අත්පොත් සහ කැඳවීම්
34. මූල්‍ය සහ විගණන


“34. මූල්‍ය සහ විගණන,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“34. මූල්‍ය සහ විගණන,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
ලියුම් කවරයක් අතැතිව සිටින දරුවා

34.

මූල්‍ය සහ විගණන

34.0

හැඳින්වීම

දසයෙන් කොටස සහ පිදුම් මගින් සභාවේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය වන ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට ඉඩ සලසයි (බලන්න 1.2). මෙම අරමුදල් පරිශුද්ධ ය. ඒවා සභාවේ සාමාජිකයන්ගේ කැපකිරීම් සහ ඇදහිල්ල නියෝජනය කරයි (බලන්න මාර්ක් 12:41–44).

34.2

කොට්ඨාශයේ මූල්‍ය නායකත්වය

34.2.1

සභානායකත්වය

කොට්ඨාශයේ මූල්‍ය කටයුතු සඳහා සභානායකවරයාට පහත වගකීම් ඇත. ඔහු මෙම වැඩවලින් සමහරක් ඔහුගේ උපදේශකයින්ට සහ ලිපිකරුවන්ට පවරයි.

සභානායකවරයා:

  • සම්පූර්ණ දසයෙන් කොටස ගෙවීමට සහ ත්‍යාගශීලී පිදුම් පිරිනැමීමට සාමාජිකයින්ට උගන්වයි (බලන්න 34.3).

  • කොට්ඨාශ අරමුදල් නිසි ලෙස හසුරවා සහ ගිණුම්ගත කිරීම සහතික කරයි (බලන්න 34.5).

  • සෑම මසකම මුල්‍ය ප්‍රකාශය සමාලෝචනය කර ඕනෑම ගැටළුවක් කඩිනමින් විසඳා ඇති බවට සහතික කරයි.

  • සංවිධාන නායකයින් සහ ලිපිකරුවන් පූජනීය සභා අරමුදල් සඳහා ඔවුන්ගේ වගකීම ඉගෙන ගන්නා බව සහතික කරයි.

  • වාර්ෂික කොට්ඨාශ අයවැය සකස් කිරීම සහ කළමනාකරණය කිරීම (බලන්න 34.6).

  • කොට්ඨාශයේ සාමාජිකයින්ගේ දසයෙන් කොටස සමබන්ධ ප්‍රකාශ ලබා ගැනීම සඳහා වාර්ෂිකව ඔවුන්ව හමුවෙයි.

34.2.2

කොට්ඨාශ ලිපිකරුවන්

කොට්ඨාශයේ මූල්‍ය වාර්තා තබාගැනීමට උපකාර කිරීම සඳහා, සභානායකවරයා විසින් කොට්ඨාශ ලිපිකරුව හෝ සහකාර කොට්ඨාශ ලිපිකරුවෙකුව පත් කරයි. ලිපිකරුවන් විසින් සභාවේ අරමුදල් ආරක්ෂා කිරීමට සහ සභාවේ වාර්තා නිවැරදි බව සහතික කිරීමට වත්මන් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් අනුගමනය කරති.

ලිපිකරුට පහත සඳහන් වගකීම් ඇත:

  • ලැබී ඇති ඕනෑම අරමුදලක් සභානායකත්ව සාමාජිකයෙකු සමඟ වාර්තා කර තැන්පත් කිරීම.

  • සෑම මසකම මුල්‍ය ප්‍රකාශය සමාලෝචනය කර ඕනෑම ගැටළුවක් කඩිනමින් විසඳා ඇති බවට සහතික කිරීම.

  • වාර්ෂික කොට්ඨාශ අයවැය සකස් කිරීමට සභානායකත්වයට සහය වීම (බලන්න 34.6.1 සහ 34.6.2).

  • සාමාජිකයින්ට ඔවුන්ගේ දායක මුදල් ප්‍රකාශ සඳහා ප්‍රවේශය ඇති බවත්, අවශ්‍ය පරිදි සහාය ලැබෙන බවත් සහතික වීම.

ලිපිකරුවන් මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් විය යුතු අතර වලංගු දේවමාළිගා නිර්දේශයක් දැරිය යුතුය.

