ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 107


107 වන කොටස

1835 අප්‍රියෙල් පමණ, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින්, පූජකවරය පිළිබඳ දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කොටස 1835 දී වාර්තා කර ඇතත්, 60 සිට 100 දක්වා පද වලින් බොහොමයක් තුළ 1831 නොවැම්බර් 11 වන දින ජෝසෆ් ස්මිත් තුළින් ලබාදෙන ලද එළිදරව් ඇතුළත් කර ඇති බව සනාථ කරයි. මෙම කොටස 1835 පෙබරවාරි සහ මාර්තු මාස වල දොළොස්දෙනාගේ ගණපූරණය සංවිධානය කිරීම හා සම්බන්ධ විය. අනාගතවක්තෘවරයා එය බොහෝවිට ලබාදෙන්නට ඇත්තේ, 1835 මැයි 3 වන දින ඔවුන්ගේ පළමු ගණපූරණ ධර්මදූතය සඳහා පිටත්ව යාමට සූදානම් වන අය ඉදිරියේය.

1–6, පූජකවරයන් දෙකකි: මෙල්කිසදෙක් සහ ආරෝනික; 7–12, මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට සභාවේ සියලුම තනතුරු දැරීමේ බලය ඇත්තේය; 13–17, සභානායකත්වය ආරෝනික පූජකවරය මත සභාපතිත්වය දරන්නේය, එය පිටස්තර නියෝගයන් ක්‍රියාත්මක කරන්නේය; 18–20, මෙල්කිසදෙක් පූජකවරය සියලු ආත්මික ආශිර්වාදයන්ගේ යතුරු දරන්නේය; ආරෝනික පූජකවරය දේවදූතයන්ගේ දේවසේවයේ යතුරු දරන්නේය; 21–38, පළමු සභාපතිත්වය, දොළොස්දෙනා, තවද හැත්තෑවරය යන ඒවා ඇතුළත්ව මූලාසනය දරන ගණපූරණ නිර්මාණය වන අතර, ඔවුන්ගේ තීරණයන් එක්සත්කමින් සහ ධර්මිෂ්ඨකමින් ගනු ලබන්නේය; 39–52, ආදිපීතෘත්වයේ පිළිවෙල ආදම්ගේ සිට නෝවා දක්වා පිහිටුවාලන්නේය; 53–57, පුරාණ ශුද්ධවන්තයන් ආදම්-ඔන්ඩි-ආමන් හි රැස්වන්නෝය, තවද ස්වාමින්වහන්සේ ඔවුන්ට පෙනීසිටින සේක; 58–67, දොළොස්දෙනා සභාවේ නිලධාරීන්ව පිළිවෙලට පිහිටුවිය යුතු වන්නෝය; 68–76, සභානායකවරුන් ඉශ්‍රායෙලයෙහි පොදු විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කරන්නෝය; 77–84, පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනා සභාවේ උසස් අධිකරණයට ඇතුළත් වන්නේය; 85–100, පූජකවර සභාපතිවරුන් ඔවුන්ගේ අදාළ ගණපූරණ පාලනය කරන්නෝය.

1 සභාව තුළ එහි, නාමිකව, මෙල්කිසදෙක් සහ ලෙවීගේ පූජකවරය ඇතුළුව ආරෝනික ලෙස පූජකවරයන් දෙකක් වන්නේය.

2 මෙල්කිසදෙක් පූජකවරය පළමුව නම්කර ඇත්තේ මෙල්කිසදෙක් යනු ඉතා ශ්‍රේෂ්ඨ උසස් පූජකවරයෙක් නිසාවෙනි.

3 ඔහුගේ දවස් වලට ප්‍රථම එය නම්කරනු ලැබූයේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව, ශුද්ධ වූ පූජකවරය ලෙසය.

4 එහෙත් මහෝත්තම තැනැන්වහන්සේගේ නාමයට ඇති ගෞරවය හෝ ප්‍රණාමය නිසා, උන්වහන්සේගේ නාමය නිතර පැවසීම වැළැක්වීම පිණිස, ඔවුන්, සභාව, පැරණි දවස් වලදී, එම පූජකවරය, හෝ මෙල්කිසදෙක් පූජකවරය, මෙල්කිසදෙක්ගේ නමින් හඳුන්වනු ලැබීය.

5 සභාව තුළ අනෙකුත් සියලු අධිකාරිත්වයන් හෝ තනතුරු මෙම පූජකවරයට අනුබද්ධය.

6 එහෙත් එහි කොටස් හෝ ප්‍රධාන ශීර්ෂ දෙකක් වන්නේය—එකක් මෙල්කිසදෙක් පූජකවරයද, සහ අනෙක ආරෝනික හෝ ලෙවීගේ පූජකවරයද වේ.

7 වැඩිහිටියෙකුගේ තනතුර පැමිණෙන්නේ මෙල්කිසදෙක් පූජකවරය යටතේය.

8 මෙල්කිසදෙක් පූජකවරය මූලාසනය දැරීමට අයිතිවාසිකම් උසුලන්නේය, තවද ආත්මික දේවල් ක්‍රියාත්මක කිරීමට, ලෝකයේ සියලු කාල වලදී සභාව තුළ සියලුම තනතුරු මත බලය සහ අධිකාරිත්වය ඇත්තේය.

