අත්පොත් සහ කැඳවීම්
38. සභාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ


“38. සභාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“38. සභාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

38.

සභාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

38.1

සභා සහභාගීත්වය

ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන සේක. “දෙවියන්වහන්සේට සියල්ලෝම එක හා සමානය” සහ “උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමෙහි පංගුකාරයන් වන ලෙස” උන්වහන්සේ සියල්ලන්ටම ආරාධනා කරන සේක (2 නෙපී 26:33).

38.1.1

සභාවේ රැස්වීම්වල පැමිණීම්

සක්‍රමේන්තු රැස්වීම්, අනෙකුත් ඉරිදා රැස්වීම් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සමාජ සිදුවීම් වලට සහභාගී වීමට සියලු දෙනාවම සාදරයෙන් පිළිගනිමු. පැමිණෙන සියලු දෙනාම එම පූජනීය ස්ථානයට ගරු කරන බව සහතික කිරීම මුලසුන දරන නිලධාරියාගේ වගකීම වේ.

සහභාගි වන අය නමස්කාරයට හෝ රැස්වීමේ වෙනත් අරමුණුවලට පටහැනි කඩා කප්පල් කිරීම් හෝ බාධා කිරීම් වළක්වා ගත යුතුය. විවිධ සභා රැස්වීම් සහ සිදුවීම්වලට අදාළ සියලුම වයස් සහ හැසිරීම් අවශ්‍යතාවලට ගරු කළ යුතුය. ඒ සඳහා ප්‍රකාශිත ආදර හැසිරීම්වලින් සහ අවධානය වෙනතකට යොමු කරන ඇඳුම් පැළඳුම් හෝ හැඩගැන්වීම්වලින් වැළකී සිටීම අවශ්‍ය වේ. ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කරන රැස්වීම්වලින් ඈත් වන ආකාරයෙන් දේශපාලන ප්‍රකාශ කිරීම හෝ ලිංගික දිශානතිය හෝ වෙනත් පෞද්ගලික ලක්ෂණ ගැන කතා කිරීම ද එමගින් වළක්වයි.

එහි යම් නුසුදුසු හැසිරීමක් තිබේ නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා ප්‍රේමයේ ආත්මයකින් යුතුව පෞද්ගලිකව උපදෙස් ලබා දෙයි. එලෙස අවස්ථාවට නුසුදුසු ලෙස හැසිරීම් ඇති අයට, ස්වර්ගීය පියාණන්වහන්සේට සහ ගැලවුම්කරුවාණන්ට නමස්කාර කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පැමිණ සිටින සෑම දෙනාටම පූජනීය අවකාශයක් පවත්වා ගැනීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු දිරිමත් කිරීම් ලබාදෙයි.

සභා රැස්වීම් ශාලා සභාවේ ප්‍රතිපත්තිවලට යටත්ව පෞද්ගලික දේපළ ලෙස පවතී. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අකමැති පුද්ගලයින්ගෙන්, සභාවේ රැස්වීම් සහ විශේෂ අවස්ථා වලට සහභාගී නොවන ලෙස ගෞරවනීය ආකාරයෙන් ඉල්ලා සිටිනු ඇත.

38.2

නියෝග සහ ආශිර්වාද සඳහා ප්‍රතිපත්ති

නියෝග සහ ආශිර්වාද පිළිබඳ සාමාන්‍ය තොරතුරු 18 වෙනි පරිච්ඡේදයේ සපයා ඇත. දේවමාළිගා නියෝග පිළිබඳ තොරතුරු 27 වෙනි සහ 28 වෙනි පරිච්ඡේදවල සපයා ඇත. සභානායකවරුන්ට ප්‍රශ්න ඇත්නම් ඔවුන්ට ස්ටේක සභාපතිවරයාව සම්බන්ධ කර ගැනීමට හැකිය. ස්ටේක සභාපතිවරුන්ට ප්‍රශ්න ඇත්නම් ඔවුන්ට ප්‍රාදේශීය සභාපතිවරයාව සම්බන්ධ කර ගැනීමට හැකිය.

38.3

සිවිල් විවාහය

දේවමාළිගා විවාහයකට සුදුසු වීමට සහ දේවමාළිගාවක විවාහ වී මුද්‍රා වීමට සභාවේ නායකයන් විසින් සාමාජිකයන්ව දිරිමත් කරනු ලබති. දේශීය නීති මගින් අවසර දී ඇත්නම්, සභාවේ නායකයින්ට සිවිල් විවාහයන් සිදු කළ හැකිය.

විවාහය සිදු කරන ස්ථානයේ නීතියට අනුකූලව සිවිල් විවාහයන් සිදු කළ යුතුය.

38.3.1

සිවිල් විවාහයක් ඉටුකළ හැක්කේ කාටද

දේශීය නීතියෙන් අවසර දී ඇති විට, දැනට සේවය කරන පහත සඳහන් සභා නිලධාරීන්ට සිවිල් විවාහ පිළිවෙතක් සිදු කිරීමේදී ඔවුන්ගේ කැඳවීම තුළ ක්‍රියා කළ හැකිය:

  • ධර්මදූත සභාපතිවරයා

  • ස්ටේක සභාපතිවරයා

  • දිස්ත්‍රික්ක සභාපතිවරයා

  • සභානායකවරයා

  • ශාඛා සභාපතිවරයා

මෙම නිලධාරීන්ට සිවිල් විවාහයක් සිදු කළ හැක්කේ පිරිමියෙකු සහ කාන්තාවක් අතර පමණි. පහත සඳහන් සියලුම කොන්දේසි ද අදාළ විය යුතුය:

  • මනාලිය හෝ මනාලයා සභාවේ සාමාජිකයෙකු විය යුතුය නැතිනම් බව්තීස්ම දිනයක් තිබිය යුතුය.

  • මනාලියගේ හෝ මනාලයාගේ සාමාජික වාර්තාව හෝ බව්තීස්මයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ වාර්තාව, එම නිලධාරියා මුලසුන දරන සභා ඒකකයේ විය යුතුය.

  • සභා නිලධාරියාට විවාහය සිදුවන අධිකරණ බල ප්‍රදේශයේ සිවිල් විවාහයක් සිදුකිරීමට නීත්‍යානුකූලව බලය තිබිය යුතුය.

38.3.4

සභා ගොඩනැගිලිවල පවත්වන සිවිල් විවාහ

සභාවේ සාමාන්‍ය කාර්යයන් හි කාලසටහනට බාධාවක් නොවන්නේ නම් සභා ගොඩනැගිල්ලක මංගල උත්සවයක් පැවැත්විය හැකිය. මංගල උත්සව සබත් දින හෝ සඳුදා සවස නොපැවැත්විය යුතුය. සභා ගොඩනැගිලිවල පවත්වන මංගල උත්සව සරල හා ගෞරවනීය විය යුතුය. සංගීතය පූජනීය, ගෞරවනීය සහ ප්‍රීතිමත් විය යුතුය.

විවාහ මංගල උත්සව දේවස්ථානයේ, සංස්කෘතික ශාලාවේ හෝ වෙනත් සුදුසු කාමරයක සිදු කළ හැකිය. විවාහ පැවැත්වීමේදී සභා ශාලාවේ නිසි භාවිතය සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

38.3.6

සිවිල් විවාහ පිළිවෙත

සිවිල් විවාහයක් සිදු කිරීම සඳහා, සභාවේ නිලධාරියා එම යුවළ අමතා මෙසේ පවසයි, “කරුණාකර දකුණු අතින් එකිනෙකාව අල්ලා ගන්න.” ඉන්පසු ඔහු මෙසේ පවසයි, “[මනාලයාගේ සම්පූර්ණ නම] සහ [මනාලියගේ සම්පූර්ණ නම], ඔබ දෙවියන්වහන්සේ සහ මේ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ දැන් ඇතුල් වන භාරයේ හස්ත සංඥාවක් ලෙස එකිනෙකාව දකුණු අතින් අල්ලාගෙන ඇත.” (යුවළට මෙම සාක්ෂිකරුවන්ව නියමිත වේලාවට පෙර තෝරා ගැනීමට හෝ නම් කිරීමට හැකිය.)

ඉන්පසු එම නිලධාරියා මනාලයාව අමතමින් මෙසේ අසයි, “[මනාලයාගේ සම්පූර්ණ නම], වන ඔබ [මනමාලියගේ සම්පූර්ණ නම] යන අයව ඔබේ නීත්‍යානුකූල විවාහක භාර්යාව ලෙස ලබාගන්නේද, ඔබ ඔබේ කැමැත්තෙන් සහ තෝරාගැනීමෙන් ඇයගේ සහකරු සහ නීත්‍යානුකූලව විවාහ වූ ස්වාමිපුරුෂයා ලෙස, ඔබ ඇයට මිස වෙන කිසිවෙකුට ඇලුම් නොවන බවට පොරොන්දු වෙනවාද; එනම් විවාහයේ ශුද්ධ වූ තත්වයට අදාළ සියලුම නීති, වගකීම් සහ බැඳීම් ඔබ තබාගන්නා බවත්; එමෙන්ම ඔබ දෙදෙනා ජීවත්ව සිටින තාක් කල් ඔබ ඇයට ආදරය කර, ගෞරව කර සහ රැක බලාගන්නා බවටත් පොරොන්දු වෙනවාද?”

මනාලයා මෙසේ පිළිතුරු දෙයි, “ඔව්” හෝ “මම එසේ කරමි.”

ඉන්පසු එම සභා නිලධාරියා මනාලියව අමතමින් මෙසේ අසයි, “[මනමාලියගේ සම්පූර්ණ නම], වන ඔබ [මනාලයාගේ සම්පූර්ණ නම] යන අයව ඔබේ නීත්‍යානුකූල විවාහක ස්වාමිපුරුෂයා ලෙස ලබාගන්නේද, ඔබ ඔබේ කැමැත්තෙන් සහ තෝරාගැනීමෙන් ඔහුගේ සහකාරිය සහ නීත්‍යානුකූලව විවාහ වූ භාර්යාව ලෙස, ඔබ ඔහුට මිස වෙන කිසිවෙකුට ඇලුම් නොවන බවට පොරොන්දු වෙනවාද; එනම් විවාහයේ ශුද්ධ වූ තත්වයට අදාළ සියලුම නීති, වගකීම් සහ බැඳීම් ඔබ තබාගන්නා බවත්; එමෙන්ම ඔබ දෙදෙනා ජීවත්ව සිටින තාක් කල් ඔබ ඔහුට ආදරය කර, ගෞරව කර සහ රැක බලාගන්නා බවටත් පොරොන්දු වෙනවාද?”

මනාලිය මෙසේ පිළිතුරු දෙයි, “ඔව්” හෝ “මම එසේ කරමි.”

