ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 20


20 වන කොටස

නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, සභා සංවිධානය සහ පාලනය පිළිබඳ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දුන් එළිදරව්වකි. 1830 ගිම්හානයේ මුලදීම මෙම එළිදරව්වෙන් කොටසක් ලබාදී ඇත. එවකට ලිපි සහ ගිවිසුම් ලෙස හැඳින්වූ, සම්පූර්ණ එළිදරව්ව, 1830 අප්‍රියෙල් 6 වන දිනට (සභාව සංවිධානය කළ දිනය) පසුව වාර්තා විය. අනාගතවක්තෘවරයා මෙසේ ලීවේය, “අපි උන්වහන්සේ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] ගැන පහත සඳහන් දේ අනාවැකි කීමේ ආත්මයෙන් සහ එළිදරව්වෙන් ලබාගත්තෙමු; එයින් බොහෝ තොරතුරු පමණක් නොව, නමුත් එසේම අප හට, උන්වහන්සේගේ කැමැත්තට සහ ආඥාවන්ට අනුව, උන්වහන්සේගේ සභාව මෙහි පොළොව මත නැවතත් සංවිධානය කිරීමට අප ක්‍රියා කළ යුතු එම නියත දිනයද පෙන්වා දුන් සේක.”

1–16, මොර්මොන්ගේ පොත පසුදවස් වල කටයුතු වල දිව්‍යමය බව ඔප්පු කරන්නේය; 17–28, මැවීම, වැටීම, වන්දිගෙවීම, සහ බව්තීස්මය පිළිබඳ මූලධර්ම සහතික කරයි; 29–37, පසුතැවිල්ල, සාධාරණීකරණය, පරිශුද්ධකරණය, සහ බව්තීස්මය පාලනය වන ව්‍යවස්ථා පිහිවනු ලැබෙයි; 38–67, වැඩිහිටියන්ගේ, පූජකයන්ගේ, ගුරුවරුන්ගේ සහ උපස්ථායකවරුන්ගේ වගකීම් සංෂිප්ත කෙරේ; 68–74, සමාජිකයන්ගේ වගකීම්, දරුවන් ආශිර්වාද කිරීම, සහ බව්තීස්ම ක්‍රමය එළිදරව් කෙරේ; 75–84, සක්‍රමේන්තු යාච්ඤාව සහ සභා සමාජිකත්වය පාලනය කරන රෙගුලාසි දෙනු ලැබෙයි.

1 මෙම පසුදවස් වලදී ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ආරම්භය, අපගේ ස්වාමින් වූ සහ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංශයෙන් යුතුව පැමිණීමේ එක්දහස් අටසිය තිස්වන වසරේදී, හතරවන මාසයේ, අප්‍රියෙල් යැයි නම් කරන ලද මාංශයෙන් යුතුව හයවන දිනයේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට සහ ආඥාවන්ට අනුව, අපගේ රටේ නීතියට අනුකූලව, ක්‍රමානුකූලව සංවිධානය කර පිහිටුවනු ලබයි—

2 එම ආඥාවන් දෙනු ලැබූයේ ජෝසෆ් ස්මිත්, කණිෂ්ඨ හටය, ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබ, මෙම සභාවේ පළමුවන වැඩිහිටියා වීමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස නියම කරවනු ලැබීය;

3 තවද එසේම ඔලිවර් කවුඩ්‍රිවද, දෙවියන්වහන්සේ විසින්, සභාවේ දෙවන වැඩිහිටියා වීමට, යේසුස් කිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙක් ලෙස කැඳවනු ලැබ, තවද ඔහුගේ හස්තයෙන් නියම කරනු ලැබීය;

4 තවද මෙය අපගේ ස්වාමින් වූ සහ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවට අනුවය, දැන් සහ සදාකාලයටම යන දෙකටම, උන්වහන්සේට සියලු මහිමය වේවා. ආමෙන්.

