ශුද්ධලියවිලි
1 වන නිල ප්‍රකාශය


1 වන නිල ප්‍රකාශය

බයිබලය හා මොර්මොන්ගේ පොත උගන්වන්නේ දෙවියන්වහන්සේ වෙනත් ආකාරයකට දෙන්නේ නම් හැර ඒකභාර්යා විවාහ සිරිත යනු විවාහය සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය බවය (බලන්න 2 සාමුවෙල් 12:7–8 සහ යාකොබ්ගේ පොත 2:27, 30). ජෝසෆ් ස්මිත් ලැබූ එළිදරව්වකට පසුව, 1840 ගණන්වල මුල් භාගයේදී සභාවේ සාමාජිකයන් අතර බහු විවාහය ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදි (132 වන කොටස බලන්න). 1860 සිට 1880 දක්වා, එක්සත් ජනපද රජය විසින් මෙම ආගමික සිරිත නීති විරෝධී කිරීමට නීති සම්මත කරන ලදි. මෙම නීති අවසානයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදි. එළිදරව් ලැබීමෙන් පසු, සභාපති විල්ෆර්ඩ් වුඩ්රෆ් විසින් පහත දැක්වෙන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන ලද අතර, එය සභාව විසින් 1890 ඔක්තෝම්බර් 6 වන දින බලාධිකාරී හා වලංගු බව පිළිගන්නා ලදි. මෙය සභාවේ බහු විවාහ සිරිත අවසන් කිරීමට හේතු විය.

අදාළ අයගේ දැනගැනීම උදෙසාය:

සෝල්ට් ලේක් නගරය වෙතින්, දේශපාලන කාරණාවන් උදෙසා, පුළුල්ව ප්‍රකාශයට පත්කර ඇති, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම් පවසන්නේ, යූටා කොමිසම විසින්, අභ්‍යන්තර කටයුතු ලේකම් හට යවන ලද ඔවුන්ගේ මෑතකාලීන වාර්තාවට අනුව පවසා සිටින පරිදි, බහු විවාහයන් තවමත් චාරිත‍්‍රානුකූලව සිදුකරන බවත් එමෙන්ම පසුගිය ජුනි මාසයේ සිට හෝ පසුගිය අවුරුද්ද තුළ මෙවැනි විවාහ හතළිහක් හෝ ඊට වැඩි ගණනක් ගිවිසුම්ගත වී ඇති බවත්, එසේම සභාවේ වැඩිහිටියන් විසින් පොදු දේශනා වලදී, බහුභාර්යා විවාහ සිරිත පවත්වාගෙන යාම පිළිබඳ උගන්වා, දිරිමත් කර, සහ උනන්දු කර ඇති බවත්ය—

එසේහෙයින්, මම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපතිවරයා ලෙස, වඩාත් භාරදූර ආකාරයෙන්, මෙලෙස මෙම චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කර සිටිමි. අපි බහුභාර්යා විවාහය හෝ බහු විවාහය ගැන ඉගැන්වීම් නොකරන්නෙමු, එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට මෙම සිරිත තුළට ඇතුළත් වීමට අවසර නොදුන්නෙමු, තවද බහු විවාහයන් හතලිහක් හෝ වෙනත් කිසියම් සංඛ්‍යාවක් එම කාලපරිච්ඡේදය තුළ අපගේ දේවමාළිගාවන් හෝ භූමි ප්‍රදේශයේ වෙනත් කිසියම් ස්ථානයක චාරිත‍්‍රානුකූලව සිදුකළ බව මම ප්‍රතික්ෂේප කරන්නෙමි.

