ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 11


11 වන කොටස

1829 මැයි, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඔහුගේ සහෝදර හයිරම් ස්මිත් හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව ඌරීම් සහ තුම්මීම් තුළින් ජෝසෆ්ගේ ආයාචනය සහ විමසුමට පිළිතුරක් ලෙස ලැබුණි. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය අනුව මෙම එළිදරව්ව ලැබුනේ ආරෝනික පූජකවරය නැවත පිහිටුවීමෙන් පසුවය.

1–6, මිදිවත්තේ සේවකයන් ගැලවීම ලබනු ඇත; 7–14, ප්‍රඥාව සොයන්න, පසුතැවිල්ලට මොරගසන්න, ආත්මයාණන් විශ්වාස කරන්න; 15–22, ආඥා පිළිපදින්න, එමෙන්ම ස්වාමින්වහන්සේගේ වචන අධ්‍යයනය කරන්න; 23–27, එළිදරව් කිරීමේ සහ අනාවැකි කීමේ ආත්මය ප්‍රතික්ෂේප නොකරන්න; 28–30, ක්‍රිස්තුස්වහන්සේව පිලිගන්නා වූ අය දෙවියන්වහන්සේගේ දරුවන් වන්නෝය.

1 ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර ක්‍රියාවක් මනුෂ්‍ය දරුවන් අතරට පැමිණීමට නියමිතය.

2 බලන්න, මම දෙවියන්වහන්සේ වෙමි; මාගේ වචනයට ඇහුම්කන් දෙන්න, එය ඉක්මන් සහ බලවත් වන්නේය, සංධි සහ ඇට මිදුළු දෙකම බෙදීමට, දෙමුවහත් කඩුවකට වඩා තියුණු වන්නේය; එසේහෙයින් මාගේ වචනයට ඇහුම්කන් දෙන්න.

3 බලන්න, අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; එසේහෙයින්, නෙලාගැනීමට කැමති කවරෙකු වුවත් ඔහුගේ දෑකැත්ත දමා ඔහුගේ ශක්තියෙන් කපත්වා, එනම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ගැලවීම ඔහුගේ ප්‍රාණයේ රැස්කරගන්නා පිණිස තවද දවස පවතින තුරු නෙලාගනිත්වා.

4 එසේය, අස්වැන්න කපාගැනීමට ඔහුගේ දෑකැත්ත දිගුකරන කවරෙකු වුවද, ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත්තේය.

5 එසේහෙයින්, නුඹ මාගෙන් ඉල්ලන්නේ නම් නුඹට ලැබෙන්නේය; නුඹ තට්ටු කරන්නේ නම් එය නුඹට විවෘත වන්නේය.

6 දැන්, නුඹලා ඉල්ලා ඇතිහෙයින්, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ආඥාවන් පිළිපදින්න, සයොනයේ කාරණාව පෙරට පැමිණවීම සහ පිහිටුවීම උදෙසා සොයාපන්න.

7 පොහොසත්කම නොව ප්‍රඥාව උදෙසා සොයාපල්ලා; තවද, බලන්න, දෙවියන්වහන්සේගේ අභිරහස් නුඹලා හට දිගහරිනු ලබන්නේය, තවද එවිට නුඹලා පොහොසත් කරනු ලබන්නේය. බලන්න, සදාකාල ජීවනය ඇති ඔහු පොහොසත් වන්නේය.

8 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා මාගෙන් ආශා වන්නාක් මෙන්ම නුඹලා හට එය කරනු ලබන්නේය; තවද, නුඹලා ආශා වන්නේ නම්, මෙම පරම්පරාව තුළ බොහෝ යහපත් දේ කිරීමේ මාධ්‍යය නුඹලා වන්නෝය.

9 මෙම පරම්පරාවට පසුතැවිල්ල හැරුනු විට කිසිවක් නොපවසන්න. මාගේ ආඥාවන් පිළිපදින්න, එමෙන්ම මාගේ ආඥාවන්ට අනුව, මාගේ ක්‍රියාවන් පෙරට ගෙන ඒමට උපකාරී වන්න, තවද නුඹලා ආශිර්වාදිත වන්නෝය.

10 බලන්න, නුඹ හට දීමනාවක් ඇත්තේය, හෝ නුඹ ඇදහිල්ලෙන්, අවංක හදවතක් සමඟින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය තුළ හෝ නුඹට කතා කරන මා තුළ ඇති බලය ගැන විශ්වාස කරමින්, මාගෙන් ආශා වන්නේ නම්, නුඹට දීමනාවක් වන්නේය;

11 මක්නිසාද, බලන්න, එය කතා කරන්නේ මමය; බලන්න, අන්ධකාරයේ බැබළෙන එම ආලෝකය මම වන්නෙමි, තවද මාගේ බලයෙන් මෙම වචන මම නුඹලා හට දෙන්නෙමි.

12 තවද දැන්, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලාට යහපත කිරීමට—එසේය, සාධාරණව ක්‍රියා කිරීමට, යටහත්ව ඇවිද යාමට, ධර්මිෂ්ඨව විනිශ්චය කිරීමට මගපෙන්වන එම ආත්මයාණන් කෙරෙහි නුඹලාගේ විශ්වාසය තබන්න; තවද මාගේ ආත්මය මෙය වන්නේය.

