ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 104


104 වන කොටස

1834 අප්‍රියෙල් 23, එක්සත් සමාගම සම්බන්ධයෙන්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි (78 සහ 82 කොටස් වල ශීර්ෂයන් බලන්න). මෙම අවස්ථාව එක්සත් සමාගමේ සාමාජිකයින්ගේ මන්ත්‍රණ සභා රැස්වීමක් මෙන් වූ අතර, එහිදී සභාවේ දැවෙන තාවකාලික අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළේය. මීට පෙර අප්‍රියෙල් 10 වන දින සමාගමේ රැස්වීමක් මගින් සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබුණි. මෙම එළිදරව්ව මගින් සමාගම ඒ වෙනුවට ප්‍රතිසංවිධානය කළ යුතු බවට මගපෙන්වන අතර; එහි දේපළ සමාගමේ සාමාජිකයන් අතර ඒවායේ භාරකරුවන් ලෙස බෙදිය යුතුය. ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ, “එක්සත් සමාගම” යන වාක්‍ය ඛණ්ඩය පසුව “එක්සත් සංවිධානය” ලෙස මෙම එළිදරව්වේදී ප්‍රතිස්ථාපනය විය.

1–10, එක්සත් සංවිධානයට විරුද්ධව වරදකරන ශුද්ධවන්තයින්ට ශාප කරනු ලබයි; 11–16, ස්වාමින්වහන්සේ සිය ශුද්ධවන්තයින්ට උන්වහන්සේගේම ආකාරයෙන් සපයයි; 17–18, ශුභාරංචියේ නීති දුප්පතුන්ට සලකන්නේ කෙසේද යන්න පාලනය කරයි; 19–46, විවිධ සහෝදරයන්ගේ භාරකාරත්වයන් සහ ආශිර්වාද නම් කරනු ලබයි; 47–53, කර්ට්ලන්ඩ් හි එක්සත් සංවිධානය සහ සයොනයේ සංවිධානය වෙන් වෙන්ව ක්‍රියාත්මක වියයුතු වේ; 54–66, ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ භාණ්ඩාගාරය පිහිටුවා ඇත්තේ, ශුද්ධලියවිලි මුද්‍රණය කිරීම සඳහාය; 67–77, එක්සත් සංවිධානයෙහි මූලික භාණ්ඩාගාරය පොදු එකඟතාවයේ පදනම මත ක්‍රියාත්මක වියයුතු වේ; 78–86, එක්සත් සංවිධානයෙහි සිටින අය ඔවුන්ගේ සියලු ණය ගෙවිය යුතුය, තවද ස්වාමින්වහන්සේ ඔවුන්ව මූල්‍ය බැඳීම් වලින් මුදවාගන්නා සේක.

1 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, එක්සත් සංවිධානයක් වීමට, සංවිධානය වී සහ ස්ථාපිත වීමට මා විසින් ආඥා කළ සංවිධානයේ සියලුම දේපළ සම්බන්ධව, මම නුඹලා හට උපදේශයක්, සහ ආඥාවක් දෙන්නෙමි, තවද එය මාගේ සභාවේ ප්‍රයෝජනය උදෙසා සහ මා පැමිණෙන තුරු මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසා වූ, සදාකාලික සංවිධානයක් වන්නේය—

2 නොවැළැක්විය හැකි සහ වෙනස්කළ නොහැකි පොරොන්දුවක් සමඟින්, එනම් එපමණකින් මම ආඥා කළ අය ඇදහිලිවන්ත වන්නේ නම් ඔවුන්ට ආශිර්වාදයන් බොහොමයක් සමඟ ආශිර්වාද කරන්නෙමි.

3 එහෙත් එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත නොවන්නේ නම් ඔවුන් ශාප ලැබීමට ලඟාවී ඇත්තෝය.

4 එසේහෙයින්, එපමණකින් මාගේ සේවකයන් සමහරෙක් මාගේ ආඥාව නොපවත්වා ඇත්ද, එහෙත් අන්සතු දේට තණ්හාව තුළින්ද, තවද රැවටිලිකාර වචන සමඟින්ද එම ගිවිසුම බිඳ ඇත්ද, මම ඔවුන්ට ඉතා තදබල බරපතල ශාපයකින් ශාප කර ඇත්තෙමි.

