ශුද්ධලියවිලි
ආබ්‍රහම් 2


2 වෙනි පරිච්ඡේදය

ආබ්‍රහම් කානාන් දේශයට යාමට ඌර් වලින් පිටත්වෙයි—යෙහෝවා වහන්සේ හාරාන් හිදී ඔහුට ප්‍රකාශ වන සේක—ශුභාරංචියේ සියලුම ආශිර්වාද ඔහුගේ වංශයටද, ඔහුගේ වංශය තුළින් සියල්ලන්ටමද පොරොන්දු වෙයි—ඔහු කානාන් දේශයට ගොස් එතැනින් මිසරයට යයි.

1 දැන් ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෙම සාගතයට ඌර් දේශය මත බොහෝ සේ දැඩිවීමට සැලැස්වූවේය, එහි ප්‍රතිඵලයක් ලෙස හාරාන් වූ මගේ සහෝදරයා, මරණයට පත්විය; එහෙත් මාගේ පියා වූ ටෙරා, කල්දිවරුන්ගේ ඌර් දේශයේ තවදුරටත් ජීවත් විය.

2 තවද එය මෙසේ සිදුවිය එනම් ආබ්‍රහම් වන මම, සාරයි මාගේ භාර්යාව කරගත්තෙමි, තවද මාගේ සහෝදරයා වන නාහෝර්, මිල්කා භාර්යාව කරගත්තේය, ඇය හාරාන්ගේ දියණියක් විය.

3 දැන් ස්වාමින්වහන්සේ මට මෙසේ පවසා ඇති සේක: ආබ්‍රහම්, නුඹ නුඹේ රටින්ද, නුඹේ ඥාතීන්ගෙන්ද, තවද නුඹේ පියාගේ නිවසින්ද, පිටත්ව, මම නුඹට පෙන්වන දේශයකට යන්න.

4 එසේහෙයින් මම කානාන් දේශයට යන පිණිස, කල්දිවරුන්ගේ ඌර් දේශයෙන් පිටත් වුණෙමි; තවද මම මාගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත් ද, තවද ඔහුගේ භාර්යාවද, තවද මාගේ භාර්යාව වූ සාරයි ද රැගෙන ගියෙමි, තවද එමෙන්ම මාගේ පියාද, අප විසින් හාරාන් යැයි හැඳින්වූ දේශයට මා පසුපස පැමිණියේය.

5 තවද සාගතය අඩු විය; තවද හාරාන් හි බොහෝ සත්ව රැළවල් සිටි නිසා, මාගේ පියා හාරාන් හි නැවතී එහි වාසය කළේය; තවද මාගේ පියා නැවතත් ඔහුගේ රූප වන්දනාවට නැඹුරු විය, එසේහෙයින් ඔහු හාරාන් හි දිගටම රැඳී සිටියේය.

6 එහෙත්, ආබ්‍රහම් වන මම, සහ මාගේ සහෝදරයාගේ පුත්‍රයා වන ලොත් ස්වාමින්වහන්සේට යාච්ඤා කළෝය, තවද ස්වාමින්වහන්සේ මා හට ප්‍රකාශ වී, තවද මා හට මෙසේ කී සේක: නැගිට, ලොත්ව නුඹත් සමඟ රැගෙන යන්න; මක්නිසාද නුඹව හාරාන් වලින් පිටත ගෙනයාමටත්, නුඹගේ වංශය මාගේ වචනයට උවමනාවෙන් ඇහුම්කන් දෙන විට, නුඹගෙන් පැවත එන ඔවුන්ට මම ලබාදෙන සදාකාලික උරුමයක් වන වෙනත් දේශයක මාගේ නාමය පිළිබඳ සාක්ෂි දැරීම සඳහා නුඹව දේවසේවකයෙකු කිරීමටත් මම අරමුණු කරගෙන ඇත්තෙමි.

7 මක්නිසාද මම නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වෙමි; මම ස්වර්ගයෙහි වාසය කරන්නෙමි; පොළොව මාගේ පා පුටුවය; මම මාගේ අත් සාගරය මතින් දිගුකරන්නෙමි, තවද එය මාගේ හඬට අවනත වන්නේය; මම සුළඟට සහ ගින්දරට මාගේ රථය වන්නට සලස්වමි; මම කඳුවලට මෙසේ පවසන්නෙමි—මෙතනින් ඉවත් වන්න—තවද බලන්න, ඒවා සුළි සුළඟකින්, ක්ෂණයකින්, එසැණින්ම ඉවතට ගෙනයනු ලැබෙන්නේය.

