ශුද්ධලියවිලි
ආබ්‍රහම් 1


ආබ්‍රහම්ගේ පොත

ජෝසෆ් ස්මිත් විසින්, පැපිරස්වලින් පරිවර්තනය කරන ලදි

මිසරයේ උමං සොහොන්වලින් අපගේ අත්වලට ලැබුණු පැරණි වාර්තා කිහිපයක පරිවර්තනයකි. ආබ්‍රහම් මිසරයේ සිටියදී, පැපිරස් මත ඔහුගේම ස්වකීය අතින් ලියන ලද ආබ්‍රහම්ගේ පොත ලෙස හැඳින්වූ, ඔහුගේ ලියවිලිය.

1 වෙනි පරිච්ඡේදය

ආබ්‍රහම් ආදිපීතෘ පිළිවෙල අනුව ආශිර්වාද සොයයි—කල්දි නුවර බොරු පූජකවරු විසින් ඔහු හිරිහැර විඳියි—යෙහෝවා වහන්සේ ඔහුව ගලවා ගනියි—මිසරයේ ආරම්භය සහ ආණ්ඩුව සමාලෝචනය කරනු ලැබෙයි.

1 කල්දිවරුන්ගේ දේශයේ, මාගේ පියවරුන්ගේ ගෘහයේ, ආබ්‍රහම් වන මා හට වාසස්ථානය සඳහා වෙනත් ස්ථානයක් ලබාගැනීම අවශ්‍ය බව මට පෙනී ගියේය;

2 තවද, මා හට විශාල ප්‍රීතියක් සහ සාමයක් සහ විශ්‍රාමයක් එහි ඇති බව දැනගැනීමෙන්, පියවරුන්ගේ ආශිර්වාදද, තවද ඒවා ලබාගැනීම සඳහා මාව නියම කළ යුතුව තිබීමේ අයිතියද මම සෙව්වෙමි; මා ධර්මිෂ්ඨකම අනුව යන්නෙක් වීම නිසා, මහත් දැනුමක් ඇති කෙනෙක් බවට පත්වීමේ මහත් ආශාවක් ඇතිව, තවද ධර්මිෂ්ඨකම අනුව යන බලවතෙක් වීමටද, මහත් දැනීමක් හිමිකරගැනීමටද, තවද ජාතීන් බොහොමයක පියෙක් වීමටද, සාමයේ කුමාරයෙක් වීමටද, තවද උපදෙස් ලැබීමට සහ දෙවියන්වහන්සේගේ ආඥා තැබීමට මහත් ආශාවක් ඇතිවද, මම පියවරුන්ට අයත් හිමිකම උසුලන, උත්තම පූජකවරයෙක්, නීත්‍යානුකූල උරුමක්කරුවෙක් බවට පත්වීමි.

3 එය පියවරුන් විසින් මා මත ප්‍රදානය කරන ලදි; එය පහතට පැමිණියේ පියවරුන්ගෙන්ය, කාලය ආරම්භයේ සිට, එසේය, ආරම්භයේ පවා සිට, නැතහොත් පොළොවේ ආරම්භයට පෙර සිට, වර්තමාන කාලය දක්වා, කුළුඳුල් පුත්‍රයාගේ, හෝ පළමු මිනිසා වන ආදම්, හෝ පළමු පියාගේ අයිතිය වන එය, පියවරුන් තුළින් මා හට ලැබුනකි.

4 මම පූජකවරයට මාගේ පත්වීම සෙව්වේ, දෙවියන්වහන්සේ විසින් වංශය සම්බන්ධව පියවරුන්ට ලබාදෙන ලද පත්වීම අනුවය.

5 මාගේ පියවරු, ඔවුන්ගේ ධර්මිෂ්ඨකමින් සහ ස්වාමින් වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන් හට දී තිබූ ශුද්ධ වූ ආඥා වලින් හැරී ගොස්, මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරමින්, මාගේ හඬට උවමනාවෙන් සවන්දීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ;

6 මක්නිසාද ඔවුන්ගේ හදවත් නපුර කිරීමටද, තවද මුළුමනින්ම එල්කෙනාගේ දෙවියන්, සහ ලිබ්නාගේ දෙවියන්, සහ මහාමක්රාගේ දෙවියන්, සහ කොරාෂ්ගේ දෙවියන්, සහ මිසරයේ රජ වූ, පාරාවෝගේ දෙවියන් වෙත සම්පූර්ණයෙන්ම හැරී තිබුණි;

7 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ දරුවන්ව මෙම ගොළු ප්‍රතිමා වලට පූජා කරමින්, ඔවුන්ගේ හදවත් මිත්‍යා දෘෂ්ටික පරිත්‍යාගයට හැරවූහ, තවද මාගේ හඬට උවමනාවෙන් සවන් නොදුන්හ, එහෙත් එල්කෙනාගේ පූජකවරයාගේ හස්තයෙන් මාගේ ජීවිතය පැහැරගැනීමට බලවත් උත්සහයක් දැරීය. එල්කෙනාගේ පූජකවරයා පාරාවෝගේ පූජකවරයාද විය.

