ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 101


101 වන කොටස

1833 දෙසැම්බර් 16 සහ 17, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. මේ කාලයේදී මිසුරි හි රැස්ව සිටි ශුද්ධවන්තයින් මහත් වූ හිංසාවන් විඳිමින් සිටියහ. මැරයන් ඔවුන්ව ජැක්සන් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හැර තිබූ අතර, තවද සමහර ශුද්ධවන්තයින් වැන් බුරෙන්, ලෆායෙට් සහ රේ ප්‍රාන්ත වල ඔවුන්ව ස්ථාපිත කරගැනීමට උත්සාහ කළ නමුත්, පීඩා ඔවුන් පසුපස පැමිණියේය. ශුද්ධවන්තයින්ගේ ප්‍රධාන කණ්ඩායම එම අවස්ථාවේදී සිටියේ මිසුරි හි, ක්ලේ ප්‍රාන්තයේය. සභාවේ පුද්ගලයන්ට එරෙහිව වූ මරණ තර්ජන බොහෝ විය. ජැක්සන් ප්‍රාන්තයේ ශුද්ධවන්තයින්ට ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, සතුන් සහ වෙනත් පුද්ගලික දේපළ අහිමි විය; එමෙන්ම ඔවුන්ගේ බොහෝ බෝගද විනාශ කර තිබිණි.

1–8, ශුද්ධවන්තයන්ගේ වැරදි නිසා ඔවුන්ව තරවටුවට සහ පීඩාවට පත්කරනු ලබයි; 9–15, ස්වාමින්වහන්සේගේ උදහස ජාතීන් මත පතිත වන්නේය, එහෙත් උන්වහන්සේගේ ජනතාව රැස්කරනු ලැබ තවද සනසනු ලබන්නේය; 16–21, සයොනය සහ ඇයගේ මායිම් පිහිටුවනු ලබන්නේය; 22–31, සහස්‍රය තුළ ජීවිතයේ ස්වභාවය විස්තර කර ඇත; 32–42, එවිට ශුද්ධවන්තයන්ව ආශිර්වාද කරනු ලැබ, තවද යහපත් විපාක දෙනු ලබන්නේය; 43–62, වංශාධිපතියා සහ ඔලිව් ගස් වල උපමාව අපහසුකම් සහ සයොනයේ අවසාන මිදීම සනිටුහන් කරන්නේය; 63–75, ශුද්ධවන්තයන් එක්රැස්වීම පවත්වාගෙන යා යුතුය; 76–80, ස්වාමින්වහන්සේ එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව ස්ථාපිත කළ සේක; 81–101, ස්ත්‍රියගේ සහ අධර්මිෂ්ඨ විනිශ්චයකරුගේ උපමාවට අනුව, ශුද්ධවන්තයන් දුක්ගැනවිලි වලට සහනය සඳහා කන්නලව් කළ යුතු වන්නෝය.

1 ඔවුන් හට පහරදී, තවද හිංසා කරනු ලැබ, තවද ඔවුන්ගේ උරුමයේ දේශයෙන් පිටතට දමනු ලැබූ නුඹලාගේ සහෝදරයන් සම්බන්ධව සැබවක් මම නුඹලා හට පවසන්නෙමි—

2 ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ගේ වැරදි කරණකොට ගෙන, ඔවුන් පීඩාවට පත්ව ඇති, එම පීඩාවන් ඔවුන් මත පැමිණීමට ඉඩදුන්නෙමි;

3 එහෙත් මට ඔවුන් අයිති වන්නේය, තවද මම මාගේ ආභරණ සෑදීමට පැමිණෙන එම දිනයේදී ඔවුන් මාගේ වන්නෝය.

4 එසේහෙයින්, ඔහුගේ එකම පුත්‍රයාව ඔප්පු කිරීමට ආඥා කරනු ලැබූ, ආබ්‍රහම් ලෙස වුවත්, ඔවුන්ව තරවටු කරනු ලැබ පරික්ෂා කිරීම අවශ්‍යම වන්නේය.

5 මක්නිසාද තරවටු කිරීම දරානොගන්නා එහෙත් මා ප්‍රතික්ෂේප කරන ඔවුන් සියල්ලන්ව, පාරිශුද්ධ කළ නොහැකි වන්නේය.

6 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එහි ප්‍රලාපයන්ය, තවද වාද කිරීම්ය, තවද ඊර්ශ්‍යා කිරීම්ය, තවද ගැටුම්ය තවද ඔවුන් අතර කාමුක බව සහ තණ්හාවය; එසේහෙයින් මේ දේවල් නිසා ඔවුන් ඔවුන්ගේ උරුමය අපවිත්‍ර කරගෙන ඇත.