වාර්තා වී ඇති එක් සිද්ධියක් නම්, 1889 වසන්තයේ, සෝල්ට් ලේක් නගරයේ, බලයෙන් සැරසීමේ ගෘහයේ එවැනි විවාහයක් සිදුකරන ලද බවට එම කණ්ඩායම් වලින් චෝදනාවක් එල්ල වුණි, එහෙත් මට එම පිළිවෙත සිදුකරන ලද්දේ කවරෙක්දැයි දැනගැනීමට නොහැකි විය; මේ කාරණය සම්බන්ධයෙන් කවරාකාර හෝ ක්‍රියාවක් සිදුවී ඇත්තේ මාගේ අනුදැනුමෙන් තොරවය. මෙම චෝදනා ලද සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස, මාගේ උපදෙස් අනුව, බලයෙන් සැරසීමේ ගෘහය ප්‍රමාදයකින් තොරව වසා දමන ලදි.

කොන්ග‍්‍රසය මගින් බහු විවාහයන් තහනම් කිරීමට නීති බලාත්මක කර ඇති නිසාත්, එම නීති මහා අධිකරණය විසින් ව්‍යවස්ථානුකූලව ප්‍රකාශ කොට ඇති නිසාත්, එම නීති වලට අවනත වන බවට මගේ අභිප්‍රායද, එමෙන්ම මා විසින් සභාපතිත්වය දරන මාගේ සභාවේ සාමාජිකයන්ටත් එසේ කිරීමට මාගේ පෙළඹවීම භාවිතා කරන බවද මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි.

සඳහන් කර ඇති කාලය අතරතුර, සභාවට කළ මාගේ හෝ මාගේ සහායකයන්ගේ ඉගැන්වීම් අනුව, බහුභාර්යා විවාහය උගන්වන හෝ ඒ සඳහා දිරිමත් කරන සාධාරණ ලෙස අර්ථකථනය කළ හැකි කිසිවක් සිදුවී නැත; එමෙන්ම සභාවේ කිසියම් වැඩිහිටියෙක් විසින් එවැනි ඉගැන්වීමක් සඳහා තුඩුදෙන ලෙස පෙනෙන භාෂාවක් භාවිතා කළ විට, ඔහුට එසැණින්ම අවවාද කර ඇත. එමෙන්ම දේශයේ නීතිය මගින් තහනම් කරන ලද එවැනි විවාහ වලින් වැළකී සිටින ලෙස පසුදවස් වල ශුද්ධවන්තයන්ට දැන් මම මාගේ අවවාදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටින්නෙමි.

විල්ෆර්ඩ් වුඩ්රෆ්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන්
යුත් සභාවේ සභාපති.

සභාපති ලොරෙන්සෝ ස්නෝ විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලදි:

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපතිවරයා ලෙසත්, මුද්‍රා කිරීමේ නියෝග සඳහා යතුරු දරන වර්තමාන කාලයේ පොළොවේ එකම මනුෂ්‍යා ලෙසත්, විල්ෆර්ඩ් වුඩ්රෆ්ව අනුමත කරමින්, මම යෝජනා කරන්නේ, 1890 සැප්තැම්බර් 24 වන දින, අපගේ සවන්දීමට කියවන ලද එම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට ඔහුගේ තනතුර අනුව ඔහුට පූර්ණ අධිකාරිත්වය ඇති බව අපි සලකන බවය, එමෙන්ම සභාවක් ලෙස ප්‍රධාන සම්මන්ත්‍රණයේදී රැස්ව, බහු විවාහයන් පිළිබඳ ඔහුගේ ප්‍රකාශය බලාධිකාරී හා වලංගු බව අපි පිළිගන්නා බවය.”

සෝල්ට් ලේක් නගරය, යූටා, 1890 ඔක්තෝම්බර් 6.

ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව
සභාපති වුඩ්රෆ්ගේ
කතා තුනකින් උපුටාගැනීම්ය

ස්වාමින්වහන්සේ කෙදිනකවත් මට හෝ මෙම සභාවේ සභාපතිවරයා ලෙස සිටින කිසිඳු මනුෂ්‍යයෙකුට නුඹලාව නොමඟ යැවීමට ඉඩනොදෙන සේක. එය සැලසුමේ නැත. එය දෙවියන්වහන්සේගේ මනසෙහි නැත. මම ඒ සඳහා උත්සහ දරන්නේ නම්, ස්වාමින්වහන්සේ විසින් මාව මගේ ස්ථානයෙන් ඉවත් කරනු ඇත, එමෙන්ම දෙවියන්වහන්සේගේ එළිදරව් වලින් සහ ඔවුන්ගේ වගකීම් වලින් මනුෂ්‍ය දරුවන්ව නොමග යැවීමට උත්සහ කරන ඕනෑම මනුෂ්‍යයෙකුටද උන්වහන්සේ එසේ කරනු ඇත. (සභාවේ හැට-එක්වෙනි අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණය, 1890 ඔක්තෝම්බර් 06 වන සඳුදා දින, යූටා හි, සෝල්ට් ලේක් නගරය. 1890 ඔක්තෝම්බර් 11 වන දින, Deseret Evening News [ඩෙසරට් ඊවිනින් නිවුස්] හි 2 වන පිටුවේ වාර්තා විය.)

කවරෙකු ජීවත් වන්නේද හෝ මරණයට පත්වන්නේද, හෝ මෙම සභාව මෙහෙයවීමට කැඳවා ඇත්තේ කවුරුන්වද යන්න වැදගත් නොවන්නේය, ඔවුන් එය සර්වබලධාරී දෙවියන්වහන්සේගේ අනුභාවයෙන් යුතුව මෙහෙයවිය යුතු වන්නෝය. ඔවුන් එය ඒ ආකාරයට නොකරන්නේ නම්, ඔවුන්ට එය කෙසේවත් කළ හැකි නොවන්නේය. …

පසුව ලැබුණු එළිදරව් මා සමඟ ඇත, තවද ඒවා මා හට ඉතා වැදගත් ඒවාය, තවද ස්වාමින්වහන්සේ මට පැවසුවේ මොනවාදැයි මම නුඹලාට පවසන්නෙමි. ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස හඳුන්වන දෙයට ඔබේ මනස ගෙන ඒමට මට ඉඩදෙන්න. …

පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් ප්‍රශ්නයක් අසන ලෙස ස්වාමින්වහන්සේ මට පැවසුවේය, තවද උන්වහන්සේ මෙලෙසද මට පැවසුවේය එනම් මා පැවසූ දෙයට ඔවුන් සවන්දී තවද ඔවුන් මත තැබූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම්, දෙවියන්වහන්සේගේ ආත්මයෙන් සහ බලයෙන්, ඔවුන් සියල්ලෝම එක සමානව පිළිතුරු දෙන්නෝය, තවද මෙම කාරණය සම්බන්ධව ඔවුන් සියල්ලෝම එක සමානව විශ්වාස කරන්නෝය.