5 මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, මාගේ හදවතින් නියෝග කරගතිමි, එනම් එපමණකින් මෙම සංවිධානයට අයත් කිසියම් මනුෂ්‍යයකුව වරදකරුවෙකු ලෙස සොයාගන්නේ නම්, නැතහොත්, වෙනත් වචන වලින්, නුඹලා බැඳී සිටින ගිවිසුම බිඳින්නේ නම්, ඔහුට ඔහුගේ ජීවිතයේ ශාප කරනු ලබන්නේය, තවද මා කැමති ඕනෑම අයෙකු මගින් පහතට හෙලනු ලබන්නේය;

6 මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, මෙම දේවල් වලදී අපහාස නොලැබිය යුතු වන්නෙමි—

7 තවද මේ සියල්ල එනම් නුඹලා අතර වන අහිංසකයින් අධර්මිෂ්ඨයන් සමඟ වරදට පත්කරනු නොලබන පිණිසය; තවද එනම් නුඹලා අතර වන වරදකරුවන් බේරී නොයන පිණිසය; මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, මාගේ දකුණු භාගයේ මහිමයේ ඔටුන්නක් නුඹලා හට පොරොන්දු වී ඇත්තෙමි.

8 එසේහෙයින්, එපමණකින් නුඹලා වරදකරුවන් බව සොයාගන්නේද, නුඹලාගේ ජීවිත තුළ මාගේ කෝපයෙන් නුඹලාට බේරී යා නොහැකිය.

9 එපමණකින් නුඹලාව වරදට පත්වීම නිසා කපාදමා ඇත්නම්, නුඹලාට මිදීමේ දවස වනතුරු සාතන්ගේ තරවටුවන්ගෙන් බේරීමක් නොමැත්තෝය.

10 තවද මම දැන් මේ පැයෙහිදීම නුඹලා හට බලය දෙන්නෙමි, එනම් මෙම සංවිධානයට අයත් වූ, නුඹලා අතරෙන් කිසියම් මනුෂ්‍යයකු, වරදකරුවෙකු ලෙස සොයාගනු ලදුව තවද නපුර ගැන පසුතැවිලි නොවන්නේ නම්, එනම් නුඹලා ඔහුව සාතන්ගේ පීඩාවන්ට භාරදිය යුතු වන්නෝය; තවද එවිට ඔහුට නුඹලා මත නපුර ගෙන ඒමට බලය නොමැත්තේය.

11 එය මා තුළ ප්‍රඥාව වන්නේය; එසේහෙයින්, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹලා නුඹලාව සංවිධානය කොටගෙන තවද සෑම මනුෂ්‍යයෙකුවම ඔහුගේ භාරකාරත්වයට පත්කළ යුතු වන්නෝය;

12 එනම් සෑම මනුෂ්‍යයෙකුම ඔහු වෙතට පත්කරනු ලැබූ භාරකාරත්වය පිළිබඳ මා හට ගණන්දිය යුතු වන්නේය.

13 මක්නිසාද එය යෝග්‍ය වන්නේය, එනම්, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ ප්‍රාණීන් උදෙසා සූදානම් කර ඇති, පොළොවේ ආශිර්වාදයන් සඳහා භාරකරුවෙකු ලෙස, මට ගණන් දීමට සෑම මනුෂ්‍යයෙකුටම සලස්වන්නෙමි.

14 ස්වාමින්වහන්සේ වන, මම, මාගේම හස්තයෙන්, ස්වර්ගයන් දිගහැර, තවද පොළොව ගොඩනැගුවෙමි; තවද එහි වූ සියලු දේවල් මාගේය.

15 තවද මාගේ ශුද්ධවන්තයන් උදෙසා සැපයීම මාගේ අරමුණය, මක්නිසාද සියලු දේවල් මාගේය.

16 එහෙත් එය සිදුකළ යුත්තේ මාගේ ස්වකීය ආකාරයටය; තවද බලන්න ස්වාමින්වහන්සේ වන, මම, මාගේ ශුද්ධවන්තයන්ට සපයාදීමට නියෝග කර ඇත්තාවූ මාර්ගය මෙයයි, එනම් දුප්පතුන්ව උසස් කරනු ලැබෙන අතර, ඒ තුළ පොහොසතුන්ව පහතට දමන්නෙමි.

