ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 109


109 වන කොටස

1836 මාර්තු 27, කර්ට්ලන්ඩ්, ඔහායෝ හි, දේවමාළිගාව කැපකිරීමේදී ඉදිරිපත් කළ යාච්ඤාව වේ. අනාගතවක්තෘවරයාගේ ලිඛිත වාර්තාවට අනුව, මෙම යාච්ඤාව ඔහුට එළිදරව්වක් මගින් දෙනු ලැබ තිබුණි.

1–5, කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනගන ලද්දේ මනුෂ්‍යය පුත්‍රයාණන්ට බැහැදැකීමේ ස්ථානයක් ලෙසය; 6–21, එය යාච්ඤාවේ, නිරාහාරයේ, ඇදහිල්ලේ, ඉගෙනීමේ, මහිමයේ, සහ පිළිවෙලේ ගෘහයක්ද, එමෙන්ම දෙවියන්වහන්සේගේ ගෘහයක්ද වන්නේය; 22–33, ස්වාමින්වහන්සේගේ ජනතාවට විරුද්ධ වන පසුතැවිලි නොවන්නන්ව පලවාහරිනු ලැබේවා; 34–42, ශුද්ධවන්තයන් බලයෙන් යුතුව ඉදිරියට ගමන් කරමින් ධර්මිෂ්ඨයන්ව සයොනට රැස්කරනු ලැබේවා; 43–53, අවසන් දවස් වලදී දුෂ්ටයන් මත වගුරුවනු ලබන භයංකාර දේවල් වෙතින් ශුද්ධවන්තයන්ව මුදවනු ලැබේවා; 54–58, ජාතීන් සහ ජනතාවන් සහ සභාවන් ශුභාරංචිය උදෙසා සූදානම් වනු ලැබේවා; 59–67, යුදෙව්වන්, ලාමන්වරුන්, සහ සියලු ඉශ්‍රායෙලිතයන් මුදවාගනු ලැබේවා; 68–80, ශුද්ධවන්තයන්ව මහිමයෙන් සහ ගෞරවයෙන් ඔටුනු පළඳවා තවද සදාකාලික ගැලවීම ලබාගනු ලැබේවා.

1 අහෝ ස්වාමින් වන ඊශායෙලයේ දෙවියන්වහන්ස, ගිවිසුම් තබමින්, තවද ඔවුන්ගේ මුළු හදින්ම, ඔබවහන්සේ ඉදිරියේ ඍජුව ගමන්කරන ඔබවහන්සේගේ සේවකයන්ට දයාව දක්වන, ඔබවහන්සේගේ නාමයට ස්තූති වේවා—

2 ඔබවහන්සේ මෙම ස්ථානයේ (කර්ට්ලන්ඩ්) ඔබවහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනැගීමට ඔබවහන්සේගේ සේවකයන්ට ආඥා කළ සේක.

3 තවද දැන් ඔබවහන්සේ දකින සේක, අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ සේවකයන් ඔබවහන්සේගේ ආඥාවට අනුව ක්‍රියාකර ඇත.

4 තවද දැන් අපි ඔබවහන්සේගෙන් අයදින්නේ, ශුද්ධ වූ පියාණෙනි, ඔබවහන්සේගේ ලයෙහි පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, උන්වහන්සේගේ නාමයෙන් පමණක්ම මනුෂ්‍ය දරුවන්ට ගැලවීම ලබාගත හැකිවන සේක, අහෝ ස්වාමිනි, අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නේ, ඔබවහන්සේ අපට ගොඩනැගීමට ආඥා කළ, ඔබවහන්සේගේ සේවකයන් වූ, අපගේ දෑත් වල හස්ත කර්මාන්තය වූ, මෙම ගෘහය පිළිගන්නා ලෙසය.

5 මක්නිසාද අපි මෙම ක්‍රියාව මහත් වූ පීඩාවන් තුළින් කළ බව ඔබවහන්සේ දන්නා සේක; තවද ඔබවහන්සේගේ නාමයෙන් ගෘහයක් ගොඩනැගීමට අපගේ දුප්පත්කමෙන් අපි අපගේ කොටස දුන්නෙමු, එනම් මනුෂ්‍ය පුත්‍රයාණන්ට උන්වහන්සේගේ ජනතාවට උන්වහන්සේව ප්‍රකාශ කිරීමට ස්ථානයක් තිබෙන පිණිසය.