34.3

දායකත්වයන්

34.3.1

දසයෙන් කොටස

දසයෙන් කොටස යනු කෙනෙකුගේ ආදායමෙන් දහයෙන් එකක් දෙවියන්වහන්සේගේ සභාවට පරිත්‍යාග කිරීමයි (බලන්න දහම සහ ගිවිසුම් 119:3–4; ලාභය යන්නෙන් අදහස් වන්නේ ආදායමයි). ආදායම් ඇති සියලුම සාමාජිකයින්ට දසයෙන් කොටස ගෙවිය යුතුය.

34.3.1.2

දසයෙන් කොටස ප්‍රකාශනය

සාමාජිකයින්ගේ දසයෙන් කොටස ප්‍රකාශය ලබාගැනීම සඳහා සෑම වසරකම අවසාන මාස කිහිපය තුළ සභානායකවරයා ඔවුන් එකිනෙකාව හමුවෙයි.

සියලුම සාමාජිකයින්ට සභානායකවරයාව හමුවීමට ආරාධනා කරනු ලබන්නේ:

  • දසයෙන් කොටස ගෙවන්නන් ලෙස ඔවුන්ගේ තත්වය සභානායකවරයාට ප්‍රකාශ කිරීමට.

  • ඔවුන්ගේ දායකත්ව වාර්තා නිවැරදි බව සහතික කිරීමට.

හැකි සෑම විටම, ළමයින් ඇතුළු පවුලේ සාමාජිකයන්, එකට සහභාගී විය යුතුය.

34.3.2

උපවාස පිදුම්

සභාවේ නායකයන් නිරාහාර නීතිය ඉටු කිරීමට සාමාජිකයන්ව දිරිමත් කරති. ත්‍යාගශීලී නිරාහාර පිදුම් ලබා දීම මෙයට ඇතුළත් වේ (බලන්න 22.2.2).

නිරාහාර පිදුම් අරමුදල් භාවිතා කිරීම සඳහා මාර්ගෝපදේශ 22.5.2 තුළින් සපයනු ලැබේ.

34.3.3

ධර්මදූත අරමුදල්

කොට්ඨාශ ධර්මදූත අරමුදල සඳහා දායකත්වය මූලික වශයෙන් භාවිතා කරනුයේ කොට්ඨාශය විසින් පූර්ණ කාලීන ධර්මදූතවරුන්ගේ දායකත්ව බැඳීම් සපුරාලීම සඳහා ය.

ප්‍රධාන ධර්මදූත අරමුදල සඳහා වන දායකත්වයන් සභාවේ සමස්ත ධර්මදූත ප්‍රයත්න සඳහා භාවිතා කරයි.

34.3.7

දායක මුදල් ආපසු ගෙවිය නොහැක

සභාවට දසයෙන් කොටස හා වෙනත් පිදුම් ලබා දෙන විට, ඒවා අයිති ස්වාමින්වහන්සේටය. ඒවා කැපකර ඇත්තේ උන්වහන්සේටය.

මෙම දායකත්වයන් ආපසු ගෙවිය නොහැකි බව, ස්ටේක සභාපතිවරුන් සහ සභානායකවරුන් මෙම දසයෙන් කොටස සහ පිදුම් වලින් දායක වන අයට දැනුම් දෙති.

34.4

දසයෙන් කොටස සහ වෙනත් පිදුම් වල රහස්‍යභාවය

පරිත්‍යාගශීලියා විසින් ගෙවන ලද දසයෙන් කොටස සහ වෙනත් පිදුම් රහසිගත ය. මෙම තොරතුරු වලට ප්‍රවේශය තිබිය යුත්තේ, සභානායකවරයාට සහ මෙම දායකත්වයන් හැසිරවීමට හෝ බැලීමට බලය ඇති අයට පමණි.

34.5

සභා අරමුදල් හැසිරවීම

ස්ටේක සභාපතිවරයා සහ සභානායකවරයා විසින් සභාවේ සියලු අරමුදල් නිසි ලෙස හසුරුවන බවට වගබලා ගනිති. අවම වශයෙන් වසරකට වරක්වත් “Sacred Funds, Sacred Responsibilities” (පූජනීය අරමුදල්, පූජනීය වගකීම්) යන වීඩියෝව සමාලෝචනය කිරීමට සභානායකත්වය සහ ලිපිකරුවන්ව දිරිමත් කෙරේ.