17 මක්නිසාද පොළොව පිරී ඇත්තේය, තවද එහි ඕනෑවටත් වඩා ඇත්තේය; එසේය, මම සියලු දේවල් සූදානම් කළෙමි, තවද මනුෂ්‍යය දරුවන්ට ඔවුන් වෙතට ඔවුන්ටම නියෝජිතයන් වීමට දී ඇත්තෙමි.

18 එසේහෙයින්, කිසියම් මනුෂ්‍යයෙකු මා විසින් සාදන ලද බහුලත්වය රැගෙන, තවද ඔහුගේ කොටස මාගේ ශුභාරංචියේ නීතියට අනුව දුප්පතුන්ට සහ අවශ්‍යතා ඇති අයවළුන්ට නොදෙන්නේ නම්, ඔහු අධර්මිෂ්ඨයන් සමඟ, වේදනාවේ සිටිමින්, අපායේ ඔහුගේ ඇස් ඔසවන්නේය.

19 තවද දැන්, සැබවක් මෙම සංවිධානයෙහි දේපළ සම්බන්ධව, මම නුඹලා හට පවසන්නෙමි—

20 මාගේ සේවක සිඩ්නි රිග්ඩන් හට ඔහු දැනට පදිංචිව සිටින ස්ථානය ඔහු සඳහා වෙන්කරන්නට සලස්වන්න, තවද කම්හල් භූමියද, මම කැමති ලෙස වුවත්, මම ඔහුට ආඥා කරන ලෙස, ඔහු මාගේ මිදිවත්තේ වෙහෙසවන අතරතුර, ඔහුගේ ප්‍රයෝජනය උදෙසා ඔහුගේ භාරකාරත්වයට ලබාදෙන්න.

21 තවද සියලු දේවල් කර්ට්ලන්ඩ් දේශයේ පවතින සංවිධානයෙහි උපදේශයන්ට, තවද එක්සත් එකඟතාවයට හෝ සංවිධානයේ හඬ අනුව කරන්නට සලස්වන්න.

22 තවද මෙම භාරකාරත්වය සහ ආශිර්වාදය, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ සේවක සිඩ්නි රිග්ඩන් මතත්, තවද ඔහුගේ පසු වංශය උදෙසාත්, පිරිනමන්නෙමි;

23 තවද ඔහු මා ඉදිරියෙහි යටහත් වන පමණකින්, මම ඔහු මත ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

24 තවද නැවතත්, මාගේ සේවක මාටින් හැරිස්ට ඔහු වෙතට, ඔහුගේ භාරකාරත්වය උදෙසා, මාගේ සේවක ජෝන් ජොන්සන් ඔහුගේ පෙර උරුමයේ හුවමාරුවක් ලෙස ලබාගත් ඉඩම් කොටස, ඔහුටත් තවද ඔහුගෙන් පසු ඔහුගේ වංශය උදෙසාත්, වෙන්කිරීමට සලස්වන්න;

25 තවද එපමණකින් ඔහු ඇදහිලිවන්ත වන්නේද, මම ඔහු මතද තවද ඔහුගෙන් පසු ඔහුගේ වංශය මතද ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

26 තවද මාගේ සේවක මාටින් හැරිස්ට, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ මගපෙන්වන ආකාරයට, මාගේ වචන ප්‍රකාශ කිරීමට ඔහුගේ මුදල් කැපකිරීමට සලස්වන්න.

27 තවද නැවතත්, මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස්ට ඔහු දැනට පදිංචිව සිටින ස්ථානය තබාගන්නට ඉඩදෙන්න.

28 තවද මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රිට මුද්‍රණ කාර්යාලය සඳහා වන, නිවස ආසන්නයේ වෙන්ව ඇති කොටස, එනම් ඉඩම් කොටස් අංක එක, තවද එසේම ඔහුගේ පියා ජීවත් වන කොටස තබාගන්නට ඉඩදෙන්න.

29 තවද මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් සහ ඔලිවර් කවුඩ්‍රි හට මුද්‍රණ කාර්යාලය සහ එයට අයත් සියලු දේවල් තබාගන්නට ඉඩදෙන්න.

30 තවද මෙය ඔවුන් හට පත්කරනු ලබන ඔවුන්ගේ භාරකාරත්වය වන්නේය.

