ශුද්ධලියවිලි
ආබ්‍රහම් 4


4 වෙනි පරිච්ඡේදය

දෙවිවරු පොළොව සහ එහි සියලුම ජීවය මැවීම සැලසුම් කරති—දවස් හයක් තුළ මැවීමේ උන්වහන්සේලාගේ සැලසුම සකස් කෙරේ.

1 තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: අපි පහළට යමු. තවද ඔවුන් ආරම්භයේදී පහළට ගියහ, තවද ඔවුන්, එනම් දෙවිවරුන්, අහස සහ පොළොව සංවිධානය කොට සකස් කළහ.

2 තවද පොළොව, එය සකස් කිරීමෙන් පසුව, හිස් සහ පාළු විය, මක්නිසාද ඔවුන් වෙනත් කිසිවක් නොව පොළොව පමණක් සකස් කර තිබිණි; තවද ගැඹුරේ මුහුණත මත අන්ධකාරය රජකම් කළේය, තවද දෙවිවරුන්ගේ ආත්මය ජල මුහුණත මත ආරක්ෂාව සලසමින් සිටියෝය.

3 තවද උන්වහන්සේලා (දෙවිවරුන්) මෙසේ කීහ: එහි ආලෝකය වේවා; තවද එවිට ආලෝකය ඇති විය.

4 තවද උන්වහන්සේලා (දෙවිවරු) ආලෝකය අවබෝධ කරගත් සේක, මක්නිසාද එය දීප්තිමත් විය; තවද උන්වහන්සේලා ආලෝකය වෙන් කළ සේක, නැතහොත් එය අන්ධකාරයෙන් වෙන්වීමට සැලැස්වූ සේක.

5 තවද එම දෙවිවරුන් ආලෝකය දහවල කියාද, තවද අන්ධකාරය රාත්‍රිය කියාද හැඳින්වූහ. තවද එය මෙසේ සිදුවිය එනම් සන්ධ්‍යා කාලයේ සිට උදෑසන දක්වා ඔවුන් රාත්‍රිය ලෙස හැඳින්වූහ; තවද උදෑසන සිට සන්ධ්‍යා කාලය දක්වා ඔවුන් දහවල ලෙස හැඳින්වූහ; තවද මෙය දහවල සහ රාත්‍රිය හැඳින්වීමේ, පළමු, නැතහොත් ආරම්භය විය.

6 තවද දෙවිවරුන් මෙසේද කී සේක: ජලය මධ්‍යයෙහි අවකාශයක් වේවා, තවද එය ජලයෙන් ජලය බෙදනු ලැබේවා.

7 තවද දෙවිවරුන් එම අවකාශයට නියෝග කළ සේක, එවිට එය අවකාශයට යටින් තිබූ ජලය අවකාශයට ඉහළින් තිබූ ජලයෙන් වෙන් කළේය; තවද උන්වහන්සේලා නියෝග කළ ලෙස, එය එසේ සිදුවිය.

8 දෙවිවරුන් අවකාශයට අහස කියා නම් තැබූ සේක. තවද එය මෙසේ සිදුවිය එනම් සන්ධ්‍යාවේ සිට උදෑසන දක්වා ඔවුන් එය රාත්‍රිය ලෙස හැඳින්වූවෝය; තවද එය මෙසේ සිදුවිය එනම් උදෑසන සිට සන්ධ්‍යාව දක්වා ඔවුන් එය දහවල ලෙස හැඳින්වූවෝය; තවද ඔවුන් රාත්‍රිය සහ දහවල ලෙස හැඳින්වූ දෙවන අවස්ථාව මෙය විය.

9 තවද දෙවිවරුන් මෙසේ කියමින් නියෝග කළ සේක: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස්වේවා, තවද පොළොව වියළි වේවා; තවද උන්වහන්සේලා නියම කළ ලෙස එය එසේ සිදුවිය;

10 තවද දෙවිවරුන් වියළි බිමට, පොළොව ලෙස නම් තැබූහ; තවද එකට රැස්වූ ජලයට, ඔවුහු මහා මුහුද කියාද නම් තැබූ සේක; තවද ඒවා අවනත වූ බව දෙවිවරුන් දුටු සේක.

11 තවද දෙවිවරුන් මෙසේ කී සේක: අපි පොළොව තෘණ උපදවීමට සූදානම් කරමු; බීජ නිපදවන ඔසුද, එහි බීජ වලින් ඒ ආකාරයේම පොළොව මත හටගන්නා, ඒ ඒ වර්ග ලෙස ඵල දරන ඵල වෘක්ෂද උපදවීමට සූදානම් කරමු; තවද උන්වහන්සේලා නියම කළ ලෙස එය එසේ සිදුවිය.

