ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 10


10 වන කොටස

1828 අප්‍රියෙල් මාසයේ පමණ, නමුත් සමහර කොටස් 1828 ගිම්හානය කාලයේදී, හාර්මනි, පෙන්සිල්වේනියාවේ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දුන් එළිදරව්වකි. මෙහිලා ස්වාමින්වහන්සේ ජෝසෆ්ට දන්වා සිටින්නේ දුෂ්ට මිනිසුන් විසින් මොර්මොන්ගේ පොතේ, ලෙහිගේ පොත පරිවර්තනයේ අත් පිටපතේ පිටු 116 ක කර තිබෙන වෙනස්කිරීම් ගැනය. මෙම අත් පිටපතේ පිටු නැතිවී තිබෙන්නේ මාටින් හැරිස්ගේ සන්තකයේ තිබියදී, සහ ඔහුට තාවකාලිකව පිටු බාරදී තිබියදීය. (3 වෙනි කොටසේ ශීර්ෂය බලන්න.) මෙම නපුරු සැලැස්මේ බලාපොරොත්තුව වූයේ සොරකම් කරන ලද පිටු නැවත පරිවර්තනය කිරීමේ කාරණාව ගැන අපේක්ෂාවෙන් සිටීම සහ ඉන්පසුව වෙනස්කිරීම මගින් ඇති වන වෙනස්කම් පෙන්වා පරිවර්තකයාව අපකීර්තියට පත්කිරීමය. එනම් පැරණි නෙපිවරුන්ගේ ඉතිහාසඥයා වූ මොර්මොන් එකතු කළ තහඩු වල කළ ඔහුගේ සංක්ෂිප්තයේදී පවා, නපුරා විසින් සිතා සිටි මෙම දුෂ්ට අරමුණ ස්වාමින්වහන්සේට දැනගන්නට ලැබින (බලන්න මොර්මොන්ගේ වචන 1:3–7).

1–26, සාතන් ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන්ට විරුද්ධ වීමට දුෂ්ට මනුෂ්‍යයන් කළඹවන්නේය; 27–33, මනුෂ්‍යයන්ගේ ආත්ම විනාශ කිරීමට ඔහු සොයන්නේය; 34–52, මොර්මොන්ගේ පොත තුළින් ශුභාරංචිය ලාමන්වරුන්ටත් සියලු ජාතීන්ටත් යනු ඇත; 53–63, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාව සහ උන්වහන්සේගේ ශුභාරංචිය මනුෂ්‍යයන් අතර පිහිටුවනු ලබන සේක; 64–70, උන්වහන්සේ පසුතැවිලිවන්නන් උන්වහන්සේගේ සභාවට රැස්කරවා කීකරු වූවන් ගලවනු ලබන සේක.

1 දැන්, බලන්න, මම නුඹට පවසන්නෙමි, ඌරීම් සහ තුම්මීම් තුළින් පරිවර්තනය කිරීමට නුඹට බලය දී තිබූ මෙම ලියවිලි දුෂ්ට මනුෂ්‍යයෙකුගේ අත් වලට භාරදුන් නිසා, නුඹ ඒවා නැතිකර ගත්තෙහිය.

2 තවද එම අවස්ථාවෙහිදීම නුඹ නුඹගේ දීමනාව නැතිකර ගත්තෙහිය, තවද නුඹගේ මනස අන්ධකාර බවට පත්විය.

3 එසේවුවද, එය නුඹට නැවතත් ස්ථාපනය කොට ඇත්තේය; එසේහෙයින් ඇදහිලිවන්තව නුඹ පටන්ගත් ආකාරයෙන් ඉතිරි පරිවර්තන කටයුතු අවසන් කරන තුරු දිගටම කිරීමට නුඹ වගබලාගන්න.

