම සඳහා උන්වහන්සේට ආයාචනා කළෙමි; ඉහතදී මා මෙවැන්නක් ලබා ඇති නිසා, දිව්‍යමය ප්‍රකාශ වීමක් ලැබීමේ පූර්ණ විශ්වාසයක් මා තුළ විය.

30 මෙලෙස මා දෙවියන්වහන්සේට හඬගසමින් සිටින විට, මාගේ කාමරයේ ආලෝකයක් පහළ වෙනු මට පෙනිණ, එය මධ්‍යහනයටත් වඩා කාමරය දීප්තිමත් වනතුරු වර්ධනය විය, එකෙනෙහිම පුද්ගලයෙක් මාගේ ඇඳ අසල ප්‍රකාශ වී, ගුවනෙහි සිටගෙන සිටි අතර, ඔහුගේ දෙපා බිම නොගැටිණ.

31 ඔහු ඉතා උත්කර්ෂවත් ස්වේත වර්ණ සැහැල්ලු ලෝගුවක් පැළඳ සිටියේය. එය මා දැක ඇති ලෞකික ඕනෑම දෙයක් ඉක්මවූ ස්වේත වර්ණයක් විය; ලෞකික වූ කිසියම් දෙයක් එතරම් අධික ස්වේත වර්ණයකින් හෝ දීප්තිමත් ලෙස දර්ශනය වියහැකි යැයි මම විශ්වාස නොකරමි. ඔහුගේ අත්ද, මැණික් කටුවෙන් මඳක් ඉහළ බාහුවද නග්නව තිබිණ; එසේම ඔහුගේ දෙපාද, එසේම වළලුකරට මඳක් ඉහළින් වූ ඔහුගේ පාදද, නග්නව තිබිණ. ඔහුගේ හිස සහ ගෙලද ආවරණය වී නොතිබිණ. ඔහුගේ පපුව පෙනෙන සේ පැළඳ සිටි ලෝගුව විවර වී තිබූ හෙයින්, ඔහු මෙම ලෝගුව හැරුණු කොට වෙනත් වස්ත්‍රයක් පැළඳ නොසිටි බව මට දැකගත හැකිවිය.

32 ඔහුගේ ලෝගුව ඉතා දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූවා පමණක් නොව, එහෙත් ඔහුගේ මුළු ශරීරයම වර්ණනා විෂය ඉක්මවූ මහිමයකින් යුක්ත විය, තවද ඔහුගේ මුහුණුවරෙහි ස්වභාවය සත්‍ය ලෙසම විදුලිය මෙන් විය. කාමරය අතිශයින්ම ආලෝකමත් විය, එහෙත් ඔහුගේ ශරීරය වටා තිබූ දීප්තිය තරම්ම නොවීය. මම පළමුවෙන්ම ඔහු දෙස බැලූ විට, මම බිය වීමි; එහෙත් බිය ඉක්මණින් මාගෙන් පහව ගියේය.

33 ඔහු මාගේ නමින් මා අමතා, තමා දෙවියන්වහන්සේ ඉදිරියෙන් මා වෙත එවූ පණිවිඩකරුවෙකු බවත්, ඔහුගේ නම මොරෝනි බවත් කීවේය; එමෙන්ම දෙවියන්වහන්සේට මා ලවා කරවාගැනීමට කාර්යයක් ඇති බවත්; තවද සියලු ජාතීන්, ගෝත්‍ර සහ භාෂාවන් අතර මාගේ නම හොඳට හෝ නරකට තිබිය හැකි බවත්, එසේ නැතහොත් සියලුම ජනතාව අතර, එය හොඳට සහ නරක දෙකටම කියනු ලැබෙන බවත් කීවේය.

34 මෙම මහාද්වීපයෙහි ආදිවාසීන් ගැන සහ ඔවුන්ගේ ආරම්භය පිළිබඳ විස්තර ඇතුළත්, රන් තහඩු මත ලියන ලද, පොතක් තැන්පත් කර ඇති බවත් ඔහු කීවේය. ගැලවුම්කරුවාණන් විසින් පුරාණ ආදිවාසීන්ට දේශනා කළ, සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය එහි ඇතුළත්ව ඇති බවත් ඔහු කීවේය.

35 එසේම, රිදී දුනු වල සවිකළ ගල් දෙකක් ඇති බවත්—පපු කවචයක සවිකළ ඌරීම් සහ තුම්මීම් ලෙස හැඳින්වෙන මෙම ගල්—තහඩු සමඟ තැන්පත්කර ඇති බවත්; මෙම ගල් වල සන්තකය සහ භාවිතය, පුරාණ හෝ ආදි කාලයෙහි “දර්ශන දකින්නන්” සතුව තිබූ බවත්; එසේම දෙවියන්වහන්සේ ඒවා සූදානම් කර තිබෙන්නේ මෙම පොත පරිවර්තනය කිරීමේ අරමුණ සඳහා බවත් කීවේය.

36 මෙම දේවල් මට කීමෙන් පසුව, ඔහු පරණ ගිවිසුමේ අනාවැකි උපුටා දැක්වීම ආරම්භ කළේය. පළමුව ඔහු මලාකි පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ කොටසක් උපුටා දැක්වීය; තවද අපගේ බයිබල වල කියැවෙන අයුරින් මඳක් වෙනස් ලෙස වුවද, එම අනාවැකියේම හතරවෙනි හෝ අන්තිම පරිච්ඡේදය ඔහු උපුටා දැක්වීය. අපගේ පොත් වල කියැවෙන ආකාරය වෙනුවට ඔහු පළමු පදය මෙසේ උපුටා දැක්වීය:

37 මක්නිසාද බලව, උඳුනක් මෙන් දැවෙන්නාවූ දවස එළඹෙන්නේය, සියලු උඬඟු වූවන්ද, එසේය, දුෂ්ඨකම් කළවුන් සියල්ලන්ද ඉපනැලි මෙන් දැවෙන්නාහ; පසුව එන අය මුලක් හෝ අත්තක් ඉතිරි නොකර ඔවුන්ව දවන්නාහ යැයි, සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.

38 තවද නැවතත්, ඔහු පස්වන පදය මෙසේ උපුටා දැක්වීය: බලන්න, ස්වාමින්වහන්සේගේ මහත් හා භයානක දවස පැමිණෙන්නට පෙර, මම නුඹලාට අනාගතවක්තෘ එලයිජාගේ අතින් පූජකවරය එළිදරව් කරන්නෙමි.

39 ඔහු ඊළඟ පදයද වෙනස්ව උපුටා දැක්වීය: තවද ඔහු පියවරුන්ට දී ඇති පොරොන්දු දරුවන්ගේ හදවත් තුළ රෝපණය කරන්නේය, තවද දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හැරෙන්නේය. එය එසේ නොවන්නේ නම්, උන්වහන්සේගේ පැමිණීමේදී මුළු පොළොවම සම්පූර්ණයෙන්ම නාස්ති වන්නේය.

