ශුද්ධලියවිලි
මෝසෙස් 1


මෝසෙස්ගේ පොතෙන්
තෝරාගත් කොටස්

1830 ජුනි–1831 පෙබරවාරි කාලය අතරතුරදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට එළිදරව් කළ බයිබල් පරිවර්තනයෙන් උපුටාගැනීමකි.

1 වන පරිච්ඡේදය

(1830 ජුනි)

දෙවියන්වහන්සේ මෝසෙස්ට තමන්වහන්සේව එළිදරව් කරයි—මෝසෙස් අන්වෙසක් ගනියි—සාතන් ඔහුව මුණගැසෙයි—මෝසෙස් බොහෝ ජනාවාස වූ ලෝක දකියි—පුත්‍රයාණන් විසින් අසීමිත ලෝක නිර්මාණය කරනු ලැබ ඇත්තේය—දෙවියන්වහන්සේගේ කාර්යය සහ මහිමය වන්නේ මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමය.

1 දෙවියන්වහන්සේ මෝසෙස්ව අතිශයින්ම උස්වූ කන්දකට ඔසවා ගත් අවස්ථාවේ උන්වහන්සේ මෝසෙස් හට කතා කළ වචන වේ,

2 තවද ඔහු දෙවියන්වහන්සේව මුහුණට මුහුණ දුටුවේය, තවද ඔහු උන්වහන්සේ සමඟ කතා කළේය, තවද දෙවියන්වහන්සේගේ මහිමය මෝසෙස් මත විය; එසේහෙයින් මෝසෙස්ට උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම දරාගත හැකිවිය.

3 තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කතාකර, මෙසේ කී සේක: බලන්න, මම ස්වාමින් වන සර්වබලධාරී දෙවියන්වහන්සේ වෙමි, තවද අනන්තය යනු මාගේ නාමය වේ; මක්නිසාද මට ආරම්භක දින හෝ අවසාන වර්ෂයන් හෝ නොමැත්තේය; තවද මෙය අනන්තය නොවන්නේද?

4 තවද, බලන්න, මාගේ පුත්‍රය; එසේහෙයින් බලව, තවද මම නුඹට මාගේ හස්තයන්හි ක්‍රියා කෞශල්‍යය පෙන්වන්නෙමි; එහෙත් සියල්ලම නොවේ, මක්නිසාද මාගේ ක්‍රියා අවසානයකින් තොරය, තවද මාගේ වචනද එසේමය, මක්නිසාද ඒවා කිසිදා අවසන් වන්නේ නැත.

5 එසේහෙයින්, කිසිඳු මනුෂ්‍යයෙකුට, ඔහු මාගේ සියලුම මහිමය බැලීමෙන් හැර, ඔහුට මාගේ ක්‍රියා බැලිය නොහැකිය; තවද කිසිඳු මනුෂ්‍යයෙකුට මාගේ සියලුම මහිමය දැක, තවද ඉන්පසුව ඔහුට පොළොව මත මාංශයෙන් යුතුව ජීවත්වීමටද නොහැකිය.

6 තවද නුඹ මගින් කරවාගැනීමට මා හට කාර්යයක් ඇත, මෝසෙස්, මාගේ පුත්‍රය; තවද නුඹ මාගේ ඒකජාතක පුත්‍රයාණන්ට සමානකම් ඇත්තෙකි; තවද මාගේ ඒකජාතකයාණන් ගැලවුම්කරුවාණන් වන්නේය තවද විය යුත්තේය, මක්නිසාද උන්වහන්සේ කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණය; එහෙත් මා හැර වෙනත් දෙවි කෙනෙකු නැත, තවද සියලු දේවල් මා ඉදිරියේ ඇත, මක්නිසාද මම ඒ සියල්ලම දන්නෙමි.

7 තවද දැන්, බලන්න, මේ එක් දෙයක් මම නුඹට පෙන්වමි, මෝසෙස්, මාගේ පුත්‍රය, මක්නිසාද නුඹ සිටින්නේ පොළොව මතය, තවද මම දැන් එය නුඹට පෙන්වමි.

8 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් බැලුවේය, තවද ඔහුව නිර්මාණය කරන ලද ඒ ලෝකය දුටුවේය; තවද මෝසෙස් ලෝකය සහ එහි අවසානයද, තවද එහි සිටින සියලුම මනුෂ්‍ය දරුවන්වද, තවද මවනු ලබා ඇති සියල්ලද දුටුවේය; ඒවා දැක ඔහු මහත් සේ මවිත වී තවද පුදුමයට පත්විය.

9 තවද දේව සම්මුඛය මෝසෙස්ගෙන් ඉවත් වී ගියේය, එනම් උන්වහන්සේගේ මහිමය මෝසෙස් මත නොවීය; තවද මෝසෙස් තමාට තමා පමණක්ව තනිවිය. තවද ඔහු හට ඔහු පමණක්ම වූ නිසා, ඔහු පොළොවට ඇද වැටිණ.