8 මාගේ නාමය යෙහෝවා ය, තවද මම අවසානය ආරම්භයේ සිටම දන්නෙමි; එසේහෙයින් මාගේ හස්තය නුඹව ආරක්ෂා කරන්නේය.

9 තවද මම නුඹගෙන් ශ්‍රේෂ්ඨ ජාතියක් සාදන්නෙමි, තවද මම නුඹට ගිණිය නොහැකි ලෙස ආශිර්වාද කර, තවද නුඹේ නම සියලු ජාතීන් අතර ශ්‍රේෂ්ඨ කරන්නෙමි, තවද නුඹෙන් පසුව පැමිණෙන නුඹේ වංශයට නුඹ ආශිර්වාදයක් වන්නෙහිය, තවද ඔවුහු මෙම දේවසේවය සහ පූජකවරය සියලු ජාතීන් හට ඔවුන්ගේ අත්වලින් දරාසිටිනු ඇත්තෝය;

10 තවද මම නුඹගේ නාමය තුළින් ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි; මක්නිසාද මෙම ශුභාරංචිය ලබාගන්නා සියල්ලන්ව නුඹගේ නාමයෙන් හඳුන්වනු ලබන අතර, තවද නුඹගේ වංශය ලෙස ගණන්ගනු ලබන්නේය, තවද ඔවුන් නැගිට, ඔවුන්ගේ පියා ලෙස නුඹට ප්‍රශංසා කරනු ලබන්නෝය;

11 තවද නුඹට ආශිර්වාද කරන ඔවුන්ට මම ආශිර්වාද කරන්නෙමි, තවද නුඹට ශාප කරන ඔවුන්ට මම ශාප කරන්නෙමි; තවද නුඹ තුළින් (එනම්, නුඹගේ පූජකවරය තුළින්), තවද නුඹගේ වංශය තුළින් (එනම්, නුඹේ පූජකවරයට), මම නුඹට පොරොන්දුවක් දෙන්නෙමි, එනම් මෙම උරුමය නුඹ තුළ දිගටම පවතින්නේය, තවද නුඹගෙන් පසුව නුඹගේ වංශය තුළින් (එනම් සැබෑ වංශය හෝ ශරීරයේ වංශය) පොළොවේ සියලුම පවුල්, ගැලවීමේ එමෙන්ම සදාකාල ජීවනයේ ආශිර්වාද වන, ශුභාරංචියේ ආශිර්වාද සමඟ පවා, ආශිර්වාදිත වන්නෝය.

12 දැන්, ස්වාමින්වහන්සේ මා හට කතාකිරීමෙන් ඉවත් වූ පසුව, තවද උන්වහන්සේගේ මුහුණ මාගෙන් ඉවත් කරගත් පසුව, මාගේ සිතින් මම මෙසේ කීවෙමි: ඔබවහන්සේගේ සේවකයා ඔබවහන්සේව ඉතා උනන්දුවෙන් සෙව්වේය; දැන් මම ඔබවහන්සේව සොයා ගත්තෙමි;

13 ඔබවහන්සේ ඔබවහන්සේගේ දේවදූතයන් එවා මාව එල්කෙනාගේ දෙවිවරුන්ගෙන් ගලවාගත් සේක, තවද මම ඔබවහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දීම මට යහපත් වන්නේය, එසේහෙයින් ඔබවහන්සේගේ සේවකයාට නැගිට සමාදානයෙන් යාමට සලස්වන සේක්වා.

14 එසේම ආබ්‍රහම් වන මම, ස්වාමින්වහන්සේ මා හට කී ලෙස, ලොත් සමඟ පිටත්වූයෙමි; තවද ආබ්‍රහම් වන මට, මා හාරාන් සිට පිටත්වන විට අවුරුදු හැට දෙකක් වයස් විය.

15 තවද මම කල්දියේ ඌර් හි සිටියදී මාගේ භාර්යාව ලෙස ගත් සාරයි ද තවද මාගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත් ද තවද අප එකතුකරගත් අපගේ සියලු වස්තුවද මෙන්ම, හාරාන් හිදී අප දිනාගත් ප්‍රාණයන්ද රැගෙන, තවද කානාන් දේශයට යන මාර්ගයට ඉදිරියට පැමිණ, අප අපගේ ගමනේ අතරතුර කූඩාරම් වල වාසය කළෙමු;

16 එසේහෙයින්, අපි හාරාන් සිට යාර්සොන් මාර්ගය ඔස්සේ කානාන් දේශයට ගමන්කරන විට, අපගේ රැකවරණය සහ අපගේ පර්වතය සහ ගැලවීම වූයේ සදාකාලයයි.