40 මේවාට අමතරව, ඔහු යෙසායා පොතේ එකොළොස්වෙනි පරිච්ඡේදය උපුටා දක්වමින් එය සම්පූර්ණ වීමට ආසන්න බව කීවේය. ඔහු ක්‍රියා පොතේ තුන්වන පරිච්ඡේදයේ විසිදෙවන සහ විසිතුන්වන පදද, අපගේ අලුත් ගිවිසුමේ සඳහන්ව තිබෙන ලෙස, නිවැරදිව උපුටා දැක්වීය. ඒ අනාගතවක්තෘවරයා ක්‍රිස්තුස්වහන්සේ බව ඔහු කීවේය; “එහෙත් උන්වහන්සේගේ හඬට සවන්නොදෙන අය, ජනතාව අතරින් කපාහරින බවත්” එම දිනය තවම පැමිණ නොමැති බවත්, එහෙත් එය නොපමාව පැමිණෙන බවත් කීවේය.

41 ඔහු යොවෙල් පොතේ දෙවන පරිච්ඡේදයේ, විසිඅටවෙනි පදයේ සිට අවසානයට උපුටා දැක්වීය. මෙය තවමත් සම්පූර්ණ වී නොමැති නමුත්, එය ඉක්මණින් සම්පූර්ණ වන බවද ඔහු කීවේය. තවද අන්‍ය ජාතිකයන්ගේ පූර්ණත්වය ඉක්මණින් සිදුවීමට යන බව ඔහු තවදුරටත් කීවේය. ඔහු ශුද්ධලියවිලි වල වෙනත් බොහෝ කොටස් උපුටා දක්වමින්, තවද බොහෝ පැහැදිලි කිරීම් ඉදිරිපත් කළද, ඒවා මෙහි සඳහන් කළ නොහැකිය.

42 නැවතත්, ඔහු මා අමතා, ඔහු පෙර කතා කළ එම තහඩු මා ලබාගත් විට—මක්නිසාද ඒවා ලබාගැනීමේ කාලය තවම සම්පූර්ණව තිබුනේ නැත—මා ඒවා හෝ ඌරීම් සහ තුම්මීම් සහිත පපු කවච කිසිවෙකුට නොපෙන්විය යුතු බවත්; පෙන්විය යුත්තේ ඔහු ආඥා කරන පුද්ගලයන්ට පමණක් බවත්; මා එසේ කළහොත් මා විනාශ විය යුතු බවත් කීවේය. ඔහු මා සමඟ තහඩු පිළිබඳව කතා කරමින් සිටියදී, තහඩු තැන්පත් කර තිබෙන ස්ථානය මට දැකගත හැකිවීම පිණිස, දර්ශනයක් මගේ මනසට විවෘත විය, තවද පසුව මා එහි ගියවිට, ඒ ස්ථානය දැනගත හැකි තරම් එය ඉතා පැහැදිලි සහ ප්‍රත්‍යක්ෂ විය.

43 මේ සාකච්ඡාවෙන් පසුව, කාමරයෙහි තිබූ ආලෝකය මා සමඟ කතා කරමින් සිටි එම පුද්ගලයාගේ ශරීරය වටා එකතු වීමට පටන්ගත් බව මම දුටුවෙමි, තවද ඔහු වටා හැර, කාමරය අඳුරු වනතුරු එය පැවතිණි; එකෙණෙහිම එම ආලෝකය ස්වර්ගය දක්වා විහිදී ගිය නලයක් මෙන් මම දුටුවෙමි, තවද ඔහුව සම්පූර්ණයෙන්ම නොපෙනී යන තුරු ඔහු ඉහළට නැගී ගිය අතර, තවද කාමරය මෙම ස්වර්ගීය ආලෝකය පහළ වීමට පෙර තිබුනාක් මෙන් විය.

44 එම දර්ශනයෙහි අසාමාන්‍යතාව සහ මෙම අපූර්ව පණිවිඩකරු විසින් මට කියන ලද දේවල් පිළිබඳවද මහත් සේ මවිත වෙමින් මම වැතිර සිටියෙමි; එවිට, මෙම ගැඹුරු කල්පනාව මැදදී, මාගේ කාමරය නැවතත් ආලෝකමත් වීමට පටන්ගත් බව හදිසියේම මට පෙණින, තවද එකෙනෙහිම, කලින් මෙන්, පෙර කී ස්වර්ගීය පණිවිඩකරුම මාගේ ඇඳ අසල විය.

45 ඔහු පළමු බැහැදැකීමේදී විස්තර කළ සියල්ල ඉතා සුළු වෙනස්කිරීමකින් පවා තොරව, නැවතත් විස්තර කරමින් සාකච්ඡාව ආරම්භ කළේය; එසේ කොට, සාගතයෙන්ද, කඩුවෙන්ද, වසංගතයන් මගින්ද මහත් පාළුවීම් සහ පොළොව මත පැමිණෙන මහත් විනිශ්චයන් පිළිබඳවද ඔහු මට කීවේය; තවද එසේම මෙම භයානක විනිශ්චයන් මේ පරම්පරාව තුළදීම පොළොව මත පැමිණිය හැකි බවත් කීවේය. මේ දේවල් විස්තර කිරීමෙන් පසුව, ඔහු නැවත වරක් පෙර සේම ඉහළට නැගුනේය.

46 මේ අවස්ථාව වන විට, මාගේ මනසෙහි ඇතිව තිබූ හැඟීම් ඉතා ගැඹුරු වූ හෙයින්, නින්ද මාගේ දෑසින් පලා ගොස්, තවද මා දුටු සහ ඇසූ දෙයින් විස්මිතව මම වැතිර සිටියෙමි. එහෙත් නැවතත් එම පණිවිඩකරුම මාගේ ඇඳ අසල සිට පෙර මෙන්ම එකී දේවල් විස්තර කිරීම හෝ නැවත කීම ඇසුන විට, මාගේ මවිතය කෙසේ විය හැකිද; තවද ඔහු මට අනතුරු ඇඟවීමක් කරමින්, (මාගේ පියාගේ පවුලේ දිළිඳු තත්වයේ ප්‍රතිඑලයක් ලෙස) මෙම තහඩු ධනවත් වීම සඳහා ලබාගන්නා ලෙස සාතන් මා පෙළඹවීමට උත්සාහ දරනු ඇතැයිද කීවේය. මෙය ඔහු මට තහනම් කරමින්, දෙවියන්වහන්සේව මහිමවත් කිරීම හැර, තහඩු ලබාගැනීමට වෙනත් අරමුණක් මට තිබිය යුතු නැති බවද, තවද උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම හැර, වෙනත් අභිප්‍රායකින් පෙළඹවීම් වලට යටත් නොවිය යුතු බවද; නැතහොත් මට ඒවා ලබාගැනීමට නොහැකි බවද කීවේය.

47 මෙම තුන්වන බැහැදැකීමෙන් පසුව, පෙර මෙන්ම ඔහු ස්වර්ගයට නැගී ගියේය, තවද මා දැන් අත්දුටු දේවල අපූර්වතාව ගැන මම නැවතත් කල්පනා කරන්නට වීමි; මෙම ස්වර්ගීය පණිවිඩකරු තුන්වෙනි වරටත් මාගෙන් වෙන්ව ඉහළට නැගීමත් සමඟම, කුකුළා හැඬලීය, තවද උදෑසන කාලය ලඟාවෙමින් පවතින බවද, අපේ සම්මුඛ සාකච්ඡා එම රාත‍්‍රිය මුළුල්ලේම පැවති බවද මම එයින් දැනගතිමි.