7 ඔවුන් ඔවුන්ගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දීමට ප්‍රමාදය; එසේහෙයින්, ඔවුන්ගේ කරදර දවසේදී ඔවුන්ට උත්තර දීමට, ඔවුන්ගේ යාච්ඤාවන්ට උවමනාවෙන් සවන්දීමට ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ප්‍රමාදය.

8 ඔවුන්ගේ සාමයේ දවසේදී ඔවුන් මාගේ උපදේශයන් ලිහිල්ව සැලකීය; එහෙත්, ඔවුන්ගේ කරදර දවසේදී, ඔවුන්ගේ අවශ්‍යතා නිසා ඔවුන් මා සොයන්නෝය.

9 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ගේ පාපයන් තිබියදීත්, මාගේ අභ්‍යන්තරය ඔවුන් වෙතට දයානුකම්පාවෙන් පිරී ඇත්තේය. මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම පිටතට නොදමන්නෙමි; තවද කෝපයේ දවසේදී මම දයාව සිහිකරන්නෙමි.

10 මම දිව්රා ඇත්තෙමි, තවද මම නුඹලා හට දෙනු ලැබූ පෙර ආඥාවක් මගින් එම නියෝගය ඉදිරියට ගොස් ඇත්තේය, එනම් මාගේ උදහසේ කඩුව මාගේ ජනතාව වෙනුවෙන් වැටීමට මම ඉඩදෙන්නෙමි; තවද මම පැවසූ ලෙස වුවත්, එය එසේ සිදුවන්නේය.

11 මාගේ උදහස සියලු ජාතීන් මත ඉක්මණින් මැනීමකින් තොරව වගුරුවනු ලැබීමට නියමිතව ඇත්තේය; තවද ඔවුන්ගේ අයුතුකමේ කුසලානය සම්පූර්ණ වූ විට මම මෙය කරන්නෙමි.

12 තවද එම දවසේදී මුර කුළුණ මත සොයාගනු ලබන සියල්ලන්, නැතහොත් වෙනත් වචන වලින්, මාගේ සියලු ඉශ්‍රායෙලය, ගලවාගනු ලබන්නේය.

13 තවද එනම් විසිරුවනු ලැබූ ඔවුන්ව රැස්කරගනු ලබන්නේය.

14 තවද දුක්වූ ඔවුන් සියල්ලන්ව සනසනු ලබන්නේය.

15 තවද මාගේ නාමය උදෙසා ඔවුන්ගේ ජීවිතය දෙනු ලැබූ ඔවුන් සියල්ලන්ව කිරුළු පළඳවනු ලබන්නේය.

16 එසේහෙයින්, සයොනය සම්බන්ධව නුඹලාගේ හදවත් සමාදානයෙන් තබාගන්න; මක්නිසාද සෑම මාංශයක්ම මාගේ දෑතෙහිය; නොසැලී සිට තවද එනම් මම දෙවියන්වහන්සේ බව දැනගන්න.

17 ඇයගේ දරුවන් විසුරුවනු ලැබ තිබුනද, සයොනය ඇයගේ ස්ථානයෙන් වෙනස් නොකරන්නේය.

18 එනම් එහි සිටින ඔවුන්, තවද හදවතින් පවිත්‍ර වූවන්, හැරී එන්නෝය, තවද ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්, සදාකාලික ප්‍රීතියේ ගීත සමඟ, සයොනයේ විනාශ වූ ස්ථානයන් ගොඩනැගීම සඳහා, ඔවුන්ගේ උරුමයට පැමිණෙන්නෝය—

19 තවද මෙම සියලු දේවල් එනම් අනාගතවක්තෘවරුන් සම්පූර්ණ වන පිණිසය.

20 තවද, බලන්න, එහි එම නියම කරනු ලැබූ ස්ථානය හැර වෙනත් කිසිඳු ස්ථානයක් නොමැත්තේය; මාගේ ශුද්ධවන්තයන්ගේ රැස්කිරීමේ කාර්යය උදෙසා, එහි මම නියම කරනු ලැබූ ස්ථානය හැරුනු විට වෙනත් කිසිඳු ස්ථානයක් නියම කර නොමැත්තේය—

21 එහි ඔවුන් උදෙසා තවදුරටත් ඉඩක් නොවන එම දවස පැමිණෙන තුරු; තවද එවිට ඔවුන් උදෙසා නියම කරනු ලබන වෙනත් ස්ථානයන් මට ඇත්තේය, තවද සයොනයේ තිරයන් හෝ ශක්තිය උදෙසා, ඒවා ස්ටේකයන් ලෙස නම් කරනු ලැබෙන්නේය.

