ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 90


90 වන කොටස

1833 මාර්තු 8, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව පළමු සභාපතිත්වය පිහිටුවාලීම තුළ අඛණ්ඩ පියවරකි (81 වෙනි කොටසේ ශීර්ෂය බලන්න); එහි ප්‍රතිඵලයක් ලෙස, මෙහි සඳහන් වන උපදේශකවරුන්ව 1833 මාර්තු 18 වන දින නියම කරන ලදි.

1–5, රාජ්‍යයේ යතුරු ජෝසෆ් ස්මිත්ටත් එමෙන්ම ඔහු හරහා සභාවටත් කැපකර ඇත; 6–7, සිඩ්නි රිග්ඩන් සහ ෆෙඩ්‍රික් ජී. විලියම්ස් පළමු සභාපතිත්වයේ සේවය කළ යුතුය; 8–11, ශුභාරංචිය සියළු මනුෂ්‍යයන් හට ඔවුන්ගේ ස්වකීය භාෂාවෙන් අසන්නට සලස්වමින්, ඉශ්‍රායෙල් ජාතීන්ට, තවද අන්‍ය ජාතීන්ටද, තවද යුදෙව්වන්ටද දේශනා කළ යුතු වන්නේය; 12–18, ජෝසෆ් ස්මිත් සහ ඔහුගේ උපදේශකයන් සභාව පිළිිවෙලට සංවිධානය කළ යුතු වන්නෝය; 19–37, විවිධ පුද්ගලයන්ට ඍජුව ගමන් කරමින් තවද උන්වහන්සේගේ රාජ්‍යයේ සේවය කිරීමට ස්වාමින්වහන්සේ විසින් උපදෙස් දෙනු ලබයි.

1 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, සැබවක්, සැබවක් මාගේ පුත්‍රය මම නුඹ හට පවසන්නෙමි, නුඹගේ ඉල්ලීම අනුව, නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත්තේය, නුඹගේ යාච්ඤාවන් සහ නුඹගේ සහෝදරයන්ගේ යාච්ඤාවන් මාගේ කන් වෙතට පැමිණ ඇත්තේය.

2 එසේහෙයින්, නුඹ හට දෙන ලද්දාවූ රාජ්‍යයේ යතුරු දරන නුඹ මෙතැන් පටන් ආශිර්වාද ලද්දෙහිය; එම රාජ්‍යය අවසන් වරට පෙරට පැමිණෙන්නේය.

3 සැබවක් මම නුඹ හට පවසන්නෙමි, නුඹ මෙම ලෝකයේ සිටියදීත්, එලෙසම මතු ලෝකයේදීවත්, මෙම රාජ්‍යයේ යතුරු කිසිදාක නුඹගෙන් ගනු නොලබන්නේය;

4 එසේවුවද, නුඹ තුළින් අනාගතවාක්‍යය තවත් අයෙකුට, එසේය, සභාව වෙතට වුවත් දෙනු ලබන්නේය.

5 තවද දෙවියන්වහන්සේගේ අනාගතවාක්‍යයන් ලැබූ සියල්ලන්ට, ඔවුන් ඒවා සුළු දෙයක් ලෙස ගණන් නොදීම පිණිස ඒවා දරන්නට ඔවුන්ට සැලකිලිමත් වන්නට සලස්වන්න, තවද එසේ වුවහොත් ඔවුන් හෙළාදකිනු ලැබ, කුණාටු පහතට හමායද්දී සහ සුළං හමද්දී, වර්ෂාව පහතට විත් ඔවුන්ගේ නිවෙස් වලට පහර දෙද්දී, ඔවුන් පැකිළී වරදෙහි වැටී යනු ලබන්නෝය.

6 තවද නැවතත්, සැබවක් මම නුඹගේ සහෝදරයන් වූ සිඩ්නි රිග්ඩන් සහ ෆෙඩ්‍රික් ජී. විලියම්ස් හට පවසන්නෙමි, ඔවුන්ගේ පාපයන් සඳහා ඔවුන්ටද සමාව දී ඇත්තේය, තවද ඔවුන් නුඹ සමඟ ඒ හා සමානවම මෙම අවසාන රාජ්‍යයේ යතුරු දැරීමට ගණන්ගනු ලබන්නේය;

7 තවද එසේම සංවිධානය කිරීමට මා ආඥා කළ, අනාගතවක්තෘවරුන්ගේ පාසලේ යතුරු පරිපාලනය කිරීමේ වගකීමද ඔවුන් සඳහා ඔබට හා සමානවම වන්නේය;

8 එනම් එමගින් සයොනයේද, ඉශ්‍රායෙල් ජාතීන්ගේද, තවද අන්‍ය ජාතිකයන්ගේද, විශ්වාස කරන බොහෝ අයගේද, ගැලවීම සඳහා ඔවුන්ගේ දේවසේවයේ ඔවුන් පරිපූර්ණ වන පිණිසය;

9 එනම් නුඹගේ පරිපාලනය තුළින් ඔවුන් වචනය ලබන පිණිසය, තවද ඔවුන්ගේ පරිපාලනය තුළින් පොළොවේ අන්තයන් දක්වා, පළමුව අන්‍ය ජාතීන් වෙතටත්, තවද ඉන්පසු, බලන්න, තවද බලව, ඔවුන් යුදෙව්වන් වෙතට හැරෙන පිණිසත්, වචනය ගමන් කරන පිණිසය.