5 තවද මෙම පළමුවන වැඩිහිටියා ඔහුගේ පාපයන්ට පව් කමාව ලැබී, ඔහුට එය සත්‍ය ලෙසම ප්‍රකාශ වීමෙන් පසුව, නැවතත් ඔහු ලෝකයේ හිස් දේවලට පටලැවින;

6 එහෙත් පසුතැවිලි වී, ඇදහිල්ල තුළින්, ඔහුවම අවංකව යටහත් කරගත් පසුව, දෙවියන්වහන්සේ ඔහු හට ශුද්ධ වූ දේවදූතයෙකු මගින් දේවසේවය ලබාදුන් සේක, ඔහුගේ මුහුණුවර විදුලිය සේය, තවද ඔහුගේ වස්ත්‍ර අනෙකුත් සියලු සුදු වර්ණයන්ට වඩා පවිත්‍ර සහ සුදු වර්ණයෙන් යුත් විය;

7 තවද ඔහු හට ආඥාවන් දුන් අතර එයින් ඔහුට අනුභාවය ලැබුනි;

8 තවද මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට ඔහුට ඉහළින් බලය දෙනු ලැබීය, එය පෙරදී සූදානම් කළ ආකාරයෙන්ය;

9 එහි ඇතුළත් වන්නේ වැටුනු ජනතාවකගේ වර්තාවක් සහ අන්‍ය ජාතිකයන්ට මෙන්ම යුදෙව්වරුන්ටද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වයයි;

10 එය අනුග්‍රහයෙන් දෙනු ලැබ, තවද දේවදූතයන්ගේ දේවසේවය කරනු ලැබීමෙන් අනෙක් අයවළුන්ට සහතික කර, තවද එය ඔවුන් විසින් ලෝකයට ප්‍රකාශ කරනු ලැබීය—

11 ශුද්ධලියවිලි සත්‍ය බවට ලෝකයාට ඔප්පු කරමින්, තවද දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට අනුභාවය ලබාදෙමින්, මෙම කාලයේ සහ පරම්පරාවේදී, පැරණි පරම්පරාවේ මෙන්ම ඔවුන්ව උන්වහන්සේගේ ශුද්ධ වූ ක්‍රියාවන් කිරීමට කැඳවන සේක;

12 එමගින් එනම් දෙවියන්වහන්සේ උන්වහන්සේ ඊයෙත්, අදත්, සදාකාලයටමත් ඒකාකාර බව පෙන්වීමටය, ආමෙන්.

13 එසේහෙයින්, මෙයින් පසු බොහෝදෙනක් මෙම කාර්යයේ දැනීමට පැමිණෙන්නේ වුවද, එවන් ඉතා ශ්‍රේෂ්ඨ සාක්ෂිකරුවන් සිටීමෙන්, ඔවුන් විසින් ලෝකය විනිශ්චය කරනු ලබන්නේය.

14 තවද එය ඇදහිල්ලෙන් ලබන අයවළුන්ද, ධර්මිෂ්ඨ ක්‍රියාවේ යෙදෙනවුන්ද, සදාකාල ජීවනයේ ඔටුන්න ලබන්නෝය;

15 එහෙත් අවිශ්වාසයෙන් ඔවුන්ගේ හදවත් දැඩිකරගෙන, තවද එය ප්‍රතික්ෂේප කරන්නන්ට, එය ඔවුන්ගේ ස්වකීය හෙළාදැකීමකට හරවනු ලබන්නේය—

16 මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ එය ප්‍රකාශ කළ සේක; තවද සභාවේ වැඩිහිටියන් වන අප, මහිමය සදාකාලයෙන් සදාකාලයට උන්වහන්සේගේ වන්නා වූ, උසස්ථානයන්හි තේජාන්විත මහිමවත් තැනැන්වහන්සේගේ වචන අසා තවද සාක්ෂි දරන්නෙමු. ආමෙන්.

