2010–2019
යහපත කරන්නට බිය නොවන්න
2017 ඔක්තෝම්බර්


යහපත කරන්නට බිය නොවන්න

ස්වාමීන්වහන්සේගේ ගල්පර්වතය මත ඇදහිල්ලෙන් යුතුව සිටගෙන සිටින විටදී, සැකයත් බියත් මැකීගොස්, යහපත කරන්නට ආශාව වැඩිවන බව උන්වහන්සේ අපට පවසන සේක.

මාගේ දයාබර සහෝදර සහෝදරියනි, මා කතා කරන අතරතුරදී ස්වාමීන්වහන්සේගේ ශූද්ධාත්මයාණන් අප අතර සිටිනු ඇතැයි මම යාච්ඤා කරමි. ඉතා ලැදිවූ යාච්ඤා වලදීද, අනුභාවනීය දේශනවලදී හා මෙම සම්මන්ත‍්‍රණයේ වු දිව්‍යමය ගායනයේදී ලද ප්‍රබෝධය වෙනුවෙන්, මෙම සභාවට හිමිකම් කියන ස්වාමීන්වහන්සේ කෙරෙහි මාගේ හදවත කෘතඥතාවයෙන් පිරී ඇත.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී, මාගේ ඇතුළු ලෝකයේ හදවත් සසල කළ පණිවිඩයක් සභාපති තෝමස් එස්. මොන්සන් ඉදිරිපත් කළේය. මෝර්මන්ගේ පොතෙහි බලය පිළිබඳව ඔහු කථා කළේය. එහි ඉගැන්වීම් අධ්‍යයනය කර හා මෙනෙහි කර, ජිවිතයට එකතු කරගන්නට ඔහු අපිව උනන්දු කළේය. මෝර්මන්ගේ පොතෙහි ඇතුළත් අණපණත් රකිමින් දිනපතාම එය අධ්‍යනය කර මෙනෙහි කරන්නට කාලය වෙන්කරගන්නේ නම්, අපට එහි සත්‍යය පිළිබඳව සුවිශේෂී සාක්ෂියක් ලැබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ජිවමාන ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සාක්ෂියෙන් අර්බුදකාරී කාලවලදී අප සුරක්ශිත වන බවට ඔහු පොරොන්දු වුණේය. (See “මෝර්මන් පොතෙහි බලය,” ලියහෝනා, මැයි 2017, 86–87.)

ඔබ බොහෝ දෙනෙක් මෙන් අනාගතවක්තෘවරයාගේ වචනය ස්වමීන්වහන්සේගේ හඬ ලෙසම මට දැනුණි. තවද ඔබ බොහෝ දෙනෙක් මෙන් එම වචනවලට කීකරු වෙනන්ට මම තීරණය කලෙමි. මම කුඩා ළමයෙකුව සිටි කාලයේ පටන්ම මෝර්මන්ගේ පොත දෙවියන්වහන්සේ ගේ වචනය බවත්, පියාණන්වහන්සේ හා පුත‍්‍රයාණන්වහන්සේ ජෝසෆ් ස්මිත් සමග කතාකල බවත්, පුරාණ ප්‍රේරිතවරුන් අනාගතවක්තෘ ජෝසෆ් බැහැදැක පුජකවරයේ යතුරු නැවත ස්ථාපිත කළ බවටත්, සාක්ෂිය මට දැනී තිබුණි.

මෙම සාක්ෂියද ඇතිව, වසර 50 කටත් වැඩි කාලයක් දිනපතා මම මෝර්මන් පොත කියවා ඇති නිසා සභාපති මොන්සන් ගේ වචන වෙනත් කෙනෙකු අරභයා පැවසු බව මට සිතිනි. නමුත් ඔබ බොහෝ දෙනෙකුට මෙන් අනාගතවක්තෘවරයාගේ උනන්දු කරවීම හො පොරොන්දුව මා හටද වැඩි යමක් කිරීම සඳහා ආරාධනාවක් බව දැනුනි. ඔබ බොහෝ දෙනෙක් මා මෙන් ක‍්‍රියා කරන්නට ඇත. වඩා උනන්දුවෙන් යාච්ඤා කර, වඩා උනන්දුවවෙන් ශූද්ධ ලියවිලි මෙනෙහි කර, ස්වාමීන්වහන්සේට වඩා උනන්දුවෙන් සේවය කර, උන්වහන්සේ වෙනුවෙන් අනුන්ට සේවය කරන්නට මහන්සි වන්නට ඇත.

