ශුද්ධලියවිලි
මෝසෙස් 7


7 වෙනි පරිච්ඡේදය

(දෙසැම්බර් 1830)

ඒනොක් උගන්වයි, ජනතාවව මෙහෙයවයි, තවද කඳු චලනය කරයි—සයොන නගරය ස්ථාපිත කරයි—මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීම, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සහ ශුද්ධවන්තයන්ගේ මරණයෙන් නැවත නැගිටීම, ඒනොක් පූර්වයෙන් දකියි—නැවත පිහිටුවීම, එක්රැස් කිරීම, දෙවන පැමිණීම, සහ සයොනයේ නැවත පැමිණීමද ඔහු පූර්වයෙන් දකියි.

1 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් සිය කතාව දිගටම කරගෙන යමින් මෙසේ කීවේය: බලන්න, අපගේ පියා වූ ආදම් මේ දේවල් ඉගැන්වීය, තවද බොහොමයක් දෙනා විශ්වාස කරමින් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වූහ, තවද විශ්වාස නොකළ බොහාමයක්ද විය, තවද ඔවුන්ගේ පාප තුළ මරණයට පත්වී, බියෙන්ද, වධ වේදනාවෙන්ද ඉදිරිය බලා සිටින්නෝය, මක්නිසාද දෙවියන්වහන්සේගේ කෝපයේ උග්‍ර උදහස ඔවුන් මත වැගිරෙන්නට නියමව ඇත්තේය.

2 තවද එම අවස්ථාවේ සිට ඒනොක්, ජනතාවට මෙසේ කියමින්, අනාවැකි කීමට පටන් ගත්තේය, එනම්: මා ගමන් කරන අතරතුර, තවද මහුජා නම් ස්ථානයේ නැවතී, තවද ස්වාමින්වහන්සේට මොරගැසුවෙමි, එවිට අහසින් හඬක් පැමිණ, මෙසේ කීය—නුඹ හැරී, තවද නුඹ සිමියොන් කන්දට යන්න.

3 තවද එය මෙසේ සිදුවිය එනම් මම ආපසු හැරී කන්ද උඩට ගියෙමි; තවද මා එම කන්ද මත සිටගෙන සිටියදී, ස්වර්ගය විවර වෙනවා මම දුටුවෙමි, තවද මාව මහිමයෙන් සරසවනු ලැබීය;

4 තවද මම ස්වාමින්වහන්සේව දුටුවෙමි; තවද උන්වහන්සේ මගේ මුහුණ ඉදිරියේ සිටගෙන, තවද මිනිසෙක් තවත් අයෙකු හා කතා කරන ලෙස, මුහුණට මුහුණ, මා සමඟ කතාකර; තවද මට මෙසේ කී සේක: බලව, තවද පරම්පරා ගණනාවක් අතර කාලයක ලෝකය මම නුඹට පෙන්වන්නෙමි.

5 තවද එය මෙසේ සිදුවිය එනම් මම ෂම් මිටියාවත දුටුවෙමි, තවද බලව, කූඩාරම්වල ජීවත්වන එම මහත් ජනතාව, එනම් ෂම් ජනතාව විය.

6 තවද නැවතත් ස්වාමින්වහන්සේ මා හට මෙසේ කී සේක: බලව; තවද මම උතුර දෙස බැලුවෙමි, තවද මම කේනාන් හි ජනයා දුටුවෙමි, ඔවුහු කූඩාරම්වල ජීවත් වූහ.

7 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: අනාවැකි කියව, තවද මම අනාවැකි කියමින් මෙසේ කීවෙමි: බලන්න සංඛ්‍යාවෙන් විශාල වූ, කේනාන් ජනතාව, ෂම් ජනයාට විරුද්ධව පෙලගැසෙමින් සටනට ඉදිරියට යන්නෝය, තවද ඔවුන්ව මරාදමන අතර, ඔවුහු මුළුමනින්ම විනාශ වන්නෝය; තවද කේනාන් ජනතාව එම දේශයේ ඔවුන්ම බෙදී යන්නෝය, තවද එම දේශය නිසරු වී එමෙන්ම අපල වී, තවද කේනාන් ජනතාව හැර වෙනත් ජනතාවක් එහි වාසය නොකරන්නේය;

8 මක්නිසාද බලන්න, ස්වාමින්වහන්සේ මහත් උණුසුමකින් එම දේශයට ශාප කරන සේක, තවද එහි අපල බව සදාකාලයටම ඉදිරියට යන්නේය; තවද කේනාන් හි සියලු දරැවන් මත අන්ධකාරයක් ඇතිවී, ඔවුහු සියලු ජනතාව අතර අප්‍රසාදය ලබන්නෝය.