17 මෙම දේවල් තුළින් ස්වර්ගයෙහි දෙවි කෙනෙක් සිටින බව අපි දන්නෙමු, උන්වහන්සේ අපරිමිතය තවද සදාකාලිකය, සදාකාලයෙන් සදාකාලයට වෙනස් නොවන එකම දෙවියන්වහන්සේය, ස්වර්ගයේ සහ පොළොවේද, එහි වූ සියලු දේවල් වලද නිර්මාතෘය;

18 තවද උන්වහන්සේ, මිනිසා මැවූ සේක, පුරුෂයාද ස්ත්‍රියද, තමන්වහන්සේගේ ප්‍රතිරූපයෙන් සහ තමන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ ඔවුන් මැවූ සේක;

19 තවද එනම් ඔවුන් එකම ජීවමාන සහ සත්‍ය වූ දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කළ යුතු බවටත්, ඔවුන් නමස්කාර කළ යුතු වූ එකම තැනැන්වහන්සේ විය යුත්තේ උන්වහන්සේ බවටත්, ඔවුන් හට ආඥා කළ සේක.

20 නමුත් මෙම ශුද්ධ වූ නීති කඩකිරීම මගින් මිනිසා කාමුක සහ යක්ෂාකාර බවට පැමිණ, තවද වැටුනු බවට පත්විය.

21 එසේහෙයින්, සර්වබලධාරී දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දුන් සේක, තවද එය උන්වහන්සේ ගැන දී තිබෙන එම ශුද්ධලියවිලි වල ලියවී ඇත්තේය.

22 උන්වහන්සේ පරීක්ෂාවන් වින්ද නමුත් ඒවාට ඇහුම්කන් නොදුන් සේක.

23 උන්වහන්සේ කුරුසිපත් කොට, මරණයට පත්ව, තවද තුන්වන දින නැවතත් නැගිටුනු සේක;

24 තවද පියාණන්වහන්සේගේ කැමැත්තට අනුව, සර්වබලධාරී බලයෙන් රජකම් කිරීමට, පියාණන්වහන්සේගේ දකුණු පාර්ශවයේ හිඳගැනීම සඳහා, ස්වර්ගයට නැගුනු සේක;

25 එනම් බොහෝ උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් විශ්වාස කොට බව්තීස්මය ලබනවා සේම, තවද අවසානය දක්වා ඇදහිල්ලෙන් දරා සිටින්නේ නම්, ගලවනු ලබන්නේය—

26 උච්චතම කාලයේ, මාංශයෙන් යුතුව, උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව විශ්වාස කළ අය පමණක් නොව, නමුත් ආරම්භයේ සිට, උන්වහන්සේගේ පැමිණීමට පෙර සිටි බොහෝ අයද, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ වචන විශ්වාස කළ, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවේ ආනුභාවයෙන් කතා කළ අයද, සියලු දේවලදී උන්වහන්සේ ගැන අවංකවම සාක්ෂි දැරූ අයද, සදාකාල ජීවනය ලබාගන්නෝය,

27 එමෙන්ම පියාණන් සහ පුත්‍රයාණන් ගැන සාක්ෂි දරන්නා වූ, දෙවියන්වහන්සේගේ දීමනාවන් සහ කැඳවීම් පිළිබඳ ශුද්ධාතමයාණන්වහන්සේ තුළින් විශ්වාස කරන්නා වූ, පසුව පැමිණි එම සියලුදෙනාටමද එසේය;

28 පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ, සහ ශුද්ධාත්මයාණන්වහන්සේ, අනන්ත වූ සහ සදාකාලික, අවසානයක් නැති, එකම දෙවියන්වහන්සේය. ආමෙන්.

29 තවද සියලු මනුෂ්‍යයන් පසුතැවිලිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරමින්, උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කරමින්, උන්වහන්සේගේ නාමයෙන් අවසානය දක්වා ඇදහිල්ලෙන් දරාගනිමින් මිස, ඔවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ ගැලවීමට නොහැකි වන්නේ යැයි අපි දනිමු.