9 උසස් පූජකවරයේ සභාපතිත්වය, මෙල්කිසදෙක් පූජකවරයේ පිළිවෙලට අනුව, සභාව තුළ සියලු තනතුරු දැරීමට සුදුසු වන්නේය.

10 මෙල්කිසදෙක් පූජකවරයේ පිළිවෙලට අනුව වූ උත්තම පූජකවරුන්, සභාපතිත්වයේ මගපෙන්වීම යටතේ, ආත්මික දේවල් මෙහෙයවීම තුළද, තවද එසේම වැඩිහිටියා, පූජකයා (ලෙවීවර පිළිවෙලට අනුව), ගුරුවරයා, උපස්ථායකයා සහ සමාජිකයා යන තනතුරු තුළද, ඔවුන්ගේ ස්වකීය කැඳවීම් දැරීමට සුදුසු වන්නෝය.

11 උත්තම පූජකවරයා නොසිටින විට ඔහු වෙනුවට තනතුරු ඉසිලීමට වැඩිහිටියෙකු සුදුසුකම් ලබන්නේය.

12 සභාවේ ගිවිසුම් සහ ආඥා වලට එකඟව, උත්තම පූජකවරයා සහ වැඩිහිටියා ආත්මික දේවල් ක්‍රියාත්මක කළ යුතු වන්නෝය; තවද එහි උසස් අධිකාරීන් නොමැති විට, සභාවේ මෙම සියලුම තනතුරු ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

13 දෙවන පූජකවරය ආරොන්ගේ පූජකවරය ලෙස හඳුන්වයි, මක්නිසාද ඔවුන්ගේ සියලු පරම්පරාවන් මුළුල්ලේම, එය ආරොන් සහ ඔහුගේ වංශය මත පිරිනමා ඇත.

14 එය සුළු පූජකවරයක් ලෙස නම් කොට ඇත්තේ, මක්නිසාද එය විශිෂ්ට පූජකවරයට ආධාරකයක් වන හෙයිනි, හෝ මෙල්කිසදෙක් පූජකවරයට, තවද පිටස්තර නියෝගයන් මෙහෙයවීමටද බලය ඇත.

15 සභානායකත්වය මෙම පූජකවරයේ සභාපතිත්වය වේ, තවද එහි යතුරු හෝ අධිකාරිත්වය එලෙසම උසුලයි.

16 ඔහු සත්‍ය ලෙසම ආරොන්ගෙන් පැවත එන්නෙකු වීමෙන් මිස, මෙම පූජකවරයේ යතුරු දැරීමට තනතුර දැරීමට, කිසිඳු මනුෂ්‍යයෙකුට නීතියෙන් මෙම තනතුර සඳහා සුදුසුකමක් නොවන්නේය.

17 එහෙත් මෙල්කිසදෙක් පූජකවරයේ උත්තම පූජකවරයෙකු ලෙස සියලු සුළු තනතුරු ක්‍රියාත්මක කිරීමට අධිකාරිත්වය ඇත්තේය, සත්‍ය ලෙසම ආරොන්ගෙන් පැවත එන්නෙකු සොයාගත නොහැකි විට, ඔහුව කැඳවනු ලැබ, මෙල්කිසදෙක් පූජකවරයේ සභාපතිත්වයේ හස්තයන් මගින් මෙම බලය වෙතට වෙන්කරනු ලැබ තවද නියම කර ඇතිනම්, ඔහුට සභානායකවරයාගේ තනතුරෙහි ක්‍රියාත්මක වීමට හැකිවනු ලැබෙන්නේය.

18 මෙල්කිසදෙක් පූජකවරය හෝ, උසස්ම බලය සහ අධිකාරිත්වය, සභාවේ සියලු ආත්මික ආශිර්වාදයන්හි යතුරු දැරීම සඳහාය—

19 ස්වර්ගීය රාජ්‍යයේ අභිරහස් ලැබීමේ වරප්‍රසාදය ලැබීමටද, ඔවුන් වෙතට ස්වර්ගයන් විවෘත වීමටද, පොදු එක්රැස්වීම සහ කුළුඳුලාණන්ගේ සභාව සමඟ සහභාගිකම දැරීමටද, තවද පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේද, තවද නව ගිවිසුමේ මැදහත්කරුවාණන් වන, යේසුස්වහන්සේගේද, අභිමුඛයේ සහභාගිකමේ ප්‍රීතිය දැරීමටදය.

20 සුළු බලය සහ අධිකාරිත්වය, හෝ ආරෝනික පූජකවරය ඇත්තේ, දේවසේවා දේවදූතයන්ගේ යතුරු දැරීමටද, තවද ගිවිසුම් සහ ආඥාවන්ට එකඟව, පව්කමාව සඳහා පසුතැවිල්ලේ බව්තීස්මය, ශුභාරංචියේ ලියවිලි වැනි, පිටස්තර නියෝගයන් හි ක්‍රියාත්මක වීමටය.