13 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ආත්මය නුඹලා හට මම දෙන්නෙමි, එය නුඹලාගේ මනස ආලෝකමත් කරනු ඇත, එය නුඹලාගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් පුරවනු ලබන්නේය;

14 තවද එවිට නුඹලා දැනගනු ලබන්නෙහුය, නැතහොත් මෙය මගින් නුඹලා දැනගනු ලබන්නෙහුය, මා කෙරෙන් නුඹලා ආශා වන සියලු දේවලින් කුමනාකාර දෙයක් වුවත්, එය ධර්මිෂ්ඨ වූ දේවලට සම්බන්ධවේ නම්, එනම් නුඹලාට ලැබෙන්නේ යැයි මා කෙරෙහි විශ්වාස කරන්නේ නම් නුඹලා ලබන්නෙහුය.

15 බලන්න, නුඹව කැඳවන තුරු නුඹව කැඳවා තිබෙන්නේ දේශනා කිරීමට බව නොසිතීමට මම නුඹට ආඥා කරන්නෙමි.

16 මාගේ දහමේ සත්‍යය දැනගන්නා පිණිස, මාගේ පර්වතයද, මාගේ සභාවද, මාගේ ශුභාරංචියද, මාගේ වචනයද නුඹට ලැබෙන තුරු, තවත් කෙටි කාලයක් බලා සිටින්න.

17 තවද එවිට, බලන්න, නුඹගේ ආශාවන්ට අනුව, එසේය, නුඹගේ ඇදහිල්ලට අනුව පවා එය නුඹ හට කරනු ලබන්නේය.

18 මාගේ ආඥාවන් පිළිපදින්න; නුඹගේ සමාදනය පවත්වාගන්න; මාගේ ආත්මය වෙතට අයදින්න;

19 එසේය, නුඹගේ මුළු හදවතින් මා වෙතට ඇලී සිටින්න, එනම් කතා කරන ලද එම දේවල් ආලෝකයට ගෙන ඒමට නුඹ උපකාරී වන පිණිසය—එසේය, මාගේ කටයුතු පරිවර්තනය කිරීම පිණිසය; නුඹ එය සම්පූර්ණ කරන තුරු ඉවසිලිවන්තව සිටින්න.

20 බලන්න, එසේය, නුඹගේ මුළු බලයෙන්ද, මනසින් සහ ශක්තියෙන්, මාගේ ආඥාවන් පිළිපැදීම, මෙය නුඹගේ කාර්යය වන්නේය.

21 මාගේ වචන ප්‍රකාශ කිරීමට නොසොයන්න, නමුත් මාගේ වචන පළමුව ලබාගැනීමට සොයන්න, තවද එවිට නුඹගේ දිව ලිහිල්වනු ඇත; ඉන්පසුව, නුඹ ආශා වන්නේ නම්, මනුෂ්‍යයන්ට ඒත්තුගන්වන පිණිස දෙවියන්වහන්සේගේ බලයද, එසේය, නුඹට මාගේ ආත්මය සහ මාගේ වචනයද ලැබෙනු ඇත.

22 එහෙත් දැන් නුඹගේ සමාදානය පවත්වාගන්න; මනුෂ්‍ය දරුවන් අතරට ගොස් තිබෙන මාගේ වචනය අධ්‍යයනය කරන්න, තවද එසේම මනුෂ්‍ය දරුවන් අතරට පැමිණෙන, හෝ එනම් දැන් පරිවර්තනය කරන, හෝ එසේය, මෙම පරම්පරාවේ මනුෂ්‍ය දරුවන් හට මා විසින් දෙනු ලබන සියල්ල නුඹට ලැබෙන තුරු, මාගේ එම වචනද අධ්‍යයනය කරන්න, තවද එවිට සියලු දේවල් එයට එකතු වනු ඇත.

23 බලන්න, නුඹ හයිරම් වේ, මාගේ පුත්‍රය; දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයන්න, තවද සියලු දේවල් එම ධර්මිෂ්ඨ ආකාරයට අනුව එකතු කරනු ලබන්නේය.

24 මාගේ ශුභාරංචිය වන, මාගේ පර්වතය මත ගොඩනැගෙන්න;

25 එළිදරව් ආත්මය හෝ අනාවැකි කීමේ ආත්මය ප්‍රතික්ෂේප නොකරන්න, මක්නිසාද මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නාට දුක්වේ;

26 එසේහෙයින්, මාගේ ප්‍රඥාවෙන් නුඹ ඉදිරියට යෑමේ කාලය වන තුරු නුඹගේ හදවතේ [මාගේ වචනය] රැස්කරගන්න.

27 බලන්න, මා කතා කරනු ලබන්නේ තවද අස්වැන්න නෙලාගැනීමට ඔවුන්ගේ දෑකැත්ත දැමූ, යහපත් ආශාවන් ඇති සියල්ලන්ටය.

28 බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි. මම ලෝකයේ ජීවනයද ආලෝකයද වන්නෙමි.

29 මාගේ ස්වකීයයන් වෙත පැමිණි එම තැතැත්තා මම වන්නෙමි තවද මාගේ ස්වකීයයන් මා පිළිගත්තේ නැත;

30 එහෙත් සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, මා පිළිගන්නා එම සියල්ලන්ටම, එනම් මාගේ නාමය කෙරහි විශ්වාස කරන අයටද, දෙවියන්වහන්සේගේ පුත්‍රයන් වීමට මම බලය දෙන්නෙමි. ආමෙන්.