ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 55


55 වන කොටස

1831 ජුනි 14, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් විලියම් ඩබ්. ෆෙල්ප්ස් හට දෙනු ලැබූ එළිදරව්වකි. මුද්‍රණකරුවෙකු වූ, විලියම් ඩබ්. ෆෙල්ප්ස්, සහ ඔහුගේ පවුල කර්ට්ලන්ඩ් වෙතට පැමිණි විගස, තවද අනාගතවක්තෘවරයා ඔහු සම්බන්ධව තොරතුරු උදෙසා ස්වාමින්වහන්සේගෙන් විමසීය.

1–3, විලියම් ඩබ්. ෆෙල්ප්ස්ව බව්තීස්ම වීමට, සහ වැඩිහිටියකු ලෙස නියම වීමට, සහ ශුභාරංචිය දේශනා කිරීමට කැඳවා සහ තෝරාගෙන ඇත; 4, ඔහු එසේම සභාවේ පාසල් වල සිටින දරුවන් සඳහා පොත් ලියන්නේය; 5–6, ඔහුගේ වෙහෙසවීමේ ප්‍රදේශය වන, මිසුරි වෙත ගමන් කිරීමට ඔහුට නියමිත විය.

1 බලන්න, නුඹ හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, මාගේ සේවක විලියම්, එසේය, මුළු පොළොවේම ස්වාමින්වහන්සේ වුවත්, නුඹව කැඳවා තෝරාගෙන ඇති සේක; තවද නුඹ ජලයෙන් බව්තීස්ම වූ පසු, එය මාගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව නුඹ කරන්නේ නම්, නුඹ නුඹගේ පාපයන්ගෙන් මිදීම ලැබ තවද අත් තැබීම මගින් ශුද්ධාත්මයාණන්වහන්සේ ලබන්නෙහිය;

2 තවද ඉන්පසුව ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලැබීමේ ආකාරය අනුව, පව් කමාව ලබාගැනීම පිළිබඳ සහ පසුතැවිල්ල පිළිබඳ දේශනා කිරීම සඳහා, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ අත් වලින්, මෙම සභාවට වැඩිහිටියෙකු වීමට නියම කරනු ලබන්නේය.

3 තවද කවරෙකු මත හෝ වුවත් නුඹ අත් තබන්නේද, මා ඉදිරියේ ඔවුන් පසුතැවිලි වන්නේ නම්, ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාදීමට නුඹට බලය ඇත්තේය.

4 තවද නැවතත්, නුඹව මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි හට මුද්‍රණය කිරීමේ කාර්යයන් කිරීමටද, තවද මෙම සභාවේ පාසැල් උදෙසා පොත් තෝරාගෙන ලිවීමටද උපකාර වීම සඳහා නියම කරනු ලබන්නේය, එනම් එසේම එය මා ඉදිරියේ කුඩා දරුවන් උපදේශ ලැබීම මා හට ප්‍රසන්නය.

5 තවද නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මෙම කාරණය උදෙසා නුඹ මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් සමඟ නුඹගේ ගමන යන්න, එනම් මෙම කාර්යය කිරීම සඳහා නුඹගේ උරුමයේ දේශයේ නුඹව නවතනු ලබන පිණිසය.

6 තවද නැවතත්, මාගේ සේවක ජෝසෆ් කෝ හටද එසේම ඔවුන් සමඟ ඔහුගේ ගමන යන්නට සලස්වන්න. මාගේ කැමැත්තට අනුව වුවත්, මෙයින් පසුව ඉතිරිය දැනගැනීමට සලස්වන්නෙමි. ආමෙන්.