6 තවද අපව ඔබවහන්සේගේ මිත්‍රයන් ලෙස කැඳවමින්, අප හට දෙනු ලැබූ, එළිදරව්වකින් ඔබවහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක—මම නුඹලාට ආඥා කළ ලෙස, නුඹලාගේ ශුද්ධ වූ රැස්වීම කැඳවන්න;

7 තවද සියල්ලන්ටම ඇදහිල්ල නොමැති හෙයින්, නුඹලා උද්යෝගයෙන් සොයමින් තවද එකිනෙකාට ප්‍රඥාවේ වචනය උගන්වන්න; එසේය, නුඹලා යහපත් පොත් වලින් ප්‍රඥාවේ චවන සොයන්න, අධ්‍යනයෙන් තවද එසේම ඇදහිල්ල මගින් වුවත් ඉගෙනීම සොයන්න;

8 නුඹලාව සංවිධානය කරගන්න; අවශ්‍ය සියලු දේවල් සූදානම් කරගන්න, තවද යාච්ඤාවේ ගෘහයක්, නිරාහාරයේ ගෘහයක්, ඇදහිල්ලේ ගෘහයක්, ඉගෙනීමේ ගෘහයක්, මහිමයේ ගෘහයක්, පිළිවෙලේ ගෘහයක්, දෙවියන්වහන්සේගේ ගෘහයක් ලෙස වුවත්, ගෘහයක් පිහිටුවාගන්න;

9 එනම් නුඹලාගේ පැමිණීම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් වන පිණිසත්, එනම් නුඹලාගේ පිටත්වීම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් වන පිණිසත්, එනම් නුඹලාගේ සියලු ආචාර කිරීම්, මහෝත්තම වූ තැනැන්වහන්සේ දෙසට එසවූ දෑත් සමඟින්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් වන පිණිසත්ය—

10 තවද දැන්, ශුද්ධ වූ පියාණෙනි, අපගේ ශුද්ධ වූ රැස්වීම කැඳවීමේදී, ඔබවහන්සේගේ කරුණාව සමඟින්, ඔබවහන්සේගේ ජනතාව වන, අපට සහය වන ලෙස අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු, එනම් එය ඔබවහන්සේගේ ගෞරවය උදෙසා සහ ඔබවහන්සේගේ දිව්‍යමය පිළිගැනීම උදෙසා සිදුවන පිණිසය;

11 තවද අපට දෙනු ලැබූ එළිදරව් තුළ, ඔබවහන්සේගේ ජනයා වන, අප වෙතට කරන ලද එම පොරොන්දු සම්පූර්ණ වීම ලබාගැනීමට, ඔබවහන්සේගේ ඉදිරියෙහි අප සුදුස්සන් ලෙස සිටින පිණිසය;

12 එනම් ඔබවහන්සේගේ මහිමය ඔබවහන්සේගේ ජනතාව මතද, තවද අප දැන් ඔබවහන්සේ වෙතට කැපකරන, ඔබවහන්සේගේ මෙම ගෘහය මතද පවතින පිණිසය, එනම් එය ශුද්ධ වීම පිණිස පාරිශුද්ධ වී තවද කැපවන පිණිසය, තවද එනම් ඔබවහන්සේගේ ශුද්ධ වූ සහභාගිත්වය මෙම ගෘහයේ නිතරම පවතින පිණිසය;

13 තවද එනම් ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරකඩින් ඇතුළු වන්නාවූ සියලු ජනතාවට ඔබවහන්සේගේ බලය දැනෙන පිණිසද, එමෙන්ම ඔබවහන්සේ විසින් එය පාරිශුද්ධ කර ඇති බව පිළිගැනීමට පෙළඹවීමක් දැනෙන පිණිසය, තවද ඒ ඔබවහන්සේගේ ගෘහය වන්නේය, ඔබවහන්සේගේ ශුද්ධවන්ත බවේ ස්ථානයක් වන්නේය.

14 තවද ශුද්ධ වූ පියාණෙනි, මෙසේ ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු, එනම් මෙම ගෘහයේ නමස්කාර කරන්නාවූ සියල්ලෝ හොඳම පොත් වලින් ප්‍රඥාවේ වචන ඉගෙනගන්නා පිණිසද, තවද ඔබවහන්සේ පැවසූ ලෙස, ඔවුන් අධ්‍යයනය මගින්ද, තවද ඇදහිල්ල මගින්ද ඉගෙනීම සොයනා පිණිසද;

15 තවද එනම් ඔවුන් ඔබවහන්සේ තුළ වර්ධනය වන පිණිසද, තවද ශුද්ධාත්මයාණන්වහන්සේගේ පූර්ණත්වය ලබාගෙන, තවද ඔබවහන්සේගේ නීතීන්ට අනුව සංවිධානය වී, තවද අවශ්‍ය සියලු දේවල් ලබාගැනීමට සූදානම් වන පිණිසද;

16 තවද එනම් මෙම ගෘහය යාච්ඤාවේ ගෘහයක්ද, නිරාහාරයේ ගෘහයක්ද, ඇදහිල්ලේ ගෘහයක්ද, මහිමයේ සහ දෙවියන්වහන්සේගේ ගෘහයක්ද, ඔබවහන්සේගේ ගෘහයක් වුවත් වන පිණිසද;

17 එනම් මෙම ගෘහය තුළට, ඔබවහන්සේගේ ජනතාවගේ සියලු පැමිණීම්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් වන පිණිසද;