ප්‍රශ්නය මෙය වන්නේය; පසුදවස් වල ශුද්ධවන්තයන්ට අනුගමනය කළ හැකි ඥානාන්විතම ගමන්මග කුමක්ද—බහු විවාහයට එරෙහිව ජාතියේ නීති සහ මිලියන හැටක ජනතාවගේ විරුද්ධත්වය සමඟ, තවද සියලුම දේවමාළිගා රාජසන්තක වී අහිමි වී යාමේ, සහ ජීවත් වන්නන් සහ මළවුන් යන දෙපාර්ශවයම සඳහා එහි වූ සියලුම නියෝග නැවැත්වීමේ අවධානම සමඟ, තවද සභාවේ පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාද තවද පවුල් වල ගෘහමූලිකයන්ව සිරභාරයට ගැනීම සමඟ, තවද ජනතාවගේ පුද්ගලික දේපළ රාජසන්තක වීම සමඟ මෙම සිරිත දිගටම පවත්වාගෙන යාමද (මේ සියල්ලම සිදුවනු ඇත්තේ එම සිරිත නැවැත්වීම සඳහාය); නැතහොත්, මෙම මූලධර්මය උදෙසා අපගේ ඇදහිලිවන්ත කීකරුකම තුළින් අප සිදුකළ සහ පීඩා විඳි දේවලින් පසුව, අනාගතවක්තෘවරුන්ට, ප්‍රේරිතවරුන්ට සහ පියවරුන්ට ජනතාවට උපදෙස් දීමට සහ සභාවේ වගකීම් වලට සහභාගී වන්නට හැකිවන පරිදි, ඔවුන්ට නිවෙස් වල රැඳෙන්නට සලස්වමින්, තවද ශුද්ධවන්තයින්ට, ජීවත් වන්නන් සහ මළවුන් යන දෙපාර්ශවය සඳහාම, ශුභාරංචියේ නියෝග වලට සහභාගී වන්නට හැකිවන පරිදි, දේවමාළිගා ශුද්ධවන්තයින්ගේ අයිතියේ තැබෙන්නට ඉඩහරිමින්, මෙම සිරිත නවත්වා තවද නීතියට අවනත වීමද?

අපි මෙම සිරිත නවත්වන්නේ නැතිනම් සැබවින්ම සිදුවන්නේ කුමක්දැයි ස්වාමින්වහන්සේ මට දර්ශනයක් සහ එළිරදව්වක් මගින් පෙන්වනු ලැබුවේය. අපි එය නැවැත්වූයේ නොමැති නම්, නුඹලාගෙන් … මෙම ලෝගන් දේවමාළිගාවේ කිසිඳු මනුෂ්‍යයෙකුගෙන් ප්‍රයෝජනයක් නොමැති වන්නේය; මක්නිසාද සයොන දේශය පුරා සියලුම නියෝග නතර කරනු ලැබෙන්නට ඉඩ තිබිණි. ඉශ්‍රායෙලය පුරා ව්‍යාකූලතාවයක් ඇතිවන්නටත්, තවද බොහෝ මනුෂ්‍යයන් සිරගත කරනු ලැබෙන්නටත් ඉඩ තිබිණි. මෙම කරදරය මුළු සභාව මතම පැමිණෙන්නට ඉඩ තිබිණි, තවද මෙම සිරිත නැවැත්වීම සඳහා බලකෙරෙන්නට ඉඩ තිබිණි. දැන්, ප්‍රශ්නය මෙයයි, එය නැවැත්විය යුත්තේ මේ ආකාරයෙන්ද, නැතිනම් අපගේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් සහ පියවරුන් නිදහස් මනුෂ්‍යයන් ලෙස සිටිමින්, තවද මළවුන්ද ගැලවීම ලබන පිණිස, දේවමාළිගා ජනතාවගේ අයිතියේ තිබෙමින්, ස්වාමින්වහන්සේ අපට ප්‍රකාශ කළ ලෙසද? මෙම ජනතාව විසින් දැනටමත් ආත්මික ලෝකයේ හිරගෙදර සිට බොහෝ සංඛ්‍යාවක් මුදාහැර ඇත්තේය, තවද එම කාර්යය දිගටම සිදුවිය යුතුද, හෝ නැවතිය යුතුද? පසුදවස් වල ශුද්ධවන්තයන් ඉදිරියේ මම තබන ප්‍රශ්නය මෙයයි. නුඹලා නුඹලා සඳහාම විනිශ්චය කළ යුතු වන්නෝය. නුඹලා නුඹලා සඳහාම එයට පිළිතුරු දීම මට අවශ්‍ය වන්නේය. මම එයට පිළිතුරු නොදෙන්නෙමි; එහෙත් අපි මෙම ක්‍රියාමාර්ගය නොගත්තේ නම් ජනතාවක් ලෙස අපි පත්වන තත්වය නියත වශයෙන්ම මෙලෙස වන බව මම නුඹලාට පවසන්නෙමි.