මටත්, ඔබ බොහෝ දෙනෙකුටත් සතුටුදායක ප‍්‍රතිඵල වුයේ අනාගතවක්තෘවරයාණන් පොරොන්දු වු දෙයයි. ඔහුගේ අනුභාවනීය අනුශාසනාව හදවතින්ම පිළිගත් අපි සියළු දෙනාටම ශූද්ධාත්මයානන් වඩාත් තීව්‍රව ඇසී ඇත. පාපයට එරෙහිව විඳ දරාගැනීමට වැඩි බලයක්ද, මරණයෙන් නැවත නැගිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලද, උන්වහන්සේගේ ශුභාරංචිය තුලද, උන්වහන්සේගේ ජීවමාන වූ සභාව තුලද විශාල වූ ඇදහිල්ලක්ද අප සොයාගෙන ඇත.

කැළඹුණු ලෝකයක් ඇති සමයක, තම සාක්ශිය වර්ධනය කරගත් අය ඔවුන් තුළවු සැකය හා බිය එලවා දමා සැනසිලිමත් හැඟීම් ඔවුන් වෙත ළගා කරවාගෙන ඇත. සභාපති මොන්සන්ගේ අනුශාසනාව පිලිපැදීමෙන්  මට තවත් වැදගත් බලපෑම් දෙකක් හිමිවුණි. ලෝකයේ කැලඹීම වැඩිවුවද ඉදිරියේ ඇති දෑ පිළිබඳ ව ධනාත්මක හැඟිමක් උන්වහන්සේ පොරොන්දු කර තිබු ශූද්ධාත්මයෙන් හිමි වී ඇත. දෙවනුව ඔබටත් මටත් අසරණ වී සිටින්නන් කෙරෙහි උන්වහන්සේගේ පේ‍්‍රමය වැඩියෙන් දැනෙන්නට උන්වහන්සේ සකසා දී ඇත. අනුන්ව බේරා ගැනීමට ඇති උවමනාවේ වැඩිවීමක්ද අපට දැනී ඇත. ඒ උවමනාව සභාපති මොන්සන්ගේ මෙහෙකිරීමේදී හා ඉගැන්වීමේදී හදවතේ තිබී ඇත.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කව්ඩ්‍රි ඉදිරියේ වු කාර්යය නිම කළ නොහැක්කක් යැයි පෙනුනු කළ ස්වාමින්වහන්සේ ඔවුන්ට අන්‍යයන් කෙරෙහි ප්‍රේමයද, නිර්භීතකමද පොරොන්දු වූ සේක. ඔවුන්ට අවශ්‍ය වු නිර්භිතකම උන්වහන්සේ කෙරෙහි වු ඇදහිල්ල මගින් පර්වතයක් ලෙස පිහිටවන බව ස්වාමීන්වහන්සේ පැවසූ සේක.

“යහපත කරන්නට බිය නොවන්න, මාගේ දරුවනි, මක්නිසාද නුඹ වපුරන්නේ කුමක්ද හෙතෙම අස්වනු නෙලන්නේය. එබැවින් නුඹලා යහපත වපුරන්නේ නම්, නුඹේ ආශිර්වාදය ලෙස යහපත නෙලන්නට ලැබෙනු ඇත.

“එබැවින්, කුඩා රංචුව බිය නොවන්න, යහපත කරන්න, පොළවත් නිරයත් නුඹලාට එරෙහිව එක්වන්න ඉඩදෙන්න, මක්නිසාද නුඹ මාගේ ප‍්‍රපාතය මත ගොඩනැගී ඇත්නම්, ඔවුන්ට දිනන්නට නොහැක.

“බලව, මම අවලාද නොකරමි. නුඹලාගේ මාර්ගයේ යන්න නැවත පව් නොකරන්න; මා නුඹට අණ කල කාර්යය සන්සුන්ව ඉෂ්ඨ කරන්න.