48 ඉන් සුළු වේලාවකට පසු මම ඇඳෙන් නැගිට, තවද, සාමාන්‍ය ලෙස දවසේ අවශ්‍ය කටයුතු සඳහා ගියෙමි; එහෙත්, වෙනත් අවස්ථා වලදී මෙන් වැඩකිරීමට තැත්කිරීමේදී, මා සම්පූර්ණයෙන්ම දුර්වල වී මගේ ශක්තිය සිඳී ඇති බව මම දැනගතිමි. මා සමඟ වැඩකරමින් සිටි මගේ පියා, මා කිසියම් දෝෂයකින් පෙළෙන බව දැන, මට නිවසට යන ලෙස කීවේය. මම නිවසට යාමේ අදහස ඇතිව පිටත්වීමි; එහෙත්, අප සිටි ගොවිබිමේ වැට පනින්නට යාමේදී, මා සම්පූර්ණයෙන්ම ශක්තියෙන් හීන වී ගොස්, තවද අසරණව මම බිම ඇදවැටී, තවද මඳ වේලාවක් කිසිවක් නොදැන, මම සිහි විසඥව සිටියෙමි.

49 මට මතක් කළ හැකි පළමු දෙය නම් මාගේ නමින් මා අමතන කටහඬකි. මා ඉහළ බැලූවිට, එම පණිවිඩකරුම පෙර මෙන් ආලෝකයකින් වටවී, මාගේ හිසට උඩින් සිටගෙන සිටිනු දුටුවෙමි. ඔහු නැවතත් පෙරදින රාත‍්‍රියේ මට විස්තර කළ සියල්ල විස්තර කර, තවද මගේ පියා ළඟට ගොස් මට ලැබුණු දර්ශනය සහ ආඥා ගැන ඔහුට කියන ලෙස මට ආඥා කළේය.

50 මම කීකරු වීමි; මම ආපසු ගොවිබිමේ සිටි මගේ පියා වෙත ගොස්, තවද සම්පූර්ණ කාරණය ඔහුට විස්තර කළෙමි. ඒ දෙවියන්වහන්සේගෙන් බව ඔහු මට පිළිතුරු දුන්නේය, තවද පණිවිඩකරු ආඥා කළ ලෙස ගොස් කරන ලෙසද මට කීවේය. මම ගොවිබිමෙන් නික්ම, තවද තහඩු තැන්පත් කර ඇතැයි පණිවිඩකරු විසින් කියන ලද ස්ථානයට ගියෙමි; ඒ පිළිබඳව මා දුටු දර්ශනයේ විශිෂ්ටත්වය නිසා, මා එහි ගිය විගසම මම එම ස්ථානය හඳුනාගතිමි.

51 නිව්යෝර්ක් හි, ඔන්ටාරියෝ ප්‍රාන්තයේ, මැන්චෙස්ටර් නම් ග‍්‍රාමයට සමීපව, සැලකිය යුතු ප්‍රමාණයක කන්දක් තිබෙන අතර, එය එම ප්‍රදේශයේ අවට ඇති උස්ම ස්ථානයයි. මෙම කන්දේ බස්නාහිර පැත්තේ, මුදුනට නුදුරින්, සැලකිය යුතු ප්‍රමාණයක ගලක් යට, ගලින් තනන ලද පෙට්ටියක් තුළ, එම තහඩු තැන්පත් කර තිබුණි. මෙම ගල ඝණකම් සහ උඩු පැත්තේ මැද කොටස ගෝලාකාර වූ අතර, එහි අද්දර තුනීව තිබූ එකකි, එසේහෙයින් එහි මැද කොටස පොළොවෙන් මතුපිටට පෙනෙන්නට තිබුනත්, එහි අද්දර වටේට පස් වලින් වැසී ගොස් තිබුණි.

52 පස් ඉවත්කර, මම ලීවරයක් ලබාගතිමි, මම එය ගලේ අද්දර යටට සවිකර, තවද මඳ වෑයමකින් එය උස්සා ගතිමි. මා එහි තුළ බැලූ කළ, තවද පණිවිඩකරු සඳහන් කළ පරිදි, ඇත්තවශයෙන්ම, එහි තහඩුද, ඌරීම් සහ තුම්මීම්ද, තවද පපු කවචයද මම දුටුවෙමි. ඒවා බහා තිබූ පෙට්ටිය, ගල් සහ යම්කිසි සිමෙන්ති වර්ගයක් එකතුකර තනන ලද්දකි. තවද එම පෙට්ටිය පතුලෙහි හරහට තැබූ ගල් දෙකක් මත, තහඩු සහ අනෙක් දේවල්ද තැන්පත් කර තිබුණි.

53 මම ඒවා පිටතට ගැනීමට තැත් කළෙමි, එහෙත් එසේ කිරීමට පණිවිඩකරු විසින් මට තහනම් කර, තවද ඒවා ගැනීමට වෙලාව තවම පැමිණ නැති බවත්, එතැන් සිට තව අවුරුදු හතරක් යනතුරු, එසේ නොවන බවත් නැවතත් මට දන්වා සිටියේය; එහෙත් හරියටම තවත් අවුරුද්දකින් මා එම ස්ථානයට පැමිණිය යුතු බවත්, තවද මා මුණගැසීමට ඔහු එහි සිටින බවත් ඔහු මට කීවේය, තවද එසේම එම තහඩු ලබාගන්නා දිනය එනතුරු, මා එලෙසම නොනවත්වා කළ යුතු බවත් ඔහු මට කීවේය.

54 ඒ අනුව, මට ආඥා කළ පරිදි, සෑම අවුරුද්දකම අවසානයේ මම ගිය අතර, ඒ හැම අවස්ථාවකදීම එම පණිවිඩකරුවාම මට හමුවුන අතර, තවද අපගේ සෑම සාකච්ඡාවකදීම, ස්වාමින්වහන්සේ ඉදිරියේදී කිරීමට යන දේවල් ගැන, සහ කෙසේ සහ කුමන ආකාරයකින් උන්වහන්සේගේ රාජ්‍ය මෙම අන්තිම දවස් වලදී මෙහෙයවිය යුතුද කියා, ඔහුගෙන් උපදෙස් සහ අනුදැනුමද ලැබුවෙමි.

ජෝසෆ් ස්මිත් එමා හේල් සමඟ විවාහ වෙයි—ඔහු මොරෝනිගෙන් රන් තහඩු ලබාගෙන අක්ෂර කිහිපයක් පරිවර්තනය කරයි—මාටින් හැරිස් එම අක්ෂර සහ පරිවර්තනය මහාචාර්ය ඇන්තොන්ට පෙන්වයි, ඔහු මෙසේ කියයි, “මට මුද්‍රා කළ පොතක් කියවීමට නොහැකිය.” (පද 55–65.)