30 තවද අපගේ ස්වාමින් වූ සහ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් සාධාරණීයකරණය කරනු ලැබීම සාධාරණ සහ සත්‍ය බව අපි දනිමු;

31 තවද එසේම, ඔවුන්ගේ සියලු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කරන සහ සේවය කරන සියල්ලන් සඳහාම, අපගේ ස්වාමින් වූ සහ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් පරිශුද්ධ කරනු ලැබීම සාධාරණ සහ සත්‍ය බව අපි දනිමු.

32 නමුත් මනුෂ්‍යයන් කරුණාවෙන් වැටී තවද ජීවමාන දෙවියන්වහන්සේගෙන් ඉවත්වීමේ හැකියාවක් ඇත්තේය;

33 එසේහෙයින් ඔවුන් පරීක්ෂාවට නොවැටෙන පිණිස, සභාව ඇහුම්කන් දී සෑමවිටම යාච්ඤා කරත්වා;

34 එසේය, තවද පරිශුද්ධ කරනු ලැබූ අය පවා එසේම ඇහුම්කන් දෙනු ලැබේවා.

35 තවද මේ දේවල් සත්‍ය බවත්, යොහාන්ගේ පොතේ එළිදරව් වලට අනුව, ඔහුගේ පොතේ අනාවැකි, ශුද්ධ වූ ශුද්ධලියවිලි, හෝ ශුද්ධාත්මයාණන්ගේ දීමනාවෙන් සහ බලයෙන්, දෙවියන්වහන්සේගේ හඬින්, හෝ දේවදූතයන්ගේ දේවසේවය මගින් පැමිණෙන දෙවියන්වහන්සේගේ එළිදරව් ඔහුගේ පොතට එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ නොවිය යුතු බව අපි දනිමු.

36 තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ එය පැවසූ සේක; තවද දැන් සහ සදාකාලයට යන දෙයාකාරයෙන්ම ගෞරවය, බලය සහ මහිමය උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට වේවා. ආමෙන්.

37 තවද නැවත, ආඥාවක ආකාරයෙන් සභාවට බව්තීස්ම වීමේ ස්වභාවය සම්බන්ධයෙන්—දෙවියන්වහන්සේ ඉදිරියේ යටහත්ව, සහ බව්තීස්මයට ආශා වන සියල්ලන්, තවද බිඳුනු හදවතකින් සහ පසුතැවුණු ආත්මයකින් පෙරට පැමිණ, ඔවුන්ගේ සියලු පාපයන්ට සත්‍ය ලෙසම පසුතැවිලි වූ බවට සභාව ඉදිරියේ සාක්ෂි දරමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත ගැනීමට කැමතිව, අවසානය දක්වා උන්වහන්සේට සේවය කිරීමට අධිෂ්ඨානය ඇතිව, තවද ඔවුන්ගේ පාපයට කමාව ලැබීමට ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය ලැබූ බව ඔවුන්ගේ ක්‍රියා මගින් අවංකව ප්‍රකාශ කරන අය, බව්තීස්මය මගින් සභාවට බාරගනු ලබන්නේය.

38 ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ වැඩිහිටියන්ගේ, පූජකවරුන්ගේ, ගුරුවරුන්ගේ, උපස්ථායකයන්ගේ සහ සමාජිකයන්ගේ වගකීම්—ප්‍රේරිතවරයෙකු වැඩිහිටියෙකු වන්නේය, තවද බව්තීස්ම කිරීම ඔහුගේ කැඳවීම වන්නේය;

39 තවද අනෙකුත් වැඩිහිටියන්, පූජකයන්, ගුරුවරුන් සහ උපස්ථායකයන් නියම කිරීමද;