18 එනම් මෙම ගෘහයෙන් ඔවුන්ගේ සියලු පිටත්වීම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් වන පිණිසද;

19 තවද එනම් ඔවුන්ගේ සියලු ආචාර කිරීම්, ශුද්ධ වූ දෑත්, මහෝත්තම වූ තැනැන්වහන්සේ කෙරෙහි ඉහළට ඔසවමින්, ස්වාමින්වහනසේගේ නාමයෙන් වන පිණිසද;

20 තවද එනම් ඔබවහන්සේගේ ගෘහය දූෂිත කිරීමට, කිසිඳු අපවිත්‍ර දෙයකට ඔබවහන්සේගේ ගෘහය තුළට පැමිණෙන්නට ඉඩනොදෙන පිණිසද;

21 තවද ඔබවහන්සේගේ ජනතාව, ඔවුන්ගෙන් ඕනෑම අයෙකු වරදට පත්වන විට, ඔවුන් ඉතා ඉක්මණින් පසුතැවිලි වී තවද ඔබවහන්සේ වෙතට නැවත හැරී, තවද ඔබවහන්සේ ඉදිරියේ ප්‍රසාදය සොයාගනිමින්, තවද ඔබවහන්සේගේ ගෘහය තුළ ඔබවහන්සේට ගෞරව කරන්නාවූ ඔවුන් මත වගුරුවාලීමට නියම කර ඇති නැවත පිහිටවූ ආශිර්වාදයන් නැවත ලබාගන්නා පිණිසය.

22 තවද ශුද්ධ වූ පියාණෙනි, අපි ඔබවහන්සේගෙන් මෙසේ අයදින්නෙමු, එනම් ඔබවහන්සේගේ සේවකයන් මෙම ගෘහයෙන් පිටතට ඔබවහන්සේගේ බලයෙන් යුතුව ගමන්ගන්නා පිණිසද, තවද ඔවුන් මත ඔබවහන්සේගේ නාමය පවතින පිණිසද, තවද ඔවුන් අවට වටේට ඔබවහන්සේගේ මහිමයද, තවද ඔවුන් මත ඔබවහන්සේගේ දේවදූතයන්ගේ සැලකිල්ල පවතින පිණිසද;

23 තවද මෙම ස්ථානයේ පටන් ඔවුන් ඉතා මහත් සහ මහිමවත් ශුභ පණිවිඩ, සත්‍යවන්තව, පොළොවේ අන්තයන් දක්වා බෙදාගන්නා පිණිසද, එනම් ඔවුන් මෙය ඔබවහන්සේගේ කාර්යය බවද, තවද අවසාන දවස් පිළිබඳ, අනාගතවක්තෘවරුන්ගේ මුඛයන් වලින් ප්‍රකාශ කරන ලද දේවල් සම්පූර්ණ වන පිණිස, ඔබවහන්සේ ඔබවහන්සේගේ හස්තය පෙරට දිගුකර ඇති බවද දැනගන්නා පිණිසය.

24 ශුද්ධ වූ පියාණෙනි, අපි ඔබවහන්සේගෙන් මෙසේ අයදින්නෙමු, ඔබවහන්සේට නමස්කාර කරන, තවද ඔබවහන්සේගේ ගෘහයේ ගෞරවාන්විතව නාමයක් සහ තත්වයක් උසුලන්නාවූ ජනතාව, සියලු පරම්පරාවන්ටත් තවද සදාකාලයටත් පිහිටවනු මැනව;

25 එනම් ඔවුන්ට විරුද්ධව තිබෙන්නාවූ කිසිම ආයුධයක් සමෘධිමත් නොවන පිණිසද; එනම් ඔවුන්ට උගුලක් හාරන්නාවූ ඔහුවම එහි වැටෙන පිණිසද;

26 එනම් කිසිඳු දුෂ්ට සංවිධානයක් මෙම ගෘහයේ ඔබවහන්සේගේ නාමය ලබා ඇති ඔබවහන්සේගේ ජනතාව මත නැගී සිටිමින් ඔවුන් මත ජයගැනීමට බලය ලබානොගන්නා පිණිසද;

27 තවද කිසිඳු ජනතාවක් මෙම ජනතාවට විරුද්ධව නැගී සිටී නම්, එනම් ඔබවහන්සේගේ කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිලෙන පිණිසද;

28 තවද ඔවුන් මෙම ජනතාවට පහරදෙන්නේ නම් ඔබවහන්සේ ඔවුන්ට පහරදෙන පිණිසද; ඔවුන් ඔවුන්ගේ සියලු සතුරන්ගේ දෑත් වලින් මුදවාගන්නා පිණිස, සටන් දවසේදී ඔබවහන්සේ කළාක් මෙන් ඔබවහන්සේ ඔබවහන්සේගේ ජනතාව වෙනුවෙන් සටන් කරන පිණිසය.

