ශුද්ධලියවිලි
ආබ්‍රහම් 5


5 වෙනි පරිච්ඡේදය

දෙවිවරු විසින් සියලු දේවල් වල මැවීමේ ඔවුන්ගේ සැලැස්ම අවසන් කළ සේක—උන්වහන්සේලාගේ සැලසුම් අනුව උන්වහන්සේලා මැවීම සිද්ධකරන සේක—ආදම් සියලු ජීවමාන මැවීම් නම් කරයි.

1 තවද මෙසේ අපි අහස සහ පොළොවද, තවද එහි සියලුම සේනාවන්ද අවසන් කරන්නෙමු.

2 තවද දෙවිවරු ඔවුනොවුන් අතර මෙසේ කී සේක: හත්වන කාලයේ අපි සාකච්ඡා කළ, අපගේ කාර්යය අවසන් කරන්නෙමු; තවද අපි සාකච්ඡා කළ අපගේ සියලුම කාර්යයන් වලින් හත්වන කාලයේ අපි විවේක ගන්නෙමු.

3 තවද දෙවිවරුන් හත්වන කාලය වන විට අවසන් කළෝය, මක්නිසාද හත්වන කාලයේදී උන්වහන්සේලා (දෙවිවරුන්) තමන් අතර සාකච්ඡා කළ පරිදි සියලු කාර්යයන් වලින් විවේක ගන්නා පිණිසය; තවද උන්වහන්සේලා එය පාරිශුද්ධ කළ සේක. තවද මෙසේ අහස සහ පොළොව සාදන්නට ඔවුනොවුන් අතර සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන්ගේ තීරණ එසේ විය.

4 තවද දෙවිවරු පහළට පැමිණ අහසේ සහ පොළොවේ මෙම පරම්පරා සෑදූ සේක, තවද ඒවා සෑදූ අවස්ථාවේ දෙවිවරුන් පොළොව සහ අහස සෑදූ සේක,

5 සියලුම ශාක ඒවා පොළොවේ තිබෙන්නට පෙරත්, තවද සියලුම පළා ඒවා තැනිතලාවේ වැඩෙන්නට පෙරත්, උන්වහන්සේලා ඒවා ගැන පැවසූ සියල්ලටම අනුව ඒවා සෑදූ සේක; මක්නිසාද දෙවිවරුන් මේවා කිරීමට සාකච්ඡා කරද්දී පොළොව මත වර්ෂාව පතිත වීම සලස්වා තිබුණේ නැත, තවද පොළොව වගාකිරීම පිණිස මනුෂ්‍යයෙකුව ගොඩනගා තිබුණේ නැත.

6 එහෙත් පොළොවෙන් මීදුමක් නැගී, තවද මුළු භූමි තලයම තෙමුවේය.

7 තවද දෙවිවරුන් පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යාව සෑදුවේය, තවද ඔහුගේ ආත්මය ගෙන (එනම්, මනුෂ්‍යයාගේ ආත්මය), තවද එය ඔහු තුළට දැමීය; තවද ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක, තවද මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් බවට පත්විය.

8 තවද දෙවිවරුන් ඒදන් හි නැගෙනහිරින් උයනක් වවා, තවද ඔවුන් විසින් සාදන ලද ශරීරිය තුළට ඔවුන් දැමූ ආත්මය වූ, මනුෂ්‍යයාව එහි තැබීය.

9 තවද දැකීමට ප්‍රිය වූද එමෙන්ම ආහාර සඳහා යහපත් වූද සියලුම වෘක්ෂ පොළොවෙන් හටගෙන වැඩීමට දෙවිවරුන් සැලැස්වූහ; එසේම, ජීවනයේ වෘක්ෂයද, තවද යහපත සහ නපුර දැනගැනීමේ වෘක්ෂයද එම උයන මත හටගැනීමට සැලැස්වූහ.

10 ඒදන් උයනට ජලය ලැබෙන පිණිස, එම උයනින් නික්ම යන ගංගාවක් විය, තවද එය එතැනින් බෙදී ගංගා හතරක් බවට පත්විය.

11 තවද දෙවිවරු මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත්, එය බලාගන්ටත් එහි පදිංචි කළ සේක.

12 තවද දෙවිවරු මනුෂ්‍යයාට ආඥා කරමින් මෙසේ කී සේක: නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්නට පුළුවන,

13 එහෙත් යහපත සහ නපුර දැනගනීමේ ගසෙන්, නුඹ එයින් නොකෑ යුතුය; මක්නිසාද නුඹ එයින් කෑ දවසෙහි, ඒකාන්තයෙන්ම නුඹ නසින්නෙහිය. දැන් ආබ්‍රහම් වන මම, එය ස්වාමින්වහන්සේගේ කාලය අනුව බවත්, එනම් ඒ කොලොබ් හි කාලයට අනුව බවත් දුටුවෙමි; මක්නිසාද තවමත් දෙවිවරු ආදම්ව ඔහුගේ කාල මිනුම සඳහා නියම කර තිබුණේ නැත.

14 තවද දෙවිවරු මෙසේ කී සේක: අපි මෙම මනුෂ්‍යයාට සහකාරියක් සාදා දෙමු, මක්නිසාද මනුෂ්‍යයා තනිවම සිටීම හොඳ නැත, එසේහෙයින් අපි ඔහුට සහකාරියක් සාදමු.

15 තවද දෙවිවරු ආදම් මත බර නින්දක් පැමිණෙන්නට සැලැස්වූ සේක; තවද ඔහු නිදාගත්තේය, තවද උන්වහන්සේලා ඔහුගේ ඉලඇටවලින් එකක් ගෙන, තවද ඒ ස්ථානය මාංශයෙන් පිරවූ සේක;

16 තවද දෙවිවරු මනුෂ්‍යයාගෙන් ගත් ඉලඇටයෙන්, ඔවුන් ස්ත්‍රියක් සාදා, තවද ඇයව මනුෂ්‍යයා වෙතට ගෙන ආ සේක.

17 තවද ආදම් එවිට මෙසේ පැවසීය: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංශයෙන් මාංශයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නා ලද හෙයින් මනුෂ්‍ය දූ යයි කියනු ලබන්නීය;

18 එසේහෙයින් පුරුෂයා තමාගේ පියාද මවුද අත්හැර, තවද තම භාර්යාවට ඇලුම් විය යුතු වන්නේය, තවද ඔවුහු එක මාංශයක් වන්නෝය.

19 තවද මනුෂ්‍යයාද, ඔහුගේ භාර්යාවද, ඔවුන් දෙදෙනාම නග්නව සිටියද, ලැජ්ජා නොවූහ.

20 තවද දෙවිවරු වනයේ සියලු මෘගයන්ද, අහසේ සියලු පක්ෂීන්ද භූමියෙන් පැමිණෙන්නට සලස්වා, තවද ආදම් උන්ට මොන මොන නම් තබන්නේදැයි බලනු පිණිස ඔවුන්ව ඔහු වෙතට පැමිණෙවූ සේක; තවද ආදම් ඒ සියලු ජීවමාන සතුන්ට තැබූ නම්, එතැන් සිට උන්ගේ නාමයන් විය.

21 තවද ආදම් සියලු සිව්පාවුන්ටත්, ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; තවද ආදම්ට සුදුසු සහකාරියක් සම්භ විය.