55 මාගේ පියාගේ ලෞකික තත්වයන් ඉතා සීමිත වූයෙන්, අපගේ දෑතේ වීරියෙන් දවස් පතා යමක් උපයාගැනීමට, අපට අවස්ථාවක් ලැබෙන පරිදි, දවසේ කුලී වැඩද සමහර අවස්ථා වල වෙනත් ආකාරයෙන්ද කිරීමට සිදුවිය. සමහරවිට ගෙදර සිටද, තවද සමහර අවස්ථා වල ගෙදරින් පිටතද, තවද නොනවත්වා වැඩකිරීමෙන් සුවසේ නඩත්තු වීමට හැකිවිය.

56 1823 වෙනි අවුරුද්දේ මාගේ පියාගේ පවුලට මාගේ වැඩිමහල් සොහොයුරා වන ඇල්වින්ගේ මරණයත් සමඟ විශාල කරදරයක් ඇතිවිය. 1825 ඔක්තෝම්බර් මාසයේ, ජොසියා ස්ටෝල් නම් මහළු මහත්මයෙකු යටතේ මම වැඩ කළෙමි, ඔහු ජීවත්වූයේ නිව්යෝර්ක් ජනපදයේ, චෙනන්ගෝ ප්‍රාන්තයේය. පෙන්සෙල්වේනියා ජනපදයේ, සස්කුහෙන්නා ප්‍රාන්තයේ, හාර්මනි හි, ස්පැනියාර්ඩ් ජාතිකයන් රිදී පතලක වැඩ ආරම්භ කර ඇතිබව ඔහුට ආරංචි වී තිබිණ; මා ඔහුගේ සේවයට ඒමට කලින්, පතල සොයාගැනීමට හැකිවීම සඳහා, පොළොව කැණීම් කර තිබිණ. මා ඔහු සමඟ ජීවත්වීමට ගිය පසු, ඔහුගේ අනෙකුත් සේවකයන් සමඟ රිදී පතල කැණීම සඳහා, මාද රැගෙන තිබිණි, එහි අපගේ කාර්යයෙහි කිසිම සාර්ථකත්වයක් නැතිව මාසයක් පමණ වැඩ කළෙමි, තවද අවසානයේදී කැණීම් නතර කිරීමට එම මහළු මහතාට ඒත්තුගැන්වීමට මට හැකිවිය. එතැන් සිට මම මුදල් හාරන්නෙකු වීම පිළිබඳ ඉතා ප්‍රචලිත කතාව මතුවිය.

57 මා මෙසේ සේවය කළ කාලය තුළදී, ඒ ස්ථානයෙහි, අයිසෙක් හේල් නම් මහත්මයෙකුගේ නිවසේ පදිංචි වීමට මට සිදුවිය; එමා හේල්, මාගේ භාර්යාව (ඔහුගේ දියණිය), මට පළමුව මුණගැසුනේ එහිදීය. 1827 ජනවාරි 18 වෙනිදා අපි විවාහ වුනෙමු, මා එවකටත් ස්ටෝල් මහතාගේ සේවයෙහි යෙදී සිටියෙමි.

58 මම දර්ශනයක් දුටු බව නොකඩවාම තහවුරු කළ නිසා, හිරිහැර තවදුරටත් මා පසුපස පැමිණි බැවින්, මගේ බිරිඳගේ පියාගේ පවුල අපගේ විවාහය ගැන බොහෝ සේ විරුද්ධ විය. එසේහෙයින්, ඇය වෙනත් ස්ථානයකට ගෙනයාමේ අවශ්‍යතාවයක් මට ඇතිවිය; එසේහෙයින් අපි නිව්යෝර්ක්, චෙනන්ගෝ ප්‍රාන්තයේ, දකුණු බේන්බ්‍රිජ් හි, ස්කුවෙයාර් ටාබිල් හිදී විවාහ වුනෙමු. මම ස්ටෝල් මහතාගේ සේවයෙන් අස්වී, මාගේ පියා වෙතට ගොස් ඔහු සමඟ එම කන්නයේ ගොවිතැන් කළෙමි.

59 කල්යාමේදී තහඩුත්, ඌරීම් සහ තුම්මීම් සමඟ පපු කවචයත් ලබාගත යුතු කාලය පැමිණියේය. වර්ෂ එක්දහස් අටසිය විසිහතේ සැප්තැම්බර් මස විසිදෙවෙනි දින, සුපුරුදු පරිදි තවත් වසරක් අවසානයේදී ඒවා තැන්පත් කළ ස්ථානයට ගිය විට, පෙර කී ස්වර්ගික පණිවිඩකරු මෙම නියෝගය පිට මට ඒවා බාරදුන්නේය: එනම්, ඒ සියල්ලටම මා වගකිව යුතු බවත්; මගේ නොසැලකිල්ලෙන් හෝ යම් අතපසුවීමකින් පිටතට ඒවා ගියහොත්, මා දෙවියන්වහන්සේ ඉදිරියෙන් කපාහරින බවත්; එහෙත් එම පණිවිඩකරු ඇවිත් ඒවා ඉල්ලන තුරු, මාගේ සියලු උත්සායන් දරා ඒවා ආරක්ෂා කළහොත්, ඒවා ආරක්ෂිතව තිබෙන බවත් ඔහු කීවේය.

60 ඒවා සුරක්ෂිතව තබාගැනීම සඳහා මට එතරම් දැඩි නියෝග පැනවූයේ මක්නිසාද යන හේතුවද, තවද මගේ අතින් ඉටුවිය යුතු කාරණා නිමවූ පසු, ඔහු ඒවා නැවත ගන්නට පැමිණෙන බව එම පණිවිඩකරු පැවසුවේ මක්නිසාද යන හේතුවද, වැඩිකල් යන්නට මත්තෙන් මම සොයාගත්තෙමි. මක්නිසාදයත් ඒ දේවල් මා සතුව තිබෙන බව දැනගත් වහාම ඒවා මාගෙන් පැහැරගැනීමට ඉතා දරුණු ප්‍රයත්න ඇතිවිය. එම සෑම උපායක්ම යොදවා තිබුණේ එම අරමුණ සඳහාය. හිරිහැර එන්න එන්නම කලින් තිබුනාටත් වඩා දරුණු විය, හැකිනම් ඒවා මාගෙන් පැහැරගැනීමට ජනසමූහයා නිතරම මාන බැලූහ. එහෙත් දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන්, මාගේ අතින් ඉටුවිය යුතු සියල්ල නිමවෙන තුරු, ඒවා මා සමඟ ආරක්ෂිතව තිබුනේය. පෙර පිළියෙල කරගත් ආකාරයට එම පණිවිඩකරු ඇවිත් ඒවා ඉල්ලූ විට, මම ඒවා ඔහුට බාරදුනිමි; තවද මෙම දවස දක්වා අද එනම් වර්ෂ එක්දහස් අටසිය තිස්-අටේ, මැයි මස දෙවෙනිදා දක්වා ඒවා ඔහුගේ බාරයට පත්ව ඔහු සමඟ ඇත.