සභා නිලධාරියා පසුව යුවළ අමතා මෙසේ පවසයි, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ වැඩිහිටියෙකු ලෙස මා වෙත පැවරී ඇති නෛතික බලය අනුව, මම [මනාලයාගේ නම] සහ [මනාලියගේ නම], යන ඔබව ඔබගේ ලෞකික ජීවිත කාලය පුරා නීත්‍යානුකූලව සහ නෛතිකව විවාහ වූ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස ප්‍රකාශ කරමි”

(සභාවේ මුලසුන දරන නිලධාරියෙකු ලෙස සේවය නොකරන පූජකයෙකු සඳහා විකල්ප වචන: “[මිලිටරි හෝ සිවිල් සංවිධානයේ ශාඛාවේ] පූජකයෙකු ලෙස මා වෙත පැවරී ඇති නෛතික බලය අනුව, මම [මනාලයාගේ නම] සහ [මනමාලියගේ නම] යන ඔබව ඔබගේ ලෞකික ජීවිත කාලය පුරා නීත්‍යානුකූලව සහ නෛතිකව විවාහ වූ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස ප්‍රකාශ කරමි.”)

“දෙවියන්වහන්සේ ඔබගේ මේ එක්වීමටත්, ඔබගේ මතු පරම්පරාවේ ප්‍රීතිය සඳහා සහ එකට එක්ව සතුටින් දිගු ජීවිතයක් ගත කිරීම සඳහාත් ආශිර්වාද කරනු ලැබේවා, එමෙන්ම ඔබ තබාගත් පොරොන්දු තබාගැනීමට ඔබට උන්වහන්සේ ආශිර්වාද කරනු ලැබේවා. මම ඔබ මත මෙම ආශිර්වාද ඉල්ලා සිටින්නේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස එකිනෙකා සිප ගැනීමට ආරාධනා කිරීම සංස්කෘතික සම්මතයන් මත පදනම් වේ.

38.4

මුද්‍රා තැබීමේ ප්‍රතිපත්ති

සාමාජිකයින් දේවමාළිගාවේ මුද්‍රා වීමේ නියෝග ලබාගන්නා විට තබන ගිවිසුම් වලට ගෞරව කිරීමට වෙහෙස වන්නේ නම්, මෙම නියෝග සදාකාලිකව පවුල් එක් කරයි. මුද්‍රා වීමේ නියෝග වලට ඇතුළත් වන දේවල්:

  • ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක් මුද්‍රා තැබීම.

  • දරුවන්ව දෙමාපියන්ට මුද්‍රා තැබීම.

ඔවුන්ගේ ගිවිසුම් රකින අය, මුද්‍රා වීමේදී ලබා දෙන පුද්ගලික ආශිර්වාද රඳවා ගනු ඇත. එම පුද්ගලයාගේ සහකරු හෝ සහකාරිය ගිවිසුම් කඩ කර ඇතත් හෝ විවාහයෙන් ඉවත් වී ඇතත් මෙය සත්‍යයක් වේ.

දෙමව්පියන්ට මුද්‍රා වී ඇති හෝ ගිවිසුමේ උපන් ඇදහිලිවන්ත දරුවන් සදාකාලික දෙමාපියභාවයේ ආශිර්වාදය රඳවා ගනිති. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහ මුද්‍රා වීම අවලංගු කළත්, ඔවුන්ගේ සභා සාමාජිකත්වය ඉවත් කළත්, හෝ ඔවුන්ගේ සාමාජිකත්වය ඉල්ලා අස් කරගෙන තිබුණත් මෙය සත්‍යයක් වේ.

සාමාජිකයින්ට මුද්‍රා වීමේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න ඇත්නම් ඔවුන්ගේ සභානායාකවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. සභානායකවරයාට ප්‍රශ්න ඇත්නම් ඔහු ස්ටේක සභාපතිවරයා හා සම්බන්ධ වේ. ස්ටේක සභාපතිවරුන්ට ප්‍රශ්න ඇත්නම්, ඔවුන්ට ඔවුන්ගේ දේවමාළිගා දිස්ත්‍රික්කයේ දේවමාළිගා සභාපතිත්වය, ප්‍රාදේශීය සභාපතිත්වය හෝ පළමු සභාපතිත්ව කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.

38.5

දේවමාළිගා ඇඳුම් සහ වස්ත්‍ර

38.5.1

දේවමාළිගා ඇඳුම්

දේවමාළිගාවේ බලයෙන් සැරසීමේ සහ මුද්‍රා තැබීමේ නියෝග අතරතුර, සභාවේ සාමාජිකයින් සුදු ඇඳුම් අඳිති. කාන්තාවන් පහත සඳහන් සුදු ඇඳුම් අඳිති: දිගු අත් හෝ තුන් කාලක අත් සහිත ගවුමක් (හෝ සායක් සහ තුන් කාලක අත් සහිත හැට්ටයක්), මේස් හෝ මේස් ඇඳුම, සහ සපත්තු හෝ සෙරෙප්පු.

පිරිමින් පහත සඳහන් සුදු ඇඳුම් අඳිති: දිගු අත් සහිත කමිසයක්, ටයිපටියක් හෝ බෝ ටයිපටියක්, කලිසම්, මේස්, සහ සපත්තු හෝ සෙරෙප්පු.

බලයෙන් සැරසීමේ සහ මුද්‍රා වීමේ නියෝග අතරතුර, සාමාජිකයින් ඔවුන්ගේ සුදු ඇඳුම්වලට අමතරව චාරිත්‍රානුකූල ඇඳුම් ඇඳ සිටිති.

38.5.2

දේවමාළිගා ඇඳුම් සහ වස්ත්‍ර ලබාගැනීම

කොට්ඨාශ සහ ස්ටේක නායකයින් විසින් බලයෙන් සැරසුණු සාමාජිකයින්ට ඔවුන්ගේම දේවමාළිගා ඇඳුම් ලබාගන්නා ලෙස දිරිමත් කරති. දේවමාළිගාවේ ඇඳුම් සහ දේවමාළිගා වස්ත්‍ර සභා බෙදාහැරීමේ වෙළඳසැලකින් හෝ පහත සබැඳිය ඔස්සේ මිලදී ගත හැකිය store.ChurchofJesusChrist.org. සාමාජිකයින්ට ඇඳුම් ඇණවුම් කිරීමට ස්ටේක සහ කොට්ඨාශ ලිපිකරුවන්ට උපකාර කළ හැකිය.

38.5.5

දේවමාළිගා වස්ත්‍රය ඇඳීම සහ ඒවා රැකබලා ගැනීම

බලයෙන් සැරසීම ලබන සාමාජිකයින් තම ජීවිත කාලය පුරාම දේවමාළිගා වස්ත්‍රය ඇඳීමට ගිවිසුමක් ඇති කර ගනිති.

දේවමාළිගා වස්ත්‍රය ඇඳීම පූජනීය වරප්‍රසාදයකි. එසේ කිරීම ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඇති අභ්‍යන්තර කැපවීමක බාහිර ප්‍රකාශනයකි.

දේවමාළිගා වස්ත්‍රය යනු දේවමාළිගාවේ ඇති කරගත් ගිවිසුම් සිහිගැන්වීමකි. ජීවිත කාලය පුරාම නිසි ලෙස පැළඳ සිටින විට, එය ආරක්ෂාවක් ලෙස සේවය කරනු ඇත.

දේවමාළිගා වස්ත්‍රය පිටත ඇඳුම් යටින් ඇඳිය යුතුය. දේවමාළිගා වස්ත්‍රය අඳින්නේ යට ඇඳුම් වලට උඩින් ද යටින් ද යන තීරණය පෞද්ගලික අභිමතය පරිදි වේ.

දේවමාළිගා වස්ත්‍රය ඇඳ සිටින විට සාධාරණව කළ හැකි ක්‍රියාකාරකම් සඳහා දේවමාළිගා වස්ත්‍රය ඉවත් නොකළ යුතුය. විවිධ ඇඳුම් විලාසිතාවන්ට ගැලපෙන පරිදි එය වෙනස් නොකළ යුතුය.

දේවමාළිගා වස්ත්‍රය පූජනීය වන අතර එයට ගෞරවයෙන් සැලකිය යුතුය. බලයෙන් සැරසුණු සාමාජිකයින් දේවමාළිගා වස්ත්‍රය ඇඳීම පිළිබඳ පෞද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු දීමට ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම ලබාගත යුතුය.

38.5.7

දේවමාළිගා වස්ත්‍ර සහ චාරිත්‍රානුකූල දේවමාළිගා ඇඳුම් බැහැර කිරීම

දිරාගිය දේවමාළිගා වස්ත්‍ර බැහැර කිරීමට පෙර, සාමාජිකයන් විසින් එහි සලකුණු කපා විනාශ කළ යුතුය. එය දේවමාළිගා වස්ත්‍රයක් ලෙස හඳුනාගත නොහැකි ලෙස සාමාජිකයින් විසින් ඉතිරි රෙදි කපා දැමිය යුතුය. ඉතිරි රෙදි ඉවත දැමිය හැකිය.

සාමාජිකයින්ට හොඳ තත්ත්වයේ දේවමාළිගා වස්ත්‍ර සහ දේවමාළිගා ඇඳුම් අනෙකුත් බලයෙන් සැරසුණු සාමාජිකයින්ට ලබා දිය හැකිය.

38.5.8

භූමදාන කිරීම සඳහා දේවමාළිගා ඇඳුම්

හැකි නම්, බලයෙන් සැරසී ඇති මියගිය සාමාජිකයින්ව තැන්පත් කිරීම හෝ ආදාහනය කිරීම කළ යුත්තේ දේවමාළිගා ඇඳුමෙන් සරසා ය. සංස්කෘතික සම්ප්‍රදායන් හෝ සොහොන් පිළිවෙත් නිසා මෙය නුසුදුසු හෝ දුෂ්කර වේ නම්, එම ඇඳුම් නවා සිරුර අසල තැබිය හැකිය.

පිරිමි පුද්ගලයෙකුගේ ශරීරය දේවමාළිගා වස්ත්‍රවලින් සහ පහත සඳහන් සුදු ඇඳුම් වලින් සරසා තැබිය යුතුය: දිගු අත් සහිත කමිසයක්, ටයිපටියක් හෝ බෝ ටයිපටියක්, කලිසම්, මේස්, සහ සපත්තු හෝ සෙරෙප්පු. කාන්තාවකගේ ශරීරය දේවමාළිගා වස්ත්‍ර සහ පහත සඳහන් සුදු ඇඳුම් වලින් සරසා තැබිය යුතුය: දිගු අත් හෝ තුන් කාලක අත් සහිත ගවුමක් (හෝ සායක් සහ තුන් කාලක අත් සහිත හැට්ටයක්), මේස් හෝ මේස් ඇඳුම, සහ සපත්තු හෝ සෙරෙප්පු.

