ප්‍රධාන සම්මන්ත්‍රණය
පූජකවර යතුරු දීමනාව ගැන ප්රීති වන්න
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


පූජකවර යතුරු දීමනාව ගැන ප්රීති වන්න

පූජකවර යතුරු පාලනය කරන්නේ දෙවියන්වහන්සේගේ පූජකවරය ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටු කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිගන්නා සියල්ලන්ට ආශීර්වාද කිරීමට යොදාගත හැකි ආකාරයයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද සභාපති ඩැලින් එච්. ඕක්ස් සහ මට ඓතිහාසික දවසක්. එය මීට වසර 40 කට පෙර, 1984 අප්‍රේල් 7 වැනිදා, අපව ප්‍රේරිතවරුන් දොළොස් දෙනාගේ ගණපූර්ණයට නියම කරන ලදී.1 එදා සිට මේ දක්වා පැවැති සෑම මහා සම්මන්ත්‍රණයකදී අපි ප්‍රීති වූවෙමු. අපිව නැවත වරක් ශුද්ධාත්මයාණන්වහන්සේගේ පරිශුද්ධ හැඟීමකින් ආශීර්වාද කර ඇත. ඉදිරි මාස කිහිපය පුරාම ඔබ මෙම සම්මන්ත්‍රණයේ පණිවිඩ නැවත නැවතත් අධ්‍යයනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මම ඉපදෙන විට,2 සභාවේ ක්‍රියාත්මක වූ දේවමාළිගා හයක් තිබුණි - ශාන්ත ජෝර්ජ්, ලෝගන්, මැන්ටි සහ සෝල්ට් ලේක් නගරය, යූටා; මෙන්ම කැනඩාවේ ඇල්බර්ටා හි කාඩ්ස්ටන්හි; සහ ලයි, හවායි. මීට පෙර දේවමාළිගා දෙකක් ඔහියෝහි කර්ට්ලන්ඩ් සහ ඉලිනොයිස් හි නාවූ හි කෙටියෙන් ක්‍රියාත්මක විය. සභාවේ සමූහය බටහිර දෙසට ගමන් කරන විට, ශුද්ධවන්තයින්ට එම දේවමාළිගා දෙක හැර යාමට බල කෙරුනි.

නාවූ දේවමාළිගාව ගිනි තැබීම්කරුවෙකුගේ ගින්නෙන් විනාශ විය. එය නැවත ගොඩනඟා පසුව සභාපති ගෝර්ඩන් බී හින්ක්ලි විසින් කැප කරන ලදී.3 කර්ට්ලන්ඩ් දේවමාළිගාව සභවේ සතුරන් විසින් අපවිත්‍ර කරන ලදී. පසුව කර්ට්ලන්ඩ් දේවමාළිගාව වසර ගණනාවක් තිස්සේ එය හිමිකරගත් ක්‍රිස්තු ප්‍රජාව විසින් අත්පත් කර ගන්නා ලදී.

නාවූ හි සැලකිය යුතු ඓතිහාසික ස්ථාන කිහිපයක් සමඟින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව කර්ට්ලන්ඩ් දේවමාළිගාව මිලදීගත් බව පසුගිය මාසයේදී අපි නිවේදනය කළෙමු. මෙම ගිවිසුමට මඟපෙන්වූ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රජාවේ නායකයන් සමඟ අප කළ සුහද සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සාකච්ඡා අපි බෙහෙවින් අගය කරමු.

රූපය
කර්ට්ලන්ඩ් දේවමාළිගාව.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේදි කිර්ට්ලන්ඩ් දේවමාළිගාවට අසාමාන්‍ය වැදගත්කමක් ඇත. එහි සිදු වූ සිදුවීම් කිහිපයක් සහස්‍ර ගණනාවක් තිස්සේ පුරෝකථනය කර ඇති අතර, නැවත පිහිටුවන ලද ස්වාමින් වහන්සේගේ සභාවට එහි පසුදවස්වල මෙහෙවර ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය විය.