40 තවද ක්‍රිස්තුස්වහන්සෙගේ මාංශයේ සහ රුධිරයේ සංකේත වන—පාන් සහ මිදියුෂ බෙදාදීමද—

41 තවද ශුද්ධලියවිලි වලට අනුව, ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්මය සඳහා අත් තැබීම මගින්, බව්තීස්ම කරනු ලැබූවන් සභාව තුළට ස්ථිර කිරීමටද;

42 තවද ඉගැන්වීමට, පැහැදිලි කිරීමට, උනන්දු කිරීමට, බව්තීස්ම කිරීමට, සහ සභාව රැකබලා ගැනීමටද;

43 අත් තැබීම මගින් සභාවට ස්ථිර කරනු ලැබීමට, තවද ශුද්ධාත්මයාණන්වහන්සේ දීමටද;

44 තවද සියලු රැස්වීම් වලදී නායකත්වය දීමටදය.

45 දෙවියන්වහන්සේගේ ආඥාවන් සහ එළිදරව් වලට අනුව ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම මගින් රැස්වීම් මෙහෙයවීමද වැඩිහිටියන් කළ යුතු වන්නේය.

46 පූජකයන්ගේ වගකීම වන්නේ දේශනා කිරීම, ඉගැන්වීම, පැහැදිලි කිරීම, උනන්දු කිරීම සහ බව්තීස්මය සහ සක්‍රමේන්තුව මෙහෙයවීම වන්නේය,

47 එමෙන්ම සෑම සමාජිකයෙකුගේම නිවෙස් බැහැදැක, වචනයෙන් සහ රහසින් යාච්ඤා කිරීමට සහ පවුල් වල සියලු වගකීම් වල යෙදීමට ඔවුන්ව උනන්දු කිරීමය.

48 තවද එසේම අනෙකුත් පූජකවරුන්, ගුරුවරුන් සහ උපස්ථායකයින් නියම කිරීමටද ඔහුට හැකියාව ඇත.

49 තවද ඔහු වැඩිහිටියන් නොමැති අවස්ථා වලදී රැස්වීම් වල නායකත්වය ගත යුතුය;

50 නමුත් වැඩිහිටියෙක් සිටින විටදී, ඔහු කළ යුත්තේ දේශනා කිරීම, ඉගැන්වීම, පැහැදිලි කිරීම, උනන්දු කිරීම සහ බව්තීස්ම කිරීම පමණි.

51 සෑම සමාජිකයෙකුගේම නිවෙස් බැහැදැකීමට යාම, ඔවුන්ට වචනයෙන් සහ රහසින් යාච්ඤා කිරීමට සහ පවුලේ සියලු වගකීම් වල යෙදීමට උනන්දු කළ යුතුය.

52 මෙම සියලු වගකීම් වලදී පූජකවරයා අවස්ථාව අනුව අවශ්‍ය නම් වැඩිහිටියාට සහය දිය යුතුය.

53 ගුරුවරයාගේ වගකීම වන්නේ නිතර සභාව රැකබලා ගැනීම, සහ ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ව සවිමත් කිරීමය;

54 තවද එහි සභාවේ අයුතුකම්, හෝ එකිනෙකා සමඟ රළු නොවීම, බොරු නොකීම, කේලාම් කීම හෝ නපුරු කතාවන් නොපැවතීමට වගබලාගත යුතු වන්නේය;

55 තවද සභාව නිතර රැස්වනවා දැයි බැලීම සහ එසේම සියලු සමාජිකයන් ඔවුන්ගේ වගකීම් ඉටුකරනවා දැයි බැලීම කළ යුතුය.

56 තවද වැඩිහිටියකු හෝ පූජකවරයකු නොමැති විටදී ඔහු රැස්වීම් මෙහෙයවීමට නායකත්වය දිය යුතුය—

57 උපස්ථායකවරුන් සඳහා, අවස්ථාවේ අවශ්‍යතාවය අනුව, සභාවේ ඔහුගේ සියලු වගකීම් වලදී සැමවිටදීම ඔහුට සහය දිය යුතු වන්නේය.

