ශුද්ධලියවිලි
මෝසෙස් 4


4 වෙනි පරිච්ඡේදය

(ජුනි–ඔක්තෝම්බර් 1830)

සාතන් යක්ෂයා වූ අන්දම—ඔහු ඒවව පරීක්ෂා කරයි—ආදම්ගේ සහ ඒවගේ වැටීම සිදුවී, තවද මරණය ලෝකයට ඇතුල් වෙයි.

1 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මෝසෙස් හට කතාකර, මෙසේ කීවෙමි: එනම් මාගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමයෙන් නුඹ ආඥා කළ, එම සාතන්, ආරම්භයේ පටන්ම සිටින එම කෙනාමය, තවද ඔහු මා ඉදිරියට පැමිණ, මෙසේ පැවසුවේය—බලන්න, මම මෙහිය, මා යවන්න, මම ඔබවහන්සේගේ පුත්‍රයා වන්නෙමි, තවද මම සියලු මනුෂ්‍ය වර්ගයා මුදවන්නෙමි, එනම් එකම ප්‍රාණයක් හෝ නැති නොවන්නේය, තවද සැබවින්ම මම එය කරන්නෙමි; එසේහෙයින් මට ඔබවහන්සේගේ ගෞරවය දෙන සේක්වා.

2 එහෙත්, බලව, ආරම්භයේ පටන් මාගේ ප්‍රේමවන්ත සහ තෝරාගෙන තිබූ, මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණන්, මා හට මෙසේ කීවේය—පියාණෙනි, ඔබවහන්සේගේ කැමත්ත සිදුවේවා, තවද මහිමය සදා ඔබවහන්සේට හිමිවේවා.

3 එසේහෙයින්, සාතන් මට විරුද්ධව කැරළිගසා, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයාට ලබාදුන් තෝරාගැනීමේ නිදහස විනාශ කිරීමට, සහ එමෙන්ම මම මාගේ බලය ඔහුට දිය යුතු යැයි ඔහු සෙවූ නිසා; මාගේ ඒකජාතකයාණන්ගේ බලය මගින්, මම ඔහුව පහතට නෙරපා දැමීමට සැලැස්සුවෙමි;

4 තවද එවිට ඔහු සාතන් බවට පත්විය, එසේය, මනුෂ්‍යයින්ව රවටා තවද අන්ධ කරන්නටත්, තවද මාගේ හඬට ඇහුම්කන්නොදෙන තරමට බොහෝ අයවළුන්ව, ඔහුගේ කැමැත්තට අනුව ඔවුන්ව වහල් බවට ගෙන යන්නටත්, සියලු බොරුවේ පියා වන, යක්ෂයා බවට වුවත් පත්විය.

5 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා සර්පයා වනාහි වඩා ප්‍රයෝග සහිත වූයේය.

6 තවද සාතන් එය සර්පයාගේ හදවතට දැමීය, (මක්නිසාද ඔහු තමා පසුපස බොහෝදෙනෙකුව ආකර්ෂණය කරගෙන ඇත්තේය,) තවද ඔහු ඒවව රැවටීමටද සෙව්වේය, මක්නිසාද ඔහු දෙවියන්වහන්සේගේ මනස දැන නොසිටියේය, එසේහෙයින් ඔහු ලෝකය විනාශ කිරීමට සෙව්වේය.

7 තවද ඔහු ස්ත්‍රිය හට මෙසේ කීවේය: එසේය, උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා—දෙවියන්වහන්සේ කීවාද? (තවද ඔහු කතා කළේ සර්පයාගේ මුඛය මගිනි.)

8 තවද ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන;

9 එහෙත් දෙවියන්වහන්සේ කියා තිබෙන්නේ—නුඹලා නොනසින පිණිස, නුඹට පෙනෙන අර උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත්, ඊට අතගසන්ටවත් එපා කියාය.

10 තවද සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය: නුඹලා ඇත්තටම නසින්නේ නැත;

11 මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි, නුඹලාගේ ඇස් ඇරෙන බවත්, නුඹලා යහපත සහ නපුර දැනගෙන, තවද නුඹලා දෙවියන්වහන්සේට සමාන වන බවත්, දෙවියන්වහන්සේ දන්නා සේක.

12 තවද ඒ ගහ කෑමට හොඳ බවද, තවද එය ඇස් වලට ප්‍රිය බවද, තවද නුවණ ලැබීම සඳහා ආශා විය යුතු ගසක් බවද ස්ත්‍රිය දුටු පසු, ඇය එහි ගෙඩි ගෙන කෑවාය, ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.

13 තවද එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය. තවද ඔව්හු අත්තික්කා කොළ එකට මසා තමන්ට ඉණවැසුම් සාදා ගත්තෝය.

14 තවද ඔවුන් දිවාභාගයේ සිසිල් වේලේ, උයනේ ඇවිදිමින් සිටිනා අතර, ඔවුන්ට ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ හඬ ඇසුණේය; තවද එවිට ආදම් සහ ඔහුගේ භාර්යාව ස්වාමින් වන දෙවියන්වහන්සේ ඉදිරියෙන් පලාගොස් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.

