අත්පොත් සහ කැඳවීම්
3. පූජකවර මූලධර්ම


“3. පූජකවර මූලධර්ම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“3. පූජකවර මූලධර්ම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පවුලක් දේවමාළිගාව අසලින් ඇවිද යමින්

3.

පූජකවර මූලධර්ම

3.0

හැඳින්වීම

පූජකවරය යනු දෙවියන්වහන්සේගේ අධිකාරිත්වය සහ බලයයි. පූජකවරය තුළින්, ස්වර්ගීය පියාණන්වහන්සේගේ කාර්යය වන “මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒම” උන්වහන්සේ ඉටුකරන සේක (මෝසෙස් 1:39). මෙම කාර්යය ඉටු කිරීමට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේ පොළොවේ සිටින උන්වහන්සේගේ පුත්‍රයන්ට සහ දියණියන්ට එම අධිකාරිත්වය සහ බලය ලබා දෙයි (1 වෙනි පරිච්ඡේදය බලන්න).

3.2

පූජකවරයේ ආශිර්වාද

ගිවිසුම් හා පූජකවර නියෝග තුළින්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට ශ්‍රේෂ්ඨ ආශිර්වාද ලබාගැනීමට සලස්වයි. මෙම ආශිර්වාද වලට පහත දේ ඇතුළත් වේ:

  • යේසුස් ක්‍රිස්තුස්වහසේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ බව්තීස්මය සහ සාමාජිකත්වය.

  • ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව.

  • සක්‍රමේන්තුව ලබාගැනීම.

  • සභාවේ කැඳවීම් සහ පැවරුම්වල සේවය කිරීමට අධිකාරිත්වය සහ බලය.

  • ආදිපීතෘ ආශිර්වාද ලබා ගැනීම සහ සුවය, සැනසීම සහ මගපෙන්වීම යන අනෙකුත් පූජකවර ආශිර්වාද ලබා ගැනීම.

  • දෙවියන්වහන්සේගේ බලය සමඟ දේවමාළිගාවේදී බලයෙන් සැරසීම.

  • සදාකාලිකව තම පවුලේ සාමාජිකයන්ට මුද්‍රා වීම.

  • සදාකාල ජීවනයේ පොරොන්දුව.

3.3

මෙල්කිසදෙක් පූජකවරය සහ ආරෝනික පූජකවරය

සභාවේ, පූජකවරයට කොටස් දෙකක් ඇත: මෙල්කිසදෙක් පූජකවරය සහ ආරෝනික පූජකවරය (බලන්න දහම සහ ගිවිසුම් 107:1).

3.3.1.

මෙල්කිසදෙක් පූජකවරය

මෙල්කිසදෙක් පූජකවරය යනු “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව, ශුද්ධ වූ පූජකවරය වේ” (දහම සහ ගිවිසුම් 107:3). දෙවියන්වහන්සේගේ පුත්‍රයින්ට සහ දියණියන්ට උන්වහන්සේ හා සමාන විය හැකි බලය එයයි (බලන්න දහම සහ ගිවිසුම් 84:19–21; 132:19–20).

මෙම අධිකාරිත්වය හරහා, සභාවේ නායකයින් විසින් සභාවේ සියලුම අධ්‍යාත්මික කටයුතු මෙහෙයවීම සහ පරිපාලනය කරයි (බලන්න දහම සහ ගිවිසුම් 107:18).

ස්ටේක සභාපතිවරයා යනු ස්ටේකයේ මුලසුන දරන උත්තම පූජකයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 107:8, 10; මෙම අත්පොතෙහි 6 වෙනි පරිච්ඡේදය ද බලන්න). සභානායකවරයා යනු කොට්ඨාශයේ මුලසුන දරන උත්තම පූජකයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 107: 17; මෙම අත්පොතෙහි 7 වෙනි පරිච්ඡේදය ද බලන්න).

මෙල්කිසදෙක් පූජකවරයේ තත්වයන් සහ වගකීම් පිළිබඳ තොරතුරු සඳහා, 8.1 බලන්න.

3.3.2

ආරෝනික පූජකවරය

ආරෝනික පූජකවරය “මෙල්කිසදෙක් පූජකවරයට ආධාරකයකි,” (දහම සහ ගිවිසුම් 107:14). එයට අදාළ වන යතුරු වන්නේ:

  • දේවදූතයන්ගේ දේවසේවය.

  • පසුතැවිලි වීමේ ශුභාරංචිය.

  • පව් සමාව සඳහා බව්තීස්මය ඇතුළු බාහිර නියෝග ක්‍රියාත්මක කිරීම.

(බලන්න දහම සහ ගිවිසුම් 13:1; 84:26–27; 107:20.)