31 තවද එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, බලන්න මම ආශිර්වාද කරන්නෙමි, තවද ඔවුන් මත ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

32 තවද මෙය මා විසින් ඔවුන් හට, ඔවුන් සඳහාද තවද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශය සඳහාද, පත්කරන ලද භාරකාරත්වයේ ආරම්භය වන්නේය.

33 තවද, එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, මම ඔවුන් මත සහ ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශය මත, ආශිර්වාද බහුල ලෙස වුවත්, ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

34 තවද නැවතත්, මාගේ සේවක ජෝන් ජොන්සන් හට, ඔහුගේ උරුමයට අයත් එහෙත් මාගේ ගෘහයන් ගොඩනැගීම සඳහා වෙන්කර ඇති භූමිය, සහ මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි සඳහා නම් කර ඇති එම කොටස් හැර, ඔහු ජීවත් වන නිවස, සහ එම උරුමය තබාගන්නට ඔහුට ඉඩදෙන්න.

35 තවද ඔහු එපමණකින් ඇදහිලිවන්ත වන්නේද, මම ඔහු මත ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

36 තවද එනම් ආත්මයාණන්ගේ හඬින් ඔහුට දන්වනු ලබන පමණකින්ද, තවද සංවිධානයේ උපදේශයන්ට අනුවද, තවද සංවිධානයේ හඬ මගින්ද, ඔහු විසින්, මාගේ ශුද්ධවන්තයින්ගේ නගරය ගොඩනැගීමට වෙන්කර ඇති ඉඩම් විකිණීම මාගේ කැමැත්ත වන්නේය.

37 තවද මක්නිසාද ඔහු හටද තවද ඔහුගෙන් පසු ඔහුගේ වංශය සඳහාද ආශිර්වාදයක් වන පිණිස, මෙය මම ඔහු හට පත්කරන ලද භාරකාරත්වයේ ආරම්භය වන්නේය.

38 තවද ඔහු එපමණකින් ඇදහිලිවන්ත වන්නේද, මම ඔහු මත බහුල වූ ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

39 තවද නැවතත්, මගේ සේවක නිවෙල් කේ. විට්නි හට, ඔහු දැන් ජීවත් වන නිවස හා ඉඩමද, තවද වෙළඳ ආයතනය පිහිටා ඇති එම ඉඩම සහ ගොඩනැගිල්ලද, තවද වෙළඳ ආයතනයට දකුණින් කෙළවරේ ඇති ඉඩමද, තවද අළු කර්මාන්තය පිහිටා ඇති ඉඩමද, ඔහු වෙත තබාගැනීමට ඉඩදෙන්න.

40 තවද මෙම සියල්ල මාගේ සේවක නිවෙල් කේ. විට්නි හට ඔහුගේ භාරකාරත්වය උදෙසා පත්කර ඇත්තේ, කර්ට්ලන්ඩ් දේශයේ මාගේ ස්ටේකයේ මා විසින් ස්ථාපිත කර ඇති මාගේ සංවිධානයේ වෙළඳ ආයතනයේ ප්‍රයෝජනය උදෙසා, ඔහු මතත් ඔහුගෙන් පසු ඔහුගේ වංශය මතත් ආශිර්වාදයක් වන පිණිසය.

41 එසේය, සැබවක්, මෙම මුළු වෙළඳ ආයතනය වුවත්, මාගේ සේවක එන්. කේ. විට්නි වෙතට, ඔහුටත් තවද ඔහුගේ නියෝජිතයාටත්, තවද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත්, පත්කරන ලද භාරකාරත්වය මෙය වන්නේය.

42 තවද එපමණකින් මම ඔහු හට දෙන ලද, මාගේ ආඥාවන් පිළිපැදීමට ඔහු ඇදහිලිවන්ත වන්නේ නම්, මම ඔහු මත සහ ඔහුගෙන් පසු ඔහුගේ වංශය මත, බහුල වූ ආශිර්වාදයන් වුවත් ලෙස, ආශිර්වාදයන් වැඩිකරන්නෙමි.