12 තවද දෙවිවරුන් පොළොව ඒ ඒ ස්වකීය බීජවලින් තෘණ හටගැනීමටද, ඒ ඒ ස්වකීය වර්ගවලින් පළා උපදවන පළා වර්ගද, ඒ ඒ වර්ග ලෙස හටගැනීමටද; තවද පොළොව එම වෘක්ෂ වලම බීජ වලින්, ඵල දරන වෘක්ෂ හටගැනීමටද, එහි බීජවලින් එම වර්ගයම පමණක් උපදවීමටද පොළොව සංවිධානය කළහ; තවද ඒවා අවනත වී තිබෙන බව දෙවිවරුන් දුටු සේක.

13 තවද එය මෙසේ සිදුවිය එනම් උන්වහන්සේලා දින ගණන් කළෝය; සන්ධ්‍යාවේ සිට උදෑසන දක්වා ඔවුන් රාත්‍රිය ලෙස හැඳින්වූහ; තවද එය මෙසේ සිදුවිය, උදෑසන සිට සන්ධ්‍යාව දක්වා ඔවුන් දහවල ලෙස නම් කළෝය; තවද එය තුන්වන අවස්ථාව විය.

14 තවද දෙවිවරුන් අහස් අවකාශයෙහි ආලෝකයන් සංවිධානය කර, තවද ඒවාට රාත්‍රියෙන් දහවල වෙන්කිරීමට සැලැස්වූ සේක; තවද ඒවා සලකුණු ලෙසද සෘතු ලෙසද, තවද දින ලෙසද, තවද අවුරුදු ලෙසද වීම සඳහා සංවිධානය කළ සේක.

15 තවද පොළොවට ආලෝකය ලබාදීම සඳහා ඒවා අහස් අවකාශයේ ආලෝකයන් වීමට සංවිධානය කළ සේක; තවද එය එසේ සිදුවිය.

16 තවද දෙවිවරුන් මහත් ආලෝකයන් දෙකක් සංවිධානය කළහ, ඉතා මහත් ආලෝකය දහවලට අධිපතිකම් කිරීමටත්, තවද කුඩා ආලෝකය රාත්‍රියට අධිපතිකම් කිරීමටත්ය; කුඩා ආලෝකය සමඟ ඔවුන් තාරකාද ස්ථාපිත කළ සේක;

17 තවද දෙවිවරුන් ඒවා අහස් තලයෙහි සකස්කළේ, පොළොව මතට ආලෝකය දීම සඳහාත්, තවද දහවල කෙරෙහිත් රාත්‍රිය කෙරෙහිත් අධිපතිකම් දැරීමත් සඳහාය, තවද අන්ධකාරයෙන් ආලෝකය වෙන්වීමට සැලැස්වීම සඳහාය.

18 තවද දෙවිවරුන් ඔවුන් ආඥා කළ එම දේවල් අවනත වන තුරු ඒවා දෙස බලා සිටි සේක.

19 තවද එය මෙසේ සිදුවිය එනම් සන්ධ්‍යාවේ සිට උදෑසන දක්වා එය රාත්‍රිය විය; තවද එය මෙසේ සිදුවිය එනම් උදෑසන සිට සන්ධ්‍යාව දක්වා එය දහවල විය; තවද එය හතරවන අවස්ථාව විය.

20 තවද දෙවිවරුන් මෙසේ කී සේක: ජීවය ඇති එහා මෙහා යන ජීවීන් බොහෝ සේ වැඩිවන පිණිස අපි ජලයන් සූදානම් කරමු; තවද ඔවුන් පොළොවට ඉහළින් අහසේ විවෘත අවකාශයේ පියඹා යන පිණිස පක්ෂීන් ද සාදමු.

21 තවද දෙවිවරුන් ජලයන් සූදානම් කළ සේක එනම් ඒවා විශාල මත්සයන්ද, තවද එහා මෙහා යන සියලු ජීවමාන ජීවීන් ද, ඔවුන්ගේ ආකාරයට අනුව ජලයන් මගින් ඔවුන්ව තවත් වැඩි වර්ධනය කරන පිණිස සූදානම් කළ සේක; තවද පියාපත් ඇති සියලුම පක්ෂීන්ද එසේම සූදානම් කළ සේක. තවද ඒවා අවනත වූ බවත්, තවද ඔවුන්ගේ සැලැස්ම යහපත් බවත් දෙවිවරුන් දුටු සේක.

22 තවද දෙවිවරුන් මෙසේ කී සේක: අපි ඔවුන්ට ආශිර්වාද කරන්නෙමු, තවද ඔවුන්ට සාරවත් වී වැඩි වර්ධනය වී, තවද මුහුදුවල ජලය හෝ මහත් ජලයන් පිරවීමටද සලස්වන්නෙමු; තවද පක්ෂීන්ටද පොළොවෙහි වැඩි වර්ධනය වන්නට සලස්වන්නෙමු.

