ශුද්ධලියවිලි
මෝසෙස් 5


5 වෙනි පරිච්ඡේදය

(ජුනි–ඔක්තෝම්බර් 1830)

ආදම් සහ ඒව දරුවන් ගෙනෙති—ආදම් පූජා ඔප්පුකර දෙවින්වන්සේට සේවය කරයි—කායින් සහ ආබෙල් උපත ලබති—කායින් කැරළිගසමින්, දෙවියන්වන්සේට වඩා සාතන්ට ප්‍රේමකර, විනාශයේ පුත්‍රයෙකු බවට පත්වෙයි—මිනීමැරීම සහ දුෂ්ඨකම පැතිරෙයි—ආරම්භයේ සිටම ශුභාරංචිය දේශනා කෙරේ.

1 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, ඔවුන්ව පිටතට එළවා දැමුවෙමි, එවිට ආදම්, මම ඔහුට ආඥා කළ ලෙස, පොළොව කෙටීමටත්, තවද භූමියේ සියලු සත්වයන් කෙරෙහි ආධිපත්‍ය දැරීමටත්, ඔහුගේ නළලේ දහදියෙන් ඔහුගේ ආහාර ගැනීමටත් ආරම්භ කළේය. තවද ඔහුගේ භාර්යාව වූ, ඒවද, ඔහු සමඟ වැඩ කළාය.

2 තවද ආදම් සිය භාර්යාවව හැඳින්නේය, තවද ඇය ඔහු වෙතට පුතුන් සහ දියණියන් වැදුවාය, තවද ඔවුහු බෝවෙමින් පොළොව පූර්ණ කිරීමට පටන්ගත්හ.

3 තවද එම කාලයේ පටන්, ආදම්ගේ පුතුන් සහ දියණියන් එම දේශයේ දෙදෙනා දෙදෙනා වශයෙන් බෙදී, පොළොව කෙටීමටත්, සතුන් රැළවල් රැකබලාගැනීමටත් පටන් ගත්තෝය, තවද ඔවුහු පුතුන් සහ දියණියන්ද වැදුවෝය.

4 තවද ආදම් සහ ඔහුගේ බිරිඳ ඒව, ස්වාමින්වහන්සේගේ නාමයට හඬගැසූහ, තවද ඒදන් උයනට යන මාර්ගයේ සිට ස්වාමින්වහන්සේගේ හඬ ඔවුන්ට කතාකරනු, ඔවුන්ට ඇසිණි, එහෙත් ඔවුන් උන්වහන්සේව දුටුවේ නැත; මක්නිසාද ඔවුන්ව උන්වහන්සේගේ අභිමුඛයෙන් කපාදමා තිබුණි.

5 තවද ඔවුන් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු බවටත්, තවද ඔවුන්ගේ රැළවල්වලින් කුළුඳුල් සතුන් ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස ඔප්පුකළ යුතු බවටත්, උන්වහන්සේ ඔවුන්ට ආඥාවන් දුන් සේක. තවද ආදම් ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු වූවේය.

6 තවද දවස් බොහොමයකට පසුව, ස්වාමින්වහන්සේගේ දේවදූතයෙක් ආදම්ට ප්‍රකාශව, මෙසේ පැවසුවේය: නුඹ ස්වාමින්වහන්සේට පූජා ඔප්පුකරන්නේ මක්නිසාද? තවද ආදම්ද උන්වහන්සේට මෙසේ පැවසුවේය: මා දන්නේ නැත, ස්වාමින්වහන්සේ මට ආඥා කළ සේක.

7 තවද එවිට දේවදූතයා මෙසේ පවසමින්, කතා කළේය: මෙම දෙය පියාණන්වහන්සේගේ ඒකජාකයාණන්ගේ පරිත්‍යාගයට සමානය, උන්වහන්සේ කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණ වන සේක.