29 ශුද්ධ වූ පියාණෙනි, අපි ඔබවහන්සේගෙන් මෙසේ අයදින්නෙමු, සදාකාලික ශුභාරංචිය ඔවුන්ගේ කන් වලට දේශනා කරන දවසේදී, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, ඔබවහන්සේගේ සේවකයා හෝ සේවකයන්ට විරුද්ධව, ලෝකය පුරා, රටවල් පුරා ව්‍යාජ වාර්තාවන් පතුරුවන ලද ඒ සියල්ලන්ව, පරාජයට පත්කර, තවද මවිතයට පත්කර, තවද ලැජ්ජාවට සහ ව්‍යාකූලත්වයට ගෙන එනු මැනව;

30 තවද එනම් ඔවුන්ගේ සියලු ක්‍රියාවන් ශුන්‍යත්වයට පමුණුවන පිණිසද, තවද එනම් ඔබවහන්සේගේ ජනතාවට විරුද්ධව ඇති බොරු සහ නින්දාවන් වල අවසානයක් වන පිණිස, ඔබවහන්සේගේ කෝපයෙන් ඔවුන් මත එවන්නාවූ හිමකැට වැස්ස මගින් සහ විනිශ්චය මගින් ඔවුන්ව අතුගා දමන පිණිසය.

31 අහෝ ස්වාමිනි, එනම් ඔබවහන්සේගේ සේවකයන් ඔබවහන්සේගේ නාමය ගැන සාක්ෂි දැරීමේදී ඔබවහන්සේ ඉදිරියේ අහිංසකව සිටි බවත්, ඒ උදෙසා ඔවුන් මේ දේවල් නිසා පීඩා විඳි බවත් ඔබවහන්සේ දන්නා සේක.

32 එසේහෙයින් මෙම වියගහ යටතෙන්, අපි ඔබවහන්සේ ඉදිරියේ සම්පූර්ණ සහ පරිසමාප්ත මිදීමක් අයදින්නෙමු;

33 අහෝ ස්වාමිනි, එය බිඳදමන්න; ඔබවහන්සේගේ සේවකයන්ගේ බෙල්ලෙන්, ඔබවහන්සේගේ බලයෙන් එය බිඳදමන්න, එනම් අපි මෙම පරම්පරාව මධ්‍යයේ නැගී සිටිමින් ඔබවහන්සේගේ කාර්යයන් ඉටුකරනු පිණිසය.

34 අහෝ යෙහෝවාවහන්ස, මෙම ජනතාව මත දයාව දක්වනු මැනව, තවද සියලු මනුෂ්‍යයන් පාපයන් කරන්නාක් මෙන්, ඔබවහන්සේගේ ජනතාවගේ වරද වලට සමාවදෙනු මැනව, තවද ඒවා සදාකාලයටම මකාදමනු මැනව.

35 ඔබවහන්සේගේ දේවසේවකයින්ගේ ආලේප කිරීම් ඔවුන් මත ඉහළින් බලය සමගින් මුද්‍රා වන්නට සලස්වනු මැනව.

36 පෙන්තකෝස්ත දවසේ ඔවුන් මත වූවාක් මෙන්, ඔබවහන්සේගේ ජනතාව මත අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව, ගිනි වැනි වූ දිව් වුවත්, වැගිරීමට සලස්වනු මැනව, තවද එහිවූ පරිවර්තනයද සමඟ, එය ඔවුන් මත සම්පූර්ණ වන්නට සලස්වනු මැනව.

37 තවද ඔබවහන්සේගේ මහිමය සමඟින්, බලවත් ලෙස හමායන්නා වූ සුළඟක් සමඟ මෙන්, ඔබවහන්සේගේ ගෘහය පූර්ණ වීමට සලස්වනු මැනව.

38 එම ගිවිසුමේ සාක්ෂිය ඔබවහන්සේගේ සේවකයන් මත තබනු මැනව, එනම් ඔවුන් පිටතට ගොස් තවද ඔබවහන්සේගේ වචනය ප්‍රකාශ කරන විට ඔවුන් එම නීතිය මුද්‍රා කරන පිණිසය, තවද ඔවුන්ගේ වැරදි නිසා, ඔබවහන්සේගේ කෝපයෙන්, පොළොවේ පදිංචිකරුවන් මත ඔබවහන්සේ විසින් එවීමට ඇති එම මුළු විනිශ්චයන් සඳහා ඔබවහන්සේගේ ශුද්ධවන්තයන්ගේ හදවත් සූදානම් කරනු මැනව, එනම් කරදර සහිත දවසේදී ඔබවහන්සේගේ ජනයා ක්ලාන්ත නොවන පිණිසය.