43 තවද නැවතත්, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට, මාගේ ගෘහය ගොඩනැගීම උදෙසා එම වෙන්කරන ලද කොටස ඔහු හට පත්කරන්නට සලස්වන්න, එය රොඩ්ස් හතලිහක් දිගු සහ දොළසක් පළලය, තව එසේම එය ඔහුගේ උරුමයෙන් ඔහුගේ පියා දැන් ජීවත් වන ස්ථානයය;

44 තවද මක්නිසාද මෙය ඔහුට සහ ඔහුගේ පියාට ආශිර්වාදයක් වන පිණිස, මම ඔහු හට පත්කරන ලද භාරකාරත්වයේ ආරම්භය වන්නේය.

45 මක්නිසාද බලන්න, මම ඔහුගේ පියාට, ඔහුගේ උපකාරය උදෙසා, උරුමයක් වෙන්කර ඇත්තෙමි; එසේහෙයින් ඔහුව මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ ගෘහයට අයිති ලෙස ගණන්ගනු ලබන්නේය.

46 තවද එපමණකින් ඔහු ඇදහිලිවන්ත වන්නේද, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ ගෘහයේ බහුල වූ ආශිර්වාදයන් සමඟ වුවත්, ආශිර්වාද වැඩිකරන්නෙමි.

47 තවද දැන්, සයොනය සම්බන්ධව මම නුඹලා හට ආඥාවක් ලබාදෙන්නෙමි, එනම් සයොනයේ නුඹලාගේ සහෝදරයන් වෙතට එක්සත් සංවිධානයක් ලෙස තවදුරටත් නුඹලා බැඳී නොසිටින්නෝය, එනම් පහත අයුරින් පමණක් හැරය—

48 නුඹලා සංවිධානය වූ පසු, නුඹලාව හඳුන්වනු ලබන්නේ කර්ට්ලන්ඩ් නගරයේ, සයොන ස්ටේකයේ එක්සත් සංවිධානය ලෙසය. තවද නුඹලාගේ සහෝදරයන්, ඔවුන් සංවිධානය වූවාට පසු, සයොන නගරයේ එක්සත් සංවිධානය ලෙස හඳුන්වනු ලබන්නේය.

49 තවද ඔවුන් ඔවුන්ගේ ස්වකීය නම් වලින්ද, තවද ඔවුන්ගේ ස්වකීය නාමයෙන්ද සංවිධානය වනු ලබන්නෝය; තවද ඔවුන් ඔවුන්ගේ ස්වකීය නාමයෙන්ද, තවද ඔවුන්ගේ ස්වකීය නම් වලින්ද ඔවුන්ගේ ව්‍යාපාර කරනු ඇත;

50 තවද නුඹලා නුඹලාගේ ස්වකීය නාමයෙන්; තවද නුඹලාගේ ස්වකීය නම් වලින් ව්‍යාපාර කරන්නෝය.

51 තවද මෙය මෙසේ කරන්නට මා ආඥා කොට ඇත්තේ, ඔවුන්ව පිටතට එලවීම සහ එම පැමිණෙන්නට ඇති දෙයෙහි ප්‍රතිඵලය හේතුවෙන්, නුඹලාගේ ගැලවීමද, තවද ඔවුන්ගේ ගැලවීමද උදෙසාය.

52 වරදට පත්වීම, තෘෂ්ණාව සහ රැවටිලිකාර වචන හේතුවෙන් එම ගිවිසුම් බිඳී ඇත—

53 එසේහෙයින්, නුඹලාව නුඹලාගේ සහෝදරයන් සමඟ එක්සත් සංවිධානයක් ලෙස විසුරුවා හැර ඇත්තේය, එනම් නුඹලා ඔවුන්ට බැඳී සිට ඇත්තේ මෙම පැය දක්වා පමණක් වන පිණිසය, මා පැවසූ පරිදි නුඹලා ඔවුන්ට බැඳී ඇත්තේ, නුඹලාගේ අවස්ථාවන් ඉඩදෙන පරිදි සහ මන්ත්‍රණ සභාවේ හඬ මගපෙන්වන පරිදි, මන්ත්‍රණ සභාවේ මෙම සංවිධානය මගින් එකඟ වන ණය උදෙසා වන්නේය.

54 තවද නැවතත්, මම නුඹලා හට පත්කරන ලද එම නුඹලාගේ භාරකාරත්වය සම්බන්ධව ආඥාවක් මම නුඹලා හට දෙන්නෙමි.