21 එහි මෙම පූජකවරයන් දෙකෙන් විවිධ තනතුරු වලට වෙන්කර ඇති අය අතුරෙන් පැමිණෙන්නාවූ, හෝ පත්කර ඇත්තාවූ සභාපතිවරුන්, හෝ මූලාසනය දරන නිලධාරීන් සිටීම අවශ්‍ය වන්නේය.

22 [දොළොස්දෙනාගේ] ගණපූරණයෙන් තෝරාගත්, එම තනතුර උදෙසා පත්කළ සහ නියම කළ, තවද නිර්භීත බවෙන්, ඇදහිල්ලෙන්, සහ සභාවේ යාච්ඤාව මගින් පිළිගත්, මෙල්කිසදෙක් පූජකවරයේ, මුලසුන දරන උත්තම පූජකයින් තිදෙනා මගින්, සභාවේ සභාපතිත්ව ගණපූරණය සකස්වනු ලැබෙන්නේය.

23 ගමන්කරන්නාවූ උපදේශකයන් දොළොස්දෙනාව ප්‍රේරිතවරුන් දොළොස්දෙනා ලෙස, හෝ මුළු ලෝකයටම ක්‍රිස්තුස්වහන්සේගේ නාමයේ විශේෂ සාක්ෂිකරුවන් වීමට කැඳවනු ලබන්නේය—මෙසේ සභාවේ අනෙකුත් තනතුරු දරන්නන්ගේ වගකීම් වෙතින් ඔවුන්ගේ කැඳවීම වෙන්කරනු ලබන්නේය.

24 තවද පෙර සඳහන් කරනු ලැබූ සභාපතිවරුන් තිදෙනාගේ අධිකාරිත්වය සහ බලය හා සමානව, ඔවුන්ගෙන් ගණපූරණයක් සැකසෙන්නේය.

25 එසේම හැත්තෑදෙනාවද ශුභාරංචිය දේශනා කිරීමට කැඳවනු ලබන්නේය, තවද අන්‍ය ජාතිකයන්ට සහ මුළු ලෝකය වෙතටම විශේෂ සාක්ෂිකරුවන් වීමටය—මෙසේ සභාවේ අනෙකුත් තනතුරු දරන්නන්ගේ වගකීම් වෙතින් ඔවුන්ගේ කැඳවීම වෙන්කරනු ලබන්නේය.

26 තවද දැන් සඳහන් කරනු ලැබූ විශේෂිත සාක්ෂිකරුවන් දොළොස්දෙනා හෝ ප්‍රේරිතවරුන්ගේ අධිකාරිත්වය සහ බලය හා සමානව, ඔවුන්ගෙන් ගණපූරණයක් සැකසෙන්නේය.

27 තවද මෙම ඕනෑම ගණපූරණයක් මගින් ගනු ලබන්නාවූ සියලු තීරණ ඒකමතික හඬකින් සමාන වියයුතු වන්නේය; එනම්, ඔවුන්ගේ තීරණ එකිනෙකා සමඟ සමාන බලයකින් හෝ වලංගු බවකින් ස්ථිරකර ගන්නා පිණිස, එක් එක් ගණපූරණයේ සෑම සාමාජිකයෙකුම එහි තීරණයන්ට එකඟවිය යුතු වන්නෝය—

28 එය වෙනත් ආකාරයකින් වීමට අදාළ තත්වයන් අපහසු වනවිට බහුතරයට එක්වී ගණපූරණයක් සකස්කරගත හැකිය—

29 මෙය කාරණයක් නොවන්නේ නම්, මෙල්කිසදෙක් පූජකවරයේ පිළිවෙලට අනුව නියම කරනු ලැබූ, තවද ධර්මිෂ්ඨ සහ ශුද්ධ මනුෂ්‍යයන් වූ, පුරාණයේ සභාපතිවරුන් තිදෙනාගේ ගණපූරණයක තීරණ වලට හිමිකම් ලද ඒ හා සමාන ආශිර්වාද වලට, ඔවුන්ගේ තීරණ හිමිකම් නොලබන්නේය.

30 මෙම ගණපූරණයන් හි තීරණ, හෝ ඒවායින් එකක් හෝ අනෙක, සියළු ධර්මිෂ්ඨභාවයෙන්, ශුද්ධවන්තකමින්, සහ හදවතේ යටහත්භාවයෙන්, නිහතමානීකමින්, තවද දිගු දරාගැනීමෙන්, තවද ඇදහිල්ලෙන්, තවද ගුණවන්තකමින්, තවද දැනුමෙන්, පමණ දැන ක්‍රියාකිරීමෙන්, ඉවසීමෙන්, දේවත්වයෙන්, සහෝදර කරුණාවෙන් සහ පවිත්‍ර ප්‍රේමයෙන්, ගත යුතු වන්නේය;

31 මක්නිසාද පොරොන්දුව නම්, මෙම දේවල් ඔවුන් තුළ පවතින්නේ නම් ඔවුන් ස්වාමින්වහන්සේගේ දැනීමෙහි ඵල රහිත නොවන්නෝය.