39 තවද කුමන නගරකට ඔබවහන්සේගේ සේවකයන් ඇතුළු වන්නේද, තවද එම නගරයේ ජනතාව ඔවුන්ගේ සාක්ෂිය ලබන්නේද, එම නගරය මත ඔබවහන්සේගේ සාමය සහ ඔබවහන්සේගේ ගැලවීම ලබාදෙනු මැනව; එනම් ඔවුන් එම ධර්මිෂ්ඨ වූවන්ව නගරයෙන් පිටතට රැස්කරගන්නා පිණිසය, එනම් ඔවුන් සයොනය වෙතට, හෝ ඇයගේ ස්ටේකයන් වෙතට, ඔබවහන්සේගේ නියම කළ ස්ථානයන්ට, සදාකාලික ප්‍රීතියේ ගීතයන් සමඟින් පැමිණෙන පිණිසය;

40 තවද මෙය ඉටුවන වනතුරු, එම නගරය මත ඔබවහන්සේගේ විනිශ්චය පැමිණෙන්නට ඉඩනොදෙනු මැනව.

41 තවද කුමන නගරකට ඔබවහන්සේගේ සේවකයන් ඇතුළු වන්නේද, තවද එම නගරයේ ජනතාව ඔබවහන්සේගේ සේවකයන්ගේ සාක්ෂිය ලබානොගන්නේ නම්, තවද ඔබවහන්සේගේ සේවකයන් මෙම අවාසනාවන්ත පරම්පරාවෙන් ඔවුන්වම ගලවාගන්නා පිණිස ඔවුන්ට අනතුරු හඟවන්නේ නම්, ඔබවහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කතාකළ ලෙස එම නගරය මත එය සිදුවීමට ඉඩදෙනු මැනව.

42 අහෝ යෙහෝවාවහන්ස, අපි ඔබවහන්සේව සොයන්නෙමු, එහෙත් ඔවුන්ගේ අත් වලින් ඔබවහන්සේගේ සේවකයන්ව ගලවාගනු මැනව, තවද ඔවුන්ගේ රුධිරය වෙතින් ඔවුන්ව පවිත්‍ර කරනු මැනව.

43 අහෝ ස්වාමිනි, අපගේ සහෝදර මනුෂ්‍යයන්ගේ විනාශය තුළ අපි ප්‍රීති ප්‍රමුදිත නොවන්නෙමු; ඔබවහන්සේ ඉදිරියේ ඔවුන්ගේ ප්‍රාණයන් වටින්නේය;

44 එහෙත් ඔබවහන්සේගේ වචනය සම්පූර්ණ වියයුතු වන්නේය. ඔබවහන්සේගේ කරුණාව තුළින් සහය වෙමින්, ඔබවහන්සේගේ සේවකයන්ට මෙසේ පැවසීමට උපකාර කරනු මැනව: අහෝ ස්වාමිනි, අපගේ කැමැත්ත නොව, ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවේවා.

45 ඔබවහන්සේ ඔබවහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ මුඛයන් මගින් අවසන් දවස් වල, දුෂ්ටයන් සම්බන්ධයෙන් භයානක දේවල් ප්‍රකාශ කර ඇති බව අපි දනිමු—එනම් මිම්මකින් තොරව, ඔබවහන්සේ විසින් ඔබවහන්සේගේ විනිශ්චයන් පිටතට වගුරුවාලන සේක;

46 එසේහෙයින්, අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ ජනතාවව දුෂ්ටයන්ගේ අභාග්‍යය වෙතින් මුදවාගනු මැනව; ඔබවහන්සේගේ සේවකයන්ට නීතිය මුද්‍රා කිරීමටද, තවද සාක්ෂිය බැඳ දමන්නටද ශක්තිය ලබාදුන මැනව, එනම් ගිනිගන්නාවූ දවසට විරුද්ධව ඔවුන් සූදානම් වන පිණිසය.

47 ශුද්ධ වූ පියාණෙනි, අපි ඔබවහන්සේගෙන් අයදින්නෙමු, මිසුරි හි, ජැක්සන් ප්‍රාන්තයේ පදිංචිකරුවන් විසින්, ඔවුන්ගේ උරුමයේ දේශයන්ගෙන් පලවාහරිනු ලැබූ ඔවුන් සියල්ලන්ව සිහිකරනු මැනව, තවද අහෝ ස්වාමිනි, ඔවුන් මත තබා ඇති මෙම පීඩාවන් හි වියගහ බිඳදමනු මැනව.

48 අහෝ ස්වාමිනි, ඔබවහන්සේ දන්නා සේක, එනම් ඔවුන්ව දුෂ්ට මනුෂ්‍යයන් විසින් මහත් සේ හිංසා කර පීඩාවට පත්කර ඇත්තෝය; තවද අපගේ හදවත් ඔවුන්ගේ බරපතල බර නිසා ශෝකයෙන් පිටතට ගලායන්නේය.

49 අහෝ ස්වාමිනි, මෙම ජනතාවට මෙම පීඩාවන් දැරීමටද, තවද ඔවුන්ගේ අහිංසකයන්ගේ මොරගැසීම් ඔබවහන්සේගේ කන් වලට එසවෙන්නටද, තවද ඔවුන්ගේ රුධිරය ඔබවහන්සේ ඉදිරියේ සාක්ෂියක්ව පැමිණෙන්නටද, තවද ඔවුන් වෙනුවෙන් ඔබවහන්සේගේ සාක්ෂිය ප්‍රදර්ශනය නොකරන්නටද, ඔබවහන්සේ කෙතරම් දුරට ඉඩදෙන සේක්ද?

