ශුද්ධලියවිලි
මෝසෙස් 3


3 වන පරිච්ඡේදය

(1830 ජුනි–ඔක්තෝම්බර්)

දෙවියන්වහන්සේ සෑම දෙයක්ම පොළොව මත ස්වභාවිකව මැවීමට පෙර ඒවා ආත්මිකව මැවූ සේක—උන්වහන්සේ පොළොව මත මනුෂ්‍යයාව, පළමු මාංශය මැවූ සේක—ස්ත්‍රිය පුරුෂයාට සුදුසු සහකාරියක් ය.

1 මෙසේ අහසත් පොළොවත්, තවද එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේය.

2 තවද සත්වෙනි දවසේ, දෙවියන්වහන්සේ වන මම, මාගේ කාර්යයද, තවද මා සැදූ සියල්ලද අවසාන කළෙමි; තවද මාගේ සියලු කාර්යයන්ගෙන් මම සත්වෙනි දවසේ නිවාඩු ගත්තෙමි, තවද මා සැදූ සියල්ලක්ම අවසන් කළෙමි. තවද දෙවියන්වහන්සේ වන මම, ඒවා යහපත් බව දුටුවෙමි;

3 තවද දෙවියන්වහන්සේ වන මම, සත්වෙනි දවසට ආශිර්වාද කර, තවද එය පාරිශුද්ධ කළෙමි; මක්නිසාද එදින දෙවියන්වහන්සේ වන මම, මා මැවුවා වූ සහ සෑදුවා වූ මාගේ සියලු කාර්යයන් වලින් නිවාඩු ගත්තෙමි.

4 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි, එනම් ඒවා මැවූ විට, අහස සහ පොළොවෙහි ජනිත කරවීම් මේවාය, එම දවසේදී, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, අහස සහ පොළොව සෑදුවෙමි,

5 තවද වනයේ සියලුම ගස් ඒවා පොළොවේ තිබීමට පෙරත්, තවද වනයේ සියලුම පලා ඒවා හටගන්නට පෙරත් මම සෑදුවෙමි. මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම, මා විසින් කතා කරන ලද සියල්ලක්ම, ඒවා ස්වභාවිකව පොළොවේ මුහුණත මත තිබීමට පෙර, ආත්මිකව මැවුවෙමි. මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම, සියලුම මනුෂ්‍ය දරුවන්ව මැවුවෙමි; තවද එහෙත් තවමත් මනුෂ්‍යයා භූමිය වගා කොට නොතිබිණි; මක්නිසාද මම ඔවුන්ව මවනු ලැබුවේ ස්වර්ගයෙහි ය; තවද පොළොව මත තවමත් මාංශයක් නොතිබිණි, එමෙන්ම ජලයේද, එමෙන්ම වාතයේද නොතිබිණි;

6 එහෙත් ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, කතාකළෙමි, තවද එවිට පොළොවෙන් මීදුමක් නැගී විත්, තවද මුළු භූමියම තෙමී ගියේය.

7 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයාව මවා, ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක; තවද එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය, පොළොව මත පළමු මාංශය විය, පළමු මනුෂ්‍යයාද විය; එසේවුවද, සියල්ල මැවීමට පෙර; එහෙත් ඒවා මාගේ වචනයට අනුව ආත්මිකව මවනු ලැබ තවද සාදා තිබිණි.

8 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ඒදන් හි නැගනහිර දිශාවේ උයනක් වවා, තවද මා සෑදූ මනුෂ්‍යයාව එහි තැබුවෙමි.

9 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, සියලු ගස් වැඩීමට, භූමියෙන් ස්වභාවිකව හටගැන්වූ සේක, එය මනුෂ්‍යයාගේ දැකීමට ප්‍රිය විය; තවද මනුෂ්‍යයාට එය දැකීමටද හැකි විය. තවද එයද ජීවමාන ප්‍රාණයක් බවට පත්විය. මක්නිසාද මා එය මැවූ දවසේ එය ආත්මික විය; මක්නිසාද එය දෙවියන්වහන්සේ වන මා සෑදූ අහස් ගෝලයේ තිබිණි, එසේය, මනුෂ්‍යයාගේ භාවිතය සඳහා මා සූදානම් කළ සෑම දෙයක්මද එහි තිබිණි; තවද එය කෑමට සුදුසු බව මනුෂ්‍යයා දුටුවේය. තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම එම උයන මැද ජීවන වෘක්ෂයද, තවද එසේම යහපත සහ නපුර දැනගැනීමේ වෘක්ෂයද සිටවූවෙමි.