මෙම සිදුවීම්වලින් වඩාත්ම වැදගත් සිදුවීම 1836 අප්‍රේල් 3, පාස්කු ඉරිදා සිදු විය.4 එදින, ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩරි අපූර්ව බැහැදැකීම් මාලාවකට මුහුණ දුන්හ. පළමුව, ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේ දර්ශනය විය. අනාගතවක්තෘවරයා සටහන් කළේ ගැලවුම්කරුවාණන්ගේ “දෑස් ගින්දර දළු මෙන්ය; උන්වහන්සේගේ හිසෙහි කොන්ඩය, පිරිසිඳු හිම මෙන් සුදුව තිබිනි; උන්වහන්සේගේ පෙනීම සූර්යයාගේ දීප්තියට වඩා බැබලින; තවද උන්වහන්සේගේ හඬ මහත්වූ ජලයන් ගලායන ශබ්දය මෙන් විය.’’5

මෙම සංචාරයේදී ස්වාමින් වහන්සේ තම අනන්‍යතාවය තහවුරු කළේය. උන්වහන්සේ පැවසුවේ, “මම පළමුවෙනියා සහ අන්තිමයාය; ජීවමානවූ තැනැත්තාය, මම මැරුණෙමි. පියාණන්වහන්සේ සමඟ මම නුඹලාගේ මැදහත්කරුවාණන් වන්නෙමි.6

එවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දේවමාළිගාව උන්වහන්සේගේ ගෘහය ලෙස පිළිගෙන ඇති බව ප්‍රකාශ කළ අතර මෙම විශ්මය ජනක පොරොන්දුව දුන්නේය: “මම මෙම ගෘහයේ දයාවෙන් මාගේ සෙනඟට පෙනී සිටින්නෙමි.’’7

මෙම වැදගත් පොරොන්දුව අද සෑම කැප වූ දේවමාළිගාවකටම අදාළ වේ. ස්වාමින්වහන්සේගේ පොරොන්දුව ඔබට පෞද්ගලිකව අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කිරීමට මම ඔබට ආරාධනා කරමි.

ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමෙන් පසුව, මෝසෙස් පෙනී සිටියේය. මෝසෙස් ඊශ්‍රායලය එක්රැස් කිරීම සහ ගෝත්‍ර දහය නැවත පැමිණීම සඳහා යතුරු ජෝසෆ් ස්මිත්ට ලබා දුන්නේය.8

මෙම දර්ශනය අවසන් වූ විට, “එලියා පෙනී සිට, ආබ්රහම්ගේ ශුභාරංචිය බෙදා හැරීම” ජෝසප්ට භාර දුන්නේය.9

එවිට අනාගතවක්තෘ එලියා පෙනී සිටියේය. උන්වහන්සේගේ පෙනීම දෙවන පැමිණීමට පෙර, “පියවරුන්ගේ හදවත දරුවන් වෙතටත් දරුවන්ගේ හදවත ඔවුන්ගේ පියවරුන් වෙතටත් හැරවීමට” ස්වාමීන්වහන්සේගේ එලියා එවන බවට වූ මලාකීගේ පොරොන්දුව ඉටු කළේය. 10 එලියා මුද්‍රා තැබීමේ බලයේ යතුරු ජෝසෆ් ස්මිත් වෙත ලබා දුන්නේය.11

ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ස්වර්ගීය දේවදූතයන් තිදෙනෙකු විසින් මෙම යතුරු නැවත පොළොවට ගෙන ඒමේ වැදගත්කම කියා නිම කළ නොහැක. පූජකවර යතුරු සභාපති ධූරයේ අධිකාරය සහ බලයෙන් සමන්විත වේ. පූජකවර යතුරු පාලනය කරන්නේ දෙවියන්වහන්සේගේ පූජකවරය ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටු කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිගන්නා සියල්ලන්ට ආශීර්වාද කිරීමට යොදාගත හැකි ආකාරයයි.

සභාව සංවිධානය කිරීමට පෙර, ස්වර්ගීය දේවදූතයන් විසින් ජෝසෆ් අනාගතවක්තෘවරයාට ආරොනික් සහ මෙල්කිසදෙක් පූජකවර ලබා දී ඇති අතර පූජකවර දෙකෙහිම යතුරු ඔහුට ලබා දී ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.12 මෙම යතුරු 1830 දී සභාව සංවිධානය කිරීමට ජෝසෆ් ස්මිත්ට බලය ලබා දුන්නේය.13

