අත්පොත් සහ කැඳවීම්
32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා


“32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා,” ප්‍රධා​න අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභා​වේ සේවය කිරීම (2020).

“32. පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා,” ප්‍රධා​න අත්පොත.

රූපය
මිනිසුන් කතා කරමින්

32.

පසුතැවිලි වීම සහ සභා සාමාජික මන්ත්‍රණ සභා

32.0

හැඳින්වීම

බොහෝ පසුතැවිලි වීම් සිදුවන්නේ යම් පුද්ගලයෙකු, දෙවියන්වහන්සේ සහ එම පුද්ගලයා​ගේ පාපය නිසා පීඩාවට පත්වූවන් අතර ය. කෙසේවෙතත්, සමහර අවස්ථාවලදී සභා සාමාජිකයින්ගේ පසුතැවිලි වීමේ ප්‍රයත්න සඳහා සභානායකවරයෙකු ​හෝ ස්ටේක සභාපතිවරයෙකු ඔවුන්ට උපකාර විය යුතුය.

පසුතැවිලි වීම සඳහා සාමාජිකයින්ට උපකාර කරන විට, සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු ආදරයෙන් හා සැලකිල්ලෙන් එය කරති. පුද්ගලයන්ව ඔසවා ඔවුන්ට පාපයෙන් ඉවත් වී දෙවියන්වහන්සේ වෙත හැරීමට උපකාර කළ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ඔවුන් අනුගමනය කරති (බලන්න මතෙව් 9:10–13; යො​හා​න් 8:3–11).

පහත දක්වා ඇති පරිදි, මෙම පරිච්ඡේදය සංවිධානය කර ඇත්තේ බරපතළ පාපයක් ගැන පසුතැවිලි වන යමෙකුට උපකාර කිරීමට සහ අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කිරීමට අවශ්‍ය ප්‍රධාන තීරණ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් නායකයින්ට මගපෙන්වීම සඳහා ය.

  • පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීමේදී සභාවේ කාර්යභාරය. 32.1–32.4 කොටස් මගින් පසුතැවිලි වීම සහ සමාව දීම පිළිබඳ ස්වාමින්වහන්සේගේ දහම පැහැදිලි කරයි. මෙම කොටස් මගින් සභාවේ සාමාජිකත්වය සීමා කිරීමේ හෝ ඉවත් කිරීමේ අරමුණු තුනද පැහැදිලි කරයි. ඊට අමතරව, පසුතැවිලි වීම සඳහා උපකාර කිරීමේදී සභානායකවරුන්ගේ සහ ස්ටේක සභාපතිවරුන්ගේ කාර්යභාරයද ඒවා මගින් පැහැදිලි කරයි.

  • පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා ඇති සැකසුම තීරණය කිරීම. 32.5–32.7 කොටස් මගින්, යමෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා සුදුසු වන්නේ සාමාජික මන්ත්‍රණ සභාවක්ද නැතිනම් පුද්ගලික උපදේශනයක්ද යන්න තීරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සපයයි.

  • පුද්ගලික උපදේශන පරිපාලනය. 32.8 කොටස මගින්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ලබාදෙන පුද්ගලික උපදේශනය සඳහා මාර්ගෝපදේශ සපයයි. එමගින් අවිධිමත් සභා සාමාජික සීමාවන්ද පැහැදිලි කරයි.

  • සභා සාමාජික මන්ත්‍රණ සභා පරිපාලනය කිරීම. 32.9–32.14 කොටස් මගින්, සාමාජික මන්ත්‍රණ සභා සඳහා වගකීම ඇත්තේ කාටද, ඒවා මෙහෙයවිය යුතු ආකාරය සහ ගත හැකි තීරණ පිළිබඳ පැහැදිලි කරයි. එම තීරණවල ප්‍රතිඵලද පැහැදිලි කරයි.

  • සභා සාමාජිකත්ව වරප්‍රසාද ආපසු ලබා දීම. 32.15–32.17 කොටස් මගින් පුද්ගලයෙකුට පසුතැවීම තුළින් සභා සාමාජික වරප්‍රසාද නැවත ලබා ගත හැකි ආකාරය පැහැදිලි කරයි.

වෙනත් ආකාරයකින් සටහන් කර නොමැති නම්, ස්ටේක සභාපතිවරුන් වෙත කර ඇති යොමු කිරීම් ධර්මදූත සභාපතිවරුන්ටද අදාළ වේ. සභානායකවරුන් වෙත කර ඇති යොමු කිරීම් ශාඛා සභාපතිවරුන්ටද අදාළ වේ.

පළමු සභාපතිත්වය විසින් බරපතළ පාපයක් ගැන පසුතැවිලි වීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාවලීන් නිර්වචනය කරයි. පළමු සභාපතිත්වයට සභාවේ රහස්‍ය වාර්තා කාර්යාලය විසින් අනුග්‍රහය දක්වයි. ස්ටේක සභාපතිවරයාට හෝ සභානායකවරයාට පරිපාලන හෝ ප්‍රතිපත්තිමය ප්‍රශ්න සඳහා එම කාර්යාලය හා සම්බන්ධ විය හැකිය. පළමු සභාපතිත්ව කාර්යාලයට ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ එම කාර්යාලයට උපදෙස්ද ලබා දිය හැකිය. සම්බන්ධ වීමේ තොරතුරු පහත දැක්වේ:

දුරකථන: 1-801-240-2053 හෝ 1-800-453-3860, දිගුව 2-2053

ගාස්තු රහිත (GSD දුරකථනය): 855-537-4357

විද්‍යුත් තැපෑල: ConfidentialRecords@ChurchofJesusChrist.org


පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීමේදී සභාවේ කාර්යභාරය


32.1

පසුතැවිලි වීම සහ සමාව දීම

ස්වාමින්වහන්සේ පැවසුවේ “කිසිඳු අපවිත්‍ර දෙයකට ස්වර්ග රාජ්‍යය උරුම කර ගත නොහැකි” බවයි (ඇල්මා 11:37; තවත් බලන්න 3 නෙපී 27:19). අපගේ පාප අපව අපවිත්‍ර කරයි—අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඉදිරියෙහි වාසය කිරීමට නුසුදුසු කරයි. ඒවගේම ඒවා අපිට මේ ජීවිතයේ සන්තාපය ගෙන දෙයි.

අපි පව් කරන විට දෙවියන්වහන්සේගේ යුක්තිය පිළිබඳ නීතිය සඳහා ප්‍රතිවිපාකයක් අවශ්‍ය වේ (බලන්න ඇල්මා 42:14, 17–18). කෙසේවෙතත්, උන්වහන්සේගේ දයාවේ ශ්‍රේෂ්ට සැලැස්මට “යුක්තියේ ඉල්ලීම් තෘප්තිමත් කළ හැකි අතර, සුරක්ෂිත බවේ අත්වලින් [අපව] වට කර ගත හැකිය” (ඇල්මා 34:16; තවත් බලන්න මොසායා 15:9).

උන්වහන්සේගේ දයාවේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා, අපගේ පව්වලට වන්දිගෙවීමට ස්වර්ගික පියාණන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වගන්සේව එව්වේය (බලන්න ඇල්මා 42:15). අපගේ පාප සඳහා යුක්තියේ නීතියට අවශ්‍ය කරන දඬුවම යේසුස්වහන්සේ වින්දේය (බලන්න දහම සහ ගිවිසුම් 19:15–19; තවත් බලන්න ඇල්මා 42:24–25). මෙම පරිත්‍යාගය තුළින් පියාණන් සහ පුත්‍රයාණන් යන දෙදෙනාම අප කෙරෙහි උනවහන්සේලා​ගේ අසීමිත ආදරය පෙන්වූහ (බලන්න යොහන් 3:16).

අපි “පසුතැවිලි වීම සඳහා ඇදහිල්ල” ක්‍රියාත්මක කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දයාව ලබා දෙමින්, ස්වර්ගික පියාණන්වහන්සේ අපට සමාව දෙන සේක (ඇල්මා 34:15; තවත් බලන්න ඇල්මා 42:13). අපව පවිත්‍ර කර අපට සමාව ලබා දුන් විට, අපට අවසානයේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගත හැකිය (යෙසායා 1:18; බලන්න දහම සහ ගිවිසුම් 58:42).

පසුතැවිලි වීම යනු හැසිරීම වෙනස් කිරීමට වඩා වැඩි දෙයකි. එයින් අදහස් වන්නේ පාපයෙන් ඉවත්ව ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට හැරීමයි. එය හදවතේ සහ මනසෙහි වෙනසක් ඇති කරයි (බලන්න මොසායා 5:2; ඇල්මා 5:12–14; හිලමන් 15:7). පසුතැවිලි වීම තුළින්, අපි නව පුද්ගලයන් බවට පත්වෙමු, දෙවියන්වහන්සේ සමඟ එක්වෙමු (බලන්න 2 කොරින්ති 5:17–18; මොසායා 27:25–26).

පසුතැවිලි වීමේ අවස්ථාව ස්වර්ගික පියාණන්වහන්සේ තම පුත්‍රයාණන්ගේ ත්‍යාගය තුළින් අපට ලබා දී ඇති උතුම්ම ආශිර්වාදයකි.

32.2

සභා සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීමේ අරමුණු

පුද්ගලයෙකු බව්තීස්ම වූ විට, ඔහු හෝ ඇය “දෙවියන්වහන්සේගේ ගෘහයේ”කොටසක් බවට පත්වේ (එපීස 2:19). බව්තීස්ම ගිවිසුමට ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ ආඥා වලට අනුව ජීවත් වීමට උත්සාහ කරන බවට පොරොන්දුවක් ඇතුළත් වේ. යම් පුද්ගලයෙකු එසේ කිරීමට අසමත් වූ විට, ඔහු හෝ ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කර පසුතැවිලි වන අතර, ශක්තිමත් වීමට සහ සමාව ලබාගැනීමට උන්වහන්සේගේ දයාව මත විශ්වාසය තබයි.

සාමාජිකයෙකු බරපතළ පාපයක් කළහොත්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කරයි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, සභා​වේ ඔහුගේ සාමාජිකත්ව වරප්‍රසාද ටික කාලයකට සීමා කිරීමට අවශ්‍ය විය හැකිය. සමහර අවස්ථා වලදී, යම් කාලයක් සඳහා පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය හැකිය.

පුද්ගලයෙකුගේ සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම මගින් දඬුවමක් ලබාදීමක් අදහස් නොකරයි. ඒ වෙනුවට, පුද්ගලයෙකුට පසුතැවිලි වීමට සහ හදවතේ වෙනසක් අත්විඳීමට මෙම ක්‍රියාවන් සමහර අවස්ථා වලදී අවශ්‍ය වේ. එමගින් පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ ගිවිසුම් අලුත් කිරීමට සහ තබා ගැනීමට ආත්මිකව සූදානම් වීමට කාලය ලබා දෙයි.

32.5–32.14 හි දක්වා ඇති පරිදි සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සාමාජික සීමා කිරීම් හෝ ඉවත් කිරීම් අධීක්ෂණය කරයි. මෙම ක්‍රියාවන් පසුතැවිලි වීමේ කොන්දේසි සමඟ සම්බන්ධ වේ. පුද්ගලයෙකු අවංකව පසුතැවිලි වන විට, ඔහුට හෝ ඇයට සභා සාමාජිකත්වයේ වරප්‍රසාද නැවත ලබාගත හැකිය.

සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම අවශ්‍ය වූ විට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම සහ මෙම පරිච්ඡේදයේ උපදෙස් අනුගමනය කරයි. ඔහු ප්‍රේමයේ ආත්මයකින් ක්‍රියා කරයි (බලන්න 32.3).

සභා​වේ සාමාජික සීමාවන් ආගමික වන අතර, සිවිල් හෝ සාපරාධී සීමාවන් නොවේ. ඒවා බලපාන්නේ එම පුද්ගලයාගේ සභාව තුළ ස්ථාවරයට පමණි. (බලන්න දහම සහ ගිවිසුම් 134:10.)

සාමාජික සීමා කිරීම් පැනවීමේ හෝ ඉවත් කිරීමේ අරමුණු තුන පහත පරිදි වේ.

32.2.1.

අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කිරීම

පළමු අරමුණ අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කිරීමයි. සමහර අවස්‍ථා වලදී යම් පුද්ගලයෙකු ශාරීරික හෝ ආත්මික තර්ජනයක් එල්ල කළ හැකිය. කොල්ලකාරී හැසිරීම්, ශාරීරික හානි, ලිංගික අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, වංචාව සහ ඇදහිල්ල අත්හැරීම මෙය සිදුවිය හැකි ක්‍රම කිහිපයකි. මෙවැ​නි සහ වෙනත් බරපතළ ආකාරවලින් යමෙකු තර්ජනයක් වන විට, සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු දේවානුභාවයෙන් යුතුව අන් අයව ආරක්ෂා කිරීමට ක්‍රියා කරයි (බලන්න ඇල්මා 5:59–60).

32.2.2

පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම

දෙවන අරමුණ වන්නේ පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට උපකාර කිරීමයි. මෙම ක්‍රියාවලිය තුළින්, ඔහුට හෝ ඇයට නැවතත් පවිත්‍ර වී දෙවියන්වහන්සේගේ සියලු ආශිර්වාද ලබාගැනීමට සුදුස්සෙකු විය හැකිය.

“බිඳුණු සිතක් සහ පසුතැවිලි වූ ආත්මයක්” යනු පාපයට සමාව සඳහා උන්වහන්සේට අවශ්‍ය කරන පරිත්‍යාගය බව ගැලවුම්කරුවාණන් ඉගැන්වූවේය (3 නෙපී 9:20). පා​ප සහ ඒවායේ ප්‍රතිවිපාක සඳහා අවංක පසුතැවිල්ල මෙයට ඇතුළත් වේ (බලන්න 2 කොරින්ති 7:9–10).

යම් පුද්ගලයෙකු බරපතළ පාපයක් සිදුකරන විට, සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම, පසුතැවිලි වීමට, සැබවින්ම පාපය අත්හැරීමට සහ පාපයේ ප්‍රතිවිපා​ක තේරුම් ගැනීමට අවශ්‍ය බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක් පෝෂණය කිරීමට උපකාර කරයි. මෙම අවබෝධය පුද්ගලයින්ට දෙවියන්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ ගිවිසුම් වඩාත් ගැඹුරින් අගය කිරීමට සහ අනාගතයේදී එම ගිවිසුම් තබා ගැනීමට ඇති මහත් ආශාවට උපකාරයක් විය හැකිය.

32.2.3

සභා​වේ ගරුත්වය ආරක්ෂා කිරීම

තුන්වන අරමුණ වන්නේ සභා​වේ ගරුත්වය ආරක්ෂා කිරීමයි. පුද්ගලයෙකුගේ හැසිරීම සභාවට සැලකිය යුතු හානියක් කරන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය සීමා කිරීම හෝ ඉවත් කිරීම අවශ්‍ය විය හැකිය (බලන්න ඇල්මා 39:11). සභාවේ ගරුත්වය ආරක්ෂා වන්නේ බරපතළ පාපයන් සැඟවීමෙන් හෝ අවම කිරීමෙන් නොවේ—නමුත් ඒවාට ආමන්ත්‍රණය කිරීමෙනි.

32.3

ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන්ගේ භූමිකාව

රූපය
සභානායකවරයා පුද්ගලයෙකු සමඟ කතා කරමින්

සභානායකවරුන්ව සහ ස්ටේක සභාපතිවරුන්ව ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් ලෙස කැඳවා වෙන් කරනු ලැබ ඇත (බලන්න දහම සහ ගිවිසුම් 107:72–74). සභා සාමාජිකයන්ට පසුතැවිලි වීමට උපකාර කිරීමේදී ස්වාමින්වහන්සේව නියෝජනය කිරීම සඳහා ඔවුන් පූජකවර යතුරු දරති (බලන්න දහම සහ ගිවිසුම් 13:1; 107:16–18).

බොහෝ විට සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු පුද්ගලික උපදේශන හරහා පසුතැවිලි වීමට සහාය වෙති. මෙම උපකාරයට සභා සාමාජිකත්වයේ සමහර වරප්‍රසාද අවිධිමත් ලෙස කාලයකට සීමා කිරීම ඇතුළත් විය හැකිය. (බලන්න 32.8.)

සමහර බරපතළ පා​ප සඳහා, නායකයින් සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමෙන් පසුතැවිලි වීමට සහාය වේ (බලන්න 32.6 සහ 32.9–32.14). මෙම උපකාරයට සභා සාමාජිකත්වයේ සමහර වරප්‍රසාද විධිමත් ලෙස සීමා කිරීම හෝ යම් කාලයක් සඳහා පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත් කිරීම ඇතුළත් විය හැකිය (බලන්න 32.11.3 සහ 32.11.4).

දෙවියන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරන බව සභා​වේ සාමාජිකයින්ට තේරුම් ගැනීමට සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු උපකාර කරති. ඔවුන් සතුටින් සිටීමත් ආශිර්වා​ද ලබා ගැනීමත් උන්වහන්සේට අවශ්‍ය නිසා, ඔවුන්ගේ කීකරුකම සහ පසුතැවිලි වීම ගැනද උන්වහන්සේ ඉමහත් සැලකිල්ලක් දක්වයි.

සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු සාමාජිකයින්ට පසුතැවිලි වීමට උපකාර කරන විට ආදරය හා සැලකිල්ල පෙන්නුම් කරති. කාමමිථ්‍යාචාරයේ යෙදුණු ස්ත්‍රිය කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරය ඒ සඳහා මගපෙන්වීමකි (බලන්න යොහන් 8:3–11). ඇගේ පව්වලට සමාව ලැබුණු බව උන්වහන්සේ නොකීවත්, උන්වහන්සේ ඇයව හෙළා දුටුවේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ ඇයට පැවසුවේ “තවදුරටත් පව් නොකරන” ලෙසත්—පසුතැවිලි වී ඇගේ ජීවිතය වෙනස් කරගන්නා ලෙසත් ය.

මෙම නායකයින් උගන්වන්නේ “පශ්චාත්තාප වන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීති වන” බවයි (ලූක් 15:7). ඔවුන් ඉවසිලිවන්තයි, සහයෝගය ලබාදෙයි සහ ධනාත්මකයි. ඔවුන් බලාපොරොත්තුව ඇති කරයි. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා සියල්ලන්ට පසුතැවිලි වී පවිත්‍ර විය හැකි බව ඔවුන් උගන්වමින් සාක්ෂි දරති.

එක් එක් පුද්ගලයාට පසුතැවිලි වීමට උපකාර කරන්නේ කෙසේදැයි දැන ගැනීම සඳහා සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු ආත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වීම සොයති. සභා නායකයින් විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කලින් සැකසූ ප්‍රමිති ඇත්තේ බරපතළම පාප සඳහා පමණි (බලන්න 32.6 සහ 32.11). කිසිඳු අවස්ථා දෙකක් එකිනෙකට සමාන නොවේ. නායකයින් ලබා දෙන උපදේශනය සහ ඔවුන් විසින් පහසුකම් සපයන පසුතැවිලි වීමේ ක්‍රියාවලිය ආනුභාව ලත් විය යුතු අතර එක් එක් පුද්ගලයාට එය වෙනස් විය හැකිය.

එක් එක් පුද්ගලයාගේ තත්වයන්, හැකියාව සහ ආත්මික පරිණතභාවය ස්වාමින්වහන්සේ දන්නා සේක. සාමාජිකයින්ට සුවය ලබා එම පාපය නැවත නැවත කිරීමේ පරීක්ෂාවට එරෙහි වීම සඳහා අවශ්‍ය වන වෙනස්කම් කිරීම සඳහා ඔවුන්ට කෙසේ උපකාර කළ යුතු දැයි වටහා ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ නායකයින්ට උපකාර කරයි.

යමෙකුට පසුතැවිලි වීමට, දෙවියන්වහන්සේ වෙතට නැවත හැරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සුවය ලැබීමට උපකාර කිරීම, පුද්ගලයෙකුට ලැබිය හැකි වඩාත් ප්‍රීතිමත්ම අත්දැකීමකි. දහම සහ ගිවිසුම් 18:10–13 මෙසේ පැහැදිලි කරයි:

“ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේගේ දර්ශනය ඉදිරියේ මහත් බව මතක තබාගන්න;

“මක්නිසාද, බලන්න, නුඹගේ ස්වාමින් වූ මිදුම්කරුවාණන්, මාංශයෙන් යුතුව මරණය වින්ද සේක; එසේහෙයින් උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ වේදනා වින්ද සේක, එනම් සියලු මනුෂ්‍යයන් පසුතැවිලිව උන්වහන්සේ වෙතට පැමිණෙන පිණිසය.

“තවද උන්වහන්සේ නැවතත් මරණය වෙතින් නැවත නැගිටි සේක, එනම් සියලු මනුෂ්‍යයන්, පසුතැවිල්ලේ කොන්දේසිය මත, උන්වහන්සේ වෙතට ගෙන එන පිණිසය.

“තවද පසුතැවිලි වන ප්‍රාණය තුළ උන්වහන්සේගේ ප්‍රීතිය කොපමණ මහත් වන්නේද!”

32.4

පාපොච්චාරණය, රහස්‍යභාවය සහ රජයේ බලධාරීන්ට වාර්තා කිරීම

32.4.1

පාපොච්චාරණය

පසුතැවිලි වීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේට පා​ප පාපොච්චාරණය කිරීම අවශ්‍ය වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසුවේය, “මෙම කාරණය හේතුවෙන් මනුෂ්‍යයෙක් ඔහුගේ පාපයට පසුතැවිලි වන්නේ නම්—බලන්න, ඔහු ඒවා පාපොච්ඡාරණය කොට තවද ඒවා අත්හල යුතු යැයි නුඹ දැනගන්නෙහිය” (දහම සහ ගිවිසුම් 58:43; තවත් බලන්න මොසායා 26:29).

සභා​වේ සාමාජිකයන් බරපතළ පාපයන් සිදු කරන විට, එම පාප සම්බන්ධව ඔවුන්ගේ සභානායකවරයා​ට හෝ ස්ටේක සභාපතිවරයාට පාපොච්චාරණය කිරීමද ඔවුන්ගේ පසුතැවිල්ලට ඇතුළත් වේ. එවිට ඔහුට ඔවුන් වෙනුවෙන් පසුතැවිලි වීමේ ශුභාරංචියේ යතුරු ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැ​බේ (බලන්න දහම සහ ගිවිසුම් 13:1; 84:26–27; 107:18, 20). මෙමගින් ඔවුන්ට සුව වීමට සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් නැවතත් ශුභාරංචි මාවතට පැමිණීමට උපකාර ලැබෙයි.

පාපොච්චාරණයේ පරමාර්ථය වන්නේ සාමාජිකයින්ට ඔවුන්ට දැනෙන බර අඩු කරගැනීමට දිරිගැන්වීමයි, එවිට ඔවුන්ට වෙනස් වීමට සහ සුව වීමට ස්වාමින්වහන්සේගේ උපකාරය සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය. පාපොච්චාරණය මගින් “බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක්” වර්ධනය කිරීම සඳහා උපකාර කරයි (2 නෙපී 2:7). ස්වේච්ඡා පාපොච්චාරණය පෙන්නුම් කරන්නේ පුද්ගලයෙකු පසුතැවිලි වීමට කැමති බවයි.

සාමාජිකයෙකු පාපොච්චාරණය කළ විට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා 32.8 හි ඇති උපදේශනය සඳහා ​වූ මාර්ගෝපදේශ අනුගමනය කරයි. සාමාජිකයාට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා සුදුසු සැකසුම පිළිබඳව ඔහු යාච්ඤාවෙන් යුතුව මගපෙන්වීම් සොයයි (බලන්න 32.5). සාමාජික මන්ත්‍රණ සභාවක් උපකාරවත් වේද යන්න පිළිබඳ ඔහු සලකා බලයි. සභා​වේ ප්‍රතිපත්තියට අනුව සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නම්, ඔහු මෙය පැහැදිලි කරයි (බලන්න 32.6 සහ 32.10).

සමහර අවස්ථාවල සාමාජිකයෙකු කලත්‍රයෙකුට හෝ වෙනත් වැඩිහිටියෙකුට වැරදි කර තිබිය හැකිය. පසුතැවිලි වීමේ කොටසක් ලෙස, ඔහු හෝ ඇය සාමාන්‍යයෙන් එම පුද්ගලයාට ඒ ගැ​න පාපොච්චාරණය කර සමාව ඉල්ලා සිටිය යුතුය. බරපතළ පාපයක් කර ඇති යෞවනයෙකු සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවට දිරිගන්වනු ලැබේ.

32.4.2

පාපොච්චාරණය නොකළ හෝ ප්‍රතික්ෂේප කළ බරපතළ පාප

සාමාන්‍යයෙන් සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු බරපතළ පාපයක් ගැන දැනගන්නේ පාපොච්චාරණයෙන් හෝ වෙනත් පුද්ගලයෙකු මගිනි. සිදුවිය හැකි බරපතළ පාපයක් ගැන පෙළඹවීම් ඔහුට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින්​ද ලැබිය හැකිය. යමෙකු පාපයක් සමඟ පොරබදමින් සිටින බව ආත්මයාණන්වහන්සේ මගින් ඔහුට හැඟෙන්නේ නම්, ඔහුට සම්මුඛ සාකච්ඡාවක් සැලසුම් කළ හැකිය. සම්මුඛ සාකච්ඡාව අතරතුර, ඔහු කාරුණික, ගෞරවාන්විත ආකාරයකින් ඔහුගේ කාරණාව බෙදා ගනු ඇත. ඔහු ඕනෑම ආකාරයක චෝදනාත්මක හඬකින් වැළකී සිටියි.

සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට ඔප්පු කිරීම සඳහා තොරතුරු තිබුණත්, යම් සාමාජිකයෙක් විසින් බරපතළ පාපයක් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවිටද සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්විය හැකිය. කෙසේවෙතත්, මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට අධ්‍යාත්මික පෙළඹවීමක් පමණක් ප්‍රමාණවත් නොවේ (බලන්න දහම සහ ගිවිසුම් 10:37). අවශ්‍ය නම් නායකයාට අමතර තොරතුරු රැස්කර ගත හැකිය. ඔහු 32.4.3 සහ 32.10.2 හි සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරයි.

32.4.3

තොරතුරු එක්රැස් කිරීම

සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඔහුට අවශ්‍ය තරම් තොරතුරු රැස් කරගනියි. සාමාජිකයෙකුගේ පාපොච්චාරණයෙන් ලබාගත් තොරතුරු බොහෝ විට ප්‍රමාණවත් වේ. පවුලේ සාමාජිකයෙකුගෙන්, සභා​වේ වෙනත් නායකයෙකුගෙන්, වින්දිතයෙකුගෙන් හෝ පාපයට සහභාගි වූවෙකුගෙන්ද තොරතුරු පැමිණිය හැකිය.

තොරතුරු එක්රැස් කිරීමේදී, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් භාවිතා කළ යුත්තේ පූජක නායකයෙකුට සුදුසු ක්‍රම පමණි. ඔහු පුද්ගලයෙකුගේ නිවසක් නිරීක්ෂණය කිරීම හෝ එම පුද්ගලයාගේ අනුමැතියකින් තොරව ඔහුව හෝ ඇයව පටිගත කිරීම නොකළ යුතුය. එසේම ඔහු නීතියට පටහැනි කිසිඳු ක්‍රියාමාර්ගයක් භාවිතා නොකළ යුතුය.

බොරු චෝදනා එල්ල වන්නේ කලාතුරකිනි නමුත් එසේ සිදුවිය හැකිය. එක් පුද්ගලයෙකුගේ වචනයට අමතරව සීමිත තොරතුරු ඇති විට පූජක නායකයින් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. නිදසුනක් වශයෙන්, කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සාමාජිකයෙකු එම චෝදනාව ප්‍රතික්ෂේප කළ හැකිය. “සෑම වචනයක්ම ඔහුට හෝ ඇයට විරුද්ධව, සභාවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින්, ඔප්පු කළ යුතු” බව ශුද්ධලියවිලි පැහැදිලි කරයි (දහම සහ ගිවිසුම් 42:80). “සාක්ෂිකරුවන් දෙදෙනෙකු” යන්නෙන් අදහස් වන්නේ වෙන වෙනම තොරතුරු මූලාශ්‍ර දෙකකි. මෙයට සහභාගිවන්නෙකුගේ දැනුම සහ වෙනත් විශ්වාසදායක මූලාශ්‍ර ඇතුළත් විය හැකිය. සමහර අවස්ථාවලදී පූජක නායකයෙකුට ක්‍රියා කිරීම සඳහා තවත් තොරතුරු ලැබෙන තුරු බලා සිටීමට සිදුවිය හැකිය.

සභා නායකයෙකු සාමාජික මන්ත්‍රණ සභාවක් සඳහා තොරතුරු රැස් කරන විට, නීතිය බලාත්මක කරන්නන් විසින් සාමාජිකයා ගැන සක්‍රීයව විමර්ශනය කරන බව දැනගන්නේ නම් සභානායකවරයා එම විමර්ශනය වහාම නතර කළ යුතුය. මෙසේ සිදුකරන්නේ නායකයා යුක්තියට බාධා කළ හැකි යැයි කළ හැකි ප්‍රකාශයන් වළක්වා ගැනීම සඳහා​ය. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මෙම තත්වයන් පිළිබඳ නීති උපදෙස් සඳහා, ස්ටේක සභාපතිවරයා විසින් සභා​වේ ප්‍රධාන උපදේශක කාර්යාලය අමතයි:

1-800-453-3860, දිගුව 2-6301

1-801-240-6301

එක්සත් ජනපදය සහ කැනඩාවෙන් පිටත නම්, ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය නීති උපදේශකවරයාව සම්බන්ධ කරගනියි.

සාමාන්‍යයෙන් සිවිල් හෝ අපරාධ නඩු විභාග අධිකරණයක් විසින් පරීක්ෂණ පවත්වන්නේ නම්, අධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නැත. සමහර අවස්ථාවල නීතිමය අභියාචනා කාලය අවසන් වන තුරු හෝ අභියාචනය ප්‍රතික්ෂේප කරන තෙක් සාමාජික මන්ත්‍රණ සභාවක් ප්‍රමාද කිරීමද සුදුසු විය හැකිය.

32.4.4

රහස්‍යභාවය

සභානායකවරුන්ට, ස්ටේක සභාපතිවරුන්ට සහ ඔවුන්ගේ උපදේශකයින්ට ඔවුන් සමඟ බෙදා ගන්නා සියලුම රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට පාරිශුද්ධ වූ යුතුකමක් ඇත. මෙම තොරතුරු සම්මුඛ සාකච්ඡා, උපදේශන සහ පාපොච්චාරණයන් තුළින් පැමිණිය හැකිය. සාමාජික මන්ත්‍රණ සභාවලට සහභාගි වන සියල්ලන්ටමත් රහස්‍යභාවයේ එම යුතුකම අදාළ වේ. සාමාජිකයින් විසින් බෙදාගන්නා දේ රහසිගතව තබා නොගන්නේ නම් ඔවුන් පාපයන් පාපොච්චාරණය කිරීම හෝ මගපෙන්වීම සෙවීම මගහැරිය හැකි නිසා, රහස්‍යභාවය අත්‍යවශ්‍යය. විශ්වාසය කඩ කිරීම මගින් සාමාජිකයින්ගේ විශ්වාසය පාවා දෙන අතර එමගින් ඔවුන්ට ඔවුන්ගේ නායකයින් කෙරෙහි ඇති විශ්වාසය නැති වී යයි.

ඔවුන්ගේ රහස්‍යභාවයේ රාජකාරියට අනුකූලව, සභානායකවරයෙකුට, ස්ටේක සභාපතිවරයෙකුට හෝ ඔවුන්ගේ උපදේශකයින්ට එවැනි තොරතුරු බෙදාගත හැක්කේ පහත පරිදි පමණි:

  • සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීම හෝ ඊට අදාළ කරුණු පිළිබඳව ඔවුන් සාමාජිකයාගේ ස්ටේක සභාපතිවරයා, ධර්මදූත සභාපතිවරයා හෝ සභානායකවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. ස්ටේක සභාපතිවරයා​ට ඔහුට පවරා ඇති ප්‍රාදේශීය හැත්තෑවරයා සමඟද සාකච්ඡා කළ හැකිය. අවශ්‍ය නම්, ප්‍රාදේශීය හැත්තෑවරයා විසින් ස්ටේක සභාපතිවරයාව ප්‍රාදේශීය සභාපතිත්වය වෙත යොමු කරයි. මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුද යන වග සහ එහි ප්‍රතිඵලය තීරණය කරන්නේ ස්ටේක සභාපතිවරයා පමණි.

  • සාමාජිකත්ව ක්‍රියාමාර්ග හෝ වෙනත් බරපතළ ගැටළු පවතින අතරතුර පුද්ගලයා නව කොට්ඨාශයකට මාරු වූ විට (හෝ පූජක නායකයා​ව නිදහස් කරනු ලැබූ විට). මෙම අවස්ථාවලදී, නායකයා විසින් නව සභානායකවරයා​ට හෝ ස්ටේක සභාපතිවරයාට එම ගැටළුව හෝ අපේක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දෙයි (බලන්න 32.14.7). එම සාමාජිකයා අන් අයට තර්ජනයක් විය හැකි නම්ද, ඔහු එම නායකයාට දන්වයි.

  • තම කොට්ඨාශයෙන් හෝ ස්ටේකයෙන් පිටත ජීවත් වන සභා සාමාජිකයෙකු බරපතළ පාපයකට සම්බන්ධ වී ඇති බව සභානායකවරයෙක් හෝ ස්ටේක සභාපතිවරයෙක් දැනගනියි. එම අවස්ථාවේදී, ඔහු රහස්‍යභාවය රැකගනිමින් එම සාමාජිකයාගේ සභානායකවරයාව සම්බන්ධ කරගනියි.

  • සාමාජික මන්ත්‍රණ සභාවකදී තොරතුරු හෙළිදරව් කිරීම අවශ්‍යය. සාමාජික මන්ත්‍රණ සභාවක කොටසක් ලෙස රැස් කර බෙදා ගන්නා සියලුම තොරතුරු රහසිගතය.

  • නිශ්චිත පුද්ගලයන් සමඟ තොරතුරු බෙදා ගැනීමට නායකයා​ට අවසර දීමට සාමාජිකයෙකු විසින් තෝරා ගනියි. මෙයට දෙමාපියන්, සභා නායකයන් හෝ සහයෝගය ලබා දිය හැකි වෙනත් අය ඇතුළත් විය හැකිය. සාමාජිකයා ලබා දී ඇති අවසරයෙන් ඔබ්බට නායකයා විසින් තොරතුරු බෙදා නොගනී.

  • සාමාජික මන්ත්‍රණ සභා​වේ තීරණය පිළිබඳ සීමිත තොරතුරු හුවමාරු කරගැනීම අවශ්‍ය විය හැකිය (බලන්න 32.12.2).

අනෙක් සියලුම අවස්ථාවන්හිදී, නායකයා 32.4.5 වෙත යොමු විය යුතුය. ළමා අපචාර වැනි අපරාධයක් රජයේ බලධාරීන්ට වාර්තා කළ යුතු බවට නීතියෙන් නියම කර ඇති අවස්ථා මෙම අවස්ථාවලට ඇතුළත් වේ.

අන් අයව ආරක්ෂා කිරීමට සහ නීතියට අනුකූලව ක්‍රියා කිරීමට නායකයින්ට උපකාර කිරීම සඳහා, සභා​ව විසින් පුහුණු වෘත්තිකයන්ගෙන් උපකාර ලබා දෙයි. මෙම මගපෙන්වීම ලබා ගැනීම සඳහා, නායකයින් එය ලබා ගත හැකි ස්ථා​න වලදී සභා​වේ අපයෝජන උපකාරක මාර්ගයට ක්ෂණිකව අමතයි (බලන්න 32.4.5 සහ 38.6.2.1). එය ලබාගත නොහැකි ස්ථා​න වලදී, ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය නීති උපදේශකවරයාව සම්බන්ධ කරගනියි.

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු එවැනි මගපෙන්වීමක් ලබා නොගෙන රහස්‍ය තොරතුරු හෙළි කළ යුත්තේ එක් අවස්ථාවකදී පමණි. ජීවිතයට තර්ජනයක් වන හානියක් හෝ බරපතළ අනතුරක් වළක්වා ගැනීම සඳහා සහ මගපෙන්වීම ලබා ගැනීමට කාලය නොමැති නම්, එම හෙළි කිරීම අවශ්‍ය වන්නේ එවිටය. එවැනි අවස්ථාවලදී, රහස්‍යභාවයේ යුතුකමට වඩා අන් අයව ආරක්ෂා කිරීමේ යුතුකම වැදගත් වේ. එවිට නායකයින් වහාම සිවිල් බලධාරීන්ව ඇමතිය යුතුයි.

නායකයින් සටහන් තබාගන්නේ නම් හෝ ඉලෙක්ට්‍රොනිකව එකිනෙකා සමඟ සන්නිවේදනය කරන්නේ නම්, ඔවුන් මෙම තොරතුරු වෙත ප්‍රවේශය ආරක්ෂා කරයි. ඔවුන්ට තවදුරටත් ඒවා අවශ්‍ය නොවන විට ඔවුන් ඒ තොරතුරු මකා දැමීම හෝ විනාශ කිරීමද සිදු කරයි. ඔවුන් අනවශ්‍ය ලෙස පුද්ගලික තොරතුරු බෙදා නොගනී.

සිවිල් බලධාරීන් විසින් පූජක නායකයෙකු බලාපොරොත්තු වන රහස්‍යභාවයට අභියෝග කළ හැකිය. මෙය එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිදු වුවහොත්, ස්ටේක සභාපතිවරයා විසින් සභාවේ ප්‍රධා​න උපදේශක කාර්යාලයෙන් නීති උපදෙස් ලබා ගනියි:

1-800-453-3860, දිගුව 2-6301

1-801-240-6301

එක්සත් ජනපදය සහ කැනඩාවෙන් පිටත නම්, ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය නීති උපදේශකවරයාව සම්බන්ධ කරගනියි.

32.4.5

රජයේ බලධාරීන්ට වාර්තා කිරීම

පසුතැවිලි වන සමහර අය සිවිල් හෝ අපරාධ නීති කඩ කර ඇත. සමහර අවස්ථාවල රජයේ බලධාරීන් මේ ගැන දැනුවත් නැත. සාමාජිකයින්ට නීතිය අනුගමනය කිරීමට සහ අවශ්‍ය විටදී එවැනි කරුණු වාර්තා කිරීම සඳහා සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු ඔවුන්ව දිරිමත් කරති. වාර්තා කිරීමේදී නිසි නීති උපදෙස් ලබා ගැනීමට නායකයින් සාමාජිකයින්ට උපදෙස් දෙයි. සභා​වේ ප්‍රතිපත්තිය වන්නේ නීතියට කීකරු වීමයි.

බොහෝ ස්ථානවල, පූජක නායකයින් දැනුවත් වන නීති විරෝධී හැසිරීම් වාර්තා කිරීම නීතිමය වශයෙන් අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන්, සමහර ප්‍රාන්ත සහ රටවල් තුළ ළමා අපයෝජන පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට වාර්තා කළ යුතුය.

සමහර රටවල, සභා​ව විසින් සභානායකවරුන්ට සහ ස්ටේක සභාපතිවරුන්ට සහය වීම සඳහා රහස්‍ය අපයෝජන උපකාරක දුරකථන මාර්ගයක් පිහිටුවා ඇත. පුද්ගලයෙකු අපයෝජනයට ලක්වී ඇති විට—හෝ අපයෝජනයට ලක්වීමේ අවදානමක් ඇති සෑම අවස්ථාවකදීම මෙම නායකයින් වහාම උපකාරක අංකයට ඇමතිය යුතුය (බලන්න 38.6.2.1). එය දවසේ පැය 24 ම, සතියේ දින 7 ම ක්‍රියාත්මක වේ.

උපකාරක අංකයක් නොමැති රටවල, අපයෝජනය ගැන දැනගත් සභානායකවරයෙකු විසින් තම ස්ටේක සභාපතිවරයා හා සම්බන්ධ විය යුතු අතර, ඔහු ප්‍රාදේශී​ය කාර්යාලයේ ප්‍රාදේශීය නීති උපදේශකයාගෙන් මගපෙන්වීම ලබා ගත යුතුය.

අපයෝජන වාර්තා කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා, 38.6.2.1 සහ 38.6.2.7 බලන්න.


පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා ඇති සැකසුම තීරණය කිරීම


32.5

පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා ඇති සැකසුම්

සාමාජිකයෙකු බරපතළ පාපයක් කර ඇති බව දැනගත් පසු, සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු විසින් අන් අයව ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි. එම පුද්ගලයාට පසුතැවිලි වීමට සහ ගැලවුම්කරුවාණන් වෙත ලං වීමට උපකාර කිරීමේ සැකසුම තීරණය කිරීමේදී ඔහු ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීමද සොයයි.

32.5.1

එම සැකසුම් පිළිබඳ දළ විශ්ලේෂණය

පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා පහත වගුවේ සැකසුම් තුනක් ලැයිස්තුගත කර ඇත. කුමන සැකසුම භාවිතා කළ යුතුද යන්න තීරණය කිරීමේදී නායකයින් සලකා බැලිය යුතු සමහර කරුණුද එහි සාරාංශ කරයි.

පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා ඇති සැකසුම්

සැකසුම

සමහර සලකා බැලීම් (තවත් බලන්න 32.7)

සැකසුම

ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාව

සමහර සලකා බැලීම් (තවත් බලන්න 32.7)

  • දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලැබූ සාමාජිකයින් සඳහා.

  • 32.6.1, 32.6.2, හෝ 32.6.3 හි සඳහන් ඕනෑම බරපතළ පාපයක් හෝ ක්‍රියාවක් සඳහා, බලයෙන් සැරසීම ලබා ඇති යම් පුරුෂයෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීමට ඉඩ තිබේ නම් එය අවශ්‍ය වේ.

සැකසුම

කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභාව

සමහර සලකා බැලීම් (තවත් බලන්න 32.7)

  • ඕනෑම සාමාජිකයෙකු සඳහා.

  • 32.6.1 හි සඳහන් බරපතළ පාප සඳහා එය අවශ්‍ය වේ.

  • 32.6.2 සහ 32.6.3 හි සඳහන් බරපතළ පාප සහ ක්‍රියාවන් සඳහා එය අවශ්‍ය විය හැකිය.

  • 32.6.1, 32.6.2, හෝ 32.6.3 හි සඳහන් ඕනෑම බරපතළ පාපයක් හෝ ක්‍රියාවක් සඳහා, බලයෙන් සැරසීම ලබා ඇති යම් පුරුෂයෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීමට ඉඩ තිබේ නම් එය අවශ්‍ය වේ.

සැකසුම

පුද්ගලික උපදේශනය (බලන්න 32.8)

සමහර සලකා බැලීම් (තවත් බලන්න 32.7)

  • ඕනෑම සාමාජිකයෙකු සඳහා.

  • එහි අවිධිමත් සභා සාමාජික සීමාවන්ද ඇතුළත් විය හැකිය.

  • පසුතැවිලි වීමේ ක්‍රියාවලියේදී සාමාජික මන්ත්‍රණ සභාවක් උපකාරී වන බරපතළ පාප හෝ ක්‍රියාවන් සඳහා ප්‍රමාණවත් නොවිය හැකිය (බලන්න 32.6.2 සහ 32.6.3).

  • සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන බරපතළ පාප සඳහා ප්‍රමාණවත් නොවේ (බලන්න 32.6.1).

  • 32.6.1, 32.6.2, හෝ 32.6.3 හි සඳහන් ඕනෑම බරපතළ පාපයක් හෝ ක්‍රියාවක් සඳහා, බලයෙන් සැරසීම ලබා ඇති යම් පුරුෂයෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීමට ඉඩ තිබේ නම් එය ප්‍රමාණවත් නොවේ.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ලබාදෙන පුද්ගලික උපදේශන සහ අවිධිමත් සීමා කිරීම්, බරපතළ පාප ගැන පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීමට සමහර අවස්ථා වලදී ප්‍රමාණවත් නොවේ. මෙම තත්වයන් තුළ ඉශ්‍රායෙලයේ විනිසුරුවරයෙකුට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ සාමාජික මන්ත්‍රණ සභා ලබා දී ඇත. (බලන්න නික්මයාම 18:12–27; මොසායා 26:29–36; දහම සහ ගිවිසුම් 42:80–83102.) සමහර බරපතළ පාපයන් සඳහා, සභා​වේ ප්‍රතිපත්තියට අනුව මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ (බලන්න 32.6.1). දේවමාළිගා ගිවිසුම් කඩ කිරීම සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වීමේ සම්භාවිතාව වැඩි කරයි (බලන්න 32.7.4).

කොට්ඨාශයක, සභානායකවරයා​ගේ උපදේශකයින් විසින් සාමාජික මන්ත්‍රණ සභා සඳහා සහාය වේ. ස්ටේකයක, ස්ටේක සභාපතිවරයා​ගේ උපදේශකයින් ඒ සඳහා සහාය වේ. සමහර ස්ටේක සාමාජික මන්ත්‍රණ සභා වලදී, උසස් මන්ත්‍රණ සභාවද සහභාගී වේ (බලන්න 32.9.2). සාමාජික මන්ත්‍රණ සභාවකදී, සභානායකත්වය හෝ ස්ටේක සභාපතිත්වය ප්‍රේමයේ ආත්මයකින් යුතුව එම පුද්ගලයා​ව හමුවෙයි.

32.5.2

සැකසුම සහ ඒ සඳහා කාලය තීරණය කිරීම

පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාරවත් වන්නේ මෙම සැකසුම් වලින් කවරක්දැයි තීරණය කිරීමේදී, නායකයින් ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම සොයති. ඔවුන් පහත සඳහන් සාධකද සලකා බලති:

  • පාපයේ බරපතළකම සහ සභා​වේ ප්‍රතිපත්තිය අනුව මන්ත්‍රණ සභාවක් අවශ්‍යද යන වග (බලන්න 32.6)

  • පුද්ගලයාගේ තත්වයන් (බලන්න 32.7)

සභානායකවරයෙකු ස්ටේක සභාපතිවරයාගෙන් නිශ්චිත තත්වයන් ගැන උපදෙස් ලබාගනියි. සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර ඔහු ස්ටේක සභාපතිවරයාගෙන් අනුමැතිය ලබාගත යුතුමය.

දුෂ්කර කාරණා සම්බන්ධයෙන්, ස්ටේක සභාපතිවරයාට ඔහුට පවරා ඇති ප්‍රාදේශීය හැත්තෑවරුන්ගෙන් උපදෙස් ලබා ගත හැකිය. 32.6.3 හි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබාගත යුතුමය. කෙසේවෙතත්, එම හැසිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුද කියා තීරණය කරන්නේ ස්ටේක සභාපතිවරයා පමණි. මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, ස්ටේක සභාපතිවරයා හෝ සභානායකවරයා විසින් එහි ප්‍රතිඵලය තීරණය කරයි.

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු විසින් පුද්ගලික උපදේශනය ප්‍රමාණවත් බව තීරණය කරන්නේ නම්, ඔහු 32.8 හි මාර්ගෝපදේශ අනුගමනය කරයි. සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය බව ඔහු තීරණය කරන්නේ නම් හෝ සභාවේ ප්‍රතිපත්තියට අනුව මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නම්, එය පවත්වන තැනැත්තා 32.9–32.14 හි ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරයි.

මන්ත්‍රණ සභාව පැවැත්වීමට පෙර, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් අවිධිමත් සාමාජික සීමාවන් කාලයක් සඳහා යහපත් බව තීරණය කළ හැකිය. සාමාජිකයාගේ අවංක පසුතැවිල්ල වඩාත් හොඳින් දිරිමත් කරන්නට සුදුසු අවස්ථාවේදී ඔහු මන්ත්‍රණ සභාව පවත්වයි. කෙසේවෙතත්, අනෙක් අයව ආරක්ෂා කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නම් ඔහු එය කල් දැමිය යුතු නැත.

32.6

පාපයේ බරපතළකම සහ සභා​වේ ප්‍රතිපත්තිය

(1) අන් අයව ආරක්ෂා කිරීම සහ (2) පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා සැකසුම තීරණය කිරීමේදී පාපයේ බරපතළකම වැදගත් සැලකිල්ලකි. ස්වාමින්වහන්සේ පවසා ඇත්තේ උන්වහන්සේට “ඉතා සුළුවෙන්වත් පාපය දෙස බැලීමට නොහැකි” බවයි (දහම සහ ගිවිසුම් 1:31; තවත් බලන්න මොසායා 26:29). උන්වහන්සේගේ සේවකයන් බරපතළ පාපයක් පිළිබඳ සාක්ෂි නොසලකා හැරිය යුතු නැත.

බරපතළ පාප යනු දෙවියන්වහන්සේගේ නීතිවලට එරෙහිව හිතාමතා කරන, විශාල වරදකි. බරපතළ පාප වර්ග පහත ලැයිස්තුගත කර ඇත.

  • ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජන (බලන්න 32.6.1.1 සහ 32.6.2.1)

  • ලිංගික දුරාචාරය (බලන්න 32.6.1.2 සහ 32.6.2.2)

  • වංචනික ක්‍රියා (බලන්න 32.6.1.3 සහ 32.6.2.3)

  • විශ්වාසය කඩකිරීම් (බලන්න 32.6.1.4 සහ 32.6.2.4)

  • තවත් සමහර ක්‍රියා (බලන්න 32.6.1.5 සහ 32.6.2.5)

සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා, අවශ්‍ය විය හැකි අවස්ථා සහ අනවශ්‍ය අවස්ථා පහත කොටස් වලින් විස්තර කෙරේ.

32.6.1

සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා

මෙම කොටසේ විස්තර කර ඇති කිසියම් පාපයක් යම් සාමාජිකයෙකු කර ඇති බවට තොරතුරු පෙන්නුම් කරන විට සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුය. මෙම පාප සඳහා, සාමාජිකයෙකුගේ අධ්‍යාත්මික පරිණතභාවය සහ ශුභාරංචිය පිළිබඳ අවබෝධය නොතකා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

මෙම කොටසේ ලැයිස්තුගත කර ඇති පාප සඳහා රැස්වන මන්ත්‍රණ සභාවල විභව ප්‍රතිඵල සඳහා 32.11 බලන්න. අවිධිමත් සාමාජික සීමා කිරීම් මෙම මන්ත්‍රණ සභා සඳහා විකල්පයක් නොවේ.