32 මෙම ගණපූරණයන් හි කිසියම් තීරණයක් අධර්මිෂ්ඨව සිදුකරන ලද්දේ නම්, එය සභාවේ ආත්මික අධිකාරීන්ගෙන් යුත්, ගණපූරණ කිහිපයක පොදු රැස්වීමක් ඉදිරියට පැමිණවිය යුතු වන්නේය; එසේනොවන්නේ නම් එහි ඔවුන්ගේ තීරණයෙන් අභියාචනාවක් ඉදිරිපත් කළ නොහැකි වන්නේය.

33 එම දොළොස්දෙනා, සභාව ගොඩනගන්නටත්, තවද පළමුව අන්‍ය ජාතිකයින්ටද තවද දෙවනුව යුදෙව්වන් හටද ලෙස, සියලුම ජාතීන් තුළ සභාවේ එම සියලුම කටයුතු හැසිරවීමටත්; ස්වර්ගය විසින් ස්ථාපිත කරන ලද දෙයට එකඟව, සභාවේ සභාපතිත්වයේ මගපෙන්වීම යටතේ, ස්වාමින්වහන්සේගේ නාමයෙන් කටයුතු කිරීමට වූ, ගමන්ගන්නා මූලාසනය දරන ප්‍රධාන මන්ත්‍රණ සභාවකි.

34 දොළොස්දෙනාගේ හෝ ගමන්ගන්නා උසස් මන්ත්‍රණ සභාවේ මගපෙන්වීම යටතේ, එම හැත්තෑවරුන්, පළමුව අන්‍ය ජාතිකයන්ටද දෙවනුව යුදෙව්වන් වෙතටද, සියලුම ජාතීන් තුළ සභාවේ එම සියලුම කටයුතු සමානව ක්‍රියාත්මක කරමින් සභාව ගොඩනගමින්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් ක්‍රියාකළ යුතු වන්නෝය—

35 දොළොස්දෙනාව යවනු ලබා ඇත්තේ, යතුරු දරමින්, පළමුව අන්‍ය ජාතිකයන්ටද තවද දෙවනුව යුදෙව්වන් වෙතටද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් එම දොරටුව විවෘත කිරීමටය.

36 ස්ථාපිත උසස් මන්ත්‍රණ සභාව, සයොන ස්ටේකයේ, ඔවුන්ගේ සියලු තීරණ වලදී, සභාපතිත්වයේ ගණපූරණයේ, හෝ ගමන්ගන්නා උසස් මන්ත්‍රණ සභාවේ, සභාවට වූ ඔවුන්ගේ කටයුතු වල අධිකාරිත්වයට සමාන වූ ගණපූරණයක් පිහිටුවනු ලබන්නේය.

37 සයොනයේ උසස් මන්ත්‍රණ සභාව, ඔවුන්ගේ සියලු තීරණ වලදී, සයොනයේ ස්ටේකයේ දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාවේ ඔවුන්ගේ කටයුතු වල අධිකාරිත්වයට සමාන වූ ගණපූරණයක් පිහිටුවනු ලබන්නේය.

38 ශුභාරංචිය දේශනා කිරීම සහ මෙහෙයවීම උදෙසා විවිධ වූ කැඳවීම් සම්පූර්ණ කිරීමට, ඔවුන්ට උපකාර අවශ්‍ය විට, වෙනත් අයවලුන්ට කතා කිරීම වෙනුවට, හැත්තෑවරුන්ව කැඳවීම ගමන්ගන්නා උසස් මන්ත්‍රණ සභාවේ වගකීම වේ.

39 ශුභාරංචි දේවසේවකයන්ව ඔවුන්ට එළිදරව් මගින් පත්කරනු ලබන ලෙස, නියම කිරීම, සභාවේ සියලු විශාල ශාඛාවන් තුළ දොළොස්දෙනාගේ වගකීම වන්නේය—

40 මෙම පූජකවරයේ පිළිවෙල පියාගෙන් පුත්‍රයාට සහතික වී ඇත්තේය, තවද පොරොන්දු ලබාදී ඇති අය වන, තෝරාගත් වංශයෙන් සැබවින්ම පැවත එන්නන්ට නිවැරදිව අයිති වන්නේය.

41 මෙම පිළිවෙල ආදම්ගේ දවස් වල සිටම පිහිටුවා ඇත්තේය, තවද පහත ආකාරයට පරම්පරාවෙන් පහතට පැමිණියේය;

42 ආදම්ගෙන් සෙත් වෙතට, ඔහුට වයස අවුරුදු හැට-නවයෙදී ආදම් මගින් නියම වූවෙහිය, තවද ඔහුව ඔහුගේ (ආදම්ගේ) මරණයෙන් වසර තුනකට පෙර ආශිර්වාද කරනු ලැබූවෙහිය, තවද ඔහුගේ පියා මගින් දෙවියන්වහන්සේගේ පොරොන්දුව ලැබූවෙහිය, එනම් ඔහුගේ මතු පරම්පරාව ස්වාමින්වහන්සේ තෝරාගත් වූවන් වියයුතු වීමටය, තවද එනම් ඔවුන් පොළොවේ අන්තයන් දක්වා සුරක්ෂිත වීමටය.