ඉන්පසුව 1836 දී කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී, මෙම අමතර පූජකවර යතුරු තුන—එනම් ඉශ්‍රායෙල් එක්රැස් කිරීමේ යතුරු, ආබ්‍රහම්ගේ ශුභාරංචියේ යතුරු සහ මුද්‍රා තැබීමේ බලයේ යතුරු—ප්‍රදානය කිරීම අත්‍යවශ්‍ය විය. මෙම යතුරු ජෝසෆ් ස්මිත්ට—සහ ස්වාමීන්වහන්සේගේ සභාවේ අනුප්‍රාප්තික සභාපතිවරුන්ට—ඉශ්‍රායෙල්වරුන් තිරය දෙපස රැස් කිරීමටත්, සියලුම ගිවිසුම් දරුවන්ට ආබ්‍රහම්ගේ ආශිර්වාදයෙන් ආශීර්වාද කිරීමටත්, පූජකවර නියෝග සහ ගිවිසුම් මත අනුමත මුද්‍රාවක් තැබීමටත්, සදාකාලික පවුල් මුද්‍රා තැබීමටත් බලය ලබා දුන්නේය. මෙම පූජකවර යතුරුවල බලය අසීමිත සහ විශ්මයජනක ය.

පූජකවර යතුරු පොළොවට නැවත ලබා නොදුන්නේ නම් ඔබේ ජීවිතය වෙනස් වන්නේ කෙසේදැයි සලකා බලන්න.14 පූජකවර යතුරු නොමැතිව, ඔබට දෙවියන් වහන්සේගේ බලය ලබා දිය නොහැක.15 පූජකවර යතුරු නොමැතිව, සභවට සේවය කළ හැක්කේ සැලකිය යුතු ඉගැන්වීමක් සහ මානුෂීය සංවිධානයක් ලෙස පමණක් වන නමුත් ඊට වඩා වැඩි දෙයක් නොවේ. පූජකවර යතුරු නොමැතිව, අප කිසිවකුට අත්‍යවශ්‍ය නියෝග සහ ගිවිසුම්වලට ප්‍රවේශය නොලැබෙන අතර එය අපගේ ආදරණීයයන් සමඟ සදාකාලිකව බැඳී ඇති අතර අවසානයේ අපට දෙවියන්වහන්සේ සමඟ ජීවත් වීමට ඉඩ සලසයි.

පූජකවර යතුරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව පොළොවේ වෙනත් ඕනෑම සංවිධානයකින් වෙන්කර හඳුනා ගනී. තවත් බොහෝ සංවිධාන වලට මරණීය ජිවිතයේදී ඔබේ ජීවිතය යහපත් කිරීමට පුළුවන් සහ කරනවා.. නමුත් වෙනත් කිසිම සංවිධානයකට මරණයෙන් පසු ඔබේ ජීවිතයට බලපෑම් කළ නොහැක. 16

ආබ්‍රහම්ට පොරොන්දු වූ සියලුම ආශීර්වාද සෑම ගිවිසුමක් රකින පුරුෂයෙකුට සහ ස්ත්‍රියකටම ලබා දීමට පූජකවර යතුරු අපට බලය ලබා දෙයි. දේවමාළිගාවේ වැඩ කටයුතු දෙවියන් වහන්සේගේ සියලුම දරුවන්ට, ඔවුන් කොහේ කවදා, මෙම විශිෂ්ට ආශීර්වාද ලබා දෙයි. පූජකවර යතුරු නැවත වරක් පොළොව තිබීම ගැන අපි ප්‍රීති වෙමු!

පහත ප්‍රකාශ තුන හොඳින් සලකා බලන ලෙස මම ඔබට ආරාධනා කරමි.

  1. ඉශ්‍රායෙලයේ රැස් වීම දෙවියන්වහන්සේ සෑම තැනකම සිටින තම සියලුම දරුවන්ට ප්‍රේම කරන බවට සාක්ෂියකි.