8 දැන්, මේ කාලයේ මිසරයේ රජු වන, පාරාවෝගේ පූජකවරයාගේ සිරිත වූයේ, කල්දි දේශයේ ගොඩනගා තිබූ අල්තාරය මත, මෙම නුපුරුදු දෙවිවරුන්ට පූජාවක් ලෙස, මෙම පිරිමින්, කාන්තාවන් හා දරුවන්ව ඔප්පු කිරීමය.

9 තවද එය මෙසේ සිදුවිය එනම් මෙම පූජකවරයා විසින් පාරාවෝගේ දෙවියන්ටද, තවද එමෙන්ම මිසරවරුන්ගේ ආකාරයට අනුව සැග්රීල්ගේ දෙවියන්ටද පූජාවක් ඔප්පු කළේය. දැන් සැග්රීල්ගේ දෙවියන් යනු සූර්යයා විය.

10 පාරාවෝගේ පූජකවරයා විසින්, ඔලිසෙම් මිටියාවත ඉස්මත්තේ පිහිටි, පෝතිපර් කන්ද නමින් හැඳින්වුන කන්ද පාමුල වූ අල්තාරයක් මත, ස්තූති පිදීමක් වශයෙන් දරුවෙකුවද පූජා කළේය.

11 දැන්, මෙම පූජකවරයා විසින් මෙම අල්තාරය මත එක් අවස්ථාවකදී කන්‍යාවන් තිදෙනෙක්ද පූජා කර ඇත, ඔවුන් හාම්ගෙන් පැවත එන්නන්ගෙන් කෙලින්ම පැවත එන රාජකීය වංශයෙන් කෙනෙකු වූ ඔනිටාගේ දූවරුන් විය. මෙම කන්‍යාවරුන්ව පූජා කරනු ලබා ඇත්තේ, මක්නිසාද ඔවුන්ගේ ගුණවන්තකම නිසාය; ඔවුහු ලී හෝ ගල්වලින් තැනූ දෙවිවරුන්ට දණගසා නමස්කාර නොකළහ, එසේහෙයින් ඔවුන්ව මෙම අල්තාරය මත මරණයට පත්කර ඇත්තේය, තවද එය සිදුකරනු ලබා ඇත්තේ මිසරවරුන්ගේ ආකාරයටය.

12 තවද එය මෙසේ සිදුවිය එනම් මෙම පූජකවරුන් මා කෙරෙහිද ප්‍රචණ්ඩව හැසිරුනෝය, එනම් ඔවුන් මෙම අල්තාරය මත එම කන්‍යාවන්ට කළාක් මෙන්, ඔවුන් මාවද මරණයට පත්කරනු පිණිසය; තවද ඔබට මෙම අල්තාරය පිළිබඳ දැනුමක් ලැබෙන පිණිස, මෙම වාර්තාව ආරම්භයේ නිරූපණය දෙසට මම ඔබව යොමුකරන්නෙමි.

13 එය සාදා තිබුණේ කල්දිවරුන් අතර එවකට තිබූ යහනක ආකාරයටය, තවද එය එල්කෙනාගේ, ලිබ්නාගේ, මහමක්රාගේ, කොරාෂ්ගේ දෙවිවරුන්ගේ ආකාරයටද, තවද මිසරයේ රජුන් වූ පාරවෝගේ දෙවියන්ගේ ආකාරයටද පිහිටුවා තිබිණි.

14 ඔබ මෙම දෙවිවරුන් පිළිබඳ අවබෝධයක් ලබාගන්නා පිණිස, මම ඔබට ආරම්භයේදී ඔවුන්ගේ ආකාරය පිළිබඳ විස්තරයක් රූප සටහනකින් ලබාදී ඇත්තෙමි, එම රූප හඳුන්වනු ලබන්නේ කල්දිවරුන්ගේ රාලිනොස් නාමයෙනි, ඒවා හඳුන්වනේ චිත්‍රාක්ෂර ලෙසය.

