ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 6


6 වන කොටස

1829 අප්‍රියෙල්, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි හට දෙනු ලැබූ එළිදරව්වකි. ඔලිවර් කවුඩ්‍රි 1829 අප්‍රියෙල් 7 වන දින සිට මොර්මොන්ගේ පොත පරිවර්තනයේ ලියන්නා ලෙස ඔහුගේ වැඩ ආරම්භ කරයි. මොර්මොන්ගේ පොතේ වාර්තාව කොටන ලද තහඩු ගැන අනාගතවක්තෘවරයාගේ සාක්ෂියේ සත්‍යතාවය සම්බන්ධව ඔහු දැනටමත් දිව්‍යමය ප්‍රකාශවීමක් ලබා ඇත්තේය. අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් ඌරීම් සහ තුම්මීම් මගින් විචාරණ ලදුව මෙම ප්‍රතිචාරය ලැබුවේය.

1–6, ස්වාමින්වහන්සේගේ කෙතේ සේවකයෝ ගැලවීම ලබාගන්නෝය; 7–13, එහි ගැලවීමේ දීමනාව තරම් ශ්‍රේෂ්ඨ දීමනාවක් නොමැත්තේය; 14–27, සත්‍යයේ සාක්ෂියක් ලැබෙන්නේ ආත්මායාණන්වහන්සේගේ බලයෙනි; 28–37, ක‍්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න, තවද නොකඩවා යහපත් දේ කරන්න.

1 ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර ක්‍රියාවක් මනුෂ්‍ය දරුවන් වෙතට පැමිණීමට නියමිතය.

2 බලන්න, මම දෙවියන්වහන්සේ වන්නෙමි; මාගේ වචනයට ඇහුම්කන් දෙන්න, එය ඉක්මන් සහ බලවත්ය, සංධි සහ ඇට මිදුළු දෙකම දෙකම බෙදන, දෙමුවහත් කඩුවකට වඩා එය තියුණු වන්නේය; එසේහෙයින් මාගේ වචන වලට සවන්දෙන්න.

3 බලන්න, අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; එසේහෙයින්, කපාගැනීමට ආශාවන කවරෙක් නමුත්, ඔහුගේ ශක්තියෙන් ඔහුගේ දෑකැත්ත දිගුකර, තවද දවස පවතින තුරු කපාගනිත්වා, එනම් ඔහු ඔහුගේ ආත්මය සඳහා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ගැලවීම රැස්කරගන්නා පිණිසය.

4 එසේය, අස්වැන්න කපාගැනීමට ඔහුගේ දෑකැත්ත දිගුකරන කවරෙකු වුවද, ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත්තේය.

5 එසේහෙයින්, නුඹ මාගෙන් ඉල්ලන්නේ නම් නුඹට ලැබෙන්නේය; නුඹ තට්ටු කරන්නේ නම් එය නුඹට විවෘත වන්නේය.

6 දැන්, නුඹ ඉල්ලා තිබෙන නිසා, බලන්න, මම නුඹට පවසන්නෙමි, මාගේ ආඥාවන් පිළිපදින්න, තවද සයොනය පෙරට ගෙන ඒමට සහ පිහිටුවීම උදෙසා සොයාපන්න;

7 පොහොසත් වීමට නොව ප‍්‍රඥාව සොයන්න, තවද බලන්න, දෙවියන්වහන්සේගේ අභිරහස් නුඹ හට එළිදරව් කරනු ලබන්නේය, තවද එවිට නුඹව පොහොසත් කරනු ලබන්නේය. බලන්න, සදාකාල ජීවනය ඇති ඔහු පොහොසත් වන්නේය.

8 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා මා ගැන ආශාවන්නේ නම් එය නුඹලා හට වන්නේය; තවද නුඹලා ආශාවන්නේ නම්, මෙම පරම්පරාව තුළ විශාල යහපතක් කිරීම උදෙසා නුඹලා කාරණයක් වන්නේය.

9 පසුතැවිල්ල මිස මෙම පරම්පරාවට කිසිවක් නොපවසන්න; මාගේ ආඥාවන් පිළිපදින්න, මාගේ ආඥාවන් අනුව, මාගේ ක්‍රියාවන් පෙරට ගෙන ඒමට උපකාර වන්න, තවද නුඹ ආශිර්වාද ලබන්නෙහිය.

10 බලන්න නුඹට දීමනාවක් ඇත්තේය, නුඹගේ දීමනාව නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය. මතකතබාගන්න එය ශුද්ධවන්තය තවද ඉහළින් පැමිණෙන්නේය—

11 තවද නුඹ සොයන්නේ නම්, ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර අභිරහස් නුඹ දැනගනු ලබන්නෙහිය; එසේහෙයින් නුඹ නුඹගේ දීමනාව තුළ ක්‍රියාකළ යුතුවේ, එනම් නුඹ අභිරහස් දැනගන්නා පිණිසත්, එනම් නුඹ සත්‍යයේ දැනගැනීම වෙතට බොහෝ අය ගෙන එනු පිණිසත්ය, එසේය, ඔවුන්ගේ මාර්ගයන්හි වැරදි ඔවුන්ට ඒත්තුගැන්වීමටය.