32.6.1.1

ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජනය

පුද්ගල ඝාතනය. සාමාජිකයෙකු කෙනෙකුව ඝාතනයට ලක්කර ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ. මෙහි භාවිතා වන පරිදි, පුද්ගල ඝාතනය යනු හිතාමතා, අසාධාරණ ලෙස මිනිස් ජීවිතයක් පැහැර ගැනීමයි. මෙහිදී පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම අවශ්‍ය වේ.

පුද්ගල ඝාතනයට රාජකාරිමය වශයෙන් පොලිසියේ හෝ හමුදාවේ සිදුවන ක්‍රියා ඇතුළත් වන්නේ නැත. මෙම සන්දර්භය තුළ ගබ්සාව පුද්ගල ඝාතනයක් ලෙස අර්ථ දක්වා නැත. හදිසි අනතුරකින් හෝ තමාගේ හෝ අන් අයගේ ආරක්ෂාව නිසා මරණය සිදු වූවා නම්, මිනිස් ජීවිතයක් ගැනීම පුද්ගල ඝාතනයක් ලෙස අර්ථ දැක්විය නොහැක. පුද්ගලයෙකුට සීමිත මානසික හැකියාවන් ඇති විට වැනි වෙනත් අවස්ථාවන්හිදීද මෙය සත්‍ය විය හැකිය.

ලිංගික දූෂණය. ලිංගික දූෂණ සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ. මෙහි භාවිතා කර ඇති පරිදි, ලිංගික දූෂණය යනු බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම හෝ මානසික හෝ ශාරීරික හැකියාව අඩුවීම නිසා නීත්‍යානුකූලව කැමැත්ත ලබා දිය නොහැකි කෙනෙකු සමඟ ලිංගිකව එක්වීමයි. මෙහි භාවිතා කර ඇති පරිදි, ලිංගික දූෂණයට වැඩි වයස පරතරයක් නොමැති බාලවයස්කරුවන් දෙදෙනෙකු අතර සම්මුතියෙන් ඇතිවන ලිංගික සංසර්ගය ඇතුළත් නොවේ.

ලිංගික අපයෝජන වරද. සාමාජිකයෙකු ලිංගික අපයෝජනයකට වරදකරු වුවහොත් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

ළමා හෝ යෞවන අපයෝජනය. 38.6.2.3 හි පැහැදිලි කර ඇති පරිදි පුද්ගලයෙකු දරුවෙකු හෝ යෞවනයෙකු අපයෝජනය කර ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම. අපයෝජනාත්මක හැසිරීම් වල බරපතළකමේ විවිධ ආකාර ඇත. කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා දැනගැනීම සඳහා 38.6.2.4 බලන්න.

ප්‍රචණ්ඩ කොල්ලකාරී හැසිරීම. යම් වැඩිහිටියෙකු ප්‍රචණ්ඩකාරී හැසිරීම් මගින් මිනිසුන්ට ශාරීරිකව නැවත නැවතත් හානි කරන්නේ නම් සහ අන් අයට තර්ජනයක් වන්නේ නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

32.6.1.2

ලිංගික දුරාචාරය

අනියම් සබඳතා 38.6.10 හි අර්ථ දක්වා ඇති පරිදි අනියම් සබඳතා සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ. මෙහිදී පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම සෑමවිටම පාහේ අවශ්‍ය වේ.

ළමා කාමුක දර්ශන. 38.6.6 හි දක්වා ඇති පරිදි යම් පුද්ගලයෙකු ළමා කාමුක දර්ශනවලට සම්බන්ධ වී ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

බහු විවාහය. යම් පුද්ගලයෙක් දැනුවත්ව බහු විවාහයකට එළඹී ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ. කලත්‍රයා වෙනත් කලත්‍රයෙක් හෝ කිහිපදෙනෙක් ගැන නොදැන සමහර බහු විවාහයන් රහසිගතව සිදු විය හැකිය. යම් පුද්ගලයෙකු දැනුවත්ව බහු විවාහයකට ඇතුල් වී ඇත්නම් එම පුද්ගලයාගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම අවශ්‍ය වේ.

ලිංගික කොල්ලකාරී හැසිරීම. යම් වැඩිහිටියෙකු අන් අයට ලිංගිකව නැවත නැවතත් හානි කරන්නේ නම් සහ අනෙක් අයට තර්ජනයක් වන්නේ නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

32.6.1.3

වංචනික ක්‍රියා

මූල්‍ය කොල්ලකාරී හැසිරීම. යම් වැඩිහිටියෙකුට හිතාමතාම සහ නැවත නැවතත් මිනිසුන්ට මූල්‍යමය වශයෙන් හානි කිරීමේ ඉතිහාසයක් තිබේ නම් සහ අන් අයට තර්ජනයක් නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ (බලන්න 38.6.2.4). ආයෝජන වංචා සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වේ. ආර්ථික තත්ත්වයන් නිසා සිදුවන අනපේක්ෂිත මූල්‍ය පාඩු වංචනික ක්‍රියාවන් ලෙස නොසැලකේ. ඒ සඳහා නඩු පැවරීමක් සම්බන්ධ නම්, පූජක නායකයන්ට ප්‍රතිඵලය අවසන් වන තෙක් බලා සිටීමට තීරණය කළ හැකිය. සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න.

32.6.1.4

විශ්වාසය කඩකිරීම්

සභාවේ ප්‍රමුඛ තනතුරක් දරන අතරතුර සිදුකරන බරපතළ පාප. ප්‍රමුඛ තනතුරක් දරමින් සිටියදී සාමාජිකයෙකු විසින් බරපතළ වරදක් කළහොත් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ. මෙයට ප්‍රධාන අධිකාරීවරු, ප්‍රධාන සභා නිලධාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, දේවමාළිගා සභාපතිවරුන් හෝ සහකාරියන්, ධර්මදූත සභාපතිවරුන් හෝ පාලිකාවන්, ස්ටේක සභාපතිවරුන්, ආදිපීතෘවරුන්, හෝ සභානායකවරුන් ඇතුළත් වේ. ශාඛා සභාපතිවරුන්ට මෙය අදාළ නොවේ. කෙසේවෙතත්, අනෙකුත් සාමාජිකයින්ගේ ආකාරයටම ශාඛා සභාපතිවරයෙකුගේ සභා සාමාජික වරප්‍රසාද සීමා කිරීමට හෝ ඉවත් කිරීමට හැකිය.

32.6.1.5

තවත් සමහර ක්‍රියා

අපරාධ වරද. පුද්ගලයෙකු අපරාධයකට වරදකරු වූ විට බොහෝ අවස්ථාවලදී සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

32.6.2

සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකි අවස්ථා

පහත සඳහන් අවස්ථා වලදී සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය.

32.6.2.1

ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජනය

ස්වාමින්වහන්සේ මෙසේ ආඥා කර ඇත, “නුඹලා මිනී නොමැරිය යුතුය, හෝ එවැනි ආකාර කිසිවක් නොකළ යුතුය” (දහම සහ ගිවිසුම් 59:6; ඇල අකුරු එකතු කර ඇත). සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජනයන්ට ඇතුළත් වන දේ පහත ලැයිස්තුගත කර ඇත (නමුත් ඒවාට පමණක් සීමා නොවේ).

මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම. හිතාමතාම කෙනෙක්ව ඝාතනය කිරීමට තැත්කිරීම.

පහරදීම් සහ හිරිහැර ඇතුළු ලිංගික අපයෝජනය. ලිංගික අපයෝජනය පුළුල් පරාසයක ක්‍රියා ආවරණය කරයි (බලන්න 38.6.18). යමෙකුට ලිංගික හිරිහැර කළ හෝ අතවර කළ පුද්ගලයකු සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදුවී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සඳහා 38.6.18.3 බලන්න.

කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම. අපයෝජනාත්මක හැසිරීම් වල බරපතළකමේ වර්ණාවලියක් ඇත (බලන්න 38.6.2.4). කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදුවී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සඳහා 38.6.2.4 බලන්න.

32.6.2.2

ලිංගික දුරාචාරය

ස්වාමින්වහන්සේගේ නිර්මලභාවය පිළිබඳ නීතිය යනු පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර නීත්‍යානුකූල විවාහයකින් පරිබාහිර ලිංගික සම්බන්ධතාවලින් වැළකීමයි (බලන්න නික්මයාම 20:14; දහම සහ ගිවිසුම් 63:16). 38.6.5 හි විස්තර කර ඇති පරිදි ලිංගික දුරාචාරය සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මෙම අවස්ථා වලදී, යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදු වී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සඳහා 32.6.1.2 බලන්න.

32.6.2.3

වංචනික ක්‍රියා

දස පනත මෙසේ උගන්වයි, “සොරකම් නොකරව” එමෙන්ම “බොරු සාක්ෂි නොකියව” (නික්මයාම 20:15–16). මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම්, සොරකම්, මුදල් වංචා කිරීම්, බොරු සාක්ෂි දීම සහ වංචාව වැනි ක්‍රියා සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. සම්බන්ධතා වංචා සඳහා 38.8.2 බලන්න. මෙම අවස්ථා වලදී, යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදු වී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය.

සම්බන්ධතා වංචා සඳහා 38.8.2 බලන්න. වංචනික ක්‍රියා. සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සඳහා 32.6.1.3 බලන්න. සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න.

32.6.2.4

විශ්වාසය කඩකිරීම්

සාමාජිකයෙකු පහත සඳහන් වැරදි කර ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය:

  • සභාවේ හෝ ප්‍රජාවේ අධිකාරිය ලත් හෝ විශ්වාස ලත් තනතුරක් දරමින් බරපතළ පාපයක් කර ඇත්නම්.

  • බොහෝ දෙනෙක් දන්නා බරපතළ පාපයක් කර ඇත්නම්.

මෙම අවස්ථා වලදී, යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදු වී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය.

මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සඳහා 32.6.1.4 බලන්න. සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න.

32.6.2.5

තවත් සමහර ක්‍රියා

බෙන්යමින් රජු මෙසේ ඉගැන්වුවේය, “නුඹලා විසින් පාපයන් සිදුකළ හැකි සියලු දේවල් කීමට මට නොහැකිය; මක්නිසාද එහි බොහෝ මාර්ග සහ ක්‍රම ඇත, ඒවා බොහෝය, මට ඒවා ගණන් කළ නොහැක” (මොසායා 4:29). සාමාජිකයෙකු පහත සඳහන් වැරදි කර ඇත්නම් මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය:

  • බරපතළ පාප කිරීමේ රටාවක් පෙන්වයි නම් (බලන්න දහම සහ ගිවිසුම් 82:7).

  • ළමා ආධාර සහ දික්කසාද දීමනාව නොගෙවීම ඇතුළු පවුලේ වගකීම් හිතාමතාම අත්හැර දමයි නම්.

  • පුද්ගලිකව හෝ අන්තර්ජාලය හරහා ශාරීරික හිංසනයට තර්ජනය කරයි නම් (බලන්න 32.2.1).

  • නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරයි නම්.

  • වෙනත් බරපතළ අපරාධ ක්‍රියාවන් සිදු කරයි නම්.

මෙම අවස්ථා වලදී, යම් සාමාජිකයෙකු දේවමාළිගාවේ ගිවිසුම් කඩ කර ඇත්නම් හෝ එම පාපය නැවත නැවතත් සිදු වී ඇත්නම් ඔහුට හෝ ඇයට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය.

සාමාජිකයෙකු ගබ්සාවකට යටත් වන්නේ නම්, ඉටු කරන්නේ නම්, සංවිධානය කරන්නේ නම්, මුදල් ගෙවන්නේ නම් හෝ දිරිගන්වන්නේ නම් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මාර්ගෝපදේශ සඳහා 38.6.1 බලන්න.

සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය අවස්ථා සහ අවශ්‍ය විය හැකි අවස්ථා

පාපයේ ආකාරය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

පාපයේ ආකාරය

ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජනය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

  • ඝාතනය

  • ලිංගික දූෂණය

  • ලිංගික අපයෝජන වරද

  • ළමා හෝ තරුණ අපයෝජනය

  • ප්‍රචණ්ඩ කොල්ලකාරී හැසිරීම

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

  • මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම

  • පහරදීම් සහ හිරිහැර ඇතුළු ලිංගික අපයෝජන (මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා සඳහා 38.6.18 බලන්න)

  • කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම (මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන අවස්ථා සඳහා 38.6.2.4 බලන්න)

පාපයේ ආකාරය

ලිංගික දුරාචාරය

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

  • අනියම් සබඳතා

  • ළමා කාමුක දර්ශන

  • බහු විවාහය

  • ලිංගික කොල්ලකාරී හැසිරීම

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

  • කාමමිථ්‍යාචාරය, වේශ්‍යාකම, සමලිංගික සබඳතා, සහ අන්තර්ජාලයෙන් හෝ දුරකථනයෙන් සිදුවන ලිංගික සම්බන්ධතා ඇතුළු පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර නීත්‍යානුකූල විවාහයකින් පරිබාහිර අනෙකුත් සියලුම ලිංගික සම්බන්ධතා

  • සහවාසය, සිවිල් සංගම් සහ හවුල්කාරිත්වයන් සහ සමලිංගික විවාහ

  • සාමාජිකයෙකුගේ විවාහයට හෝ පවුලට සැලකිය යුතු හානියක් සිදුකර ඇති ආකාරයෙන් කාමුක දර්ශන දැඩි ලෙස හෝ අත්හළ නොහැකි ලෙස භාවිතා කිරීම

පාපයේ ආකාරය

වංචනික ක්‍රියා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

  • වංචා සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් වැනි මූල්‍ය කොල්ලකාරී හැසිරීම් (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

  • මංකොල්ලකෑම, ගෙවල් බිඳීම, සොරකම් කිරීම හෝ මුදල් වංචා (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

  • බොරු සාක්ෂි

පාපයේ ආකාරය

විශ්වාසය කඩකිරීම්

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

  • සභාවේ ප්‍රමුඛ තනතුරක් දරන අතරතුර සිදුකරන බරපතළ පාපයක්

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

  • සභාවේ හෝ ප්‍රජාවේ අධිකාරිය ලත් හෝ විශ්වාස ලත් තනතුරක් දරමින් සිදුකර ඇති බරපතළ පාප (සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීමට සාමාජිකයෙකු සම්බන්ධ වූයේ නම් 32.6.3.3 බලන්න)

  • බොහෝ දෙනෙක් දන්නා බරපතළ පාප

පාපයේ ආකාරය

තවත් සමහර ක්‍රියා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍යයි (බලන්න 32.6.1)

  • බොහෝ අපරාධ චෝදනා

සාමාජික මන්ත්‍රණ සභාව අවශ්‍ය විය හැකියි (බලන්න 32.6.2)

  • ගබ්සාව (38.6.1 හි ව්‍යතිරේකයක් අදාළ නොවේ නම්)

  • බරපතළ පාප රටාව

  • ළමා ආධාර සහ දික්කසාද දීමනාව නොගෙවීම ඇතුළු පවුලේ වගකීම් හිතාමතාම අත්හැර දැමීම

  • නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම

  • වෙනත් බරපතළ අපරාධ ක්‍රියාවන්

32.6.3

සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අවශ්‍යද යන්න පිළිබඳව ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදේශන ලබාගන්නා අවස්ථා

සමහර කාරණා සඳහා අමතර සංවේදීතාවයක් සහ මගපෙන්වීමක් අවශ්‍ය වේ. හොඳම ආකාරයෙන් උපකාර කරන්නේ කෙසේදැයි දැන ගැනීමට, ස්ටේක සභාපතිවරයා මෙම කොටසේ ඇති තත්ත්වයන් පිළිබඳව ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතුමය. කෙසේවෙතත්, එම හැසිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුද කියා තීරණය කරන්නේ ස්ටේක සභාපතිවරයා පමණි. මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, ස්ටේක සභාපතිවරයා හෝ සභානායකවරයා විසින් එහි ප්‍රතිඵලය තීරණය කරයි.

මෙම කොටසේ දක්වා ඇති එක් කරුණක් හෝ සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, මන්ත්‍රණ සභාවේ තීරණය “හොඳ තත්වයේ පවතී,” “විධිමත් සාමාජික සීමාවන්” හෝ “සාමාජිකත්වය ඉවත්කිරීම” යන ඒවා විය යුතුමය. විධිමත් සීමාවන් ඉවත් කිරීමට හෝ එම පුද්ගලයාව නැවත සභාවට ඇතුළත් කිරීමට පළමු සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය වේ (බලන්න 32.16.1, අංක 9).

32.6.3.1

වෙනත් ක්‍රියාමාර්ග

සාමාජික මන්ත්‍රණ සභාවක් නොපැවැත්වුවහොත්, වෙනත් ක්‍රියාමාර්ගවලට පහත ඒවා ඇතුළත් විය හැකිය:

  • අවිධිමත් සාමාජික සීමාවන් (බලන්න 32.8.3).

  • සාමාජික වාර්තා විවරණ (බලන්න 32.14.5).

  • පූජකවරය ලබා ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම හෝ දේවමාළිගා නිර්දේශයක් ලබා ගැනීම හෝ භාවිතා කිරීම සීමා කරන නියෝග සීමා කිරීම්.

මෙම ක්‍රියාමාර්ග වලින් එකක් හෝ ගැනීමට පෙර ස්ටේක සභාපතිවරයෙකු ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබාගත යුතුය.

32.6.3.2

ඇදහිල්ලෙන් වැටීම

ඇදහිල්ලෙන් වැටීමේ ගැටළු බොහෝ විට කොට්ඨාශයක හෝ ස්ටේකයක සීමාවෙන් ඔබ්බට බලපෑමක් ඇති කරයි. අනෙක් අයව ආරක්ෂා කිරීම සඳහා ඒවා ඉක්මනින් ආමන්ත්‍රණය කළ යුතුය.

යම් සාමාජිකයෙකුගේ ක්‍රියාවක් ඇදහිල්ලෙන් වැටීමක් විය හැකි යැයි හැඟෙන්නේ නම් සභානායකවරයා ස්ටේක සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගනියි. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සාමාජිකයාට අවිධිමත් සාමාජික සීමාවන් පැනවිය හැකිය (බලන්න 32.8.3). ස්ටේක සභාපතිවරයා වහාම ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබාගනියි. කෙසේවෙතත්, සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අවශ්‍යද යන්න තීරණය කරන්නේ ස්ටේක සභාපතිවරයා පමණි.

මෙහි භාවිතා කර ඇති පරිදි, ඇදහිල්ලෙන් වැටීම යනු සාමාජිකයෙකු විසින් පහත සඳහන් ඕනෑම දෙයක නිරත වීමකි:

  • සභාවට, එහි දහමට, එහි ප්‍රතිපත්තිවලට හෝ එහි නායකයින්ට පැහැදිලි ලෙස සහ හිතාමතාම ප්‍රසිද්ධ විරෝධයක් සමඟ නැවත නැවතත් ක්‍රියා කිරීම

  • සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් නිවැරදි කිරීමෙන් පසුව සභාවේ දහම නොවන දේ සභාවේ දහම ලෙස ඉගැන්වීමේ දිගටම පැවතීම

  • සභාවේ සාමාජිකයන්ගේ ඇදහිල්ල සහ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට හිතාමතාම ක්‍රියා කරන රටාවක් පෙන්වීම

  • සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් නිවැරදි කිරීමෙන් පසුව ඇදහිල්ල අත්හළ නිකායන්හි ඉගැන්වීම් දිගටම අනුගමනය කිරීම

  • විධිමත් ලෙස වෙනත් සභාවකට සම්බන්ධ වීම සහ එහි ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීම (සභාවේ සම්පූර්ණ අක්‍රියතාව හෝ වෙනත් සභාවකට සහභාගී වීම මගින් පමණක් ඇදහිල්ලෙන් වැටීමක් සිදු නොවේ. කෙසේවෙතත්, සාමාජිකයෙකු විධිමත් ලෙස වෙනත් සභාවකට සම්බන්ධ වී එහි ඉගැන්වීම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්වය ඉවත් කිරීම අවශ්‍ය විය හැකිය.)

පව් කළ පුද්ගලයෙකුට දිගටම දේවසේවය කළ යුතු බව ගැලවුම්කරුවාණන් නෙපීවරුන්ට ඉගැන්වුවේය. “නමුත් ඔහු පසුතැවිලි නොවන්නේ නම්, ඔහු මාගේ සෙනඟ විනාශ නොකරන පිණිස, මාගේ සෙනඟ අතරට ඔහු ගණන් නොගනු ලබන්නේය” (3 නෙපී 18:31).

32.6.3.3

සභාවේ අරමුදල් වංචා කිරීම

යම් සාමාජිකයෙකු සභාවේ අරමුදල් වංචා කරන්නේ නම් හෝ සභාවේ වටිනා දේපළ සොරකම් කරන්නේ නම්, සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේද යන්න පිළිබඳව ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් උපදෙස් ලබාගනියි. නායකයින් පහත සඳහන් දේ සලකා බලයි:

  • වංචා කළ හෝ සොරකම් කළ මුදල.

  • වංචාව එක් වරක් සිදු වූවක්ද නැතහොත් පුනරාවර්තනයක්ද යන වග.

  • ආපසු ගෙවීම සිදුවී තිබේද යන්න.

  • පුද්ගලයාගේ පසුතැවීමේ මට්ටම.

  • සාමාජිකයා දරන තනතුර (සභාවේ ප්‍රමුඛ තනතුරක් දරන සාමාජිකයින් සඳහා 32.6.1.4 බලන්න).

ස්ටේක සභාපතිවරයා විසින් Leader and Clerk Resources [නායක සහ ලිපිකරු සම්පත්] හි පහත සඳහන් එකක් වාර්තා කරයි:

  • සාමාජික මන්ත්‍රණ සභාවේ ප්‍රතිඵල

  • ඔහු ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබාගත් බව සහ සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නොවන බව තීරණය කළ බව

නායකයෙකු හෝ සභාවේ සේවකයෙකු විසින් සභාවේ අරමුදල් හෝ දේපල වංචා කර ඇති බව සභාවේ විගණන දෙපාර්තමේන්තුව තීරණය කරන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්ව වාර්තාව විවරණය කළ යුතු බවට සාමාන්‍යයෙන් පළමු සභාපතිත්වය නියෝග කරයි. “නායකයා:” යනුවෙන් අදහස් කරන්නේ සභාවේ ප්‍රමුඛ තනතුරක් මෙන්ම උපදේශකයින්, ලිපිකරුවන් සහ ශාඛා සභාපති තනතුරු දරන පුද්ගලයෙකු ලෙස අර්ථ දැක්වේ. පසුතැවිලි වීම සම්පූර්ණ වූ විට, ස්ටේක සභාපතිවරයෙකුට විවරණ ඉවත් කිරීම සඳහා ඉල්ලා සිටිය හැකිය (බලන්න 32.14.5 සහ 34.7.5). විවරණයක් යන්නෙන් අදහස් වන්නේ සාමාජික මන්ත්‍රණ සභාවක් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවී ඇති බවක් නොවේ.

32.6.3.4

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්

සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුන්වන පුද්ගලයින් සමඟ වැඩ කරන සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් 38.6.23 හි මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

32.6.4

සාමාන්‍යයෙන් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නොවන අවස්ථා

පහත සඳහන් අවස්ථා වලදී සාමාජික මන්ත්‍රණ සභාවක් සාමාන්‍යයෙන් අවශ්‍ය නොවේ.

32.6.4.1

සභාවේ සමහර ප්‍රමිතීන්ට අනුකූල වීමට අපොහොසත් වීම

පහත ලැයිස්තුගත කර ඇති ක්‍රියා සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් නොපැවැත්වේ. කෙසේවෙතත්, අවසාන අයිතමයේ ඇති ව්‍යතිරේකය බලන්න.

  • සභාවේ අක්‍රිය වීම

  • සභාවේ රාජකාරි ඉටු නොකිරීම

  • දසයෙන් කොටස නොගෙවීම

  • පැහැර හැරීමේ පාප

  • ස්වයං වින්දනය

  • ප්‍රඥාවේ වචනයට අනුකූල නොවීම

  • ළමා කාමුක දර්ශන (38.6.6 හි දක්වා ඇති පරිදි) හෝ සාමාජිකයෙකුගේ විවාහයට හෝ පවුලට සැලකිය යුතු හානියක් සිදු කර ඇති ආකාරයෙන් කාමුක දර්ශන දැඩි ලෙස හෝ අත්හළ නොහැකි ලෙස භාවිතා කිරීම හැර කාමුක දර්ශන භාවිතා කිරීම (38.6.13 හි දක්වා ඇති පරිදි).

32.6.4.2

ව්‍යාපාර අසාර්ථක වීම හෝ ණය නොගෙවීම

ව්‍යාපාරික ආරවුල් විසඳා ගැනීමට නායකයින් විසින් සාමාජික මන්ත්‍රණ සභා භාවිතා නොකළ යුතුය. ව්‍යාපාර අසාර්ථක වීම සහ ණය නොගෙවීම සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට හේතු නොවේ. කෙසේවෙතත්, බරපතළ වංචාකාරී ක්‍රියාකාරකම් හෝ වෙනත් බරපතළ වංචාකාරී මූල්‍ය භාවිතයන් සඳහා මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුය (බලන්න 32.6.1.3).

32.6.4.3

සිවිල් ආරවුල්

සිවිල් ආරවුල් විසඳීම සඳහා සාමාජික මන්ත්‍රණ සභා පවත්වන්නේ නැත (බලන්න දහම සහ ගිවිසුම් 134:11).