වත්පිළිවෙත් වලට අදාළ දේවමාළිගා ඇඳුම් බලයෙන් සැරසීමේදී ලැබෙන උපදෙස් පරිදි ශරීරය මත තැබිය යුතුය. දකුණු උරහිස මත සළුව තබා වම් ඉණ මත එය පටියකින් බැඳ තබයි. ඉණ වැස්ම ඉණ වටා පළඳියි. ඉඟ පටිය ඉණ වටා තබා වම් උකුලට උඩින් ගැටයකින් බැඳ තබයි. පෙට්ටිය හෝ බහාලුම වසා දැමීමට කාලය පැමිණෙන තෙක්, සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙකුගේ තොප්පිය ඔහුගේ සිරුර අසල තබා තිබෙයි. එවිට තොප්පිය වම් කණට උඩින් ගැටයක් සමඟ තබයි. කාන්තාවකගේ වේලය ඇගේ හිස පිටුපස ඇති කොට්ටය මත ඇතිරිය හැකිය. පවුල විසින් තීරණය කරනු ලබන පරිදි, භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට පෙර කාන්තාවකගේ මුහුණ ආවරණය කිරීම විකල්පයකි.

38.6

සදාචාරාත්මක ගැටළු පිළිබඳ ප්‍රතිපත්ති

38.6.1

ගබ්සාව

ස්වාමින්වහන්සේ මෙසේ ආඥා කළ සේක, “මිනී නොමැරිය යුතුය, හෝ එවැනි ආකාර කිසිවක් නොකළ යුතුය” (දහම සහ ගිවිසුම් 59:6). සභාව පෞද්ගලික හෝ සමාජ පහසුව සඳහා තෝරාගත් ගබ්සාවට විරුද්ධ වේ. සාමාජිකයින් ගබ්සාවකට යටත් වීම, ඉටු කිරීම, සංවිධානය කිරීම, ගෙවීම, කැමැත්ත හෝ දිරිගැන්වීම නොකළ යුතුය. විය හැකි එකම ව්‍යතිරේකයන් වන්නේ:

  • බලහත්කාරයෙන් දූෂණය කිරීම හෝ ඥාතියෙකු සමඟ සබඳතාවයක් හේතුවෙන් ගැබ් ගැනීමක් සිදු වීම.

  • මවගේ ජීවිතය හෝ සෞඛ්‍යය බරපතල අනතුරකට ලක්ව ඇති බව දක්ෂ වෛද්‍යවරයෙක් තීරණය කිරීම.

  • කලලරූපයෙහි බරපතල අඩුපාඩු ඇති බවත් එමඟින් දරුවාට උපතින් ඔබ්බට ජීවත් වීමට ඉඩ නැති බව දක්ෂ වෛද්‍යවරයකු තීරණය කිරීම.

මෙම ව්‍යතිරේක පවා ගබ්සාව ස්වයංක්‍රීයව සාධාරණීකරණය නොකරයි. ගබ්සාව බරපතලම කාරණයකි. එය සලකා බැලිය යුත්තේ වගකිව යුතු පුද්ගලයින් යාච්ඤාව මගින් තහවුරු කර ගැනීමෙන් පසුව පමණි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස සාමාජිකයින්ට තම සභානායකවරුන් සමඟ සාකච්ඡා කළ හැකිය.

38.6.2

අපයෝජනය

අපයෝජනය යනු කායික, ලිංගික, චිත්තවේගීය හෝ මූල්‍යමය හානියක් ඇති කරන ආකාරයෙන් අන්‍යයන්ට අයුතු ලෙස සැලකීම හෝ නොසලකා හැරීමයි. සභාවේ ස්ථාවරය වන්නේ අපයෝජනය කිසිම ආකාරයකින් ඉවසිය නොහැකි බවයි. තම සහකරු හෝ සහකාරිය, දරුවන්, පවුලේ වෙනත් සාමාජිකයන් හෝ වෙනත් ඕනෑම කෙනෙක්ව අපයෝජනය කරන අය දෙවියන්වහන්සේගේ සහ මනුෂ්‍යයයාගේ නීති කඩ කරති.

සියලුම සාමාජිකයින්ව, විශේෂයෙන් දෙමාපියන්ව සහ නායකයින්ව, අවදියෙන් හා කඩිසරව සිටීමටත් එමෙන්ම ළමයින් සහ අනෙකුත් අයව අපයෝජනයෙන් ආරක්ෂා කිරීමට ඔවුන්ට කළ හැකි සියල්ල කිරීමටත් දිරිගන්වනු ලැබේ. අපයෝජන අවස්ථා පිළිබඳව සාමාජිකයින් දැනුවත් වුවහොත්, ඔවුන් එය සිවිල් බලධාරීන්ට වාර්තා කර සභානායකවරයා සමඟ සාකච්ඡා කරයි. සභා නායකයන් අපයෝජන වාර්තා බැරෑරුම් ලෙස ගත යුතු අතර කිසි විටෙකත් ඒවා නොසලකා හැරිය නොයුතුය.

ළමුන් හෝ යෞවනයින් සමඟ වැඩ කරන සියලුම වැඩිහිටියන් ඔවුන් ස්ථිර වී මාසයක් ඇතුළත, ළමා හා යෞවන ආරක්ෂණ පුහුණුව සම්පූර්ණ කළ යුතුය (බලන්න ProtectingChildren.ChurchofJesusChrist.org). ඔවුන් සෑම වසර තුනකට වරක් එම පුහුණුව නැවත කළ යුතුය.

අපයෝජනයක් සිදු වූ විට, සභාවේ නායකයින්ගේ පළමු සහ ක්ෂණික වගකීම වන්නේ අපයෝජනයට ලක් වූවන්ට උපකාර කිරීම සහ අනාගත අපයෝජනයන්ගෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කිරීමයි. නායකයින් යම් පුද්ගලයෙකුව, අපයෝජනයට ලක් වන හෝ අනාරක්ෂිත නිවසක හෝ තත්වයක සිටීමට දිරිමත් නොකළ යුතුය.

38.6.2.1

අපයෝජන උපකාරක අංකය

සමහර රටවල, සභාව විසින් ස්ටේක සභාපතිවරුන්ට සහ සභානායකවරුන්ට සහාය වීම සඳහා රහස්‍ය අපයෝජන උපකාරක අංකයක් පිහිටුවා ඇත. පුද්ගලයෙකු අපයෝජනයට ලක් වූ හෝ අපයෝජනයට ලක්වීමේ අවදානමක් ඇති සෑම අවස්ථාවකදීම මෙම නායකයින් වහාම උපකාරක අංකයට ඇමතිය යුතුය. සාමාජිකයෙකු විසින් ළමා අසභ්‍ය දර්ශන නැරඹීම, මිලදී ගැනීම හෝ බෙදා හැරීම පිළිබඳව ඔවුන් දැනුවත් වන්නේ නම් ඔවුන් ඒ සඳහා ද ඇමතිය යුතුය.

උපකාරක අංකයක් නොමැති රටවල, අපයෝජනය ගැන දැනගන්නා සභානායකවරයෙකු තම ස්ටේක සභාපතිවරයා හා සම්බන්ධ විය යුතුය. ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රදේශීය කාර්යාලයේ සිටින ප්‍රදේශීය නීති උපදේශකගෙන් මගපෙන්වීම් ලබා ගත යුතුය.

38.6.2.2

අපයෝජන අවස්ථා වලදී උපදේශනය

අපයෝජනයට ගොදුරු වූවන් බොහෝ විට බරපතල කම්පනයකට ලක් වේ. ස්ටේක සභාපතිවරුන් සහ සභානායකවරුන් හෘදයාංගම දයානුකම්පාවකින් සහ සංවේදනයකින් ප්‍රතිචාර දක්වති. වින්දිතයින්ට අපයෝජනයේ විනාශකාරී බලපෑම් ජය ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් අධ්‍යාත්මික උපදේශන සහ සහාය ලබා දෙති.

සමහර අවස්ථාවලදී වින්දිතයින්ට ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් ඇති වේ. වින්දිතයින් පාපයට වැරදිකරුවන් නොවේ. නායකයින් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලැබෙන සුවය තේරුම් ගැනීමට උපකාර කරති (බලන්න ඇල්මා15:8; 3 නෙපී 17:9).

ස්ටේක සභාපතිවරුන් සහ සභානායකවරුන් අපයෝජනය කළ අයට ඒ ගැන පසුතැවිලි වීමට සහ ඔවුන්ගේ අපවාදාත්මක හැසිරීම නැවැත්වීමට උපකාර කළ යුතුය. වැඩිහිටියෙකු දරුවෙකුට එරෙහිව ලිංගික පාපයක් කර ඇත්නම්, එම හැසිරීම වෙනස් කිරීම ඉතා අපහසු විය හැකිය. පසුතැවිලි වීමේ ක්‍රියාවලිය ඉතා දිගු විය හැකිය. බලන්න 38.6.2.3.

සභාවේ නායකයන්ගෙන් ලැබෙන දේවානුභාවයෙන් යුත් උපකාර වලට අමතරව, වින්දිතයන්, වැරදිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයට වෘත්තීය උපදේශන අවශ්‍ය විය හැකිය. විස්තර සඳහා, බලන්න 31.3.6.

38.6.2.3

ළමා හෝ යෞවන අපයෝජනය

ළමයෙකුව හෝ යෞවනයෙකුව අපයෝජනය කිරීම විශේෂයෙන් බරපතල පාපයකි (බලන්න ලූක් 17:2). මෙහි භාවිතා වන පරිදි, ළමා හෝ යෞවන අපයෝජනයට පහත සඳහන් දේ ඇතුළත් වේ:

  • ශාරීරික හිංසනය: ශාරීරික හිංසනය මගින් බරපතල ශාරීරික හානියක් සිදු කිරීම. සමහර හානි පෙනෙන්නට නොතිබිය හැකිය.

  • ලිංගික අපයෝජනය හෝ උපයෝජනය: ළමයෙකු හෝ යෞවනයෙකු සමඟ කිසියම් ලිංගික ක්‍රියාකාරකමක් පැවැත්වීම හෝ හිතාමතාම එවැනි ක්‍රියාකාරකමකට අනෙක් අයට ඉඩ දීම හෝ උපකාර කිරීම. මෙහි භාවිතා කර ඇති පරිදි, ලිංගික අපයෝජනයට ආසන්න වයසේ බාලවයස්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවන සම්මුතික ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් නොවේ.

  • චිත්තවේගීය අපයෝජනය: ළමයෙකුගේ හෝ යෞවනයෙකුගේ ආත්ම ගෞරවය හෝ ආත්ම-වටිනාකම පිළිබඳ හැඟීම බරපතල ලෙස හානි කිරීමට හේතු වන ක්‍රියා සහ වචන භාවිතා කිරීම. මෙයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ නැවත නැවත සහ දිගින් දිගටම අපහාස කිරීම්, හැසිරවීම් සහ අවමානයට ලක් කරන සහ පහත් කරන විවේචනයන් ය. එයට දැඩි නොසලකා හැරීමක් ද ඇතුළත් විය හැකිය.