“සෑම සිතුවිල්ලක් තුලම මා දෙස බලන්න; සැක නොසිතන්න, බිය නොවන්න.

“මාගේ පසක සිදුරු කළ තුවාල දෙස බලව, තවද මාගේ අත් හා දෙපා වල ඇණ පාරවල් බලව, ඇදහිලිවන්ත වන්න, මාගේ අණපණත් රකින්න, එකල නුඹ ස්වර්ගයේ රාජධාණියට උරුමකම් කියනු ඇත” (දහම සහ ගිවිසුම6:33–37).

නැවත ස්ථාපනය කිරීමේ නායකයින්ටත් අපටත් ස්වාමින්වහන්සේ පවසා සිටින්නේ, අපි උන්වහන්සේගේ පර්වතය මත ඇදහිල්ලෙන් සිටගන්නා විටදී සැකය හා බිය මැකී යන බවත්, යහපත කිරීමට උවමනාව වැඩිවන බවත්ය. අපගේ හදවත් තුල යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය රෝපණය කරගනිමින් සභාපති මොන්සන්ගේ ආරාධනාව පිළිගන්නා විටදී, අපගේ අවශ්‍යතා නොතකා අනුන්ගේ ගැලවීම වෙනුවෙන් යන්නට නිර්භීතකමත් බලයත් අපට හිමිවේ.

විශ්වාසවත් පසුදවස්වල ශූද්ධවන්තයින් බියකරු පිරික්සුම් වලට මුහුණ දෙන විටදී එම නිර්භීතකමත් ඇදහිල්ලත් බොහෝ අවස්ථාවල මම දැක ඇත්තෙමි. උදාහරණයකට 1976 දී ජුනි 5, ටෙටොන් වේල්ල බිඳුණු අවස්ථාවේදී මම අයිඩහෝ හි සිටියෙමි. වතුර කඳක් කඩාපාත් විය. දහස් ගණනින් පිරිස් ගෙවල් වලින් පැන ගියහ. නිවාස, ව්‍යපාර දහස් ගණනක් විනාශ විය. එහිදි 15 දෙනෙකුටත් වඩා අඩු ගණනක් මිය ගිය අයුරු ප‍්‍රාතිහාරයකි.

එහිදී මා දුටු දෙය නම්, උන්වහන්සේ ඔවුන්ව රැකගන්නා බව ඔවුන්ට සැකයක් නැති හෙයින්, පසුදිනවල ශූද්ධවන්තයින් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සාක්ෂියේ පර්වතය මත තදින් සිට බියෙන් තොරව සිටින අයුරුයි. තමන්ගේ බාධක නොතකා අනුන්ගේ පිහිටට ඔවුන් ක‍්‍රියාකරයි. ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවෙමින් ඔවුන් එසේ කරනුයේ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇති පේ‍්‍රමයෙනි.

උදාහරණයකට ටෙටොන් වේල්ල බිඳුණු විටදී, පසුදවස්වල ශූද්ධවන්ත යුවලක්, තම නිවසින් සැතපුම් ගණනාවක් ඈතින් ගමන් කරමින් සිටියෝය. ගුවන් විදුලියේ ප‍්‍රවෘත්තිය ඇසුනු වහාම ඔවුන් නැවතත් රෙක්ස්බර්ග් වෙත ගියෝය. ඔවුන්ගේ නිවස විනාශ වුයේ දැයි නොසොයා ඔවුන් තම සභානායකයා වෙතට මුලින්ම ගිය අතර, රැස්වීම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා වී තිබුණු ගොඩනැගිල්ලක ඔහු සිටියේය. කහපාට පාසල් බස්වලින් පැමිණෙන්නාවු දහස් ගණන් ස්වෙච්ඡා සේවකයින් ට මගපෙන්වන්නට ඔහු උදව් දෙමින් සිටියේය.