43 මක්නිසාද ඔහු (සෙත්) පරිපූර්ණ මනුෂ්‍යයෙකු වූයේය, තවද ඔහුගේ සමානකම ඔහුගේ පියාගේ සමානකමට මෙන් ප්‍රකාශ වූයේය, එපමණකින් එනම් ඔහු සියලු දේවල් වලදී ඔහුගේ පියාගේ ලක්ෂණ මෙන් වූ තරමටම, තවද ඔහුව පැහදිලිව වෙන්කරගත හැකිවූයේ ඔහුගේ වයසෙන් පමණකි.

44 ඊනොස්ගේ වයස අවුරුදු එකසිය-තිස්හතරක් සහ මාස හතරක් වූ විට, ආදම්ගේ හස්තයෙන් ඔහුව නියම කරන ලද්දේය.

45 දෙවියන්වහන්සේ වනාන්තරයෙන් කේනාන්ව කැඳවාගනු ලැබූයේ ඔහුගේ වයස අවුරුදු හතලිහේදීය; තවද ඔහු ආදම්ව මුණගැසුනේ ෂෙඩොල්මැක් ස්ථානයට ගමන්කරමින් සිටියදීය. ඔහුගේ නියම කිරීම ලබද්දී ඔහුගේ වයස අවුරුදු අසූ-හතක් විය.

46 මහලලෙල්ව ඔහුව ආශිර්වාද කරන ලද, ආදම්ගේ හස්තයෙන් නියම කරනු ලබද්දී ඔහුගේ වයස අවුරුදු හාරසිය අනූ-හයක් සහ දවස් හතක් විය.

47 යාරෙද් ඔහුව ආශිර්වාද කරන ලද, ආදම්ගේ හස්තයෙන් නියම කරනු ලබද්දී ඔහුගේ වයස අවුරුදු දෙසියයක් විය.

48 ඊනොක්ව ආදම්ගේ හස්තයෙන් නියම කරනු ලබද්දී ඔහුගේ වයස අවුරුදු විසි-පහක් විය; තවද ඔහුට හැට-පහේදී ආදම් ඔහුව ආශිර්වාද කළේය.

49 තවද ඔහු ස්වාමින්වහන්සේව දුටුවේය, තවද ඔහු උන්වහන්සේ සමඟ ගමන් කළේය, තවද ඔහු නිරතුරුවම උන්වහන්සේගේ අභිමුඛයේ විය; තවද ඔහු දෙවියන්වහන්සේ සමඟ තුන්සිය-හැටපස් වසරක් ගමන්ගත්තේය, ඔහු උත්තාරණය වන විටදී ඔහුගේ වයස හාරසිය-තිහක් විය.

50 ආදම්ගේ හස්තයෙන් ඔහුව නියම කරන විට මෙතුෂායෙල් වයස අවුරුදු සියයක්ව සිටියේය.

51 සෙත්ගේ හස්තයෙන් ඔහුව නියම කරන විට ලාමෙක් වයස අවුරුදු තිස්තුනක්ව සිටියේය.

52 මෙතුෂායෙල්ගේ හස්තයෙන් නෝවාව නියම කරන විට ඔහු වයස අවුරුදු දහයක්ව සිටියේය.

53 ආදම්ගේ මරණයට අවුරුදු තුනකට පෙර, ඔහු උත්තම පූජකයන් වූ, සෙත්, ඊනොස්, කේනාන්, මහලලෙල්, යාරෙද්, ඊනොක් සහ මෙතුෂායෙල්, සමඟ ධර්මිෂ්ඨව සිටි ඉතිරි වූ ඔහුගෙන් පැවතඑන්නන්ව, ආදම්-ඔන්ඩි-ආමන් මිටියාවතට කැඳවා, තවද එහිදී ඔහුගේ අවසාන ආශිර්වාදය ඔවුන් මත ප්‍රදානය කළේය.

54 තවද ස්වාමින්වහන්සේ ඔවුන් හට පෙනීසිටියේය, තවද ඔවුන් නැගී සිටියෝය තවද ආදම්ට ආශිර්වාද කොට, කුමරායා වූද, අග්‍ර දේවදූතයා වූද, මිකායෙල් ලෙස, ඔහුව නම් කළේය.

55 තවද ස්වාමින්වහන්සේ ආදම් වෙතට සහනය ලබාදුන් සේක, තවද ඔහු හට මෙසේ පැවසූ සේක: ශීර්ෂය ලෙස පැවතීමට මම නුඹව පත්කර ඇත්තෙමි; ජාතීන් සමූහයක් නුඹ වෙතින් පැමිණෙන්නේය, තවද නුඹ ඔවුන් මත සදාකාලයට කුමාරයෙකු වන්නේය.

56 තවද ආදම් සභාව මධ්‍යයේ සිටගනු ලදුව; තවද, ඔහු වයස සමඟින් පහතට නැමී සිටියත්, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණව, අවසාන පරම්පරාව දක්වා වුවත් ඔහුගේ මතු පරම්පරාව පතිතවන කුමනාකාර දෙයක් පිළිබඳව වුවත් දිවැස් කීවේය.