  • ළමා කාමුක දර්ශන: බලන්න 38.6.6.

සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු ළමා හෝ යෞවන අපයෝජන ගැන දැන ගන්නේ නම් හෝ සැක කරන්නේ නම්, ඔහු වහාම 38.6.2.1 හි උපදෙස් අනුගමනය කරයි. තවදුරටත් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමට ඔහු ක්‍රියා කරයි.

මෙම කොටසේ විස්තර කර ඇති පරිදි වැඩිහිටි සාමාජිකයෙකු දරුවෙකුව හෝ යෞවනයෙකුව අපයෝජනය කර ඇත්නම් සභාවේ සාමාජික මන්ත්‍රණ සභාවක් සහ වාර්තා විවරණයක් අවශ්‍ය වේ. තවත් බලන්න 38.6.2.5.

බාලවයස්කරුවෙකු දරුවෙකු අපයෝජනය කර ඇත්නම්, ස්ටේක සභාපතිවරයා උපදෙස් සඳහා පළමු සභාපතිත්ව කාර්යාලය අමතයි.

38.6.2.4

කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීම

බොහෝ විට සෑම අවස්ථාවකදීම යෙදිය හැකි අපයෝජනයන් පිළිබඳ තනි නිර්වචනයක් නොමැත. ඒ වෙනුවට, අපවාදාත්මක හැසිරීම් වල බරපතලකමේ විවිධ ආකාර ඇත. මෙම විවිධ ආකාර ඉඳහිට තියුණු වචන භාවිතා කිරීමේ සිට බරපතල හානියක් සිදු කිරීම දක්වා විහිදේ.

කලත්‍රයෙකුව හෝ වෙනත් වැඩිහිටියෙකුව අපයෝජනය කිරීමක් ගැන සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු විසින් දැන ගන්නේ නම්, ඔහු 38.6.2.1 හි උපදෙස් කඩිනමින් අනුගමනය කරයි. තවදුරටත් අපයෝජනය වීමෙන් ආරක්ෂා කිරීමට ඔහු ක්‍රියා කරයි.

අපයෝජනයට පිළියම් යෙදීම සඳහා වඩාත් යෝග්‍ය සැකසුම පුද්ගලික උපදේශනය ද නැතහොත් සාමාජික මන්ත්‍රණ සභාවක් ද යන්න තීරණය කිරීමට නායකයින් ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයයි. එම සැකසුම ගැන ඔවුන්ගේ සෘජු පූජක නායකයා සමඟද ඔවුන්ට සාකච්ඡා කළ හැකිය. කෙසේ වෙතත්, කලත්‍රයෙකුට හෝ වෙනත් වැඩිහිටියෙකුට සිදුවන පහත විස්තර කර ඇති මට්ටම් දක්වා ඉහළ යන ඕනෑම අපයෝජනයක් සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් පැවැත්වීම අවශ්‍ය වේ.

  • ශාරීරික හිංසනය: ශාරීරික හිංසනය මගින් බරපතල ශාරීරික හානියක් සිදු කිරීම. සමහර හානි පෙනෙන්නට තිබිය නොහැකිය.

  • ලිංගික අපයෝජන: 38.6.18.3 හි නිශ්චිතව දක්වා ඇති තත්ත්වයන් බලන්න.

  • චිත්තවේගීය අපයෝජනය: යම් පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය හෝ ආත්ම-වටිනාකම පිළිබඳ හැඟීම බරපතල ලෙස හානි කිරීමට හේතු වන ක්‍රියා සහ වචන භාවිතා කිරීම. මෙයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ නැවත නැවත සහ දිගින් දිගටම අපහාස කිරීම්, හැසිරවීම් සහ අවමානයට ලක් කරන සහ පහත් කරන විවේචනයන් ය.

  • මූල්‍ය අපයෝජනය: යමෙකුගෙන් මුල්‍යමය වශයෙන් ප්‍රයෝජන ගැනීම. පුද්ගලයෙකුගේ දේපළ, මුදල් හෝ වෙනත් වටිනා දෑ නීති විරෝධී ලෙස හෝ අනවසරයෙන් භාවිතා කිරීම මෙයට ඇතුළත් විය හැකිය. යමෙකු කෙරෙහි වංචනික ලෙස මූල්‍ය බලය ලබා ගැනීම ද එයට ඇතුළත් විය හැකිය. බලහත්කාර හැසිරීම සඳහා මූල්‍ය බලය භාවිතා කිරීම එයට ඇතුළත් විය හැකිය.

38.6.2.5

සභාවේ කැඳවීම්, දේවමාළිගා නිර්දේශ, සහ සාමාජික වාර්තා සටහන්

අනෙක් අයව අපයෝජනය කළ සාමාජිකයින්ට සභාවේ කැඳවීම් ලබා නොදිය යුතු අතර, ඔවුන් පසුතැවිලි වී සභා සාමාජික සීමාවන් ඉවත් කරන තුරු දේවමාළිගා නිර්දේශයක් නොතිබිය යුතුය.

යම් පුද්ගලයෙකු ළමයෙකුව හෝ යෞවනයෙකුව ලිංගිකව හෝ බරපතල ලෙස ශාරීරිකව හෝ චිත්තවේගීයව අපයෝජනය කළේ නම්, ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්ව වාර්තාවේ සටහන් තබනු ලැබේ. ඔහුට හෝ ඇයට ළමයින් හෝ යෞවනයින් සම්බන්ධ කිසිඳු කැඳවීමක් හෝ පැවරුමක් ලබා නොදිය යුතුය. යෞවනයින් හෝ ළමයින් සිටින පවුලකට දේවසේවා පැවරුමක් ලබා නොදීම ද මෙයට ඇතුළත් වේ. දේවසේවා හවුල්කරුවෙකු ලෙස යෞවනයෙකු නොසිටීම ද එයට ඇතුළත් වේ. පළමු සභාපතිත්වය එම සටහන් ඉවත් කිරීමට අවසර දෙන්නේ නම් මිස මෙම සීමා කිරීම් ක්‍රියාත්මක විය යුතුය.

38.6.2.6

ස්ටේක සහ කොට්ඨාශ මන්ත්‍රණ සභා

ස්ටේක සහ කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් වලදී, ස්ටේක සභාපතිත්ව සහ සභානායකවරුන් අපයෝජන වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සභාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ නිතිපතා සමාලෝචනය කරති. නායකයින් සහ මන්ත්‍රණ සභා සාමාජිකයින් මෙම සංවේදී විෂය උගන්වන විට සහ සාකච්ඡා කරන විට ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයති.

මන්ත්‍රණ සභා සාමාජිකයින් ද ළමා හා යෞවන ආරක්ෂණ පුහුණුව සම්පූර්ණ කළ යුතුය (බලන්න 38.6.2).

38.6.2.7

අපයෝජනයට අදාළ නීතිමය ගැටළු

සාමාජිකයෙකුගේ අපවාදාත්මක ක්‍රියාකාරකම් අදාළ නීතිය උල්ලංඝනය කර ඇත්නම්, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් මෙම ක්‍රියාකාරකම් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට හෝ වෙනත් සුදුසු රජයේ බලධාරීන්ට වාර්තා කරන ලෙස සාමාජිකයාගෙන් ඉල්ලා සිටිය යුතුය.

සභා නායකයින් සහ සාමාජිකයින් විසින් සිවිල් බලධාරීන්ට අපයෝජනයන් වාර්තා කිරීමට සියලු නීතිමය වගකීම් ඉටු කළ යුතුය.

38.6.4

උපත් පාලනය

දෙවියන්වහන්සේගේ ආත්මීය දරුවන් සඳහා ලෞකික ශරීර සැපයීමට දරුවන් බිහි කිරීමට හැකි වීම විවාහක යුවළයන්ගේ වරප්‍රසාදයක් වන අතර, පසුව ඔවුන්ව පෝෂණය කිරීමට හා ඇති දැඩි කිරීමට ඔවුන් වගකිව යුතුය (බලන්න 2.1.3). දරුවන් කී දෙනෙක් සිටිය යුතුද සහ ඔවුන් බිහි කළ යුත්තේ කවදාද යන්න පිළිබඳ තීරණය අතිශයින් පුද්ගලික සහ පෞද්ගලික වේ. එය එම යුවල සහ ස්වාමින්වහන්සේ අතර දෙයක් විය යුතුය.

38.6.5

පවිත්‍රබව සහ පතිවෘතතාවය

ස්වාමින්වහන්සේගේ පවිත්‍රභාවය පිළිබඳ නීතිය වන්නේ:

  • පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර නීත්‍යානුකූල විවාහයකින් පරිබාහිර ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීම.

  • විවාහය තුළ පතිවෘතතාවය.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ශාරීරික සමීපත්වය සුන්දර හා පූජනීය විය යුතු යැයි අදහස් කරයි. එය දරුවන් මැවීම සඳහා සහ ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ආදරය ප්‍රකාශ කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත.

38.6.6

ළමා කාමුක දර්ශන

ඕනෑම ආකාරයක ළමා කාමුක දර්ශන සභාව විසින් හෙළා දකී. සාමාජිකයෙකු ළමා කාමුක දර්ශන සමඟ සම්බන්ධ වී ඇති බව සභානායකවරයෙකු හෝ ස්ටේක සභාපතිවරයෙකු විසින් දැන ගන්නේ නම්, ඔහු 38.6.2.1 හි උපදෙස් කඩිනමින් අනුගමනය කරයි.

38.6.8

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම

සභාව විසින් කාන්තා ලිංගික අවයව විකෘති කිරීම හෙළාදකියි.

38.6.10

ව්‍යභිචාරය

ඕනෑම ආකාරයක ව්‍යභිචාරයක් සභාව විසින් හෙළා දකී. මෙහි භාවිතා වන පරිදි, ව්‍යභිචාරය යනු පහත සඳහන් අය අතර ලිංගික සම්බන්ධතා වේ:

  • දෙමාපියෙක් සහ දරුවෙක්.

  • ආච්චි හෝ සීයා කෙනෙක් සහ මුණුපුර මිණිපිරියන්.

  • සහෝදර සහෝදරියන්.

  • මාමා හෝ නැන්දා සහ ලේලිය හෝ බෑණනුවන්.

මෙහි භාවිතා කර ඇති පරිදි, දරුවා, මුණුපුර මිණිපිරියන්, සහෝදර සහෝදරියන්, ලේලිය සහ බෑණනුවන් සඳහා ජීව විද්‍යාත්මක, හදාගත්, සුළු හෝ දුර සිට හදාවඩා ගන්නා සබඳතා ද ඇතුළත් වේ.