ඒ යුවළ සභානායක ළගට ගොස් මෙසේ ඇසූහ, “සභානායකතුමනි, අපි ආවේ දැනුයි, උදව් කිරීම සඳහා අපි යන්නට අවශ්ය කොහේද?” ඔහු පවුලක නමක් ඔවුන්ට දුන්නේය. ඒ යුවළ ගෙයින් ගෙයට යමින් මඩ හා වතුර පිරිසිඳු කරමින් දින ගණනාවක් උදෑසන සිට රැය වනතුරු වැඩ කළෝය. තමන්ගේ නිවස පිලිබඳව සොයා බලන්නට ඔවුන් අවසානයේ දී විවේකයක් ගත්හ. එය වතුර පහරට හසුවී ගසාගෙන ගොස් පිරිසිදු කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. එමනිසා ඔවුන්  ආපසු හැරී සභානායක වෙතට ගොස් පැවසුවේ ”සභානායකතුමනි, තවත් උදව් අවශ්‍යය කෙනෙක් සිටිනවාද?” යන්නයි.

සාමකාමී නිර්භීතකම හා දයාවේ ප‍්‍රාතිහාරය - කි‍්‍රස්තුස්වහන්සේගේ පවිත්‍ර පේ‍්‍රමය - වසර ගණනාවක් ලොව පුරාවටම නැවත නැවත සිදුවෙමින් පවතී. මිසුරියේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සමයේ වු වධහිංසා හා පිරික්සුම් තිබුණු ඛේදනීය දවස්වල එය සිදුවිය. බ්‍රිගම් යන්ග්, නාවූ සිට නික්මගිය පිරිසට නායකත්වය දෙමින් ස්වාමීන්වහන්සේ වෙනුවෙන් සයෝනය ඉදිකිරිමට බටහිර එක්සත් ජනපදය වටා වු කන්තාරමය ප‍්‍රදේශවල ශුද්ධවන්තයින්ට හඬගැසු අවස්ථාවේදී එය සිදුවිය.

එම පුරෝගාමීන්ගේ දිනපොත් සටහන් ඔබ කියවූවොත්, ප්‍රතිහාර්යක් මෙන් ඇදහිල්ල මගින් බියද සැකයද පහවන අයුරු ඔබට පෙනීයයි. තම උවමනාවන් නොසලකමින්, තමන්ගේ බැටළුවන් හෝ නොසැකසු ගොවිබිම් වලට අවධානය දීමට පෙර ශූද්ධවන්තයින් ස්වාමින්වහන්සේ වෙනුවෙන් අන් අයට උදව් කරදෙන අවස්ථාද කියවන්නට ලැබෙයි.

එම ප්‍රාතිහර්ය මම නැවතත් දුටුවේ, පුවෙර්තෝ රීකෝ, සෙන්ට් තෝමස් සහ ෆ්ලොරිඩා සුළි කුනාටුවෙන් අනතුරුව, පසුදවස්වල ශූද්ධවන්තයින් වෙනත් සභා, ප්‍රජා කණ්ඩායම් හා ජාතික සංවිධාන සමග එකතු වී පිරිසිදු කිරීමේ උත්සාහයන්ට සහභාගී වන විටදීය.

මගේ රෙක්ස්බර්ග් මිතුරන් මෙන්, එක් සාමාජික නොවන ෆ්ලොරිඩා හි සිටි යුවළක් තමන්ගේ දේපළ වල මහන්සි වනවාට වඩා ප‍්‍රජාවට උපකාර කරන්නට අවධාණය දුන්හ. ඔවුන්ගේ පසුදවස්වල ශූද්ධවන්ත අසල්වැසියන් තමන්ගේ ගෙදර ඉදිරියේ ගස් දෙකක් කඩා වැටී තිබෙද්දී උදව් කරන්නට ඉදිරිපත් වු විටදී ඒ යුවළගේ සිත් උණු වී ගිය බවත්, ඒ නිසා අනුන්ට උපකාර කරන්නට උනන්දු වී තමන්ගේ නිවසේ අවශ්‍යතා වලට සහනය ස්වාමීන්වහන්සේ ලබාදෙනු ඇතැයි ඇදහිල්ල තබා ගත් බවත් ඔවුන් පැහැදිලි කලහ. සභා සාමාජිකයින් උපකාර වන්නට පැමිණෙන්නට පෙර ඒ යුවළ යාච්ඤා කරමින් සිටි බවට සැමියා ප‍්‍රකාශ කර සිටියේය. උපකාරය ලැබෙනු ඇතැයි ඔවුන්ට පිලිතුරක් ලැබුනි. එම සහතිකයෙන් පැය කිහිපයකින් එය හිමිවිය.

