ශුද්ධලියවිලි
මෝසෙස් 8


8 වෙනි පරිච්ඡේදය

(පෙබරවාරි 1831)

මෙතුසෙලා අනාවැකි කියයි—නෝවා සහ ඔහුගේ පුත්‍රයෝ ශුභාරංචිය දේශනා කරති—මහා දුෂ්ඨකමක් පැතිරෙයි—පසුතැවීමට කරන කැඳවීමට ඇහුම්කන් නොදෙති—ජලගැල්මෙන් සියලු මාංශයෝ විනාශ වීමට දෙවියන්වහන්සේ නියෝග කරන සේක.

1 තවද ඒනොක්ගේ සියලු දවස් හාරසිය-තිස් අවුරුද්දක් විය.

2 තවද එය මෙසේ සිදුවිය එනම් මෙතුසෙලා, එනම් ඒනොක්ගේ පුත්‍රයාව ඉහළට රැගෙන තිබුනේ නැත, එනම් ස්වාමින්වහන්සේ ඒනොක් සමඟ තැබූ, උන්වහන්සේගේ ගිවිසුම් සම්පූර්ණ වන පිණිසය; මක්නිසාද උන්වහන්සේ ඒනොක් සමඟ සැබවින්ම ගිවිසුම් කරමින්, නෝවා ඔහුගේ ඉඟටි එලය විය යුතු බව කී නිසාය.

3 තවද එය මෙසේ සිදුවිය එනම් මෙතුසෙලා අනාවැකි කියමින්, ඔහුගේ ඉඟටියෙන් පොළොවේ සියලුම රාජ්‍යයන් පැනනැගිය යුතු බව කීවේය (නෝවා තුළින්), තවද ඔහු මහිමය තමා වෙතට ගත්තේය.

4 තවද එහි දේශයේ මහත් සාගතයක් හටගත්තේය, තවද ස්වාමින්වහන්සේ දරුණු ශාපයකින් පොළොවට ශාප කළෙන්, එහි සිටි බොහෝ වැසියෝ මියගියහ.

5 තවද එය මෙසේ සිදුවිය එනම් මෙතුසෙලා එකසිය-අසූසත් අවුරුද්දක් ජීවත් වූ පසු, ඔහුට දාව ලාමෙක් උපන්නේය;

6 මෙතුසෙලාට දාව ලාමෙක් ඉපදුණු පසු, ඔහු සත්සිය අසූ දෑඅවුරුද්දක් ජීවත් වුණේය, තවද ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය;

7 තවද මෙතුසෙලාගේ සියලු දවස් නවසිය සැටනව අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

8 තවද ලාමෙක් එකසිය අසූ දෑඅවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පුත්‍රයෙක් උපන්නේය,

9 තවද ඔහු ඔහුට නෝවා යන නම තබමින්, මෙසේ කීවේය: ස්වාමින්වහන්සේ ශාප කළ භූමිය කරණකොටගෙන වූ අපගේ වැඩද අපගේ අත්වල වෙහෙසද ගැන මෙම පුත්‍රයා අපව සනසන්නේය.

10 තවද ලාමෙක්ට දාව නෝවා ඉපදුණු පසුව, ඔහු පන්සිය-අනූපස් අවුරුද්දක් ජීවත් වුණේය, තවද ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය;

11 තවද ලාමෙක්ගේ සියලු දවස් සත්සිය සෑත්තෑසත් අවුරුද්දක් විය, තවද ඔහු මරණයට පත්විය.

12 තවද නෝවාට හාරසිය පනස් අවුරුද්දක් වූ කල ඔහුට දාව යපෙත්ද; තවද හතලිස් දෑඅවුරුද්දකින් පසු යපෙත්ගේ මවගෙන් ඔහුට දාව ෂෙම්ද, තවද ඔහුට අවුරුදු පන්සියයක් වූ කළ ඔහුට දාව හාම්ද උපන්නෝය.