61 කෙසේවුවද, කලබලකාරී තත්වය, තවදුරටත් පැවතිණ, තවද මගේ පියාගේ පවුල ගැනත්, මා ගැනත් අසත්‍ය ප්‍රචාරය කිරීම සඳහා කටකතා ඇයගේ දිව දහසක් සමඟ පැතිරී තිබුණි. එවැනි දේවලින් දහසකින් කොටසක්වත් කීමට, පොත් කාණ්ඩ කිහිපයක් වුවමනා වේ. කෙසේවුවද, හිරිහැර කොපමණ උග‍්‍ර වූවේද යත්, මැන්චෙස්ටර් අතහැර මගේ බිරිඳගේ මව්බිම වන පෙන්සිල්වේනියා ජනපදයේ, සස්කුහෙන්නා ප්‍රාන්තයට යාමට මට සිදුවිය. ගමන ආරම්භ කිරීමට සූදානම් විමේදී—ඉතා දුප්පත්ව සිටි නිසාත්, හිරිහැර ඉතා උග‍්‍රව පැවති ඒ අවස්ථාවේ, අපි කෙදිනවත් දුප්පත් නොවී සිටින බවට කිසිඳු සම්භාවිතාවක් නොමැති විටදීත්—අපේ පීඩා මධ්‍යයේ මාටින් හැරිස් නම් වූ මහත්මයෙක් තුළ මිතුරෙක් අපට හමුවිය, ඔහු මා වෙතට පැමිණ අපේ ගමනට අතදීමක් ලෙස මට ඩොලර් පනහක් දුන්නේය. සැලකිය යුතු ගොවියෙක් වන හැරිස් මහතා නිව්යෝර්ක් ජනපදයේ, වෙයිනි ප්‍රාන්තයේ, පැල්මයිරා නගරයේ වාසය කරන්නෙකි.

62 මෙම කාලෝචිත උපකාරයෙන් පෙන්සිල්වේනියාවේ මා බලාපොරොත්තු වූ ස්ථානයට ලඟාවීමට මට හැකිවිය; තවද මා එහි පැමිණි වහාම මම තහඩු වල කොටා ඇති අක්ෂර පිටපත් කීරීමට පටන් ගත්තෙමි. ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් මම පිටපත් කළෙමි, තවද ඌරීම් සහ තුම්මීම් මගින් තහඩු සමහරක් මම පරිවර්තනය කළෙමි, මා එය කළේ මගේ බිරිඳගේ පියාගේ නිවසට පැමිණි දෙසැම්බර් මාසයේත්, පෙබරවාරි මාසයේත් අතරතුරදීය.

63 මෙම පෙබරවාරි මාසය තුළදී දිනක්, පෙර කී මාටින් හැරිස් මහතා අපගේ නිවසට පැමිණ, මා තහඩු වලින් පිටපත් කරගත් අක්ෂර ලබාගෙන, ඒවා රැගෙන නිව්යෝර්ක් නගරයට පිටත්විය. ඔහුට සහ අක්ෂර වලට සාපේක්ෂව සිදුවූ දෙය පිළිබඳ, ඔහුගේ නැවත පැමිණීමෙන් පසු ඔහු මට විස්තර කළ පරිදි, ඔහුගේ තත්වයන් පිළිබඳව මම සඳහන් කරමි, එය පහත සඳහන් පරිදිය:

64 “මම නිව්යෝර්ක් නගරයට ගොස්, තවද ඔහුගේ සාහිත්‍යමය ජයග්‍රහණ සඳහා සැමරීම් ලබා ඇති මහත්මයෙකු වන, මහාචාර්ය චාල්ස් ඇන්තොන් වෙත ගොස් ඒ පරිවර්තනය කර තිබූ එම අක්ෂර, සහ එහි පරිවර්තනයද ඉදිරිපත් කළෙමි. ඒ පරිවර්තන නිවැරදි බවත්, ඊට පෙර මිසර භාෂාවෙන් එලෙස නිවැරදිව කරන ලද පරිවර්තනයක් ඔහු නුදුටු බවත්, මහාචාර්ය ඇන්තොන් කීවේය. මම ඊට පසු පරිවර්තනය නොකළ කොටස් පෙන්වූ කල, ඔහු කීවේ, ඒවා මිසර, කල්දියානු, ඇසිරියානු සහ අරාබි භාෂා වලට අයත් සැබෑ අක්ෂර බවය; තවද ඒ අකුරු සැබෑ බවත්, ඒවායේ පරිවර්තන නිවැරදි බවත්, පැල්මයිරා නගරවාසීන් සඳහා සහතිකයක් ඔහු මට දුන්නේය. ඒ සහතිකය රැගෙන මගේ සාක්කුවේ ලාගෙන, එම නිවසින් පිටවෙන විට, ඇන්තොන් මහතා මට ආපසු හඬගසා, රන් තහඩු සොයාගත් ස්ථානයේ ඒවා තිබෙන බව ඒ තරුණයා දැනගත්තේ කෙසේදැයි ඇසුවේය. දෙවියන්වහන්සේගේ දේවදූතයෙක් විසින් එය ඔහුට එළිදරව් කරන ලද්දේ යැයි මම කීවෙමි.

65 “ඉන්පසුව ඔහු ඒ ‘සහතිකය බැලීමට මට දෙන්න’ යැයි මට කීවේය. ඒ අනුව මම එය මගේ සාක්කුවෙන් රැගෙන නැවත ඔහුට දුන් විට, ඔහු එය රැගෙන, මෙකල දේවදූතයන්ගේ දේවසේවයක් නැතැයිද, ඒ තහඩු ඔහුට ගෙනැවිත් දෙන්නේ නම්, ඔහු ඒවා පරිවර්තනය කර දෙන්නේ යැයිද කියා, ඒ සහතිකය ඉරා දැම්මේය. තහඩු වලින් කොටසක් මුද්‍රා තබා ඇති බවත් ඒවා ගෙන ඒම මට තහනම් බවත් මම ඔහුට දන්වා සිටියෙමි. ‘මුද්‍රා තබන ලද පොතක් කියවීමට මට නොහැකිය,’ ඔහු කීවේය. මම එතැනින් ඔහුගෙන් පිටවී ගොස් ආචාර්ය මිචෙල් වෙත ගියෙමි, මහාචාර්ය ඇන්තොන් එම අක්ෂර සහ පරිවර්තනය පිළිබඳ කී සියල්ල ඔහුද අනුමත කළේය.

· · · · · · ·

මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමේදී ඔලිවර් කව්ඩ්‍රි ලියන්නා ලෙස සේවය කරයි—ජෝසෆ් සහ ඔලිවර් යොහාන් බව්තීස්තගෙන් ආරෝනික පූජකවරය ලබයි—ඔවුහු බව්තීස්මය ලබා, නියම වී, අනාවැකි ආත්මය ලබති. (පද 66–75.)

66 1829 අප්‍රියෙල් 5 වෙනි දින, ඔලිවර් කව්ඩ්‍රි මාගේ නිවසට පැමිණියේය, ඒ අවස්ථාව වනතුරු, මා ඔහුව කෙදිනවත් දැක තිබුණේ නැත. ඔහු මගේ පියා විසූ ප්‍රදේශයට නුදුරු පාසලක ඉගැන්වීම් කරන බවත්, මගේ පියාද ඔහුගේ පාසලට දරුවන් යැවූ කෙනෙකු නිසා, ටික කාලයක් මාගේ පියාගේ නිවසේ නැවතී සිටීමට ගිය බවත්, එහි සිටියදී පවුලේ අයගෙන් තහඩු ලබාගැනීම පිළිබඳ විස්තරය ඔහුට දැනගන්නට ලැබුණු බවත්, තවද ඒ හේතුවෙන් මගෙන්ම ඒ ගැන විමසීමට පැමිණි බවත් කීවේය.