34.5.1

සහයක මූලධර්මය

සභාවේ අරමුදල් වාර්තා කිරීමේදී සහ බෙදා හැරීමේදී ක්‍රියාකාරීව සම්බන්ධ වීමට—සහකාරත්වයේ මූලධර්මයට පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍ය වේ—එනම් සභානායකත්වයේ සාමාජිකයෙකු සහ ලිපිකරුවෙකු, හෝ සභානායකත්වයේ සාමාජිකයන් දෙදෙනෙකු.

නායකයින් ඔවුන්ගේ මුරපද ආරක්ෂා කළ යුතු අතර කිසි විටෙකත් ඒවා බෙදා නොගත යුතුය (බලන්න 33.9.1.1).

34.5.2

දසයෙන් කොටස සහ වෙනත් පිදුම් ලැබීම

ශුද්ධවන්තයින්ගේ දසයෙන් කොටස සහ අනෙකුත් පිදුම් භාරගැනීමේ සහ ගණන් දීමේ පරිශුද්ධ විශ්වාසය ස්වාමින්වහන්සේ ලබා දී ඇත්තේ සභානායකවරුන්ට ය (බලන්න දහම සහ ගිවිසුම් 42:30–33; 119). දසයෙන් කොටස සහ වෙනත් පිදුම් ලැබිය හැක්කේ සභානායකවරයාට සහ ඔහුගේ උපදේශකයන්ට පමණි. කිසිම අවස්ථාවක ඔවුන්ගේ භාර්යාවන්, ඔවුන්ගේ පවුල්වල අනෙකුත් සාමාජිකයන්, ලිපිකරුවන් හෝ වෙනත් කොට්ඨාශ සාමාජිකයින් මෙම දායක මුදල් ලබා නොගත යුතුය.

34.5.3

දසයෙන් කොටස සහ වෙනත් පිදුම් සත්‍යාපනය කිරීම සහ වාර්තා කිරීම

දායක මුදල් ඒවා ලැබෙන ඉරිදා දිනයේ සත්‍යාපනය කර වාර්තා කළ යුතුය. සභානායකත්වයේ සාමාජිකයෙකු සහ ලිපිකරුවෙකු, හෝ සභානායකත්වයේ සාමාජිකයන් දෙදෙනෙකු, එක් එක් ලියුම් කවරයක් එකට එක්ව විවෘත කරති. කවරය තුළ ඇති අරමුදල් දසයෙන් කොටස සහ වෙනත් පිදුම් පෝරමයේ ලියා ඇති මුදලට සමාන බව ඔවුන් සත්‍යාපනය කරති. ඔවුන් සෑම පරිත්‍යාගයක්ම නිසි ලෙස සටහන් කරති. ලබා දී ඇති අරමුදල් සහ ලිඛිත මුදල වෙනස් නම්, එම විෂමතාව විසඳීම සඳහා ඔවුන් හැකි ඉක්මනින් පරිත්‍යාගශීලියාව අමතති.

34.5.4

දසයෙන් කොටස සහ වෙනත් පිදුම් තැන්පත් කිරීම

තැන්පතුවක් සකස් කළ යුත්තේ වාර්තා කරන ලද මුදල් ලැබුණු මුදලට ගැලපෙන බවට සහතික වීමෙන් පසුවය.

පැය 24 පුරා බැංකු තැන්පතුවක් තිබෙන විට, සභානායකත්ව සාමාජිකයා සහ තවත් මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විසින් එම අරමුදල් විවෘත කර සත්‍යාපනය කළ දිනයේම බැංකුවේ මුදල් තැන්පත් කරයි.

පැය 24ක බැංකු තැන්පතුවක් නොමැති විට සහ ඉරිදා දින බැංකුව වසා ඇති විට, මීළඟ ව්‍යාපාරික දිනයේ තැන්පතු කිරීම සඳහා සභානායකවරයා විසින් මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුව පත් කරයි. ඔහු:

  • අරමුදල් තැන්පත් කරන තුරු ඒවා සුරක්ෂිතව තබා ගැනීමට වග බලාගත යුතුය.

  • තැන්පතු දිනය සහ තැන්පතු මුදල දැක්වෙන තැන්පතු කුවිතාන්සියක් ලබාගත යුතුය.