15 තවද ඔවුන් ඔවුන්ගේ දෑත් මා මත එසවීය, එනම් ඔවුන් මාව පූජාකර මාගේ ජීවිතය ලබාගැනීම සඳහාය, බලන්න, මම මාගේ දෙවියන් වූ ස්වාමින්වහන්සේට මාගේ හඬ එසවුවෙමි, තවද ස්වාමින්වහන්සේ උවමනාවෙන් සවන්දී ඇහුම්කන් දුන්නේය, තවද උන්වහන්සේ මාව සර්වබලධාරියාණන්ගේ දර්ශනයෙන් පූර්ණ කළ සේක, තවද උන්වහන්සේගේ ඉදිරියෙන් වූ දේවදූතයා මා අසල නැගී සිටියේය, තවද එසැණින්ම මාගේ බැමි ලිහා දැමුවේය;

16 තවද උන්වහන්සේගේ හඬ මෙසේ මා කෙරෙහි විය: ආබ්‍රහම්, ආබ්‍රහම්, බලන්න, මාගේ නම යෙහෝවා ය, තවද මට නුඹව ඇසුණේය, තවද නුඹව ගලවාගෙන, තවද නුඹගේ පියාගේ නිවසින් පිටතටත්, තවද නුඹගේ සියලු ඥාතීන්ගෙන් පිටතටත් නුඹව ගෙනගොස්, නුඹ නොදන්නා නුහුරු දේශයකට රැගෙන යාම සඳහා මම පහතට බැස්සෙමි;

17 තවද මෙයට හේතුව ඔවුන් ඔවුන්ගේ හදවත් මා වෙතින් ඉවතට හැරවීමය, එනම් ඒ එල්කෙනාගේ දෙවියන්ට, ලිබ්නාගේ දෙවියන්ට, තවද මහමක්රාගේ දෙවියන්ට, තවද කොරාෂ්ගේ දෙවියන්ට, තවද මිසරයේ රජු වන පාරාවෝගේ දෙවියන්ට නමස්කාර කිරීම පිණිසය; එසේහෙයින් ඔවුන්ව බැහැදැකීම පිණිසත්, තවද ආබ්‍රහම්, මාගේ පුත්‍රය, නුඹගේ ජීවිතය ලබාගැනීමට, නුඹට විරුද්ධව ඔහුගේ අත එසවූ ඔහුව විනාශ කිරීම පිණිසත් මම පහතට පැමිණියෙමි.

18 බලන්න, මා නුඹව මාගේ හස්තයෙන් මෙහෙයවන්නෙමි, තවද මාගේ නාමයද, එමෙන්ම නුඹගේ පියාණන්ගේ පූජකවරය පවා නුඹ මත තබන පිණිස, මා නුඹව ලබාගන්නෙමි, තවද මාගේ බලය නුඹ මත වන්නේය.

19 නෝවා සමඟ එය තිබුනාක් මෙන්, එය නුඹ සමඟද එසේම තිබෙන්නේය; එහෙත් නුඹගේ දේවසේවය තුළින් මාගේ නාමය පොළොව මත සදාකල්ම දැනගනු ලැබෙන්නේය, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේ වෙමි.

20 බලන්න, පෝතිපර්ගේ කන්ද පිහිටියේ කල්දිවරුන්ගේ ඌර් දේශයේය. තවද ස්වාමින්වහන්සේ එල්කෙනාගේ සහ එම දේශයේ දෙවිවරුන්ගේ අල්තාරය කඩා බිඳ දමා, ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කර, පූජකවරයාටද පහරදීමෙන් ඔහු මළේය; තවද එහි කල්දියේ මෙන්ම පාරාවෝගේ මාළිගයේ සැවොම අතරේ මහත් වැලපීමක් විය; එම පාරාවෝ යන නාමයේ අර්ථය වන්නේ රාජකීය ලෙය මගින් වූ රජ යන්නයි.

21 දැන් මිසරයේ මෙම රජතුමා හාම්ගේ වංශයෙන් පැවතෙන්නෙකි, තවද උපතින්ම කනානිවරුන්ගේ ලෙයින් පැවත එන්නෙකි.

22 මෙම වංශයෙන් සියලුම මිසරවරුන් පැවතෙන අතර, තවද මෙසේ කනානිවරුන්ගේ ලෙය දේශයේ ආරක්ෂා වී ඇත්තේය.

23 මිසර දේශය මුලින්ම සොයාගනු ලැබුවේ කාන්තාවක් විසිනි, ඇය හාම්ගේ දියණිය වූවාය, තවද එසේම ඊජිප්ටස්ගේ දියණිය වූවාය, ඊජිප්ටස් යනු කල්දියෙන් හඟවන්නේ මිසරය ලෙසය, එහි අර්ථය තහනම් කර ඇති බවය.