67 කව්ඩ්‍රි මහතාගේ පැමිණීමෙන් දවස් දෙකකට පසුව, (අප්‍රියෙල් 7 වෙනි දින) මම මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට ආරම්භ කළ අතර, ඔහු මා වෙනුවෙන් එය ලිවීම ආරම්භ කළේය.

· · · · · · ·

68 අපි පරිවර්තන කටයුතු නොනවත්වාම කරගෙන යන අතරතුරදී, ඊළඟ මාසයේ (1829 මැයි), එක දවසක, තහඩු වල සඳහන්ව තිබී අපට හමුවූ, පව් කමාව සඳහා බව්තීස්මය පිළිබඳව ස්වාමින්වහන්සේගෙන් යාච්ඤා කර අසා දැනගැනීම සඳහා අපි වනයට ගියෙමු. මෙසේ අපි මෙම කාර්යයේ යෙදෙමින්, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින් සහ හඬගසමින් සිටියදී, දීප්තිමත් වළාකුලක් තුළින් ස්වර්ගයේ සිට පණිවිඩකරුවෙකු පහළට බැස, ඔහුගේ අත් අප මත තබා, මෙසේ කියමින්, ඔහු අපව නියම කළේය:

69 දේවදූතයන්ගේ දේවසේවයේද, පසුතැවීමේ ශුභාරංචියේද, පව් කමාව සඳහා ගිල්වීමේ බව්තීස්මයේද යතුරු උසුලන, ආරොන්ගේ පූජකවරය, මාගේ සහෝදර සේවකයන් වන නුඹලා මත, මම මෙසියස්වහන්සේගේ නාමයෙන් දානය කරන්නෙමි: තවද ලෙවීගේ පුත්‍රයෝ නැවතත් ස්වාමින්වහන්සේට ධර්මිෂ්ඨකමින් පඬුරක් ඔප්පුකරන තුරු, මෙම පූජකවරය නැවත කිසිවිටෙකත් පොළොවෙන් ඉවත් නොකරනු ඇත.

70 මෙම ආරෝනික පූජකවරයට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව සඳහා අත් තැබීමට බලය නැති නමුත්, එය මෙයින් පසුව අපට දානය කරන බව ඔහු කීවේය; තවද ගොස් බව්තීස්ම වීමට ඔහු අපට ආඥා කළේය, තවද මා ඔලිවර් කව්ඩ්‍රි බව්තීස්ම කළ යුතු බවත්, ඉන්පසුව ඔහු මා බව්තීස්ම කළ යුතු බවටත් අපට උපදෙස් ලබාදුන්නේය.

71 ඒ අනුව අපි ගොස් බව්තීස්ම වුනෙමු. පළමුව මම ඔහුව බව්තීස්ම කළෙමි, තවද පසුව ඔහු මා බව්තීස්ම කළේය—ඉන්පසුව මම මාගේ අත් ඔහුගේ හිස මත තබා, ඔහුව ආරෝනික පූජකවරයට නියම කළෙමි, තවද ඉන්පසුව ඔහුගේ අත් මාගේ හිස මත තබා, ඔහු මා එම පූජකවරයටම නියම කළේය—මක්නිසාද අපට එසේ ආඥා කරන ලදි.*

72 මේ අවස්ථාවේ අප බැහැදැක මෙම පූජකවරය අප මත දානය කළ එම පණිවිඩකරු, ඔහුගේ නම යොහාන් යැයිද, අලුත් ගිවිසුමේ යොහාන් බව්තීස්ත යැයි හැඳින්වෙන්නේ ඔහු බවද කීවේය, තවද මෙල්කිසදෙක් පූජකවරයේ යතුරු උසුලන පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්ගේ මගපෙන්වීම යටතේ ඔහු ක්‍රියාකළ බවත්, යථා කාලයේදී එම මෙල්කිසදෙක් පූජකවරය අප මත දානය කරන බවත්, සභාවේ පළමු වැඩිහිටියා ලෙස මාද, තවද ඔහුව (ඔලිවර් කව්ඩ්‍රිව) දෙවැන්නා ලෙසද, හැඳින්විය යුතු බවද කීවේය. මෙම පණිවිඩකරුගේ අතින් අපි නියම වූයේ, සහ බව්තීස්ම වූයේ 1829 මැයි මස පසළොස් වෙනිදාය.

73 අප බව්තීස්ම වීමෙන් පසුව අප ජලයෙන් පිටතට පැමිණි විගසම, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් මහත් හා මහිමාන්විත ආශිර්වාද අපි අත්වින්දෙමු. මා ඔලිවර් කව්ඩ්‍රි බව්තීස්ම කළ විගස, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු මත පතිත විය, තවද ඔහු නැගිට නුදුරු අනාගතයේදී සිදුවිය යුතු බොහෝ දේවල් ගැන අනාවැකි කීවේය. තවද එසේම, ඔහු විසින් මා බව්තීස්ම කළ විගසම, මා හටද අනාවැකි ආත්මය ලැබීමෙන්, මා නැගිට, මේ සභාවේ නැග්ම පිළිබඳව සහ සභාව සම්බන්ධ වෙනත් බොහෝ දේවල් මෙන්ම, මෙම පරම්පරාවේ මනුෂ්‍ය දරුවන් ගැනද අනාවැකි කීවෙමි. අපි ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පිරී ගොස්, තවද අපගේ ගැලවීමේ දෙවියන්වහන්සේ තුළ මහත් සේ ප්‍රීති ප්‍රමුදිත වුනෙමු.

74 අපගේ මනස දැන් ප්‍රබෝධමත් වී තිබීමෙන්, අපගේ අවබෝධය සඳහා ශුද්ධලියවිලි විවෘත වී එනම් ඒවා තේරුම්ගැනීමට අපි පටන් ගතිමු, තවද අපට කලින් කිසිදා පහදා ගැනීමට නොහැකි වූ, එහි වඩාත් ගුප්ත පාඨ වල සත්‍ය තේරුම සහ අරමුණු පෙර නොසිතූ ආකාරයට අපට අනාවරණය වීම ආරම්භ විය. ඒ අතර, අපට පූජකවරය ලැබීම සහ බව්තීස්මය ලබාගැනීම අප රහසක් ලෙස තබාගැනීමට අපට බලකරනු ලැබුවේ, ඒ වන විටත් අසල්වැසි ප්‍රදේශ තුළ පෙනෙන්නට තිබූ පීඩා කිරීමේ ස්වභාවයක් හේතුවෙන්ය.