4 සීඝ‍්‍රයෙන් දිවීම නොකරන්න හෝ නුඹට පරිවර්තනය කිරීමට සැපයූ ආකාරයට නුඹගේ ශක්තියට වඩා මහන්සි නොවන්න; එහෙත් අවසානය දක්වා උද්යෝගිමත් වන්න.

5 එනම් නුඹ ජයග‍්‍රාහකයා වීම පිණිසද; එසේය, එනම් නුඹ සාතන්ව ජයග‍්‍රහණය කරන පිණිසද, එනම් සාතන්ගේ ක්‍රියාවන් උසුලන ඔහුගේ සේවකයන්ගේ අත් වලින් ගැලවීමටද, සැමවිටම යාච්ඤා කරන්න.

6 බලන්න, ඔවුන් නුඹව විනාශ කිරීමට සොයා ඇත; එසේය, නුඹ විශ්වාස කළ මනුෂ්‍යයා පවා නුඹව විනාශ කිරීමට සොයා ඇත.

7 තවද ඔහු දුෂ්ට මනුෂ්‍යයෙක් යැයි මම පැවසූයේ මෙම කාරණය නිසාය, මන්ද නුඹට පවරා තිබූ දේවල් පිටතට ගෙන යාමට ඔහු සොයා ඇත; තවද නුඹගේ දීමනාව විනාශ කිරීමට ඔහු එසේම සොයා ඇත.

8 තවද ලියවිලි ඔහුගේ හස්තයේ භාරයට නුඹ ලබාදුන් හෙයින්, බලන්න, දුෂ්ට මනුෂ්‍යයන් එය නුඹගෙන් ගෙන ඇත.

9 එසේහෙයින්, එනම් එම පූජනීයව තිබූ දේ, එසේය, නුඹ ඒවා දුෂ්ටකමට භාරදී ඇත්තෙහිය.

10 තවද, බලන්න, නුඹ විසින් ලිවීමට සලස්වන ලද හෝ නුඹ පරිවර්තනය කරන ලද, නුඹගේ අත් වලින් පිටතට ගිය වචන, වෙනස් කිරීමට සාතන් ඔවුන්ගේ සිත් වලට දමා ඇත.

11 තවද බලන්න, මම නුඹට පවසන්නෙමි, එනම් ඔවුන් වචන වෙනස් කොට ඇති නිසා, නුඹ පරිවර්තනය කොට ලිවීමට සැලැස්වූ දෙයට පටහැනි දේවල් ඔවුහු කියවති;

12 තවද, මේ ආකාරයෙන්, යක්ෂයා මෙම කටයුතු විනාශ කිරීමට, ඔහු කපටි සැලැස්මක් යෙදීමට සොයා ඇත.

13 මක්නිසාද ඔහු මෙය කිරීමට ඔවුන්ගේ හදවත් තුළට දමා ඇත්තේ, එනම් එසේ බොරුකීම මගින්, ඔබ පරිවර්තනය කිරීම කරනවා යැයි බොරුවට කියමින් ඔබගේ වචන ඇල්ලීමට ඔවුන් බොරුවට ප‍්‍රකාශ කිරීමටය.

14 සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, මෙම දේ තුළින් සාතන්ට ඔහුගේ නපුරු සැලැස්ම සම්පූර්ණ කිරීමට මම ඉඩ නොදෙන්නෙමි.

15 මක්නිසාද බලන්න, ඔහු එය ඔවුන්ගේ හදවත් වලට දමා තිබෙන්නේ, එය නැවතත් පරිවර්තනය කිරීමට ඉල්ලමින්, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේව පරීක්ෂා කිරීමට නුඹව යොදාගැනීම සඳහාය.