8 එසේහෙයින්, නුඹ කරන්නාවූ සියලුම දේවල් නුඹ පුත්‍රයාණන්වහන්සේගේ නාමයෙන් කළ යුතු වන්නේය, තවද නුඹ පසුතැවිලි වී තවද සදහටම දෙවියන්වහන්සේට ප්‍රත්‍රයාණන්ගේ නාමයෙන් මොරගැසිය යුතු වන්නේය.

9 තවද පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන්වහන්සේ මෙසේ පවසමින්, එම දවසේ ආදම් මත පතිත විය: ආරම්භයේ සිටම, එතැන් සිට සහ සදාකාලයටම, පියාණන්වහන්සේගේ ඒකජාතකයාණන් මම වෙමි, එනම් නුඹ වැටුණු ආකාරයටම නුඹවත්, ගැලවීමට ආශාවක් ඇති සියල්ලන්ම ඇතුළු, සියලුම මනුෂ්‍ය වර්ගයාත් මුදවාගනු ලබන්නෙමි.

10 තවද එම දවසේ ආදම් දෙවියන්වහන්සේට ප්‍රශංසා කර පූර්ණ වී, තවද පොළොව මත සිටි සියලුම පවුල් සම්බන්ධව මෙසේ අනාවැකි කීමට පටන්ගෙන, මෙසේ පැවසුවේය: දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා, මක්නිසාද මාගේ පාපය නිසා මාගේ ඇස් ඇරිණ, තවද මම මේ ජීවිතයේ සතුට ලබන්නෙමි, තවද නැවතත් මාංශයෙන් යුතු වූ විට මම දෙවියන්වහන්සේව දකින්නෙමි.

11 තවද ඔහුගේ භාර්යාව වූ, ඒව, මේ සියල්ල අසා සතුටු වී, මෙසේ පැවසුවාය: අපගේ පාපය නොවන්නට අපට කිසිදිනක දරුවන් නොලැබිය යුතුව තිබිණ, තවද කිසිදිනක යහපත සහ නපුරද, අපගේ මිදීමේ සතුටද, තවද දෙවියන්වහන්සේ සියලුම කීකරුවන්නන්ට දෙන සදාකාල ජීවනය ගැනද කිසිදා දැන නොගෙන සිටීමට තිබිණ.

12 තවද ආදම් සහ ඒව දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමින්, තවද සියලුම දේවල් ඔවුන්ගේ පුත්‍රයන්ට සහ දියණියන්ට දැනගැනීමට සැලැස්වූහ.

13 එවිට සාතන් ඔවුන් අතරට පැමිණ, මෙසේ කීවේය: මමද දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් වෙමි; තවද ඔහු ඔවුන්ට අණ කරමින්, මෙසේ පැවසුවේය: එය විශ්වාස නොකරන්න; තවද ඔවුහු එය විශ්වාස නොකළහ, තවද ඔවුහු දෙවියන්වහන්සේට වඩා සාතන්ට ප්‍රේම කළහ. තවද මනුෂ්‍යයා එතැන් පටන් ලෞකික, කාමුක, සහ යක්ෂාකාර වීමට පටන්ගත්හ.

14 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් මගින් සෑම තැනකම සිටින මනුෂ්‍යයින්ට කතා කොට, ඔවුන් පසුතැවිලි විය යුතු බවට ආඥා කළ සේක;

15 තවද පුත්‍රයාණන්වහන්සේව විශ්වාස කර, ඔවුන්ගේ පාප වලට පසුතැවිලි වූ බොහෝ අයව, ගලවාගනු ලබන්නේය; තවද විශ්වාස නොකළ සහ පසුතැවිලි නොවූ බොහෝ දෙනෙක්ව, විනාශ කරනු ලබන්නේය; තවද එම වචන දෙවියන්වහන්සේගේ මුඛයෙන් දැඩි නියෝගයක් ලෙස පිටව ගියේය; එසේහෙයින්, ඒවා ඉෂ්ඨ විය යුතුමය.