23 තවද එය මෙසේ සිදුවිය එනම් සන්ධ්‍යාවේ සිට උදෑසන දක්වා ඔවුන් එය රාත්‍රිය ලෙස හැඳින්වූවෝය; තවද එය මෙසේ සිදුවිය එනම් උදෑසන සිට සන්ධ්‍යාව දක්වා ඔවුන් එය දහවල ලෙස හැඳින්වූවෝය; තවද එය පස්වන අවස්ථාව විය.

24 තවද දෙවිවරුන් ඒ ඒ වර්ගවල ජීවමාන සත්වයන්, සිව්පාවුන් සහ පොළොව මත බඩගා යන සතුන්, තවද පොළොවේ ඒ ඒ වර්ගවල මෘගයන්ද ඇතිවන පිණිස පොළොව සූදානම් කළ සේක; තවද ඔවුන් කී ලෙස එය එසේ සිදුවිය.

25 තවද දෙවිවරුන් ඒ ඒ වර්ග වල මෘගයන්ද, තවද ඒ ඒ වර්ග වල සිව්පාවුන්ද, තවද ඒ ඒ වර්ග වල පොළොව මත බඩගායන සියලුම සතුන්ද පැමිණවීම සඳහා පොළොව සංවිධානය කළ සේක; තවද ඔවුන් අවනත වන බව දෙවිවරුන් දුටු සේක.

26 තවද දෙවිවරුන් ඔවුන් අතර සාකච්ඡා කර තවද මෙසේ කී සේක: අපි පහළට ගොස් අපගේ ස්වරූපයෙන්, අපගේ සමානත්වයෙන් මනුෂ්‍යයාව සාදමු; තවද අපි ඔවුන්ට මුහුදේ මත්සයන් කෙරෙහිත්, තවද අහසේ පක්ෂීන් කෙරෙහිත්, තවද සිව්පාවුන් කෙරෙහිත්, තවද මුළු පොළොව කෙරෙහිත්, තවද පොළොව මත බඩගායන සියලුම බඩගා යන සතුන් කෙරෙහිත් ආධිපත්‍යය දෙමු.

27 දෙවිවරු එසේ, ඔවුන්ගේ ස්වරූපයෙන්, දෙවිවරුන්ගේ ස්වරූපයෙන් ඔවුන් ඔහුව, මනුෂ්‍යයාව සංවිධානය කිරීමට පහළට ගිය සේක, ඔවුන් ඔවුන්ව පුරුෂයා සහ ස්ත්‍රිය ලෙස සෑදුවෝය.

28 තවද දෙවිවරු මෙසේ කී සේක: අපි ඔවුන්ට ආශිර්වාද කරන්නෙමු. තවද දෙවිවරුන් මෙසේ කී සේක: අපි ඔවුන්ට බෝ වී තවද වැඩි වර්ධනය වෙමින්, පොළොව සාරවත් කර, තවද එය යටත් කරගෙන, තවද මුහුදේ මත්සයන් කෙරෙහිද, තවද අහසේ පක්ෂීන් කෙරෙහිද, තවද පොළොව මත එහා මෙහා යන සියලුම ජීවී දේවල් කෙරෙහිද ආධිපත්‍ය ලබන්නට සලස්වමු.

29 තවද දෙවිවරු මෙසේ කී සේක: බලන්න, මුළු පොළොවේම මුහුණත මත පැමිණෙන බීජ දරන සියලුම පළාද, තවද ඒවා මත ඵල ඇති සියලුම වෘක්ෂද, අපි ඔවුන්ට ලබාදෙන්නෙමු; එසේය, ඔවුන්ට බීජ ලබාදෙන වෘක්ෂ මත ඇති ඵලද අපි ඒවාට ලබාදෙමු; ඒ ඔවුන්ගේ ආහාර සඳහාය.

30 තවද පොළොවේ සෑම මෘගයෙකුටම, තවද අහසේ සෑම පක්ෂියෙකුටම, තවද පොළොව මත බඩගා යන සෑම දේකටම, අපි ඔවුන්ට ජීවය ලබාදෙන්නෙමු, තවද එසේම අපි ඔවුන්ට ආහාර සඳහා සෑම කොළ පැහැති පළාද ලබාදෙන්නෙමු, තවද මේ සියල්ලම මෙලෙස සංවිධානය වෙනු ලැබෙන්නේය.

31 තවද දෙවිවරු මෙසේ කී සේක: අප ප්‍රකාශ කළ සෑම දෙයක්ම අපි කරන්නෙමු, තවද ඒවා සංවිධානය කරන්නෙමු; තවද බලන්න, ඒවා බෙහෙවින් කීකරු විය යුතු වන්නේය. තවද එය මෙසේ සිදුවිය එනම් සන්ධ්‍යාවේ සිට උදෑසන දක්වා ඔවුන් එය රාත්‍රිය ලෙස හැඳින්වූවෝය; තවද එය මෙසේ සිදුවිය එනම් උදෑසන සිට සන්ධ්‍යාව දක්වා ඔවුන් එය දහවල ලෙස හැඳින්වූවෝය; තවද එය හයවන අවස්ථාව විය.