16 තවද ඉන්පසුව, බලන්න, ඔවුහු මෙසේ පවසමින්, ඔවුන්ගේ හදවතින් සිතන්නෝය—ඔහුට දෙවියන්වහන්සේ පරිවර්තනය කිරීමේ බලය දී ඇත්දැයි අපි බලමු; එසේනම්, උන්වහන්සේ ඔහුට නැවතත් බලය දෙනු ඇත;

17 තවද දෙවියන්වහන්සේ ඔහුට නැවත බලය දෙන්නේ නම්, නැතහොත් ඔහු නැවතත් පරිවර්තනය කළහොත්, නැතහොත්, වෙනත් වචන වලින්, ඔහු නැවත එම වචනම රැගෙන එන්නේ නම්, බලන්න, අපට එම වචනම ඇත්තේය, තවද අපි ඒවා වෙනස්කර ඇත්තෙමු;

18 එසේහෙයින් ඔවුන් එකඟ නොවනු ඇත, තවද ඔහු ඔහුගේ වචන වලින් බොරු කියා ඇති බවත්, තවද ඔහුට දීමනාවක් නැති බව සහ ඔහුට බලයක් නැති බවත් අපි කියමු;

19 එසේහෙයින් අපි ඔහුව සහ එසේම ඔහුගේ කටයුතු විනාශ කරමු; තවද අපි මෙසේ කරන්නේ අවසානයේ අප ලැජ්ජාවට පත්නොවීමට, සහ එනම් අප ලෝකයේ මහිමය ලබාගන්නා පිණිසය.

20 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, එනම් සාතන්ට ඔවුන්ගේ හදවත් වල මහත් ග‍්‍රහණයක් ඇත්තේය; ඔහු ඔවුන්ව එම යහපත් වූ දෙයට විරුද්ධව අයුතුකම් කිරීමට කළඹවන්නේය.

21 තවද ඔවුන්ගේ හදවත් දූෂිතය, තවද දුෂ්ටකම් වලින් සහ පිළිකුල්කම් වලින් පිරී ඇත; තවද ඔවුහු ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රේම කරන්නෝය, මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවන් නපුරු වේ; එසේහෙයින් ඔවුන් මාගෙන් අසන්නේ නැත.

22 සාතන් ඔවුන්ව කළඹවන්නේය, එනම් ඔහු ඔවුන්ගේ ප‍්‍රාණයන් විනාශයට මගපෙන්වීමටය.

23 දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් විනාශ කිරීමට සිතමින්, තවද මෙසේ ඔහු කපටි සැලැස්මක් යොදා ඇත්තේය; නමුත් මෙය ඔවුන්ගේ අත් වල තිබීම මට අවශ්‍යව ඇත්තේය, තවද එය විනිශ්චය දවසේදී ඔවුන්ට ලැජ්ජාවක් සහ හෙළාදැකීමක් බවට හැරෙනු ඇත.

24 එසේය, මෙම කටයුතු වලට විරුද්ධව ඔහු ඔවුන්ගේ හදවත් කළඹවන්නේය.

25 එසේය, ඔහු ඔවුන්ට මෙසේ කියන්නේය: රැවටීම සහ බොරුව නුඹව අල්ලාගැනීමට බලා සිටියි, එනම් නුඹ විනාශ විය හැකිය; බලන්න, මෙය හානියක් නොවන්නේය. තවද මෙසේ ඔහු ඔවුන්ව පාරට්ටු කර, බොරු කීම පාපයක් නොවන බව ඔවුන්ට කියමින්, බොරුවෙන් මිනිසෙකු අල්ලාගෙන, ඔවුන්ට ඔහුව විනාශ කරන ලෙස කියනු ඇත.

26 තවද මෙසේ ඔහු ඔවුන්ව පාරට්ටු කරන්නේය, තවද ඔවුන්ට මගපෙන්වමින් ඔවුන්ගේ ප‍්‍රාණයන් නිරයට යනතුරු ඇදගෙන යන්නේය; තවද මෙසේ ඔහු ඔවුන්ට ඔවුන්ගේම ස්වකීය උගුලේ පැටලීමට සලස්වන්නේය.