32.7

පුද්ගලයාගේ තත්වයන්

ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවේය, “මගේ දයාවේ හස්තය නුඹලා දෙසට දිගු කර ඇත, තවද කවරෙකු මා වෙතට පැමිණෙන්නේද, මම ඔහුව භාරගන්නෙමි; මා වෙතට පැමිණෙන්නෝ ආශිර්වාද ලද්දෝය” (3 නෙපී 9:14). පහත සඳහන් දේ තීරණය කිරීමේදී පුද්ගලයෙකුගේ තත්වයන් වැදගත් සලකා බැලීම් වේ:

  • බරපතළ පාප ගැන පසුතැවිලි වීමට ඔහුට හෝ ඇයට උපකාර කිරීම සඳහා සුදුසු සැකසුම (බලන්න 32.5 සහ 32.6).

  • පුද්ගලික උපදේශන හෝ සාමාජික මන්ත්‍රණ සභා වලදී ගනු ලබන තීරණ (බලන්න 32.8 සහ 32.11).

සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් මේ එක් එක් තත්ත්වය සඳහා ස්වාමින්වහන්සේගේ මනස සහ කැමැත්ත සොයති. කුමන සැකසුම භාවිතා කළ යුතුද සහ එහි ප්‍රතිඵලය කුමක්ද යන්න තීරණය කිරීමේදී ඔවුන් පහත සඳහන් සාධක සලකා බලයි. මෙම සාධක විශේෂිත තීරණයක් නියම නොකරයි. ඒ වෙනුවට, ඒවා යාච්ඤාවෙන් හා ආත්මයාණන්ගේ මගපෙන්වීමෙන් යුතුව නායකයන් ගත යුතුම වන තීරණයකට ආධාරක වේ.

32.7.1

පාපයේ විශාලත්වය

පාපයේ බරපතළකම මනින්නේ එහි විශාලත්වය අනුවය. කරන ලද පාප වල සංඛ්‍යාව සහ වාර ගණන, ඒවායින් සිදුවන හානියේ බරපතළකම සහ ඒවායින් රිදවන පුද්ගලයින් සංඛ්‍යාව මෙයට ඇතුළත් විය හැකිය.

32.7.2

වින්දිතයාගේ අවශ්‍යතා

නායකයින් වින්දිතයින්ගේ සහ වෙනත් අයගේ අවශ්‍යතා සලකා බලයි. මෙයට පුද්ගලයෙකුගේ කලත්‍රයා සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් ඇතුළත් විය හැකිය. නායකයන් හානියේ බරපතළකමද සලකා බලයි.

32.7.3

පසුතැවිලි වූ බවට සාක්ෂි

පුද්ගලයෙකු අවංකව පසුතැවිලි වී ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාත්මික මගපෙන්වීම අවශ්‍ය වේ. එවැනි පසුතැවිල්ලක් තනි සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වන දැඩි ශෝකයට වඩා කාලයත් සමඟ සිදුකරන ධර්මිෂ්ඨ ක්‍රියාවලින් වඩාත් විශ්වාසදායක ලෙස පෙන්වනු ලැබේ. සලකා බැලිය යුතු සාධක වලට මේවා ඇතුළත් වේ:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ශක්තිය.

  • පාපොච්චාරණයේ ස්වභාවය.

  • පාපය සඳහා වූ ශෝකයේ ගැඹුර.

  • හානි සිදු වූ පුද්ගලයින්ව නැවත යථා තත්වයට පත්කිරීම.

  • නීතිමය අවශ්‍යතා සමඟ අනුකූල වීම.

  • පාපය අත්හැරීමේ සාර්ථකත්වය.

  • පාපය කළ අවස්ථාවේ සිට ආඥා පිළිපැදීමේදී දක්වන ඇදහිලිවන්ත බව.

  • සභාවේ නායකයන් සහ වෙනත් අය සමඟ අවංකකම.

  • සභා නායකයන්ගේ උපදෙස් අනුගමනය කිරීමට ඇති කැමැත්ත.

රූපය
කාන්තාවක් යාච්ඤා කරමින්

32.7.4

දේවමාළිගා ගිවිසුම් උල්ලංඝනය කිරීම

ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය, “බොහෝ ලෙස දී ඇති කවරෙකුගෙන් වුවද ඔහුගෙන් බොහෝ ලෙස බලාපොරොත්තු වනු ලබන්නේය” (දහම සහ ගිවිසුම් 82: 3). දේවමාළිගා බලයෙන් සැරසීම ලැබූ අයෙක් උසස් තත්ත්වයෙන් ජීවත් වීමට ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙම ගිවිසුම් කඩ කිරීම පාපයේ බරපතළකම විශාල කරයි. එය සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වීමේ සම්භාවිතාව වැඩි කරයි.

32.7.5

විශ්වාසයේ හෝ අධිකාරිත්වයේ තත්වය

යම් පුද්ගලයෙක් එය සිදු කළේ ඔවුන් දෙමාපියෙකු, නායකයෙකු හෝ ගුරුවරයෙකු වැනි විශ්වාසවන්ත හෝ අධිකාරී තනතුරක සිටියදී නම් පාපයේ බරපතළකම විශාල වේ.

32.7.6

පුනරාවර්තනය

එකම බරපතළ පාපය නැවත නැවත කිරීමේ රටාවක්, ගැඹුරින් මුල් බැසගත් හැසිරීමක් හෝ සැබෑ පසුතැවිල්ලක් කරා ප්‍රගතියට බාධා කරන ඇබ්බැහි වීමක් පෙන්නුම් කරයි. අවශ්‍ය විය හැකි සාමාජික සීමාවන්ට අමතරව, ඇබ්බැහිවීම් ප්‍රතිසාධන වැඩසටහන් සහ වෘත්තීය උපදේශනය ප්‍රයෝජනවත් විය හැකිය (බලන්න 32.8.2).

32.7.7

වයස, පරිණතභාවය සහ පළපුරුද්ද

සාමාජිකයෙකුට උපදෙස් දීමේදී හෝ සාමාජික මන්ත්‍රණ සභාවක ප්‍රතිඵලය තීරණය කිරීමේදී නායකයින් වයස, පරිණතභාවය සහ පළපුරුද්ද සලකා බලයි. ශුභාරංචිය තුළ නොමේරූ අය සඳහා ලිහිල් බව බොහෝ විට සුදුසු වේ. නිදසුනක් වශයෙන්, දුරාචාරයේ යෙදුණු තරුණ සාමාජිකයන් පාපය අත්හැර අවංක පසුතැවිල්ලක් පෙන්නුම් කරන්නේ නම් ලිහිල් භාවය සුදුසු විය හැකිය. කෙසේවෙතත්, ඔවුන් එම හැසිරීමේ දිගටම පැවතුනහොත් වඩාත් බැරෑරුම් ක්‍රියාමාර්ග අවශ්‍ය විය හැකිය.

32.7.8

මානසික ධාරිතාව

මානසික රෝග, ඇබ්බැහි වීම හෝ සීමිත මානසික හැකියාවන් යනු බරපතළ පාපයක් කළ පුද්ගලයෙකුට සමාව දීම සඳහා හේතු නොවේ. කෙසේවෙතත්, මේවා සලකා බැලිය යුතු සාධක වේ. පුද්ගලයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීමේ කොටසක් ලෙස, නායකයින් විසින් එම පුද්ගලයාගේ ශුභාරංචි මූලධර්ම පිළිබඳ අවබෝධය සහ වගවීමේ මට්ටම පිළිබඳව ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම සොයති.

32.7.9

ස්වේච්ඡා පාපොච්චාරණය

කෙනෙකුගේ ක්‍රියාවන් සඳහා ස්වේච්ඡා පාපොච්චාරණයක් සහ දේවභක්තික ශෝකය පසුතැවිලි වීමට ඇති ආශාව පෙන්නුම් කරයි.

32.7.10

පාපය සහ පාපොච්චාරණය අතර කාලය

පාපොච්චාරණය පසුතැවිල්ලේ කොටසක් වන අතර එය කල්දැමීම නොකළ යුතුය. සමහර විට පාපයක් කිරීමෙන් පසු දිගු කාලයක් තිස්සේ වන ප්‍රතිස්ථාපනයක් සහ ඇදහිලිවන්ත ජීවිතයක් අනුගමනය කරයි. සාමාජිකයෙකු පාපොච්චාරණයක් කර එම වරද නැවත නොකළේ නම්, එයින් ඔහු හෝ ඇය එය අත්හැර ඇති බව පෙන්නුම් කළ හැකිය. එවැනි අවස්ථාවක, පසුතැවිලි වීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවාට වඩා පාපොච්චාරණය සම්පූර්ණ වී තිබිය හැකිය.

32.7.11

විවිධ කොට්ඨාශ හෝ ස්ටේකයන්​ හි ජීවත් වන සාමාජිකයන් සම්බන්ධ පා​ප

සමහර විට එකට එකතු වී බරපතළ පාපයක් කරන සාමාජිකයන් විවිධ කොට්ඨාශ වල හෝ ස්ටේක වල ජීවත් වෙති. මෙම තත්වය තුළ, සාමාජික සීමා කිරීම් හෝ මන්ත්‍රණ සභා සඳහා අවශ්‍යතාවය පිළිබඳව ස්ටේක සභාපතිවරුන් එකට එක්වී උපදෙස් ලබාගනිති. සීමා කිරීම් හෝ මන්ත්‍රණ සභා තීරණ එක හා සමාන වීම හෝ වෙනස් ප්‍රතිඵල සඳහා අවශ්‍යතාවයක් පෙන්නුම් කළ හැකි වෙනත් කරුණු තිබේද යන්න පිළිබඳවද ඔවුහු සාකච්ඡා කරති.


පුද්ගලික උපදේශන පරිපාලනය


32.8

පුද්ගලික උපදේශන සහ අවිධිමත් සාමාජික සීමාවන්

පුද්ගලික උපදේශනය බොහෝ විට අන් අයව ආරක්ෂා කිරීමට සහ පසුතැවිලි වීම තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ මිදීමේ බලයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට උපකාර කිරීමට ප්‍රමාණවත් වේ. එවැනි උපදේශන මගින් සාමාජිකයින්ට වඩාත් බරපතළ පාපයන්ගෙන් ආරක්ෂා වීමටද උපකාර කළ හැකිය. පුද්ගලික උපදේශනයේදී, සමහර බරපතළ පාප ගැන පසුතැවිලි වීමට සාමාජිකයෙකුට උපකාර කිරීම සඳහා නායකයින්ට අවිධිමත් සාමාජික සීමාවන් ලබා දිය හැකිය (බලන්න 32.8.3).

බරපතළ පාපයන් සැහැල්ලුවෙන් නොසැලකිය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 1:31). දේවමාළිගා ගිවිසුම් කඩ කිරීම සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වීමේ සම්භාවිතාව වැඩි කරයි (බලන්න 32.7.4).

උපදේශනය සහ අවිධිමත් සීමා කිරීම් ප්‍රමාණවත් වන්නේ කුමන අවස්ථාවල දැයි නායකයින්ට දැන ගැනීමට උපකාර වන මාර්ගෝපදේශ පහත ලැයිස්තුගත කර ඇත (තවත් බලන්න 32.7):

  • සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන පාපයක් පුද්ගලයෙකු කර නැති විට (බලන්න 32.6.1).

  • යම් පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් පාපොච්චාරණය කර ඇති අතර අවංකව පසුතැවිලි වී ඇති විට.

  • යම් පුද්ගලයෙකු තමා පෙර නොකළ බරපතළ පාපයක් ගැන පසුතැවිලි වෙමින් සිටින විට.

  • යම් පුද්ගලයෙකුගේ පාප දේවමාළිගාවේ ගිවිසුම් උල්ලංඝනය කර නැති විට.

  • යම් පුද්ගලයෙකුට සැලකිය යුතු අවම කිරීමේ තත්වයක් ඇති විට.

32.8.1

පුද්ගලික උපදේශනය

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු සාමාජිකයෙකුට පසුතැවිලි වීමට උපකාර කිරීම සඳහා ඔහුට හෝ ඇයට උපදෙස් දෙන විට පහත මාර්ගෝපදේශ අදාළ වේ.

  • (1) සාමාජිකයාගේ පව්කාර හැසිරීම් පිළිබඳ ආකල්පය සහ (2) හැසිරීමේ ස්වභාවය, වාර ගණන සහ කාලසීමාව තීරණය කිරීමට ප්‍රමාණවත් තොරතුරු පමණක් ඉල්ලා සිටින්න. තත්වය තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔබ්බට විස්තර ඉල්ලා නොසිටින්න. පුද්ගලික කුතුහලයෙන් පැන නගින ප්‍රශ්න නොඅසන්න.

  • එම හැසිරීම අන් අයට බලපෑවේ කෙසේදැයි අසන්න.

  • සාමාජිකයාගේ හැරීම සහ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති කැපවීම ගැඹුරු කරන ධනාත්මක තත්වයන් කෙරෙහි අවධානය යොමු කරන්න. හැසිරීම වෙනස් කිරීම සහ පසුතැවිලි වීමට හදවත වෙනස් කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට සාමාජිකයාව දිරිමත් කරන්න. ගැලවුම්කරුවාණන් වෙත ළං වීමටත්, උන්වහන්සේගේ ශක්තිය සොයමින් උන්වහන්සේගේ මිදීමේ ප්‍රේමය දැනීමටත් ඔහුට හෝ ඇයට ආරාධනා කරන්න.

  • යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම සහ සභා රැස්වීම්වලට සහභාගි වීම වැනි නගා සිටුවීමේ ක්‍රියාකාරකම් දිරිගන්වන්න. පවුල් ඉතිහාසය සහ දේවමාළිගා කාර්යයන් මගින් විරුද්ධවාදියාගේ බලපෑම අඩු කළ හැකි බව උගන්වන්න. අන් අයට සේවය කිරීමට සහ ශුභාරංචිය බෙදා ගැනීමට දිරිගන්වන්න.

  • පාප නිසා හානියට පත්වූවන් වෙනුවෙන් එය නිවැරදි කිරීමට සහ සමාව ඉල්ලා සිටීමට දිරිගන්වන්න

  • නරක බලපෑම්වලින් ඈත් වීමට දිරිගන්වන්න. නිශ්චිත පරීක්ෂා වලට එරෙහි වීමට සාමාජිකයින්ට වැළක්වාගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට උදවු කරන්න.

  • ඔබ වෘත්තීය උපදේශකයෙකු නොව නමුත් සභාවේ නායකයෙකු බව හඳුනා ගන්න. ඔබ ලබාදෙන උපදේශනයට අමතරව, සමහර සාමාජිකයින් චර්යාත්මක උපදේශනයෙන් ප්‍රයෝජන ලබයි. සමහරෙක් මානසික රෝගවලින් පීඩා විඳිති. අවශ්‍ය පරිදි, සුදුසුකම් ලත් වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් උපකාර ලබාගැනීමට සාමාජිකයින්ට උපදෙස් දෙන්න (බලන්න 31.3.6).

  • අවිධිමත් සාමාජික සීමාවන් ලබා දීමට පෙර යාච්ඤාවෙන් යුතුව ආත්මයාණන්ගේ මගපෙන්වීම ලබාගන්න. සමහර සාමාජිකයින්ට සභා සාමාජිකත්වයේ වරප්‍රසාද සීමා කිරීමට වඩා ඒවා ක්‍රියාශීලීව ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රයෝජන ලැබිය හැකිය.

  • දිරිගැන්වීමක් දීමට, ආත්මික ශක්තිය ශක්තිමත් කිරීමට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පසු විපරම් කරන්න.

සාමාජිකයෙකු සභානායකවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයෙකුට පාපොච්චාරණය කළ පසු, පසු විපරම් උපදේශනය ආකාර කිහිපයකින් සිදු විය හැකිය. එම නායකයාට ඔහු විසින්ම එය ලබා දිය හැකිය. නැතහොත්, සාමාජිකයාගේ අවසරය ඇතිව, එය ලබා දීමට ඔහුට ඔහුගේ උපදේශකයෙකුට පැවරිය හැකිය.

එම සාමාජිකයාගේ කැමැත්ත ඇතිව, සභානායකවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයෙකුට වැඩිහිටි ගණපූරණයේ හෝ සහන සමිතියේ සාමාජිකයින්ට යම් නිශ්චිත ක්‍රමවලින් උපකාර කිරීමට පැවරිය හැකිය. යෞවනයන් සඳහා සහාය වීමට තරුණ කාන්තා සභාපතිත්වය හෝ ආරෝනික පූජකත්ව ගණපූරණ උපදේශකයින්ව පත් කළ හැකිය. උපකාර කිරීමට පවරා ඇති අයට එම පැවරුම ඉටු කිරීමට දේවානුභාවය හිමි වේ (බලන්න 4.2.6).

පසු විපරම් උපදේශනයට සහාය වීම යමෙකුට පැවරීමේදී, නායකයා විසින් ලබාදෙන්නේ සාමාජිකයාට උපකාර කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු පමණි. පවරා ඇති පුද්ගලයා රහස්‍යභාවය රැකිය යුතුය. ඔහු හෝ ඇය සාමාජිකයාගේ ප්‍රගතිය සහ අවශ්‍යතා පිළිබඳවද සභානායකවරයාට දන්වයි.

රූපය
කාන්තාවක් යාච්ඤා කරමින්

32.8.2

ඇබ්බැහි වීම් ඇති පුද්ගලයන්ට උපකාර කිරීම

පුද්ගලික උපදේශනයට සමහර අවස්ථා වල ඇබ්බැහිවීම්වලට සම්බන්ධ හෝ ඒ නිසා ඇති වූ පාප ගැන පසුතැවිලි වීමට සාමාජිකයින්ට උපකාර කිරීම ඇතුළත් වේ. මෙම ඇබ්බැහිවීම්වලට ද්‍රව්‍ය හෝ පුළුල් පරාසයක හැසිරීම් ඇතුළත් විය හැකිය. ඇබ්බැහිවීම් පුද්ගලයන්ට, විවාහයන්ට සහ පවුල්වලට හානි කරයි. සභාවේ ඇබ්බැහිවීම් ප්‍රතිසාධන වැඩසටහන්වලින් සහ සුදුසුකම් ලත් වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් උපකාර ලබාගන්නා ලෙස සභානායකවරුන්ට සාමාජිකයින්ට උපදෙස් දිය හැකිය.

කාමුක දර්ශන භාවිතය එන්න එන්නම සුලභ වෙමින් පවතී. එය දැඩි ලෙස භාවිතය බල කිරීමක් හෝ, ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී, ඇබ්බැහි වීමක් බවට පත්විය හැකිය. කාමුක දර්ශන භාවිතය බොහෝ සේ සිදුවූවත් ඉඳහිට සිදුවූවත් එය හානිකරය. එය ශුද්ධාත්මයාණන්වහන්සේව ඈත් කරයි. එමගින් ගිවිසුම් පවත්වා ගැනීමෙන් ලැබෙන බලය ලබාගැනීමේ හැකියාව දුර්වල කරයි. එය වටිනා සබඳතාවලටද හානි කරයි.

කාමුක දර්ශන භාවිතා කිරීම ගැන පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා පුද්ගලික උපදේශනය සහ අවිධිමත් සාමාජික සීමාවන් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ. සාමාජික මන්ත්‍රණ සභා සාමාන්‍යයෙන් පවත්වන්නේ නැත. ව්‍යතිරේකයන් සඳහා, 38.6.6 සහ 38.6.13 බලන්න. වෘත්තීය උපදේශනය ප්‍රයෝජනවත් විය හැකිය.

අවශ්‍ය පරිදි ස්ටේක සභාපතිවරු සහ සභානායකවරු පවුලේ සාමාජිකයන්ට සහාය වෙති. කාමුක දර්ශන භාවිතය පිළිබඳව යෞවනයන්ට උපදෙස් දෙන විට දෙමාපියන්වද ඇතුළත් කරගත හැකිය. විවාහක පුද්ගලයෙකුට උපදෙස් දීමේදී කලත්‍රයාවද ඇතුළත් කරගත හැකිය.

කාමුක දර්ශන සමඟ සම්බන්ධ වී සිටින සාමාජිකයින්ට උපදෙස් දීම පිළිබඳ වැඩි විස්තර සඳහා, 38.6.13 බලන්න.

32.8.3

අවිධිමත් සාමාජික සීමාවන්

උපදේශනය ලබාදීමේදී ධනාත්මක ක්‍රියා දිරිගැන්වීමට අමතරව, සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකුට සභාවේ සාමාජික වරප්‍රසාද යම් කාලයක් සඳහා අවිධිමත් ලෙස සීමා කළ හැකිය. නැණවත්ව පාලනය කිරීමෙන්, පසුතැවිලි වීමට සහ අධ්‍යාත්මික ප්‍රගතියට මෙම සීමා කිරීම් උපකාරී විය හැකිය. සාමාජික වාර්තාවක සටහන් නොකරන නිසා ඒවා අවිධිමත් ඒවා ලෙස සලකනු ලැබේ.

අවිධිමත් සීමාවන් සති කිහිපයක්, මාස කිහිපයක් හෝ පුද්ගලයාට සම්පූර්ණ ලෙස පසුතැවිලි වීමට එය අවශ්‍ය වේ නම් ඊට වැඩි කාලයක් වුවද පැවතිය හැකිය. අසාමාන්‍ය තත්වයන් තුළ, එම කාලය වසරකට වඩා වැඩි විය හැකිය.

පුද්ගලයෙකුට පසුතැවිලි වීමට අවශ්‍ය හොඳම සීමාවන් මොනවාද යන්න පිළිබඳව දැනගැනීමට නායකයින් ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයති. සභා කැඳවීමක සේවය කිරීමේ වරප්‍රසාදය, පූජකවරය ක්‍රියාත්මක කිරීම හෝ දේවමාළිගාවකට ඇතුළුවීම අත්හිටුවීම මේවාට ඇතුළත් විය හැකිය (නමුත් ඒවාට පමණක් සීමා නොවේ). සභාවේ සැකසුම් තුළ කථාවක්, පාඩමක් හෝ යාච්ඤාවක් දීමෙන් නායකයාට මෙම පුද්ගලයාව සීමා කළ හැකිය. නායකයා විසින් දේවමාළිගාවකට ඇතුළු වීමේ අයිතිය අත්හිටුවන්නේ නම්, ඔහු Leader and Clerk Resources (LCR) [නායක සහ ලිපිකරු සම්පත්] හි ඇති දේවමාළිගා නිර්දේශය අවලංගු කරයි.

සක්‍රමේන්තුවට සහභාගී වීම පසුතැවිලි වීමේ වැදගත් කොටසකි. එය බිඳුණු හදවතක් ඇති පසුතැවිලි වූ ආත්මයක් සහිත පුද්ගලයෙකුට දෙන පළමු සීමාව නොවිය යුතුය. කෙසේවෙතත්, පුද්ගලයෙකු බරපතළ පාප කර ඇත්නම්, නායකයෙකුට මෙම වරප්‍රසාදය කාලයකට අත්හිටුවිය හැකිය.

දැන ගැනීමට අවශ්‍ය නම් මිස නායකයින් සාමාන්‍යයෙන් අවිධිමත් සීමා කිරීම් ගැන වෙනත් කිසිවෙකුට නොකියයි (බලන්න 32.12.2).

එම පුද්ගලයා අව්‍යාජ පසුතැවිල්ලකින් නිශ්චිත ප්‍රගතියක් ලබාගන්නා විට, ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට එම අවිධිමත් සීමාවන් ඉවත් කළ හැකිය. සාමාජිකයා දිගටම එම පව්කාර රටාවේ සිටින්නේ නම්, සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීම ප්‍රයෝජනවත් හෝ අවශ්‍ය විය හැකිය.


සභා සාමාජික මන්ත්‍රණ සභා පරිපාලනය කිරීම


සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා පවත්වනු ලබන්නේ එය උපකාරයක් වනු ඇතැයි සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් තීරණය කරන විට හෝ සභාවේ ප්‍රතිපත්ති අනුව එය අවශ්‍ය වූ විටය (බලන්න 32.6). ඒවා කොට්ඨාශ, ස්ටේක, ශාඛා, දිස්ත්‍රික්කක හෝ ධර්මදූත මට්ටමෙන් පවත්වනු ලැබේ. මෙම කොටස ඒවා පරිපාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි.

32.9

සහභාගීත්වය සහ වගකීම

සාමාන්‍යයෙන් සාමාජික මන්ත්‍රණ සභා සඳහා සහභාගී වන්නේ කවුරුන්ද යන්න පහත වගුවේ දැක්වේ.

සාමාජික මන්ත්‍රණ සභා සඳහා සහභාගිවන්නන්

කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභාව

සාමාජික මන්ත්‍රණ සභා සඳහා සහභාගිවන්නන්

  • මන්ත්‍රණ සභාව පැවැත්වීමට හේතු වූ පුද්ගලයා

  • සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින්

  • කොට්ඨාශ ලිපිකරු

  • වැඩිහිටි ගණපූරණයේ හෝ සහන සමිතියේ සභාපති (විකල්පයකි; බලන්න 32.10.1)

ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාව

සාමාජික මන්ත්‍රණ සභා සඳහා සහභාගිවන්නන්

  • මන්ත්‍රණ සභාව පැවැත්වීමට හේතු වූ පුද්ගලයා

  • ස්ටේක සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයින්

  • ස්ටේක ලිපිකරු

  • උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින් (32.9.2 හි පැහැදිලි කර ඇති පරිදි සීමිත අවස්ථාවන්හිදී)

  • මන්ත්‍රණ සභාව පැවැත්වීමට හේතු වූ පුද්ගලයාගේ සභානායකවරයා (විකල්පයකි; බලන්න 32.9.3)

  • වැඩිහිටි ගණපූරණයේ හෝ සහන සමිතියේ සභාපති (විකල්පයකි; බලන්න 32.10.1)

32.9.1

ස්ටේක සභාපතිවරයා

ස්ටේක සභාපතිවරයා:

  • ස්ටේකයේ පවත්වන සාමාජික මන්ත්‍රණ සභා කෙරෙහි අධිකාරිත්වය ඇත; කෙසේවෙතත්, මෙම මන්ත්‍රණ සභා බොහොමයක් පවත්වනු ලබන්නේ සභානායකවරුන් විසිනි.

  • සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර සභානායකවරයාට අනුමැතිය ලබා දිය යුතුය.

  • දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා ඇති පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කර ගැනීමට ඉඩ තිබේ නම් ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි.

  • යම් සාමාජිකයෙකු කොට්ඨාශ මන්ත්‍රණ සභාවක තීරණයට අභියාචනා කළහොත් මන්ත්‍රණ සභාවක් පැවැත්විය හැකිය.

  • බලයෙන් සැරසී නොමැති අයෙකුගේ සාමාජිකත්වය ඉවත් කර ගැනීම සඳහා කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභාවක නිර්දේශය සඳහා අවසන් තීරණය ගැනීමට පෙර අනුමැතිය ලබා දිය යුතුය.

32.9.2

උසස් මන්ත්‍රණ සභාව

උසස් මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සාමාන්‍යයෙන් ස්ටේක සාමාජික මන්ත්‍රණ සභා වලට සහභාගි වන්නේ නැත. කෙසේවෙතත්, දුෂ්කර අවස්ථාවන්හිදී එම උසස් මන්ත්‍රණ සභාව ඒවාට සහභාගී විය හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 102:2). උදාහරණයක් ලෙස, පහත සඳහන් අවස්ථා වලදී ස්ටේක සභාපතිත්වය විසින් උසස් මන්ත්‍රණ සභාවට ආරාධනා කළ හැකිය:

  • විවාදාත්මක කරුණු තිබෙන විට.

  • ඔවුන් විසින් අගයක් සහ සමබරතාවක් එකතු කරනු ඇති විට.

  • සාමාජිකයා විසින් ඔවුන්ගේ සහභාගීත්වය ඉල්ලා සිටින විට.

  • ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ ඔහුගේ පවුල සම්බන්ධ වී ඇති විට (බලන්න 32.9.7).

32.9.3

සභානායකවරයා (හෝ ස්ටේකයක ශාඛා සභාපතිවරයා)

සභානායකවරයා:

  • කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභා සම්බන්ධයෙන් බලය ඇත.

  • මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර ස්ටේක සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඔහුගේ අනුමැතිය ලබා ගනියි.

  • දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා ඇති පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කරගැනීමට ඉඩ තිබේ නම් මන්ත්‍රණ සභාවක් නොපැවැත්විය හැකිය. එම තත්ත්වයන් තුළ ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුමය.

  • සාමාජිකත්වය සමාලෝචනය කෙරෙන කොට්ඨාශ සාමාජිකයෙකු සඳහා ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගි වීමට ආරාධනා කළ හැකිය. ඔහුගේ පැමිණීම ස්ටේක සභාපතිවරයා සහ එම පුද්ගලයා විසින් අනුමත කළ යුතුය.

ඔහු හෝ ඇය බලයෙන් සැරසී නොමැති නම් කොට්ඨාශ හෝ ශාඛා සාමාජික මන්ත්‍රණ සභාවකට පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම නිර්දේශ කළ හැකිය. කෙසේවෙතත්, එහි අවසන් තීරණය ගැනීමට පෙර ස්ටේක සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

සමහර අවස්ථා වල බලයෙන් සැරසුණු සාමාජිකයෙකු සඳහා කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වනු ලබන අතර, එම සාමාජිකයා ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්වය ඉවත් කරගැනීමට ඉඩ ඇති බව එම ක්‍රියාදාමයෙන් හෙළිවේ. මෙම තත්වයන් තුළ, සභානායකවරයා විසින් එම කාරණය ස්ටේක සභාපතිවරයා වෙත යොමු කරයි.

32.9.4

ධර්මදූත සභාපතිවරයා

ධර්මදූත සභාපතිවරයා:

  • ධර්මදූත ශාඛා සහ දිස්ත්‍රික්කවල සාමාජික මන්ත්‍රණ සභා කෙරෙහි බලය ඇත.

  • සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර දිස්ත්‍රික්ක හෝ ශාඛා සභාපතිවරයාට අනුමැතිය ලබා දිය යුතුය.

  • දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා ඇති පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කර ගැනීමට ඉඩ තිබේ නම් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි. කාලය හෝ දුර මෙය වළක්වන්නේ නම්, මන්ත්‍රණ සභාවේ මුලසුන දැරීමට ඔහුට ඔහුගේ උපදේශකයන්ගෙන් කෙනෙකුව පත් කළ හැකිය. ඒ සඳහා සහභාගී වීමට තවත් මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් දෙදෙනෙකුව ඔහු විසින් පත් කරයි.

  • හැකි අවස්ථා වල, බලයෙන් සැරසීම නොලැබූ අය සඳහා සාමාජික මන්ත්‍රණ සභා පවත්වයි. කාලය හෝ දුර මෙය වළක්වන්නේ නම්, ඔහුට එය පැවැත්වීමට මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් තිදෙනෙකුට අවසර දිය හැකිය. මෙම අවස්ථාවෙහිදී, එම සාමාජිකයාගේ දිස්ත්‍රික්ක සභාපතිවරයා හෝ ශාඛා සභාපතිවරයා විසින් සාමාන්‍යයෙන් එම මන්ත්‍රණ සභාව මෙහෙයවයි.

  • යම් සාමාජිකයෙකු දිස්ත්‍රික්ක හෝ ශාඛා මන්ත්‍රණ සභාවක තීරණයට අභියාචනා කළහොත් මන්ත්‍රණ සභාවක් පැවැත්විය හැකිය.

  • යම් ධර්මදූතවරයෙකු ධර්මදූතයේ සිටියදී බරපතළ පාපයක් සිදුකළහොත්, ධර්මදූත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධිකාරිවරයෙකුගේ අනුමැතිය ඇතිව, සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි (බලන්න 32.9.8). ඔහු එම කාරණය ප්‍රාදේශීය සභාපතිත්වයේ සාමාජිකයෙකු සමඟ සමාලෝචනය කරන අතර, එම ධර්මදූතවරයාගේ නිවෙස් ස්ටේකයේ ස්ටේක සභාපතිවරයාගෙන්ද උපදෙස් ලබාගනියි.

  • බලයෙන් සැරසී නොමැති අයෙකුගේ සාමාජිකත්වය ඉවත් කර ගැනීම සඳහා ශාඛා හෝ දිස්ත්‍රික්ක සාමාජික මන්ත්‍රණ සභාවක නිර්දේශය සඳහා අවසන් තීරණය ගැනීමට පෙර අනුමැතිය ලබා දිය යුතුය.

ධර්මදූතවරයෙකු විසින් ඔහු හෝ ඇය ධර්මදූතය සේවය කිරීමට පෙර කළ බරපතළ පාපයක් පාපොච්චාරණය කරන්නේ නම්, ධර්මදූත සභාපතිවරයා මගපෙන්වීම සඳහා ධර්මදූත දෙපාර්තමේන්තුවේ ඔහුගේ ක්ෂේත්‍ර නියෝජිතයා අමතයි.

ධර්මදූත සභාපතිවරයෙකු විසින් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වන විට, ඔහුට සහාය වීමට මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් දෙදෙනෙකුව ඔහු විසින් පත් කරයි. ඔහුට උපකාර කිරීමට තරුණ ධර්මදූතවරුන්ව පත් කළ යුත්තේ අසාමාන්‍ය අවස්ථාවන්වලදී පමණි. ඔහු විසින් ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවේ ක්‍රියා පටිපාටියම අනුගමනය කරයි (බලන්න 32.10). කෙසේවෙතත්, උසස් මන්ත්‍රණ සභාවක් හෝ දිස්ත්‍රික්ක මන්ත්‍රණ සභාවක් ඒ සඳහා සහභාගී නොවේ.

32.9.5

ධර්මදූතයක දිස්ත්‍රික්ක හෝ ශාඛා සභාපතිවරයා

ධර්මදූත සභාපතිවරයා විසින් අවසර දෙන විට, ධර්මදූතයක සිටින දිස්ත්‍රික්ක හෝ ශාඛා සභාපතිවරයෙකුට සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්විය හැකිය. දිස්ත්‍රික්ක මන්ත්‍රණ සභාව එයට සහභාගී නොවේ.

ඔහු හෝ ඇය බලයෙන් සැරසීම ලබා නොමැති නම් දිස්ත්‍රික්ක හෝ ශාඛා සාමාජික මන්ත්‍රණ සභාවකට පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම නිර්දේශ කළ හැකිය. කෙසේවෙතත්, එහි අවසන් තීරණය ගැනීමට පෙර ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

32.9.6

ස්ටේක හෝ කොට්ඨා​ශ ලිපිකරු

ස්ටේක හෝ කොට්ඨා​ශ ලිපිකරු:

  • සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා වාර්තාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය තාක් කල් පමණක් එම මන්ත්‍රණ සභාවේ ලිඛිත සටහන් තබා ගනියි.

  • මන්ත්‍රණ සභාව මෙහෙයවූ නායකයා විසින් ඉල්ලා සිටියහොත් එම වාර්තාව සකස් කරයි.

  • මන්ත්‍රණ සභාවේ සාකච්ඡාවට හෝ තීරණයට සහභාගී නොවේ.

32.9.7

අසාමා​න්‍ය තත්වයන්ට සහභාගී වීම

ස්ටේක සභාපතිත්වයේ උපදේශකයෙකුට සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගී වීමට නොහැකි නම්, ඔහු වෙනුවට සහභාගී වන ලෙස ස්ටේක සභාපතිවරයා විසින් උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකුගෙන් හෝ වෙනත් උත්තම පූජකයෙකුගෙන් ඉල්ලා සිටියි. ස්ටේක සභාපතිවරයාට සහභාගී වීමට නොහැකි නම්, පළමු සභාපතිත්වයට ඔහුගේ උපදේශකයෙකුට ඔහු වෙනුවට මුලසුන දැරීමට අවසර දිය හැකිය.

සභානායකත්වයේ උපදේශකයෙකුට සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගී වීමට නොහැකි නම්, ඔහුගේ ස්ථානය ගන්නා ලෙස සභානායකවරයාට කොට්ඨාශයේ සිටින උත්තම පූජකයෙකුගෙන් ඉල්ලා සිටිය හැකිය. සභානායකවරයාට සහභාගී වීමට නොහැකි නම්, ඔහු මෙම කාරණය ස්ටේක සභාපතිවරයා වෙත යොමු කරයි, ඔහු ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් කැඳවයි. සාමාජික මන්ත්‍රණ සභාවක් කැඳවීම සඳහා උපදේශකයෙකු පත්කිරීමට සභානායකවරයාට නොහැකිය.

සභානායකවරයාගේ පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් හෝ ඔහුගේ උපදේශකයෙකු සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, එය ස්ටේක මට්ටමින් පවත්වනු ලැබේ. එය පවත්වනු ලබන්නේ ස්ටේක සභාපතිවරයාගේ උපදේශකයෙකුගේ පවුලේ සාමාජිකයෙකු සඳහා නම්, ස්ටේක සභාපතිවරයා විසින් එම උපදේශකයාගේ ස්ථානය ගැනීමට වෙනත් උත්තම පූජකයෙකුට පවරයි. ස්ටේක සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයෙකු සඳහා මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, ඔහු පළමු සභාපතිත්ව කාර්යාලය සමඟ සාකච්ඡා කරයි.

යම් සාමාජිකයෙකු සභානායකවරයාගේ හෝ ඔහුගේ උපදේශකයින්ගේ සහභාගීත්වයට විරුද්ධ නම්, සාමාජික මන්ත්‍රණ සභාව ස්ටේක මට්ටමින් පවත්වනු ලැබේ. ස්ටේක සභාපතිවරයාගේ උපදේශකයෙකුගේ සහභාගී වීමට යම් සාමාජිකයෙකු විරුද්ධ නම්, ස්ටේක සභාපතිවරයා විසින් එම උපදේශකයාගේ ස්ථානය ගැනීමට වෙනත් උත්තම පූජකයෙකුට පවරයි. එම සාමාජිකයා ස්ටේක සභාපතිවරයාගේ සහභාගීත්වයට විරුද්ධ නම්, හෝ ඔහුට අපක්ෂපාතී විය නොහැකි බව ස්ටේක සභාපතිවරයාට හැඟේ නම්, ඔහු පළමු සභාපතිත්ව කාර්යාලය සමඟ සාකච්ඡා කරයි.

32.9.8

විශේෂ අවස්ථා වලදී මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ කුමන නායකයාද යන්න තීරණය කිරීම

සාමාජික මන්ත්‍රණ සභා සෑම විටම පාහේ පවත්වනු ලබන්නේ එම පුද්ගලයාගේ සාමාජික වාර්තාව ඇති භූගෝලීය සභා ඒකකයේය.

සමහර විට මාරු වන පුද්ගලයෙකුට සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. මෙම මාරු වීම සිදුවූයේ එකම ස්ටේකය තුළ නම්, ස්ටේක සභාපතිවරයා විසින් කොට්ඨාශ දෙකෙහිම සභානායකවරුන් සමඟ සාකච්ඡා කර එය සිදුවිය යුත්තේ කොතැනද යන්න තීරණය කරයි.

එම සාමාජිකයා ස්ටේකයෙන් පිටතට මාරු වන්නේ නම්, ස්ටේක දෙකෙහිම ස්ටේක සභාපතිවරුන් විසින් මන්ත්‍රණ සභාව පැවැත්විය යුත්තේ කොතැනද යන්න තීරණය කරයි. කලින් කොට්ඨාශයේ හෝ ස්ටේකයේ එය පැවැත්විය යුතු යැයි ඔවුන් තීරණය කළහොත්, එම මන්ත්‍රණ සභාව අවසන් වන තුරු එම කොට්ඨාශයේ සාමාජික වාර්තාව රඳවා තබා ගනී. එසේ නොමැති නම්, එම වාර්තාව නව කොට්ඨාශයට මාරු කරනු ලැබේ. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වන්නේ මන්දැයි කියා එම සාමාජිකයාගේ වත්මන් සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට පුද්ගලික සහ රහසිගත ලෙස දන්වයි.

තාවකාලිකව නිවසින් බැහැරව සිටින සාමාජිකයෙකු සඳහා ඇතැම් විට සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. නිදසුනක් වශයෙන්, ශිෂ්‍යයෙකුට හෝ හමුදාවේ සේවය කරන සාමාජිකයෙකුට මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. එම සාමාජිකයා තාවකාලිකව ජීවත් වන ස්ථානයේ සභානායකවරයාට උපදෙස් සහ සහාය ලබා දිය හැකිය. කෙසේවෙතත්, සාමාජික වාර්තාව තම ඒකකයේ තිබේ නම් සහ නිවාස කොට්ඨාශයේ සභානායකවරයාගෙන් ඔහු උපදෙස් ලබාගෙන ඇත්නම් මිස, ඔහු සාමාජික මන්ත්‍රණ සභාවක් නොපැවැත්විය යුතුය.

සමහර අවස්ථා වල ධර්මදූතවරයෙකු විසින් ඔහු හෝ ඇය එයින් නිදහස් වන තුරු හෙළි නොවූ බරපතළ පාපයක් ධර්මදූත ක්ෂේත්‍රය තුළ සිදුකර තිබිය හැකිය. සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා ඔවුන්ගෙන් කවරෙක් සාමාජික මන්ත්‍රණ සභාව පැවැත්විය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කරයි. එය පැවැත්වීමට පෙර හිටපු ධර්මදූත සභාපතිවරයා සමඟ ඔවුන්ගෙන් එක් අයෙක් සාකච්ඡා කරයි.

32.10

සාමාජික මන්ත්‍රණ සභා සඳහා ක්‍රියාපටිපාටි

32.10.1

දැනුම්දීම සහ මන්ත්‍රණ සභාව සඳහා සූදානම් වීම

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සාමාජිකයෙකුට ඔහු හෝ ඇය වෙනුවෙන් පවත්වනු ලබන සාමාජික මන්ත්‍රණ සභාවක් පිළිබඳ ලිඛිතව දැනුම් දෙයි. ඔහු ලිපියට අත්සන් කරයි. එයට පහත තොරතුරු ඇතුළත් වේ:

“[සභානායකත්වය හෝ ස්ටේක සභාපතිත්වය] ඔබ වෙනුවෙන් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වනු ලබයි. එම මන්ත්‍රණ සභාව [දිනය සහ වේලාව] ට [ස්ථානය] හි පවත්වනු ලැබේ.

“මෙම මන්ත්‍රණ සභාව විසින් [සාමාන්‍ය ලෙස වැරදි ක්‍රියාව සාරාංශ කරන්න, නමුත් විස්තර හෝ සාක්ෂි ලබා නොදෙන්න] පිළිබඳව සලකා බලනු ඇත.

“ඔබේ ප්‍රතිචාරය ලබා දීම සඳහා මෙම මන්ත්‍රණ සභාවට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කෙරේ. අදාළ තොරතුරු සැපයිය හැකි පුද්ගලයන්ගෙන් ඔබට ලිඛිත ප්‍රකාශ සැපයිය හැකිය. ස්ටේක සභාපතිවරයා හෝ සභානායකවරයා විසින් කල්තියා අනුමත කළහොත් ඔබ වෙනුවෙන් මෙම මන්ත්‍රණ සභාවට කතා කිරීමට ඔබට එවැනි පුද්ගලයින්ට ආරාධනා කළ හැකිය. ඔබට [කොට්ඨාශ සහන සමිති සභාපතිනියට හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිට] පැමිණ සහය ලබා දෙන ලෙසට ආරාධනා කළ හැකිය.

“පැමිණෙන ඕනෑම අයෙකු එහි ක්‍රියාපටිපාටි සහ රහස්‍යභාවය ඇතුළුව මන්ත්‍රණ සභාවේ ගෞරවනීය ස්වභාවයට අනුකූල වීමට කැමැත්තෙන් සිටිය යුතුය. ඉහත සඳහන් කළ අයගෙන් ඔබ්බට ගිය නීති උපදේශකයන් සහ ආධාරකරුවන් පැමිණ නොසිටිය යුතුය.”

අවසාන ඡේදයට ආදරය, බලාපොරොත්තුව සහ සැලකිල්ල ප්‍රකාශ කිරීමක් ඇතුළත් කළ හැකිය.

මන්ත්‍රණ සභාවට කතා කිරීම සඳහා එම පුද්ගලයාට ආරාධනා කළ හැක්කේ කවුරුන් හටද යන්න පිළිබඳ මාර්ගෝපදේශ 32.10.3, අංක 4 හි සපයා ඇත.

මෙම ලිපිය පෞද්ගලිකව භාර දිය නොහැකි නම්, එය ආපසු රිසිට් පතක් ලැබෙන පරිදි ලියාපදිංචි හෝ සහතික කළ තැපෑලෙන් යැවිය හැකිය.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම පුද්ගලයාට පහසු වේලාවක මෙම සාමාජික මන්ත්‍රණ සභාව සැලසුම් කරයි. මෙම වැරදි ක්‍රියාවට ගොදුරු වූවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ඇති බවද ඔහු සහතික කරයි (බලන්න 32.10.2).

එහි අරමුණ සහ ක්‍රියාපටිපාටි පැහැදිලි කිරීම මගින් සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් මෙම මන්ත්‍රණ සභාවට සාමාජිකයාව සූදානම් කරයි. මන්ත්‍රණ සභාව එළඹිය හැකි තීරණ සහ ඒවායේ ප්‍රතිඵලද ඔහු පැහැදිලි කරයි. යම් සාමාජිකයෙකු පාපොච්චාරණය කර ඇත්නම්, එම පාපොච්චාරණය සාමාජික මන්ත්‍රණ සභාවේදී භාවිතා කළ යුතු බව නායකයා විසින් පැහැදිලි කරයි.

32.10.2

වින්දිතයින්ගෙන් ප්‍රකාශ ලබාගැනීම

සභාවේ සාමාජිකයෙකු වින්දිතයෙක් වූ විට (අනාචාරය, ළමා අපයෝජනය, කලත්‍ර අපයෝජනය හෝ වංචාව වැනි දෙයකට), සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම පුද්ගලයාගේ වත්මන් සභානායකවරයාව හෝ ස්ටේක සභාපතිවරයාව සම්බන්ධ කර ගනියි. වින්දිතයාට එම වැරදි හැසිරීම සහ එහි බලපෑම් පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් සැපයීමට අවස්ථාවක් ලබා දීම ප්‍රයෝජනවත් වේද යන්න මෙම නායකයින් තීරණය කරයි. මෙම ප්‍රකාශයන් සාමාජික මන්ත්‍රණ සභාවකදී කියවිය හැකිය (බලන්න 32.10.3, අංක 3). සභාවේ සාමාජිකයන් නොවන වින්දිතයන් සමඟ සම්බන්ධතා ආරම්භ කිරීමට සභා නායකයින්ට බලයක් නැත.

මෙම කාර්යය සඳහා වින්දිතයෙකු සමඟ ඕනෑම සන්නිවේදනයක් සිදු කරනු ලැබෙන්නේ ඔහුගේ හෝ ඇයගේ වත්මන් සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසිනි. යම් වින්දිතයෙකු ප්‍රකාශයක් ලබාදෙන්නේ නම්, මෙම නායකයා එය ලබා දෙන්නේ එම සාමාජික මන්ත්‍රණ සභාව පවත්වන සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාටය. තවදුරටත් කම්පනයක් ඇති නොකිරීම සඳහා නායකයින් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුමය. වෙනත් අනතුරු ඇඟවීම් සඳහා 32.4.3 බලන්න.

වයස අවුරුදු 18ට අඩු වින්දිතයෙක් පිළිබඳ ඕනෑම විමසීමක් එම දරුවාගේ දෙමාපියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් හරහා සිදු කරනු ලැබේ, එසේ කිරීමෙන් වින්දිතයා අවදානමට ලක් නොවන්නේ නම් පමණක් එසේ කරනු ලැබේ.

අපයෝජන සඳහා මගපෙන්වීම් ලබාගන්නා සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් පිළිබඳ තොරතුරු සඳහා, 32.4.5 සහ 38.6.2.1 බලන්න.

32.10.3

මන්ත්‍රණ සභාව පැවැත්වීම

මන්ත්‍රණ සභාව ආරම්භ වීමට පෙර වහාම, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් මෙම මන්ත්‍රණ සභාව කා වෙනුවෙන්ද යන්න සහ වාර්තා වී ඇති වැරදි ක්‍රියාව කුමක්ද යන්න සහභාගිවන්නන්ට පවසයි. අවශ්‍ය නම් ඔහු මෙම මන්ත්‍රණ සභාවේ ක්‍රියා පටිපාටිය පැහැදිලි කරයි.

එම අදාළ පුද්ගලයා පැමිණ සිටින්නේ නම්, පසුව කාමරයට පිළිගනු ලැබේ. ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගි වන ලෙස සභානායකවරයාට ආරාධනා කර ඇත්නම්, ඔහුටද මේ අවස්ථාවේදී කාමරයට ආරාධනා කරනු ලැබේ. එම අදාළ පුද්ගලයා විසින් කොට්ඨාශ සහන සමිති සභාපතිනියට හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාට පැමිණ සහාය ලබා දෙන ලෙස ආරාධනා කර ඇත්නම්, ඇයව හෝ ඔහුවද කාමරයට පිළිගනු ලැබේ.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් පහත දක්වා ඇති පරිදි ප්‍රේමයේ ආත්මයකින් යුතුව මන්ත්‍රණ සභාව මෙහෙයවයි.

  1. ආරම්භක යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට ඔහු කෙනෙකුට ආරාධනා කරයි.

  2. වාර්තා වී ඇති වැරදි ක්‍රියාව ඔහු ප්‍රකාශ කරයි. අදාළ පුද්ගලයාට (පැමිණ සිටීනම්), මෙම ප්‍රකාශය තහවුරු කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දෙයි.

  3. එම සාමාජිකයා විසින් එම වැරදි ක්‍රියාව තහවුරු කරන්නේ නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් පහත අංක 5 වෙත යයි. එම සාමාජිකයා එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. විශ්වාසනීය ලියකියවිලි ඉදිරිපත් කිරීම සහ වින්දිතයන්ගේ ලිඛිත ප්‍රකාශයන් ශබ්ද නගා කියවීම මෙයට ඇතුළත් විය හැකිය (බලන්න 32.10.2). ඔහු එවැනි ප්‍රකාශයක් කියවන්නේ නම්, ඔහු වින්දිතයාගේ අනන්‍යතාව ආරක්ෂා කරයි.