58 එහෙත් ගුරුවරුන්ට හෝ උපස්ථායකවරුන්ට බව්තීස්ම කිරීමට, සක්‍රමේන්තුව මෙහෙයවීමට, හෝ අත් තැබීමට අධිකාරිත්වයක් නොමැත්තේය;

59 ඔවුන් කෙසේවෙතත්, අවවාද කිරීම, පැහැදිලි කිරීම, උනන්දු කිරීම සහ ඉගැන්වීම, සියලු අයවළුන් හට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ආරාධනා කිරීම කළ යුතුය.

60 සෑම වැඩිහිටියෙකුම, පූජකවරයෙකුම, ගුරුවරයෙකුම හෝ උපස්ථායකයෙකුම ඔහු වෙතට වූ දෙවියන්වහන්සේගේ කැඳවීම් සහ දීමනා අනුව නියම කරනු ලබන්නෝය; ඔහු ඔහුව පත්කරන පුද්ගලයා තුළ තිබෙන, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පත්විය යුතුය.

61 මෙම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සැදුම්ලත් විවිධ වැඩිහිටියන් මාස තුනකට වරක් සම්මන්ත්‍රණයකට, හෝ එම සම්මන්ත්‍රණය පවසන හෝ මගපෙන්වන ලෙස කාලයෙන් කාලයට, රැස්විය යුතුවේ;

62 තවද එම පැවසූ සම්මන්ත්‍රණයේ එම කාලයේ කළ යුතු වූ කුමනාකාර වූ සභාවේ කටයුත්තක් වුවද කළ යුතුවේ.

63 වැඩිහිටියන් ඔවුන්ගේ බලපත්‍ර ලබාගන්නේ අනෙකුත් වැඩිහිටියන්ගෙනි, ඒ ඔවුන් අයත් වූ එම සභාවේ ඡන්දයෙන් හෝ සම්මන්ත්‍රණය වෙතිනි.

64 පූජකවරයෙකු මගින් නියම වූ, සෑම පූජකවරයෙකුම, ගුරුවරයෙකුම, හෝ උපස්ථායකයෙකුම, ඒ අවස්ථාවේ ඔහුගෙන් සහතිකයක් ලබාගත යුතුවේ, එම සහතිකය, වැඩිහිටියෙකුට ඉදිරිපත් කරනු ලැබූ විට, එයින් ඔහුට බලපත්‍රයක් ලබාගත හැකිවන්නේය, එය ඔහුට ඔහුගේ කැඳවීමේ වගකීම් ඉෂ්ඨ කිරීමට අධිකාරිය ලබාදෙන්නේය, නැතහොත් එය ඔහුට සම්මන්ත්‍රණයකින් ලබාගත හැකිය.

65 ක්‍රමානුකූලව පිහිටුවනු ලැබූ ශාඛාවක, සභාවේ ඡන්දයෙන් තොරව, මෙම සභාවේ ඕනෑම තනතුරකට පුද්ගලයෙකුව නියම කරනු නොලැබිය යුතු වන්නේය.

66 එහෙත් මුලසුන උසුලන වැඩිහිටියන්ට, සංචාරක සභානායකයන්ට, උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින්ට, උත්තම පූජකයන්ට, සහ වැඩිහිටියන්ට, ඡන්දය කැඳවීමට සභාවේ ශාඛාවන් නොමැති විටදී නියම කිරීමේ වරප්‍රසාදය ඇත්තේය.

67 උසස් පූජකවරයේ සෑම සභාපතිවරයෙකුම (හෝ මුලසුන දරන වැඩිහිටියෙකුම), සභානායකවරයෙකුම, උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකුම සහ උත්තම පූජකවරයෙකුම නියම කරනු ලබන්නේ උසස් මන්ත්‍රණ සභාවෙන් හෝ ප්‍රධාන සම්මන්ත්‍රණයේ මගපෙන්වීමෙනි.