“කහපැහැති දේවදූතයින්” ලෙසට උදව්කරන අත් සහිත කහපාට කමිස අඳින පසුදිනවල ශූද්ධවන්තයින් අමතන්නට සමහරුන් පටන් ගත් බවට වාර්තාවක් මට ඇසී තිබෙනවා. එක් පසුදවස්වල ශූද්ධවන්තියක් තම වාහනය නඩත්තු කිරීමේ කටයුතු වලට යොමු කරන විට ඇයට උදව් කල මිනිසා, තම වත්තේ ගස් අයින් කර දමපු කහපාට කමිස ඇඳගත් සමුහයක් නිසා ලැබුණු “අධ්‍යාත්මික අත්දැකීමක්” පිලිබඳ විස්තර කල අතර, ඔවුන් දෙවියන්වහන්සේගේ දරුවෙකු වීම ගැන ගීතයන් ගැයූ බවද පවසා තිබුණි.

සාමාජිකයෙකු නොවන, තවත් ෆ්ලොරිඩා හි පදිංචිකරුවෙක් තම විනාශ වු ගෙවත්තේ සුන්බුන් ඉවත්කරමින් ඉතා කනස්සල්ලෙන්ද, රස්නයෙන්ද හා අඬමින් සිටින විටදී පසුදවස්වල ශූද්ධවන්තයින් ඇගේ ගෙදරට පැමිණි කථාව ඈ විදහා දැක්වුවාය. ඇගේ වචනයට අනුව ඒ ස්වෙච්ඡා සේවකයින් “නිර්මල ප‍්‍රාතිහාරයක්” සිදු කළෝය. ඔවුන් උනන්දුවෙන් වැඩ කලා පමණක් නොව සිනහමුසුව, කිසිවක් ඉන් බලාපොරොත්තු නොවී සෑමදෙයම ඉටු කළෝය.

සෙනසුරාදා සන්ධ්‍යාවකදී මම ඒ උනන්දුව දුටුවෙමි, සිනහව අසුවෙමි; එදින මම ෆ්ලොරිඩා හි පසුදිනවල ශූද්ධවන්තයින් පිරිසක් හමුවෙන්නට ගියෙමි. ස්වෙච්ඡා සේවකයින් පිරිස වැඩ නැවැත්වුයේ මට අතට අත දෙන්නට වේලාව ගැනීමට පමණි. ජොර්ජියා හි පිහිටි ඔවුන්ගේ ස්ටේකයේ 90 දෙනෙකු එදාට පෙර රාත‍්‍රියේදී ෆ්ලොරිඩා හි සේවය කරන්නට සැලසුමක් සකසා ගත් බව ඔවුන් මට කීහ.

පාන්දර 4:00 ට ඔවුන් ජොර්ජියා වෙන් පිටත් වී පැය ගණනාවක් පාරේ මග ගෙවා, උදේ පටන් රැය වනතුරුත් වැඩකර, පහුවෙනිදාත් කටයුතු කරන්නට සැලසුම් කර තිබුණි.

ඔවුන් ඒ සියල්ල මට විස්තර කළේ යහපත් ආශ්චර්යකින් හා සිනාවකින් මුසුවයි. මට දැනුනු ලෙස ඔවුන්ට අවශ්‍ය වී තිබුනේ, ප්‍රශංසා ලබනවාට වඩා ආපසු වැඩ පටන්ගනීමේ උනන්දුවකුයි. ස්ටේකයේ සභාපති තම දම්වැල් කියත නැවත පණගන්වා කඩාවැටුණ ගහක කඳක් කැබලි වලට කපමින් සිටි අතර සභානායක එම ගස් කැබලි ගොඩගසමින් සිටයදී අපි අපගේ රථයේ නැග ඊළග කණ්ඩායම හමුවන්නට පිටත් වුණෙමු.