සභානායකවරයා යනු කොට්ඨාශයේ ආරෝනික පූජකවරයේ සභාපතිවරයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 107:15).

ආරෝනික පූජකවරයේ තත්වයන් සහ වගකීම් පිළිබඳ තොරතුරු සඳහා, 10.1.3 බලන්න.

3.4

පූජකවර අධිකාරිත්වය

පූජකවර බලය යනු දෙවියන්වහන්සේව නියෝජනය කිරීමට සහ උන්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරීමට ඇති අවසරයයි. සභාවේ, සියලුම පූජකවර අධිකාරියන් ක්‍රියාත්මක වන්නේ පූජක යතුරු දරන අයගේ මගපෙන්වීම යටතේ ය.

3.4.1.

පූජකවර යතුරු

පූජකවර යතුරු යනු දෙවියන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් පූජකත්වය භාවිතා කිරීම මෙහෙයවීමේ අධිකාරිත්වයි.

3.4.1.1

පූජකවර යතුරු දරන අය

පොළොව මත දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළ සියලුම යතුරු ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ සෑම ප්‍රෙරිතවරයෙකු මතම පිරිනමා ඇත. ජ්‍යෙෂ්ඨ ජීවමාන ප්‍රේරිතවරයා වන, සභාවේ සභාපතිවරයා එම පූජකවර යතුරු සියල්ලම ක්‍රියාත්මක කිරීමට බලයලත් පොළොවේ සිටින එකම පුද්ගලයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 81:1–2; 107:64–67, 91–92; 132:7).

සභාවේ සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ, පූජක නායකයින්ට එම යතුරු ලබා දෙන අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ වගකීම් ඇති ක්ෂේත්‍රවල මුලසුන දැරීමට හැකි වේ. මෙම නායකයින් වන්නේ:

  • ස්ටේක සහ දිස්ත්‍රික්ක සභාපතිවරුන්.

  • සභානායකවරුන් සහ ශාඛා සභාපතිවරුන්

  • මෙල්කිසදෙක් සහ ආරෝනික පූජකවර ගණපූරණ සභාපතිවරුන්.

  • දේවමාළිගා සභාපතිවරුන්.

  • ධර්මදූත සභාපතිවරුන් සහ ධර්මදූත පුහුණු මධ්‍යස්ථාන සභාපතිවරුන්.

මෙම නායකයින් ඔවුන්ගේ කැඳවීම්වලට වෙන් වූ විට ඔවුන්ට මෙම පූජකවර යතුරු ලැබේ.

ප්‍රාදේශීය පූජක නායකයන්ගේ උපදේශකයන්ට හෝ සභා සංවිධානවල සභාපතිවරුන් ඇතුළු වෙනත් අයට මෙම පූජකවර යතුරු ලබා නොදේ. සභා සංවිධානවල සභාපතිවරු පූජකවර යතුරු දරන අයගේ මගපෙන්වීම යටතේ මුලසුන දරති (බලන්න 4.2.4).

3.4.1.2

ස්වාමින්වහන්සේගේ කාර්යයට අනුකූලව

පූජකවර යතුරු මගින් ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය පිළිවෙළකට සිදු වන බව සහතික කරයි (බලන්න දහම සහ ගිවිසුම් 42:11; 132:8). පූජකවර යතුරු දරන අය විසින් ඔවුන්ගේ වගකීම් ක්ෂේත්‍ර තුළ ස්වාමින්වහන්සේගේ කාර්යය මෙහෙයවයි. මෙම මූලාසන අධිකාරිත්වය වලංගු වන්නේ එම නායකයාගේ කැඳවීමේ නිශ්චිත වගකීම් සඳහා පමණි. පූජක නායකයන්ව ඔවුන්ගේ කැඳවීම්වලින් නිදහස් කළ විට, ඔවුන් තවදුරටත් මෙම යතුරු දරන්නේ නැත.

3.4.2

පූජකවරය පැවරීම සහ නියම කිරීම

පූජකවර යතුරු දරන අයගේ මගපෙන්වීම යටතේ, ආරෝනික පූජකවරය සහ මෙල්කිසදෙක් පූජකවරය ඒ සඳහා සුදුසු සභා සාමාජිකයන්ට පිරිනමනු ලැබේ (බලන්න දහම සහ ගිවිසුම් 84:14–17). සුදුසු පූජකවරය පිරිනැමීමෙන් පසු, එම පුද්ගලයාව උපස්ථායකයෙකු හෝ වැඩිහිටියෙකු වැනි එම පූජකවරයේ තත්වයකට නියම කරනු ලැබේ. පූජකවරය දරන්නෙකු එම තත්වයට අදාළ අයිතිවාසිකම් සහ වගකීම් අනුව එම පූජකවරය ක්‍රියාත්මක කරයි (බලන්න දහම සහ ගිවිසුම් 107:99).