27 තවද මෙසේ ඔහු ඉහළට සහ පහළට යමින්, පොළොවේ එහාට‍ මෙහාට යමින්, මනුෂ්‍යයන්ගේ ප‍්‍රාණයන් විනාශ කිරීමට සොයන්නේය.

28 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, රැවටීමට බොරු කියන ඔහු හට දුක්වේ මක්නිසාද තවකෙනෙකු රැවටීමට බොරු කියන්නේ යැයි ඔහු සිතන්නේය, මක්නිසාද එවැන්නෙකු දෙවියන්වහන්සේගේ යුක්තියෙන් නිදහස් නොවන්නේය.

29 දැන්, බලන්න, මෙම වචන ඔවුහු වෙනස්කොට ඇත්තෝය, මක්නිසාද සාතන් ඔවුන්ට මෙසේ කියා ඇත; ඔහු නුඹව රවටා ඇත්තේය—තවද මෙසේ ඔහු ඔවුන්ව පාරට්ටු කරමින් අයුතුකම් කිරීමට ගෙන යමින්, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේව පරීක්ෂා කිරීමට නුඹව යොදවන්නේය.

30 බලන්න, මම නුඹට පවසන්නෙමි, එනම් නුඹගේ හස්තයෙන් පිටතට ගියාවූ එම වචන නැවතත් නුඹ පරිවර්තනය නොකරනු ඇත;

31 මක්නිසාද, බලන්න, ඔවුන් එම වචන වලට විරුද්ධව බොරු කීමෙන් ඔවුන්ගේ නපුරු සැලසුම් ඉටු නොකරගනු ඇත. මක්නිසාද, බලන්න, නුඹ විසින් එම වචනම ඉදිරියට ගෙන ආවහොත් නුඹ බොරු කියා ඇති බව සහ පරිවර්තනය කරන බව බොරුවට පෙන්වා ඇති බව සහ, නුඹ නුඹටම විරුද්ධ වන්නේ යැයි ඔවුන් පවසනු ඇත.

32 තවද බලන්න, මෙය ඔවුන් ප‍්‍රකාශයට පත්කරනු ඇත, තවද සාතන් ජනතාවගේ හදවත් දැඩි කරමින්, එනම් ඔවුන් මාගේ වචනය විශ්වාස නොකරන පිණිස, නුඹට විරුද්ධව කෝපය අවුලවන්නේය.

33 මෙසේ මෙම පරම්පරාවේ නුඹගේ සාක්ෂිය යටපත් කරගන්නා පිණිස සාතන් සිතන්නේය, එනම් මෙම පරම්පරාව සඳහා ක්‍රියාවන් ඉදිරියට නොපැමිණෙන පිණිසය.

34 එහෙත් බලන්න, ප‍්‍රාඥාව මෙය වන්නේය, තවද මම නුඹට ප‍්‍රඥාව පෙන්වන හෙයින් සහ මෙම දේවල් සම්බන්ධව නුඹට ආඥා කරන නිසා, නුඹ කළ යුතු වන්නේ, නුඹ පරිවර්තනයේ කටයුතු සම්පූර්ණ කරන තුරු ලෝකයට එය නොපෙන්වා සිටීමය.

35 මම නුඹට කී දේ ගැන පුදුම නොවන්න: ප‍්‍රාඥාව මෙය වන්නේය, ලෝකයට එය නොපෙන්වන්න—මක්නිසාද මම පැවසුවේ, ලෝකයට එය නොපෙන්වන්න, එනම් නුඹ ආරක්ෂාකාරී වන පිණිසය.