ඊට පෙරාතුව තවත් ස්ථානයකින් අපි පිටත් වන විටදී කෙනෙකු අපගේ වාහනය වෙත පැමිණ තම  හිස්වැසුම ගලවා ස්වෙච්ඡා සේවකයින් සඳහා ස්තුතිය ප‍්‍රකාශ කළේය. “මම ඔයාලගේ සභාවේ සාමාජිකයෙක් නෙවෙයි. ඔයාලා අපි වෙනුවෙන් කළ දේ මට අදහගන්නවත් බැහැ. ඔබට දෙවි පිහිටයි.” ඔහු අසල කහ පැහැති කමිසයක් ඇඳසිටි ස්වෙච්ඡා සේවකයා සිනාසි උරහිස් ගැස්සුවේ, ඔහු ප‍්‍රශංසාව ලබන්නට කිසිවක් නොකළා මෙනි.

ජෝර්ජියා සිට පැමිණි ස්වෙච්ඡා සේවකයින් මේ පුදුම වී සිටින මනුෂ්‍යයාට උපකාර කරන අතරතුරදී, ෆ්ලොරිඩා හි විනාශයට පත් තම ප‍්‍රදේශයෙන්ම පසුදවස්වල ශූද්ධවන්තයින් සියගණනක් ෆ්ලොරිඩා හි ඊටත් වඩා විනාශ වු දකුනු පෙදෙසේ ප‍්‍රදේශයකට සැතපුම් සිය ගණනක් ගෙවා එහි අසරණ වු පිරිස්වලට උපකාර කරමින් සිටියෝය.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ වචන මට සිහිවී වඩාත් පැහැදිලිව අවබෝධ විය. “දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙන් පිරුණු මනුෂ්‍යයා තමන්ගේ පවුලට පමණක් ආශිර්වාදයක් වීමෙන් තෘප්තිමත් නොවේ, නමුත් මුළු ලොව වටාම පැතිරී මුළු මනුෂ්‍ය සංහතියට ම ආශිර්වාදයක් වන්නට උන්නදු වේ.” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 426).

සැමතැනම සිටිනා පසුදවස්වල ශූද්ධවන්තයින් ගේ ජිවිතවල එවැනි පේ‍්‍රමයක් අපි දකින්නෙමු. ලොව කොතැනක හෝ ඛේදවාචකයක් සිදුවු සෑම විටෙකදී සභාවේ සහන ක‍්‍රියාකාරකම් වලට පසුදවස්වල ශූද්ධවන්තයින් මුල්‍යමය හා ශ‍්‍රම දායකත්වය සපයයි. ඉල්ලීම් කිරීම කලාතුරකින් සිදුවන්නෙකි. සමහර අවස්ථාවලදී කටයුතු කළමණාකරණය කරන්නන් අදාළ ප‍්‍රදේශයට පැමිණෙන තුරු ගමන් ආරම්භ නොකිරීමට, අපට ස්වෙච්ඡා සේවකයින්ගෙන් ඉල්ලීම් කරන්නට සිදුවී තිබෙනවා.

ආශිර්වාද කිරීමට ඇති එම උවමනාව මිනිසුන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචිය, නැවත ස්ථාපිත සභාව හා අනාගතවක්තෘවරයා කෙරෙහි සාක්ෂියක් අත්කරගැනිමේ ඵලයයි. ඒ නිසාම ස්වමීන්වහන්සේගේ මිනිසුන් සැක නොකරයි, බිය නොවෙයි. ලෝකයේ සෑම කොනකම සේවය කරන්නට ධර්මදූතයින් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේ ඒ නිසයි. දෙමාපියන්, තම දරුවන් සමග අනුන් වෙනුවෙන් යාච්ඤා කරන්නේ ඒ නිසයි. නායකයින්, සභාපති මොන්සන් මෝර්මන්ගේ පොත අධ්‍යයනය කරන්නට දුන් ඉල්ලීම සිතට ගන්නට තමන්ගේ තරුණයින්ට අභියෝග කරන්නේ ඒ නිසයි. ඵලය ලැබෙන්නේ  නායකයින්ගේ උනන්දු කරවීම නිසා නොව තරුණයින් හා සාමාජීකයින් ඇදහිලිවන්තව කටයුතු කිරීමෙනි. ඒ ඇදහිල්ල කි‍්‍රයාවට නැංවු කළ පරාර්ථකාමි කැපකිරීම් අවශ්‍ය විටදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්නට හැකි වන පරිදි ඔවුන්ගේ හදවත වෙනස්කිරීමට භාජනය කරයි.