10 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස්ට නැවත මනුෂ්‍යයෙකු සතු ස්වභාවික ශක්තිය ලබාගැනීමට පැය ගණනාවක් ගතවිය; තවද ඔහු තමාටම මෙසේ කියාගත්තේය: දැන්, මේ හේතුව නිසා මනුෂ්‍යයා ශුන්‍ය බව මම දනිමි, මා එය කිසිදා නොසිතූ දෙයකි.

11 එහෙත් දැන් මාගේ ඇස් වලින්ම දෙවියන්වහන්සේව දැක ඇත්තෙමි; එහෙත් මාගේ ස්වභාවික ඇස් වලින් නොව, එහෙත් මාගේ ආත්මික ඇස් වලින්ය, මක්නිසාද මාගේ ස්වභාවික ඇස් වලට දැකීමට හැකිවන්නට නොහැකිය; මක්නිසාද මා උන්වහන්සේගේ අභිමුඛයේ මලානික වී තවද මියයාමට තිබුණි; එහෙත් උන්වහන්සේගේ මහිමය මා මත විය; තවද මම උන්වහන්සේගේ මුහුණ දුටුවෙමි, මක්නිසාද මම උන්වහන්සේ ඉදිරියේ අන්වෙසක් වූ නිසාය.

12 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් මෙම වචන පැවසූ විට, බලන්න, සාතන් ඔහුව පරීක්ෂා කිරීමට පැමිණ, මෙසේ කීවේය: මෝසෙස්, මනුෂ්‍ය ප්‍රත්‍රය, මට නමස්කර කරව.

13 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් සාතන් දෙස බලා මෙසේ කීවේය: නුඹ කවරෙක්ද? මක්නිසාද බලන්න, මම දෙවියන්වහන්සේගේ ඒකජාතකයාණන්ගේ සාමානත්වයෙන් යුත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් වෙමි; තවද මා නුඹට නමස්කාර කළ යුතු වන, නුඹගේ මහිමය කොහිද?

14 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේගේ මහිමය මා වෙත ලැබීමෙන් හැර, මට උන්වහන්සේ දෙස බැලිය නොහැකි විය, තවද මම උන්වහන්සේ ඉදිරියේ අන්වෙසක් වුණෙමි. එහෙත් ස්වභාවික මනුෂ්‍යයෙක් ලෙස මට නුඹ දෙස බැලිය හැකිය. සැබැවින්ම එය එසේ නොවන්නේද?

15 මාගේ දෙවියන්වහන්සේගේ නාමය ආශිර්වාදිත වේවා, මක්නිසාද උන්වහන්සේගේ ආත්මය මාගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නැත, එසේ නැතිනම් නුඹගේ මහිමය කොහිද? මක්නිසාද මා හට එය අන්ධකාරයක්ය, තවද නුඹ සහ දෙවියන්වහන්සේ අතර වෙනස මට විනිශ්චය කළ හැකිය; මක්නිසාද දෙවියන්වහන්සේ මට මෙසේ කී සේක: දෙවියන්වහන්සේට නමස්කාර කරන්න, නුඹ සේවය කළ යුත්තේ උන්වහන්සේට පමණි.

16 සාතන්, නුඹ මෙතැනින් පිටව යනු; මා නොරවටනු; මක්නිසාද දෙවියන්වහන්සේ මට මෙසේ කී සේක: නුඹව මාගේ ඒකජාතයාණන්ගේ සමානත්වයෙන් මවා ඇත.

17 තවද උන්වහන්සේ ගිනිගනිමින් තිබූ පඳුරේ සිට මට කතා කරන විට, මෙසේ කියමින්, මට ආඥාවන්ද ලබාදුන් සේක: මාගේ ඒකජාතකයාණන්ගේ නාමයෙන් දෙවියන්වහන්සේට හඬගසන්න, තවද මා හට නමස්කාර කරන්න.

18 තවද නැවතත් මෝසෙස් මෙසේ කීවේය: දෙවියන්වහන්සේට කතාකිරීම මා නවත්වන්නේ නැත, උන්වහන්සේගෙන් ඇසීමට මට තවත් දේවල් ඇත: මක්නිසාද උන්වහන්සේගේ මහිමය මා මත තිබුණි, එසේහෙයින් උන්වහන්සේ සහ නුඹ අතර විනිශ්චය කිරීමට මට පුළුවන. මෙතැනින් පිටව යනු, සාතන්.

19 තවද දැන්, මෝසෙස් මෙම වචන කී විට, සාතන් මහ හඬින් හඬා, තවද පොළොව මත ප්‍රලාප දෙමින්, තවද මෙසේ ආඥා කළේය: ඒකජාතකයාණන් මම වෙමි, මට නමස්කාර කරන්න.