16 තවද ආදම් සහ ඔහුගේ භාර්යාව වන ඒව, දෙවියන්වහන්සේට කතාකිරීම නැවැත්වූයේ නැත. ආදම් සිය භාර්යාව වූ ඒව හැඳින්නේය, තවද ඇය ගර්භණීව කායින් වදා, මෙසේ කීවාය: මම ස්වාමින්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි; එසේහෙයින් ඔහු උන්වහන්සේගේ වචන ප්‍රතික්ෂේප නොකරනු ඇත. එහෙත් බලන්න, කායින් ඇහුම්කන් නොදී, මෙසේ කීවේය: මා දැනගත යුතු ස්වාමින්වහන්සේ වන ඔහු කවරෙක්ද?

17 තවද නැවතත් ඇය ඔහුගේ සහෝදර වූ ආබෙල් වැදුවාය. තවද ආබෙල් ස්වාමින්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දුන්නේය. තවද ආබෙල් බැටළු පාලකයෙක් වූවේය, එහෙත් කායින් ගොවියෙක් වූවේය.

18 තවද කායින් දෙවියන්වහන්සේට වඩා සාතන්ට ප්‍රේම කළේය. තවද සාතන් ඔහුට අණ කරමින්, මෙසේ කීවේය: ස්වාමින්වහන්සේට පඬුරක් ඔප්පු කරන්න.

19 තවද කාලයකයට පසු එය මෙසේ සිදුවිය එනම් කායින් භූමියේ ඵලයෙන් ස්වාමින්වහන්සේට පඬුරක් ගෙනාවේය.

20 තවද ආබෙල්, ඔහුද රැළේ කුළුඳුලන්ගෙන්ද, උන්ගේ තෙලින්ද රැගෙන ආවේය. තවද ස්වාමින්වහන්සේ ආබෙල්, සහ ඔහුගේ පඬුරද සැලකූ සේක;

21 එහෙත් කායින් හට සහ ඔහුගේ පඬුරට, උන්වහන්සේ නොසැලකූ සේක. දැන් සාතන් මෙය දැන සිටියේය, තවද එය ඔහුව සතුටු කළේය. තවද කායින් අතිශයින් කෝප විය, ඔහුගේ මුහුණද වෙනස් විය.

22 තවද ස්වාමින්වහන්සේ කායින් හට මෙසේ පැවසූ සේක: නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?

23 නුඹ යහපත කළෙහි නම්, නුඹව පිළිගනු ලබන්නෙහිය. තවද නුඹ යහපත නොකළෙහි නම්, පාපය දොරකඩ ලැග සිටින්නේය, තවද සාතන් නුඹව ලබාගැනීමට ආශාවෙන් සිටින්නේය; තවද නුඹ මාගේ ආඥාවන්ට ඇහුම්කන් දෙන්නේ නැතිනම්, මම නුඹව පාවා දෙන්නෙමි, තවද ඔහුගේ ආශාවට අනුව එය නුඹ කෙරෙහි වන්නේය. තවද නුඹද ඔහු කෙරෙහි ආණ්ඩු කරන්නෙහිය.

24 මෙතැන් පටන් නුඹ ඔහුගේ බොරුවල පියා වන්නෙහිය; නුඹව විනාශයේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලබන්නේය; මක්නිසාද නුඹ ලෝකයට පෙරද සිටියෙහිය.

25 තවද මතු පැමිණෙන කාලයේදී මෙසේ කියනු ලබන්නේය—එනම් මෙම පිළිකුල්කම් කායින්ගෙන් ලැබූ දේවල්ය; මක්නිසාද ඔහුට දෙවියන්වහන්සේගෙන් ලැබුණු අති මහත් උපදෙස් ඔහු ප්‍රතික්ෂේප කළේය; තවද නුඹ පසුතැවෙන්නේ නැතිනම්, මම නුඹ පිට තබන ශාපය මෙයයි.

26 තවද කායින් මහත් සේ කෝප වී, තවද ස්වාමින්වහන්සේගේ හඬටද, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව කටයුතු කළ ඔහුගේ සහෝදරයා වූ, ආබෙල්ගේ හඬටද, තවදුරටත් සවන් නොදුන්නේය.