24 මෙම කාන්තාව මෙම දේශය සොයාගන්නා විට එය ජලයෙන් යට තිබිණි, ඇය ඉන්පසුව තම පුත්‍රයන්ව එහි පදිංචි කළාය; තවද මෙසේ, හාම්ගෙන් මෙම දේශයේ ශාපය ආරක්ෂා කරගත් ජාතිය බිහිවිය.

25 දැන් මිසරයේ ප්‍රථම ආණ්ඩුව හාම්ගේ දියණිය වූ ඊජිප්ටස්ගේ වැඩිමහල් පුත්‍රයා වන පාරාවෝ විසින් ස්ථාපිත කරන ලද්දේය, තවද එය හාම්ගේ ආණ්ඩුවේ ආකාරය අනුව විය, එහි පාලන බලය පියාගෙන් පුත්‍රයාට ලෙස පහළට පැමිණියේය.

26 ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූ, පාරාවෝ, සිය රාජ්‍යය පිහිටුවා තවද තම ජනතාවව ඥානවන්තව සහ ධර්මිෂ්ඨව ඔහුගේ සියලු දවස්වලදී විනිශ්චය කළ අතර, පළමු රාජ්‍ය පාලන කාලයේ දින වලදී, එමෙන්ම ආදම්ගේ පාලන කාලය තුළදී, තවද ඔහුව පොළොවේ ආශිර්වාද සමඟින්ද, ඥානයේ ආශිර්වාද වලින්ද ආශිර්වාද කළ, එහෙත් පූජකවරය සම්බන්ධයෙන් ඔහුට ශාප කළ, ඔහුගේ පියෙකු වූ නෝවාගේ පාලන කාලය තුළදී, පළමු පරම්පරාවන් හි පියවරුන් විසින් ස්ථාපිත කරන ලද පිළිවෙල අනුකරණය කිරීමට උද්යෝගයෙන් යුතුව සෙව්වේය.

27 දැන්, එම පූජකවරය නෝවාගෙන්, හාම් තුළින් ලබාගැනීමට පාරාවෝට මහත් උවමනාවක් තිබුණද, පාරාවෝ ඔහුට පූජකවරය ලබාගැනීමට අයිතිය නොමැති එම වංශයෙන් පැවත එන්නෙක් වීමෙන්, එසේහෙයින් ඔවුන්ගේ රූප වන්දනා මගින් මාගේ පියාව ඉවතට මගපෙන්වනු ලබා ඇත්තේය;

28 එහෙත් මින්පසුව මාගේ සිට මැවීමේ ආරම්භය දක්වා පසුපසට දිවයන කාලානුක්‍රමය නිරූපණය කිරීමට මම උත්සහ කළ යුතුව ඇත්තෙමි, මක්නිසාද මෙම වාර්තා මාගේ අතට පත්ව ඇත්තේය, වර්තමානයේදී ඒවා මා ලඟ ඇත්තේය.

29 දැන්, එල්කෙනාගේ පූජකවරයාට පහරදීමෙන් ඔහු මියගිය පසුව, කල්දිවරුන්ගේ දේශය සම්බන්ධව මා හට පවසා තිබූ එම දේවල් වල සම්පූර්ණ වීමක් පැමිණියේය, එනම් එම දේශයේ සාගතයක් තිබිය යුතු බවය.

30 ඒ අනුව කල්දිවරුන්ගේ මුළු දේශය මුළුල්ලේම සාගතයක් හටගත්තේය, තවද මාගේ පියා එම සාගතය නිසා දැඩි ලෙස වේදනාවට පත්ව, තවද මාගේ ජීවිතය ගැනීමට, මට විරුද්ධව ගත් නපුරු තීරණය ගැන ඔහු පසුතැවිලි විය.

31 එහෙත් පූජකවරයේ අයිතිවාසිකම සම්බන්ධව, ආදිපීතෘවරුන් වූ, පියවරුන්ගේ වාර්තා ස්වාමින් වූ මාගේ දෙවියන්වහන්සේ විසින් මාගේ ස්වකීය හස්තයේ ආරක්ෂිතව තබා ඇත්තේය; එසේහෙයින් මැවීමේ ආරම්භය සම්බන්ධවද, තවද ග්‍රහලෝක සම්බන්ධවද, තවද තාරකා සම්බන්ධවද, ඒවා පියවරුන්ට දැනගැනීමට සැලැස්වූ ආකාරයට වූ දැනුමක් මම මේ දවස දක්වා වුවත් තබාගෙන ඇත්තෙමි, තවද මාගෙන් පසුව පැමිණෙන මාගේ පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා මේ සම්බන්ධ සමහර කාරණා මෙම වාර්තාව මත ලිවීමට මම උත්සාහ කරන්නෙමි.