20 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් අතිශයින්ම බිය වීමට පටන්ගත්තේය; තවද ඔහු බියවීමට පටන්ගත් විට, ඔහු නිරයේ තිත්තකම දුටුවේය. එසේවුවද, ඔහු දෙවියන්වහන්සේට හඬගසමින්, ඔහු ශක්තිය ලබා, තවද මෙසේ කියමින්, ඔහු අණ කළේය: සාතන්, මාගෙන් ඉවත්ව යනු, මක්නිසාද මම නමස්කාර කරන්නේ මේ එකම දෙවියන්වහන්සේටය, එනම් මහිමයේ දෙවියන්වහන්සේටය.

21 තවද දැන් සාතන් වෙව්ලීමට පටන් ගත්තේය, තවද පොළොව ගැස්සිණ; තවද මෝසෙස්ට ශක්තිය ලැබුනේය, තවද දෙවියන්වහන්සේට කතාකරමින්, මෙසේ කීවේය: ඒකජාතකයාණන්ගේ නාමයෙන්, මෙතැනින් පිටව යව, සාතන්.

22 තවද එය මෙසේ සිදුවිය එනම් සාතන් විලාප තබමින්, තවද දත්මිටි කමින්, ඉතා උස් හඬකින් හැඬීය; තවද ඉන්පසු ඔහු, මෝසෙස්ගේ අභිමුඛයෙන් වුවද පිටව ගියේය, තවද ඔහු ඔහුව දුටුවේ නැත.

23 තවද දැන් මේ කාරණය ගැන මෝසෙස් සාක්ෂි දැරීය; එහෙත් දුෂ්ටකම නිසා එය මනුෂ්‍ය දරුවන් අතර නොතිබිණ.

24 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් ඉදිරියෙන් සාතන් පිටවී ගිය විට, එවිට මෝසෙස් පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ස්වර්ගය දෙසට සිය දෑස් එසවීය;

25 තවද දෙවියන්වහන්සේගේ නාමයට කතා කරමින්, ඔහු නැවතත් උන්වහන්සේගේ මහිමය දුටුවේය, මක්නිසාද එය ඔහු මත විය; තවද මෙසේ පවසන හඬක් ඔහුට ඇසුනේය: මෝසෙස්, නුඹ ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද සර්වබලධාරියාණන් වන මම නුඹව තෝරාගෙන ඇත්තෙමි, තවද නුඹව බොහෝ සාගරයන්ට වඩා ශක්තිමත් කරන්නෙමි; මක්නිසාද නුඹව දෙවියන් සේ සලකමින් ඒවා නුඹගේ අණට කීකරුවනු ඇත.

26 තවද බලව, මම නුඹ සමඟ වන්නෙමි, නුඹගේ අවසාන දවස් දක්වා වුවද සිටින්නෙමි; මක්නිසාද නුඹ මාගේ සෙනඟ, මාගේ තෝරාගත් ඉශ්‍රායෙල් සෙනඟ, වහල් භාවයෙන් ගලවාගන්නෙහිය.

27 තවද එය මෙසේ සිදුවිය, එම හඬ තවදුරටත් කතාකරමින් සිටියදී, මෝසෙස් සිය දෑස් යොමු කළේය, තවද පොළොවද, එසේය එහි ඇති සියලු දේද දුටුවේය; තවද දෙවියන්වහන්සේගේ ආත්මය මගින් දැනුම් තේරුම් ලබාගනිමින්, ඔහු නොදුටු අල්ප මාත්‍රයක්වත් එහි නොවීය.

28 තවද ඔහු එහි වැසියන්ද දුටුවේය, තවද ඔහු නොදුටු එක් ප්‍රාණියෙකුදු එහි නොවීය; තවද ඔහු ඔවුන්ව හඳුනාගත්තේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගිනි; තවද ඔවුන්ගේ ප්‍රමාණය විශාල විය, මුහුදු වෙරළේ වැලි මෙන් වුවද අසීමිත විය.

29 තවද ඔහු බොහෝ දේශයන් දුටුවේය; තවද සෑම දේශයක්ම පොළොව ලෙස හැඳින්වූ අතර, තවද එහි මුහුණත මත වැසියන්ද සිටියහ.

30 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් දෙවියන්වහන්සේට මෙසේ කියමින් කතා කළේය: මා හට පැවසුව මැනව, මම ඔබවහන්සේගෙන් අයදිමි, මේ දේවල් මෙතරම් ප්‍රමාණයක් තිබෙන්නේ මක්නිසාද, එසේම ඔබවහන්සේ ඒවා සෑදුවේ කුමන ආකාරයෙන්ද?