පූජකවරය ප්‍රදානය කිරීම සහ නියම කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා, 8.1.1 සහ 18.10 බලන්න.

3.4.3

සභාවේ සේවය කිරීම සඳහා පූජකවර අධිකාරිත්ව බලය පැවරීම

3.4.3.1

වෙන් කිරීම

පූජකවර යතුරු දරන අයගේ මගපෙන්වීම යටතේ පුරුෂයන්ව හා කාන්තාවන්ව වෙන් කළ විට, එම කැඳවීම තුළ ක්‍රියා කිරීමට ඔවුන්ට දෙවියන්වහන්සේගෙන් බලය දෙනු ලැබේ. ඔවුන්ව කැඳවීමකින් නිදහස් කළ විට, ඔවුන්ට තවදුරටත් ඒ හා සම්බන්ධ අධිකාරිත්වයක් නොමැත.

සේවය කිරීමට වෙන් කර ඇති සියලුම සභා සාමාජිකයින්ට ඔවුන්ගේ කැඳවීම්වල ක්‍රියා කිරීමට දිව්‍යමය අධිකාරිත්වය සහ වගකීම ලබා දී ඇත. උදාහරණයක් ලෙස:

  • කොට්ඨාශ සහන සමිති සභාපතිනිය ලෙස සභානායකවරයා විසින් කැඳවනු ලැබූ සහ වෙන් කරන ලද කාන්තාවකට, එම කොට්ඨාශයේ සහන සමිතියේ කාර්යයන් මෙහෙයවීමට අධිකාරිත්වය ලබා දී ඇත.

කැඳවනු ලබන සහ වෙන් කර ඇති සියල්ලන්ම ඔවුන්ව මෙහෙයවන අයගේ මගපෙන්වීම යටතේ සේවය කරති (බලන්න 3.4.1.2).

3.4.3.2

පැවරුම

මුලසුන දරන සභා නායකයින්ට පැවරුම මගින් අධිකාරිත්වය පැවරිය හැකිය. පිරිමින්ට සහ ස්ත්‍රීන්ට මෙම පැවරුම් ලැබුණු විට, ඔවුන්ට ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේගෙන් බලය දෙනු ලැබේ. උදාහරණයක් ලෙස:

  • ප්‍රදේශ වල සේවය කිරීමට සහ ස්ටේක සම්මන්ත්‍රණ වල මුලසුන දැරීමට පවරා ඇති හැත්තෑවරුන්ට, පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය විසින් මෙම අධිකාරිත්වය පවරයි.

  • දේවසේවා සහෝදරයන් සහ දේවසේවා සහෝදරියන් ලෙස සේවය කිරීමට සභාවේ සාමාජිකයන්ට මෙම අධිකාරිත්වය පවරනු ලැබේ.

පැවරුම මගින් පවරනු ලබන අධිකාරිත්වය, එම පැවරුමේ නිශ්චිත වගකීම් සහ කාලසීමාවට සීමා වේ.

3.4.4

පූජකවර අධිකාරිත්වය ධර්මිෂ්ඨව ක්‍රියාත්මක කිරීම

මෙම අධිකාරිත්වය භාවිතා කළ හැක්කේ ධර්මිෂ්ඨකමින් පමණි (බලන්න දහම සහ ගිවිසුම් 121:36). එය ක්‍රියාත්මක වන්නේ පෙළඹවීමෙන්, දිගු දරාගැනීමෙන්, මෘදුකමින් සහ යටහත්කමින්, ප්‍රේමයෙන් සහ කරුණාවන්තකමින් ය (බලන්න දහම සහ ගිවිසුම් 121:41–42).

පූජකවර බලය ක්‍රියාත්මක කරන අය තම කැමැත්ත අන් අයට බල කරන්නේ නැත. ඔවුන් එය ආත්මාර්ථකාමී අරමුණු සඳහා භාවිතා නොකරති.

3.5

පූජකවර බලය

පූජක බලය යනු දෙවියන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කරන බලයයි. ඔවුන් උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් රකින විට දෙවියන්වහන්සේගේ පූජකවර බලය—කාන්තාවන්ට හෝ පිරිමින්ට—නැතිනම් සභාවේ සියලුම සාමාජිකයින් වෙත ගලා යයි. සාමාජිකයන්ට මෙම පූජකවර නියෝග ලැබෙන විට ඔවුන් මෙම ගිවිසුම් ඇති කරගනිති. (බලන්න දහම සහ ගිවිසුම් 84:19–20.)