57 මෙම දේවල් සියල්ල ඊනොක්ගේ පොතෙහි ලියා ඇත්තේය, තවද නියමිත කාලයේදී සාක්ෂි දරනු ලැබිය යුතු වන්නේය.

58 එසේම දොළොස්දනොගේ එම වගකීම වනුයේ, පහත පවසන ලෙස එළිදරව් වීමේ ප්‍රකාශනයට අනුකූලව, සභාවේ සියලු අනෙකුත් තනතුරු පිළිවෙලට සකස්කරමින් තවද නියම කිරීමය:

59 සයොන දේශයේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වෙතටය, සභාවේ නීතින්ට අමතරව සභාවේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධවය—

60 සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක, වැඩිහිටි තනතුරු දරන්නාවූ අයවළුන් මත සභාපතිත්වය දරන වැඩිහිටියන් එහි අවශ්‍යම වන්නේය;

61 තවද එසේම පූජකවර තනතුරු දරන්නාවූ අයවළුන් මත සභාපතිත්වය දරන පූජකවරුන්ද අවශ්‍ය වන්නේය;

62 තවද එසේම ගුරුවර තනතුරු දරන්නාවූ අයවළුන් මත සභාපතිත්වය දරන ගුරුවරුන්ද, ඒ ආකාරයටම, තවද එසේම උපස්ථායකවරුන්ද—

63 එසේහෙයින්, උපස්ථායකවරයාගෙන් ගුරුවරයා වෙතටද, තවද ගුරුවරයාගෙන් පූජකවරයා වෙතටද, තවද පූජකවරයාගෙන් වැඩිහිටියා වෙතටද, සභාවේ ගිවිසුම් සහ ආඥාවන් අනුව, තනි තනිව ඔවුන්ව පත්කර ඇති ආකාරයටය.

64 එවිට උසස් පූජකවරය පැමිණෙන්නේය, එය සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේය.

65 එසේහෙයින්, පූජකවරය මත සභාපතිත්වය දැරීමට උසස් පූජකවරයට කෙනෙකු පත්කරනු ලැබීම එහි අවශ්‍යම වන්නේය, තවද ඔහුව සභාවේ උසස් පූජකවරයේ සභාපතිවරයා ලෙස නම්කරනු ලබන්නේය;

66 නැතහොත්, වෙනත් වචන වලින්, සභාවේ උසස් පූජකවරය මත සභාපතිත්වය දරන උත්තම පූජකවරයාය.

67 අත් තැබීම මගින්, ඔහුගෙන් සභාව මත නියෝගයන් සහ ආශිර්වාදයන් ක්‍රියාත්මක කිරීම පැමිණෙන්නේය.

68 එසේහෙයින්, එය වෙතට සභානායකවරයාගේ තනතුර සමාන නොවන්නේය; මක්නිසාද සභානායකවරයාගේ තනතුර සියලු තාවකාලික දේවල් ක්‍රියාත්මක කිරීම උදෙසාය;

69 එසේවුවද ඔහු ආරොන්ගෙන් පැවතෙන්නෙකු නොවන්නේ නම්, සභානායකවරයෙකුව උසස් පූජකවරය තුළින් තෝරාගත යුතු වන්නේය;

70 මක්නිසාද ඔහු සැබවින්ම ආරොන්ගෙන් පැවතෙන්නෙකු නොවන්නේ නම් ඔහුට එම පූජකවරයේ යතුරු දැරීමට නොහැකි වන්නේය.

71 එසේවුවද, උත්තම පූජකවරයෙකු, එනම්, මෙල්කිසදෙක් පිළිවෙලට අනුව, සත්‍යයේ ආත්මය මගින් තාවකාලික දේවල් කෙරෙහි දැනුම ඇතිව, ඒ කෙරෙහි දේවසේවය කිරීම උදෙසා වෙන්කළ යුතු වන්නේය;

72 තවද එසේම ඉශ්‍රායෙලයෙහි විනිශ්චයකරුවෙකු වීමටද, සභාවේ කටයුතු කිරීමටද, සභාවේ වැඩිහිටියන් අතරින් ඔහු තෝරාගෙන ඇති හෝ තෝරාගනු ලබන, ඔහුගේ උපදේශකයින්ගේ සහය ඇතිව, නීතීන් අනුව ඔහු ඉදිරියේ එම සාක්ෂිය තබා ඇති පරිදි ඒ මත වරදකරුවන් වෙනුවෙන් විනිශ්චයේ වාඩිවී සිටීමටත්ය.

73 ආරොන්ගෙන් සැබවින්ම පැවතෙන්නෙකු නොවන, එහෙත් මෙල්කිසදෙක්ගේ පිළිවෙලට අනුව උසස් පූජකවරයට නියම කරනු ලැබ ඇති, සභානායකවරයෙකුගේ වගකීම මෙය වන්නේය.