9 තවද එය මෙසේ සිදුවිය එනම් ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: බලව; තවද මම බැලුවෙමි, තවද ෂැරෝන් දේශයද, ඒනොක් දේශයද, ඔම්නර් දේශයද, හෙනි දේශයද, ෂෙම් දේශයද, හේනර් දේශයද, හනාන්නිහා දේශයද, තවද එහි සියලු වැසියන්ද දුටුවෙමි;

10 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: මෙම ජනතාව වෙත යන්න, තවද ඔවුන්ට මෙසේ කියන්න—මා පැමිණ ඔවුන්ට ශාපයකින් පහරදී, තවද ඔවුන් නොමැරෙන පිණිස, පසුතැවිලි වන්න.

11 තවද උන්වහන්සේ මා හට ආඥාවක් ලබා දුන්නේය එනම් මම පියාණන්වහන්සේගේද, තවද කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණ වූ ප්‍රත්‍රයාණන්වහන්සේගේද, පියාණන් සහ ප්‍රත්‍රයාණන් ගැන සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන්වහන්සේගේ නාමයෙන්ද, බව්තීස්ම කළ යුතු බවය.

12 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක්, කේනාන් ජනතාවට හැර, අනෙක් සියලුම ජනතාවට පසුතැවිලි වන ලෙස කියමින් නොකඩවා හඬ නැගුවේය;

13 තවද ඒනොක්ගේ ඇදහිල්ල ඉතා මහත් විය එනම් ඔහු දෙවියන්වහන්සේගේ ජනතාවට මගපෙන්වීය, තවද ඔවුන්ගේ සතුරෝ ඔවුන්ට විරුද්ධව සටනට ආවෝය; තවද ඔහු ස්වාමින්වහන්සේගේ වචනය කතා කළේය, තවද ඔහුගේ විධානය අනුව, පොළොව වෙව්ලුවේය, කඳු පවා චලනය විය; තවද ගංගාවෝ සිය ජලය ගමන් මගින් වෙනතකට හරවා ගැලූහ; තවද සිංහයන්ගේ ගර්ජනා හඬ වනාන්තරවලින් ඇසිණ; තවද සියලුම ජාතීන් මහත් සේ බිය වූහ, ඒනොක්ගේ වචන එතරම්ම බලවත් විය, තවද දෙවියන්වහන්සේ ඔහුට දී තිබූ භාෂාව එතරම්ම බලවත් විය.

14 එහි සාගර පතුලෙන්ද දේශයක් උඩට මතුව ආවේය, තවද දෙවියන්වහන්සේගේ ජනතාවගේ සතුරන්ට ඇතිවූ බිය අති මහත් විය, එනම් ඔවුහු පලාගොස් ඈතින් සිටිමින් තවද සාගර පත්ලෙන් මතුවූ දේශය මතින් ගියහ.

15 තවද එමෙන්ම එම දේශයේ යෝධයෝද, ඈතින් සිටියහ; තවද එවිට දෙවියන්වහන්සේට විරුද්ධව සටන් කළ සියලු ජනයා මත ශාපයක් ඉදිරියට ගියේය;

16 තවද ඒ කාලයේ පටන් ඉදිරියට ඔවුන් අතර යුද්ධ සහ ලේ වැගිරීම් ඇතිවිය; එහෙත් ස්වාමින්වහන්සේ පැමිණ තම ජනතාව සමඟ වාසය කළ සේක, තවද ඔවුහු ධර්මිෂ්ඨව වාසය කළෝය.

17 ස්වාමින්වහන්සේගේ බිය සියලුම ජාතීන් මත විය, උන්වහන්සේගේ ජනයා මත වූ, ස්වාමින්වහන්සේගේ මහිමය අති මහත් විය. තවද ස්වාමින්වහන්සේ එම දේශය ආශිර්වාද කළ සේක, තවද ඔවුහු කඳු මතද, උස් ස්ථානවලද, ආශිර්වාදිත වී, තවද සමෘද්ධිමත් වූහ.