27 තවද ආදම් සහ ඔහුගේ භාර්යාව, කායින් සහ ඔහුගේ සහෝදරයන් නිසා, ස්වාමින්වහන්සේ ඉදිරියේ වැලපුනහ.

28 තවද එය මෙසේ සිදුවිය එනම් කායින් සිය සොහොයුරෙකුගේ දුවක්, බිරිඳ ලෙස ගත් අතර ඔවුහු දෙවියන්වහන්සේට වඩා සාතන්ට ප්‍රේම කළහ.

29 තවද සාතන් කායින් හට මෙසේ කීවේය: නුඹේ උගුරෙන් මා හට දිව්රා කියාපන්න, තවද නුඹ එය කිවහොත් නුඹ මියයන්නෙහිය; තවද නුඹගේ සහෝදරයන්ද එය නොපවසන පිණිස, ඔවුන්ට ඔවුන්ගේ හිස් මතද, තවද ජීවමාන දෙවියන්වහන්සේගේ නමින්ද දිව්රන්නට කියන්න, මක්නිසාද ඔවුන් ඒ ගැන කිවහොත්, සැබවින්ම ඔවුන් මිය යන්නෝය; තවද මේ ගැන නුඹේ පියා දැන නොගත යුතුය; තවද මේ දිනයේ මම නුඹේ සොහොයුරා වන, ආබෙල්ව, නුඹේ අතට බාර දෙන්නෙමි.

30 තවද සාතන් කායින්ට දිව්රමින් එනම් ඔහු ඔහුගේ නියෝගය අනුව කරන බව කීවේය. තවද මේ සියල්ල කරන ලද්දේ රහසිගතවය.

31 තවද කායින් මෙසේ පැවසුවේය: සැබවින්ම මම මහාන් වෙමි, මෙම විශාල අභිරහසේ ස්වාමියා වෙමි, එනම් මම වාසිය පිණිස මරා දමන පිණිසය. එසේහෙයින් කායින් මහාන් ස්වාමියා ලෙස හැඳින්වින, තවද ඔහු සිය දුෂ්ඨකමේ මහිමයට පත්විය.

32 තවද කායින් කෙතට ගියේය, තවද කායින් ඔහුගේ සහෝදරයා වූ, ආබෙල් හා කතා කළේය. තවද එය මෙසේ සිදුවිය එනම් ඔවුන් කෙතෙහි සිටින අතරතුරදී, කායින් සිය සහෝදරයා වූ ආබෙල්ට විරුද්ධව නැගී සිට, තවද ඔහුව මරා දැමීය.

33 තවද කායින් තමා කළ දෙයින් මහිමවත් වෙමින් මෙසේ පැවසුවේය: මම නිදහස්ය; සැබවින්ම මගේ සහෝදරයාගේ රැළවල් මගේ අත් වලට වැටෙන්නේය.

34 එවිට ස්වාමින්වහන්සේ කායින්ට මෙසේ කීවේය: නුඹේ සහෝදරයා වූ ආබෙල් කොහේද? තවද ඔහු මෙසේ කීවේය: මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ රැකවලාද?

35 එවිට ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයෙහි ශබ්දය භූමියෙන් මට හඬගසයි.

36 තවද දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය.

37 නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලා යන්නෙක්ද තවද තැනින් තැන යන්නෙක්ද වන්නෙහිය.

38 තවද කායින් ස්වාමින්වහන්සේට මෙසේ කීවේය: මගේ සහෝදරයාගේ රැළවල් නිසා සාතන් මා පරීක්ෂා කළේය. තවද මාද කෝපයෙන් සිටියෙමි; මක්නිසාද මාගේ නොව, එහෙත් ඔහුගේ පඬුර ඔබවහන්සේ පිළිගත් සේක; මාගේ දඬුවම මට දැරිය නොහැකි තරම් මහත්ය.