74 මේ අනුව ඔහු විනිශ්චයකරුවෙකු වන්නේය, තවද සයොනයේ, හෝ සයොන ස්ටේකයේ, හෝ සයොනයේ සීමාවන් විශාලව සහ සයොනයේ හෝ වෙනත් ස්ථානයක අනෙකුත් සභානායකවරුන් හෝ විනිශ්චයකරුවන් සිටීමේ අවශ්‍යතාවය පැමිණෙන තුරු, ඔහුව මෙම දේවසේවයට වෙන්කරනු ලැබෙන සභාවේ ඕනෑම ශාඛාවක පදිංචිකරුවන් අතර, පොදු විනිශ්චයකරුවෙකු වන්නේය.

75 තවද එපමණකින් එහි වෙනත් සභානායකවරුන්ව පත්කරනු ලබන්නේද ඔවුන්ද ඒ තනතුරෙහි ඒ ආකාරයෙන්ම ක්‍රියාකරනු ලබන්නෝය.

76 එහෙත් මෙම පූජකවරයේ සභාපතිත්වය උදෙසා, මෙම දේවසේවයේ යතුරු උදෙසා, මෙල්කිසදෙක්ගේ පිළිවෙලට අනුව වූ, උසස් පූජකවරයේ සභාපතිවරයාව වරදට පත්කෙරුණු අවස්ථාවක හැර, උපදේශකයින්ගෙන් තොරව, සභානායක තනතුරෙහි නිදහස්ව ක්‍රියාකිරීමට, ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙකු ලෙස සිටීමට, සැබවින්ම ආරොන්ගෙන් පැවතෙන්නෙකුට නීතිමය අයිතියක් ඇත.

77 තවද මෙම මන්ත්‍රණ සභා වලින් කවරාකාර හෝ එකක තීරණය, පහත පවසන පරිදි එම ආඥාවට එකඟ වියයුතු වන්නේය:

78 නැවතත්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, සභාවේ වඩාත් වැදගත් කාර්යයන්, තවද සභාවේ වඩාත් අපහසු කාරණාවන් පිළිබඳ, සභානායකවරයාගේ හෝ විනිශ්චයකරුවන්ගේ තීරණ මත සතුටුදායක නොවන්නේ නම්, ඒවා උසස් පූජකවරයේ සභාපතිත්වය ඉදිරියට, සභාවේ මන්ත්‍රණ සභාව වෙතට භාරදී ඉදිරියට ගෙන ආ යුතු වන්නේය.

79 තවද උසස් පූජකවරයේ මන්ත්‍රණ සභාවේ සභාපතිත්වයට අනෙකුත් උත්තම පූජකයන්ව, එමෙන්ම දොළොස්දෙනාවද, උපදේශකයින් ලෙස සහය වීම සඳහා කැඳවීමට බලය ඇත්තේය; තවද මෙසේ උසස් පූජකවරයේ සභාපතිත්වයට සහ එහි උපදේශකයින්ට සභාවේ නීතීන්ට අනුව සාක්ෂිය මත තීරණය කිරීමට බලය ඇත.

80 තවද මෙම තීරණයට පසු එය ස්වාමින්වහන්සේ ඉදිරියේ තවදුරටත් සිහිකිරීමක් නොවන්නේය; මක්නිසාද මෙය දෙවියන්වහන්සේගේ සභාවේ උසස්ම මන්ත්‍රණ සභාව වන්නේය, තවද ආත්මික කාරණා වල මතභේදයන්ගේ අවසාන තීරණය වන්නේය.

81 සභාවේ මෙම මන්ත්‍රණ සභාවෙන් පිටස්තර වන සභාවට අයත්වන කිසිඳු පුද්ගලයෙක් එහි නොමැත්තේය.

82 තවද උසස් පූජකවරයේ සභාපතිවරයා වරද කරන පමණකින්, ඔහුව උසස් පූජකවරයේ උපදේශකයින් දොළොස්දෙනාගෙන් සහය ලැබෙන, සභාවේ පොදු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙනු ලැබිය යුතු වන්නේය;

83 තවද ඔහු සම්බන්ධව වන ඔවුන්ගේ තීරණය ඔහු සම්බන්ධ මතභේදයේ අවසාන තීරණය වන්නේය.

84 මෙසේ, දෙවියන්වන්සේගේ යුක්තිය සහ නීතීන් වෙතින් කිසිවෙකුත් නිදහස් නොවන්නේය, එනම් සියලු දේ උන්වහන්සේ ඉදිරියේ, සත්‍යවන්තව සහ ධර්මිෂ්ඨව, පිළිවෙලට සහ ස්ථිරත්වයෙන් සිදුවිය යුතු වන්නේය.

85 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, උපස්ථායක තනතුර මත සභාපතිවරයාගේ වගකීම වන්නේ උපස්ථායකවරු දොළොස්දෙනා මත සභාපතිත්වය දැරීම, ඔවුන් සමඟ මන්ත්‍රණ සභාවෙහි වාඩිවීම, එමෙන්ම එම ගිවිසුම් වලට අනුව දෙනු ලැබූ ලෙස, එකිනෙකාව වර්ධනය කරමින්, ඔවුන්ගේ වගකීම ඉගැන්වීමය.