18 තවද ස්වාමින්වහන්සේ තම ජනතාව හැඳින්වූයේ සයොනය ලෙසය, මක්නිසාද ඔවුහු එක් හදවතක් සහ එක් මනසක්ව සිටිමින්, ධර්මිෂ්ඨව වාසය කළහ; තවද එසේම ඔවුන් අතර දුප්පතුන් සිටියේ නැත.

19 තවද ඒනොක් ධර්මිෂ්ඨව දෙවියන්වහන්සේගේ ජනතාව හට ඔහුගේ දේශනා කිරීම් දිගටම කළේය. තවද එය මෙසේ සිදුවිය එනම් ඔහුගේ කාලයේ, ඔහු එහි නගරයක් ගොඩනැගූ අතර, එය හැඳින්වූයේ ශුද්ධ වූවන්ගේ නගරය, නොහොත් සයොනය ලෙසය.

20 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් ස්වාමින්වහන්සේ සමඟ කතා කළේය; තවද ඔහු ස්වාමින්වහන්සේට මෙසේ කීවේය: සයොනය සැබවින්ම සදාකාලිකව ආරක්ෂිතව තිබෙනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: සයොනයට මා ආශිර්වාද කර ඇත, එහෙත් ඉතිරි ජනතාවට මම ශාපකර ඇත්තෙමි.

21 තවද එය මෙසේ සිදුවිය එනම් ස්වාමින්වහන්සේ පොළොවේ සියලුම වැසියන්ව ඒනොක් හට පෙන්වූ සේක; තවද ඔහු බැලුවේය, තවද දුටුවේය, සයොනය, කල් යාමේදී, ස්වර්ගය වෙතට ගෙන ඇත්තේය. තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: බලන්න මා සදාකාලයට වාසය කරන ස්ථානය මෙය වන්නේය.

22 තවද ඒනොක් ආදම්ගේ පුත්‍රයන් වූ ජනතාවගේ ඉතිරි අයව දුටුවේය; තවද ඔවුන් කායින්ගේ වංශය හැර, ආදම්ගේ වංශයේ සම්මිශ‍්‍රණයක් විය, මක්නිසාද කායින්ගේ වංශය කළු වූ නිසා, සහ ඔවුන් අතර ඔවුන්ට ස්ථානයක් නොවූ නිසාය.

23 තවද සයොනය ස්වර්ගය වෙතට ඉහළට ගැනීමෙන් පසුව, ඒනොක් බැලුවේය, තවද පොළොවේ සියලුම ජාතීන් තමා ඉදිරිපිට සිටින බව ඔහු දුටුවේය;

24 තවද එහි පරම්පරා පිට පරම්පරා ආවේය; තවද ඒනොක් ඉහළින්ම සිට, පියාණන්වහන්සේගේ සහ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ තුරුලට ඔසවාගනු ලැබීය; තවද බලන්න, සාතන්ගේ බලය පොළොවේ මුහුණත මත විය.

25 තවද ස්වර්ගයේ සිට පහතට බසින දේවදූතයන් ඔහු දුටුවේය; තවද මහත් ශබ්දයකින් මෙසේ කියනු ඔහුට ඇසිණ: පොළොවේ වාසීන් හට දුක් වේවා, දුක් වේවා.

26 තවද ඔහු සාතන්ව දුටුවේය; තවද ඔහුගේ හස්තයේ විශාල දම්වැලක් තිබිණ, තවද එය මුළු පොළාවම අන්ධකාරයෙන් වසා දැමීය; තවද ඔහු ඉහළ බලා සිනහසුනේය, තවද ඔහුගේ දූතයෝ මහත් සේ ප‍්‍රීති වූහ.

27 තවද පියාණන් සහ පුත්‍රයාණන් ගැන සාක්ෂි දරමින්, ස්වර්ගයෙන් පහළට බසින දේවදූතයන්ව ඒනොක් දුටුවේය; තවද ශුද්ධාත්මයාණන්වහන්සේ බොහෝ දෙනෙක් මත වැටුන අතර, ඔවුන්ව ස්වර්ගීය බලයන් මගින් සයොනයට ඔසවාගනු ලැබීය.

28 තවද එය මෙසේ සිදුවිය එනම් ස්වර්ගයේ දෙවියන්වහන්සේ එම ඉතිරි ජනතාව දෙස බැලුවේය, තවද උන්වහන්සේ හැඬූ සේක; තවද ඒනොක් ඒ ගැන වාර්තා කරමින්, මෙසේ පැවසුවේය: ස්වර්ගයන් හඬමින්, තවද කඳු මත වර්ෂාව මෙන් ඔවුන්ගේ කඳුළු සලන්නේ කෙසේද?