සාමාජිකයින්ට ලැබිය හැකි පූජකවර බලයේ ආශිර්වාද වන්නේ:

  • ඔවුන්ගේ ජීවිතයට මගපෙන්වීම.

  • පවුලේ සාමාජිකයන්ට සහ අන් අයට සේවය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට පෙළඹවීම.

  • අභියෝග විඳදරාගැනීමට සහ ජය ගැනීමට ශක්තිය.

  • ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ආත්මයාණන්වහන්සේගේ දීමනා.

  • ඔවුන්ව නියම කර ඇති, වෙන් කර ඇති හෝ කිරීමට පවරා ඇති කාර්යය ඉටු කරන්නේ කෙසේදැයි දැන ගැනීම සඳහා එළිදරව්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා ස්වර්ගික පියාණන්වහන්සේ මෙන් වීමට උපකාර සහ ශක්තිය.

3.5.1.

ගිවිසුම්

ගිවිසුමක් යනු දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන් අතර ඇති පරිශුද්ධ පොරොන්දුවකි. දෙවියන්වහන්සේ එම ගිවිසුම සඳහා කොන්දේසි ලබා දෙන අතර, උන්වහන්සේගේ දරුවෝ එම කොන්දේසි වලට කීකරු වීමට එකඟ වෙති. දෙවියන්වහන්සේගේ දරුවන් එම ගිවිසුම ඉටු කරන විට ඔවුන්ට ආශිර්වාද කිරීමට උන්වහන්සේ පොරොන්දු වේ.

ඔවුන්ගේ ගිවිසුම් පවත්වා ගනිමින් අවසානය දක්වා විඳදරාගන්නා සියල්ලන්ට සදාකාල ජීවනය ලැබෙනු ඇත (බලන්න 2 නෙපී 31:17–20; දහම සහ ගිවිසුම් 14:7).

පුද්ගලයින් ශුභාරංචි නියෝග ලබාගන්නා විට මෙම ගිවිසුම් තැබීමට සූදානම් වීම සඳහා දෙමාපියන්, සභා නායකයින්, සහ අනෙකුත් අය ඔවුන්ට උපකාර කරති. එම පුද්ගලයා ඇතිකරගන්නා ගිවිසුම් ඔහු හෝ ඇය තේරුම් ගන්නා බවට ඔවුන් වගබලා ගනිති. යම් පුද්ගලයෙක් ගිවිසුමක් ඇති කර ගත් පසු, ඔවුන් ඔහුට හෝ ඇයට එය පවත්වා ගැනීමට උපකාර කරති. (බලන්න මොසායා 18:8–11, 23–26.)

3.5.2

නියෝග

නියෝගයක් යනු පූජකවර අධිකාරිත්වය විසින් සිදුකරනු ලබන පරිශුද්ධ ක්‍රියාවකි.

බොහෝ නියෝගවලදී, පුද්ගලයන් විසින් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගනියි. උදාහරණ ලෙස බව්තීස්මය, සක්‍රමේන්තුව, බලයෙන් සැරසීම සහ විවාහ මුද්‍රා තැබීමේ නියෝගය ඇතුළත් වේ.

සදාකාල ජීවනය සඳහා ගැලවීම සහ උත්කර්ෂවත් වීමේ නියෝග අත්‍යවශ්‍ය වේ. වැඩි විස්තර සඳහා, 18.1 බලන්න.

3.6

පූජකවරය සහ නිවස

ඔවුන්ගේ ගිවිසුම් රකින සියලුම සභා සාමාජිකයන්—කාන්තාවන්, පිරිමින් සහ දරුවන්— ඔවුන්වම සහ ඔවුන්ගේ පවුල් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ නිවෙස්වල දෙවියන්වහන්සේගේ පූජකවර බලයෙන් ආශිර්වාද ලබති (බලන්න 3.5). මෙම බලය සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සහ පවුල් තුළ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය සම්පූර්ණ කිරීමට උපකාර කරනු ඇත (බලන්න 2.2).

මෙල්කිසදෙක් පූජකවරය දරන පිරිමින්ට මගපෙන්වීම, සුවය සහ සැනසීම ලබා දීම සඳහා පවුලේ සාමාජිකයන්ට පූජක ආශිර්වාද ලබා දිය හැකිය. අවශ්‍ය වූ විට, සභාවේ සාමාජිකයන්ට මෙම ආශිර්වාද පවුලේ ඥාති සාමාජිකයන්ගෙන්, දේවසේවයේ යෙදෙන සහෝදරයන්ගෙන් හෝ ප්‍රාදේශීය සභා නායකයින්ගෙන් ලබාගත හැකිය.