86 තවද එසේම ගුරුවර තනතුර මත සභාපතිවරයාගේ වගකීම වන්නේ ගුරුවරුන් විසිහතර-දෙනා මත සභාපතිත්වය දැරීම, සහ ගිවිසුම් වල දී ඇති පරිදි, ඔවුන්ගේ තනතුරෙහි වගකීම් ඔවුන්ට උගන්වමින්, ඔවුන් සමඟ මන්ත්‍රණ සභාවෙහි වාඩිවීමය.

87 එසේම ආරෝනික පූජකවරය මත සභාපතිවරයාගේ වගකීම වන්නේ පූජකවරුන් හතලිස්-අටදෙනා මත සභාපතිත්වය දැරීම, සහ ගිවිසුම් වල දී ඇති පරිදි, ඔවුන්ගේ තනතුරෙහි වගකීම් ඔවුන්ට ඉගැන්වීම සඳහා ඔවුන් සමඟ මන්ත්‍රණ සභාවෙහි වාඩිවීමය—

88 මෙම සභාපතිවරයා සභානායකවරයා වන්නේය; මක්නිසාද මෙය මෙම පූජකවරයේ වගකීම් වලින් එකක් වන්නේය.

89 නැවතත්, වැඩිහිටි තනතුර මත සභාපතිවරයාගේ වගකීම වැඩිහිටියන් අනූ-හයදෙනා මත සභාපතිත්වය දැරීමය, තවද ඔවුන් සමඟ වාඩිවීමට, ඔවුන්ගේ ගිවිසුමට අනුව ඔවුන්ට ඉගැන්වීමය.

90 මෙම සභාපතිත්වය හැත්තෑවරුන් වෙතින් වෙනස් එකක්ය, තවද ලෝකය පුරා ගමන් නොකරන්නාවූ අය වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේය.

91 තවද නැවතත්, උසස් පූජකවරයේ සභාපතිවරයාගේ වගකීම වන්නේ මුළු සභාවම මත, තවද මෝසෙස් ලෙස සමානව, සභාපතිත්වය දැරීමය—

92 බලන්න, ප්‍රඥාව මෙහි වන්නේය; එසේය, සභාවේ ප්‍රධානියා මත උන්වහන්සේ ප්‍රදානය කරන දෙවියන්වහන්සේගේ සියලු දීමනා ඇතිව, දර්ශන දකින්නෙකු, එළිදරව් කරන්නෙකු, පරිවර්තකයෙකු, තවද අනාගතවක්තෘවරයෙකු වීමය.

93 තවද එය හැත්තෑවරුන්ගේ පිළිවෙල පෙන්වන දර්ශනය අනුවය, එනම් ඔවුන් මත සභාපතිත්වය දැරීමට හැත්තෑවරුන්ගේ සංඛ්‍යාවෙන් තෝරාගත්, සභාපතිවරුන් හත්දෙනෙකු සිටිය යුතු වන්නේය;

94 තවද මෙම සභාපතිවරුන්ගෙන් හත්වන සභාපතිවරයා හයදෙනා මත සභාපතිත්වය දරන්නේය;

95 තවද මෙම සභාපතිවරුන් හත්දෙනා ඔවුන් අයත්වන්නාවූ පළමු හැත්තෑවරයට අමතරව වෙනත් හැත්තෑවරයක් තෝරාගත යුතු වන්නෝය, තවද ඔවුන් මත සභාපතිත්වය දැරිය යුතු වන්නෝය;

96 තවද එසේම මිදිවත්තේ සේවයට අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ නම්, අනෙක් හැත්තෑවරුන්වද, හැත්තෑවර හත්වරක් වනතුරු [තෝරාගත යුතු වන්නේය].

97 තවද මෙම හැත්තෑවරුන් පළමුව අන්‍ය ජාතිකයන්ටද තවද එසේම යුදෙව්වන් වෙතටද, ගමන්කරන්නාවූ දේවසේවකයන් විය යුතු වන්නෝය.

98 කෙසේවෙතත්, දෙළොස්දෙනා හටද, එමෙන්ම හැත්තෑවරුන්ටද, අයත් නොවන්නාවූ සභාවේ අනෙකුත් තනතුරු දරන අයවලුන්, සියලු ජාතීන් අතර ගමන් කළයුතු වන වගකීම යටතට නොවැටෙන්නෝය, එනමුත් ඔවුන් සභාවේ උසස් සහ වගකීම් සහිත තනතුරු දරන නමුත්, ඔවුන්ගේ තත්වයන් ඉඩදෙන පරිදි ගමන් කළයුතු වන්නෝය.

99 එසේහෙයින්, දැන් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ වගකීම ඉගෙනගනිත්වා, තවද ඔහුව පත්කරන ලද්දාවූ එම තනතුරෙහි, සියලු උද්යෝගයෙන් යුතුව ක්‍රියාකරත්වා.

100 ඔහු එනම් අලසයා නැගී සිටීමට සුදුස්සෙකු ලෙස ගණන් නොගනු ලබන්නේය, තවද ඔහුගේ වගකීම ඉගෙන නොගන්නාද තවද උන්වහන්සේ අනුමත නොකළ පරිදි ඔහුවම පෙන්වන්නාවූ ඔහුද නැගී සිටීමට සුදුස්සෙකු ලෙස ගණන් ගනු නොලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.