13 තවද නෝවා සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමින්වහන්සේට උවමනාවෙන් සවන්දී, තවද කන්දුන් අතර, ඔවුන්ව දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ලෙස හඳුන්වන ලදි.

14 තවද මේ මිනිසුන් පොළොවේ මුහුණත මත වර්ධනය වන්නට පටන්ගත්තෝය, තවද ඔවුන්ට දූවරුන් උපන් කල, ඔවුන් ශෝභන බව මනුෂ්‍ය පුත්‍රයෝ දැක, ඔවුන්ගේ තෝරාගැනීම අනුව, ඔවුන්ව භාර්යාවන් කොට පාවාගත්තෝය.

15 තවද ස්වාමින්වහන්සේ නෝවාට මෙසේ කී සේක: නුඹගේ පුත්‍රයන්ගේ දියණියෝ ඔවුන්වම විකුණා ගෙන ඇත්තෝය; මක්නිසාද බලන්න මනුෂ්‍ය පුත්‍රයන්ට විරුද්ධව මාගේ කෝපය ඇවිලී ඇත්තේය, මක්නිසාද ඔවුන් මාගේ හඬට උවමනාවෙන් සවන් නොදෙන්නෝය.

16 තවද එය මෙසේ සිදුවිය එනම් නෝවා අනාවැකි කියමින්, තවද ආරම්භයේ තිබූ පරිදිම, දෙවියන්වහන්සේගේ කාරණා ඉගැන්වීය.

17 ස්වාමින්වහන්සේ නෝවාට මෙසේ කී සේක: මාගේ ආත්මය නිතරම මනුෂ්‍යයා සමඟ පරිශ‍්‍රම දරන්නේ නැත, මක්නිසාද සියලු මාංශයෝ නසින බව ඔහු දැනගත යුතු වන්නේය; එහෙත් ඔහුගේ දවස් එකසිය විසි අවුරුද්දක් වන්නේය; තවද මිනිසුන් පසුතැවෙන්නේ නැතිනම්, මම ඔවුන් මත ජලගැල්මක් යවන්නෙමි.

18 තවද ඒ දවස්වල යෝධයෝ පොළොවෙහි සිටියෝය, තවද ඔවුහු නෝවාව සෙව්වේ ඔහුගේ ජීවිතය ගැනීමටය; එහෙත් ස්වාමින්වහන්සේ නෝවා සමඟ සිටි සේක, තවද ස්වාමින්වහන්සේගේ බලය ඔහු මත විය.

19 තවද ස්වාමින්වහන්සේ නෝවාව තමන්වහන්සේගේ පිළිවෙල අනුව නියම කර, තවද ඒනොක්ට දුන් ලෙසම වුවද, ඔහුද ඉදිරියට ගොස් උන්වහන්සේගේ ශුභාරංචිය මනුෂ්‍ය දරුවන් හට ප්‍රකාශ කළ යුතු යැයි ඔහුට ආඥා කළ සේක.

20 තවද එය මෙසේ සිදුවිය එනම් මනුෂ්‍ය දරුවන් පසුතැවිලි විය යුතු යැයි කියමින් නෝවා ඔවුන්ව කැඳවූයේය; එහෙත් ඔහුගේ වචනවලට ඔවුන් උවමනාවෙන් සවන් නොදුන්හ;

21 තවද එසේම, ඔවුන් ඔහුගේ වචන ඇසූ පසුව, ඔවුන් ඔහු ඉදිරියට පැමිණ, මෙසේ කීවෝය: බලන්න, අපි දෙවියන්වහන්සේගේ පුත්‍රයන් වන්නෙමු; අපි මනුෂ්‍ය දූවරුන්ව අප වෙත රැගෙන නැතිද? තවද අපි කමින්, බොමින් සහ විවාහ කරගනිමින්, විවාහකර නොදෙන්නෙමුද? තවද අපගේ භාර්යාවෝ අප හට දරුවන් වදන්නෝය. තවද ඔවුහු බලවත් මනුෂ්‍යයෝය, තවද ඔවුන් ශක්තිමත් මනුෂ්‍යයෝය, ඔවුන් අතීතයේ මනුෂ්‍යයන් මෙන් මහත් කීර්තිමත් මනුෂ්‍යයෝය. තවද ඔවුහු නෝවාගේ වචන වලට උවමනාවෙන් සවන් නොදුන්හ.