39 බලන්න අද දවසේදී ඔබවහන්සේ ස්වාමින්වහන්සේගේ ඉදිරියෙන් මා එළෙවූ සේක, තවද මමද ඔබවහන්සේගේ ඉදිරියෙන් සැඟවෙන්නමි; තවද මම පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද එය මෙසේ සිදුවිය, එනම් මාගේ අයුතුකම් නිසා, මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේය, මක්නිසාද මේ දේවල් ස්වාමින්වහන්සේගෙන් සැඟවිය නොහැක.

40 තවද ස්වාමින්වහන්සේ වන මම ඔහුට මෙසේ පැවසුවෙමි: කවරෙක් නුඹව මරන්නේද, ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේය. තවද කායින්ව සම්භවන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස, ස්වාමින්වහන්සේ ඔහුට ලකුණක් නියම කළ සේක.

41 තවද කායින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස්, තවද ඔහුගේ භාර්යාව සහ ඔහුගේ සොහොයුරන් කිහිපදෙනෙක් සමඟ ඒදන් උයනේ නැගෙනහිර පිහිටි, නොද් දේශයෙහි වාසය කළේය.

42 තවද කායින් තම භාර්යාව හැඳින්නේය, තවද ඇය ගර්භනීව ඒනොක් වැදුවාය, තවද ඔහුට දාව බොහෝ පුත්‍රයෝ සහ දියණියෝද උපන්නෝය. තවද ඔහු නගරයක් ගොඩනගා, ඔහු ඒ නගරය ඔහුගේ ප්‍රත්‍රයාගේ නමින්, ඒනොක් යයි නම් කළේය.

43 තවද ඒනොක් හට දාව ඊරාද් සහ තවත් ප්‍රත්‍රයෝ සහ දියණියෝ උපන්නෝය. තවද ඊරාද්ට දාව මෙහුයායෙල් සහ තවත් පුත්‍රයෝ සහ දියණියෝ උපන්නෝය. තවද මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් සහ තවත් පුත්‍රයෝ සහ දියණියෝ උපන්නෝය. තවද මෙතුෂායෙල්ට දාව ලාමෙක් උපන්නේය.

44 තවද ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවා ගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනෙක් තැනැත්තියගේ නම ශිල්ලාය.

45 තවද ආදා යාබල් වැදුවාය; ඔහු කූඩාරම්වල වාසය කරන්නාවූ, ගෝපාලයන්ගේ පියාය; තවද ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය, ඔහු වීණාවත් නළාවත් භාවිතා කරන සියල්ලන්ගේ පියාය.

46 තවද ශිල්ලාද, තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලොකුරුවා වූයේය. තවද තූබල්-කායින්ගේ සහෝදරිය නාමාය.

47 ලාමෙක් තමාගේ භාර්යාවන් වූ, ආදා සහ ශිල්ලාට මෙසේ කීවේය: මාගේ හඬ අසව්, ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන් දෙව්; මක්නිසාද මට තුවාල කළ නිසා මිනිසෙක්වද, තවද මට රිදවූ නිසා යෞවනයෙක්වද මම මැරීමි.

48 එසේහෙයින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම්, සැබවින්ම ලාමෙක් නිසා සැත්සෑසත් වරක් පළිගනු ලැබේ;

49 මක්නිසාද ලාමෙක්ද කායින් කළ ලෙසම, සාතන් සමඟ ගිවිසුමකට ඇතුල්ව සිටි හෙයින්, ඒ අනුව ඔහු මහාන් ස්වාමියා බවට පත්විය, එනම් සාතන් විසින් කායින්ට ලබාදෙන ලද එම මහත් අභිරහසේ ස්වාමියා බවට පත්විය; තවද ඒනොක්ගේ පුත්‍ර වූ, ඊරාද්, ඔවුන්ගේ රහස දැන, එය ආදම්ගේ පුත්‍රයින්ට හෙළිකරන්නට පටන් ගත්තේය;

50 එසේහෙයින් ලාමෙක්, කෝපයට පත්ව, ඔහුව මරා දැමීය, වාසි ලැබීම පිණිස කායින්, සිය සොහොයුරා වූ ආබෙල් මරා දැමුවාක් මෙන් නොව, එහෙත් දිව්රුම නිසා ඔහු ඔහුව මරාදැමුවේය.