  4. අදාළ සාමාජිකයා විසින් එම වැරදි ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔහුට හෝ ඇයට මන්ත්‍රණ සභාවට තොරතුරු ඉදිරිපත් කළ හැකිය. මෙය ලිඛිත විය හැකිය. නැතහොත් අදාළ සාමාජිකයාට, සභාවට එක එක්කෙනා බැගින් කතා කරන ලෙස අදාළ තොරතුරු සැපයිය හැකි පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සාමාජිකයෙකු නොවන අයෙකුට සහභාගි විය හැකි බව කලින් තීරණය කර ඇත්නම් මිස එවැනි පුද්ගලයන් සභාවේ සාමාජිකයන් විය යුතුය. ඔවුන් කතා කරන අවස්ථාව පැමිණෙන තුරු ඔවුන් වෙනම කාමරයක රැඳී සිටිති. සෑම පුද්ගලයෙකුම ඔහු හෝ ඇය කතා කර අවසන් වූ පසු මන්ත්‍රණ සභා කාමරයෙන් පිටව යයි. ඔවුන් එහි ක්‍රියාපටිපාටි සහ රහස්‍යභාවය ඇතුළුව මන්ත්‍රණ සභාවේ ගෞරවනීය ස්වභාවයට අනුකූල වීමට කැමැත්තෙන් සිටිය යුතුය. සාමාජිකයින්ට නීති උපදේශකයින්ව සහභාගී කරගත නොහැකිය. මෙම කොටසේ දෙවන ඡේදයේ සඳහන් කර ඇති අයගෙන් ඔබ්බට ඔවුන්ට ආධාරකරුවන් සිටිය නොහැකිය.

  5. සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට ආචාරශීලී හා ගෞරවනීය ආකාරයකින් සාමාජිකයාගෙන් ප්‍රශ්න ඇසීමට හැකිය. සාමාජිකයා විසින් තොරතුරු සැපයීමට ඉල්ලා ඇති වෙනත් පුද්ගලයින්ගෙන්ද ඔහුට ප්‍රශ්න ඇසීමට හැකිය. සභානායකත්වයේ හෝ ස්ටේක සභාපතිත්වයේ උපදේශකයින්ටද ප්‍රශ්න ඇසීමට හැකිය. ඕනෑම ප්‍රශ්නයක් කෙටි විය යුතු අතර අත්‍යවශ්‍ය කරුණු වලට සීමා විය යුතුය.

  6. අදාළ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා අදාළ සාමාජිකයාට කාමරයෙන් පිටව යාමට අවසර දෙයි. උසස් මන්ත්‍රණ සභාව ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගී වී නොමැතිනම්, ලිපිකරුටද පිටව යාමට අවසර ලැබේ. ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් සඳහා සාමාජිකයාගේ සභානායකවරයා පැමිණ සිටින්නේ නම්, ඔහුටද පිටව යාමට අවසර ලැබේ. සහාය ලබා දීම සඳහා සහන සමිති සභාපතිනිය හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා පැමිණ සිටින්නේ නම්, ඇයට හෝ ඔහුටද පිටව යාමට අවසර ලැබේ.

  7. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඔහුගේ උපදේශකයින්ගෙන් අදහස් හෝ ඔවුන්ගේ තේරුම්ගැනීම පිළිබඳව විමසයි. උසස් මන්ත්‍රණ සභාව ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගී වී ඇත්නම්, ඔහු ඔවුන්ගේ අදහස් සහ තේරුම්ගැනීම ගැනද විමසයි.

  8. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා, ඔහුගේ උපදේශකයන් සමඟ යාච්ඤාවෙන් යුතුව මේ කාරණය සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත සොයයි. මෙම කාලය තුළ කාමරයේ සිටිය යුත්තේ ස්ටේක සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයින් හෝ සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින් පමණි. ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට උසස් මන්ත්‍රණ සභාව ඇතුළත් වන්නේ නම්, ස්ටේක සභාපතිත්වය සාමාන්‍යයෙන් ස්ටේක සභාපතිවරයාගේ කාර්යාලයට යයි.

  9. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඔහුගේ තීරණය ඔහුගේ උපදේශකයින්ට පවසන අතර එය ස්ථිර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවකට උසස් මන්ත්‍රණ සභාව ඇතුළත් වන්නේ නම්, ස්ටේක සභාපතිත්වය නැවත කාමරයට පැමිණ එය ස්ථිර කරන ලෙස උසස් මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා සිටියි. උපදේශකයෙකු හෝ උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු වෙනත් මතයක් දරන්නේ නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා එයට සවන් දී වෙනස්කම් විසඳීමට උත්සාහ කරයි. තීරණයේ වගකීම මුලසුන දරන නිලධාරියා වෙත පැවරේ.

  10. ඔහු අදාළ පුද්ගලයාට කාමරයට නැවත ආරාධනා කරයි. ලිපිකරු කාමරයෙන් පිටව ගොස් ඇත්නම්, ඔහුටද කාමරයට ආරාධනා කරනු ලැබේ. ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් සඳහා අදාළ සාමාජිකයාගේ සභානායකවරයා පැමිණ සිටින්නේ නම්, ඔහුටද කාමරයට ආරාධනා කරනු ලැබේ. සහාය ලබා දීම සඳහා සහන සමිති සභාපතිනිය හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා පැමිණ සිටින්නේ නම්, ඇයට හෝ ඔහුටද කාමරයට ආරාධනා කරනු ලැබේ.

  11. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා මන්ත්‍රණ සභාවේ තීරණය ප්‍රේමයේ ආත්මයකින් යුතුව බෙදා ගනී. තීරණය වන්නේ පුද්ගලයාගේ සභා සාමාජික වරප්‍රසාද විධිමත් ලෙස සීමා කිරීම හෝ සාමාජිකත්වය ඉවත් කිරීම නම්, ඔහු එම කොන්දේසි පැහැදිලි කරයි (බලන්න 32.11.3 සහ 32.11.4). සීමාවන් ජයගන්නේ කෙසේද කියා ඔහු පැහැදිලි කරන අතර වෙනත් මගපෙන්වීම් සහ උපදෙස් ලබාදෙයි. තීරණයක් ගැනීමට පෙර වැඩි මගපෙන්වීමක් හෝ තොරතුරු ලබාගැනීම සඳහා සභානායකවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයෙකුට මන්ත්‍රණ සභාවක් කාලයකට කල් දැමිය හැකිය. එම අවස්ථාවේදී, ඔහු මෙසේ පැහැදිලි කරයි.

  12. අභියාචනා කිරීමට පුද්ගලයාට ඇති අයිතිය ඔහු පැහැදිලි කරයි (බලන්න 32.13).

  13. අවසාන යාච්ඤාව ඉදිරිපත් කිරීමට ඔහු කෙනෙකුට ආරාධනා කරයි.

අදාළ පුද්ගලයා පැමිණ සිටියත් නැතත්, 32.12.1 හි පැහැදිලි කර ඇති පරිදි සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඔහුට හෝ ඇයට එම තීරණය දැනුම් දෙයි.

ශ්‍රව්‍ය, දෘශ්‍ය හෝ ලිඛිත පටිගත කිරීමක් කිරීමට සාමාජික මන්ත්‍රණ සභාවකට සහභාගිවන්නෙකුට අවසර නැත. සභාවේ සාමාජික මන්ත්‍රණ සභා වාර්තාව සැකසීමේ අරමුණ සඳහා ලිපිකරුවෙකුට සටහන් තබාගත හැකිය. කෙසේවෙතත්, එවැනි සටහන් වචනයෙන් වචනය වාර්තාවක් හෝ පිටපතක් නොවිය යුතුය. වාර්තාව සකස් කිරීමෙන් පසු, ඔහු අනෙකුත් සටහන් වහාම විනාශ කරයි.

32.11

සාමාජික මන්ත්‍රණ සභාවලින් ලැබෙන තීරණ

සාමාජික මන්ත්‍රණ සභාවල තීරණ ආත්මයාණන් විසින් මෙහෙයවිය යුතුය. පසුතැවිලි වන අයට ගැලවුම්කරුවාණන් විසින් පිරිනමනු ලබන ආදරය හා බලාපොරොත්තුව ඒවා මගින් පිළිබිඹු කළ යුතුය. ලබාගත හැකි තීරණ පහත විස්තර කෙරේ. මෙම තීරණ ගැනීමේදී නායකයින් 32.7 හි දක්වා ඇති තත්වයන් සලකා බලයි.

ඕනෑම සාමාජික මන්ත්‍රණ සභාවකට පසුව, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා LCR හරහා සභාවේ සාමාජිකත්ව මන්ත්‍රණ සභාවේ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරයි (බලන්න 32.14.1).

සාමාජික මන්ත්‍රණ සභා මගින් ගත හැකි තීරණ පහත කොටස්වල දක්වා ඇත.

32.11.1

හොඳ තත්ත්වයක සිටීම

සමහර අවස්ථාවලදී, පුද්ගලයෙකු නිර්දෝෂී විය හැකි අතර හොඳ තත්වයක සිටිය හැකිය. සමහර අවස්ථාවලදී, පුද්ගලයෙකු පාපය සිදු කර, අවංකව පසුතැවිලි වී, හොඳ තත්වයක සිටිය හැකිය. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් අනාගත ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් සහ අවවාද ලබා දිය හැකිය. මන්ත්‍රණ සභාවෙන් පසුව, ඔහු දිගින් දිගටම අවශ්‍ය පරිදි සහයෝගය ලබා දෙයි.

රූපය
යුවළක් එකට වාඩි වී සිටිමින්

32.11.2

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සමඟ පුද්ගලික උපදේශනය

සමහර සාමාජික මන්ත්‍රණ සභා වලදී, සාමාජිකයා හොඳ තත්වයක නොසිටින බව නායකයින් විසින් තීරණය කළ හැකිය—නමුත් විධිමත් සාමාජික සීමාවන් සහතික කළ නොහැකි විය හැකිය. මෙම අවස්ථා වලදී, අදාළ පුද්ගලයා සභානායකවරයාගෙන් හෝ ස්ටේක සභාපතිවරයාගෙන් පුද්ගලික උපදේශනය සහ නිවැරදි කිරීම් ලබා ගත යුතු බව මන්ත්‍රණ සභාවට තීරණය කළ හැකිය. මෙම උපදේශනයට 32.8.3 හි දක්වා ඇති පරිදි අවිධිමත් සාමාජික සීමා කිරීම් ඇතුළත් විය හැකිය.

32.6.1 හි ලැයිස්තුගත කර ඇති පාප සඳහා මන්ත්‍රණ සභාවක් පවත්වන විට පුද්ගලික උපදේශනය සහ අවිධිමත් සාමාජික සීමා කිරීම් විකල්පයක් නොවේ.

32.11.3

විධිමත් සාමාජික සීමාවන්

සමහර සාමාජික මන්ත්‍රණ සභා වලදී, පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්ව වරප්‍රසාද ටික කාලයක් සඳහා විධිමත් ලෙස සීමා කිරීම වඩාත් සුදුසු බව නායකයින් තීරණය කළ හැකිය. සාමාජිකත්වය ඉවත් කළ යුතු වන බරපතළම පව් හෝ තත්වයන් හැර අන් සියල්ලටම විධිමත් සීමා කිරීම් ප්‍රමාණවත් විය හැකිය (බලන්න 32.11.4).

විධිමත් සාමාජික සීමාවන් ඇති අය තවමත් සභාවේ සාමාජිකයන් වේ. කෙසේවෙතත්, ඔවුන්ගේ සාමාජික වරප්‍රසාද සභාවේදී පහත පරිදි සීමා කර ඇත:

  • ඔවුන්ට දේවමාළිගාවට ඇතුළු වීමට නොහැකි විය හැකිය. කෙසේවෙතත්, ඔවුන් බලයෙන් සැරසී ඇත්නම් ඔවුන්ට දේවමාළිගා වස්ත්‍ර ඇඳීම දිගටම කළ හැකිය. එම සාමාජිකයාට දේවමාළිගා නිර්දේශයක් තිබේ නම්, නායකයා එය LCR හි අවලංගු කරයි.

  • ඔවුන්ට පූජකවරය ක්‍රියාත්මක කළ නොහැකිය.

  • ඔවුන්ට සක්‍රමේන්තුවට සහභාගී විය නොහැකි අතර සභාවේ නිලධාරීන්ව ස්ථිර කිරීම් වලටද සහභාගී විය නොහැකිය.

  • ඔවුන්ට සභා සැකසුම් තුළ කතාවක්, පාඩමක් හෝ යාච්ඤාවක් දීමට නොහැකිය. සභා කැඳවීමක ඔවුන්ට සේවය කළ නොහැකිය.

ඔවුන්ගේ හැසිරීම පිළිවෙලට තිබේ නම් සභාවේ රැස්වීම් සහ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඔවුන්ව දිරිමත් කරනු ලැබේ. දසයෙන් කොටස හා පිදුම් ගෙවීමටද ඔවුන්ව දිරිමත් කරනු ලැබේ.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් අසභ්‍ය දේවල්වලින් සහ වෙනත් දුෂ්ට බලපෑම්වලින් ඈත්ව සිටීම වැනි වෙනත් කොන්දේසිද එකතු කළ හැකිය. ඔහු සාමාන්‍යයෙන් ධනාත්මක කොන්දේසි එකතු කරයි. මේවාට නිතිපතා සභාවට පැමිණීම, නිතිපතා යාච්ඤා කිරීම සහ ශුද්ධලියවිලි සහ අනෙකුත් සභා පොත් කියවීම ඇතුළත් විය හැකිය.

පුද්ගලයෙකුගේ සභා සාමාජික වරප්‍රසාද විධිමත් ලෙස සීමා කර ඇත්නම්, එය සාමාජික වාර්තාවේ සටහන් වේ.

විධිමත් සීමා කිරීමේ කාලය සාමාන්‍යයෙන් අවම වශයෙන් වසරක් වන අතර ඊට වඩා දිගු වීමටද ඉඩ ඇත. එම සාමාජිකයා සැබෑ පසුතැවිල්ලේ නිශ්චිත ප්‍රගතියක් ලබා ඇති විට, සීමා ඉවත් කිරීම සලකා බැලීමට සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් තවත් මන්ත්‍රණ සභාවක් පවත්වයි (බලන්න 32.16.1). අදාළ සාමාජිකයා පාපයේ රටාවේ දිගටම නිරත වුවහොත්, නායකයාට වෙනත් ක්‍රියාමාර්ග සලකා බැලීමට තවත් මන්ත්‍රණ සභාවක් පැවැත්විය හැකිය.

32.11.4

සාමාජිකත්වය ඉවත්කිරීම

සමහර සාමාජික මන්ත්‍රණ සභා වලදී, නායකයින් විසින් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය යම් කාලයකට ඉවත්කිරීම වඩාත් සුදුසු බව තීරණය කළ හැකිය (බලන්න මොසායා 26:36; ඇල්මා 6:3; මොරෝනි 6:7; දහම සහ ගිවිසුම් 20:83).

පුද්ගල ඝාතනය (32.6.1.1 හි අර්ථ දක්වා ඇති පරිදි) සහ බහු විවාහය (32.6.1.2 හි පැහැදිලි කර ඇති පරිදි) යන ඒවා සඳහා පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම අවශ්‍ය වේ. 32.6.1.2 සහ 38.6.10 හි පැහැදිලි කර ඇති පරිදි එය සෑම විටම පාහේ අනියම් සබඳතා සඳහා අවශ්‍ය වේ.

ආත්මයාණන් විසින් මෙහෙයවන ලද පරිදි, පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත්කිරීම පහත පරිදිද අවශ්‍ය විය හැකිය:

  • ඔවුන්ගේ හැසිරීම අන් අයට බරපතළ තර්ජනයක් වන අය සඳහා.

  • විශේෂයෙන් දරුණු පව් කළ අය සඳහා.

  • බරපතළ පාප ගැන පසුතැවිලි නොවන අය සඳහා (32.7 හි සලකා බැලීම් බලන්න).

  • සභාවට හානි කරන බරපතළ පව් කරන අය සඳහා.

කොට්ඨාශ, ශාඛා හෝ දිස්ත්‍රික්ක සාමාජික මන්ත්‍රණ සභාවක් විසින් දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා නොගත් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම නිර්දේශ කළ හැකිය. කෙසේවෙතත්, අවසාන තීරණයක් ගැනීමට පෙර ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

සභා සාමාජිකත්වය ඉවත් කර ඇති අයට එම සාමාජිකත්වයේ කිසිඳු වරප්‍රසාදයක් භුක්ති විඳිය නොහැක.

  • ඔවුන්ට දේවමාළිගාවකට ඇතුළු වීමට හෝ දේවමාළිගාවේ වස්ත්‍ර පැළඳීමට නොහැකිය. එම පුද්ගලයාට දේවමාළිගා නිර්දේශයක් තිබේ නම්, නායකයා එය LCR හි අවලංගු කරයි.

  • ඔවුන්ට පූජකවරය ක්‍රියාත්මක කළ නොහැකිය.

  • ඔවුන්ට සක්‍රමේන්තුවට සහභාගී විය නොහැකිය සහ සභාවේ නිලධාරීන්ව ස්ථිර කිරීම් වලටද සහභාගී විය නොහැකිය.

  • ඔවුන්ට සභා සැකසුම් තුළ කතාවක්, පාඩමක් හෝ යාච්ඤාවක් ලබාදීම හෝ සභාවේ ක්‍රියාකාරකමක් මෙහෙයවීම කළ නොහැකිය. සභා කැඳවීමක ඔවුන්ට සේවය කළ නොහැකිය.

  • ඔවුන්ට දසයෙන් කොටස සහ පිදුම් ගෙවිය නොහැකිය.

ඔවුන්ගේ හැසිරීම පිළිවෙලට තිබේ නම් සභාවේ රැස්වීම් සහ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඔවුන්ව දිරිමත් කරනු ලැබේ.

සභා සාමාජිකත්වය ඉවත් කර ඇති අයව බව්තීස්මය සහ තහවුරු කිරීම මගින් නැවත ඇතුළත් කරගැනීම සඳහා සලකා බැලිය හැකිය. සාමාන්‍යයෙන්, ඔවුන් මුලින්ම අවම වශයෙන් වසරක්වත් අවංක පසුතැවිල්ලක් පෙන්විය යුතුය. නැවත භාර ගැනීම සලකා බැලීම සඳහා තවත් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි (බලන්න 32.16.1).

සාමාජික මන්ත්‍රණ සභා තීරණ සහ ප්‍රතිඵල

තීරණ

ප්‍රතිඵල

තීරණ

හොඳ තත්ත්වයක සිටීම (බලන්න 32.11.1)

ප්‍රතිඵල

  • කිසිවක් නැත

තීරණ

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සමඟ පුද්ගලික උපදේශනය (බලන්න 32.11.2)

ප්‍රතිඵල

  • සමහර සාමාජික වරප්‍රසාද අවිධිමත් ලෙස සීමා කර තිබිය හැකිය.

  • සීමා කිරීම් සාමාන්‍යයෙන් වසරකට අඩු කාලයක් සඳහා සිදුවේ; අසාමාන්‍ය තත්වයන් තුළ, ඒවා දිගු විය හැකිය.

  • අව්‍යාජ පසුතැවිල්ලෙන් පසු අවිධිමත් සීමා ඉවත් කරනු ලැබේ.

  • එම ක්‍රියා සාමාජික වාර්තාවේ සටහන් නොවේ.

තීරණ

විධිමත් සාමාජික සීමාවන් (බලන්න 32.11.3)

ප්‍රතිඵල

  • සාමාජික වරප්‍රසාද විධිමත් ලෙස සීමා කර ඇත.

  • සීමා කිරීම් සාමාන්‍යයෙන් අවම වශයෙන් වසරක් වන අතර ඊට වඩා දිගු වීමටද ඉඩ ඇත.

  • එම ක්‍රියා සාමාජික වාර්තාවේ සටහන් වේ.

  • අව්‍යාජ පසුතැවිල්ලකින් පසුව, සාමාජික මන්ත්‍රණ සභාවක් මගින් සහ, අවශ්‍ය නම්, පළමු සභාපතිත්වයේ අනුමැතියෙන් පසුව විධිමත් සීමා ඉවත් කරනු ලැබේ.

  • සාමාජික මන්ත්‍රණ සභාවකින් පසු සීමාවන් ඉවත් කළහොත් සාමාජික වාර්තා දර්ශකය ඉවත් කරනු ලැබේ (අවශ්‍ය විවරණ හැර; බලන්න 32.14.5).

තීරණ

සාමාජිකත්වය ඉවත් කිරීම (බලන්න 32.11.4)

ප්‍රතිඵල

  • සියලුම නියෝග අවලංගු වේ.

  • සාමාන්‍යයෙන් අවම වශයෙන් වසරක් සඳහා, සියලුම සාමාජික වරප්‍රසාද ඉවත් කරනු ලැබේ.

  • යම් පුද්ගලයෙකු බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් නැවත ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ, සැබෑ පසුතැවිල්ලකින් පසුව, සාමාජික මන්ත්‍රණ සභාවකින් සහ, අවශ්‍ය නම්, පළමු සභාපතිත්වයේ අනුමැතියෙන් පසුව පමණි (බලන්න 32.16).

  • මීට පෙර බලයෙන් සැරසී ඇති පුද්ගලයෙකු එම ආශිර්වාද නැවත ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ පළමු සභාපතිත්වයේ අනුමැතිය ඇතිව සහ නැවත බඳවා ගැනීමෙන් අවම වශයෙන් සම්පූර්ණ වසරකට පසුව පමණය (බලන්න 32.17.2).

  • මීට පෙර බලයෙන් සැරසී ඇති පුද්ගලයෙකු සඳහා, “අවශ්‍ය ආශිර්වාද නැවත පිහිටුවීම” දර්ශකය සාමාජික වාර්තාවෙන් ඉවත් කරනු ලබන්නේ එම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසුව පමණි (අවශ්‍ය විවරණ ඉතිරිව පවතී; බලන්න 32.14.5).

32.11.5

දුෂ්කර කරුණු තීරණය කිරීම පිළිබඳ ප්‍රශ්න

සභානායකවරුන් විසින් සාමාජික මන්ත්‍රණ සභා සඳහා අත්පොතෙහි ඇති මාර්ගෝපදේශ පිළිබඳ ප්‍රශ්න ස්ටේක සභාපතිවරයා වෙත යොමු කරයි.

දුෂ්කර කාරණා සම්බන්ධයෙන්, ස්ටේක සභාපතිවරයාට ඔහුට පවරා ඇති ප්‍රාදේශීය හැත්තෑවරුන්ගෙන් උපදෙස් ලබා ගත හැකිය. 32.6.3 හි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබාගත යුතුමය. කෙසේවෙතත්, ස්ටේක සභාපතිවරයා ප්‍රාදේශීය හැත්තෑවරුන්ගෙන් හෝ ප්‍රධාන අධිකාරීත්වයෙන් දුෂ්කර කාරණා තීරණය කරන්නේ කෙසේදැයි නොඇසිය යුතුයි. එම හැසිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුද කියා තීරණය කරන්නේ ස්ටේක සභාපතිවරයායි. මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, ස්ටේක සභාපතිවරයා හෝ සභානායකවරයා විසින් එහි ප්‍රතිඵලය තීරණය කරයි.

32.11.6

පළමු සභාපතිත්වයේ අධිකාරිය

සභාවේ සියලුම සාමාජික සීමාවන් සහ ඉවත් කිරීම් පිළිබඳ අවසාන බලය පළමු සභාපතිත්වය සතු වේ.

32.12

දැනුම්දීම් සහ නිවේදන

පහත විස්තර කර ඇති පරිදි—සාමාජික මන්ත්‍රණ සභාවක තීරණය එම අදාළ පුද්ගලයාට—සහ අවශ්‍ය පරිදි අන් අයට දැනුම් දෙනු ලැබේ.

32.12.1

තීරණය පිළිබඳ පුද්ගලයෙකුට දැනුම් දීම

සාමාන්‍යයෙන් මන්ත්‍රණ සභාව අවසන් වූ විට එහි ප්‍රතිඵලය සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඒ පිළිබඳව අදාළ පුද්ගලයාට පවසයි. කෙසේවෙතත්, තීරණයක් ගැනීමට පෙර වැඩි මගපෙන්වීමක් හෝ තොරතුරු ලබාගැනීම සඳහා ඔහුට මන්ත්‍රණ සභාවක් කාලයකට කල් දැමිය හැකිය.

කොට්ඨාශ, ශාඛා හෝ දිස්ත්‍රික්ක සාමාජික මන්ත්‍රණ සභාවක් විසින් දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා නොගත් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීම නිර්දේශ කළ හැකිය. කෙසේවෙතත්, අවසාන තීරණයක් ගැනීමට පෙර ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා 32.11 හි දක්වා ඇති පරිදි තීරණයේ බලපෑම් පැහැදිලි කරයි. සාමාන්‍යයෙන් ඔහු පසුතැවිලි වීමේ කොන්දේසි පිළිබඳ උපදෙස්ද ලබා දෙයි, එවිට සීමාවන් ඉවත් කිරීමට හෝ එම පුද්ගලයාව නැවතත් සභාවට ඇතුළත් කරගැනීමට හැකිය.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම තීරණය සහ එහි බලපෑම් පිළිබඳව අදාළ පුද්ගලයාට ලිඛිතව දැනුම් දෙයි. සභාවේ නීති රීතිවලට පටහැනිව සිදුවී ඇති හැසිරීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට වූ සාමාන්‍ය ප්‍රකාශයකින් මෙම දැනුම්දීම සමන්විත වේ. සාමාජික සීමාවන් ඉවත් කිරීම හෝ සභාවට නැවත ඇතුළත් කරගැනීම පිළිබඳ උපදෙස්ද එයට ඇතුළත් විය හැකිය. තීරණයට අභියාචනා කළ හැකි බව එමගින් පුද්ගලයාට දැනුම් දිය යුතුය (බලන්න 32.13).

අදාළ පුද්ගලයා මන්ත්‍රණ සභාවට නොපැමිණෙන්නේ නම්, එම තීරණය පිළිබඳව ඔහුට හෝ ඇයට දැනුම් දීමට ලිඛිත දැන්වීමක් ප්‍රමාණවත් විය හැකිය. සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට අදාළ පුද්ගලයාව හමුවීමටද හැකිය.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම පුද්ගලයාට සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා වාර්තාවේ පිටපතක් ලබා නොදේ.