55 බලන්න, මෙම සියලු දේපළ මාගේය, එසේ නැතහොත් නුඹලාගේ ඇදහිල්ල නිෂ්ඵලය, තවද නුඹලාව කෛරාටිකයන් ලෙස සොයාගනු ලබන්නේය, තවද නුඹලා මා වෙතට කරන ලද ගිවිසුම් බිඳී ඇත්තේය.

56 තවද මෙම දේපළ මාගේ නම්, එවිට නුඹලා භාරකරුවන්ය; නැතහොත් නුඹලා භාරකරුවන් නොවන්නෝය.

57 එහෙත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාව මාගේ ගෘහයේ භාරකරුවන් වීමට පත්කර ඇත්තෙමි, සැබවින්ම භාරකරුවන් වුවත් වීමටය.

58 තවද මෙම කාරණාව නිසා නුඹලාව සංවිධානය කරගැනීමටත්, තවද මම නුඹලා හට දී ඇති, තවද නුඹලා හට දෙනු ලබන, තවද මෙයින් පසු, කාලයෙන් කාලයට නුඹලා හට දෙන, මාගේ වචනද, මාගේ ශුද්ධලියවිලි වල පූර්ණත්වයද, එළිදරව්ද මුද්‍රණය කිරීමටත්, මම නුඹලාට ආඥා කර ඇත්තෙමි—

59 මක්නිසාද මාගේ සභාව සහ රාජ්‍යය පොළොවේ ගොඩනැගීමේ අරමුණ උදෙසාත්, තවද මම මාගේ ජනතාව සමඟ ජීවත්වීමේ කාලය උදෙසා ඔවුන්ව සූදානම් කිරීම උදෙසාත්ය, එය අත ලඟය.

60 තවද නුඹලා උදෙසා නුඹලා භාණ්ඩාගාරයක් සඳහා ස්ථානයක් සූදානම් කළ යුතු වන්නෝය, තවද එය මාගේ නාමයට කැපකරන්න.

61 තවද නුඹලා අතරෙන් එක් අයෙකුව භාණ්ඩාගාරය බලාගැනීමට පත්කළ යුතු වන්නේය, තවද ඔහුව මෙම ආශිර්වාදයට නියම කරනු ලබන්නේය.

62 තවද එම භාණ්ඩාගාරය මත එහි මුද්‍රාවක් තිබිය යුතුය, තවද සියලු ශුද්ධ වූ දේවල් එම භාණ්ඩාගාරයට භාරදිය යුතු වන්නේය; තවද නුඹලා අතරෙන් කිසිඳු අයෙකු එය, හෝ එහි කොටසක් ඔහුගේ යැයි නොකිය යුතුය, මක්නිසාද එය නුඹලා සියල්ලන්ටම එක් ආකාරයෙන් අයිතිය.

63 තවද මෙම පැයෙහි සිටම මම එය නුඹලා හට දෙන්නෙමි; තවද දැන් ඒ දෙස බලන්න, ශුද්ධ වූ දේවල් උදෙසා හැර, එනම් මම නුඹලා හට පත්කර ඇති එම භාරකාරත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නුඹලා යන්නෝය, ඒ මා ප්‍රකාශ කළ ලෙස මෙම ශුද්ධ වූ දේවල් මුද්‍රණය කිරීමේ අරමුණ සඳහාය.

64 තවද එම ශුද්ධ වූ දේවල් වල ලාභයන් එම භාණ්ඩාගාරයේම තිබිය යුතු වන්නේය, තවද ඒ මත මුද්‍රාවක් තිබිය යුතු වන්නේය; තවද සංවිධානයේ හඬ මගින්, හෝ ආඥාවක් මගින් හැර, කිසිඳු අයෙකු විසින් එය භාවිතා කිරීමවත් භාණ්ඩාගාරයෙන් පිටතට ගැනීමවත් නොකළ යුතු වන්නේය, එමෙන්ම ඒ මත තබා ඇති මුද්‍රාවද, ලිහිල් නොකළ යුතු වන්නේය.

65 තවද මෙසේ පූජනීය සහ ශුද්ධ වූ අරමුණු උදෙසා, භාණ්ඩාගාරයේ ඇති ශුද්ධ වූ දේවල් වල ලාභයන් නුඹලා රැකගත යුතු වන්නෝය.