29 තවද ඒනොක් ස්වාමින්වහන්සේට මෙසේ කීවේය: ඔබවහන්සේ සියලු සදාකාලයෙන් සියලු සදාකාලයට ශුද්ධවන්ත වන බව පෙනෙන්නට තිබියදීත්, ඔබවහන්සේට හැඬීමට හැක්කේ කෙසේද?

30 තවද පොළොවේ කුඩා අංශු, එසේය, මෙවැනි මිලියන ගණනක් පොළෝ තල, ගණන්කිරීමට මිනිසාට හැකිවීද, එය ඔබවහන්සේගේ මැවීම් ගණන්කිරීමේ ආරම්භයක් හෝ විය නොහැකි වන්නේය; තවද ඔබවහන්සේගේ තිර තවමත් දික් කර ඇත; තවද ඔබවහන්සේ තවමත් එහි සිටින සේක, තවද ඔබවහන්සේගේ අභ්‍යන්තරය එහිය; තවද එසේම ඔබවහන්සේ සාධාරණය; ඔබවහන්සේ සදාකාලිකවම දයාවන්ත සහ කරුණාවන්තය;

31 තවද ඔබවහන්සේගේ සියලුම මැවීම්වලින්, සියලු සදාකාලයෙන් සියලු සදාකාලයටම, ඔබවහන්සේ සයොනය තමන් තුරුලට ගෙන ඇත්තේය; තවද ඔබවහන්සේගේ සිංහාසනයේ වාසස්ථාන වන්නේ ශූන්‍යතාවය නොව, එහෙත් සමාදානය, සාධාරණත්වය සහ සත්‍යය ය; තවද දයාව ඔබවහන්සේගේ මුහුණ ඉදිරියෙන් යන අතර තවද එයට අවසානයක් නොවන්නේය; ඔබවහන්සේට හැඬීමට හැක්කේ කෙසේද?

32 ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කීසේක: බලන්න, නුඹගේ මෙම සහෝදරයෝ; ඔවුහු මාගේම හස්තයේ හස්තකර්මාන්තය වන්නෝය, තවද මම ඔවුන්ගේ දැනුම ඔවුන්ට ලබාදුන්නේ, මා ඔවුන්ව මැවූ දිනයේදීමය; තවද ඒදන් උයනේදී, මම මනුෂ්‍යයාට ඔහුගේ තෝරාගැනීමේ නිදහස ලබාදුන්නෙමි;

33 තවද නුඹගේ සහෝදරයන්ට මම මෙසේ පවසා ඇත්තෙමි, තවද මෙම ආඥාව ලබා දී ඇත්තෙමි, එනම් ඔවුන් එකිනෙකාට ප්‍රේම කළ යුතු වන්නෝය, තවද ඔවුන් මාව, ඔවුන්ගේ පියාණන්වහන්සේව තෝරාගත යුතු වන්නෝය; එහෙත් බලන්න, ඔවුහු ස්නේහය නොමැතිව සිටින්නෝය, තවද ඔවුන් ඔවුන්ගේම ලෙය පිළිකුල් කරන්නෝය;

34 මාගේ කෝපයේ ගින්න ඔවුන්ට විරුද්ධව ඇවිලී ඇත්තේය; තවද මාගේ අතිශය අසතුට තුළින් මම ඔවුන් මත ජලගැල්මක් එවන්නෙමි, මක්නිසාද මාගේ බිහිසුනු කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිලී ඇත්තේය.

35 බලන්න, මම දෙවියන්වහන්සේ වෙමි; ශුද්ධත්වයේ මනුෂ්‍යයා යනු මාගේ නාමයය; මනුෂ්‍ය උපදේශකයාණන් යනු මාගේ නාමයය; එසේම අනන්ත සහ සදාකාලික යනුද මාගේ නාමය වන්නේය.

36 එසේහෙයින්, මට මාගේ දෑත් දිගුකර තවද මා සෑදූ සියලු මැවීම් හැසිරවීමට පුළුවන; තවද මාගේ ඇසට ඒවා තුළින් දැකීමටද පුළුවන, තවද මාගේ දෑත්වල සියලුම හස්ත කර්මාන්ත අතර නුඹගේ සහෝදරයන් අතර වූ තරමට වඩා විශාල දුෂ්ඨකමක් තවත් නැත.