32.12.2

තීරණයක් ගැන අනෙක් අයව දැනුවත් කිරීම

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු විසින් පුද්ගලික උපදේශනයකදී පුද්ගලයෙකුගේ සාමාජික වරප්‍රසාද අවිධිමත් ලෙස සීමා කරන්නේ නම්, ඔහු සාමාන්‍යයෙන් වෙනත් කිසිවෙකුට ඒ පිළිබඳව දැනුම් නොදේ (බලන්න 32.8.3). කෙසේවෙතත්, මෙම නායකයින් සාමාජිකයින්ට උපකාර කරන විට අවිධිමත් සීමාවන් පිළිබඳව ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරති.

සාමාජික මන්ත්‍රණ සභාවක් තුළ යම් පුද්ගලයෙකුගේ සාමාජික වරප්‍රසාද විධිමත් ලෙස සීමා කර ඇත්නම් හෝ ඉවත් කර ඇත්නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම තීරණය දැනුම් දෙන්නේ ඒ පිළිබඳව දැනගත යුතු අයට පමණි. ඒ සඳහා පහත සඳහන් මාර්ගෝපදේශ අදාළ වේ.

  • ඔහු වින්දිතයින්ගේ සහ වින්දිතයින් විය හැකි අයගේ අවශ්‍යතා සහ එම පුද්ගලයාගේ පවුලේ අයගේ හැඟීම් සලකා බලයි.

  • අදාළ පුද්ගලයා අභියාචනා කරන්නේ නම් ඔහු තීරණය දැනුම් දෙන්නේ නැත. කෙසේවෙතත්, වින්දිතයින් විය හැකි අයව ආරක්ෂා කිරීම අවශ්‍ය යැයි ඔහුට හැඟෙන්නේ නම් එය අභියාචනා කරන බව ඔහුට සන්නිවේදනය කළ හැකිය. වින්දිතයින්ගේ සුව වීමට සහාය වීම සඳහා (ඔහු වින්දිතයින්ගේ නම් ලබා නොදුන්නත්) හෝ සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට ඔහුට එය සන්නිවේදනය කළ හැකිය.

  • අවශ්‍ය පරිදි, සභානායකවරයා විශ්වාසයෙන් යුතුව එම තීරණය පිළිබඳව කොට්ඨාශ මන්ත්‍රණ සභා සාමාජිකයින්ට දැනුම් දෙයි. එසේ සිදුකරන්නේ මෙම පුද්ගලයාව කැඳවීම් සඳහා ඇමතීමට, පාඩම් ඉගැන්වීමට, හෝ යාච්ඤා ලබාදීමට හෝ කතා කිරීමට හැකි යැයි සලකන නායකයින්ට දැනුම් දීම සඳහාය. එම සාමාජිකයාට සහ ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයට රැකවරණය සහ සහයෝගය ලබා දීමට නායකයින්ව දිරිමත් කිරීම සඳහාද එසේ කරයි.

  • ස්ටේක සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව, තත්වය ඉඩදෙන පරිදි, සභානායකවරයාට තම කොට්ඨාශයේ වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති රැස්වීම්වලදී එම තීරණය පිළිබඳව දැනුම් දිය හැකිය:

    • අන් අයට තර්ජනය කළ හැකි කොල්ලකාරී හැසිරීම්.

    • වැරදි දහම ඉගැන්වීම් හෝ වෙනත් ආකාරයේ ඇදහිල්ල අත්හැරීම්.

    • බහු විවාහ හෝ අනුගමනය කිරීමක් ආකර්ෂණය කරගැනීම සඳහා විකෘති පූජා විධි ඉගැන්වීම් භාවිතා කිරීම වැනි දරුණු පාප.

    • ප්‍රධාන හෝ ප්‍රාදේශීය සභා නායකයින්ගේ ක්‍රියා හෝ ඉගැන්වීම් වලට ප්‍රසිද්ධියේ පටහැනි වීම.

  • එවැනි අවස්ථාවන්හිදී, ස්ටේක සභාපතිවරයාට ස්ටේකයේ අනෙකුත් කොට්ඨාශ වල සාමාජිකයින්ට සන්නිවේදනයකට අවසර දීමටද අවශ්‍ය විය හැකිය.

  • සමහර අවස්ථාවලදී, සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට එම පුද්ගලයා සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වා ඇති බව වින්දිතයන් කිහිප දෙනෙකුට හෝ ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීම ප්‍රයෝජනවත් යැයි හැඟෙන්නට හැකිය. ඔහු මෙය කරන්නේ ඔවුන්ගේ සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා හරහාය.

  • යම් පුද්ගලයෙකුගේ කොල්ලකාරී ප්‍රවණතා අන් අයව අවදානමට ලක් කරයි නම්, සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට අන් අයව ආරක්ෂා කිරීම සඳහා අනතුරු ඇඟවීම් ලබා දිය හැකිය. ඔහු රහසිගත තොරතුරු හෙළි නොකරන අතර අනුමාන නොකරයි.

  • අනෙක් සෑම අවස්ථාවකදීම, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ඕනෑම සන්නිවේදනයක් සාමාන්‍ය ප්‍රකාශයකට සීමා කරයි. සභාවේ නීති හා පිළිවෙලට පටහැනිව වූ හැසිරීමක් සඳහා අදාළ පුද්ගලයාගේ සභා සාමාජික වරප්‍රසාද සීමා කර හෝ ඉවත් කර ඇති බව ඔහු සරලව ප්‍රකාශ කරයි. ඒ ගැන සාකච්ඡා නොකරන ලෙස ඔහු පැමිණ සිටින අයගෙන් ඉල්ලා සිටියි. ඔවුන් එම ක්‍රියාව පිළිගන්නේද හෝ විරුද්ධ වන්නේද යන්න ඔහු අසන්නේ නැත.

  • සාමාජික මන්ත්‍රණ සභාවකින් පසු සාමාජිකයෙකු හොඳ තත්වයක සිටින බව තහවුරු වේ නම් (බලන්න 32.11.1), කටකතා ඉවත් කිරීම සඳහා සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට එය සන්නිවේදනය කළ හැකිය.

32.12.3

සාමාජිකත්වය ඉල්ලා අස්කරගැනීම සන්නිවේදනය කිරීම

සමහර අවස්ථාවලදී, යම් පුද්ගලයෙකු සභාවේ ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්වය ඉල්ලා අස්කරගෙන ඇති බව සභානායකවරයෙකුට සන්නිවේදනය කිරීමට අවශ්‍ය විය හැකිය (බලන්න 32.14.9). සභානායකවරයා විසින් වෙනත් විස්තර සපයන්නේ නැත.

32.13

තීරණයක් පිළිබඳ අභියාචනය

යම් සාමාජිකයෙකුට දින 30ක් ඇතුළත කොට්ඨාශ සාමාජික මන්ත්‍රණ සභාවක තීරණය පිළිබඳව ස්ටේක සභාපතිවරයා වෙත අභියාචනා කළ හැකිය. අභියාචනය සලකා බැලීම සඳහා ස්ටේක සභාපතිවරයා විසින් ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි. විශේෂයෙන්ම නව තොරතුරු තිබේ නම්, නැවත මන්ත්‍රණ සභාවක් කැඳවා තීරණය නැවත සලකා බලන ලෙස ඔහුට සභානායකවරයෙකුගෙන් ඉල්ලා සිටිය හැකිය.

යම් සාමාජිකයෙකුට දින 30ක් ඇතුළත ස්ටේක සාමාජික මන්ත්‍රණ සභාවක තීරණය පිළිබඳව පළමු සභාපතිත්වය වෙත අභියාචනා කළ හැකිය. සාමාජිකයා විසින් පළමු සභාපතිත්වයට යවන ලෙස එම ලිපිය ස්ටේක සභාපතිවරයාට ලබා දෙයි.

ධර්මදූතයක, යම් සාමාජිකයෙකුට දින 30ක් ඇතුළත ශාඛා සහ දිස්ත්‍රික්ක සාමාජික මන්ත්‍රණ සභාවක තීරණය පිළිබඳව ධර්මදූත සභාපතිවරයා වෙත අභියාචනා කළ හැකිය. අභියාචනය සලකා බැලීම සඳහා ධර්මදූත සභාපතිවරයා විසින් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වයි. කාලය හෝ දුර මෙය කිරීමෙන් ඔහුව වළක්වන්නේ නම්, ඔහු 32.9.4 හි උපදෙස් අනුගමනය කරයි.

ධර්මදූත සභාපතිවරයෙකු විසින් එම මන්ත්‍රණ සභාව මෙහෙයවන්නේ නම්, සාමාජිකයාට දින 30ක් ඇතුළත පළමු සභාපතිත්වයට ලිපියක් ලිවීමෙන් එම තීරණයට අභියාචනා කළ හැකිය. සාමාජිකයා විසින් පළමු සභාපතිත්වයට යවන ලෙස එම ලිපිය ධර්මදූත සභාපතිවරයාට ලබා දෙයි.

තීරණයක් අභියාචනා කරන පුද්ගලයෙකු විසින් එම ක්‍රියාපටිපාටියේ හෝ තීරණයේ චෝදනා කරන ලද වැරදි හෝ අසාධාරණකම් ලිඛිතව සඳහන් කරයි.

අභියාචනයක් සලකා බැලීම සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ නම්, පහත තීරණ දෙකෙන් එකක් ගත හැකිය:

  • මූලික තීරණයට ඉඩදීම.

  • මූලික තීරණය වෙනස් කිරීම.

පළමු සභාපතිත්ව තීරණ අවසාන තීරණ වන අතර නැවත අභියාචනා කළ නොහැකිය.

32.14

වාර්තා සහ සාමාජික වාර්තා

32.14.1

සභා සාමාජික මන්ත්‍රණ සභාවේ වාර්තා​ව

ඕනෑම සාමාජික මන්ත්‍රණ සභාවකට පසුව, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා LCR හරහා සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභාවේ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරයි. වාර්තාව සකස් කරන ලෙස ඔහුට ලිපිකරුගෙන් ඉල්ලා සිටිය හැකිය. ආකෘති පත්‍රයේ දෘඩ පිටපතක් හෝ විද්‍යුත් පිටපතක් දේශීයව තබා නොගන්නා බවට ඔහු සහතික කරයි. වාර්තාව සකස් කිරීමට භාවිතා කරන ඕනෑම සටහනක් වහාම විනාශ කරන බවට ඔහු සහතික කරයි.

32.14.2

විධිමත් සභා සාමාජික සීමාවන්

විධිමත් සභා සාමාජික සීමාවන් පුද්ගලයෙකුගේ සාමාජික වාර්තාවේ සටහන් කර ඇත. සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා වාර්තාව ලැබීමෙන් පසු සභාවේ මූලස්ථානය මෙම සටහන සිදුකරයි. සාමාජිකයෙකු පසුතැවිලි වූ විට, මෙම සීමාවන් ඉවත් කිරීම සලකා බැලීමට නායකයා වෙනත් මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුය (බලන්න 32.16.1).

32.14.3

පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කිරීමෙන් පසු වාර්තා

යම් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කර ඇත්නම්, සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා වාර්තාව ලැබීමෙන් පසු සභාවේ මූලස්ථානය විසින් සාමාජික වාර්තාව ඉවත් කරයි. පුද්ගලයා කැමති නම්, බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් නැවත සභාවට පිළිගැනීමට සූදානම් වීමට නායකයින් ඔහුට හෝ ඇයට උපකාර කරයි (බලන්න 32.16.1).

32.14.4

සභාවට නැවත ඇතුල් කරගැනීමෙන් පසු වාර්තා

යම් පුද්ගලයෙකුව නැවත සභාවට ඇතුළත් කළ පසු, සභානායකවරයා විසින් සභා සාමාජික මන්ත්‍රණ සභා පෝරමයේ වාර්තාවක් ඉදිරිපත් කරයි. බව්තීස්ම සහ ස්ථිර කිරීමේ සහතිකයක් නිර්මාණය කරන්නේ නැත. ඒ වෙනුවට, බව්තීස්මය සහ ස්ථිර කිරීම සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභා වාර්තාවේ සටහන් කරනු ඇත.

සාමාජිකයා බලයෙන් සැරසීම ලබා නොමැති නම්, සභාවේ මූලස්ථානය විසින් ඔහුගේ හෝ ඇයගේ මුල් බව්තීස්මයේ දිනයන් සහ අනෙකුත් නියෝග පෙන්වන සාමාජික වාර්තාවක් පවරයි. සභා සාමාජිකත්වය අහිමි වීම ගැන එම වාර්තාවේ කිසිඳු සඳහනක් නොමැත.

සාමාජිකයා බලයෙන් සැරසීමක් ලබා ඇත්නම්, නව බව්තීස්මය සහ ස්ථිර කිරීමේ දින පෙන්වීම සඳහා සභාවේ මූලස්ථානය විසින් සාමාජික වාර්තාව යාවත්කාලීන කරයි. මෙම වාර්තාවට “අවශ්‍ය ආශිර්වාද යළි පිහිටුවීම අවශ්‍ය වේ” යන පණිවිඩයද ඇතුළත් වේ. සාමාජිකයාගේ ආශිර්වාද නැවත පිහිටුවීමෙන් පසු (බලන්න 32.17.2), මුල් බව්තීස්මයේ දිනයන් සහ අනෙකුත් නියෝග වල දිනයන් පෙන්වීමට සාමාජිකත්ව වාර්තාව යාවත්කාලීන කෙරේ. සභා සාමාජිකත්වය අහිමි වීම ගැන එහි කිසිඳු සඳහනක් නොමැත.

32.14.5

විවරණ සහිත සාමාජික වාර්තා

පළමු සභාපතිත්වය විසින් අවසර දී ඇති පරිදි, සභාවේ මූලස්ථානය පහත ලැයිස්තුගත කර ඇති ඕනෑම අවස්ථාවක පුද්ගලයෙකුගේ සාමාජික වාර්තාව විවරණ කරයි.

  1. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරයි, පුද්ගලයාගේ සාමාජිකත්වය පහත සඳහන් ඕනෑම හැසිරීමක් සඳහා විධිමත් ලෙස සීමා කර හෝ ඉවත් කර ඇති බව එයින් පෙන්නුම් කරයි:

    1. අනියම් සබඳතා

    2. දරුවෙකුට හෝ යෞවනයෙකුට සිදු වූ ලිංගික අපයෝජනය, දරුවෙකුට හෝ යෞවනයෙකුට සිදු වූ ලිංගික අසාධාරණය, හෝ දරුවෙකුට හෝ යෞවනයෙකුට බරපතළ ලෙස ශාරීරික හෝ චිත්තවේගීයව සිදු වූ අපයෝජනය

    3. 38.6.6 හි දක්වා ඇති පරිදි ළමා කාමුක දර්ශන සමඟ සම්බන්ධ වීම

    4. බහු විවාහය

    5. වැඩිහිටි ලිංගික කොල්ලකාරී හැසිරීම

    6. සංක්‍රාන්ති ලිංගිකයන්—උපතේදී පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධයට සංක්‍රමණය වීම සඳහා වූ ක්‍රියා (බලන්න 38.6.23)

    7. සභාවේ අරමුදල් වංචා කිරීම හෝ සභාවේ දේපළ සොරකම් කිරීම (බලන්න 32.6.3.3)

    8. සභාවේ සුභසාධන අපයෝජනය

    9. තර්ජනාත්මක හැසිරීම (ලිංගික, ප්‍රචණ්ඩකාරී හෝ මූල්‍ය වැනි) හෝ සභාවට හානි කරන හැසිරීම

  2. සභානායාකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් පහත අවස්ථා වලදී එම පුද්ගලයාට ලිඛිත දැනුම්දීමක් ඉදිරිපත් කරයි:

    1. ඉහත ලැයිස්තුගත කර ඇති ක්‍රියාවන් එකක් හෝ සම්බන්ධ අපරාධයක් පිළිගෙන හෝ වරදකරු වී ඇති විට.

    2. ඉහත ලැයිස්තුගත කර ඇති ක්‍රියාවන් එකක් හෝ සම්බන්ධ වංචනික ක්‍රියාවක් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වගකිව යුතු බව සොයාගෙන ඇති විට.

සභානායකවරයෙකුට විවරණය කළ සාමාජික වාර්තාවක් ලැබුණු විට, ඔහු විවරණයේ ඇති උපදෙස් අනුගමනය කරයි.

සාමාජික වාර්තාවකින් විවරණයක් ඉවත් කිරීමට අවසර දිය හැක්කේ පළමු සභාපතිත්වයට පමණි. ස්ටේක සභාපතිවරයා විසින් විවරණයක් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ නම්, ඔහු LCR භාවිතා කරයි (බලන්න 6.2.3). නිර්දේශය අනුමත කරන්නේද නැද්ද යන්න පළමු සභාපතිත්ව කාර්යාලය ඔහුට දන්වයි.

32.14.6

සභා​වේ අරමුදල් සොරකම් කිරීම් වාර්තා කිරීම

සභාවේ අරමුදල් වංචා කිරීම සඳහා පුද්ගලයෙකුගේ සාමාජිකත්වය සීමා කර හෝ ඉවත් කර ඇත්නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එය 34.7.5 හි දක්වා ඇති පරිදි වාර්තා කරයි.

32.14.7

සාමාජික වාර්තාවල සීමාවන් මාරුකිරීම

සමහර අවස්ථාවල සාමාජිකත්ව ක්‍රියා හෝ අනෙකුත් බරපතළ කාරණා සම්පූර්ණ වී නොමැති අවස්ථා වල සභාවේ සාමාජිකයෙකුගේ පදිංචි ස්ථානය මාරු විය හැකිය. සමහර අවස්ථා වල සභානායකවරයෙකු හට සාමාජිකත්ව වාර්තාව නව ඒකකයට මාරු කිරීමට පෙර නව සභානායකවරයා සමඟ තොරතුරු බෙදා ගැනීමට අවශ්‍ය වේ. මෙම අවස්ථා වලදී, සභානායකවරයාට (හෝ බලය පවරන්නේ නම් ලිපිකරුට) සාමාජික වාර්තා මාරුව සීමා කළ හැකිය. සභානායකවරයා (හෝ අවසර දී ඇත්නම් ලිපිකරු) විසින් සීමාව ඉවත් කරන තෙක් වාර්තාව එම ඒකකයේ පවතී. මෙමගින් සභානායකවරයාට ගැටළු සහ තොරතුරු සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ලබා දේ.

32.14.8

සිරගතව සිටින අයගේ වාර්තා

සමහර සාමාජිකයන් අපරාධයකට වරදකරුවන් වී සිරගතව සිටිති. අපරාධය සිදු වූ විට පුද්ගලයා ජීවත් වූ ඒකකයේ සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් විධිමත් සාමාජිකත්ව සීමා කිරීම හෝ ඉවත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගනියි. සාමාජික වරප්‍රසාද සීමා කර ඇත්නම්, නායකයා (හෝ බලය පවරා ඇති නම් ලිපිකරු) විසින් පුද්ගලයා සිරගත කර ඇති ස්ථානයට වගකිව යුතු ඒකකයට සාමාජික වාර්තාව යොමු කරයි. සාමාජිකත්වය ඉවත් කර ඇති නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම ඒකකයේ නායකයාව සම්බන්ධ කර ගනියි. (බලන්න 32.15.)

32.14.9

සාමාජිකත්වය ඉල්ලා අස්කරගැනීම සඳහා ඉල්ලීම්

යම් සාමාජිකයෙකු සභාවේ ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය යුතු ලෙස ඉල්ලා සිටියහොත්, ඔහු හෝ ඇය එම ගැටළු සාකච්ඡා කර ඒවා විසඳීමට උත්සාහ කිරීමට කැමති දැයි සභානායකවරයා විසින් සොයා බලයි. සභානායකවරයාට සහ සාමාජිකයාට ස්ටේක සභාපතිවරයාගෙන්ද උපදෙස් ලබාගත හැකිය. සභාවේ සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමෙන් අත්වන පහත සඳහන් ප්‍රතිඵල සාමාජිකයා තේරුම් ගන්නා බව නායකයා සහතික කරයි:

  • එය සියලු නියෝග අවලංගු කරයි.

  • එය සියලුම සාමාජික වරප්‍රසාද ඉවත් කරයි.

  • බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් නැවත ලබාගැනීම සිදුවිය හැක්කේ සම්පූර්ණ සම්මුඛ පරීක්ෂණයකින් සහ බොහෝ අවස්ථාවලදී සාමාජික මන්ත්‍රණ සභාවකින් පසුව පමණි (බලන්න 32.16.2).

  • මීට පෙර බලයෙන් සැරසී ඇති පුද්ගලයෙකු එම දේවමාළිගා සහ පූජකවර ආශිර්වාද නැවත ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ පළමු සභාපතිත්වයේ අනුමැතිය ඇතිව සහ නැවත බඳවා ගැනීමෙන් අවම වශයෙන් සම්පූර්ණ වසරකට පසුව පමණය (බලන්න 32.17.2).

එම සාමාජිකයාට තවමත් සභාවේ සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍ය නම්, ඔහු හෝ ඇය සභානායකවරයාට ලිඛිත, අත්සන් සහිත ඉල්ලීමක් ලබා දෙයි. සභානායකවරයා විසින් LCR හරහා ස්ටේක සභාපතිවරයා වෙත එම ඉල්ලීම ඉදිරිපත් කරයි. ස්ටේක සභාපතිවරයා විසින් එම පද්ධතිය හරහා ඉල්ලීම සමාලෝචනය කර ඉදිරිපත් කරයි. නායකයින් ඉල්ලීම්වලට කඩිනමින් ක්‍රියා කළ යුතුය.

සභාවේ මූලස්ථානයට අත්සන් කරන ලද නොතාරිස් ඉල්ලීමක් යැවීමෙන් පුද්ගලයෙකුට සාමාජිකත්වය ඉල්ලා අස්කර ගත හැකිය.

ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමට කැමති බාල වයස්කරුවෙකු, වැඩිහිටියෙකු මෙන්ම එකම ක්‍රියාපටිපාටිය අනුගමනය කරයි, නමුත් එයට එක් ව්‍යතිරේකයක් ඇත: එම ඉල්ලීම බාලවයස්කරු (වයස 8 ට වැඩි නම්) සහ දෙමාපිය(න්) හෝ බාලවයස්කාරයාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇති භාරකරු(වන්) විසින් අත්සන් කළ යුතුය.

සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන සාමාජිකයෙකු සභාවට හෝ එහි නායකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තර්ජනය කරන්නේ නම්, ස්ටේක සභාපතිවරයා 38.8.23 හි උපදෙස් අනුගමනය කරයි.

බරපතළ පාපයක් ගැන පූජක නායකයින්ට තොරතුරු තිබුණත්, සාමාජිකත්වය ඉල්ලා අස්කරගැනීමට කළ ඉල්ලීමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. LCR හරහා එම ඉල්ලීම ඉදිරිපත් කරන විට නොවිසඳුණු පාප පිළිබඳ ඕනෑම තොරතුරක් එහි සටහන් වේ. අනාගතයේදී මෙම පුද්ගලයා සභාවට නැවත ඇතුළත් වීම සඳහා අයදුම් කරන්නේ නම්, එවැනි කාරණා විසඳීමට මෙමගින් පූජක නායකයින්ට ඉඩ සලසයි (බලන්න 32.16.2).

සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීම වැළැක්වීම සඳහා සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පූජක නායකයෙකු විසින් නිර්දේශ නොකළ යුතුය.

තම සාමාජිකත්වය ඉල්ලා අස්කර ගන්නා අය තමන්ව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා සිටින්නේ නම් මිස නායකයින් විසින් ඔවුන්ට දිගටම දේවසේවය කරනු ලබයි.


සභා සාමාජිකත්ව වරප්‍රසාද ආපසු ලබා දීම


යම් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්ව වරප්‍රසාද සීමා කර හෝ ඉවත් කර ඇත්නම්, ඔහු හෝ ඇය ඉඩ දෙන පරිදි නායකයින් විසින් එම පුද්ගලයාට සහයෝගීතාවය, උපදෙස් සහ සහාය ලබා දෙනු ලබයි. එම වරප්‍රසාද ආපසු ලබා ගත හැකි ආකාරය මෙම කොටසේ විස්තර කෙරේ.

32.15

නොකඩවා දේවසේවය කිරීම

සාමාජිකයෙකු සාමාජිකත්වය සීමා කර ඇති විට හෝ ඔහුගේ හෝ ඇයගේ සභා සාමාජිකත්වය ඉවත් කර ඇති විට සභානායකවරයාගේ හෝ ස්ටේක සභාපතිවරයාගේ පොදු විනිසුරුවරයෙකු ලෙස වූ භූමිකාව එතනින් අවසන් නොවේ. එම පුද්ගලයා ඉඩ දෙන පරිදි ඔහු දිගටම දේවසේවයේ නිරත විය යුතුය, එමගින් ඔහුට හෝ ඇයට නැවතත් සභා සාමාජිකත්වයේ ආශිර්වාද භුක්ති විඳිය හැකි විය හැකිය. සභානායකවරයා නිතිපතා එම පුද්ගලයා හමුවන අතර, උපකාරවත් වූ වි සහ අදාළ වූ විට, ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරියද හමුවෙයි. ගැලවුම්කරුවාණන් නෙපීවරුන්ට මෙසේ ඉගැන්වුවේය:

“නුඹලාගේ නමස්කාර ස්ථානයෙන් ඔහුව පිටතට නොදැමිය යුතුය, මක්නිසාද එවැන්නන්ට නුඹලා නොකඩවා දේවසේවය කළ යුතුය; මක්නිසාද දවසක ඔවුන් හැරී විත් පසුතැවිලි වී, තවද හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව මා වෙතට පැමිණෙන්නේ දැයි නුඹලා නොදන්නෙහුය, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි; තවද නුඹලා ඔවුන්ට ගැලවීම ගෙන ඒමට මෙවලමක් වන්නෝය” (3 නෙපී 18:32).