66 තවද මෙය ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ භාණ්ඩාගාරය ලෙස නම් කරනු ලබන්නේය; තවද එය ශුද්ධව සහ ස්වාමින්වහන්සේ වෙතට කැපකර තිබෙන පිණිස ඒ මත මුද්‍රාවක් තැබිය යුතු වන්නේය.

67 තවද නැවතත්, එහි තවත් භාණ්ඩාගාරයක් සූදානම් කළ යුතු වන්නේය, තවද එම භාණ්ඩාගාරය තැබීමට භාණ්ඩාගාරිකයෙකු පත්කළ යුතු වන්නේය, තවද එය මත මුද්‍රාවක් තැබිය යුතු වන්නේය;

68 තවද ශුද්ධ වූ සහ පූජනීය අරමුණු සඳහා මා කෙරෙහි වෙන්කර ඇති, ශුද්ධ වූ සහ පූජනීය ලියවිලි හැර, නිවෙස් වල, හෝ ඉඩම් වල, හෝ සතුන් මත, හෝ සියලු දේවල් මත මම නුඹලා හට පත්කර ඇති ඒ ධනය දියුණු කිරීම මගින්, නුඹලාගේ භාරකාරත්වයන් තුළ නුඹලා ලබන සියලු මුදල්, සියයක් හෝ, පනහක් හෝ, විස්සක් හෝ, දහයක් හෝ, පහක් හෝ ලෙස, නුඹලා මුදල් ලබන සැනෙකින් ඒවා භාණ්ඩාගාරයට දැමිය යුතු වන්නෝය.

69 නැතහොත් වෙනත් වචන වලින්, නුඹලා අතරින් කිසියම් මනුෂ්‍යයෙකු ඩොලර් පහක් ලබාගන්නේ නම් ඔහු එය භාණ්ඩාගාරය තුළට දැමිය යුතු වන්නේය; හෝ ඔහු දහයක්, හෝ විස්සක්, හෝ පනහක්, හෝ සියයක් ලබාගන්නේද, ඔහු ඒ අකාරයෙන්ම කළ යුතු වන්නේය;

70 තවද නුඹලා අතරෙන් කිසිවෙකුට එනම් එය ඔහුගේ යැයි කියන්නට ඉඩනොදෙන්න; මක්නිසාද එය, හෝ එහි කිසිඳු කොටසක්, ඔහුගේ යැයි කියනු නොලැබිය යුතු වන්නේය.

71 තවද එහි කිසිඳු කොටසක් සංවිධානයේ හඬින් සහ පොදු එකඟතාවයෙන් හැර, භාවිතා නොකළ යුතු වන්නේය, හෝ භාණ්ඩාගාරයෙන් පිටතට නොගත යුතු වන්නේය.

72 තවද මෙය මෙම සංවිධානයෙහි හඬ සහ පොදු එකඟතාවය වන්නේය—එනම් නුඹලා අතරින් කිසියම් මනුෂ්‍යයෙකු භාණ්ඩාගාරිකයාට මෙසේ කියන්නේද: මට මෙය මාගේ භාරකාරත්වයේ උපකාරිත්වයට අවශ්‍ය වන්නේය—

73 එය ඩොලර් පහක් වුවද, නැතහොත් එය ඩොලර් දහයක්, හෝ විස්සක්, හෝ පණහක්, හෝ සියයක් වුවද, ඔහුගේ භාරකාරත්වයට අවශ්‍ය වන කොටස ඔහුට උපකාර පිණිස එම භාණ්ඩාගාරික විසින් ඔහුට ලබාදෙනු ලබන්නේය—

74 ඔහුව වරදකරුවෙකු ලෙස සොයාගන්නා තුරු, සහ ඔහු නොඇදහිලිවන්ත සහ අඥාන භාරකරුවෙකු ලෙස පැහැදිලිව සංවිධානයේ මන්ත්‍රණ සභාව ඉදිරියේ එළිදරව් කරන තුරුය.

75 එහෙත් ඔහු සම්පූර්ණ අනුගාමිකත්වයේ සිටින තුරු, තවද ඔහුගේ භාරකාරත්වයේ ඇදහිලිවන්තව සහ ප්‍රඥාවන්තව සිටින තුරු, මෙය භාණ්ඩාගාරිකයාට අත්හිටුවන්නට නොහැකි, භාණ්ඩාගාරිකයා උදෙසා වූ ඔහුගේ ලකුණය.