17 දැන්, ආබ්‍රහම් වන මම, යාර්සෝන් දේශයේ අල්තාරයක් සාදා, තවද ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කර, තවද සාගතය මාගේ පියාගේ ගෘහයෙන් හැරී යන ලෙසත්, එනම් ඔවුන් විනාශ නොවන පිණිසත් යාච්ඤා කළෙමි.

18 තවද ඉන්පසුව අපි සෙකම් දක්වා යාම සඳහා ගොඩබිමින් යාර්ෂෝන් පසු කළෙමු; එය පිහිටියේ මොරේ තැනිතලාවේය, තවද අපි දැනටමත් කානානිවරුන්ගේ දේශ සීමාවට පැමිණ සිටියෙමු, තවද මම එහි මොරේ තැනිතලාවේදී පූජාවක් ඔප්පු කර, තවද භක්තිමත්ව ස්වාමින්වහන්සේට මොරගැසුවෙමි, මක්නිසාද අපි දැනටමත් මෙම රූප වන්දනා කරන්නන්ගේ දේශයට පැමිණ සිටි නිසාය.

19 තවද මාගේ යාච්ඤාවට පිළිතුරු ලෙස ස්වාමින්වහන්සේ මා හට ප්‍රකාශ වී, තවද මා හට මෙසේ කී සේක: නුඹගේ වංශය උදෙසා මම මේ දේශය ලබාදෙන්නෙමි.

20 තවද ආබ්‍රහම් වන මම, මා විසින් ස්වාමින්වහන්සේ හට ගොඩනැගූ අල්තාරය සෑදූ ස්ථානයෙන් නැගිට, එතැනින් බෙතෙල් හි නැගෙනහිරින් පිහිටි කඳුකරයට ගොස්, එහිදී මාගේ කූඩාරම ඉදිකළෙමි, බෙතෙල් බටහිරින්ද, ආයි නැගෙනහිරින්ද විය; තවද මම එහිදී ස්වාමින්වහන්සේට තවත් අල්තාරයක් සාදා, තවද නැවතත් ස්වාමින්වහන්සේගේ නාමය කෙරෙහි මොරගැසුවෙමි.

21 තවද ආබ්‍රහම් වන මම, තවමත් දකුණු දෙසට ගමන් කරමින් සිටියෙමි; තවද එම දේශයේ සාගතයක පැවැත්මක් තවදුරටත් පැවතිණි; තවද ආබ්‍රහම් වන මම එහි තාවකාලිකව වාසය කිරීම සඳහා මිසරයට යාම අවසන් කළෙමි, මක්නිසාද සාගතය ඉතා දරුණූ වූ නිසාය.

22 තවද එය මෙසේ සිදුවිය එනම් මම මිසරයට ඇතුල්වීමට සමීපයට පැමිණි විට, ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: බලන්න, නුඹේ බිරිඳ සාරයි, දැකීමට ඉතාමත් ප්‍රිය ස්ත්‍රියකි;

23 එසේහෙයින් එය මෙසේ සිදුවන්නේය, මිසරවාසීන් ඇය දුටු විට, ඔවුන් මෙසේ කියනු ඇත—ඇය ඔහුගේ භාර්යාවයි; ඔවුන් නුඹව මරා දමනු ඇත, එහෙත් ඔවුන් ඇයව ජීවත්වීමට ඉතිරි කරනු ඇත; එසේහෙයින් නුඹ මේ ගැන ඥාවන්තව ක්‍රියා කළ යුතු වන්නේය:

24 ඇය නුඹේ සොහොයුරිය බවත්, තවද නුඹේ ප්‍රාණය ජීවත් විය යුතු බවත් ඇය ලවා මිසරවාසීන්ට පැවසීමට සලස්වන්න.

25 තවද එය මෙසේ සිදුවිය එනම් ආබ්‍රහම් වන මම, ස්වාමින්වහන්සේ මට පැවසූ සියල්ල, මාගේ භාර්යාව වූ සාරයි හට කීවෙමි—එසේහෙයින් නුඹ නිසා මට යහපතක් සිදුවෙන පිණිසද, නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැලවෙන පිණිසද, නුඹ මාගේ සහෝදරිය යැයි ඔවුන්ට පවසන ලෙස මම නුඹෙන් ඉල්ලා සිටින්නෙමි.