51 මක්නිසාද, කායින්ගේ කාලයේ සිට, එහි රහසිගත සම්බන්ධතාවයක් තිබිණ, තවද ඔවුන්ගේ ක්‍රියා අඳුරේදී සිදුවිණ, තවද සෑම මනුෂ්‍යයෙක්ම තම සහෝදරයාව දැන සිටියේය.

52 එසේහෙයින් ස්වාමින්වහන්සේ ලාමෙක්ටත්, තවද ඔහුගේ නිවසටත්, තවද සාතන් සමඟ ගිවිසුම් කළ සියල්ලන්ටත් ශාප කළ සේක; මක්නිසාද ඔවුහු දෙවියන්වහන්සේගේ ආඥා තැබුවේ නැත, තවද එය දෙවියන්වහන්සේව අප්‍රසාදයට පත්කළේය, තවද උන්වහන්සේ ඔවුන්ට සේවය නොකළ සේක, තවද ඔවුන්ගේ ක්‍රියා පිළිකුල් විය, තවද ඒවා සියලුම මනුෂ්‍ය පුත්‍රයන් අතර පැතිරෙන්නට පටන්ගත්තේය. තවද එය මනුෂ්‍ය පුත්‍රයන් අතර විය.

53 තවද මනුෂ්‍ය දියණියන් අතර මේ දේවල් කතා නොවුණි, මක්නිසාද ලාමෙක් තමාගේ භාර්යාවන්ට මෙම රහස කියා තිබුණි, තවද ඔවුහු ඔහුට විරුද්ධව කැරළිගසා, තවද මේ දේවල් පිටතදී ප්‍රකාශ කළෝය, තවද එහි අනුකම්පාවක් නොතිබුණි;

54 එසේහෙයින් ලාමෙක් අවමන් ලබා, තවද නෙරපා දමන ලදින්, තවද ඔහු මරණයෙන් බේරී සිටීම පිණිස, නැවතත් මනුෂ්‍ය පුත්‍රයන් අතර පැමිණියේ නැත.

55 තවද මෙසේ මෙම අන්ධකාරයේ ක්‍රියා සියලුම මනුෂ්‍ය දරුවන් අතර පැතිර යාමට පටන්ගත්තේය.

56 තවද දෙවියන්වහන්සේ මහත් ශාපයකින් පොළොවට ශාපකර, තවද දුෂ්ඨයන් සමඟද, උන්වහන්සේ සෑදූ සියලුම මනුෂ්‍ය පුත්‍රයන් සමඟද කෝප වූ සේක;

57 මක්නිසාද ඔවුහු උන්වහන්සේගේ හඬට උවමනාවෙන් ඇහුම්කන් නොදුන්හ, එසේම උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව, උච්ඡතම කාලයේ පැමිණෙන බවට උන්වහන්සේ විසින් ප්‍රකාශ කළ, මෙම ලෝකයේ ආරම්භයටත් පෙර සූදානම්ව සිටි, උන්වහන්සේව පවා ඔවුන් විශ්වාස නොකළහ.

58 තවද මෙසේ ආරම්භයේ සිට, දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් එවන ලද ශුද්ධ වූ දේවදූතයන් විසින් ප්‍රකාශ කරමින්ද, තවද උන්වහන්සේගේම හඬින්ද, තවද ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව මගින්ද, ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ විය.

59 තවද මෙසේ සියලුම දේවල් ශුද්ධ වූ නියෝගයක් මගින්, ආදම් මත ස්ථිර කරන ලදි, තවද ශුභාරංචිය දේශනා කරන ලදි, තවද ලෝකයේ අවසානය දක්වා, එය ලෝකයේ තිබිය යුතු බවට නියෝගයක් යවන ලදි; තවද එය එසේ සිදුවිය. ආමෙන්.