බාලවයස්කාර පුද්ගලයෙක් ව්‍යභිචාරයට ගොදුරු වූ විට, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සභා අපයෝජන උපකාරක සේවාව පවතින රටක් නම් එය අමතයි (බලන්න 38.6.2.1). අනෙකුත් රටවල් වල, ස්ටේක සභාපතිවරයා විසින් ප්‍රදේශීය කාර්යාලයේ සිටින ප්‍රදේශීය නීති උපදේශකගෙන් මගපෙන්වීම් ලබා ගත යුතුය. පවුල් සේවා කාර්ය මණ්ඩලය හෝ ප්‍රදේශීය කාර්යාලයේ සුබසාධන සහ ස්වාධීනත්ව කළමණාකරු සමඟ සාකච්ඡා කිරීමටද ඔහුව දිරිමත් කරනු ලැබේ.

සාමාජිකයෙකු ව්‍යභිචාරයේ යෙදී ඇත්නම් සභාවේ සාමාජික මන්ත්‍රණ සභාවක් සහ වාර්තා සටහන් කිරීමක් අවශ්‍ය වේ. ව්‍යභිචාරය නිසා සෑම විටම පාහේ පුද්ගලයෙකුගේ සාමාජිකත්වය ඉවත් කිරීම සභාවට අවශ්‍ය වේ.

බාලවයස්කරුවෙකු ව්‍යභිචාරයේ යෙදී ඇත්නම්, ස්ටේක සභාපතිවරයා උපදෙස් සඳහා පළමු සභාපතිත්ව කාර්යාලය අමතයි.

ව්‍යභිචාරයට ගොදුරු වූවන් බොහෝ විට බරපතල කම්පනයකට ලක් වේ. නායකයින් හෘදයාංගම අනුකම්පාවකින් සහ සංවේදනයකින් යුතුව ප්‍රතිචාර දක්වති. ඔවුන්ට ව්‍යභිචාරයේ විනාශකාරී බලපෑම් ජය ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් අධ්‍යාත්මික සහාය සහ උපදේශනය ලබා දෙති.

සමහර අවස්ථාවලදී වින්දිතයින්ට ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් ඇති වේ. වින්දිතයින් පාපයට වැරදිකරුවන් නොවේ. නායකයින් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලැබෙන සුවය තේරුම් ගැනීමට උපකාර කරති (බලන්න ඇල්මා15:8; 3 නෙපී 17:9).

සභාවේ නායකයන්ගෙන් ලැබෙන දේවානුභාවයෙන් යුත් උපකාර වලට අමතරව වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට වෘත්තීය උපදේශන අවශ්‍ය විය හැකිය. විස්තර සඳහා, බලන්න 38.6.18.2.

38.6.12

මිත්‍යා විශ්වාස

මිත්‍යා විශ්වාස අන්ධකාරය කෙරෙහි අවධානය යොමු කර රැවටීමට තුඩු දෙයි. එය ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල විනාශ කරයි.

මිත්‍යා විශ්වාස වලට සාතන්ව නමස්කාර කිරීම ද ඇතුළත් වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට නොගැලපෙන අද්භූත ක්‍රියාකාරකම් ද එයට ඇතුළත් ය. එවැනි ක්‍රියාකාරකම් වලට දෙවියන්වහන්සේගේ පූජක බලය අනුකරණය කර සාස්තර කීම, ශාප කිරීම සහ සුව කිරීම යන පිළිවෙත් ඇතුළත් ය (නමුත් ඒවාට සීමා නොවේ) (බලන්න මොරෝනි 7:11–17).

සභාවේ සාමාජිකයන් සාතන්ව නමස්කාර කිරීමට හෝ මිත්‍යා විශ්වාසයන්ට කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවිය යුතුය. ඔවුන් සංවාදවලදී හෝ සභාවේ රැස්වීම්වලදී එවැනි අන්ධකාරයක් කෙරෙහි අවධානය යොමු නොකළ යුතුය.

38.6.13

අසභ්‍ය දර්ශන

ඕනෑම ආකාරයක කාමුක දර්ශන සභාව විසින් හෙළා දකී. ඕනෑම ආකාරයක කාමුක දර්ශන භාවිතය පුද්ගල ජීවිත වලට, පවුල් වලට සහ සමාජයට හානි කරයි. එය ස්වාමින්වහන්සේගේ ආත්මය ද දුරු කරයි. සභාවේ සාමාජිකයන් සියලු ආකාරයේ අසභ්‍ය ද්‍රව්‍යවලින් වැළකී සිටිය යුතු අතර ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ භාවිතයට විරුද්ධ විය යුතුය.

කාමුක දර්ශන භාවිතා කිරීම ගැන පසුතැවිලි වීමට පුද්ගලයෙකුට උපකාර කිරීමේදී පුද්ගලික උපදේශන සහ අවිධිමත් සාමාජික සීමා කිරීම් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන් සාමාජික මන්ත්‍රණ සභා පවත්වන්නේ නැත. කෙසේ වෙතත්, සාමාජිකයෙකුගේ විවාහයට හෝ පවුලට සැලකිය යුතු හානියක් සිදු කර ඇති, කාමුක දර්ශන දැඩි හා බලහත්කාරයෙන් භාවිතා කිරීම සඳහා මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය (බලන්න 38.6.5). සාමාජිකයෙකු දරුවන්ගේ අසභ්‍ය පින්තූර සෑදීම, බෙදාගැනීම, සන්තකයේ තබාගැනීම හෝ නැවත නැවතත් බැලීම කර ඇත්නම් මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ (බලන්න 38.6.6).

38.6.14

අගතිය

සියලු මනුෂ්‍යයින් දෙවියන්වහන්සේගේ දරුවන් ය. සියල්ලෝම උන්වහන්සේගේ දිව්‍යමය පවුලේ කොටසක් වන සහෝදර සහෝදරියන්ය (බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශයකි”). දෙවියන්වහන්සේ “එක ලෙයකින් සියලු ජාතීන් සෑදුවේය” (ක්‍රියා 17:26). උන්වහන්සේට “සියල්ලෝම එක සමානය” (2 නෙපී 26:33). සෑම පුද්ගලයෙකුම “උන්වහන්සේගේ ඇස් හමුවේ අනෙකා මෙන්ම අනර්ඝය” (යාකොබ් 2:21).

අගතිය දෙවියන්වහන්සේගේ එළිදරව් කරන ලද වචනයට අනුකූල නොවේ. දෙවියන්වහන්සේට අනුග්‍රහය හෝ අප්‍රසාදය රඳා පවතින්නේ උන්වහන්සේ කෙරෙහි ඇති භක්තිය සහ උන්වහන්සේගේ ආඥාවන් මත මිස පුද්ගලයෙකුගේ සමේ වර්ණය හෝ වෙනත් ගුණාංග මත නොවේ.

ඕනෑම කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු කෙරෙහි අගතියට පත්වන ආකල්ප සහ ක්‍රියා අත්හැරීමට සභාව සියලු මනුෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියි. දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීමට සභාවේ සාමාජිකයන් නායකත්වය දිය යුතුය. සාමාජිකයන් අන් අයට ප්‍රේම කිරීමට වූ ගැලවුම්කරුවාණන්ගේ ආඥාව අනුගමනය කරති (බලන්න මතෙව් 22:35–39). ඔවුන් ඕනෑම ආකාරයක අගතියක් ප්‍රතික්ෂේප කරමින් සියල්ලන්ටම හොඳ හිතක් ඇති පුද්ගලයන් වීමට උත්සාහ කරති. මෙයට ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය, ගෝත්‍රය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ආබාධිතභාවය, සමාජ ආර්ථික තත්ත්වය, ආගමික විශ්වාසය හෝ නොඇදහිල්ල සහ ලිංගික දිශානතිය මත පදනම් වූ අගතිය ඇතුළත් වේ.

38.6.15

සමලිංගික ආකර්ෂණය සහ සමලිංගික හැසිරීම

එකම ලිංගිකත්වයේ අය වෙත ආකර්ෂණය වන පුද්ගලයින් කෙරෙහි සංවේදීතාව, ආදරය සහ ගෞරවය සමඟ ළඟා වීමට සභාව පවුල් සහ සාමාජිකයින්ව දිරිමත් කරයි. සභාව විසින් කරුණාව, ඇතුළත් කිරීම, අන් අයට ආදරය සහ සියලු මිනිසුන්ට ගරු කිරීම පිළිබඳ ඉගැන්වීම් පිළිබිඹු කරන තේරුම්ගැනීම සමාජය තුළ බොහෝ සේ ප්‍රවර්ධනය කරයි. සභාව සමලිංගික ආකර්ෂණයට හේතු වූ කාරණා මත ස්ථාවරයක් නොගනියි.

දෙවියන්වහන්සේගේ ආඥා මගින් විෂමලිංගික හෝ සමලිංගික සේවනයේ සියලුම අපිරිසිඳු හැසිරීම් තහනම් කරයි. සභාවේ නායකයන් විසින් පවිත්‍රභාවයේ නීතිය උල්ලංඝනය කළ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරයි. නායකයින් ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ වන්දිගෙවීම, පසුතැවිලි වීමේ ක්‍රියාවලිය සහ පොළොවේ මේ ජීවිතයේ අරමුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට උපකාර කරයි.

සාමාජිකයින්ට සමලිංගික ආකර්ෂණයක් දැනුනත්, සහ පවිත්‍රභාවයේ නීතිය අනුව ජීවත් වීමට ඔවුන් උත්සාහ කරන්නේ නම්, නායකයින් ඔවුන්ගේ අධිෂ්ඨානයට ඔවුන්ව දිරිමත් කරති. මෙම සාමාජිකයින්ට සභාවේ කැඳවීම් ලැබිය හැකිය, දේවමාළිගා නිර්දේශ තිබිය හැකිය, සහ ඔවුන් සුදුසු නම් දේවමාළිගා නියෝග ලබා ගත හැකිය. සභාවේ පිරිමි සාමාජිකයින්ට පූජකවරය ලබා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකිය.

ඔවුන්ගේ තත්වයන් අනුව ඔවුන්ට මේ ජීවිතයේ සදාකාලික විවාහයේ සහ මාපියත්වයේ ආශිර්වාද ලබා ගැනීමට ඉඩ දුන්නත් නැතත්, ඔවුන්ගේ ගිවිසුම් රකින සියලුම සාමාජිකයින්ට සදාකාලිකව පොරොන්දු වූ සියලු ආශිර්වාද ලැබෙනු ඇත (බලන්න මොසායා 2:41).

38.6.16

සමලිංගික විවාහ

ශුද්ධලියවිලි මත පදනම් වූ මූලධර්මාත්මක දහමක් ලෙස, මැවුම්කරුවාණන්ගේ දරුවන්ගේ සදාකාලික ඉරණම සඳහා උන්වහන්සේගේ සැලැස්මට අනුව පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර විවාහය අත්‍යවශ්‍ය බව සභාව තහවුරු කරයි. දෙවියන්වහන්සේගේ නීතිය අනුව විවාහය නිර්වචනය කරන්නේ පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර නීත්‍යානුකූල හා නීති ප්‍රකාර එකමුතුවක් බව ද සභාව තහවුරු කරයි.

