ශුද්ධලියවිලි
මෝසෙස් 2


2 වන පරිච්ඡේදය

(1830 ජුනි–ඔක්තෝම්බර්)

දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක—සියලු අකාරයේ ප්‍රාණීන් මැවූ සේක—දෙවියන්වහන්සේ මිනිසා මවා සියල්ලේම ආධිපත්‍යය ඔහුට දුන් සේක.

1 තවද එය මෙසේ සිදුවිය එනම් ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ කී සේක: බලන්න, මම නුඹ හට මෙම අහස සහ මෙම පොළොව සම්බන්ධව එළිදරව් කරන්නෙමි; මා කතා කරන වචන ලියන්න. ආරම්භයද අවසානයද, සර්වබලධාරී දෙවියන්වහන්සේද මම වෙමි; මාගේ ඒකජාතකයාණන් මගින් මම මේ දේවල් මවා ඇත්තෙමි; එසේය, පටන්ගැන්මේදී මම අහසත් එමෙන්ම නුඹ සිටගෙන සිටින පොළොවත් මැවූවෙමි.

2 තවද පොළොව පාළුවද, තවද හිස්වද තිබිණි; තවද මම ගැඹුර මතුපිට අන්ධකාර වීමට සැලැස්වුවෙමි; තවද මාගේ ආත්මය ජලය මතුපිට සැරිසරමින් සිටි සේක; මක්නිසාද මම දෙවියන්වහන්සේ වෙමි.

3 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: එහි එළිය වේවා; එවිට එහි එළිය විය.

4 තවද දෙවියන්වහන්සේ වන මම, එළිය දුටුවෙමි; තවද එම එළිය යහපත්ව තිබිණ. තවද දෙවියන්වහන්සේ වන මම, අන්ධකාරයෙන් එළිය වෙන්කළෙමි.

5 තවද දෙවියන්වහන්සේ වන මම, එළියට දහවල යැයි නම් තැබුවෙමි; තවද අන්ධකාරයට, මම රාත‍්‍රිය යැයි නම් තැබුවෙමි; තවද මා මෙය කළේ මාගේ බලයේ වචනයෙනි, මා පැවසූ විට එය සිදුවිය; තවද සවස විය, උදය විය ඒ පළමු දවසය.

6 තවද නැවතත්, දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: ජලය මධ්‍යයෙහි අවකාශයක් වේවා, මා පැවසූ ලෙස, තවද එය එසේ සිදුවිය; තවද මම මෙසේ කීවෙමි: ජලය ජලයෙන් වෙන් වේවා; තවද එය එසේ සිදුවිය;

7 තවද දෙවියන්වහන්සේ වන මම, අවකාශය සාදා තවද ජලය වෙන්කළෙමි, එසේය, අවකාශයට උඩින් තිබුණු ජලයෙන්, අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළෙමි, තවද මා පැවසූ විට එය එසේ සිදුවිය.

8 තවද දෙවියන්වහන්සේ වන මම, අවකාශයට අහස කියා නම් තැබුවෙමි; තවද සවස විය, උදය විය ඒ දෙවෙනි දවසය.

9 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, තවද එය එසේ විය; තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: එහි වියළි බිම වේවා; තවද එය එසේ විය.

10 තවද දෙවියන්වහන්සේ වන මම, වියළි බිමට පොළොව කියා නම් තැබුවෙමි; තවද එකට රැස්වූ ජලයට මුහුද කියාද නම් තැබුවෙමි; තවද දෙවියන්වහන්සේ වන මම, මා සෑදූ සියල්ල යහපත් බව දුටුවෙමි.

11 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: පොළොව වනාහි තෘණද, බීජ නිපදවන ඔසුද, ඒ ඒ වර්ග ලෙස ඵල දරන ඵල වෘක්ෂද, තවද එහි බීජ පොළොව මත තිබිය යුතු වන, ඵල දරන වෘක්ෂද පොළොව පිට හටගනීවා, තවද මා පැවසූ ලෙසම එය සිදුවිය.

12 තවද පොළොවෙහි තෘණ හටගත්තේය, ඒ ඒ වර්ගවල බීජ සහිත එල දරන සෑම පලා වර්ගයක්මද, තවද ඒ ඒ වර්ගවල බීජ සහිත එල දරන වෘක්ෂද හට ගත්තේය; තවද දෙවියන්වහන්සේ වන මම, මා සෑදු සියල්ල යහපත් බව දුටුවෙමි;

13 තවද සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසය.

14 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: රාත්‍රියෙන් දහවල වෙන්කිරීමට, එහි අහස්තලයේ ආලෝකයන් වෙත්වා, තවද එසේම ඒවා ලකුණු ලෙසද, තවද සෘතු ලෙසද, තවද දවස් ලෙසද, තවද වර්ෂ ලෙසද වෙත්වා;

15 තවද පොළොවට එළිය දීම සඳහා ඒවා අහස්තලයේ ආලෝකයන් වෙත්වා; තවද එය එසේ සිදුවිය.