22 බලන්න, එය මාගේ කැමැත්ත වන්නේය, එනම් මාගේ නාමයෙන් හඬගසන්නාවූ, තවද මාගේ සදාකාලික ගිවිසුම අනුව මට නමස්කාර කරන්නාවූ ඔවුන් සියල්ලෝ, එකට එක්රැස්වී, තවද ශුද්ධ වූ ස්ථානයන්හි නැගී සිටින්නෝය;

23 තවද පැමිණෙන්නට තිබෙන්නාවූ එම එළිදරව්ව උදෙසා සූදානම් වන්න, පොළොවට සැඟවීම පිණිස, මාගේ කූඩාරම තුළ වූ, මාගේ දේවමාළිගාව වසා ඇති තිරය, ඉවතට ගනු ලබන විට, තවද සෑම මාංශයක්ම එක්ව මා දකින්නෝය.

24 තවද එනම් පොළෝ තලය මත ජීවත් වන, සියලු මනුෂ්‍යයන්, හෝ පිටියේ මෘගයන්, හෝ ස්වර්ගයන්ගේ කුරුල්ලන්, හෝ මුහුදේ මසුන්ගෙන්, විනාශයට යොමුවන සියලු දේවල්, දවාලනු ලබන්නේය;

25 තවද එසේම එනම් ද්‍රව්‍යයන් දැඩි රස්නයෙන් දියවී යන්නේය; තවද සියලු දේවල් අලුත්භාවයට පත්වන්නේය, එනම් මාගේ දැනුම සහ මහිමය මුළු පොළොව මතම පවතින පිණිසය.

26 තවද එම දවසේදී මනුෂ්‍යයාගේ වෛරය, තවද මෘගයන්ගේ වෛරය, එසේය, සියලු මාංශයන්ගේ වෛරය, මාගේ මුහුණ ඉදිරියෙන් පහව යන්නේය.

27 තවද එම දවසේදී කිසියම් මනුෂ්‍යයෙකු කුමනාකාර දෙයක් ඉල්ලන්නේද, එය ඔහුට දෙනු ලබන්නේය.

28 තවද එම දවසේදී කිසිඳු මනුෂ්‍යයෙකුව පරික්ෂා කිරීමට සාතන්ට බලය නොවන්නේය.

29 තවද එහි වේදනාවක් නොවන්නේය මක්නිසාද එහි මරණය නොවන්නේය.

30 එම දවසේදී ළදරුවකු ඔහු වයසට පත්වන තුරු මරණයට පත්නොවන්නේය; තවද ඔහුගේ ජීවිතය ගසක වයස මෙන් වන්නේය;

31 තවද එනම් පොළොවේ පවසන ආකාරයට, ඔහු මැරෙන විට ඔහු නිදි නොවදින්නේය, එහෙත් ඇසිපිය ගසන සැනෙකින් වෙනස් කරනු ලැබ, තවද ඔසවාගනු ලැබ, ඔහුගේ විශ්‍රාමය මහිමවත් වන්නේය.

32 එසේය, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ස්වාමින්වහන්සේ පැමිණෙන එම දවසේදී, උන්වහන්සේ සියලු දේවල් එළිදරව් කරන සේක—

33 එම අතීතයේ සිදුවී ඇති දේවල්ද, තවද කිසිඳු මනුෂ්‍යයෙකු නොදත් එම සැඟවී ඇති දේවල්ද, පොළොවේ ඇති දේවල්ද, එය සෑදී ඇත්තේ කුමකින්ද, තවද එහිවූ අරමුණද තවද අවසානයද—

34 වඩාත් වටිනා දේවල්ද, ඉහළින් ඇති දේවල්ද, තවද එනම් පහළ වූ දේවල්ද, පොළොව තුළ සහ පොළොව මත ඇති දේවල්ද, සහ ස්වර්ගයේ ඇති දේවල්දය.

35 තවද මාගේ නාමය නිසා පීඩා විඳිනු ලබන සියල්ලෝ, තවද ඇදහිල්ලෙන් දරාගන්නේද, මා උදෙසා ඔවුන්ගේ ජීවිතය පූජා කිරීමට ඔවුන්ව කැඳවා ඇති වුවද මෙම සියලුම මහිමයේ සහභාගී කමට සම්බන්ධ වන්නෝය.

36 එසේහෙයින්, මරණයට වුවත් බිය නොවන්න; මක්නිසාද මෙම ලෝකය තුළ නුඹලාගේ ප්‍රීතිය අසම්පූර්ණය, එහෙත් මා තුළ නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණය.

37 එසේහෙයින්, නුඹලාගේ ශරීරය ගැන, නැතහොත් ශරීරයේ ජීවිතය ගැන වුවත් කරදර නොවන්න; එහෙත් ප්‍රාණය ගැනද, තවද ප්‍රාණයේ ජීවිතය ගැනද සැලකිලිමත් වන්න.