පුද්ගලයෙකුගේ සාමාජිකත්වය සීමා කර හෝ ඉවත් කිරීමෙන් පසු ගතවන කාලය ඔහුගේ හෝ ඇයගේ පවුලට දුෂ්කර හා තීරණාත්මක වේ. නායකයින් විසින් මෙම අවශ්‍යතා කෙරෙහි සංවේදී විය යුතු අතර පවුලේ සාමාජිකයන්ව දිරිමත් කිරීම සහ උපකාර කිරීම කළ යුතුය.

සභා සාමාජිකත්වය සීමා කර ඇති හෝ ඉවත් කර ඇති පුද්ගලයෙකුට, එම පුද්ගලයා ඉඩදෙන පරිදි, දේවසේවය කිරීම සඳහා සැලකිලිමත් සාමාජිකයන්ව පත් කර ඇති බව සභානායකවරයා සහතික කරයි. ඔවුන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද දේවසේවය කරති. සාමාජික සීමාවන් යටතේ සිටින පුද්ගලයින්ට පවුල් ඉතිහාස විස්තර ඇතුලත් කිරීමට සහභාගී වීමෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය (බලන්න 25.4.3).

එම පුද්ගලයා කොට්ඨාශයෙන් ඉවත් වුවහොත්, සභානායකවරයා විසින් නව සභානායකවරයාට ඒ ගැන දන්වා සභාවේ සාමාජික සීමාවන් ඉවත් කිරීමට පෙර තවමත් සිදුවිය යුතු දේ ගැන පැහැදිලි කරයි. එම පුද්ගලයාගේ සාමාජිකත්වය සභාවෙන් ඉවත් කර ඇත්නම් හෝ එම පුද්ගලයා සාමාජිකත්වය ඉල්ලා අස්කරගෙන ඇත්නම්, එම පුද්ගලයා විසින් සභාවේ නායකයින්ගේ සහාය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත්නම්, සභානායකවරයා විසින් ඒ ආකාරයටම කටයුතු කරයි.

32.16

විධිමත් සීමාවන් ඉවත් කිරීම හෝ සභාවට නැවත ඇතුළත් කරගැනීම

32.16.1

විධිමත් සීමාවන් ඉවත් කිරීමට හෝ පුද්ගලයෙකුව නැවත භාර ගැනීම සඳහා වන සාමාජික මන්ත්‍රණ සභා

සාමාජික මන්ත්‍රණ සභාවකදී සාමාජික වරප්‍රසාද සීමා කළ විට හෝ ඉවත් කළ විට, එම සීමාවන් ඉවත් කිරීම හෝ එම පුද්ගලයාව නැවත සභාවට ඇතුළත් කිරීම සලකා බැලීමට වෙනත් මන්ත්‍රණ සභාවක් පැවැත්විය යුතුය. මෙම මන්ත්‍රණ සභාවටද ආරම්භක මන්ත්‍රණ සභාවට සමාන අධිකාරී මට්ටමක් (හෝ ඊට වැඩියෙන්) තිබිය යුතුය. නිදසුනක් වශයෙන්, ආරම්භක මන්ත්‍රණ සභාවේ මුලසුන දැරුවේ ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයා නම්, සීමාවන් ඉවත් කිරීම හෝ පුද්ගලයා නැවත ඇතුළත් කිරීම සලකා බැලීම සඳහා එම මන්ත්‍රණ සභාවේ මූලාසනය දරන්නේ ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයෙකු විසිනි.

වත්මන් සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් මන්ත්‍රණ සභාව පවත්වයි. එම පුද්ගලයා පසුතැවිලි වී ඇති බවත්, සභා සාමාජිකත්වයේ ආශිර්වාද භුක්ති විඳීමට සූදානම් සහ සුදුසු බවත් ඔහු මුලින්ම සහතික කරයි.

ඔවුන්ගේ සභා සාමාජිකත්වය විධිමත් ලෙස සීමා කර ඇති අය සාමාන්‍යයෙන් සීමාවන් ඉවත් කිරීම සලකා බැලීමට පෙර අවම වශයෙන් වසරක්වත් අවංක පසුතැවිල්ලක් පෙන්විය යුතුය. ඔවුන්ගේ සභා සාමාජිකත්වය ඉවත්කර ඇති අය සැමවිටම නැවත ඇතුළත් කරගැනීම සලකා බැලීමට පෙර අවම වශයෙන් වසරක්වත් අවංක පසුතැවිල්ලක් පෙන්විය යුතුය. බරපතළ පාපයක් සිදු වූ අවස්ථාවේ සභාවේ ප්‍රමුඛ තනතුරක් දැරූ සාමාජිකයෙකු සඳහා, කාලය සාමාන්‍යයෙන් දිගු වේ (බලන්න 32.6.1.4).

සීමාවන් ඉවත් කිරීම හෝ සභාවට පුද්ගලයෙකු නැවත ඇතුළත් කිරීම සලකා බැලීම සඳහා වූ මන්ත්‍රණ සභාවක් අනෙකුත් සාමාජික මන්ත්‍රණ සභා වලට සමාන මාර්ගෝපදේශ අනුගමනය කරයි. එම මන්ත්‍රණ සභාව පැවැත්වීමට සභානායකවරයෙකුට ස්ටේක සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. ධර්මදූතයකදී, ශාඛා හෝ දිස්ත්‍රික්ක සභාපතිවරයෙකුට ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

සභාවේ සාමාජික සීමාවන් ඉවත් කිරීම හෝ සභාවට පුද්ගලයෙකුව නැවත ඇතුළත් කිරීම සලකා බැලීම සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමේදී පහත සඳහන් මාර්ගෝපදේශ අදාළ වේ. මෙම මාර්ගෝපදේශ සියල්ලම සෑම අවස්ථාවකටම අදාළ නොවේ.

  1. ආරම්භක සාමාජික මන්ත්‍රණ සභාව සමාලෝචනය කරන්න. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභාවේ වාර්තාව සමාලෝචනය කරයි. ඔහු LCR හරහා පිටපතක් ඉල්ලයි. පෝරමය සමාලෝචනය කිරීමෙන් පසු, ඔහුට පැහැදිලි කිරීමක් ලබාගැනීම සඳහා මූලික මන්ත්‍රණ සභාව පැවැත්වූ සභානායකවරයාව හෝ ස්ටේක සභාපතිවරයාව සම්බන්ධ කර ගත හැකිය.

  2. අදාළ පුද්ගලයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරයි. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ලේ ශක්තිය සහ පසුතැවිලි වීමේ ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා එම පුද්ගලයා සමඟ ගැඹුරින් සම්මුඛ සාකච්ඡා කරයි. ආරම්භක ක්‍රියාවෙහි දක්වා ඇති කොන්දේසි එම පුද්ගලයා සපුරා තිබේද යන්න ඔහු තීරණය කරයි.

  3. අපරාධ හෝ සිවිල් අධිකරණ ක්‍රියාමාර්ගවල තත්ත්වය නිශ්චය කරයි. සමහර අවස්ථා වල පුද්ගලයෙකු අපරාධයක් පිළිගෙන හෝ වරදකරු වී සිටිය හැකිය. සමහර අවස්ථා වල පුද්ගලයෙකු වංචා හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ සිවිල් ක්‍රියාවකට වගකිව යුතු බව සොයාගෙන තිබිය හැකිය. මෙම අවස්ථාවලදී, එම පුද්ගලයා විසින් නීති බලධාරීන් විසින් කරන ලද ඕනෑම වාක්‍යයක්, නියෝගයක් හෝ තීන්දුවක සියලු කොන්දේසි සපුරාලන තෙක් නායකයා සාමාන්‍යයෙන් මන්ත්‍රණ සභාවක් නොපවත්වයි. මෙම කොන්දේසිවලට සිරගත කිරීම, පරිවාස කාලය, වාචික ප්‍රතිඥා සහ දඩ මුදල් හෝ ප්‍රතිසාධනය ඇතුළත් විය හැකිය. ව්‍යතිරේක සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට පෙර පළමු සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය වේ. මෙම ව්‍යතිරේකවලට නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර ඇති සහ සැබෑ පසුතැවිල්ලක් පෙන්නුම් කර ඇති නමුත් ජීවිත කාලය පුරාම පරිවාසයේ සිටින හෝ සැලකිය යුතු දඩයක් ඇති අයෙකු ඇතුළත් විය හැකිය.

  4. වින්දිතයින්ගේ පූජක නායකයින් අමතන්න. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් ඕනෑම වින්දිතයෙකුගේ වත්මන් සභානායකවරයාව හෝ ස්ටේක සභාපතිවරයාව සම්බන්ධ කරගනියි (බලන්න 32.10.2).

  5. මන්ත්‍රණ සභාව පිළිබඳ දැනුම් දෙයි. ඔහු මන්ත්‍රණ සභාව පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පුද්ගලයාට දැනුම් දෙයි.

  6. මන්ත්‍රණ සභාව පැවැත්වීම. ඔහු 32.10.3 හි මාර්ගෝපදේශයන්ට අනුව මන්ත්‍රණ සභාව මෙහෙයවයි. පසුතැවිලි වීමට ඔහු හෝ ඇය කළේ කුමක්දැයි ඔහු එම පුද්ගලයාගෙන් අසයි. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ සභාවට ඔහුගේ හෝ ඇයගේ කැපවීම ගැනද විමසයි. අදාළ සියලු කරුණු ඉදිරිපත් කළ පසු ඔහු සාමාජිකයාට ඉවතට යාමට අවසර දෙයි. ඔහු ගත යුතු ක්‍රියාමාර්ගය සලකා බැලීමට ඔහුගේ උපදේශකයන් සමඟ යාච්ඤා කරයි. ගත හැකි තීරණ තුන වන්නේ:

    1. සාමාජිකත්ව සීමා කිරීම් හෝ ඉවත් කිරීම දිගටම පැවැත්වීම.

    2. සීමාවන් ඉවත් කිරීම හෝ නැවත ඇතුළු වීමට අවසර දීම.

    3. සීමාවන් ඉවත් කිරීමට හෝ නැවත පිළිගැනීමට අවසර දීමට පළමු සභාපතිත්වයට නිර්දේශ කිරීම (අවශ්‍ය නම් පහත “පළමු සභාපතිත්වයේ අනුමැතිය සඳහා අයදුම් කරන්න” අනුව).

  7. තීරණය බෙදාගනියි. මන්ත්‍රණ සභාව තීරණයක් ගත් පසු, මුලසුන දරන නිලධාරියා එය අදාළ පුද්ගලයා සමඟ බෙදා ගනියි. පළමු සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය නම්, එම තීරණය සඳහා පළමු සභාපතිත්වයේ නිර්දේශය අවශ්‍ය බව ඔහු පැහැදිලි කරයි.

  8. වාර්තාවක් ඉදිරිපත් කරයි. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සභා සාමාජිකත්ව මන්ත්‍රණ සභාවේ වාර්තාව LCR හරහා ඉදිරිපත් කරයි. මෙම වාර්තාව සකස් කරන ලෙස ඔහුට ලිපිකරුගෙන් ඉල්ලා සිටිය හැකිය. දෘඩ පිටපතක් හෝ විද්‍යුත් පිටපතක් දේශීයව තබා නොගන්නා බවට ඔහු සහතික කරයි. වාර්තාව සකස් කිරීමට භාවිතා කරන සියලුම සටහන් වහාම විනාශ කරන බවට ඔහු සහතික කරයි.

  9. පළමු සභාපතිත්ව අනුමැතිය සඳහා අයදුම් කරයි (අවශ්‍ය නම්). පහත සඳහන් තත්වයන් යටතේ, විධිමත් සාමාජික සීමාවන් ඉවත් කිරීමට හෝ එම පුද්ගලයාව නැවතත් සභාවට ඇතුළත් කිරීමට පළමු සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය වේ. සභා සාමාජිකත්වය විධිමත් ලෙස සීමා කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් පසුව මෙම හැසිරීම සිදු වී තිබුණද මෙම අනුමැතිය අවශ්‍ය වේ.

    ස්ටේක සභාපතිවරයා විසින් පළමු සභාපතිත්වයට අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ ඔහු අනුමැතිය නිර්දේශ කරන්නේ නම් පමණි (බලන්න 6.2.3).

    1. පුද්ගල ඝාතනය

    2. අනියම් සබඳතා

    3. දරුවෙකුට හෝ යෞවනයෙකුට සිදු වූ ලිංගික අපයෝජනය, දරුවෙකුට හෝ යෞවනයෙකුට සිදු වූ ලිංගික අසාධාරණය, හෝ වැඩිහිටියෙකු විසින් හෝ අවුරුදු කිහිපයක් වැඩිමහල් යෞවනයෙකු විසින් දරුවෙකුව හෝ යෞවනයෙකුව බරපතළ ශාරීරික හෝ චිත්තවේගීයව අපයෝජනය කිරීම

    4. නීතිමය වරදක් ඇති විට ළමා කාමුක දර්ශන සමඟ සම්බන්ධ වීම

    5. ඇදහිල්ලෙන් වැටීම

    6. බහු විවාහය

    7. සභාවේ ප්‍රමුඛ තනතුරක් දරන අතරතුර බරපතළ පාපයක් සිදුකිරීම

    8. සංක්‍රාන්ති ලිංගිකයන්—උපතේදී පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධයට සංක්‍රමණය වීම සඳහා වූ ක්‍රියා (බලන්න 38.6.23)

    9. සභාවේ අරමුදල් හෝ දේපළ වංචා කිරීම

  10. තීරණය ලිඛිතව දැනුම් දෙන්න. සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් එම තීරණය සහ එහි බලපෑම් පිළිබඳව අදාළ පුද්ගලයාට ලිඛිතව දැනුම් දුන් බව සහතික කරයි.

  11. බව්තීස්ම කර ස්ථිර කරන්න. මූලික මන්ත්‍රණ සභාවේදී යම් පුද්ගලයෙකුගේ සභා සාමාජිකත්වය ඉවත් කර ඇත්නම්, ඔහුව හෝ ඇයව බව්තීස්ම කර නැවත ස්ථිර කළ යුතුය. පළමු සභාපතිත්ව අනුමැතිය අවශ්‍ය නම්, මෙම නියෝග ක්‍රියාත්මක කළ හැක්කේ මෙම අනුමැතිය ලැබීමෙන් පසුව පමණි. බව්තීස්ම සහ ස්ථිර කිරීමේ සහතිකයක් නිර්මාණය කරන්නේ නැත (බලන්න 32.14.4).

32.16.2

සභා සාමාජිකත්වය ඉල්ලා අස්කරගැනීමෙන් පසු නැවත භාරගැනීම

යම් පුද්ගලයෙකු සභා සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වන්නේ නම්, ඔහුව හෝ ඇයව නැවතත් ඇතුළත් කරගැනීම සඳහා බව්තීස්ම කර ස්ථිර කළ යුතුය. වැඩිහිටියන් සඳහා, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී අවම වශයෙන් වසරක් ගතවන තුරු නැවත පිළිගැනීම සාමාන්‍යයෙන් නොසැලකේ.

යම් පුද්ගලයෙක් නැවත ඇතුළත් කරගැනීමක් සඳහා ඉල්ලා සිටින විට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ඉල්ලා අස්වීම සඳහා වන ඉල්ලීම සමඟ සකස් වූ පරිපාලන ක්‍රියා වාර්තාවේ පිටපතක් ලබා ගනී. ඔහුට මෙය LCR හරහා ලබාගත හැකිය.

සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා පසුව මෙම පුද්ගලයා සමඟ ගැඹුරුව සම්මුඛ සාකච්ඡා කරයි. ඔහුගේ මුල් ඉල්ලීමට හේතු සහ නැවත ඇතුළත් වීමේ ආශාව ගැන ඔහු විමසයි. ප්‍රේමයේ ආත්මයකින් යුතුව, සාමාජිකත්වය ඉල්ලා අස්වීමට පෙර හෝ පසුව එම පුද්ගලයා කර ඇති බරපතළ පාප ගැන ඔහු විමසයි. එම පුද්ගලයා පසුතැවිලි වී ඇති බවත්, සභා සාමාජිකත්වයේ ආශිර්වාද භුක්ති විඳීමට සූදානම් සහ සුදුසු බවත් පිළිබඳව සෑහීමකට පත්වන තුරු නායකයා නැවත ඇතුළත් කරගැනීම සඳහා මුලපුරන්නේ නැත.

ඉල්ලා අස්වීමෙන් පසු නැවත බඳවා ගැනීම සඳහා මාර්ගෝපදේශ පහත දැක්වේ:

  • ඉල්ලා අස්වන අවස්ථාවේදී එම පුද්ගලයාගේ සාමාජිකත්වය විධිමත් ලෙස සීමා කර ඇත්නම් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වනු ලැබේ.

  • සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමට පෙර එම පුද්ගලයා ඇදහිල්ල අත්හැරීම ඇතුළු බරපතළ පාපයක් කළේ නම් සාමාජික මන්ත්‍රණ සභාවක් පවත්වනු ලැබේ.

වෙනත් තත්වයන් යටතේ, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා එය අවශ්‍ය බව තීරණය කරන්නේ නම් මිස සාමාජික මන්ත්‍රණ සභාවක් නොපැවැත්වේ.

දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලැබූ අයෙකුට සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වූ විට එය ස්ටේක සභාපතිවරයා විසින් පවත්වයි. බලයෙන් සැරසීමක් නොලද පුද්ගලයෙකුට මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වූ විට, සභානායකවරයා විසින් ස්ටේක සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව එය පවත්වයි.

සභා සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමට පෙර හෝ පසුව, 32.16.1, අංක 9 හි සඳහන් කිසියම් හැසිරීමක එම පුද්ගලයා නියැලී සිට ඇත්නම්, නැවත භාර ගැනීම සඳහා පළමු සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය වේ. සභා සාමාජිකත්වය ඉල්ලා අස්කර ගැනීමට පෙර හෝ පසුව, 32.14.5, අංක 1 හි සඳහන් කිසියම් හැසිරීමක එම පුද්ගලයා නියැලී සිට ඇත්නම්, සාමාජික වාර්තාවේ විවරණයක් කරනු ලැබේ.

නැවත ඇතුළත් වීමක් ඉල්ලා සිටින පුද්ගලයෙකු බව්තීස්ම වූ අනෙක් අයට සමාන සුදුසුකම් සපුරාලිය යුතුය. නැවත පිළිගැනීම සඳහා එම පුද්ගලයා සුදුසු සහ අවංකව සිටින බවට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා සෑහීමකට පත් වූ විට, එම පුද්ගලයාව බව්තීස්ම කර ස්ථිර කළ හැකිය. බව්තීස්ම සහ ස්ථිර කිරීමේ සහතිකයක් නිර්මාණය කරන්නේ නැත (බලන්න 32.14.4).

රූපය
මිනිසෙකු සක්‍රමේන්තුව ලබාගනිමින්

32.17

නැවත බාරගැනීමෙන් පසු සභා ක්‍රියාකාරකම්, නියම කිරීම සහ ආශිර්වාද නැවත ලබාදීම

32.17.1

සභා ක්‍රියාකාරකම් සහ නියම කිරීම

බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් නැවත ඇතුළත් කරගත් පුද්ගලයෙකු සඳහා සුදුසු මට්ටමේ සභා ක්‍රියාකාරකම් පහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි.

කලින් බලයෙන් සැරසීම ලබා නැති

කලින් බලයෙන් සැරසීම ලබා ඇති

කලින් පූජකවරය දැරූවන්

කලින් බලයෙන් සැරසීම ලබා නැති

  • බව්තීස්මය සහ ස්ථිර කිරීමෙන් පසු වහාම, ඔවුන්ට පූජකවරය ලබා දී ඔවුන්ගේ සභා සාමාජිකත්වය ඉවත් කරන හෝ ඉල්ලා අස් වූ අවස්ථාවේ ඔවුන් දැරූ පූජක තනතුරට නියම කළ හැකිය. ඔවුන්ව ස්ථිර කිරීමේ ජන්ද සඳහා ඉදිරිපත් නොකරයි.

  • නියෝජිත බව්තීස්ම සහ තහවුරු කිරීම් සඳහා දේවමාළිගා නිර්දේශයක් නිකුත් කළ හැකිය.

කලින් බලයෙන් සැරසීම ලබා ඇති

  • කිසිම පූජක තනතුරකට නියම කළ නොහැකිය. ඔවුන්ගේ පූජකවර සහ දේවමාළිගා ආශිර්වාද නැවත පිහිට වූ විට, 32.17.2 හි දක්වා ඇති පරිදි ඔවුන්ගේ පෙර පූජක තනතුර නැවත පිහිටවනු ලැබේ. ඒ කාලය වනතුරු ඔවුන්ට නියෝග ක්‍රියාත්මක කළ නොහැකිය.

  • පූජකවරය නොදරන බලයෙන් සැරසී නොමැති සාමාජිකයෙකුට අවසර ඇති සභාවේ ඕනෑම ක්‍රියාකාරකමකට සහභාගී විය හැකිය.

  • ඔවුන්ගේ ආශිර්වාදය නැවත පිහිටුවන තුරු දේවමාළිගා වස්ත්‍රය ඇඳීම හෝ කිසිඳු ආකාරයක දේවමාළිගා නිර්දේශයක් ලබා නොගත යුතුය.

අනෙකුත් සාමාජිකයන්

කලින් බලයෙන් සැරසීම ලබා නැති

  • අලුතින් හැරී ආ අයෙක් කරන ලෙස සභාවේ කටයුතුවලට සහභාගී විය හැකිය.

  • නියෝජිත බව්තීස්ම සහ තහවුරු කිරීම් සඳහා දේවමාළිගා නිර්දේශයක් නිකුත් කළ හැකිය.

කලින් බලයෙන් සැරසීම ලබා ඇති

  • පූජකවරය නොදරන බලයෙන් සැරසී නොමැති සාමාජිකයෙකුට අවසර ඇති සභාවේ ඕනෑම ක්‍රියාකාරකමකට සහභාගී විය හැකිය.

  • ඔවුන්ගේ ආශිර්වාදය නැවත පිහිටුවන තුරු දේවමාළිගා වස්ත්‍ර ඇඳීමට හෝ කිසිඳු ආකාරයක දේවමාළිගා නිර්දේශයක් ලබාගැනීම නොකළ යුතුය (බලන්න 32.17.2).

32.17.2

ආශිර්වාද නැවත ලබාදීම

කලින් දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලැබූ සහ බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් නැවත පිළිගත් පුද්ගලයන්ට ඔවුන්ගේ පූජකත්වය සහ දේවමාළිගාවේ ආශිර්වාද ලබා ගත හැක්කේ ආශිර්වාද නැවත පිහිටුවීමේ නියෝගය හරහා පමණි (බලන්න දහම සහ ගිවිසුම් 109:21). ඔවුන්ව නැවතත් පූජකවර තනතුරුවලට නියම කරන්නේ හෝ බලයෙන් සැරසීම ලබාදෙන්නේ නැත. මෙම ආශිර්වාද එම නියෝගය හරහා නැවත ලබා දෙනු ලැබේ. හැත්තෑවරුන්, සභානායකවරුන් හෝ ආදිපීතෘවරුන් යන නිලයන් හැර අනෙක් සහෝදරයන්ව ඔවුන්ගේ පැරණි පූජක තනතුරට නැවත පිහිටවනු ලැබේ.

ආශිර්වාද නැවත පිහිටුවීමේ මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම අනුමත කළ හැක්කේ පළමු සභාපතිත්වයට පමණි. බව්තීස්ම වීම සහ ස්ථිර කිරීම මගින් එම පුද්ගලයාව නැවත ඇතුළත් කරගැනීමෙන් පසු වසරකට වඩා ඉක්මනින් මෙම නියෝගය සඳහා අයදුම්පතක් සලකා බලනු නොලැබේ.

සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් මෙම පුද්ගලයාගේ සුදුසුකම සහ සූදානම තීරණය කිරීම සඳහා ඔහු හෝ ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි. එම පුද්ගලයා සූදානම් බව ස්ටේක සභාපතිවරයාට හැඟෙන විට, ඔහු LCR භාවිතයෙන් ආශිර්වාද නැවත පිහිටුවීමට ඉල්ලුම් කරයි. පළමු සභාපතිත්වයට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ස්ටේක සභාපතිවරයාගේ වගකීම ගැන 6.2.3 හි බලන්න.

පළමු සභාපතිත්වය විසින් ආශිර්වාද නැවත පිහිටුවීම අනුමත කරන්නේ නම්, ඔවුන් විසින් එම පුද්ගලයා සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට ප්‍රධාන අධිකාරීවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයාට පවරයි. එම පුද්ගලයා සුදුසු නම්, මෙම නායකයා විසින් එම පුද්ගලයාගේ ආශිර්වාද නැවත ලබා දීම සඳහා එම නියෝගය ඉටු කරයි.

සාමාජික වාර්තා සහ ආශිර්වාද නැවත පිහිටුවීම පිළිබඳ තොරතුරු සඳහා, 32.14.4 බලන්න.