38.6.17

ලිංගික අධ්‍යාපනය

දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ට ය. සෞඛ්‍ය සම්පන්න, ධර්මිෂ්ඨ ලිංගිකත්වය පිළිබඳව දෙමාපියන් තම දරුවන් සමඟ අවංකව, පැහැදිලිව සහ අඛණ්ඩ සංවාදයන් පැවැත්විය යුතුය.

38.6.18

ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික අතවර

සභාව විසින් ලිංගික අපයෝජනය හෙළා දකියි. මෙහි භාවිතා කර ඇති පරිදි, ලිංගික අපයෝජනය යනු කිසියම් අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකමක් වෙනත් පුද්ගලයෙකුට බලකිරීමකින් සිදුකිරීම ලෙස අර්ථ දැක්වේ. නීත්‍යානුකූල අනුමැතිය ලබා නොදෙන හෝ ලබා දිය නොහැකි පුද්ගලයෙකු සමඟ ලිංගික ක්‍රියාකාරකම්, ලිංගික අපයෝජනයක් ලෙස සැලකේ. ලිංගික අපයෝජනයන් සහකරු හෝ සහකාරිය සමඟ හෝ ආල සබඳතාවයක් තුළද සිදු විය හැකිය. ළමයෙකුට හෝ යෞවනයෙකුට සිදුවන ලිංගික අපයෝජන පිළිබඳ තොරතුරු සඳහා, 38.6.2.3 බලන්න.

ලිංගික අපයෝජනය හිරිහැර කිරීමේ සිට ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික හිංසනයන් දක්වා පුළුල් පරාසයක ක්‍රියා ආවරණය කරයි. එය ශාරීරිකව, වාචිකව සහ වෙනත් ආකාරවලින් සිදුවිය හැකිය. ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ හෝ වෙනත් ආකාරයේ ලිංගික හිංසනයන් අත්විඳ ඇති සාමාජිකයින්ට උපදේශන ලබාදීම පිළිබඳ මගපෙන්වීම සඳහා, 38.6.18.2 බලන්න.

සාමාජිකයන් ලිංගික අපයෝජන ගැන සැක කරන්නේ නම් හෝ දැනුවත් වුවහොත්, හැකි ඉක්මනින් වින්දිතයන් සහ වෙනත් අය ආරක්ෂා කිරීමට ඔවුන් පියවර ගනිති. සිවිල් බලධාරීන්ට වාර්තා කිරීම සහ සභානායකවරයාව හෝ ස්ටේක සභාපතිවරයාව දැනුවත් කිරීම මෙයට ඇතුළත් වේ. දරුවෙකු අපයෝජනයට ලක්ව ඇත්නම්, සාමාජිකයින් 38.6.2 හි ඇති උපදෙස් අනුගමනය කළ යුතුය.

38.6.18.2

ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික අතවර වලට ලක් වූ වින්දිතයන් සඳහා උපදේශනය

ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ හෝ වෙනත් ආකාරයේ ලිංගික අතවරවලට ගොදුරු වූවන් බොහෝ විට බරපතල කම්පනයකට ලක් වෙති. ඔවුන් සභානායකවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයෙකුට එය විශ්වාසවන්තව පවසන විට, ඔහු හෘදයාංගම දයානුකම්පාවකින් සහ සංවේදනයකින් ප්‍රතිචාර දක්වයි. වින්දිතයින්ට අපයෝජනයේ විනාශකාරී බලපෑම් ජය ගැනීමට උපකාර කිරීම සඳහා ඔහු අධ්‍යාත්මික උපදේශන සහ සහාය ලබා දෙයි. සභාවේ අපයෝජන උපකාරක මාර්ගය ලබා ගත හැකි ස්ථාන වල ඔහු මගපෙන්වීම ලබාගැනීම සඳහා එය ද අමතයි.

සමහර අවස්ථාවලදී වින්දිතයින්ට ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් ඇති වේ. වින්දිතයින් පාපයට වැරදිකරුවන් නොවේ. නායකයන් වින්දිතයාට දොස් නොකියති. ඔවුන් වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලැබෙන සුවය තේරුම් ගැනීමට උපකාර කරති (බලන්න ඇල්මා15:8; 3 නෙපී 17:9).

සාමාජිකයින් අපයෝජනය හෝ පහරදීම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට තෝරා ගත හැකි නමුත්, නායකයින් විස්තර කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු නොකළ යුතුය. මෙය වින්දිතයින්ට හානිකර විය හැකිය.

සභාවේ නායකයන්ගෙන් ලැබෙන දේවානුභාවයෙන් යුත් උපකාර වලට අමතරව වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට වෘත්තීය උපදේශන අවශ්‍ය විය හැකිය. විස්තර සඳහා, බලන්න 31.3.6.

38.6.18.3

සාමාජික මන්ත්‍රණ සභා

යමෙකුට ලිංගික අතවර කළ හෝ අපයෝජනය කළ පුද්ගලයකු සඳහා සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය විය හැකිය. සාමාජිකයෙකු ලිංගික දූෂණයක් කළහොත් හෝ වෙනත් ආකාරයක ලිංගික අතවරයකට වරදකරු වුවහොත් සාමාජික මන්ත්‍රණ සභාවක් අවශ්‍ය වේ.

38.6.20

සියදිවි හානිකර ගැනීම

ලෞකික ජීවිතය යනු දෙවියන්වහන්සේගෙන් ලද අගනා ත්‍යාගයකි—එය අගය කළ යුතු සහ ආරක්ෂා කළ යුතු ත්‍යාගයකි. සියදිවි නසාගැනීම් වැළැක්වීමට සභාව දැඩි ලෙස සහාය දක්වයි.

සියදිවි නසාගැනීම් ගැන සිතූ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ ශාරීරික, මානසික, චිත්තවේගීය හෝ අධ්‍යාත්මික වේදනාවෙන් සහනයක් ලබා ගැනීමටය. එවැනි පුද්ගලයන්ට පවුලේ අයගෙන්, සභාවේ නායකයන්ගෙන් සහ සුදුසුකම් ලත් වෘත්තිකයන්ගෙන් ආදරය, උපකාරය සහ සහයෝගය අවශ්‍ය වේ.

යම් සාමාජිකයෙකු සියදිවි නසා ගැනීමට අදහස් කරන්නේ නම් හෝ එයට උත්සාහ කර ඇත්නම් සභානායකවරයා විසින් ආගමික සහය ලබා දෙයි. ඔහු එම සාමාජිකයාට වෘත්තීය සහය ලබා ගැනීමට වහාම උදව් කරයි.

ආදරණීයයන්, නායකයින් සහ වෘත්තිකයන්ගේ උපරිම උත්සාහය තිබියදීත්, සියදිවි නසාගැනීම සැමවිටම වැළැක්විය නොහැක. එය ගැඹුරු හද කම්පාවක්, චිත්තවේගීය කැලඹීමක් සහ ආදරණීයයන් සහ වෙනත් අය සඳහා පිළිතුරු නොමැති ප්‍රශ්න ඉතිරි කරයි. නායකයන් පවුලේ අය සමඟ සාකච්ඡා කර සැනසිලිදායක විය යුතුය. ඔවුන් පෝෂණය සහ සහාය ලබා දෙති.

කෙනෙකු තමන්ගේ ජීවිතය නැතිකරගැනීම යහපත් දෙයක් නොවේ. කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ සිතුවිලි, ක්‍රියාවන් සහ වගවීමේ මට්ටම විනිශ්චය කිරීමට හැකි වන්නේ දෙවියන්වහන්සේට පමණි (බලන්න 1 සාමුවෙල් 16:7; දහම සහ ගිවිසුම් 137:9).

සියදිවි නසාගැනීම් නිසා ආදරය කරන කෙනෙකු අහිමි වූ අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළ බලාපොරොත්තුව සහ සුවය සොයාගත හැකිය.

38.6.23

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙති. සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනා ගන්නා සාමාජිකයන් සහ සාමාජිකයන් නොවන අය—සහ ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් හට—සංවේදිත්වයෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමයේ බහුලත්වයෙන් සැලකිය යුතුය. සක්‍රමේන්තු රැස්වීම්, අනෙකුත් ඉරිදා රැස්වීම් සහ සභාවේ සමාජ සිදුවීම් වලට සහභාගී වීමට සියලු දෙනාව සාදරයෙන් පිළිගනිමු (බලන්න 38.1.1).

ස්ත්‍රී පුරුෂ භාවය යනු ස්වර්ගික පියාණන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්මේ අත්‍යවශ්‍ය ලක්ෂණයකි. පවුල් ප්‍රකාශයේ ස්ත්‍රී පුරුෂ භාවය යන්නෙහි අපේක්ෂිත අර්ථය උපතේදී හිමිවන ජීව විද්‍යාත්මක ලිංගිකත්වයයි. සමහර අය ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වය සහ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය අතර නොගැලපෙන හැඟීම් අත්විඳිති. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස ඔවුන්ව හඳුන්වාදිය හැකිය. පුද්ගලයින් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හැඳින්වීමට හේතු පිළිබඳව සභාව ස්ථාවරයක් නොගනියි.

බොහෝ සභා සහභාගීත්වයන් සහ සමහර පූජක නියෝග ස්ත්‍රී පුරුෂ භාවයේදී මධ්‍යස්ථ වේ. 38.2.8.10 හි දක්වා ඇති පරිදි සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ව බව්තීස්ම කර තහවුරු කළ හැකිය. ඔවුන්ට සක්‍රමේන්තුවට සහභාගී වී පූජක ආශිර්වාද ද ලබා ගත හැකිය. කෙසේ වෙතත්, උපතේදී ජීව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ භාවය අනුව පූජකවර නියෝග සහ දේවමාළිගා නියෝග ලැබේ.

උපතේදී පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක ස්ත්‍රි පුරුෂ භාවයෙන් විරුද්ධ ලිංගයට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ අරමුණින් තෝරාගත් වෛද්‍ය හෝ ශල්‍යකර්ම මැදිහත්වීමට එරෙහිව සභා නායකයින් උපදෙස් දෙති (“ලිංගිකත්වය වෙනස් කිරීම”). මෙම ක්‍රියාමාර්ග ගැනීම සභාවේ සාමාජිකත්වය සීමා කිරීමට හේතුවක් වනු ඇතැයි නායකයින් උපදෙස් දෙති.

සමාජ සංක්‍රාන්තියට එරෙහිවද නායකයින් උපදෙස් දෙති. උපතේදී ඔහුගේ හෝ ඇයගේ ජීව විද්‍යාත්මක ස්ත්‍රි පුරුෂ භාවය හැර වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඇඳුම් පැළඳුම් හෝ හැඩගැන්වීම් වෙනස් කිරීම හෝ නමක් හෝ සර්වනාම වෙනස් කිරීම සමාජ සංක්‍රාන්තියට ඇතුළත් වේ. සමාජීය වශයෙන් සංක්‍රාන්තියට ඇතුළත් වන අයට මෙම සංක්‍රාන්ති කාලය සඳහා සභාවේ සාමාජික සීමාවන් කිහිපයක් අත්විඳිය හැකි බව නායකයින් උපදෙස් දෙති.

