අත්පොත් සහ කැඳවීම්
1. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ ඔබේ කාර්යභාරය


“1. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ ඔබේ කාර්යභාරය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“1. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් නිවසක් තනමින්

1.

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ ඔබේ කාර්යභාරය

1.0

හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීමට ඔබව කැඳවා ඇත. ඔබගේ සේවයට ස්තූතියි. ඔබ ඇදහිලිවන්තව සේවය කරන විට ඔබ ජීවිතවලට ආශිර්වාද කරන අතර ප්‍රීතිය අත්විඳිනු ඇත.

ක්‍රිස්තුස්වහන්සේ මෙන් සේවය කිරීමේ ප්‍රතිපත්ති ඉගෙන ගැනීමට සහ ඔබේ වගකීම් තේරුම් ගැනීමට මෙම අත්පොත ඔබට උපකාර කරයි. සභාවේ ඔබගේ සේවය පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යය සමඟ සමපාත කරන විට ඔබ වඩාත් ඵලදායී වනු ඇත.

1.1

දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම

අපට ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු ආශිර්වාද භුක්ති විඳීමට හැකිවන පරිදි උන්වහන්සේ විසින් ප්‍රීතියේ සැලැස්ම ලබාදුන්නේය. උන්වහන්සේගේ කාර්යය සහ මහිමය වන්නේ “මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි” (මෝසෙස් 1:39).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු දෙවියන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රයයි. ස්වර්ගික පියාණන්වහන්සේට අප වෙනුවෙන් ඇති අපරිමිත ප්‍රේමය නිසා, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයෙන් අපව පාපයෙන් හා මරණයෙන් මුදවා ගැනීමට උන්වහන්සේ තම පුත්‍රයාණන්ව එවූවේය (බලන්න යොහන් 3:16). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පොළොවේ උපන් අප සෑම කෙනෙකුම නැවත නැගිට අමරණීයභාවය ලබා ගන්නා බව සහතික කරයි. උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා අපට පාපයෙන් පවිත්‍ර වීමටත්, සදාකාල ජීවනය සහ ප්‍රීතියෙන් පූර්ණත්වය ලබා ගත හැකි වන පරිදි අපගේ හදවත් වෙනස් කර ගැනීමටත් හැකියාව ලබාදෙයි.

සදාකාල ජීවනය ලබාගැනීමට නම් අපි “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ විය යුතුමයි” (මොරෝනි 10:32).

1.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය

අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට සහ අන් අයටත් ඒ දේ කිරීමට උදව් කරන විට, අපි දෙවියන්වහන්සේගේ ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වන්නෙමු. මෙම කාර්යය මෙහෙයවනු ලබන්නේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ඨ ආඥා දෙක මගිනි (බලන්න මතෙව් 22:37–39).

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය දිව්‍යමය වශයෙන් පත්කර ඇති වගකීම් හතරක් කෙරෙහි අවධානය යොමු කරයි.

දෙවියන්වහන්සේගේ කාර්යයේ මෙම පැති හතර තේරුම් ගැනීමට මෙම අත්පොත ඔබට උපකාර වනු ඇත. ඒවා ඉටු කිරීමට ඔබ ඔබේ කොටස කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට මගපෙන්වනු ඇත (බලන්න 2 නෙපී 32:5).

1.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමට ඇතුළත් වන දේවල්:

  • ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, දිනපතා පසුතැවිලි වීම, ගැලවීම සහ උත්කර්ෂවත් කිරීම පිළිබඳ නියෝග අපට ලැබෙන විට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම සහ එම ගිවිසුම් පවත්වා ගනිමින් අවසානය දක්වා විඳදරාගැනීම (බලන්න 3.5.1).

  • නිවසේදී සහ සභාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනීම සහ ඉගැන්වීම.

  • ආත්මිකව සහ ලෞකිකව යන ආකාර දෙකෙන්ම අප වෙනුවෙන් සහ අපගේ පවුල් වෙනුවෙන් සැපයීමේදී ස්වාධීන වීම.

1.2.2.

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමට ඇතුළත් වන දේවල්:

  • පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවන්ට සේවය කිරීම සහ දේවසේවය කිරීම.