16 තවද දෙවියන්වහන්සේ වන මම, මහත් ආලෝකයන් දෙකක් සෑදුවෙමි; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය, තවද කුඩා ආලෝකය රාත්‍රීභාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය, තවද මහත් ආලෝකය ඉරය, තවද කුඩා ආලෝකය සඳය; තවද තාරකා වුවද සාදන ලද්දේ මාගේ වචනය අනුවය.

17 තවද දෙවියන්වහන්සේ වන මම, පොළොවට එළිය ලැබෙන පිණිස ඒවා අහස්තලයෙහි තැබුවෙමි,

18 තවද ඉර දිවාභාගය කෙරෙහි අධිපතිකම් කරයි, තවද සඳ රාත්‍රීභාගය කෙරෙහි අධිපතිකම් කරයි, තවද ඒ අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසය; තවද දෙවියන්වහන්සේ වන මම, මා මැවූ සියල්ල යහපත් බව දුටුවෙමි;

19 තවද සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසය.

20 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝ කොට හටගන්වාවා, තවද පක්ෂීහු පොළොවට උඩින් අහස්තලයෙහි පියාසර කරත්වා.

21 තවද දෙවියන්වහන්සේ වන මම, ඉතා මහත් ජලචර සත්වයන්ද, තවද ඒ ඒ වර්ග ලෙස, ජලයෙහි බොහෝ සෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද, තවද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවුවෙමි; තවද දෙවියන්වහන්සේ වන මම මා මැවූ සියලු දේවල් යහපත් බව දුටුවෙමි.

22 තවද දෙවියන්වහන්සේ වන මම, ඔවුන්ව මෙසේ කියමින් ආශිර්වාද කළෙමි: නුඹලා සඑලව, තවද බෝවෙමින්, තවද මුහුදේ ජලය පුරා පැතිරී සිටිව්; තවද පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වා;

23 තවද සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසය.

24 තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: පොළොව වනාහි ඒ ඒ වර්ගවල ජීවමාන සත්වයන්, සිව්පාවුන්, සහ පොළොව මත බඩගා යන සතුන්, සහ ඒ ඒ වර්ගවල මෘගයන්ද හටගන්වාවා, තවද එය එසේ විය;

25 තවද දෙවියන්වහන්සේ වන මම, ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද, තවද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද, තවද ඒ ඒ වර්ග වල පොළොවෙහි බඩගා යන සියලු සතුන්ද මැවුවෙමි; තවද දෙවියන්වහන්සේ වන මම, මේ සෑම දෙයක්ම යහපත් බව දුටුවෙමි.

26 තවද දෙවියන්වහන්සේ වන මම, මා සමඟ ආරම්භයේ පටන්ම සිටි මාගේ ඒකජාතකයාණන්ට මෙසේ කීවෙමි: අපි අපගේ ස්වරූපයෙන්ද, අපගේ සමානත්වයෙන්ද මනුෂ්‍යයා සාදමු; තවද එය එසේ විය. තවද දෙවියන්වහන්සේ වන මම, මෙසේ කීවෙමි: ඔවුහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, තවද අහසේ පක්ෂීන් කෙරෙහිද, තවද අනෙක් සිව්පාවුන් කෙරෙහිද, තවද මුළු පොළොව කෙරෙහිද, තවද පොළොව පිට බඩගා යන සියලු සතුන් කෙරෙහිද ආධිපත්‍ය දරත්වා.

27 තවද දෙවියන්වහන්සේ වන මම, මාගේම ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවෙමි; මාගේ ඒකජාතකයාණන්ගේ ස්වරූපයෙන් මම ඔහුව මැවුවෙමි; පුරුෂයා සහ ස්ත්‍රිය ලෙස මම ඔවුන්ව මැවුවෙමි.

28 තවද දෙවියන්වහන්සේ වන මම, ඔවුන්ට ආශිර්වාද කළෙමි, තවද ඔවුන්ට මෙසේ කීවෙමි: සාරවත් වී, තවද වැඩිවෙමින්, තවද පොළොව පූර්ණ කොට, තවද එය යටත්කරගන්න, තවද මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, තවද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, තවද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද ආධිපත්‍ය දරන්න.

29 තවද දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයාට මෙසේ කීවෙමි: බලන්න, මුළු පොළෝ තලයෙහි ඇති බීජ දරන සියලු පලාද, තවද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද මම නුඹලා හට දුන්නෙමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය.

30 තවද මා ජීවය දුන් පොළොවේ සියලු මෘගයන්ටත්, තවද ආකාශයේ සියලු පක්ෂීන්ටත්, තවද පොළොව පිට බඩගා යන සියලු සතුන්ටත්, ආහාර පිණිස සෑම පිරිසිඳු පලා වර්ගයක්ම දුන්නෙමි; තවද මා ප්‍රකාශ කළ ලෙස වුවත්, එය එසේ සිදුවිය.

31 තවද දෙවියන්වහන්සේ වන මම, මා සෑදූ සෑම දෙයක්ම දුටුවෙමි, තවද, බලන්න, මා සෑදූ සෑම දෙයක්ම ඉතා යහපත්ය; තවද සවස විය, උදය විය, ඒ සයවන දවසය.