68 ඔවුන්ව බව්තීස්මයෙන් ලැබුනු පසුව සාමාජිකයින්ගේ වගකීම—ඔවුන් සක්‍රමේන්තුවට සහභාගී වීමට සහ වැඩිහිටියන්ගේ අත් තැබීම් මගින් ස්ථිර කිරීමට පෙර, එනම් සියලු දේවල් පිළිවෙලට කිරීම සඳහා, ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සම්බන්ධයෙන් සියලුම දේවල් ඔවුන්ට තේරුම් කිරීමට, වැඩිහිටියන් සහ පූජකයින්ට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුය.

69 තවද සමාජිකයන් සභාව සහ එසේම වැඩිහිටියන් ඉදිරියේ, එනම් දේවමය ගමනක් සහ සාකච්ඡාවක් මගින් ඔවුන් සුදුසු බවත්, ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව ගමන් කරමින්—ශුද්ධලියවිලි වලට අනුව ස්වාමින්වහන්සේ ඉදිරියේ ක්‍රියාවන් සහ ඇදහිල්ල තිබෙන බවත් පෙන්විය යුතුය.

70 දරුවන් සිටින්නා වූ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සියලු සාමාජිකයන් සභාවේ වැඩිහිටියන් ඉදිරියට ඔවුන්ව ගෙන එමින්, ඔවුන්ගේ හිස් මතට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අත් තබමින්, තවද උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කළ යුතුය.

71 දෙවියන්වහන්සේ ඉදිරියේ වගකීමේ වයසට නොපැමිනි, තවද පසුතැවිල්ලට හැකියාවක් නොමැති කිසිවෙක් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට ඇතුළත් කරගත නොහැක.

72 පසුතැවිලිවන්නා වූ ඔවුන් සියල්ලන් වෙතට පහත සඳහන් වූ ආකාරයට බව්තීස්මය ක්‍රියාත්මක කිරීම කළ යුතුවේ—

73 දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් බව්තීස්මයට අධිකාරිත්වය ඇති තැනැත්තා, බව්තීස්මය උදෙසා ඔහුව හෝ ඇයව ඉදිරිපත් කරන තැනැත්තා සමඟ ජලය තුළට පහතට යමින්, ඔහුගේ හෝ ඇයගේ නාමයෙන් කැඳවමින්, මෙසේ කියන්නේය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අධිකාරිත්වය ලැබ, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් මම ඔබව බව්තීස්ම කරමි. ආමෙන්.

74 ඉන්පසුව ඔහු ඔහුව හෝ ඇයව වතුර තුළට ගිල්ලවන්නේය, තවද නැවතත් වතුරෙන් පිටතට පැමිණෙන්නේය.

75 සභාව නිතර ස්වාමින් වූ යේසුස්වහන්සේව සිහිපත් කිරීමට පාන් සහ වයින් භුක්තිවිඳීමට එකට රැස්වීම යෝග්‍ය වන්නේය;

76 තවද වැඩිහිටියෙකු හෝ පූජකවරයෙකු එය මෙහෙයවන්නේය; තවද ඔහු එය මේ අකාරයෙන් මෙහෙයවන්නේය—ඔහු පියාණන්වහන්සේ වෙතට ගරුගාම්භීර යාච්ඤාවකින් සභාව සමඟ දණගසමින්, මෙසේ කියන්නේය:

77 අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මෙයට සහභාගිවන්නා වූ එම සියලුම ප්‍රාණයන්ට මෙම පාන් ආශිර්වාද කර පරිශුද්ධ කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලමු, එනම් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ශරීරය සිහිකිරීමට ඔවුන් එය අනුභව කරනු පිණිසය, තවද ඔබවහන්සේ වෙතට සාක්ෂි දරනු පිණිසය, අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, එනම් ඔවුන් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය ඔවුන් මත ගැනීමට කැමතිව, උන්වහන්සේව සැමවිට සිහිකරමින්, උන්වහන්සේ ඔවුන්ට දුන්නා වූ එම උන්වහන්සේගේ ආඥාවන් පිළිපැදීමටය; එනම් ඔවුන්ට සැමවිට උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පවතින පිණිසය. ආමෙන්.