37 එහෙත් බලන්න, ඔවුන්ගේ පාප ඔවුන්ගේ පියවරුන්ගේ හිස් මත වන්නේය; සාතන් ඔවුන්ගේ පියා වන්නේය, තවද ඔවුන්ගේ ඉරණම දුක්ඛිතකම වන්නේය; තවද සියලුම ස්වර්ගයන් ඔවුන් වෙනුවෙන්, එමෙන්ම මාගේ දෑත්වල සියලුම හස්තකර්මාන්ත වෙනුවෙන් පවා වැළපෙන්නේය; එසේහෙයින් මොවුන් වේදනා විඳිනු දැක, ස්වර්ගයන් හැඬිය යුතු නොවන්නේද?

38 එහෙත් බලන්න, නුඹගේ දෑස් බලා සිටින මොවුහු ජලගැල්මෙන් විනාශ වන්නෝය; තවද බලන්න, මම ඔවුන්ව සිරකරන්නෙමි; ඔවුන් සඳහා සිරගෙයක් මම සූදානම් කර ඇත්තෙමි.

39 තවද මා තෝරාගත් ඔහු මාගේ මුහුණ ඉදිරියේ ආයාචනා කර ඇත. එසේහෙයින්, උන්වහන්සේ ඔවුන්ගේ පාපවලට වේදනා විඳින සේක; මා තෝරාගත් උන්වහන්සේ මා වෙතට නැවත පැමිණෙන දවසේ ඔවුන් පසුතැවිලි වන තරමටම, තවද එම දවස දක්වා ඔවුන් වධ විඳින්නෝය;

40 එසේහෙයින්, මේ හේතුව නිසා ස්වර්ගයන් හඬන්නේය, එසේය, තවද මාගේ හස්තයේ සියලුම හස්ත කර්මාන්තය නිසාද හඬන්නේය.

41 තවද එය මෙසේ සිදුවිය එනම් ස්වාමින්වහන්සේ ඒනොක්ට කතා කළේය, තවද මනුෂ්‍ය දරුවන්ගේ සියලු ක්‍රියා ගැන ඒනොක්ට කී සේක; එසේහෙයින් ඒනොක් දැනසිටි නිසා, තවද ඔවුන්ගේ දුෂ්ඨකම්, සහ ඔවුන්ගේ දුක්ඛිතකම් දෙස බලා, තවද ඔහු හඬමින්, ඔහුගේ දෑත් දිගුකළේය, තවද ඔහුගේ හදවත සදාකාලය මෙන් විශාලව ප්‍රසාරණය විය; තවද ඔහුගේ අභ්‍යන්තරය දයානුකම්පාවෙන් පිරී ගියේය; තවද සියලු සදාකාලය සෙලවිණ.

42 තවද ඒනොක් නෝවාද, තවද ඔහුගේ පවුලද දුටුවේය; එනම් නෝවාගේ සියලුම පුත්‍රයන්ගේ පරම්පරාව ලෞකික ගැලවීමක් සමඟ ගලවාගත යුතුව තිබුනේය;

43 එසේහෙයින් නෝවා නැවක් ගොඩනැගූ බව ඒනොක් දුටුවේය; තවද ස්වාමින්වහන්සේ ඒ ගැන සිනා පා, තවද උන්වහන්සේගේ ස්වකීය හස්තයෙන් එය දරා සිටි සේක; එහෙත් දුෂ්ඨයන්ගේ ඉතිරි අය මත, ජලගැල්ම පැමිණ ඔවුන්ව ගිලගනු ලැබීය.

44 තවද ඒනොක් මෙය දුටුවිට, ඔහුට ආත්මයේ තිත්තකමක් ඇති වී, තවද ඔහුගේ සහෝදරයන් වෙනුවෙන් හඬා, තවද ඔහු ස්වර්ගයන්ට මෙසේ කීවේය: මම සැනසීම ලැබීම ප්‍රතික්ෂේප කරමි; එහෙත් ස්වාමින්වහන්සේ ඒනොක් අමතා, මෙසේ කී සේක: නුඹගේ හදවත ඔසවා, සතුටු වෙන්න; තවද බලන්න.

45 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් බැලීය; තවද ඔහු නෝවාගේ සිට, පොළොවේ සියලුම පවුල් දුටුවේය; තවද ඔහු ස්වාමින්වහන්සේට මෙසේ කියමින්, මොරගැසුවේය: ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන්නේ කවදාද? ධර්මිෂ්ඨයාණන්ගේ ලේ වැගිරී, එසේම වැළපෙන්නන් වන ඔවුන් සියලුදෙනා පාරිශුද්ධ වී තවද සදාකාල ජීවනය ලබන්නේ කවදාද?