50 අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ ජනතාවව පලවාහරින ලද, දුෂ්ට කලහකාරයන් මත, දයාව දක්වනු මැනව, එනම් ඔවුන්ගේ කොල්ලකෑම් අවසන් වන පිණිසය, එනම් පසුතැවීම [ඔවුන්ට] ලබාගත හැකිනම් ඔවුන් ඔවුන්ගේ පාපයන්ට පසුතැවිලි වන පිණිසය;

51 එහෙත් ඔවුන් එසේ නොවන්නේ නම්, ඔබවහන්සේගේ හස්තය අනාවරණය කරනු මැනව, අහෝ ස්වාමිනි, තවද ඔබවහන්සේගේ ජනතාව හට එම නියම කරනු ලැබූ සයොනය මුදවාලනු මැනව.

52 තවද එය එසේ නොවන්නේ නම්, එනම් ඔබවහන්සේගේ ජනතාවගේ කාරණාවන් ඔබවහන්සේ ඉදිරියේ අසමත් නොවී ඔබවහන්සේගේ උදහස අවුලවනු මැනව, තවද ඔබවහන්සේගේ ද්වේශය ඔවුන් මත පතිත වන පිණිසය, එනම් ස්වර්ගයෙන් යට, මුල සහ අත්ත දෙකම ලෙස, ඔවුන් විනාශ වී යන පිණිසය;

53 එහෙත් ඔවුන් පසුතැවිලි වන පමණින්, ඔබවහන්සේ කරුණාවන්ත සහ දයාවන්ත හෙයින්, තවද ඔබවහන්සේගේ ආලේපලත් තැනැන්වහන්සේගේ මුහුණ දෙස ඔබවහන්සේ බලන විට ඔබවහන්සේගේ කෝපය හැරීයන්නේය.

54 අහෝ ස්වාමිනි, පොළොවේ සියලු ජාතීන් මත දයාවන්ත වනු මැනව; අපගේ දේශයේ පාලකයන් මත දයාවන්ත වනු මැනව; අපගේ පියවරුන් විසින්, ගෞරවාන්විතව සහ උතුම් ලෙස ආරක්ෂා කර ඇති, එම මූලධර්මයන්, නමින්, අපගේ දේශයේ ව්‍යවස්ථාව, සදාකාලයටම පිහිටුව මැනව.

55 රජවරුන්වද, කුමාරවරුන්වද, උත්තමයන්වද, පොළොවේ ශ්‍රේෂ්ඨ අයවළුන්වද, සියලු ජනතාවද, තවද සභාවන්ද, සියලු දුප්පතුන්ද, අවශ්‍යතා ඇත්තන්ද, තවද පොළොවේ පීඩා ලද්දවුන්වද සිහිකරනු මැනව;

56 එනම් ඔබවහන්සේගේ නාමයෙන් සාක්ෂි දැරීමට, ඔබවහන්සේගේ සේවකයන් ඔබවහන්සේගේ ගෘහයෙන් පිටතට යන විට, අහෝ යෙහෝවාවහන්ස, ඔවුන්ගේ හදවත් මෘදු කළ මැනව; එනම් ඔවුන්ගේ මතය සත්‍ය ඉදිරියේ නැතිවී යන පිණිසය, තවද ඔබවහන්සේගේ ජනතාව සියල්ලන් ඉදිරියේම ප්‍රසාදය හිමිකරගන්නා පිණිසය;

57 එනම් ඔබවහන්සේගේ සේවකයින් වන අප, ඔබවහන්සේගේ හඬ අසා ඇති බවත්, තවද ඔබවහන්සේ අපව එවා ඇති බවත් පොළොවේ සියලු අන්තයන් දැනගන්නා පිණිසය;

58 එනම් මේ සියල්ලක්ම අතරතුරදී, යාකොබ්ගේ පුත්‍රයන් වන, ඔබවහන්සේගේ සේවකයින්, ධර්මිෂ්ඨයින්ව එක්රැස් කර, ඔබවහන්සේ ඔවුන්ට ආඥා කළාක් මෙන්, ඔබවහන්සේගේ නාමයට ශුද්ධ වූ නගරයක් ගොඩනගනු පිණිසය.

59 ඔබවහන්සේ නියම කළ ස්ටේකයට අමතරව සයොනය වෙතට වෙනත් ස්ටේකයන් නියම කරන ලෙස අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු, එනම් ඔබවහන්සේගේ ජනතාවගේ එක්රැස්වීම් මහත් බලයෙන් සහ තේජසින් ක්‍රියාත්මක වන පිණිසය, එනම් ඔබවහන්සේගේ කාර්යය ධර්මිෂ්ඨකමින් පෙරට ගෙන ඒමේ කාලය කෙටි වනු පිණිසය.