මෙම සීමාවන්ට පූජකත්වය ලබා ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම, දේවමාළිගා නිර්දේශ ලබා ගැනීම හෝ භාවිතා කිරීම සහ සමහර සභා කැඳවීම් ලබා ගැනීම ඇතුළත් වේ. සභා සාමාජිකත්වයේ සමහර වරප්‍රසාද සීමා කර ඇතත්, අනෙකුත් සභා සහභාගීත්වයන් පිළිගනු ලැබේ.

සාමාජිකයෙකු ඔහුගේ හෝ ඇයගේ කැමති නම හෝ හැඳින්වීමේ සර්වනාම වෙනස් කිරීමට තීරණය කරන්නේ නම්, සාමාජික වාර්තාවේ කැමති නම් ක්ෂේත්‍රයේ එම නම සටහන් කළ හැකිය. එම පුද්ගලයා කැමති නමෙන් කොට්ඨාශයේදී එම පුද්ගලයාව ඇමතීමට හැකිය.

තත්වයන් ඒකකයෙන් ඒකකයට සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝ සෙයින් වෙනස් වේ. සාමාජිකයන් සහ නායකයන් එකට එක්ව ස්වාමින්වහන්සේගෙන් උපදෙස් ලබාගනිති. ප්‍රාදේශීය සභාපතිවරුන් විසින් දේශීය නායකයින්ට තනි පුද්ගල තත්වයන් සංවේදීව විසඳීමට උපකාර කරනු ඇත. සභානායකවරු ස්ටේක සභාපතිවරයා සමඟ සාකච්ඡා කරති. ස්ටේක සභාපතිවරුන් සහ ධර්මදූත සභාපතිවරුන් ප්‍රාදේශීය සභාපතිත්වයෙන් උපදෙස් ලබා ගත යුතුමය (බලන්න 32.6.3).

38.7

වෛද්‍ය සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති

38.7.2

භූමදානය සහ ආදාහනය

මියගිය පුද්ගලයාගේ පවුලේ අය ඔහුගේ හෝ ඇයගේ දේහය භූමදානය කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න තීරණය කරති. ඔවුන් එම පුද්ගලයාගේ කැමැත්තට ගරු කරති.

සමහර රටවල නීතියට අනුව ආදාහනය කළ යුතුය. වෙනත් අවස්ථාවල දී, භූමදානය, ප්‍රායෝගික හෝ පවුල සඳහා දැරිය හැකි නොවේ. සෑම අවස්ථාවකදීම, එම ශරීරයට ගෞරවයෙන් හා භක්තියෙන් සැලකිය යුතුය. මරණයෙන් නැවත නැගිටීමේ බලය සැමවිටම අදාළ වන බව සාමාජිකයින්ට සහතික විය යුතුය (බලන්න ඇල්මා 11:42–45).

හැකි නම්, බලයෙන් සැරසී ඇති සාමාජිකයෙකුගේ මියගිය දේහය භූමදාන කරන විට හෝ ආදාහනය කරන විට චාරිත්‍රානුකූල දේවමාළිගා ඇඳුමෙන් සරසා තැබිය යුතුය (බලන්න 38.5.8).

38.7.3

උපතට පෙර මිය ගිය දරුවන් (මැරී උපන් සහ ගබ්සා වූ දරුවන්)

අනුස්මරණ හෝ සොහොන් සේවා පැවැත්වීම දෙමාපියන්ට තීරණය කළ හැකිය.

ඉපදීමට පෙර මිය යන දරුවන් සඳහා දේවමාළිගා නියෝග අවශ්‍ය නොවේ එමෙන්ම ඒවා ඉටු කිරීම අවශ්‍ය නොවේ. මෙම දරුවන් සදාකාලික පවුලක කොටසක් විය හැකි බවට ඇති හැකියාව මෙමගින් ප්‍රතික්ෂේප නොකරයි. ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ සැනසීම සෙවීමට දෙමාපියන්ව දිරිමත් කරනු ලැබේ.

38.7.4

අනායාස මරණය

ලෞකික ජීවිතය දෙවියන්වහන්සේගෙන් ලද වටිනා ත්‍යාගයකි. අනායාස මරණය යනු සුව කළ නොහැකි රෝගයකින් හෝ වෙනත් රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකුගේ ජීවිතය හිතාමතාම අවසන් කිරීමකි. සියදිවි නසාගැනීමෙන් කෙනෙකුට මිය යාමට උපකාර කිරීම ඇතුළුව, අනායාස මරණය සඳහා සහභාගී වන පුද්ගලයෙකු, දෙවියන්වහන්සේගේ ආඥා උල්ලංඝනය කරන අතර දේශීය නීති උල්ලංඝනය කරනවා විය හැකිය.

ජීවිතයේ අවසානයේ දී පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය ජීවිත ආධාරක ක්‍රියාමාර්ග නතර කිරීම හෝ අත්හැරීම අනායාස මරණය ලෙස නොසැලකේ (බලන්න 38.7.11).

38.7.5

HIV ආසාදනය සහ ඒඩ්ස්

HIV ආසාදනය වී ඇති (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) හෝ ඒඩ්ස් (අත්පත් කරගත් ප්‍රතිශක්ති ඌනතා සින්ඩ්‍රෝමය) ඇති සාමාජිකයන්ව සභා රැස්වීම් සහ ක්‍රියාකාරකම් වලට පිළිගත යුතුය. ඔවුන්ගේ පැමිණීම අන් අයගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවේ.

38.7.8

වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා

දක්ෂ වෛද්‍ය උපකාර පැතීම, ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම සහ පූජකවර ආශිර්වාද ලබා ගැනීම ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුව සුවය සඳහා ඒකමතිකව ක්‍රියා කරයි.

සාමාජිකයින් සදාචාරාත්මක, අධ්‍යාත්මික හෝ නීත්‍යානුකූලව සැක සහිත වෛද්‍ය හෝ සෞඛ්‍ය භාවිතයන් භාවිතා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය. සෞඛ්‍ය ගැටලු ඇති අය ඒ ඒ ප්‍රදේශයන් හි බලපත්‍රලාභීව සේවය කරන දක්ෂ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.

38.7.9

වෛද්‍ය කංසා

වෛද්‍ය නොවන අරමුණු සඳහා මරිජුවානා භාවිතයට සභාව විරුද්ධ වේ. බලන්න 38.7.14.

38.7.11

ආයු කාලය දීර්ඝ කිරීම (ජීවිත ආධාරය ඇතුළුව)

ආන්තික ක්‍රම මගින් ලෞකික ජීවිතය දීර්ඝ කිරීමට සාමාජිකයින් බැඳී නොසිටිය යුතුය. මෙම තීරණ ගැනීම වඩාත් සුදුසු වන්නේ හැකි නම් එම පුද්ගලයා විසින් හෝ පවුලේ සාමාජිකයන් විසිනි. ඔවුන් දක්ෂ වෛද්‍ය උපදෙස් සහ යාච්ඤාව තුළින් දිව්‍ය මගපෙන්වීම ලබා ගත යුතුය.

38.7.13

එන්නත්

දක්ෂ වෛද්‍ය වෘත්තිකයන් විසින් ලබා දෙන එන්නත් සෞඛ්‍යය ආරක්ෂා කර ජීවිතය ආරක්ෂා කරයි. එන්නත් මගින් තමන්, තම දරුවන්ව සහ ඔවුන්ගේ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමට සභාවේ සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ.

අවසාන වශයෙන්, එන්නත් සම්බන්ධයෙන් තමන්ගේම තීරණ ගැනීමට පුද්ගලයන් වගකිව යුතුය. සාමාජිකයින්ට ගැටළු තිබේ නම්, ඔවුන් දක්ෂ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගත යුතු අතර ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීමද ලබා ගත යුතුය.

38.7.14

ප්‍රඥාවේ වචනය සහ සෞඛ්‍ය සම්පන්න පිළිවෙත්

ප්‍රඥාවේ වචනය දෙවියන්වහන්සේගේ ආඥාවකි. දහම සහ ගිවිසුම් 89 හි ඉගැන්වීම්වලට දුම්කොළ, සැර බීම (මත්පැන්) සහ උණුසුම් බීම (තේ සහ කෝපි) ඇතුළත් වන බව අනාගතවක්තෘවරුන් පැහැදිලි කර ඇත.

ප්‍රඥාවේ වචනයේ හෝ සභාවේ නායකයන් විසින් නිශ්චිතව දක්වා නැති වෙනත් හානිකර ද්‍රව්‍ය සහ භාවිතයන් තිබේ. සාමාජිකයින් ඔවුන්ගේ ශාරීරික, අධ්‍යාත්මික සහ චිත්තවේගීය සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා තේරීම් කිරීමේදී ප්‍රඥාව සහ යාච්ඤාපූර්වක විනිශ්චය භාවිතා කළ යුතුය.

38.8

පරිපාලන ප්‍රතිපත්ති

38.8.1

දරුකමට හදා ගැනීම සහ මඩම්

දරුවන් හදාවඩා ගැනීම සහ රැකවරණය සැපයීම දරුවන්ට සහ පවුල්වලට ආශිර්වාදයක් විය හැකිය. දරුකමට හදා ගැනීම තුළින් ආදරණීය, සදාකාලික පවුල් නිර්මාණය කළ හැකිය. දරුකමට හදාගැනීමෙන් හෝ උපතින් පවුලකට දරුවන් පැමිණියද, ඔවුන්ද එකසේ අගනා ආශිර්වාදයකි.

දරුවන් හදා වඩා ගැනීමට හෝ ඔවුන්ට රැකවරණය සැපයීමට අපේක්ෂා කරන සාමාජිකයන් ඊට සම්බන්ධ රටවල සහ රජයන්හි අදාළ වන සියලුම නීතිවලට අවනත විය යුතුය.

38.8.4

ප්‍රධාන අධිකාරීන්, ප්‍රධාන නිලධාරීන් සහ ප්‍රාදේශීය හැත්තෑවන්ගේ සමරු සටහන් සහ ඡායාරූප

සභාවේ සාමාජිකයන් ප්‍රධාන අධිකාරීවරුන්ගේ, ප්‍රධාන නිලධාරීන්ගේ හෝ ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ සමරු සටහන් නොපැතිය යුතුය. එසේ කිරීමෙන් ඔවුන්ගේ පූජනීය කැඳවීම් සහ රැස්වීම්වල ආත්මික බව අවම කරයි. එමගින් ඔවුන් අනෙකුත් සාමාජිකයින්ට ආචාර කිරීමද වැළැක්විය හැකිය.