36 බලන්න, ධර්මිෂ්ඨයන් හට එය පෙන්විය නොයුතු යැයි මම නුඹට නොකියමි;

37 එසේම නුඹට සැමවිටම ධර්මිෂ්ඨයා විනිශ්චය කළ නොහැකිවාක් මෙන්ම, නුඹට ධර්මිෂ්ඨයා වෙතින් දුෂ්ටයා සැමවිටම කිවහැකි නොවන්නේය, එසේහෙයින් මම නුඹට පවසන්නෙමි, මෙම කාරණය සම්බන්ධයෙන් ලෝකයට සියලු දේවල් දැන්වීමට සුදුසු යැයි මට හැඟෙන තුරු නුඹගේ සමාදානය රඳවාගන්න.

38 තවද දැන්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, එනම් නුඹ විසින් ලියන ලද, ඒ නුඹ අතින් පිටතට ගියා වූ දේවල් වල වාර්තාව, නෙපිගේ තහඩු මත කොටා ඇත්තේය;

39 එසේය, එම ලියවිලි එනම් වඩාත් විශේෂිත වූ වාර්තාවන් නෙපිගේ තහඩු මත මෙම දේවල් දී ඇති බව පවසා ඇතැයි තවද නුඹට සිහිපත්වනු ඇත.

40 තවද දැන්, නෙපිගේ තහඩු මත කොටන ලද වඩාත් විශේෂිත වූ වාර්තාව සම්බන්ධ වූ දේවල් නිසා, මාගේ ප‍්‍රඥාවට අනුව, මෙම වාර්තාව ජනතාවගේ දැනගැන්මට පැමිණවීම මම කරන්නෙමි—

41 එසේහෙයින්, නෙපිගේ තහඩු මත කොටා ඇතිදේ බෙන්යමින් රජුගේ රාජ්‍යය පාලනය කාලය වෙතටම පැමිණෙන තුරු, හෝ නුඹ විසින් රඳවාගත්තා වූ නැතහොත් නුඹ විසින් පරිවර්තනය කරල ලද එම තැනට පැමිණෙන තුරු, පරිවර්තනය කළ යුතු වන්නේය;

42 තවද බලන්න, නුඹ එය ප‍්‍රකාශනය කළ යුතු වන්නේ නෙපිගේ වාර්තාව ලෙසය; තවද මෙසේ මම මාගේ වචන වෙනස් කළවුන් ව්‍යාකූළ කරන්නෙමි.

43 මම මාගේ කටයුතු ඔවුන් විසින් විනාශ කිරීමට ඉඩ නොදෙන්නෙමි; එසේය, එනම් මම මාගේ ප‍්‍රාඥාව යක්ෂයාගේ කපටිකමට වඩා මහත් බව ඔවුන් හට පෙන්වන්නෙමි.

44 බලන්න, ඔවුන් හට ලැබී ඇත්තේ කොටසක් පමණකි, නැතහොත් නෙපිගේ වාර්තාවේ සංෂිප්තයකි.

45 බලන්න, නෙපිගේ තහඩු මත කොටන ලද බොහෝ දේවල් මාගේ ශුභාරංචිය මත විශාල දැකීමක් පෙන්වන දේවල් වන්නේය; එසේහෙයින්, නෙපි විසින් කොටන ලද මෙම පළමු කොටස ඔබ පරිවර්තනය කළ යුතු වීම සහ මෙම කටයුතු ඉදිරියට යැවීම මාගේ ප‍්‍රඥාව වන්නේය.

46 තවද, බලන්න, මාගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්, එසේය, එසේම මාගේ ගෝලයන්, ඔවුන්ගේ යාච්ඤා තුළින් ආශා කළ, මාගේ ශුභාරංචියේ එම සියලු කොටස් ඇතුළත් වන මෙම කාර්යයේ ඉතිරි සියල්ල, මෙම ජනතාව වෙතට පෙරට පැමිණිය යුතු වන්නේය.