  • අවශ්‍යතා ඇති අය සමඟ සභාවේ ආධාර ඇතුළු සම්පත් බෙදාගැනීම.

  • අනෙක් අයට ස්වාධීන වීමට උපකාර කිරීම.

1.2.3.

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීමට ඇතුළත් වන දේවල්:

  • ධර්මදූත කාර්යයට සහභාගී වීම සහ ධර්මදූතවරුන් ලෙස සේවය කිරීම.

  • නව සහ නැවත පැමිණෙන සභා සාමාජිකයින්ට ගිවිසුම් මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට උපකාර කිරීම.

1.2.4.

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීමට ඇතුළත් වන දේවල්:

  • අප අපගේම දේවමාළිගා නියෝග ලබාගන්නා විට ගිවිසුම් ඇතිකර ගැනීම.

  • අපගේ මියගිය මුතුන් මිත්තන් සොයා ගැනීම සහ ඔවුන්ට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගත හැකි වන පරිදි ඔවුන් සඳහා දේවමාළිගාවේ නියෝග ඉටුකිරීම.

  • හැකි සෑම විටම දේවමාළිගාවට ගොස් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේගේ දරුවන් උදෙසා නියෝග ඉටුකිරීම.

1.3

සභාවේ අරමුණ

පුද්ගලයන්ට සහ පවුල්වලට ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය කිරීමට හැකිවන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සභාව පිහිටුවූයේය (බලන්න එපීස 4:11–13; මෙම අත්පොතෙහි 2.2 ද බලන්න). මෙම දිව්‍යමය අරමුණ ඉටු කිරීමට උපකාර කිරීම සඳහා, සභාව සහ එහි නායකයින් පහත සඳහන් දේවල් සපයයි:

  • පූජකවර අධිකාරිත්වය සහ යතුරු.

  • ගිවිසුම් සහ නියෝග.

  • දිවැසිවර මගපෙන්වීම.

  • ශුද්ධලියවිලි.

  • ශුභාරංචිය ඉගෙනීමට සහ ඉගැන්වීමට සහාය.

  • සේවා සහ නායකත්ව අවස්ථා.

  • ශුද්ධවන්තයින්ගේ ප්‍රජාවක්.

1.3.1.

පූජකවර අධිකාරිත්වය සහ යතුරු

පූජකවරය තුළින් දෙවියන්වහන්සේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කරයි. පොළොව මත දෙවියන්වහන්සේගේ කාර්යය මෙහෙයවීමට අවශ්‍ය පූජකවර අධිකාරිත්වය සහ යතුරු අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වෙත නැවත පිහිටුවන ලදි (බලන්න දහම සහ ගිවිසුම් 110:11–16; 112:30). අද සභා නායකයින් විසින් මෙම යතුරු දරා සිටිති. ඔවුන් දෙවියන්වහන්සේගේ කාර්යයට සහාය වීමට අනෙක් අයව කැඳවා බලය පවරයි (බලන්න දහම සහ ගිවිසුම් 107:8, 65–67).

1.3.2.

ගිවිසුම් සහ නියෝග

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ, බව්තීස්මය වැනි ගැලවීම සහ උත්කර්ෂවත් වීමේ නියෝග අපට ලැබෙන විට අපි ගිවිසුම් ඇති කරගනිමු (බලන්න යොහන් 3:5; මෙම අත්පොතෙහි 18 වෙනි පරිච්ඡේදය ද බලන්න). මෙම ගිවිසුම් සහ නියෝග අපට තව තවත් දෙවියන්වහන්සේ හා සමාන වීමටත්, උන්වහන්සේ ඉදිරියෙහි නැවත වාසය කිරීමටත් අත්‍යවශ්‍ය වේ (බලන්න දහම සහ ගිවිසුම් 84:19–22).

1.3.3.

දිවැසිවර මගපෙන්වීම

උන්වහන්සේගේ තෝරාගත් අනාගතවක්තෘවරුන් හරහා දෙවියන්වහන්සේ සත්‍යය හෙළි කරන අතර දේවානුභාවයෙන් යුත් මගපෙන්වීම් සහ අනතුරු ඇඟවීම් සපයයි (බලන්න ආමොස් 3:7; දහම සහ ගිවිසුම් 1:4). මෙම මගපෙන්වීම සදාකාල ජීවනයට යන මාවතට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට අපට උපකාර කරයි.