සාමාජිකයින් විසින් දේවස්ථානවල ප්‍රධාන අධිකාරීවරුන්ගේ, ප්‍රධාන නිලධාරීන්ගේ හෝ ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ ඡායාරූප නොගත යුතුය.

38.8.7

සභා සඟරා

සභාවේ සඟරාවලට ඇතුළත් වන්නේ:

පළමු සභාපතිත්වය විසින් සභා සඟරා කියවීමට සියලුම සාමාජිකයන්ව දිරිමත් කරති. සඟරා මගින් සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙන ගැනීමට, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට, ගෝලීය සභා පවුලට සම්බන්ධ බවක් දැනීමට, ඇදහිල්ලෙන් අභියෝගවලට මුහුණ දීමට සහ දෙවියන්වහන්සේට සමීප වීමට උපකාර කළ හැකිය.

38.8.8

සභාවේ නම, ලාංඡනය සහ සංකේතය

රූපය
සභාවේ ලාංඡනය සහ සංකේතය

සභාවේ නම, ලාංඡනය සහ සංකේතය යනු සභාවේ ප්‍රධාන හඳුනාගැනීම් වේ.

ලාංඡනය සහ සංකේතය. සභාවේ ලාංඡනය සහ සංකේතය (ඉහත නිදර්ශනය බලන්න) භාවිතා කළ යුත්තේ පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය විසින් අනුමත කරන ලද පරිදි පමණි. ඒවා අලංකාර අංග ලෙස භාවිතා කළ නොහැකිය. එසේම ඒවා කිසිඳු පුද්ගලික, වාණිජ හෝ ප්‍රවර්ධනාත්මක ආකාරයකින් භාවිතා කළ නොහැකිය.

38.8.10

පරිගණක

සභා රැස්වීම් ශාලාවල භාවිතා කරන පරිගණක සහ මෘදුකාංග සපයනු ලබන්නේ සහ කළමනාකරණය කරනු ලබන්නේ සභාවේ මූලස්ථානය හෝ ප්‍රාදේශීය කාර්යාලය විසිනි. නායකයන් සහ සාමාජිකයන් විසින් පවුල් ඉතිහාස කටයුතු ඇතුළුව සභාවේ අරමුණු සඳහා මෙම සම්පත් භාවිතා කරති.

මෙම පරිගණකවල ඇති සියලුම මෘදුකාංග සඳහා සභාව නිසි ලෙස බලපත්‍ර ලබා තිබිය යුතුය.

38.8.12

විෂයමාලා පොත්

සභාවේ සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙන ගැනීමට සහ ඒ අනුව ජීවත් වීමට උපකාර කිරීම සඳහා පොත් සපයයි. මේවාට ශුද්ධලියවිලි, ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ, සඟරා, අත්පොත්, පොත් සහ වෙනත් සම්පත් ඇතුළත් වේ. නිවසේදී ශුභාරංචිය අධ්‍යයනය කිරීමට අවශ්‍ය පරිදි ශුද්ධලියවිලි සහ අනෙකුත් සම්පත් භාවිතා කිරීමට නායකයින් සාමාජිකයින්ව දිරිමත් කරති.

38.8.14

ඇඳුම සහ පෙනුම

සභා සාමාජිකයන් සුදුසු ඇඳුම් සහ පෙනුම පිළිබඳ ඔවුන්ගේ තේරීම්වලදී ශරීරයට ගෞරවය දැක්විය යුතු බවට දිරිමත් කරනු ලැබේ. සුදුසු දේවල් සංස්කෘතීන් හරහා සහ විවිධ අවස්ථා සඳහා වෙනස් වේ.

38.8.16

නිරාහාර දිනය

සාමාජිකයින්ට ඕනෑම අවස්ථාවක නිරාහාරව සිටීම කළ හැකිය. කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍යයෙන් මාසයේ පළමු සබත් දිනය නිරාහාර දිනයක් ලෙස පවත්වති.

උපවාස දිනයකට සාමාන්‍යයෙන් යාච්ඤා කිරීම, පැය 24 ක කාලයක් ආහාර පාන නොමැතිව සිටීම (ශාරීරිකව හැකියාව තිබේ නම්), සහ ත්‍යාගශීලී නිරාහාර පිදුමක් ලබාදීම ඇතුළත් වේ. නිරාහාර පිදුමක් යනු අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා ලබාදෙන පරිත්‍යාගයකි (බලන්න 22.2.2).

සමහර අවස්ථා වල සභාව පුරා පැවැත්වෙන රැස්වීම් හෝ ප්‍රාදේශීය රැස්වීම් මාසයේ පළමු සබත් දින පවත්වනු ලැබේ. මෙය සිදු වූ විට, ස්ටේක සභාපතිත්වය නිරාහාර දිනය සඳහා විකල්ප සබත් දිනයක් තීරණය කරයි.

38.8.17

සූදුව සහ ලොතරැයි

ඕනෑම ආකාරයක සූදුවට එරෙහිව සභාව විරුද්ධ වන අතර ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි. මෙයට ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම සහ රජයේ අනුග්‍රහය ලබන ලොතරැයි ඇතුළත් වේ.

38.8.19

ආගමනය

ඔවුන්ගේ මව්බිම්වල රැඳී සිටින සාමාජිකයින්ට බොහෝ විට එහි සභාව ගොඩනැගීමට සහ ශක්තිමත් කිරීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත්, වෙනත් රටකට සංක්‍රමණය වීම පුද්ගලික තේරීමකි.

වෙනත් රටකට සංක්‍රමණය වන සාමාජිකයන් එහි අදාළ වන සියලු නීතිවලට අවනත විය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 58:21).

ධර්මදූතයින් අන් අයගේ සංක්‍රමණයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් නොවිය යුතුය.

38.8.22

දේශයේ නීති

සාමාජිකයන් ඔවුන් ජීවත් වන හෝ සංචාරය කරන ඕනෑම රටක නීතිවලට කීකරු විය යුතුය, ගරු කළ යුතුය, සහ ඒවා පැවැත්විය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 58:21–22; ඇදහිල්ලේ කරුණු 1:12). ආගමට හැරවීම තහනම් කරන නීති ද මෙයට ඇතුළත් වේ.

38.8.25

සභා මූලස්ථානය සමඟ සාමාජිකයින්ගේ සන්නිවේදනය

ආගමික ප්‍රශ්න, පුද්ගලික අභියෝග හෝ ඉල්ලීම් පිළිබඳව ප්‍රධාන අධිකාරීවරුන්ට ඇමතීමෙන්, විද්‍යුත් තැපෑල් පණිවිඩ යැවීමෙන් හෝ ලිපි ලිවීමෙන් සභාවේ සාමාජිකයන්ව අධෛර්යමත් කරනු ලැබේ. අධ්‍යාත්මික මගපෙන්වීමක් සොයන විට ඔවුන්ගේ සහන සමිති හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිවරුන් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයින් වෙත ළඟා වීමට සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ (බලන්න 31.3).

38.8.27

ආබාධිත සාමාජිකයින්

තම ඒකකය තුළ ජීවත් වන සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලීමට නායකයින් සහ සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ. ආබාධ සහිත සාමාජිකයින්ව අගය කරනු ලබන අතර ඔවුන්ට අර්ථවත් ආකාරයෙන් දායක විය හැකිය. මෙම ආබාධ බුද්ධිමය, සමාජීය, චිත්තවේගීය හෝ ශාරීරික විය හැකිය.

38.8.29

අනෙකුත් ඇදහිලි

ආශ්වාදජනක, උතුම් සහ ඉහළම ගෞරවය ලැබීමට සුදුසු බොහෝ දේ වෙනත් බොහෝ ඇදහිලි තුළ දක්නට ලැබේ. ධර්මදූතයින් සහ අනෙකුත් සාමාජිකයින් අන් අයගේ විශ්වාසයන් සහ සම්ප්‍රදායන් කෙරෙහි සංවේදී හා ගෞරවනීය විය යුතුය.

38.8.30

දේශපාලන සහ ප්‍රජා ක්‍රියාකාරකම්

දේශපාලන හා රාජ්‍ය කටයුතුවලට සහභාගි වීමට සභාවේ සාමාජිකයන්ව දිරිමත් කරනු ලැබේ. බොහෝ රටවල, මෙයට ඇතුළත් විය හැක්කේ:

  • ඡන්දය.

  • දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම හෝ සේවය කිරීම.

  • මූල්‍යමය සහය ලබාදීම.

  • පක්ෂ නිලධාරීන් සහ අපේක්ෂකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීම.

  • දේශීය සහ ජාතික ආණ්ඩුවේ තේරී පත් වූ හෝ පත් කරන ලද කාර්යාලවල සේවය කිරීම.

ඔවුන්ගේ ප්‍රජාවන් ජීවත් වීමට සහ පවුල් ඇති දැඩි කිරීමට සුදුසු ස්ථාන බවට පත් කිරීම සඳහා වටිනා හේතු සඳහා සහභාගී වීමට සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ.

දේශීය සභා නායකයන් දේශපාලන කටයුතුවලට සහභාගි වීමට සාමාජිකයන්ව සංවිධානය නොකළ යුතුය. සාමාජිකයින් සහභාගී වන ආකාරය කෙරෙහි බලපෑම් කිරීමට ද නායකයින් උත්සාහ නොකළ යුතුය.

නායකයින් සහ සාමාජිකයින් ඕනෑම දේශපාලන පක්ෂයක්, වේදිකාවක්, ප්‍රතිපත්තියක් හෝ අපේක්ෂකයෙකු සභාවේ අනුමත කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ප්‍රකාශ හෝ හැසිරීම් වලින් වැළකී සිටිය යුතුය.

38.8.31

සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය

සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සභා නායකයින් බැඳී සිටිති. සභා වාර්තා, නාමාවලි සහ ඒ හා සමාන ද්‍රව්‍ය පුද්ගලික, වාණිජ හෝ දේශපාලන අරමුණු සඳහා භාවිතා කළ නොහැකිය.

38.8.35

සරණාගතයින්

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමේ ඔවුන්ගේ වගකීමේ කොටසක් ලෙස (බලන්න මොසායා 4:26), සභා සාමාජිකයන් සරණාගතයින්ව ඔවුන්ගේ ප්‍රජාවේ සාමාජිකයන් ලෙස පිළිගැනීමට ඔවුන්ගේ කාලය, දක්ෂතා සහ මිත්‍රත්වය ලබා දෙති.

38.8.36

සභා මූල්‍ය ආධාර සඳහා ඉල්ලීම්

අවශ්‍යතා ඇති සාමාජිකයින්ට සභා මූලස්ථානය සම්බන්ධ කර ගැනීම හෝ සභාවේ වෙනත් නායකයින් හෝ සාමාජිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටීම වෙනුවට ඔවුන්ගේ සභානායකවරයා සමඟ කතා කිරීමට ඔවුන්ව උනන්දු කරනු ලැබේ.