10 තවද එවිට ස්වාමින්වහන්සේගේ හස්තය බලයෙන් එළිදරව් වී, ජාතීන්ටත්, මිථ්‍යාදෘෂ්ටික ජාතීන්ටත්, යෝසෙප්ගේ නිවෙසියන්ටත්, ඔවුන්ගේ ගැලවීමේ ශුභාරංචිය ඒත්තුගන්වන්නාවූ දවස පැමිණෙන්නේය.

11 මක්නිසාද එය එම දවසේදී මෙසේ සිදුවන්නේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් සඳහා ඔවුන් මත වැගිරවූ, සැනසිලිදායකයාණන්ගේ මෙහෙකිරීම තුළින්, මෙම බලය සඳහා නියම කර ඇති අය මගින්, සෑම මිනිසෙකුම, ශුභාරංචියේ පූර්ණත්වය ඔහුගේම ස්වකීය භාෂාවෙන්, සහ ඔහුගේම ස්වකීය වචනයෙන්, අසනු ලබන්නෝය.

12 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා දේවසේවයේ සහ සභාපතිත්වයේ පැවතිය යුතුයැයි මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

13 තවද නුඹලා ආනගතවක්තෘවරුන්ගේ පරිවර්තන අවසන් කළ පසු, එතැන්සිට නුඹලා සභාවේ සහ පාසැලේ කටයුතු වල මුලසුන දැරිය යුතු වන්නෝය;

14 තවද කාලයෙන් කාලයට, සැනසිලිදායකයාණන් විසින් එළිදරව් කරන පරිදි, රාජ්‍යයේ අභිරහස් හෙළිකරගැනීමට එළිදරව් ලබාගන්නෝය;

15 තවද සභාවල් නිසි පිළිවෙලට තබාගන්න, තවද අධ්‍යයනය කරන්න සහ ඉගෙනගෙන්න, තවද යහපත් පොත් සමඟ, සහ භාෂා, වචන, සහ ජනතාව සමඟ හුරුපුරුදු වන්න.

16 තවද මෙය නුඹලාගේ මුළු ජීවිත කාලයේම කාර්යය සහ ධර්මදූතය වන්නේය, එනම් මන්ත්‍රණ සභාවේ මූලාසනය ගැනීම, සහ මෙම සභාවේ සහ රාජ්‍යයේ සියලු කටයුතු නිසි පිළිවෙලට තබාගැනීමය.

17 ලැජ්ජා නොවන්න, ව්‍යාකූල නොවන්න; එහෙත් නුඹලාගේ සියලු ආඩම්බරකම සහ අහංකාරය ගැන අවවාදයන් ලබාගන්න, මක්නිසාද එය නුඹලාගේ ප්‍රාණයන් මත උගුලක් අටවන්නේය.

18 නුඹලාගේ නිවෙස් ක්‍රමානුකූලව සකස්කරගන්න; අලසකම සහ අපවිත්‍රභාවය නුඹලා වෙතින් ඈතින් ඉවත්කොට තබන්න.

19 දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, හැකි ඉක්මණින්, ෆෙඩ්‍රික් ජී. විලියම්ස් වන, නුඹගේ උපදේශකයා සහ ලියන්නා ගේ පවුල උදෙසා එහි ස්ථානයක් සපයන්න.

20 තවද මාගේ වයස්ගත සේවකයා වන, ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ හට ඔහුගේ පවුල සමඟ ඔහු දැන් ජීවත්වන ස්ථානයේ සිටීමට ඉඩදෙන්න; තවද ස්වාමින්වහන්සේගේ මුඛයෙන් නම්කර පවසන තුරු එය විකිණීමට ඉඩනොදෙන්න.

21 තවද මාගේ උපදේශක, සිඩ්නි රිග්ඩන්ට වුවත්, ස්වාමින්වහන්සේගේ මුඛයෙන් නම්කර පවසන තුරු ඔහු දැනට ජීවත්වන ස්ථානයේ සිටීමට ඉඩදෙන්න.