75 අපට විටින් විට, අපට පහරදෙන බවට තර්ජනය කර තිබුණි, තවද මේවාද ආගම සම්බන්ධ ධර්මාචාර්යවරුන්ගෙනි. තවද අපට පහරදීමේ අරමුණු නිශ්එල වුනේ, මගේ බිරිඳගේ පියාගේ පවුලේ අය (දිව්‍යමය ආරක්ෂාව යටතේ) කළ ප්‍රතික්‍රියා වල බලපෑමෙන් පමණි, ඒ අය මා සමඟ ඉතාමත් හිතවත් විය, තවද දාමරිකයන්ට විරුද්ධ වූහ, එමෙන්ම මාගේ පරිවර්තන කටයුතු බාධාවකින් තොරව නොකඩවා කරගෙන යාමට මට ඉඩ ලබාදීමටද කැමති වූහ; තවද එසේහෙයින් ඔවුන් සිටින තාක්කල්, අපට විරුද්ධව එල්ලවන සියලු නීතිවිරෝධී ක්‍රියා වලින් අපට ආරක්ෂාවක් දෙන බවට පොරොන්දු වූහ.

  • ඔලිවර් කව්ඩ්‍රි මෙම සිද්ධීන් මෙසේ විස්තර කළේය: “මේ දවස් කිසිදා අමතක නොවන ඒවාය—ස්වර්ගය අනුභාවය ලද හඬකට සවන්දෙමින් ලිවීම, මෙම හදවතේ දැඩි කෘතඥතාවය පුබුදුවාලීය! දවසින් දවස බාධාවකින් තොරව, ඌරීම් සහ තුම්මීම් සමඟ ඔහු පරිවර්තනය කළ ලෙස, ඔහු කී දේ ලිව්වෙමි, හෝ, නෙපිවරුන් කී ලෙස, ‘මොර්මොන්ගේ පොත’ ලෙස හැඳින්වෙන එම ඉතිහාසය හෝ වාර්තාව, ‘පරිවර්තනය’ කළෙමි.

    “වචන කිහිපයකින්, සඳහන් කරනවානම්, කලක් ආදරණීය වූ හා ස්වර්ගයට ප්‍රිය වූ ජනතාවක් ගැන මොර්මොන් සහ ඔහුගේ ඇදහිලිවන්ත පුත් මොරෝනි විසින් දෙන ලද සිත්ගන්නාසුලු වාර්තාව, මගේ මෙම ලිපියෙන් මා ලබාදෙන්නට අදහස් කළ දෙයට වඩා අභිබවා යනු ඇත; එබැවින් මම මෙය අනාගත කාලයකට කල්තබමි, තවද, මම හැඳින්වීමේ ප්‍රකාශ කළ ලෙස, මෙම සභාවේ වර්ධනය හා සමඟ සම්බන්ධ ඉතා සමීප වූ සිද්ධි කිහිපයක් පිළිබඳ පමණක් ලබාදෙන්නෙමි, රැවීම් සහ අපවාද සහ ද්වේෂය සහ කුහකකම් මධ්‍යයේ, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැළඳගැනීමට ඉදිරියට ගිය දහස්ගණන් ජනතාවකට එය විනෝදජනක විය හැකිය.

    “විශේෂයෙන්ම දූෂණය මනුෂ්‍යයන් අතර සියලු ආකාරයෙන් හා පද්ධති කෙරෙහි විශ්වාස කළ නොහැකි ලෙස පැතිරී ඇතිවිට, මනුෂ්‍යයන් විසින් උන්වහන්සේගේ සභාව ගොඩනැගිය යුතු නිවැරදි ආකාරය පිළිබඳව, ගැලවුම්කරුවාණන්ගේ මුවින්, නෙපිවරුන්ට ලබාදී ඇති මගපෙන්වීම් කිසිම මිනිසෙකුට, තවද ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම ගැන යහපත් හෘදසාක්ෂියකින්’ පිළිතුරු දීමට, ජලයෙන් වළලනු ලැබීමෙන්, හදවතේ කැමැත්ත පෙන්වීමේ වරප්‍රසාදයට කැමැත්තකින් තොරව, ඔවුන්ගේ සිහිබුද්ධියෙන් පරිවර්තනය කිරීමට හා ලිවීමට නොහැකිය.

    “මෙම මහාද්වීපයෙහි, යාකොබ්ගේ වංශයේ ඉතිරි අයට ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය ගැන දුන් විස්තරය ලිවීමෙන් පසුව, අන්ධකාරය පොළොවද එමෙන්ම තද අන්ධකාරයකින් ජනතාවගේ මනසද වැසීයාම ගැන අනාගතවක්තෘවරයා පැවසූ විට, එය එසේ බව දැකීම පහසු විය. වැඩිදුරටත් සිතීමේදී ආගම සම්බන්ධ විශාල ආරවුල් සහ ශබ්ද මැද වුවද, ශුභාරංචියේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුට දෙවියන්වහන්සේගෙන් අධිකාරී බලය නොතිබූ බව දැකීමට පහසු විය. මක්නිසාද මෙම ප්‍රශ්නය මෙසේ ඇසිය හැකිය, උන්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මය ලෙස තිබියදී, සහ උන්වහන්සේගේ ආගම සෘජුවම ලැබෙන එළිදරව් මත පාදකව, ගොඩනගා සහ ස්ථිර කොට පවත්වාගෙන යද්දී, ලෝකයේ සියලුම යුග වලදී උන්වහන්සේට පොළොව මත ජනතාවක් හිඳ තිබියදී, එළිදරව් ප්‍රතික්ෂේප කරන, මනුෂ්‍යයින්ට ක්‍රිස්තුස්වහන්සේගේ නමින් ක්‍රියාත්මක වීමට අධිකාරී බලය තිබේද? මෙම සත්‍යයන් වළලා තිබේනම්, තවද ඒවා මිනිසුන්ගේ මුහුණු ඉදිරියේ බැබළීමට එක් වරක් අවසර දුනහොත් ඔවුන්ගේ උපායන් අනතුරේ වන මිනිසුන් විසින් ප්‍රවේශමෙන් සඟවා තිබේනම්, ඒවා තවදුරටත් අපට එසේ නොවන්නේය; තවද අපි බලාසිටියේ මෙම නියෝගය ලබාදෙන තුරු පමණකි ‘නැගිට බව්තීස්ම වෙන්න.’