එනමුත් අපගේ හදවත් මෙම තත්වයෙන් පවතින්නේ අපි අනාගතවක්තෘවරයාගේ අනුශාසනාව පිළිපදින තාක් කල්ය. එක උත්සාහයකින් පසුව එය නතර කළහොත් ඒ වෙනස්වීම මැකීයයි.

ඇදහිලිවන්ත පසුදවස්වල ශූද්ධවන්තයින්, ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක‍්‍රිස්තුස්වහනසේ පිළිබඳව දෙවියන්වහන්සේ ගේ වචනය ලෙස මෝර්මනගේ පොතත්, උන්වහන්සේගේ සත්‍ය සභාව තුළ පුජකවර යතුරු නැවත ස්ථාපනය කිරීමත් පිළිබඳව තම ඇදහිල්ල වැඩිකර ගෙන සිටිති. ඒ වැඩි වු සාක්ෂිය නිසා අපිට දෙවියන්වහන්සේගේ අනෙක් දරුවන් කෙරෙහි සැලකිල්ලත් නිර්භීතකමත් ලැබී ඇත. නමුත් ඉදිරියේ වු අභියෝග හා අවස්ථා වලට ඊටත් වඩා ශක්තිමත් සාක්ශියක් අවශ්‍ය වනු ඇත.

අපිට තොරතුරු අනාවැකි කිව නොහැකිය, නමුත් අපි විශාල රූපය දකින්නෙමු. අවසන් දවස්වල දී ලෝකය කැලඹිමත්ව පවතිනු බව අපි දන්නෙමු. පැමිණෙන්නාවු කරදර කුමක් වුවත් එය මැදින් ස්වාමින්වහන්සේ ඇදහිලිවන්ත පසුදිනවල ශූද්ධවන්තයින් හට මගපෙන්වමින් සියළු ජාතීන්, පවුල්, භාෂා හා මිනිසුන් වෙතට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගෙන යන බව අපි දන්නෙමු. ස්වාමින්වහන්සේ ගේ සැබෑ ගෝලයින් උන්වහන්සේ නැවත පැමිණෙන කල්හි උන්වහන්සේව පිළිගන්නට සුදානම්ව සිටිනු බවත් අපි දන්නෙමු. අපිට බිය වන්නට අවශ්‍ය නැත.

අපගේ හදවත් තුල ඇදහිල්ල හා ධෛර්යය ගොඩනංවා තිබුණද ඊට වඩා වැඩියෙන් අපෙන් එමෙන්ම අපගෙන් පසු පරම්පාරාවෙන් ස්වාමින්වහන්සේ බලාපාරොත්තු වන සේක. ඔවුන් අපිටත් වඩා නිර්භීත හා උතුම් දේවල් කරන්නට තිබෙන නිසා ඔවුන් අපිටත් වඩා ශක්තිමත් හා නිර්භීත විය යුතුයි. තවද අපගේ ආත්මයන්ගේ ප‍්‍රතිවාදියාගෙන් ද වඩාත් බලවත් අභියෝග ඔවුන්ට හිමිවනු ඇත.

අපි ඉදිරියට යන විටදී ධනාත්මක වන ක‍්‍රමය ස්වාමින් වහන්සේ සපයා තිබේ. “සෑම සිතුවිල්ලක් තුලම මා දෙස බලන්න; සැක නොසිතන්න, බිය නොවන්න”(දහම සහ ගිවිසුම 6:36). එය කරන අයුරු සභාපති මොන්සන් අපට උගන්වා තිබෙනවා. මෝර්මන්ගේ පොතෙත් අනාගතවක්තෘවරුන්ගේ වචනවලත් ඇති ඉගැන්වීම් මෙනෙහි කර ජිවිතයට එකතු කරගත යුතුයි. සැමවිටම යාච්ඤා කරන්න, විශ්වාසීව සිටින්න, අපගේ මුළු හදවතින්ම ශක්තියෙන්ම එක සිතෙන්ම ජවයෙන් ම ස්වාමින්වහන්සේට සේවය කරන්න. දයාවේ තිළිණය එනම් ක‍්‍රිස්තුස්වහන්සේ ගේ නිර්මල පේ‍්‍රමය(see මොරෝනි 7:47–48) අප සතු වන ලෙසට අපගේ හදේ මුළු ශක්තියෙන්ම යාච්ඤා කළ යුතුයි. වඩා වැදගත් වශයෙන් අනාගතවක්තෘවරුන්ගේ අනුශාසනා පිලිපැදීම සම්බන්ධයෙන් අපි වඩාත් සැලකිලිමත්ව හා උනන්දුවෙන් යුතුව අනුගමනය කළ යුතුයි.