22 තවද මනුෂ්‍යයින්ගේ දුෂ්ටකම පොළොව මත විශාල ලෙස වැඩිවී ඇති බව දෙවියන්වහන්සේ දුටු සේක; තවද සෑම මනුෂ්‍යයෙක්ම දිගින් දිගටම නපුරු වෙමින් පමණක්ම, ඔහුගේ සිතේ කල්පනාවල අරමුණු වලින් එසවී සිටින බවද ස්වාමින්වහන්සේ දුටු සේක.

23 තවද එය මෙසේ සිදුවිය එනම් නෝවා තම දේශනා කිරීම එම ජනතාව හට නොකඩාවම කරගෙන යමින්, මෙසේ කීවේය: මාගේ වචනවලට උවමනාවෙන් සවන් දී තවද මගේ වචන වලට කන්දෙන්න;

24 විශ්වාස කර තවද නුඹලාගේ පව්වලට පසුතැවිලි වී තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ, නොහොත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමයෙන්, අපගේ පියවරුන් මෙන්, බව්තීස්ම වෙන්න, තවද නුඹලා ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගන්නෙහුය, එවිට නුඹලාට සියලු කාරණා ප්‍රකාශ වනු ඇත්තේය; තවද නුඹලා මෙය නොකරන්නේ නම්, ජලගැල්ම නුඹලා මත එන්නේය; එසේවුවද ඔවුහු උවමනාවෙන් ඇහුම්කන් නොදුන්හ.

25 තචද නෝවා පසුතැවුනේය, තවද ස්වාමින්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී ඔහුගේ හදවත වේදනා විය, තවද එයින් ඔහුගේ හදවත ශෝක විය.

26 තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මා විසින් මවන ලද මනුෂ්‍යයා පොළොවේ මුහුණතින් මම නැතිකර දමන්නෙමි, තවද මනුෂ්‍යයන්ද, මෘගයන්ද, බඩගා යන සත්වයන්ද, ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන්ව මැවූ බැවින් සහ මම ඔවුන්ව සෑදූ බැවින් නෝවා පසුතැවෙන්නේය; තවද ඔහු මා හට මොරගසා ඇත; මක්නිසාද ඔවුන් ඔහුගේ ජීවිතය සොයන්නෝය.

27 තවද මෙසේ නෝවා ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය; මක්නිසාද නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් විය, තවද ඔහුගේ පරම්පරාවේ සර්ව සම්පූර්ණ වී සිටියේය; තවද ඔහු දෙවියන්වහන්සේ සමඟ ඇවිද ගියේය, ඔහුගේ පුත්‍රයන් තිදෙනා වූ ෂෙම්, හාම් සහ යාපෙත්ද එසේ විය.

28 පොළොව දෙවියන්වහන්සේ ඉදිරියේ දුෂ්‍ය වී තිබුණි, තවද එය බලහත්කාරයෙන් පිරී තිබුණි.

29 තවද දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූ සේක, තවද, බලන්න, එය දුෂ්‍යව තිබුනේය, මක්නිසාද මාංශමය වූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ගය දුෂ්‍ය කරගෙන සිටියෝය.

30 තවද දෙවියන්වහන්සේ නෝවා හට මෙසේ කී සේක: මාංශමය වූ සියල්ලන්ගේ අවසානය මා ඉදිරියට පැමිණ ඇත්තේය, මක්නිසාද පොළොව බලහත්කාරයෙන් පිරී තිබෙන බැවිනි, තවද බලන්න මම සියලුම මාංශය පොළොව මතුපිටින් විනාශ කරන්නෙමි.