60 අහෝ ස්වාමිනි, අන්‍ය ජාතීන් සමඟ හඳුනාගෙන ඇති, අපට ඔබවහන්සේ විසින් දෙනු ලබා ඇති එළිදරව්, සහ ආඥා සම්බන්ධව, දැන් මෙම වචන, අපි ඔබවහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට ඇත්තෙමු.

61 එහෙත් වලාකුළු සහ අන්ධකාරය සහිත දිනයක, දිගු කාලයක් තිස්සේ කඳු මත විසිරී ඇති, යාකොබ්ගේ දරුවන් උදෙසා මහත් ප්‍රේමයක් ඔබවහන්සේට ඇති බව ඔබවහන්සේ දන්නා සේක.

62 එසේහෙයින් යාකොබ්ගේ දරුවන් මත දයාව දක්වන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලන්නෙමු, එනම් යෙරුසලම, මෙම පැයෙහි සිටම, මුදවාගැනීම ආරම්භ කරන පිණිසය;

63 තවද දාවිත්ගේ නිවසින් වහල්භාවයේ වියගහ බිඳදැමීම ආරම්භ වන පිණිසය;

64 තවද යුදාගේ දරුවන්, ඔබවහන්සේ විසින් ඔවුන්ගේ පියාණන් වූ, ආබ්‍රහම්ට දෙනු ලැබූ දේශයට හැරී ඒම ආරම්භ වන පිණිසය.

65 තවද ඔවුන්ගේ වරද කරණකොටගෙන ශාපලද තවද පහරලද, යාකොබ්ගේ ඉතිරි වූවන්ව, ඔවුන්ගේ කැලෑ සහ මිලේච්ඡ තත්වයන් වෙතින් සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය වෙතට හැරෙන්නට සැලැස්වුව මැනව;

66 එනම් ඔවුන් රුධිරය වැගිරවීමේ ඔවුන්ගේ ආයුධ බිම දමමින්, තවද ඔවුන්ගේ කැරලිකාරිත්වය නවත්වන පිණිසය.

67 තවද පොළොවේ අන්තයන්ට පලවාහරිනු ලැබූ, ඉශ්‍රායෙලයෙහි විසිරුවනු ලැබූ ඉතිරිවූවන්, මෙසියස්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින්, සත්‍යයේ දැනගැනීමට පැමිණේවා, තවද බලවත් පීඩාව වෙතින් මුදවාගනු ලැබ, තවද ඔබවහන්සේ ඉදිරියේ ප්‍රීති ප්‍රමුදිත වේවා.

68 අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ සේවක, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨවද, තවද ඔහුගේ සියලු පීඩාවන් සහ හිංසාවන්ද,—ඔහු යෙහෝවාවහන්සේ සමඟ ගිවිසුම්ගත වී, ඔබවහන්සේට ප්‍රතිඥා දුන් ආකාරයද, අහෝ යාකොබ්ගේ බලවත් වූ දෙවියන්වහන්ස—තවද ඔබවහන්සේ ඔහුට ලබාදුන්නාවූ ආඥාවන්ද, තවද එනම් ඔහු ඔබවහන්සේගේ කැමැත්ත කිරීමට අවංකව දැරූ පරිශ්‍රමයද මතක තබාගනු මැනව.

69 අහෝ ස්වාමිනි, ඔහුගේ භාර්යාව සහ දරුවන් වෙත, දයාව දැක්වුව මැනව, එනම් ඔවුන් ඔබවහන්සේගේ අභිමුඛයෙහි උත්කෘෂ්ඨ වනු පිණිසත්, තවද ඔබවහන්සේගේ හදාවඩා ගැනීමේ හස්තයෙන් ආරක්ෂා වනු පිණිසත්ය.

70 ඔවුන්ගේ සියලු සමීපතම සම්බන්ධතාවයන් මත දයාව දක්වනු මැනව, එනම් ඔවුන්ගේ මතයන් බිඳී තවද ගංවතුරක් සමඟ මෙන් ඉවතට ගසාගෙන යන පිණිසය; එනම් ඔවුන්ව හරවාගනු ලබා ඉශ්‍රායෙලය සමඟ මුදවාගනු ලබන පිණිසය, තවද එනම් ඔබවහන්සේ දෙවියන්වහන්සේ බව දැනගන්නා පිණිසය.

71 අහෝ ස්වාමිනි, සභාපතිවරුන්වද, එසේම ඔබවහන්සේගේ සභාවේ සියලු සභාපතිවරුන්වද සිහිකරනු මැනව, එනම් ඔබවහන්සේගේ දකුණු හස්තය ඔවුන්ව, ඔවුන්ගේ පවුල් සමඟද, තවද ඔවුන්ගේ සමීපතම සම්බන්ධතා සමඟද උත්කෘෂ්ඨ කරනු පිණිසය, එනම් ඔවුන්ගේ නාමයන් ස්ථිර කරනු ලැබ තවද පරම්පරාවෙන් පරම්පරාවට සදාකාලයටම නොනැසී තිබෙන පිණිසය.