… එහි යමක් සිදුකළේ නොමැතිනම් නියත වශයෙන්ම කුමක් සිදුවන්නේ දැයි මම දුටුවෙමි. බොහෝ කාලයක් තිස්සේ මෙම ආත්මය මා කෙරෙහි තිබිණි. එහෙත් මට මෙසේ පැවසීමට අවශ්‍යය: මා කළ දේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් මා හට කරන්නට ආඥා කර තිබුණේ නොමැතිනම්, සියලුම දේවමාළිගා නුඹලාගේ අයිතියෙන් පිටතට යාමට ඉඩදීමට මට තිබිණි; මා හිරගෙදරට යාමට ඉඩතිබිණි, තවද අනෙක් සියලුම මනුෂ්‍යයන්ටද එහි යාමට ඉඩදෙන්නට තිබිණි; තවද මට එසේ කිරීමට ආඥා කළ එම පැය පැමිණි විට, ඒ සියල්ල මට ඉතා පැහැදිලි විය. මම ස්වාමින්වහන්සේ ඉදිරියට ගියෙමි, තවද මා ලිවිය යුතු යැයි ස්වාමින්වහන්සේ මට පැවසූ දේ මම ලිව්වෙමි. …

මම මෙය නුඹලා සමඟ තබා යන්නෙමි, මක්නිසාද නුඹලා මෙය සිතින් විමසා තවද සැලකිල්ලට ගැනීම පිණිසය. ස්වාමින්වහන්සේ අප සමඟ ක්‍රියාකරන සේක. (කෑෂ් ස්ටේක සම්මන්ත්‍රණය, ලෝගන්, යූටා, 1891 නොවැම්බර් 1 වන ඉරිදා. 1891 නොවැම්බර් 14, Deseret Weekly [ඩෙසරට් වීක්ලි] හි වාර්තා විය.)

මෙම කාරණය තුළ මා හට ප්‍රකාශ කරනු ලැබුවේ කුමක්ද සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ඉටුකළේ කුමක්ද යන්න මම දැන් නුඹලාට පවසන්නෙමි. … එම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදී නොතිබුනා නම්, සර්වබලධාරී දෙවියන්වහන්සේ ජීවත් වන්නා සේම, මෙම සියලු දේවල් සිදුවීමට ඉඩ තිබිණි. එසේහෙයින්, උන්වහන්සේගේ ස්වකීය මනසේ අරමුණු වලට අනුව එම දේ සභාවට සහ ලෝකයට ඉදිරිපත් කළ යුතු බව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හට කැමැත්තක් ඇතිවුණි. සයොනයේ පිහිටුවීම ස්වාමින්වහන්සේ විසින් නියෝග කර ඇත්තේය. මෙම දේවමාළිගාව නිමකිරීමට උන්වහන්සේ විසින් නියෝග කර ඇත්තේය. තවද ජීවත් වන්නන්ගේ සහ මළවුන්ගේ ගැලවීම මෙම කඳුකරයේ නිම්න වලදී ලබාදිය යුතු බව උන්වහන්සේ විසින් නියෝග කර ඇත්තේය. තවද යක්ෂයා විසින් එයට බාධා නොකළ යුතු බව සර්වබලධාරී දෙවියන්වහන්සේ විසින් නියෝග කර ඇත්තේය. නුඹලාට එය තේරුම්ගත හැකිනම්, ඒ සඳහා ප්‍රධාන හේතුව එය වන්නේය. (1893 අප්‍රියෙල් මාසයේ, සෝල්ට් ලේක් දේවමාළිගාව කැපකිරීමේ හයවන රැස්වීමේ දේශනාවකින්ය. කැපකිරීමේ සේවාවන්ගේ යතුරුලිඛිතය, සංරක්ෂණාගාරය, සභා ඓතිහාසික දෙපාර්තමේන්තුව, සෝල්ට් ලේක් නගරය, යූටා.)