76 එහෙත් වරදට පත්වන අවස්ථාවකදී, භාණ්ඩාගාරිකයා මන්ත්‍රණ සභාවට සහ සංවිධානයෙහි හඬට යටත්විය යුතු වන්නේය.

77 තවද භාණ්ඩාගාරිකයා නොඇදහිලිවන්ත සහ අඥාන භාරකරුවෙකු ලෙස සොයාගතහොත්, ඔහු මන්ත්‍රණ සභාවට සහ සංවිධානයෙහි හඬට යටත් වී, තවද ඔහුගේ ස්ථානයෙන් පිටතට ඉවත්කරනු ලබන්නේය, තවද ඔහු වෙනුවට වෙනත් අයෙකුව පත්කරනු ලබන්නේය.

78 තවද නැවතත්, නුඹලාගේ ණය සම්බන්ධව, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි—බලන්න නුඹලා නුඹලාගේ සියලු ණය ගෙවීම මාගේ කැමැත්තය.

79 තවද එනම් නුඹලා මා ඉදිරියේ නුඹලාවම යටහත් කරගැනීමද, තවද නුඹලාගේ උද්යෝගයෙන් සහ යටහත්කමින් සහ ඇදහිල්ලේ යාච්ඤාව මගින් මෙම ආශිර්වාදය ලබාගැනීමද, මාගේ කැමැත්ත වන්නේය.

80 තවද නුඹලා උද්යෝගිමත් සහ යටහත් වන පමණින්ද, තවද ඇදහිල්ලේ යාච්ඤාව ක්‍රියාකරවන පමණින්ද, බලන්න, මම නුඹලාගේ මුදවාගැනීම උදෙසා නුඹලා වෙතට මුදල් එවන තුරු, නුඹලා ණයව සිටින්නාවූ අයවළුන්ගේ හදවත් මම මෘදු කරන්නෙමි.

81 එසේහෙයින් නිව්යෝර්ක් වෙතට ඉක්මණින් ලියන්න තවද මාගේ ආත්මයෙන් අණ කරනු ලැබූ ලෙස ලියන්න; තවද නුඹලා ණයව සිටින්නාවූ අයවලුන්ගේ හදවත් මම මෘදු කරන්නෙමි, එනම් නුඹලා මත පීඩා පමුණුවීමට ඇති දේ මම ඔවුන්ගේ මනසින් ඉවත් කරනු ලබන්නෙමි.

82 තවද නුඹලා යටහත්ව තවද ඇදහිලිවන්තව තවද මාගේ නාමයෙන් ඉල්ලන පමණින්, බලන්න, මම නුඹලාට ජයග්‍රහණය ලබාදෙන්නෙමි.

83 මම නුඹලා හට පොරොන්දුවක් දෙන්නෙමි, එනම් නුඹලාගේ බැඳීම් වලින් එක් වාරයක් නුඹලාව මුදවාගනු ලබන්නෙමි.

84 එපමණින් නුඹලා සිය ගණනින්, හෝ දහස් ගණනින්, නුඹලාගේ බැඳීම් වෙතින් නුඹලාව මුදවාගන්නා තුරු ණය ලබාගැනීමට හැකි අවස්ථාවක් ලබාගැනීම, එය නුඹලාගේ වරප්‍රසාදය වන්නේය.

85 තවද මේ වතාවේ පමණක්, නුඹලාට යහපත් යැයි පෙනෙන ලෙස, පොදු එකඟතාවකින් හෝ වෙනත් ආකාරයකින් නුඹලාගේ නම් ලබාදෙමින්, මා විසින් නුඹලාගේ හස්තයන්ගේ තැබූ ධනය උකසක් ලෙස තබන්න.

86 මේ වතාවේ පමණක්, මෙම වරප්‍රසාදය මම නුඹලා හට දෙන්නෙමි; තවද බලන්න, මාගේ ආඥාවන්ට අනුව, මම නුඹලා ඉදිරියේ තබා තිබෙන්නාවූ දේවල් කිරීමට නුඹලා ක්‍රියාකරන්නේ නම්, මෙම සියලු දේවල් මාගේය, තවද නුඹලා මාගේ භාරකරුවන්ය, තවද ස්වාමියා ඔහුගේ ගෘහය දෙකඩ වීමට ඉඩ නොතබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.