ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 31


31 වන කොටස

1830 සැප්තැම්බර්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් තෝමස් බී. මාර්ෂ් හට දෙනු ලැබූ එළිදරව්වකි. එම අවස්ථාව සභාවේ සම්මන්ත්‍රණයක් නිමවූ විගසම විය (30 වන කොටසේ ශීර්ෂය බලන්න). තෝමස් බී. මාර්ෂ්ව මාසයේ මුල බව්තීස්ම කරනු ලැබ ඇති අතර තවද සභාවේ වැඩිහිටියෙකු ලෙස නියම කරනු ලැබීමට පසු මෙම එළිදරව්ව දෙන ලද්දේය.

1–6, තෝමස් බී. මාර්ෂ්ව ශුභාරංචිය දේශනා කිරීමට කැඳවනු ලදුව තවද ඔහුගේ පවුලේ සුභ සිද්ධිය සහතික වේ; 7–13, ඉවසිලිවන්ත වීමට, සැමවිටම යාච්ඤා කිරීමට, සහ සැනසිලිදායකයාණන් අනුව යෑමට ඔහු උපදේශ ලබයි.

1 තෝමස්, මාගේ පුත්‍රය, මාගේ කාර්යය තුළ නුඹගේ ඇදහිල්ල නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය.

2 බලන්න, නුඹගේ පවුල නිසා නුඹට බොහෝ පීඩාවන් වූවෙහිය; එසේවුවද, මම නුඹට සහ නුඹගේ පවුලට, එසේය, නුඹගේ කුඩා අයටත් ආශිර්වාද කරන්නෙමි; තවද ඔවුන් විශ්වාස කරමින් තවද සත්‍යය දැන නුඹ සමඟ එක්වී මාගේ සභාවේ සිටින දවස පැමිණෙන්නේය.

3 නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න, මක්නිසාද නුඹගේ ධර්මදූතයේ පැය පැමිණ ඇත්තේය; තවද නුඹගේ දිව ලිහිල් වන්නේය, තවද නුඹ මෙම පරම්පරාවට මහත් ප්‍රීතියකින් යුතු සුභ පණිවිඩ ප්‍රකාශ කරන්නෙහිය.

4 මාගේ සේවක, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට එළිදරව් වූ එම දේවල් නුඹ ප්‍රකාශ කරන්නෙහිය, එසේය, ගිනි තැබීමට දැනටමත් පැසී ඇති එම කුඹුර නෙලාගැනීමට, නුඹ මෙතැන් පටන් දේශනා කිරීම ආරම්භ කරන්නෙහිය.

5 එසේහෙයින්, නුඹගේ සියලු ප්‍රාණයෙන් නුඹගේ දෑකැත්ත දමන්න, තවද නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත්තේය, තවද නුඹගේ පිටෙහි ධාන්‍යය ගෝනි සමඟ බර පටවනු ලබන්නේය, මක්නිසාද වෙහෙසෙන්නා ඔහුගේ කුලියට සුදුසුය. එසේහෙයින්, නුඹගේ පවුල ජීවත් වන්නේය.

6 බලන්න, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, ඔවුන් වෙතින් ස්වල්ප කාලයකට පමණක් යන්න, තවද මාගේ වචනය ප්‍රකාශ කරන්න, තවද මම ඔවුන්ට ස්ථානයක් පිළියෙල කරන්නෙමි.

7 එසේය, මම ජනතාවගේ හදවත් විවෘත කරන්නෙමි, තවද ඔවුහු නුඹව පිළිගන්නෝය. තවද මම නුඹගේ හස්තයෙන් සභාවක් පිහිටුවාලන්නෙමි;

8 තවද නුඹ ඔවුන්ව රැස්කරන කාලය උදෙසා ඔවුන්ව සවිමත් කරමින් සහ ඔවුන්ව සූදානම් කරන්නෙහිය.

9 පීඩාවන්හිදී ඉවසිලිවන්ත වන්න, එම නින්දා කරන්නන්ට විරුද්ධව නින්දා නොකරන්න. නුඹගේ ගෘහය යටහත්කමින් පාලනය කරන්න, තවද ස්ථිරව සිටින්න.

10 බලන්න, මම නුඹ හට පවසන්නෙමි එනම් නුඹ සභාව හට වෛද්‍යවරයෙක් වන්නේය, එහෙත් ලෝකය වෙතට නොවන්නේය, මක්නිසාද ඔවුහු නුඹව පිළිනොගන්නෝය.

11 මා කැමැති කුමනාකාර ස්ථානයකට හෝ නුඹ ගමන් කරන්නෙහිය, තවද නුඹ කුමක් කළ යුත්තේද නුඹ කොහේ ගමන් කළ යුත්තේද යන්න සැනසිලිදායකයාණන් මගින් නුඹට දෙනු ලබන සේක.

12 පරික්ෂාවට නුඹ ඇතුළත් වී තවද නුඹගේ විපාකය නැතිකර නොගන්නා පිණිස, සැමවිටම යාච්ඤා කරන්න.

13 අවසානය දක්වා ඇදහිලිවන්තව සිටින්න, තවද බලව, මම නුඹ සමඟ වන්නෙමි. මෙම වචන මනුෂ්‍යයෙකු හෝ මනුෂ්‍යයන්ගෙන් නොවන්නේය, එහෙත් මාගෙන් වන්නේය, පියාණන්ගේ කැමැත්ත මගින්, නුඹගේ මිදුම්කාරයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ය. ආමෙන්.