47 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි, එනම් එය ඔවුන් හට ලබාදිය යුතුවන්නේ ඔවුන්ගේ යාච්ඤාව තුළ ඇති ඇදහිල්ලට අනුව වන්නේය;

48 එසේය, තවද ඔවුන්ගේ ඇදහිල්ල මෙය වූවෙහිය—එනම් ඔවුන්ගේ දවස් වලදී දේශනා කරන්නට ඔවුන් හට දුන් මාගේ ශුභාරංචිය, ඔවුන්ගේ සහෝදරයන් වූ ලාමන්වරුන් වෙතට පැමිණෙන්නේය, තවද එසේම ඔවුන් ලාමන්වරුන් බවට පත්වූයේ ඔවුන්ගේ විරුද්ධවාදිකම් නිසාය.

49 දැන්, මෙය එපමණක් නොවන්නේය—ඔවුන්ගේ යාච්ඤා වල ඔවුන්ගේ ඇදහිල්ල වූයේ එනම් මෙම දේශය උරුමකරගන්නා අනෙක් ජාතීන්ටද හැකිනම්, මෙම ශුභාරංචිය එසේම දන්වනු ලැබිය යුතු වීමය.

50 තවද මෙසේ ඔවුන්ගේ යාච්ඤා තුළින් ඔවුහු මෙම දේශය මත ආශිර්වාදයක් තබා ගියහ, එනම් මෙම ශුභාරංචිය විශ්වාස කරන මෙම දේශය මත කවරෙකු වුවත් ඔහුට සදාකාල ජීවනය ලබාගැනීමට හැකිවන්නේය.

51 එසේය, එනම් සියලු අයවළුන් හට කවරාකාර ජාතියක්, වංශයක්, භාෂාවක්, හෝ ජනතාවක් වුවත් එය නොමිලයේ වන්නේය.

52 තවද දැන්, බලන්න, ඔවුන්ගේ යාච්ඤාවේ ඇති ඔවුන්ගේ ඇදහිල්ලට අනුව මාගේ ශුභාරංචියේ මෙම කොටස් මාගේ ජනතාවගේ දැනගැනීමට ගෙන එන්නෙමි. බලන්න, මා එය ගෙන ආවේ ඔවුන් එම ලබාගත් දේ විනාශ කිරීමට නොව, නමුත් එය ගොඩනැගීමටය.

53 තවද මෙම කාරණාව හෙයින් මම පැවසූවෙමි: මෙම පරම්පරාව ඔවුන්ගේ හදවත් දැඩිකර නොගන්නේ නම්, මම මාගේ සභාව ඔවුන් අතර ගොඩනගන්නෙමි.

54 දැන් මෙය පවසන්නේ මාගේ සභාව විනාශ කිරීමට නොවේ, නමුත් මම මෙසේ පවසන්නේ මාගේ සභාව ගොඩනැගීමටය;

55 එසේහෙයින්, මාගේ සභාවට අයත්වන්නා වූ කවරෙකු වුවත් බිය විය යුතු නොවන්නේය, මක්නිසාද එවැන්නන් ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නෝය.

56 එහෙත් මා හට බිය නොවන, මාගේ ආඥාවන් නොපිළිපදින එහෙත් ඔවුන්ගේ ලාබ ලබාගැනීමට සභාවන් ඔවුහු ගොඩනගන්නෝය, එසේය, එනම් දුෂ්ට වූ දේ කරන්නාවූ එම සියල්ලෝ යක්ෂයාගේ රාජ්‍යය ගොඩනගන්නෝය—එසේය, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් එම අයවළුන්ට මම කරදර කරන්නෙමි, තවද මැදින් වෙවුලවමින් සෙලවීමට පමුණුවන්නෙමි.

57 බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත‍්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි. මම මාගේ ස්වකීයයන් වෙතට පැමිණියෙමි, තවද මාගේ ස්වකීයයන් මා පිළිගත්තේ නැත.

58 අන්ධකාරයේ බබළන එම ආලෝකය මම වන්නෙමි, තවද අන්ධකාරය එය අවබෝධ නොකළේය.