  2. ආබ්‍රහම්ගේ ශුභාරංචිය දෙවියන්වහන්සේ සෑම තැනකම සිටින තම සියලුම දරුවන්ට ප්‍රේම කරන බවට තවත් සාක්ෂියකි. උන්වහන්සේ සියල්ලන්ටම තමන් වෙතට පැමිණෙන ලෙස ආරාධනා කරයි—”කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා,, පිරිමි සහ ගැහැණු; … සියල්ලෝම දෙවියන් වහන්සේට සමානය. 17

  3. මුද්‍රා තැබීමේ බලය දෙවියන්වහන්සේ සෑම තැනකම උන්වහන්සේගේ දරුවන්ට කොතරම් ප්‍රේම කරනවාද යන්න සහ ඔවුන් සෑම කෙනෙකුම උන්වහන්සේ වෙත ආපසු යාමට තෝරා ගැනීමට අවශ්‍යද යන්න පිළිබඳ අතිවිශිෂ්ට සාක්ෂියකි.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා නැවත පිහිටුවන ලද ලද පූජකවර යතුරු මගින් සෑම ගිවිසුමක් රකින පුරුෂයෙකුට සහ ස්ත්‍රියකටම ඇදහිය නොහැකි පුද්ගලික අධ්‍යාත්මික වරප්‍රසාද භුක්ති විඳීමට හැකි වේ. මෙහිදී නැවතත්, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ පූජනීය ඉතිහාසයෙන් අපට ඉගෙන ගත හැකි බොහෝ දේ ඇත.

ජෝසෆ් ස්මිත්ගේ කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ කැපවූ යාච්ඤාව මෙම අවසාන දිනවලදී ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට දේවමාළිගාව ඔබටත් මටත් අධ්‍යාත්මිකව ශක්තිය ලබා දෙන ආකාරය පිළිබඳ පාඩමකි. දහම සහ ගිවිසුම් 109 කොටසෙහි වාර්තා කර ඇති එම යාච්ඤාව අධ්‍යයනය කරන ලෙස මම ඔබව දිරිමත් කරමි. එළිදරව්වෙන් ලැබුණු එම කැපකිරීමේ යාච්ඤාව උගන්වන්නේ දේවමාළිගාව යනු “යාච්ඤාවේ නිවසක්, නිරාහාරයෙන් වූ නිවසක්, ඇදහිල්ලේ නිවසක්, ඉගෙනගන්නා වූ නිවසක්, මහිමයේ නිවසක්, පිළිවෙලින් වූ නිවසක්, දෙවියන්වහන්සේගේ නිවෙසක් වීමටයි.”18

මෙම ගුණාංග ලැයිස්තුව දේවමාළිගාවක විස්තරයකට වඩා වැඩි ය. එය ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සේවය කරන හා නමස්කාර කරන අයට කුමක් සිදුවේද යන්න පිළිබඳ පොරොන්දුවකි. යාච්ඤාව, පෞද්ගලික එළිදරව්ව, වැඩි ඇදහිල්ලක්, ශක්තිය, සැනසීම, දැනුම වැඩි කිරීම සහ බලය වැඩි කිරීම සඳහා පිළිතුරු ලැබීමට ඔවුන් අපේක්ෂා කළ හැකිය.

දේවමාළිගාවේ කාලය ඔබට සෙලෙස්ටියල් මහිමය ගැන සිතීමට සහ ඔබ සැබවින්ම කවුරුන්ද, ඔබ කවුරුන් විය හැකිද සහ ඔබට සදාකාලික ජීවිතයක් ගත කළ හැකි ආකාරය පිළිබඳ දර්ශනයක් ලබා ගැනීමට උපකාරී වේ. නිතිපතා දේවමාළිගා නමස්කාරය ඔබ ඔබව දකින ආකාරය සහ ඔබ දෙවියන් වහන්සේගේ විශිෂ්ට සැලැස්මට ගලපා ගන්නා ආකාරය වැඩිදියුණු කරනු ඇත. මම ඔබට එය පොරොන්දු වෙනවා.

දේවමාළිගාවේදී අපට “ශුද්ධාත්මයාණන්වහන්සේගේ පූර්ණත්වය” ලැබෙන බවටත් අපට පොරොන්දු වී තිබෙනවා.19 සදාකාලික සත්‍යය සොයන සෑම කෙනෙකුටම ස්වර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් වන එම පොරොන්දුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි සිතා බලන්න.