10 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, උයන තෙමන පිණිස ඒදන් හි සිට ගංගාවක් ගැලීමට සැලැස්සුවෙමි; තවද එතැනින් එය බෙදී, තවද අතු-ගංගා සතරක් බවට පත්විය.

11 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, පළමුවෙනි ගංගාවේ නම් පීෂොන් ලෙස නම් කළෙමි, තවද එය මුළු හවීලා දේශය වටාම ගලායන්නේය, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, එහි බොහෝ රත්රන් සෑදූවෙමි;

12 තවද එම දේශයේ රත්රන් හොඳය, තවද එහි බෙදොලාද, වෛදුර්ය්‍යය ගල්ද ඇත.

13 තවද දෙවන ගංගාවේ නම හැඳින්වූයේ ගීහොන් ලෙසය; එය මුළු ඉතියෝපියා දේශය වටාම ගලායන්නේය.

14 තවද තුන්වන ගංගාවේ නම හිද්දෙකෙල්ය; එය අෂුර් දේශයේ නැගෙනහිර දෙසට ගලායන්නේය. තවද හතරවෙනි ගංගාව යුප්‍රටීස් විය.

15 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයා රැගෙන, තවද ඔහුව ඒදන් උයන වැවීමටත්, තවද එය බලාගැනීමටත් එහි තැබුවෙමි.

16 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයාට ආඥා කරමින්, මෙසේ කීවෙමි: නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්නට පුළුවන,

17 එහෙත් යහපත සහ නපුර දැනගැනීමේ ගස තෝරාගෙන, නුඹ එයින් නොකෑ යුතුය, එසේවුවද නුඹ වෙනුවෙන් නුඹටම තෝරාගත හැකිය, මක්නිසාද නුඹට එය දී ඇත්තේය; එහෙත්, මා එය තහනම් කළ බව මතකතබාගන්න, මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නෙහිය.

18 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මාගේ ඒකජාතකයාණන්ට මෙසේ කීවෙමි, මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; එසේහෙයින්, මම ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි.

19 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, වනයේ සියලු මෘගයන්ද, ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා; තවද ආදම් ඔවුන්ට මොන මොන නම් තබන්නේ දැයි බලන පිණිස, ඔවුන්ට ඔහු වෙත පැමිණෙන්නට ආඥා කළෙමි; තවද ඔවුන්ද ජීවමාන ප්‍රාණයන් වූහ; මක්නිසාද දෙවියන්වහන්සේ වන මම, ඔවුන් තුළට ජීවන හුස්ම හෙළූ සේක, තවද ආදම් ඒ සියලුම ජීවන මැවීම් වලට මොන මොන නම් තැබුවේද, එතැන් පටන් ඔවුන්ගේ නම් ඒවා වන ලෙස ආඥා කළෙමි.

20 තවද ආදම් සියලු සිව්පාවුන්ටද, තවද ආකාශයේ පක්ෂීන්ටද, තවද භූමියේ සෑම මෘගයෙකුටමද නම් තැබීය; එහෙත් ආදම් හට ඔහුට සුදුසු සහකාරියක් එහි සම්භ නොවීය.

21 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ආදම් මත ගැඹුරු නින්දක් පැමිණීමට සැලැස්වුවෙමි; ඔහු නිදාගත්තේය, තවද මම ඔහුගේ එක් ඉල ඇටයක් ගෙන, ඒ ස්ථානය මාංශයෙන් පිරෙව්වෙමි;

22 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන්, මම ස්ත්‍රියක් සාදා, තවද මනුෂ්‍යයා වෙතට ඇය පැමිණෙව්වෙමි.

23 තවද ආදම් මෙසේ පැවසුවේය: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංශයෙන් මාංශයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නා ලද හෙයින්, ඇයට ස්ත්‍රිය යැයි කියනු ලබන්නේය.

24 එසේහෙයින් පුරුෂයා තමාගේ පියාද මවුද අත්හැර, තවද තම භාර්යාවට ඇලුම් විය යුතු වන්නේය, තවද ඔවුහු එක මාංශයක් වන්නෝය.

25 තවද මනුෂ්‍යයාද, ඔහුගේ භාර්යාවද, ඔවුන් දෙදෙනාම නග්නව සිටියද, ලැජ්ජා නොවූහ.