38 තවද සැමවිටම ස්වාමින්වහන්සේගේ මුහුණ සොයන්න, එනම් ඉවසීම තුළ නුඹලා නුඹලාගේ ප්‍රාණයන් දරාගන්නෝය, තවද නුඹලා සදාකාල ජීවනය ලබාගන්නෝය.

39 තවද සදාකාලික ගිවිසුමක් සමඟ, මාගේ සදාකාලික ශුභාරංචියට සහ ගිවිසුමට මනුෂ්‍යයන්ව කැඳවන විට, පොළොවේ ලුණු සහ මනුෂ්‍යයන්ගේ සුවිශේෂී රසය මෙන් ඔවුන්ව ගණන්ගනු ලබන්නේය;

40 මනුෂ්‍යයන්ගේ සුවිශේෂී රසය වීමට ඔවුන්ව කැඳවා ඇත්තේය; එසේහෙයින්, පොළොවේ එම ලුණු එහි රසය නැතිකරගන්නේ නම්, බලන්න, එය මනුෂ්‍යයන්ගේ පාදයන්ට පාගා දැමීමට සහ පිටතට විසිකිරීමට මිස එය එතැන්සිට කිසිවකට යහපත් නොවන්නේය.

41 බලන්න, සයොනයේ දරුවන් සම්බන්ධව ප්‍රඥාව මෙහිය, බොහෝ අයවළුන් වුවත්, එහෙත් සියල්ලන් නොව; ඔවුන් වරදකරුවන්ව සොයාගනු ලබන්නේය, එසේහෙයින් ඔවුන්ට තරවටු කිරීම අවශ්‍ය වන්නේය—

42 ඔහුවම උසස් කරගනු ලබන ඔහුව පහත්කරනු ලබන්නේය, තවද ඔහුවම පහත්කරගනු ලබන ඔහුව උසස් කරනු ලබන්නේය.

43 තවද දැන්, මම නුඹලා හට උපමාවක් පෙන්වන්නෙමි, එනම් සයොනයේ මිදීම සම්බන්ධව මාගේ කැමැත්ත නුඹලා දැනගන්නා පිණිසය.

44 එක්තරා වංශාධිපතියෙකුට ඉතා වටිනා ඉඩමක් තිබිණි; තවද ඔහු ඔහුගේ සේවකයන්ට මෙසේ කීවේය; නුඹලා මාගේ මිදිවත්තට යන්න, මෙම ඉතා වටිනා ඉඩම් කොටසට වුවත් යන්න, තවද ඔලිව් ගස් දොළසක් සිටුවන්න;

45 තවද ඒවා අවට වටේට මුරකරුවන් යොදන්න, තවද එනම් එම ඉඩම අවට වටේට කෙනෙකුට පෙනෙන පිණිස, කුළුණ මත මුරකරුවෙකු වීමට, තවද කුළුණක් ඉදිකරන්න, එනම් මාගේ මිදිවත්තේ ඵලය නාස්ති කර තවද ඒවා ඔවුන් සඳහා ගන්නට සතුරා පැමිණෙන විට මාගේ ඔලිව් ගස් කඩා බිම නොදමන පිණිසය.

46 දැන්, වංශාධිපතියාගේ සේවකයන් යමින් ඔවුන්ගේ ස්වාමියා ආඥා කළ ලෙස කරමින්, තවද ඔලිව් ගස් සිටුවා, තවද ඒ අවට වටේට වැටක් ගොඩනගා, තවද මුරකරුවෙකු තබා, තවද කුළුණක් බැඳීමට ආරම්භ කළෝය.

47 තවද ඔවුන් එහි අත්තිවාරම බඳිමින් සිටියදී; ඔවුන් ඔවුනොවුන් අතර මෙසේ පැවසීමට පටන්ගත්තෝය: තවද මාගේ ස්වාමියාට මෙම කුළුණෙන් ඇති අවශ්‍යතාවය කුමක්ද?

48 තවද ඔවුන් දිගු වේලාවක් සාකච්ඡා කොට, ඔවුන් අතරම මෙසේ පැවසුවෝය: මෙය සාමයේ කාලයක්ව තිබියදීත්, මාගේ ස්වාමියාට මෙම කුළුණෙන් ඇති අවශ්‍යතාවය කුමක්ද?

49 මෙම මුදල්, හුවමාරු කරන්නන්ට දීම සුදුසු නොවේද? මක්නිසාද මෙම දේවලට අවශ්‍යතාවයක් නැත්තේය.

50 තවද ඔවුන් එකිනෙකා අතර පරස්පර වෙමින් ඔවුන් ඉතා අලස බවට පත්විය, තවද ඔවුන් ඔවුන්ගේ ස්වාමියාගේ ආඥාවන්ට උවමනාවෙන් සවන් නොදුන්නෝය.