46 තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: එය සිදුවන්නේ උච්චතම කාලයේදීය, දුෂ්ඨකම සහ පලිගැනීමේ දවස්වලදීය.

47 තවද බලන්න, මනුෂ්‍ය පුත්‍රයාණන් මාංශයෙන් යුත් වී වුවත් පැමිණෙන එම දිනය ඒනොක් දුටුවේය; තවද ඔහුගේ ප්‍රාණය ප්‍රීති වෙමින්, මෙසේ කීවේය: ධර්මිෂ්ඨයාණන්ව ඔසවනු ලබන්නේය, තවද ලෝකය ආරම්භයේ සිටම බැටළුපැටවාණන්ව මරණයට නියමව ඇත්තේය; තවද ඇදහිල්ල තුළින් මම පියාණන්වහන්සේගේ තුරුලේ සිටින්නෙමි, තවද බලන්න, සයොනය මා සමඟය.

48 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් පොළොව දෙස බැලුවේය; තවද ඔහුට එහි ගර්භයෙන් මෙසේ කතාකරන හඬක් ඇසුනේය: දුක්වේ, මනුෂ්‍යයන්ගේ මව වන මා දුක් වන්නේය; මාගේ දරුවන්ගේ දුෂ්ඨකම නිසා, මට වේදනා දැනේ, මට වෙහෙසය. මා විශ්‍රාම ගන්නේත්, මාගෙන් පිටව ගිය අපවිත්‍රකමින් මා පිරිසිඳු වන්නේත් කවදාද? මට විශ්‍රාම ගැනීම සඳහාත්, ධර්මිෂ්ඨකම කාලයකට මාගේ මුහුණත මත පැවතීමටත්, මාගේ මැවුම්කරුවාණන් මා පවිත්‍ර කරන්නේ කවදාද?

49 තවද පොළොව වැළපෙන ඒ හඬ ඒනොක්ට ඇසුන විට, ඔහු වැලපෙමින්, තවද ස්වාමින්වහන්සේට මොරගසමින්, මෙසේ පැවසුවේය: අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේට පොළොව ගැන අනුකම්පාවක් නොමැත්තේද? ඔබවහන්සේ නෝවාගේ දරුවන්ට ආශිර්වාද කරන්නේ නැති සේක්ද?

50 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් ස්වාමින්වහන්සේට නොකඩවාම මොරගසමින්, මෙසේ පැවසුවේය: අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ, නොහොත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මම ඔබවහන්සේගෙන් ඉල්ලමි, නෝවා සහ ඔහුගේ වංශයට දයාවන්ත වන සේක්වා, පොළොව තවත් කිසිදාක ජලගැල්මෙන් වැසී නොයත්වා.

51 තවද ස්වාමින්වහන්සේට වැළකී සිටීමට නොහැකි විය; තවද උන්වහන්සේ ඒනොක් සමඟ ගිවිසුම් කර, තවද උන්වහන්සේ ජලගැල්මන් එවීම නවත්වන බව ඔහු හට දිව්රුමකින් පොරොන්දු වූ සේක; තවද උන්වහන්සේ නෝවාගේ දරුවන්ට කතාකරන බවටද පොරොන්දු වූ සේක;

52 තවද පොළොව පවතින තුරු, ඔහුගේ වංශයේ ඉතිරියක් සියලුම ජාතීන් අතර නිතර දක්නට ලැබිය යුතු බවට, උන්වහන්සේ වෙනස් කළ නොහැකි නියෝගයක් යැවූ සේක;

53 තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මෙසියස්වහන්සේ පැමිණෙන්නාවූ එම වංශයේ ඔහු ආශිර්වාදිත වේවා; මක්නිසාද උන්වහන්සේ මෙසේ කී සේක—මම මෙසියස්වහන්සේ වෙමි, සයොනයේ රජුන් වෙමි, ස්වර්ගයේ පර්වතය වෙමි, එය සදාකාලය සේ පුළුල්ය; යමෙක් දොරටුවෙන් පැමිණ, මා මගින් ඉහළට නගින්නේද, ඔහු කිසිදා නොවැටෙන්නේය; එසේහෙයින්, මා කතාකර තිබෙන සියල්ලෝ ආශිර්වාදිත වන්නෝය, මක්නිසාද ඔවුහු සදාකාලික ප්‍රීතියේ ගී ගයමින් ඉදිරියට එන්නෝය.