මාර්ගය දුෂ්කර විටදී, අපිට ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව මත යැපෙන්නට පුළුවන්. සභාපති මොන්සන් ගැලවුම්කරුවවාණන්ගේ වචනය උපුටා ගන්නා විටදී බොහෝ අවස්ථාවලදී නිතරම මතක් කරන පොරොන්දුව නම්, “නුඹව භාරගන්නේ කවරෙකුද එතැන මා සිටිනු ඇත. මක්නිසාද මම නුඹේ මුහුණ ඉදිරියෙන් සිටින්නෙමි. මම නුඹේ වමතේත් දකුණතේත් සිටින්නෙමි, මාගේ ශූද්ධාත්මය නුඹේ හදවත තුළත් මාගේ දේවදූතයින් නුඹ වටාත්, නුඹව දරා සිටිමටත් පැමිණෙනු ඇත” (දහම සහ ගිවිසුම 84:88).

ඔබ ස්වාමීන්වහන්සේගේ කටයුත්තක යෙදෙන විටදී උන්වහන්සේ නුඹ ඉදිරියේ පැමිණෙනු බවට මම සාක්ෂි දරමි. සමහර විට අනුන්ව දරා සිටින්නට ස්වාමින්වහන්සේ යොමු කරනා දේවදූතයා ඔබ වන්නට පුළුවන්. නමුත් සෑමවිටකදීම ඔබේ හදවත තුළ උන්වහන්සේ ගේ ශූද්ධාත්මය පැවතෙනු ඇත. එය සැම සක්‍රමේන්තු සේවාවකදීම ඔබට පොරොන්දු වී තිබෙනවා. ඔබ කළ යුතු එකම දෙය උන්වහන්සේගේ අණපණත් රැකීමයි.

ලොව මත දෙවියන්වහන්සේගේ රාජධානියේ හොඳම වකවානුව ඉදිරියේ ඇත. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘතුමාගේ කාලය පටන් තිබුණා මෙන් ප්‍රතිවිරුද්ධතා තුළින් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත. ඇදහිල්ල සැම විටම බිය පරදවයි. එක්සත්ව සිටගැනීමෙන් එකමුතුකම බිහිවේ. අසරණවුවන් වෙනුවෙන් ඔබ කරන යාච්ඤාවන්ට දයාබර දෙවියන්වහන්සේ කෙනෙකු සවන් දෙනු ලැබේ. උන්වහන්සේ නිදාගන්නේ නැත, විවේක ගන්නේ නැත.

පියාණන් වන දෙවියන්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේ නුඹ නැවත පැමිණෙනතුරු බලා සිටින බවටත් මම සාක්ෂි දරමි. මෙය ස්වාමීන්වහන්සේ වන යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ ගේ සත්‍ය සභාවයි. උන්වහන්සේ ඔබව හඳුනනවා, ඔබට පේ‍්‍රම කරනවා, ඔබව රැකගන්නවා. උන්වහන්සේ ඔබගේත්, මගේත්, ස්වර්ගික පියාණන්වහන්සේගේ සෑම දරුවෙකුගේමත් පවු වෙනුවෙන් වන්දි ගෙවූ සේක. ඔබගේ ජිවිතයේදී අනුන්ට සේවය කිරිමේදීත් උන්වහන්සේව අනුගමනය කිරීම සදාකාලික ජිවිතයට යන එකම මාර්ගයයි.

මෙලෙස මම සාක්ෂිදරමින් මාගේ ආශිර්වාදයත් පේ‍්‍රමයත් පුද කරන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශූද්ධ වු නාමයෙන් ආමෙන්.