59 මාගේ ගෝලයන් හට මෙම ගාලෙහි නොවන වෙනත් බැටළුවන් මට ඇත්තේ යැයි—ප‍්‍රකාශ කළ ඒ තැනැත්තා මම වෙමි, තවද එහි වූ බොහෝ අය මා තේරුම්ගත්තේ නැත.

60 තවද මෙම ජනතාවට මට වෙනත් බැටළුවන් ඇත්තේ යැයි මම පෙන්වන්නෙමි, තවද එනම් ඔවුන් යාකොබ්ගේ වංශයෙහි අත්තක්ය;

61 තවද ඔවුන්ගේ පුදුමාකාර ක්‍රියාවන් මම ප‍්‍රසිද්ධ කරන්නෙමි, එය ඔවුන් කරන ලද්දේ මාගේ නාමයෙනි;

62 එසේය, තවද එසේම ඔවුන් හට දේවසේවය කරනු ලැබූ මාගේ ශුභාරංචියද මම ආලෝකයට ගෙන එන්නෙමි, තවද, බලන්න, නුඹට ලැබුන එම දේ ඔවුහු ප‍්‍රතික්ෂේප කරනු නොලබන්නෝය, නමුත් ඔවුන් එය ගොඩනගනු ලබන්නේය, තවද මාගේ දහමේ සත්‍ය කරුණු ආලෝකයට ගෙන එනු ලබන්නේය, එසේය, මා තුළ ඇත්තා වූ එකම දහම එය වන්නේය.

63 මා මෙය කරන්නේ මාගේ ශුභාරංචිය ස්ථාපිත කරනු පිණිසය, එනම් එහි අතිමහත් විවාදයන් නොවනු පිණිසය; එසේය, සාතන් මාගේ දහමේ කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ හදවත් විරුද්ධ වීමට කළඹවන්නේය; තවද මෙම දේවල් ඔවුන් කරන්නේ වැරදියටය, මක්නිසාද ඔවුහු ශුද්ධලියවිලි සමඟ පොරබදින්නෝය, තවද ඒවා තේරුම් නොගන්නෝය.

64 එසේහෙයින්, මෙම මහත් අභිරහස මම ඔවුන් හට පෙන්වා දෙන්නෙමි;

65 මක්නිසාද, බලන්න, ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩිකර නොගන්නේ නම්, කිකිළියක් ඇයගේ පැටවුන් ඇයගේ පියාපත් යටතට රැස්කරගන්නාක් මෙන් මම ඔවුන්ව එක්කර ගන්නෙමි;

66 එසේය, ඔවුන් පැමිණෙන්නේ නම්, ඔවුහු ජීවනයේ ජලය නොමිලයේ භුක්ති විඳින්නෝය.

67 බලන්න, මාගේ දහම මෙය වන්නේය—කවරෙකු වුවත් පසුතැවිලි වී මා වෙතට පැමිණෙන්නේ නම්, ඔහු මාගේ සභාව වන්නේය.

68 කවරෙකු වුවත් මෙයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ප‍්‍රකාශ කරන්නේ නම්, එවැන්නා මාගෙන් නොවන්නේය, එහෙත් මට විරුද්ධ වන්නේය; එසේහෙයින් ඔහු මාගේ සභාවෙන් නොවන්නේය.

69 තවද දැන්, බලන්න, මාගේ සභාවේ කවරෙකු වුවත්, මාගේ සභාවේ අවසානය දක්වා දරාගන්නේ නම්, ඔහුව මාගේ පර්වතයෙහි මම පිහිටුවන්නෙමි, තවද ඔවුන්ට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත.

70 තවද දැන්, නුඹගේ මිදුම්කරුවාණන්ද, නුඹගේ ස්වාමින්වහන්සේ සහ නුඹගේ දෙවියන්වහන්සේද, ලෝකයේ ජීවනයද, ආලෝකයද වන්නා වූ උන්වහන්සේගේ වචන මතකතබාගන්න. ආමෙන්.