54 තවද එය මෙසේ සිදුවිය එනම් ඒනොක් මෙසේ කියමින්, ස්වාමින්වහන්සේට මොරගැසීය: මනුෂ්‍ය පුත්‍රයාණන් මාංශයෙන් යුතුව පැමිණෙන විට, පොළොව විශ්‍රාම ගන්නේද? මම ඔබවහන්සේට යාච්ඤා කරන්නෙමි, මට මේ දේවල් පෙන්වා දෙනු මැනව.

55 තවද ස්වාමින්වහන්සේ ඒනොක් අමතා මෙසේ කී සේක: බලන්න, තවද ඔහු බැලුවේය, තවද මනුෂ්‍ය පුත්‍රයාණන්, මනුෂ්‍යයන්ගේ ආකාරයට, කුරුසිය මත ඔසවා තබා සිටිනු දුටුවේය;

56 තවද ඔහුට මහත් හඬක් ඇසිණ; තවද අහස අන්ධකාර වී තිබිණි; තවද දෙවියන්වහන්සේගේ සියලු මැවීම් වැලපිණි; තවද පොළොව ගෙරෙව්වේය; තවද පර්වත දෙකඩ විය; තවද ශුද්ධවන්තයෝ නැගිට, තවද මනුෂ්‍ය පුත්‍රයාගේ දකුණු පස, මහිමයේ ඔටුනු සමඟ, ඔවුන්ව ඔටුනු පළඳවනු ලැබුවේය;

57 තවද ආත්මික සිරගෙදර සිටි බොහෝ ආත්ම ඉදිරියට පැමිණ, තවද දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගත්හ; තවද ඉතිරි අයව එම මහත් දවසේ විනිශ්චය එන තුරු, යදම් සහ අන්ධකාරය විසින් බැඳ තබා තිබුණි.

58 තවද නැවතත් ඒනොක් හඬමින්, තවද මෙසේ කියමින් ස්වාමින්වහන්සේට මොරගැසීය: පොළොව විශ්‍රාම ගන්නේ කවදාද?

59 තවද මනුෂ්‍ය පුත්‍රයාණන් පියාණන් වෙත නැගී යනු ඒනොක් දුටුවේය; තවද ඔහු මෙසේ කියමින් ස්වාමින්වහන්සේට කතා කළේය: ඔබවහන්සේ නැවතත් පොළොවට නොඑන සේක්ද? මක්නිසාද ඔබවහන්සේ දෙවියන්වහන්සේ වන නිසාත්, තවද මම ඔබවහන්සේව දන්නා නිසාත්, තවද ඔබවහන්සේ මට දිව්රා ඇති නිසාත්, තවද මා ඔබවහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමයෙන් ඉල්ලා සිටිය යුතු බවට මට ආඥා කර ඇති නිසාත්; ඔබවහන්සේ මා සාදා, තවද මාගේ ප්‍රයත්නයෙන් නොව, එහෙත් ඔබවහන්සේගේම කරුණාවෙන් ඔබවහන්සේගේ සිංහාසනයේ අයිතියක් මට දී ඇති නිසාත්; එසේහෙයින් ඔබවහන්සේ නැවතත් පොළොවට නොඑන සේක්දැයි, මම ඔබවහන්සේගෙන් අසන්නෙමි.

60 තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: මා ජීවත්වන ලෙස, අන්තිම දවස්වලදී, දුෂ්ඨකම සහ පලිගැනීමේ දවස්වලදී, නෝවාගේ දරුවන් සම්බන්ධව මා නුඹට දුන් දිව්රුම ඉෂ්ට කිරීමට, මම පැමිණෙන්නෙමි;

61 තවද පොළොව විශ්‍රාම ගන්නා දවස පැමිණෙන්නේය, එහෙත් එම දවසට පෙර අහස අඳුරු වන්නේය, තවද අඳුරු තිරයක් පොළොව වසාගන්නේය; තවද අහසද තවද පොළොවද සෙලවෙන්නේය; තවද මහත් විපත් මනුෂ්‍ය දරුවන් අතර වන්නේය, එහෙත් මාගේ ජනතාවව මම ආරක්ෂා කරන්නෙමි;