51 තවද සතුරා රාත්‍රියේදී පැමිණ, තවද වැට කඩා දැමීය; තවද වංශාධිපතියාගේ සේවකයන් නැගිට භීතියට පත්ව, තවද පලාගියෝය; තවද සතුරා ඔවුන්ගේ ක්‍රියාවන් විනාශ කරමින්, තවද ඔලිව් ගස් කඩාබිඳ දැමීය.

52 දැන්, බලන්න, එම වංශාධිපතියා, මිදිවත්තේ ස්වාමියා, ඔහුගේ සේවකයන් කැඳවමින්, තවද ඔවුන්ට මෙසේ පැවසීය, ඇයි! මෙම මහත් නපුරුකමට කාරණය කුමක්ද?

53 මම නුඹලාට ආඥා කළ ලෙස නුඹලා කළ යුතුව තිබුනේ නැත්ද, තවද—නුඹලා මිදිවත්ත සිටවූ පසු, තවද ඒ අවට වටේට වැට ගොඩනගා, තවද එහිවූ තාප්පය මත මුරකරුවන් රඳවා—එසේම කුළුණද ගොඩනගා, තවද කුළුණෙහි මුරකරුවෙකු රඳවා, මාගේ මිදිවත්ත රැකබලාගැනීමට තබා, තවද නුඹලා නිදියමින් නොසිටියේ නම්, සතුරා නුඹලා කෙරෙහි පැමිණෙන්නේද?

54 තවද බලන්න, කුළුණ මත සිටි මුරකරුවාට සතුරාව ඔහු තවමත් දුර ඈත සිටියදීම පෙනෙන්නට ඉඩතිබුණි; තවද එහිවූ වැට කඩාබිඳ දැමීමෙන් සතුරන්ව වැළැක්වීමට නුඹලාට සූදානම් වීමට තිබුණි, තවද විනාශකාරයාගේ හස්තයෙන් මාගේ මිදිවත්ත ගලවාගැනීමට තිබුණි.

55 තවද මිදිවත්තේ ස්වාමියා ඔහුගේ එක් සේවකයෙකුට මෙසේ පැවසුවේය: යන්න තවද මාගේ ඉතිරි වූ සේවකයන්ව රැස්කරගන්න, තවද මාගේ ගෘහයෙන් සියලු ශක්තිය ගන්න, එනම් මාගේ යුධ භටයන්ව, මාගේ තරුණ මනුෂ්‍යයන්ව, මම නතර වීමට පත්කෙරූ අය හැර, තවද මාගේ සියලු සේවකයන් අතරින් මධ්‍යම වයසින් වූවන්ද, මාගේ ගෘහයෙහි ශක්තිවන්තයින්වද ගන්න;

56 තවද නුඹලා ඉක්මණින්ම මාගේ මිදිවත්තේ ඉඩමට යන්න, තවද මාගේ මිදිවත්ත මුදවාගන්න; මක්නිසාද එය මාගේය; එය මම මුදලින් මිලදී ගත්තෙමි.

57 එසේහෙයින්, නුඹලා ඉක්මණින්ම මාගේ ඉඩමට යන්න; මාගේ සතුරන්ගේ තාප්ප බිඳ දමන්න; ඔවුන්ගේ කුළුණ බිඳ දමන්න, තවද ඔවුන්ගේ මුරකරුවන්ව විසුරුවා හරින්න.

58 තවද එපමණකින් ඔවුන් නුඹලාට විරුද්ධව එක්රැස් වන්නේද, මාගේ සතුරන්ගෙන් මාගේ පලිය ගන්න, එනම් ක්‍රමයෙන් ක්‍රමයට මම මාගේ ගෘහයේ ඉතිරි වූවන් සමඟ පැමිණ දේශය අත්කරගන්නා පිණිසය.

59 තවද සේවකයා ඔහුගේ ස්වාමියාට මෙසේ කීවේය: මෙම දේවල් වන්නේ කෙදිනද?

60 තවද ඔහු ඔහුගේ සේවකයාට මෙසේ පැවසුවේය: මම කැමති විටය; නුඹ ඉක්මණින්ම ගමන්කරන්න, තවද මම නුඹට ආඥා කළ සියලු දේවල් කරන්න;

61 තවද මෙය නුඹ මත මාගේ මුද්‍රාවද එමෙන්ම මාගේ ආශිර්වාදයද වන්නේය—[නුඹ] මාගේ ගෘහය මධ්‍යයේ ඇදහිලිවන්ත සහ ප්‍රඥාවන්ත භාරකරුවෙකුද, මාගේ රාජ්‍යයේ පාලකයෙකුද වන්නේය.