12 නුඹගේ දීමනාව නුඹගේ ඇදහිල්ලේ අයවළුන්ට හැර වෙනත් කිසිවෙකු හට නොදන්වන්න. ශුද්ධ වූ දේවල් සමඟ සෙල්ලම් නොකරන්න.

13 නුඹ යහපත කරන්නේ නම්, එසේය, අවසානය දක්වා ඇහිලිවන්ත වන්නේ නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ නුඹ ගලවනු ලබන්නේය, එය දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේය; මක්නිසාද කිසිම දීමනාවක් ගැලවීමේ දීමනාව මෙන් ශ්‍රේෂ්ඨ නොවන්නේය.

14 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, මක්නිසාද නුඹ විසින් කරන ලද දේ නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය; මක්නිසාද නුඹ මාගෙන් අසා ඇත්තෙහිය, තවද බලන්න, නුඹ නිතර මාගෙන් අසා ඇති ලෙසම නුඹ මාගේ ආත්මයෙන් උපදෙස් ලබා ඇත්තෙහිය. එය එසේ නොවන්නේ නම්, නුඹ මෙම කාලයේ පැමිණි ස්ථානයට නුඹ නොපැමිණෙන්නෙහිය.

15 බලන්න, එනම් නුඹ මාගෙන් අසන ලද ලෙස මම නුඹගේ මනස ආලෝකමත් කළ බව නුඹ දන්නෙහිය; තවද දැන් මා මේ දේවල් නුඹට පවසන්නේ නුඹ සත්‍යයේ ආත්මය මගින් ආලෝකමත් කරනු ලැබූ බව නුඹ දැනගන්නා පිණිසය;

16 එසේය, දෙවියන්වහන්සේ හැර නුඹගේ සිතිවිලි සහ නුඹගේ හදවතේ අදහස් දන්නා වෙන කිසිවෙක් නොවන බව නුඹ දැනගන්නා පිණිස, මම නුඹට කියමි.

17 මා මේ දේවල් නුඹට කියන්නේ නුඹට සාක්ෂියක් වශයෙනි—එනම් නුඹ විසින් ලියමින් සිටින වචන හෝ ක්‍රියාවන් සත්‍ය වේ.

18 එසේහෙයින් උද්යෝගිමත් වන්න; වචනයේ නාමයෙන් කුමන ආකාරයේ අපහසු අවස්ථාවන්ට ඔහු මුහුණදුන්නද, ඇදහිලිවන්තව, මාගේ සේවක ජෝසෆ් ලඟින් සිටින්න.

19 ඔහුගේ වැරදි වලදී ඔහුට උපදෙස් දෙන්න, තවද එසේම ඔහුගෙන්ද උපදෙස් ලබන්න. ඉවසිලිවන්ත වන්න; සිහියෙන් සිටින්න; සියල්ල දරාගන්න; ඉවසීම, ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය තබාගන්න.

20 බලන්න, නුඹ ඔලිවර් වේ, එමෙන්ම මා විසින් කතාකරන ලද්දේ නුඹගේ ආශාවන් නිසාය; එසේහෙයින් මෙම වචන නුඹගේ හදවතේ රැස්කරගන්න. දෙවියන්වහන්සේගේ ආඥාවන් පිළිපැදීමට ඇදහිලිවන්ත සහ උද්යෝගීමත්මත් වන්න, තවද මම මාගේ ප්‍රේමයේ හස්තයෙන් නුඹව වටකරගන්නෙමි.

21 බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත‍්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. මාගේ ස්වකීයයන් උදෙසා පැමිණි ඒ තැනැත්තා මම වන්නෙමි, තවද මාගේ ස්වකීයයෝ මා නොපිළිගත්තෝය. අන්ධකාරයේ දිදුලන එම ආලෝකය මම වන්නෙමි, තවද අන්ධකාරය එය අවබෝධකර නොගත්තේය.

22 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, තවත් නුඹට වැඩිදුර සාක්ෂියක් අවශ්‍ය වන්නේ නම්, මෙම දේවල් සම්බන්ධ සත්‍යය නුඹ දැනගන්නා පිණිස, නුඹගේ හදවතින් මා හට හැඬූ රාත්‍රිය මනසින් සිහිපත් කරපන්න.

23 එම කාරණාව සම්බන්ධයෙන් නුඹගේ මනසට සමාදානය ලැබෙන පිණිස මා නුඹ හට කතා නොකළේද? දෙවියන්වහන්සේගෙන් ලද සාක්ෂියට වඩා උතුම් සාක්ෂියක් ඔබට තිබිය හැකිද?