15 එවිට ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ආදම්ට හඬගසමින්, තවද ඔහු හට මෙසේ කීවෙමි: නුඹ යන්නේ කොහේද?

16 තවද ඔහු මෙසේ කීවේය: මට ඔබවහන්සේගේ හඬ උයනෙහිදී ඇසුණේය, තවද මම නග්නව සිටින බැව් මම දුටු නිසා, මම බිය වුණෙමි, තවද මම සැඟවුණෙමි.

17 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ආදම් හට මෙසේ කීවෙමි: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥා කළ ගහෙන් නුඹ කෑවෙහිද? එසේ නම් නුඹ සැබවින්ම මරණයට පත්වන්නෙහිය?

18 එවිට මනුෂ්‍යයා මෙසේ කීවේය: ඔබවහන්සේ මට දුන්, තවද ඇය මා සමඟ සිටිය යුතු යැයි ආඥා කළ ස්ත්‍රිය, ඇය මට ගහෙන් ගෙඩිය දුන්නෙන්, මමද කෑවෙමි.

19 එවිට ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ස්ත්‍රිය අමතා මෙසේ කීවෙමි: නුඹ කළ මේ දේ කුමක්ද? එවිට ස්ත්‍රිය මෙසේ පැවසුවාය: සර්පයා මා රැවටුවේය, මමද කෑවෙමි.

20 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, සර්පයා හට මෙසේ කීවෙමි: නුඹ මේක කළ බැවින් නුඹ සියලු සිව්පාවුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා ශාප ලද්දෙහිය; නුඹ බඩගා යමින්, නුඹගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය;

21 තවද මම නුඹ සහ ස්ත්‍රිය අතරෙහිද, නුඹේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; තවද ඔහු නුඹේ හිස පොඩිකරන්නේය, නුඹ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.

22 ස්ත්‍රිය අමතා ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: මම නුඹේ ශෝකය සහ ගැබ්ගැනීම බොහෝ සෙයින් වැඩිකරන්නෙමි. නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය, තවද නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය, තවද ඔහුට නුඹ කෙරෙහි බලය ඇත්තේය.

23 තවද ආදම්ද අමතා, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: නුඹ නුඹගේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී, නුඹ එයින් නොකෑ යුතු යැයි—මා ආඥා කළ ගහෙන් කෑ බැවින්, නුඹ නිසා භූමිය ශාප ලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ ශෝකයෙන් යුක්තව එයින් කන්නෙහිය.

24 එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය, තවද නුඹ වනයේ පලා කන්නෙහිය.

25 නුඹ භූමියට හැරී යන තෙක්, නුඹේ මුහුණේ දහදියෙන් යුක්තව නුඹ කෑම කන්නෙහිය—මක්නිසාද නුඹ සැබවින්ම මරණයට පත්වන්නේය—මක්නිසාද නුඹව ගනු ලැබුවේ භූමියෙන්ය: මක්නිසාද නුඹ දූවිලි ය, තවද නුඹ දූවිල්ලටම හැරී යන්නෙහිය.

26 තවද ආදම් තමාගේ භාර්යාවට ඒව යන නම තැබීය, මක්නිසාද ජීවමාන සියල්ලන්ගේ මව ඇය විය; මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මෙසේ බොහෝ ස්ත්‍රීන්ගේ පළමුවැන්නා හට එසේ නම් තැබුවෙමි.

27 ආදම් හට, සහ එසේම ඔහුගේ භාර්යාව හට, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, සම්වලින් ඇඳුම් සාදා, ඔවුන්ට ඇන්දවූ සේක.

28 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මාගේ ඒකජාතක පුත්‍රයාණන් හට මෙසේ පැවසුවෙමි: බලන්න, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය; තවද දැන් ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත් නොවන පිණිස,

29 එසේහෙයින්, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ඔහුව ගන්නා ලද එම භූමිය අස්වද්දන පිණිස ඔහුව ඒදන් උයනෙන් පිටකරන්නෙමි;

30 මක්නිසාද, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ජීවත්වන්නාක් මෙන්, එසේම මගේ වචන හිස් බවට පත්නොවන්නේය, මක්නිසාද ඒවා මාගේ මුවින් පිටවී යන සේ ඒවා ඉටුවිය යුතු වන්නේය.

31 එමනිසා මම මනුෂ්‍යයා පිටතට එළවා, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස, ඒදන් උයනට නැගෙනහිරින්, කෙරුබ්වරුන්ද සහ හැම අතටම කැරකෙන ගිණිමය කඩුවක්ද, පිහිටෙවුවෙමි.

32 (තවද මාගේ සේවක මෝසෙස් හට මා කතා කළ වචන මේවාය, තවද ඒවා මා මෙන්ම සත්‍යයය; තවද ඒවා මම නුඹ හට කතාකර ඇත්තෙමි. මා නුඹට නියෝග කරන තුරු, විශ්වාස කරන්නන්ට පමණක් හැර, නුඹ ඒවා කිසිවෙකුට නොපෙන්වීමට වගබලාගන්න. ආමෙන්.)