62 තවද ඔහුගේ සේවකයා ඉක්මණින්ම ගොස්, තවද ඔහුගේ ස්වාමියා ඔහුට ආඥා කළ සියල්ල කළේය; තවද බොහෝ දවසකට පසු සියලු දේවල් සම්පූර්ණ වූයේය.

63 නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, සියලු සභාවන් සම්බන්ධව මා තුළ ඇති ප්‍රඥාව මම නුඹලා හට පෙන්වන්නෙමි, ඔවුන්ගේ ගැලවීම උදෙසා සුදුසු මාර්ගයට මගපෙන්වනු ලැබීමට ඔවුන් කැමති වන පමණකින්—

64 එනම් මාගේ ශුද්ධවන්තයින්ව එක්රැස් කිරීමේ කාර්යය පවතින්නේය, එනම් ශුද්ධ වූ ස්ථානයන්හි මාගේ නාමය මතට මම ඔවුන්ව ගොඩනගන පිණිසය; මක්නිසාද අස්වැන්න නෙලාගැනීමේ කාලය පැමිණ තිබේ, තවද මාගේ වචනය සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය වන්නේය.

65 එසේහෙයින්, තිරිඟු සහ කිරිඳි උපමාවට අනුව, මම මාගේ ජනතාව රැස්කරගත යුතුම වන්නේය, එනම් තිරිඟු සදාකාල ජීවනය ලබාගැනීමේ ගබඩාව තුළ සුරක්ෂිත වී, මම සෑම මනුෂ්‍යයෙකුටම ඔහුගේ ක්‍රියාවන්ට අනුව විපාක ලබාදීමට මාගේ පියාණන්ගේ රාජ්‍යයට පැමිණෙන විට, තවද සෙලෙස්ටියල් මහිමයෙන් කිරුළු පළඳින පිණිසය;

66 කිරිඳි මිටි වලට බඳිනු ලබන අතරතුර, තවද ඔවුන්ගේ පටි ශක්තිමත් කරනු ලබන්නේය, එනම් එවිට ඒවා නොනිවෙන ගින්නෙන් දැවෙන පිණිසය.

67 එසේහෙයින්, සියලුම සභාවන්ට මම ආඥාවක් දෙන්නෙමි, එනම් ඔවුන් මම නියම කළ එම ස්ථානයන්ට එක්රැස්වීම නොකඩවා කළ යුතු වන්නෝය.

68 එසේවවුත්, මම නුඹලා හට පෙර ආඥාවකින් පැවසූ ලෙස, නුඹලාගේ එක්රැස්වීම හදිසියෙන් නොවේවා, හෝ පලායාමෙන් නොවේවා; එහෙත් නුඹලා ඉදිරියේ සියලු දේවල් සූදානම් වන්නට සලස්වන්න.

69 තවද පිළිවෙලට එනම් සියලු දේවල් නුඹලා ඉදිරියේ සූදානම් වන පිණිස, මෙම දේවල් සම්බන්ධව මා විසින් දෙන ලද එම ආඥාව පවත්වන්න—

70 එය පවසන්නේ, හෝ උගන්වන්නේ, මාගේ ශුද්ධවන්තයන්ගේ එක්රැස්වීමේ ආරම්භය උදෙසා, සයොනයේ දේශය බවට පත්වීමට මා විසින් නියම කර ඇති දේශය අවට වටේ ප්‍රදේශයේ, මුදලින් මිලදී ගැනීමට හැකි, සියලු දේපළ මුදලින් මිලදී ගැනීමටය;

71 ජැක්සන් ප්‍රාන්තයේ සහ ඒ අවට වටේට වූ ප්‍රාන්තයන් හි මිලදී ගතහැකි සියලු දේපළද [මිලදී ගැනීමටය], තවද ඉතිරිය මාගේ හස්තයේ තිබීමට ඉඩහරින්න.

72 දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, සියලුම සභාවන් ඔවුන්ගේ සියලු මුදල් එකට රැස්කරගන්න; මෙම දේවල් වලට සුදුසු කාලයේදී සිදුවීමට ඉඩදෙන්න, එහෙත් හදිසියේ නොවේ; තවද නුඹලා ඉදිරියේ සූදානම් කර තිබෙන්නාවූ සියලු දේ ලබාගැනීමට වගබලාගන්න.

73 තවද ගෞරවාන්විත මනුෂ්‍යයන්ව, ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ව වූවත් පත්කරන්නට සලස්වන්න, තවද මෙම දේපළ මිලදී ගැනීමට ඔවුන්ව යවන්න.

74 තවද නැගෙනහිර දේශයන් හි සභාවන්, ඒවා ගොඩනගා ඇතිවිට, ඔවුන් මෙම උපදේශයට උවමනාවෙන් සවන්දෙන්නේ නම් ඔවුන් ඔවුන් මත දේපළ මිලදී ගෙන ඒවා මත එකට එක්රැස් වන්නෝය; තවද මේ ආකාරයට ඔවුන් සයොනය පිහිටුවාගනු ලබන්නෝය.