62 තවද ධර්මිෂ්ඨකම මම ස්වර්ගයෙන් පහතට එවන්නෙමි; තවද සත්‍යය මම පොළොවෙන් පිටතට එවන්නෙමි, එනම් මාගේ ඒකජාතකයාණන් ගැනද; උන්වහන්සේගේ මළවුන්ගෙන් නැවත නැගිටීම ගැනද; එසේය, සියලු මනුෂ්‍යයන්ගේ මරණයෙන් නැවත නැගිටීම ගැනද සාක්ෂි දැරීමටය; තවද ධර්මිෂ්ඨකම සහ සත්‍යය ජලගැල්මක් සමඟ මෙන් පොළොව පුරවාලීමටද, මාගේ තෝරාගත්තවුන් පොළොවේ සතර කොනෙන්, මා සූදානම් කරන ස්ථානයට, ශුද්ධ වූ නගරයකට, එක්රැස් කිරීමටය, එනම් මාගේ ජනතාව ඔවුන්ගේ ඉඟටි බැඳගෙන, තවද මාගේ පැමිණීම ගැන බලාසිටිනු ඇත; මක්නිසාද මාගේ කූඩාරම එහි තිබෙන්නේය, එය සයොනය ලෙසද, නව යෙරුසලමක් ලෙසද හඳුන්වනු ලැබෙන්නේය.

63 තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ කී සේක: එවිට නුඹද නුඹේ නගරයේ සියල්ලන්ද ඔවුන්ව එහිදී හමුවන්නෝය, තවද අපි ඔවුන්ව අපගේ තුරුලට ගන්නෙමු, තවද ඔවුන් අපව දකිනු ඇත; තවද අපි ඔවුන්ගේ ගෙල මතට වැටෙන්නෙමු, තවද ඔවුන්ද අපගේ ගෙල මතට වැටෙන්නෝය, තවද අපි එකිනෙකා සිපගන්නෙමු;

64 තවද මාගේ වාසස්ථානයක් එහි තිබෙන්නේය, තවද එය සයොනය වන්නේය, එය මා සෑදූ මැවීම් සියල්ලෙන්ම ඉදිරියට පැමිණෙන්නේය; තවද වසර දහසක කාලයකට පොළොව විශ්‍රාම ගන්නේය.

65 තවද එය මෙසේ සිදුවිය එනම් මනුෂ්‍ය පුත්‍රයාණන්, අවසාන දවස්වලදී, වසර දහසක කාලයක් පොළොව මත ධර්මිෂ්ඨව වාසය කිරීමට පැමිණෙන දවස ඒනොක් දුටුවේය;

66 එහෙත් එම දවසට පෙර දුෂ්ඨයන් අතර මහත් විපතක් ඔහු දුටුවේය; තවද ඔහු සාගරයද දුටුවේය, එය කැළඹිලි සහිත විය, තවද මනුෂ්‍යයාගේ හදවත් ඔවුන්ව අධෛර්යමත් කළේය, දුෂ්ඨයන් මත පැමිණෙන සර්වබලධාරී දෙවියන්වහන්සේගේ විනිශ්චයන් දෙස බියට පත්ව බලා සිටිනු ඔහු දුටුවේය.

67 තවද ස්වාමින්වහන්සේ ඒනොක්ට සියලුම දේවල්, එනම් ලෝකයේ අවසානය දක්වා පවා පෙන්වූ සේක; තවද ඔහු ධර්මිෂ්ඨයින්ගේ දවසද, ඔවුන්ගේ මිදීමේ පැයද දැක, තවද ප්‍රීතියේ පූර්ණත්වය ලැබුවේය;

68 තවද සයොනයේ සියලු දවස්, ඒනොක්ගේ ජීවිත කාලයෙන්, වසර තුන්සිය-හැට-පහක් විය.

69 තවද ඒනොක් සහ ඔහුගේ සියලුම ජනතාව දෙවියන්වහන්සේ සමඟ ඇවිද ගියහ, තවද උන්වහන්සේ සයොනය මධ්‍යයයේ වාසය කළ සේක; තවද එය මෙසේ සිදුවිය එනම් සයොනය එහි නොවීය, මක්නිසාද දෙවියන්වහන්සේ එය තමන්වහන්සේගේ තුරුලට ගත් නිසාය; තවද එතැන් සිට මෙවන් ප්‍රකාශයක් ඉදිරියට ගියේය, සයොනය පලා ගොස් ඇත.