24 තවද දැන්, බලන්න, නුඹට සාක්ෂියක් ලැබී ඇත්තේය; මක්නිසාද වෙනත් කිසිම මනුෂ්‍යයෙකු නොදන්නා දේවල් මා නුඹට පවසා තිබේ නම්, නුඹ සාක්ෂියක් ලබා නොමැත්තෙහිද?

25 තවද, බලන්න, මාගේ සේවක ජෝසෆ් ස්මිත් මෙන්, පරිවර්තනය කිරීමට, නුඹ මා වෙතින් ආශාවන්නේ නම්, මම නුඹට දීමනාවක් දෙන්නෙමි.

26 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, ජනතාවගේ දුෂ්ටකම නිසා නවතාගත්තාවූ මාගේ ශුභාරංචියේ බොහෝ කොටස් අඩංගු වූ වාර්තා එහි ඇත්තේය;

27 තවද දැන් මම නුඹට ආඥා කරන්නෙමි, එනම් නුඹට යහපත් ආශාවන් ඇත්නම්—ස්වර්ගයෙහි නුඹට සම්පත් රැස්කරගැනීමට ආශාවක් ඇත්නම්—නුඹගේ දීමනාව සමඟ එය ආලෝකය වෙතට ගෙන ඒමට නුඹ උපාකාරී වියයුතු වේ, මාගේ ශුද්ධලියවිලි වල එම කොටස් සඟවන ලද්දේ අයුතුකම් නිසාය.

28 තවද දැන්, බලන්න, මම නුඹට මෙන්ම, තවද එසේම මාගේ සේවක ජෝසෆ්ට, මෙම දීමනාවේ යතුරු දෙන්නෙමි, එය මෙම දේවසේවය ආලෝකයට ගෙන එනු ලබන්නේය; තවද සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ මුඛයෙන් සෑම වචනයක්ම පිහිටුවනු ලබනු ඇත.

29 සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, ඔවුන් මාගේ වචන, සහ මාගේ ශුභාරංචියේ මෙම කොටස සහ මාගේ දේවසේවය ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, නුඹලා ආශිර්වාද ලද්දෙහුය, මක්නිසාද මට කරනවාට වඩා වැඩිපුර යමක් නුඹලාට කිරීමට ඔවුන්ට නොහැක්කේය.

30 තවද මා හට කළාක් මෙන්ම ඔවුන් නුඹලාටද කරනවා නම්, නුඹලා ආශිර්වාද ලද්දෙහුය, මක්නිසාද නුඹලා මා සමඟ මහිමයෙහි වාසය කරන්නෙහුය.

31 එහෙත් ඔවුන් මාගේ වචන ප‍්‍රතික්ෂේප නොකර, මා විසින් දෙනු ලැබූ සාක්ෂිය අනුව පිහිටුවනු ලබන්නේ නම්, ඔවුහු ආශිර්වාද ලද්දෝය, තවද එවිට නුඹගේ වෙහෙසෙහි ඵලයේ ප්‍රීතිය නුඹ ලබන්නෙහිය.

32 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මම මාගේ ගෝලයන්ට පැවසූ ලෙස, නුඹලා දෙදෙනෙකු හෝ තිදෙනෙකු මාගේ නාමයෙන්, යම් කාරණාවක් සම්බන්ධයෙන් රැස්ව සිටින්නේ නම්, බලන්න, මම ඔවුන් මධ්‍යයෙහි සිටින්නාක් මෙන්—එසේය, මම නුඹලා මධ්‍යයේ සිටින්නෙමි.

33 යහපත කිරීමට බියනොවන්න, මාගේ පුත‍්‍රයෙනි, මක්නිසාද නුඹලා වපුරන කුමක්වුවත්, එසේම එය නුඹලා කපාගන්නේය; එසේහෙයින්, නුඹලා යහපත වපුරන්නේ නම්, එසේම නුඹලාගේ විපාකය ලෙස නුඹලා යහපත නෙලාගන්නෙහුය.

34 එසේහෙයින්, කුඩා රැළ, බියනොවන්න; යහපත කරන්න; නුඹලාට විරුද්ධව පොළොව හෝ නිරය එක්වුවත්; මක්නිසාද නුඹලා මාගේ පර්වතය මත ගොඩනැගී ඇත්නම්, ඔවුන්ට ජයග‍්‍රහණය කළ නොහැක්කේය.

35 බලන්න, මම නුඹව වරදකරු නොකරන්නෙමි; නුඹගේ මාර්ගයෙහි ගොස් තවත් පව් නොකරන්න; මම නුඹට ආඥාකළ එම කාර්යය සිහිකල්පනාවෙන් කරපන්න.

36 හැම සිතුවිල්ලකදීම මාවෙත බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න.

37 මාගේ ඇලයෙහි සිදුරු වූ තුවාලයද, එසේම මාගේ අතෙහි සහ පාදයෙහි ඇණ සලකුණුද බලන්න; ඇදහිලිවන්ත වන්න, මාගේ ආඥාවන් පිළිපදින්න, තවද නුඹලා ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නෙහුය. ආමෙන්.