75 එහි දැන් වුවත් ප්‍රමාණවත් ලෙස ගබඩා කර ඇත්තේය, එසේය, බහුලත්වයකින් වුවත්, සයොනය මුදවා ගැනීමටද, තවද ඇයගේ අත්හැරුණු ස්ථානයන් පිහිටුවාලීමටද, තවදුරටත් ඉවතට නොදැමීමටද, මාගේ නාමයෙන් ඔවුන්ව හඳුන්වන්නාවූ, මාගේ හඬට උවමනාවෙන් සවන්දීමට කැමති වන්නාවූ, සභාවන් වන්නේය.

76 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ගේ සතුරන් මගින් විසිරුවාලනු ලැබූ අයවළුන්, පාලකයන් සහ නුඹලා මත අධිකාරිත්වය ඇති අය ලෙස තබා ඇති අයගේ හස්තයන් මගින්, ඔවුන්ගේ සහනය සහ මිදීම ලැබීම උදෙසා පෙරැත්ත කිරීමේ පැවතීම මාගේ කැමැත්ත වන්නේය—

77 එනම් ස්ථාපිත කිරීමට, සහ සියලුම මාංශයන්ගේ අයිතීන් සහ සුරක්ෂිතභාවය පවත්වාගැනීමට මා ඉඩදී ඇති, ජනතාවගේ නීති සහ ව්‍යවස්ථාවට අනුවද, ධර්මිෂ්ඨ සහ ශුද්ධ වූ මූලධර්මයන්ටද අනුවය;

78 එනම් මා ඔහු හට ලබාදී ඇති සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසට අනුව, අනාගතය සම්බන්ධව දහම සහ මූලධර්ම අනුව සෑම මනුෂ්‍යයෙකුම ක්‍රියා කරන පිණිසද, එලෙසම සෑම මනුෂ්‍යයෙකුම විනිශ්චය දවසේදී ඔහුගේ ස්වකීය පාපයන් උදෙසා ගණන්දිය යුතු වීමද පිණිසය.

79 එසේහෙයින්, කිසියම් මනුෂ්‍යයෙකු එක් අයෙකු තව කෙනෙකුට බැඳීමක් තිබීම නුසුදුසු වන්නේය.

80 තවද මෙම කාරණාව උදෙසාම, මේ අරමුණ උදෙසාම මා විසින් ඔසවා ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ගේ අත් වලින්, මම මෙම දේශයේ ව්‍යවස්ථාව පිහිටුවා ඇත්තෙමි, තවද රුධිරය වැගිරීම මගින් මෙම දේශය මුදවා ඇත්තෙමි.

81 දැන්, මම කවරකට සයොනයේ දරුවන් සමාන කරන්නෙම්ද? මම ඔවුන්ව කාන්තාව සහ අධර්මිෂ්ඨ විනිශ්චයකරුවා හා සමාන කරන්නෙමි, මක්නිසාද මනුෂ්‍යයන් සැමවිටම යාච්ඤා කරමින් තවද සිහිමුර්ඡා නොවිය යුතුය, එය මෙසේ පවසයි—

82 එහි නගරයක දෙවියන්වහන්සේට නොබිය, හෝ මනුෂ්‍යයන් නොසලකන්නාවූ විනිශ්චයකරුවෙකු විය.

83 තවද එහි එම නගරයේ වැන්දඹුවක් විය, තවද ඇය ඔහු වෙතට පැමිණ, මෙසේ පැවසුවාය: මාගේ විරුද්ධකරුවාට මා වෙනුවෙන් දඬුවම් කරන්න.

84 තවද ඔහු කාලයකට එසේ නොකළේය, එහෙත් ඉන්පසු ඔහු ඔහුටම මෙසේ කියාගත්තේය: මම දෙවියන්වහන්සේට බිය නොවුනත්, හෝ මනුෂ්‍යයන් නොසැලකුවත්, තවමත් මෙම වැන්දඹුව මට කරදර කරන හෙයින් මම ඇය වෙනුවෙන් දඬුවම් කරන්නෙමි, එනම් ඇයගේ නිරන්තර පැමිණීම නිසා මා වෙහෙසකර නොවන පිණිසය.

85 මෙසේ මම සයොනයේ දරුවන් සමාන කරන්නෙමි.