    “මෙය සාක්ෂාත් කරගන්නා තුරු බොහෝ කලකට පෙර අපේක්ෂා නොකළ දෙයක්ය. අපි උද්‍යෝගයෙන් උන්වහන්සේට යාච්ඤා කළ පසු, කරුණාවෙන් පූර්ණ වූද, යටහත් පුද්ගලයින්ගේ නොනවත්නා වූද යාච්ඤාවන්ට පිළිතුරු දීමට සදහටම කැමැත්තෙන් සිටින්නාවූද, මනුෂ්‍යයින්ගේ වාසස්ථාන වලින් දුර සිටින්නාවූද, ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත අපට ප්‍රකාශ කිරීමට නිහතමානී වූ සේක. හදිසියේම, සදාකාලය මධ්‍යයේ සිට මෙන්, මිදුම්කරුවාණන්ගේ හඬ අපට සාමය කතා කළ සේක, තිරය වෙන්වී තිබියදී, සහ දෙවියන්වහන්සේගේ දූතයා මහිමයේ සළු දවටාගෙන පහළට අවුත්, උනන්දුවෙන් බලාසිටි පණිවිඩය, සහ පසුතැවිල්ලේ ශුභාරංචියේ යතුරුද බාරදුන්නේය. කොපමණ මහත් ප‍්‍රීතියක්ද! කොපමණ පුදුමයක්ද! කොපමණ විශ්මයක්ද! ලෝකයා වේදනාවෙන් සහ වියවුල්ව සිටියදී—මිලියන ගණනක් අන්ධයන් මෙන් බිත්තිය අතපතගාන විට, එමෙන්ම පොදු ජන සමූහයක් ලෙස, සියලුම මිනිසුන් අවිනිශ්චිතාවයේ සිටින විට, ‘දවසේ ආලෝකය’ ලෙස මෙන් වුවද, අපගේ ඇස් දුටුවේය, අපගේ කන් ඇසුවේය; එසේය, තවත් වැඩියෙන්—මැයි හිරු එළියේ දීප්තියත් අභිබවා යන එය ඉන්පසුව ස්වභාවධර්මයේ මුහුණ මත එහි දීප්තිය වැගුරුවේය! ඉන්පසුව ඔහුගේ හඬ, මෘදු වුවද, මධ්‍යය සිදුරු කළේය, තවද ඔහුගේ වචන වූ ‘මම ඔබගේ සහෝදර සේවකයෙක් වෙමි,’ යන්න සෑම බියක්ම පහකළේය. අපි සවන්දුන්නෙමු, අපි බැලුවෙමු, අපි ප්‍රශංසා කළෙමු! එය මහිමයේ දේවදූතයෙකුගේ හඬක් විය, එය මහෝත්තමයාණන්ගෙන් පණිවිඩයක් විය! තවද අපට එය ඇසුන විට අපි ප‍්‍රීති වුනෙමු, උන්වහන්සේගේ ප්‍රේමය අපගේ ප්‍රාණයන්ට ඇතුල් වූ විට, අපි සර්වබලධාරීන්ගේ දර්ශනයක එතී සිටියෙමු! එහි සැකයට ඉඩ කොහේද? කොහේවත් නැත; අවිනිශ්චිත බව පලාගොස් ඇත, ප්‍රබන්ධ සහ රැවටිල්ල සදාකාලයටම පැනගොස් ඇති අතර, සැකය තවදුරටත් නැගී ඒමක් නොමැතිව ගිලීගොස් ඇත!

    “නුමුත්, හිතවත් සහෝදරයනි, සිතන්න, තවදුරටත් මොහොතක් සිතන්න, ‘මාගේ සහෝදර සේවකයන් වන නුඹලා මත, මෙසියස්වහන්සේගේ නාමයෙන්, මම මේ පූජකවරය සහ අධිකාරී බලය දානය කරන්නෙමි, ලෙවීගේ පුත්‍රයෝ ස්වාමින්වහන්සේට ධර්මිෂ්ඨකමින් පඬුරක් ඔප්පුකරන තුරු එය පොළොව මත තිබෙන්නේය!’ යැයි ඔහු කියමින් ඔහුගේ දෑත් යට අප ශුද්ධ වූ පූජකවරය ලබාගත් විට, අපගේ හදවත් මොන තරම් සතුටකින් පිරුනාද, තවද කෙතරම් පුදුමයකින් අපි නමස්කාර කළාද, (මක්නිසාද එතරම් ආශිර්වාදයකට කවරෙක් දණ නොනමා සිටීද?)

    “මෙම හදවතේ හැඟීම් හෝ ඒ අවස්ථාවේ අප වටා තිබූ තේජවත් සුන්දරත්වය හා මහිමය පිළිබඳ ඔබට චිත්‍රයක් අඳින්නට උපදෙස් දීමට මම උත්සාහ නොකරන්නෙමි; එහෙත් මේ ශුද්ධ වූ උත්තමයා මෙන් සිත්ගන්නාසුළු හා උත්කර්ෂවත් ආකාරයකින් තමා පැළඳ සිටි ආකාරයෙන් කතා කළ භාෂාව, පොළොවටවත්, කිසිඳු මනුෂ්‍යයෙකුටවත්, එම වාග් චාතුර්යය කාලයත් සමග පුහුණුවීමෙන්වත්, ආරම්භ කිරීමට නොහැකි බව මා පැවසුවොත්, ඔබ මා විශ්වාස කරනු ඇත. නැත; එම මහත් ප්‍රීතිය ලබාදීමට, එම සාමය ලබාදීමට, හෝ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් ඒ එක් එක් වාක්‍යය ඉදිරිපත් කරද්දී ඒවායේ අන්තර්ගතව තිබූ ප්‍රඥාව අවබෝධ කරදීමට මෙම පොළොවට බලය නොමැත! මනුෂ්‍යයාට ඔහුගේ සහෝදර ජනයා රැවටිය හැකිය, රැවටිල්ල මගින් රැවටිල්ල පැමිණෙයි, තවද අධර්මිෂ්ඨයාගේ දරුවන් හට, අනුවණ සහ නූගත් අයවලුන්ව, නිෂ්ඵල වනතුරු බොහෝ අයට ප්‍රබන්ධ කවමින්, එමෙන්ම අසත්‍යයේ ඵල එහි ධාරාව තුළ වෙහෙසට පත්වූවන්ව මරණයට ගෙනයමින්, පෙළඹවීමට බලය ඇත; එහෙත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් යුත් ඇඟිල්ලෙන් එක් ස්පර්ශයකින්, එසේය, ඉහළ ලෝකයේ ඇති මහිමයේ එක් රශ්මි ධාරාවකින්, හෝ සදාකාලයේ ලයෙන් පැමිණෙන, ගැලවුම්කරුවාණන්ගේ මුවින් වූ එක වචනයකින්, ඒ සියල්ලටම වැදගත්කමක් නොදක්වා, සදාකාලිකවම එය මනසින් මකාදමයි. අපි දේවදූතයෙක් ඉදිරිපිට සිටි බවට සහතිකය, තවද අපි යේසුස්වහන්සේගේ හඬ ඇසූ බවට වන නිශ්චිතතාවය, තවද දෙවියන්වහන්සේගේ කැමැත්ත මත නියම කර ඇති, පවිත්‍ර වූ උත්තමයෙකුගෙන් ගලා ආ නොකැළැල් සත්‍යය, මා හට විස්තර කළ නොහැකි තරම්ය, තවද මා ජීවත්ව සිටින තාක් ගැලවුම්කරුවාණන්ගේ යහපත් බවේ මෙම ප්‍රකාශය දෙස, පුදුමයෙන් සහ ස්තූති දෙමින් සදහටම බලා සිටිමි; තවද කිසිදා නොනවතින එම දිනය තුළ, පාපය කිසිදා නොඑන, පරිපූර්ණත්වය වාසය කරන එම මාළිගා තුළ, [උන්වහන්සේට] නමස්කාර කරමින් සිටීම මාගේ බලාපොරොත්තුවයි.”—Messenger and Advocate, vol. 1 (ඔක්තෝම්බර් 1834), පිටු. 14–16.