34.5.5

සභා අරමුදල් ආරක්ෂා කිරීම

සභා අරමුදල් සම්බන්ධව වගකීම ඇති සාමාජිකයින් ඒවා කිසිවිටකත් සභා රැස්වීම්ශාලාවේ රාත්‍රිය පුරා හෝ රැස්වීම් සහ ක්‍රියාකාරකම් වැනි අවස්ථා වලදී අවධානයෙන් තොරව කිසිඳු වේලාවක දමා නොයා යුතුය.

34.5.7

ස්ටේක සහ කොට්ඨාශ ගෙවීම් කළමනාකරණය කිරීම

මුලසුන දරන නිලධාරියාගේ අවසරයකින් තොරව ස්ටේක හෝ කොට්ඨාශ වියදම් දැරීමට හෝ ගෙවීමට නොහැකිය.

බලයලත් නායකයින් දෙදෙනෙකු සෑම ගෙවීමක්ම අනුමත කළ යුතුය. ඔවුන්ගෙන් එක් අයෙක් ස්ටේක සභාපතිත්වයේ හෝ සභානායකත්වයේ සාමාජිකයෙකු විය යුතුමය. ගෙවීම් අනුමත කිරීමට උපදේශකයින්ට බලය පැවරිය හැකි වුවද, ස්ටේක සභාපතිවර්යා හෝ සභානායකවරයා විසින් සෑම ගෙවීමක්ම සමාලෝචනය කළ යුතුය. නායකයින් තමන් වෙනුවෙන් ගෙවීමක් අනුමත නොකළ යුතුය.

සභානායකවරයෙකුට ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ පවුල වෙනුවෙන් නිරාහාර පිදුම් භාවිතා කිරීමට හෝ සභානායකවරුන්ගේ ඇණවුම් අනුමත කිරීමට පෙර ස්ටේක සභාපතිවරයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ. සභානායකවරයෙකු නිරාහාර පිදුම් හෝ ස්ටේක සභාපතිවරයා හෝ ඔහුගේ පවුල සඳහා සභානායකවරයාගේ ඇණවුමක් අනුමත කිරීමට පෙර ප්‍රාදේශීය සභාපතිත්වයේ සාමාජිකයෙකුගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ. මාර්ගෝපදේශ සඳහා 22.5.1.2 බලන්න.

ප්‍රතිපූරණය ඉල්ලා සිටින සාමාජිකයෙකු කිසියම් රිසිට්පතක හෝ ඉන්වොයිසියක භෞතික හෝ විද්‍යුත් පිටපතක් සැපයිය යුතුය. ඔහු හෝ ඇය එම මිලදී ගැනීමේ අරමුණ, මුදල සහ දිනය ද ඇතුළත් කළ යුතුය.

අරමුදල් කලින් සැපයිය යුතු විට, සාමාජිකයා අරමුණ, මුදල සහ දිනය සඳහන් කරමින් ගෙවීම් ඉල්ලීම් පෝරමයක් ඉදිරිපත් කරයි. වියදම් ගෙවා අවසන් වූ පසු, සාමාජිකයා පසුව (1) වියදම් කළ අරමුදල් සඳහා රිසිට්පත් හෝ ඉන්වොයිසි සැපයිය යුතුය සහ (2) යම් වියදම් නොකළ අරමුදල් ආපසු ලබා දිය යුතුය. ආපසු ලැබුණු අරමුදල් නැවත තැන්පත් කළ යුතුය.

34.5.9

මූල්‍ය වාර්තා තබාගැනීම

සෑම ස්ටේකයක් සහ කොට්ඨාශයක්ම වත්මන්, නිවැරදි මූල්‍ය වාර්තා තබා ගත යුතුය.

වාර්තා සහ සටහන් වල භාවිතය සහ රඳවා තබා ගැනීම පිළිබඳ තොරතුරු සඳහා, ලිපිකරුවන් සභා මූලස්ථානයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයේ උපදෙස් වෙත යොමු විය යුතුය. අවම වශයෙන් වසර තුනක් සහ වත්මන් වර්ෂය සඳහා මූල්‍ය වාර්තා තබා ගත යුතුය.

34.6

අයවැය සහ වියදම්

අයවැය දීමනා වැඩසටහන මඟින් ස්ටේක සහ කොට්ඨාශ වල ක්‍රියාකාරකම් සහ වැඩසටහන් සඳහා ගෙවීමට ප්‍රධාන සභා අරමුදල් සපයයි.

බොහෝ ක්‍රියාකාරකම් සරල විය යුතු අතර අඩු වියදමක් හෝ වියදමක් නොමැති ඒවා විය යුතුය.