86 ඔවුන්ට විනිශ්චයකරුවාගේ පාමුල පෙරැත්ත කිරීමට ඉඩදෙන්න;

87 තවද ඔහු ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නේ නම්, ඔවුන්ට පාලකයාගේ පාමුල පෙරැත්ත කිරීමට ඉඩදෙන්න;

88 තවද පාලකයා ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නේ නම්, ඔවුන්ට ජනාධිපතිවරයාගේ පාමුල පෙරැත්ත කිරීමට ඉඩදෙන්න;

89 තවද ජනාධිපතිවරයා ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නේ නම්, එවිට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සැඟවුන ස්ථානයෙන් පිටතට පැමිණ නැගීසිටිමින්, තවද උන්වහන්සේගේ උදහස ජනතාව මත වගුරුවන සේක;

90 තවද උන්වහන්සේගේ දැඩි අප්‍රසන්නතාවය තුළ, තවද උන්වහන්සේගේ දැවෙන උදහස, උන්වහන්සේගේ කාලයේදී, එම අධර්මිෂ්ඨයන්, නොඇදහිලිවන්තයන් සහ අධර්මිෂ්ඨ භාරකරුවන් කපාදමමින්, තවද කෛරාටිකයන් සහ නොඇදහිලිවන්තයන් අතර ඔවුන්ගේ කොටසට පත්කරන සේක;

91 පිටත අන්ධකාරයට වුවත් [පත්කරන සේක], එහි වැලපීමද, කෙඳිරිගෑමද, තවද දත්මිටි කෑමද වන්නේය.

92 එසේහෙයින්, නුඹලා යාච්ඤා කරපල්ලා, එනම් නුඹලාගේ මොරගැසීම් වෙතට ඔවුන්ගේ කන් විවෘත වන පිණිසය, එනම් මම ඔවුන් වෙතට කරුණාවන්ත වන පිණිසය, එනම් මෙම දේවල් ඔවුන් මත නොපැමිණෙන පිණිසය.

93 මම නුඹලා හට පැවසූ දේ සිදුවිය යුතුම වන්නේය, එනම් එහි සියලුම මනුෂ්‍යයන්ට නිදහසට කාරණා දැක්වීමට නොහැකිවන පිණිසය;

94 එනම් ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් සහ පාලකයන් එනම් එම ඔවුන් කිසිවිටක නොසිතන දේ අසන්නට සහ දැනගැනීමටය.

95 එනම් මම මාගේ ක්‍රියාව, මාගේ අපූර්ව ක්‍රියාව, සහ මාගේ කාර්යය ක්‍රියාත්මක කිරීම, මාගේ අපූර්ව කාර්යය, සිදුවීමට ගෙන එන පිණිසය, එනම් මනුෂ්‍යයන් ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් අතරින් වටහාගැනීම පිණිස යැයි, නුඹගේ දෙවියන්වහන්සේ පවසන සේක.

96 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මම මාගේ ජනතාව හට නියම කර ඇති, මාගේ ගබඩා ගෘහය මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට් විසින්, මාගේ සතුරන්ගේ අත් වලට විකිණීම, මාගේ ආඥාවට සහ මාගේ කැමැත්තට විරුද්ධය.

97 එනම් මම නියම කර ඇති දේ, ඔවුන්වම මාගේ නාමයෙන් හඳුන්වාගන්නා අයවලුන්ගේ කැමැත්ත මත, මාගේ සතුරන්ගෙන් අපවිත්‍ර වීමට ඉඩනොදෙන්න.

98 මක්නිසාද මෙය මට විරුද්ධව, තවද මාගේ ජනතාවට විරුද්ධව කරන්නාවූ ඉතා දරුණු සහ බරපතලම පාපයක් වන්නේය, එම දේවල් වල ප්‍රතිඵලය නිසා මම ප්‍රකාශ කළ එම දේ ජනතාව මත ඉක්මණින් පතිත වන්නේය.

99 එසේහෙයින්, තවද මම ඔවුන් හට නියම කර ඇත්තාවූ එම දේ, ඔවුන්ට එහි ජීවත්වීමට අවසර ලබානොදිය යුතු වුවත්, ඔවුන් අත්පත්කර ගැනීමත්, එම අත්පත්කර ගැනීම රඳවාගැනීමත් මාගේ කැමැත්ත වන්නේය.

100 එසේවුවද, ඔවුන් එහි පදිංචි නොවිය යුතු යැයි මම නොපවසන්නෙමි; මක්නිසාද ඔවුන් මාගේ රාජ්‍යය උදෙසා සුදුසු ඵලය සහ ක්‍රියාවන් ගෙනඑන පමණකින් ඔවුන් එහි පදිංචි වන්නෝය.

101 ඔවුන් ගොඩනගනු ලැබිය යුතු වන්නෝය, තවද වෙන අයෙකු එය උරුමකර නොගත යුතු වන්නේය; ඔවුන් මිදිවතු පිහිටුවිය යුතු වන්නෝය, තවද එහිවූ ඵලය ඔවුන් බුදින්නෝය. එය එසේම වන්නේය. ආමෙන්.