දේවමාළිගාවේ නමස්කාර කරන සියල්ලන්ටම දෙවියන්ගේ සහ දේවදූතයන්ගේ බලය “ඔවුන් කෙරෙහි භාර” තිබෙන බව අපට උපදෙස් දී ඇත.20 බලයෙන් සැරසුනු ගැහැනියක් හෝ පිරිමියෙක් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වූ පසු ඔබට ජීවිතයට තනිව මුහුණ දීමට සිදු නොවන බව දැන ගැනීම ඔබේ විශ්වාසය කෙතරම් වැඩි කරයිද? දේවදූතයන් ඇත්තෙන්ම ඔබට උපකාර කරන බව දැනගැනීමෙන් ඔබට ලබා දෙන ධෛර්යය කුමක්ද?

අවසාන වශයෙන්, යෙහෝවාගේ ගෘහයේ නමස්කාර කරන අය අභිබවා දුෂ්ටකමේ සම්බන්ධයක්” නොපවතින බවට අපට පොරොන්දු වී තිබේ. 21

දේවමාළිගාවෙන් ලබා ගත හැකි අධ්‍යාත්මික වරප්‍රසාද තේරුම් ගැනීම අද අප සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වේ.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙයයි මාගේ පොරොන්දුව. ඔබේ හැකියාව පරිදි නිතිපතා දේවමාළිගාවේ නමස්කාර කිරීම හැර, යකඩ අත්වැල22 තදින් අල්ලා ගැනීමට වෙනත් කිසිවක් මෙතරම් ඔබට උපකාරී නොවේ. ලෝකයේ අන්ධකාරයේ මීදුම හමු වන විට වෙනත් කිසිවක් මෙතරම් ඔබව ආරක්ෂා නොකරනු ඇත. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ ඔබගේ සාක්ෂිය ශක්තිමත් කිරීමට හෝ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලැස්ම වඩාත් අවබෝධ කර ගැනීමට වෙනත් කිසිවක් මෙතරම් ඔබට උපකාර නොකරනු ඇත. වේදනාකාරී කාලවලදී කිසිවක් මෙතරම් ඔබේ ආත්මය සනසන්නේ නැත. මෙතරම් කිසිම දෙයක් තවත් ස්වර්ගය විවර කරන්නේ නැත. කිසිවකින් නෑ!

ආබ්‍රහම්ට පොරොන්දු වූ සියලු ආශීර්වාද අපට ලැබිය හැකි මිහිපිට ඇති එකම ස්ථානය දේවමාළිගාව වන බැවින්, දේවමාළිගාව යනු අප සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ විසින් ගබඩා කර ඇති ශ්‍රේෂ්ඨතම ආශීර්වාද සඳහා දොරටුවයි.23 සභාවේ සාමාජිකයින්ට දේවමාළිගාවේ ආශිර්වාද වඩාත් ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම සඳහා, ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, අපි අපගේ බලය තුළ සියල්ල කරන්නේ එබැවිනි. මේ අනුව, පහත සඳහන් සෑම ස්ථාන 15කම නව දේවමාළිගා ඉදිකිරීමට අප සැලසුම් කරන බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු.

  • යුටුරොආ, ප්රංශ පොලිනීසියාව

  • චිහුවාහුවා, මෙක්සිකෝව

  • ෆ්ලොරියානොපොලිස්, බ්‍රසීලය

  • රොසාරියෝ, ආර්ජන්ටිනාව

  • එඩින්බරෝ, ස්කොට්ලන්තය

  • බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශය

  • වික්ටෝරියා, බ්‍රිටිෂ් කොලොම්බියා

  • යූමා, ඇරිසෝනා

  • හූස්ටන්, ටෙක්සාස් දකුණු ප්රදේශය

  • ඩෙස් මොයින්ස්, අයෝවා

  • සින්සිනාටි, ඔහියෝ

  • හොනොලුලු, හවායි

  • බටහිර ජෝර්දානය, යූටා

  • ලෙහි, යූටා

  • මරකයිබෝ, වෙනිසියුලාව

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව බව මම සාක්ෂි දෙමි. උන්වහන්සේ එහි ශීර්ෂය මත නැඟී සිටි. අපි උන්වහන්සේගේ අනුගාමිකයෝ වෙමු.

ඔබට සහ මට ලැබීමට කැමති සහ ලැබීමට සුදුසු සෑම අධ්‍යාත්මික ආශිර්වාදයක්ම භුක්ති විඳීමට හැකි වන පරිදි පූජකවර යතුරු නැවත පිහිටුවීම ගැන අපි ප්‍රීති වෙමු. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.