34.6.1

ස්ටේක සහ කොට්ඨාශ අයවැය

සෑම ස්ටේකයක්ම සහ කොට්ඨාශයක්ම වාර්ෂික අයවැයක් සකස් කර ක්‍රියාත්මක කරයි. ස්ටේක සභාපතිවරයා විසින් ස්ටේක අයවැය කළමනාකරණය කරන අතර සභානායකවරයා විසින් කොට්ඨාශ අයවැය කළමනාකරණය කරයි.

මාර්ගෝපදේශ පහත ලැයිස්තුගත කර ඇත:

  • පුනරාවර්තන වියදම් සලකා බලන බවට වග බලා ගැනීම සඳහා පෙර වසර තුළ වියදම් කළ මුදල සමාලෝචනය කරන්න.

  • ඔවුන්ගේ අයවැය අවශ්‍යතා සවිස්තරාත්මකව තක්සේරු කිරීමට සංවිධාන වලින් ඉල්ලා සිටින්න.

  • අනුමත අයවැය පිළිවෙත් භාවිතයෙන් අයවැය සම්පාදනය කරන්න.

34.6.2

අයවැය දීමනාව

34.6.2.1

අයවැය වෙන් කිරීම

පහත සඳහන් කාණ්ඩවල පැමිණීම මත පදනම්ව කාර්තුමය වශයෙන් අයවැය අරමුදල් වෙන් කරනු ලැබේ:

  • සක්‍රමේන්තු රැස්වීම

  • තරුණ පිරිමි ළමුන්

  • තරුණ ගැහැණු ළමුන්

  • වයස අවුරුදු 7–10 අතර ප්‍රාථමික දරුවන්

  • තනි තරුණ වැඩිහිටියන්

පැමිණීම නිවැරදිව හා නියමිත වේලාවට වාර්තා කිරීම වැදගත් වේ (බලන්න 33.5.1.1).

34.6.2.2

අයවැය නිසි ලෙස භාවිතා කිරීම

ස්ටේක සභාපතිවරු සහ සභානායකවරු අයවැය දීමනා අරමුදල් ඥානවන්තව වියදම් කරන බවට වග බලා ගනිති.

සියලුම ක්‍රියාකාරකම්, වැඩසටහන්, අත්පොත් සහ සැපයුම් සඳහා ගෙවීමට ස්ටේක සහ කොට්ඨාශ අයවැය අරමුදල් භාවිතා කළ යුතුය.

34.6.2.3

අතිරික්ත අයවැය

අතිරික්ත අයවැය දීමනා අරමුදල් වියදම් නොකළ යුතුය. අතිරික්ත කොට්ඨාශ අරමුදල් ස්ටේකය වෙත ආපසු ලබා දිය යුතුය.

34.7

විගණන

34.7.1

ස්ටේක විගණන කමිටුව

ස්ටේක සභාපතිවරයා විසින් ස්ටේක විගණන කමිටුවක් පත් කරයි. ස්ටේක සහ කොට්ඨාශ මූල්‍ය කටයුතු සභාවේ ප්‍රතිපත්තියට අනුව හසුරුවන බව මෙම කමිටුව විසින් සහතික කරයි.

34.7.3

මූල්‍ය විගණනය

ස්ටේක විගණකවරුන් සෑම වසරකම දෙවතාවක් කොටස්, කොට්ඨාශ සහ පවුල් ඉතිහාස මධ්‍යස්ථානවල මූල්‍ය වාර්තා විගණනය කරයි.

විගණනයේදී ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඒකකයේ මුලසුන දරන නිලධාරියා සහ මූල්‍ය කටයුතුවලට අනුයුක්ත ලිපිකරු සිටිය යුතුය.

34.7.5

සභාවේ අරමුදල් නැතිවීම, සොරකම් කිරීම, වංචා කිරීම හෝ අයුතු ලෙස පරිහරණය කිරීම

ස්ටේක සභාපතිවරයාට හෝ ස්ටේක විගණන කමිටුවේ සභාපතිවරයාට වහාම දැනුම් දිය යුතු අවස්ථා:

  • සභා අරමුදල් නැති වී හෝ සොරකම් කර ඇති විට.

  • නායකයෙකු සභාවේ අරමුදල් වංචා කර හෝ අයථා ලෙස පරිහරණය කර ඇති විට.