22 තවද නියෝජිතයකු ලබාගැනීමට සභානායකවරයාට උද්යෝගයෙන් සොයන්නට සලස්වන්න, තවද ඔහු පොහොසත්කම් ඇති මනුෂ්‍යයෙකු—දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු, තවද ශක්තිමත් ඇදහිලිවන්තයෙකු වියයුතු වන්නට සලස්වන්න—

23 එනම් එමගින් ඔහුට සියලු ණය ඉවත්කර ගැනීමට හැකිවන පිණිසද; එනම් ස්වාමින්වහන්සේගේ ගබඩා ගෘහය ජනතාවගේ ඇස් ඉදිරියේ අපකීර්තියක් නොවන පිණිසදය.

24 උද්‍යෝගීමත්ව සොයන්න, නිතර යාච්ඤා කරන්න, තවද විශ්වාසයෙන් සිටින්න, තවද නුඹලා එකිනෙකා සමඟ ගිවිසගත් ගිවිසුම් සිහිකරමින් නුඹලා ඍජුව ගමන් කරන්නේ නම්, තවද සියලු දේවල් නුඹලාගේ යහපත උදෙසා ක්‍රියාකරන්නේය.

25 තවද නුඹලාගේ පවුල් කුඩාව පවතීවා, විශේෂයෙන් මාගේ වයස්ගත සේවක ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ හට මේ නුඹලාගේ පවුල් වලට අයත් නොවන අය සම්බන්ධයෙනි;

26 එනම් මාගේ ක්‍රියාවන් සිදුකිරීම උදෙසා, නුඹලා උදෙසා සපයාදී ඇති එම දේවල්, නුඹලා වෙතින් රැගෙන තවද සුදුසු නොවන අයවළුන්ට නොදෙන පිණිසය—

27 තවද එමගින් මා විසින් නුඹලාට ආඥා කළ එම දේවල් සම්පූර්ණ කිරීමට නුඹලාට බාධා වන්නේය.

28 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මගේ සහායිකාව වියේනා ජෙක්ස් ඇගේ වියදම් සඳහා සහ සයොන දේශයට යාම සඳහා මුදල් ලැබිය යුතුවීම මාගේ කැමැත්ත වන්නේය;

29 තවද ඉතිරි වූ මුදල මා වෙතට කැපකරනු ලැබිය යුතු වන්නේය, තවද ඇය මාගේ ස්වකීය කාලයේදී විපාක ලබන්නීය.

30 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් ඇය සයොන දේශයට යාමද, තවද සභානායකවරයාගේ අතින් උරුමයක් ලැබීමද, මාගේ දෑස් ඉදිරියේ යහපත් වන්නේය;

31 එනම් එපමණකින් ඇය ඇදහිලිවන්ත වන්නේ නම් ඇය සමාදානයෙන් ජීවත් වන පිණිසය, තවද මෙතැන් සිට ඇයගේ දවස් වලද නිකරුණේ නොසිටීමටය.

32 තවද බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා මෙම ආඥාව ලිවිය යුතු වන්නෝය, එනම් මාගේ ස්වකීය නියමිත කාලයේදී සයොනය මත මූලාසනය දැරීමට මම නුඹලාව කැඳවූ බව, ප්‍රේමයේ ආචාරයකින්, නුඹලාගේ සයොනයේ සිටින්නාවූ සහෝදරයන් වෙතට පැවසිය යුතු වන්නේය.

33 එසේහෙයින්, ඔවුන්ව මෙම කාරණාව සම්බන්ධයෙන් මා වෙහෙස කිරීමෙන් වැළකී සිටීමට සලස්වන්න.

34 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි එනම් සයොනයේ සිටින නුඹලාගේ සහෝදරයන් පසුතැවිලි වීමට පටන්ගෙන ඇත, තවද ඔවුන් මත දේවදූතයෝ ප්‍රීති ප්‍රමුදිත වන්නෝය.

35 එසේවුවද, බොහෝ දේවල් සමඟ මම ප්‍රසන්න නොවෙමි; තවද මම මාගේ සේවක විලියම් ඊ. මැක්ලෙලින් සමඟද, මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට් සමඟද ප්‍රසන්න නොවෙමි; තවද එසේම සභානායකවරයාද, තවද අනෙක් අයවළුන්ටද පසුතැවිලි වීමට බොහෝ දේවල් ඇත්තේය.

36 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් ස්වාමින්වහන්සේ වන, මම, සයොනය සමඟ ගැටෙන්නෙමි, තවද ඇයගේ ශක්තිමත් අය සමඟ අයදින්නෙමි, තවද මා ඉදිරියේ පිරිසිඳුව ඇය ජයගන්නා තුරු ඇයට තරවටු කරන්නෙමි.

37 මක්නිසාද ඇයව ඇයගේ ස්ථානයෙන් පිටතට ඉවත් කරනු ලබන්නේය. ස්වාමින්වහන්සේ වන, මම, එය ප්‍රකාශ කළෙමි. ආමෙන්.