1.3.4.

ශුද්ධලියවිලි

ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ මගපෙන්වීම යටතේ, සභාව විසින් ශුද්ධලියවිලිවල සොයාගන්නට ලැබෙන දෙවියන්වහන්සේගේ වචනය සපයා දෙන අතරම ඒවා ආරක්ෂා කරයි. ශුද්ධලියවිලි ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි, උන්වහන්සේගේ ශුභාරංචිය උගන්වයි, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට අපට උපකාර කරයි (බලන්න යාකොබ් 7:10–11; හිලමන් 15:7).

1.3.5

ශුභාරංචිය ඉගෙනීමට සහ ඉගැන්වීමට සහාය

ශුභාරංචියේ සත්‍යයන් ඉගෙනගැනීමට සහ පවුලේ සාමාජිකයින්ට සහ අනෙකුත් අයට මෙම සත්‍ය ඉගැන්වීමට ඔවුන්ට ඇති වගකීම කෙරෙහි සභාව පුද්ගලයින්ට සහ පවුල්වලට සහාය දක්වයි (බලන්න දහම සහ ගිවිසුම් 88:77–78, 118; මෙම අත්පොතෙහි 2.2.3 ද බලන්න).

1.3.6

සේවා සහ නායකත්ව අවස්ථා

සභාවේ කැඳවීම් සහ පැවරුම් හරහා, දෙවියන්වහන්සේ සාමාජිකයින්ට සේවය කිරීමට සහ නායකත්වය දීමට අවස්ථාව ලබා දෙයි. අවශ්‍යතා ඇති සාමාජිකයින්ට රැකවරණය දීමට සහ අන් අයට මානුෂීය සහන ලබා දීමට සභාව විසින් අවශ්‍ය දේවල් සපයයි (බලන්න මොසායා 18:27–29).

1.3.7

ශුද්ධවන්තයින්ගේ ප්‍රජාවක්

ශුද්ධවන්තයින්ගේ ප්‍රජාවක් ලෙස, සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමටත්, සක්‍රමේන්තුවට පංගුකාර වීමෙන් ගැලවුම්කරුවාණන් සිහි කිරීමටත් නිතිපතා රැස් වේ (බලන්න මොරෝනි 6:4–6; දහම සහ ගිවිසුම් 20:77). සාමාජිකයන් ද එකිනෙකා පිළිබඳ සැලකිලිමත් වෙමින් දේවසේවය කරයි (බලන්න එපීස 2:19).

1.4

දෙවියන්වහන්සේගේ කාර්යයෙහි ඔබේ කාර්යභාරය

සභාවේ නායකයෙකු ලෙස ඔබව කැඳවා ඇත්තේ, ඔබ සේවය කරන අය ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ යෙදෙන විට ඔවුන්ට ඉගැන්වීමට සහ සහාය වීමට ය (බලන්න 1.2). ඔබගේ කැඳවීම ඉටු කිරීමට සහ “උද්‍යෝගයෙන් දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වීමට” ඔබ වගකිව යුතුය (යාකොබ් 1:19). ස්වාමින්වහන්සේ සමඟ උන්වහන්සේගේ මිදි වත්තේ වැඩ කිරීම ඔබට මහත් ප්‍රීතියක් ගෙන එනු ඇත (බලන්න යාකොබ් 5:70–72).

දෙවියන්වහන්සේගේ කාර්යය, උන්වහන්සේ ඔබට කිරීමට ආරාධනා කරන දේ සහ උන්වහන්සේගේ සභාවේ අරමුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම, ක්‍රිස්තුස්වහන්සේ වෙත ප්‍රාණයන් ගෙන ඒම සඳහා ඔබේ උත්සාහය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට උපකාර වනු ඇත.

මෙම පරිච්ඡේදයේ ඇති මූලධර්ම වෙත නිතර යොමු වන්න. ඔබ සේවය කරන අයගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ අරමුණු ඉටු කිරීමට ඔබට උපකාර කළ හැකි ආකාරය දැනගැනීමට යාච්ඤාවෙන් යුතුව උත්සාහ කරන්න. ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම් තුළින් දෙවියන්වහන්සේ ඔබව මෙහෙයවනු ඇත.