31 තවද බලන්න, ස්වාමින්වහන්සේගේ මහිමය මෝසෙස් මත විය, එමනිසා මෝසෙස් දෙවියන්වහන්සේගේ සම්මුඛයේ සිටිමින්, තවද උන්වහන්සේ සමඟ මුහුණට මුහුණ කතා කළේය. තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෝසෙස්ට මෙසේ කී සේක: මම මාගේම අරමුණ උදෙසා මේ දේවල් සෑදුවෙමි. මෙන්න ප්‍රඥාව, තවද එය මා තුළ පවතින්නේය.

32 තවද මාගේ බලයේ වචනයෙන්, මම ඒවා මවා ඇත්තෙමි, එනම් ඒවා කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණ වූ මාගේ ඒකජාතක පුත්‍රයාණන්ගේය.

33 තවද ගණන් කළ නොහැකි තරමින් ලෝකයන් මම මවා ඇත්තෙමි; තවද මා ඒවා මවා තිබෙන්නේ මාගේම අරමුණ උදෙසාය; තවද මාගේ පුත්‍රයාණන් මගින් මම ඒවා මවා ඇත්තෙමි, උන්වහන්සේ මාගේ ඒකජාතකයාණන්ය.

34 තවද සියලු මනුෂ්‍යයින්ගේ පළමු මිනිසාව මා හැඳින්වූයේ ආදම් ලෙසය, එහි අදහස වන්නේ බොහෝ යන්නය.

35 එහෙත් මේ පොළොව පිළිබඳ, සහ එහි වැසියන් පිළිබඳ වාර්තාවක් පමණක් මම නුඹට ලබාදෙන්නෙමි. මක්නිසාද බලන්න, මාගේ බලයේ වචනයෙන් පහව ගොස් ඇති බොහෝ ලෝකයන් ඇත්තේය. තවද දැනට තිබෙන ඒවාද බොහෝය, තවද ඒවා මනුෂ්‍යයාට ගණන්කළ නොහැකි තරම්ය; එහෙත් සියලු දේවල් මා හට ගණන්කර ඇත, මක්නිසාද ඒවා මාගේය තවද මම ඒවා හඳුනන්නෙමි.

36 තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් ස්වාමින්වහන්සේට කතාකරමින්, මෙසේ කීවේය: ඔබවහන්සේගේ සේවකයාට දයාවන්ත වන සේක්වා, අහෝ දෙවියන්වහන්ස, තවද මට මෙම පොළොව ගැනද, එහි වාසය කරන්නන් මෙන්ම අහස ගැනද පවසනු මැනව, තවද එවිට ඔබවහන්සේගේ සේවකයා තෘප්තිමත් වනු ඇත්තේය.

37 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෝසෙස්ට කතාකරමින්, මෙසේ කී සේක: ආකාශ වස්තූන්, ඒවා බොහෝ ඇත, තවද ඒවා මිනිසාට ගණන් කළ නොහැකිය; එහෙත් ඒවා මා වෙත ගණන්කර ඇත, මක්නිසාද ඒවා මාගේය.

38 තවද එක් පොළොවක් සහ තවද එහි අහසත් පහව යන විට, තවත් එකක් පැමිණෙන්නේය; තවද මාගේ ක්‍රියාවන් වලට එහි අවසානයක් නොමැත්තේය, මාගේ වචන වලටද එසේමය.

39 මක්නිසාද බලන්න, මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි—එනම් මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි.

40 තවද දැන්, මෝසෙස්, මාගේ පුත්‍රය, නුඹ සිටගෙන සිටින මෙම පොළොව ගැන මම නුඹට කතා කරන්නෙමි; තවද මා කතා කරන දේවල් නුඹ ලිවිය යුතු වන්නේය.

41 තවද යම් දිනෙක මනුෂ්‍ය දරුවන් මාගේ වචන අගය නොකර තවද නුඹ ලියන්නාවූ පොතෙන් බොහෝ දේවල් ඉවතට ගනු ලබන විට, බලන්න, මම නුඹ වැනි තවත් අයෙකුව නැගිටුවන්නෙමි; තවද ඒවා නැවතත් මනුෂ්‍ය දරුවන් අතර—විශ්වාස කරන සියල්ලන් අතරම තිබෙනු ඇත.

42 (මෙම වචන මෝසෙස්ට කතාකරන ලද්දේ, එහි නාමය මනුෂ්‍ය දරුවන් අතර දැනගැනීමට සලස්වා නැති කන්ද උඩදීය. තවද දැන් ඒවා නුඹ උදෙසා පවසා ඇත්තේය. විශ්වාස කරන්නන්ට හැර ඒවා කිසිවෙකුට පෙන්වීම නොකළ යුතුය. එය එසේම වන්නේය, ආමෙන්.)