78 වයින් මේ ආකාරයෙන් මෙහෙයවන්නේය—ඔහු එසේම කුසළානය ගෙන, තවද මෙසේ කියන්නේය:

79 අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මෙය පානය කරන්නා වූ එම සියලුම ප්‍රාණයන්ට, මෙම මුද්‍රික පානය ආශිර්වාද කර පරිශුද්ධ කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලමු, එනම් ඔවුන් උදෙසා වැගිරූ, ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධිරය සිහිකිරීමට ඔවුන් එය කරනු පිණිසය; තවද ඔබවහන්සේ වෙතට ඔවුන් සාක්ෂි දැරීමටය, අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, එනම් ඔවුන් සැමවිට උන්වහන්සේව සිහිකිරීමටය, එනම් ඔවුන්ට උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පවතින පිණිසය. ආමෙන්.

80 තවද ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ වරද කරන්නා වූ හෝ වරදකට චෝදනා කරනු ලැබූ ඕනෑම සමාජිකයකුට ශුද්ධලියවිලි මගපෙන්වන ආකාරයට සැලකිය යුතු වන්නේය.

81 ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට ඇතුළත් වූ, සභාවේ වැඩිහිටියන් මගින් පවත්වන විවිධ සම්මන්ත්‍රණ සඳහා ඔවුන්ගේ ගුරුවරුන් එක්කෙනෙකු හෝ කිහිපදෙනෙක් සහභාගි වීමට එවීම එක් එක් සභාවන්හි වගකීමක් වන්නේය,

82 අවසාන සම්මන්ත්‍රණයේ සිට සභාව සමඟ ඔවුන්ව එකතු කරගත් විවිධ සමාජිකයන්ගේ නාම ලැයිස්තුවක් සමඟින්; හෝ සමහරක් පූජකවරුන්ගේ අත් වලින් යැවීමෙන්; කාලයෙන් කාලයට පත්කරන්නා වූ අනෙකුත් වැඩිහිටියන් කවරෙකුගේ හෝ, වැඩිහිටියකු මගින් පවත්වනු ලබන පොතකින් සියලුම සාමාජිකයන්ගේ සියලු නාමයන් පවතින්නා වූ ක්‍රමවත් ලැයිස්තුවක් තිබිය යුතුය;

83 තවද එසේම, කවරෙකු හෝ සභාව වෙතින් ඉවත්කර ඇත්නම්, එනම් ඔවුන්ගේ නාමයන් සභාවේ ප්‍රධාන නාම වර්තාවෙන් මකා දැමිය යුතුවේ.

84 ඔවුන් පදිංචිව සිටි ස්ථානයේ සභාව වෙතින් ඉවත්ව, ඔවුන්ව නොදන්නා සභාවකට යන සියලු සමාජිකයන්, ඔවුන් යහපත් පැවැත්මක් ඇති නිත්‍ය සාමාජිකයන් බවට සහතික කරන ලිපියක් ලබාගත යුතුවේ, එම ලිපිය ලබන සාමාජිකයා එම වැඩිහිටියා හෝ පූජකවරයා පුද්ගලිකවම හඳුනන්නේ නම් සහතිකය ඕනෑම වැඩිහිටියකු හෝ පූජකවරයෙකු මගින් අත්සන් කරගත හැකිය, නැතහොත් එය සභාවේ ගුරුවරුන් හෝ උපස්ථායකයින් මගින්ද අත්සන් කරගත හැකිය.