72 අහෝ ස්වාමිනි, ඔවබහන්සේගේ සභාවේ සියල්ලන්ව, ඔවුන්ගේ සියලු පවුල්ද, තවද ඔවුන්ගේ සියලු සමීපතම සම්බන්ධතා සමඟද, ඔවුන්ගේ සියලු රෝගාතුර වූවන් සහ පීඩිතයින් සමඟද, පොළොවේ සියලු දුප්පතුන් සහ නිහතාමානී අයවලුන් සමඟද, සිහිකරනු මැනව; එනම් ඔබවහන්සේ දෑත් වලින් තොරව ගොඩනගන ලද්දාවූ, රාජ්‍යය, මහත් වූ කන්දක් බවට පත්වෙමින් තවද මුළු ලෝකයම පුරවන පිණිසය.

73 එනම් ඔබවහන්සේගේ සභාව අන්ධකාරයේ වනාන්තරයෙන් පිටතට පැමිණ, තවද සඳ මෙන් පැහැපත්ව බබළමින්, ඉර මෙන් පැහැදිලිව, තවද කොඩි සමඟ වූ හමුදාවක් මෙන් භයංකාර වන පිණිසය;

74 තවද ඔබවහන්සේගේ මහිමයෙන් පොළොව පිරෙන පිණිස, ඔබවහන්සේ ස්වර්ගයන් විවෘත කර, තවද ඔබවහන්සේගේ අභිමුඛයේ කඳු දියවී යන්නට සලස්වා, තවද මිටියාවත් ඔසවනු ලබා, රළු තැන් මෘදු බවට පත්කරන, එම දවසේදී [සභාව] මනාලියක් මෙන් සැරසෙන පිණිසය;

75 එනම් මළවුන් උදෙසා හොරණෑව ශබ්දකළ විට, අපි ඔබවහන්සේව මුණගැසීමට වලාකුළු මත හමුවන්නෙමු, එනම් අපි සදාකාලයටම ස්වාමින්වහන්සේ සමඟ වන පිණිසය;

76 එනම් අපගේ වස්ත්‍ර පවිත්‍ර වන පිණිසය, එනම් අපි ධර්මිෂ්ඨකමේ සළු වලින් සැරසී, අපගේ අත්වල තාල පත්‍ර ඇතිව, අපගේ හිස්මත මහිමයේ ඔටුනු සමඟ, තවද අපගේ සියලු වේදනාවන් උදෙසා සදාකාල ප්‍රීතිය නෙලාගනු ලබන පිණිසය.

77 අහෝ ස්වාමින් වූ සර්වබලධාරි දෙවියන්වහන්ස, අපගේ මෙම ඉල්ලීම් අසනු මැනව, සදාකාලයෙන් සදාකාලයට, මහිමය, ගෞරවය, බලය, තේජස, ශක්තිය, ආධිපත්‍යය, සත්‍යය, යුක්තිය, විනිශ්චය, දයාව, සහ පූර්ණත්වයේ අපිරිමිත බව සමඟ, ඔබවහන්සේ සිංහාසනාරූඪව සිටින, ඔබවහන්සේගේ ශුද්ධ වූ වාසස්ථානය වන, ස්වර්ගයේ සිට අපට පිළිතුරු දෙනු මැනව.

78 අහෝ සවන්දෙනු මැනව, අහෝ සවන්දෙනු මැනව, අහෝ අපට සවන්දෙනු මැනව, අහෝ ස්වාමිනි! තවද මෙම අයැදීම් වලට පිළිතුරු දෙනු මැනව, තවද අපි ඔබවහන්සේගේ නාමයට ගොඩනගන ලද, අපගේ හස්තයන්ගේ කාර්යය වන, ඔබවහන්සේ උදෙසා වූ මෙම ගෘහයේ කැපකිරීම පිළිගනු මැනව;

79 තවද එසේම මෙම සභාවද [පිළිගනු මැනව], ඒ මත ඔබවහන්සේගේ නාමය තබනු මැනව. තවද ඔබවහන්සේගේ ආත්මයේ බලයෙන් අපට උපකාර කළ මැනව, එනම් දෙවියන්වහන්සේට සහ බැටළුපටවාණන්ට හෝසන්නා! යැයි ගයමින්, ප්‍රීතිඝෝශා සමඟ පසසමින්, ඔබවහන්සේගේ සිංහාසනය වටේ එම දීප්තිමත්, දිදුලන උසස් සෙරාප්වරුන් සමඟින්, අපගේ හඬවල් මිශ්‍ර කරන පිණිසය.

80 තවද මෙම ඔබවහන්සේගේ ආලේප ලත් අයවළුන්ට, ගැලවීම පළඳින්නටත්, තවද ඔබවහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රීතිය උදෙසා මොරගැසීමටත් සැලස්සුව මැනව. ආමෙන්, තවද ආමෙන්.