ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 110


110 වන කොටස

1836 අප්‍රියෙල් 3, ඔහායෝ හි, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ ඔලිවර් කවුඩ්‍රි හට ප්‍රකාශ වූ දර්ශන වේ. එම අවස්ථාව සබත් දින රැස්වීමකි. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ ප්‍රකාශ කරයි: “ඒ දහවලේදී, මේ දිනයේදී පූජනීය මේසයේ කටයුතු කිරීමට වරප්‍රසාද ලත්, දොළොස්දෙනාගෙන් ලැබූ, ස්වාමින්වහන්සේගේ භෝජනය සභාවට බෙදාහැරීමට මම අනෙකුත් සභාපතිවරුන්ට සහය වුණෙමි. මාගේ සහෝදරයින්ට මෙම සේවය ඉටුකිරීමෙන් පසු, මම දේශනා කූඩුව වෙතට ගියෙමි, තිර වසා තිබුණි, තවද ඔලිවර් කවුඩ්‍රි සමඟ මම ගෞරවාන්විත සහ නිහඬ යාච්ඤාවකින් දණගැසුවෙමි. යාච්ඤාවෙන් පසු නැගී සිටිද්දී, පහත දර්ශනය අප දෙදෙනාටම විවෘත විය.”

1–10, යෙහෝවා ස්වාමින්වහන්සේ මහිමයෙන් ප්‍රකාශ වී තවද කර්ට්ලන්ඩ් දේවමාළිගාව උන්වහන්සේගේ ගෘහය ලෙස පිළිගනියි; 11–12, මෝසෙස් සහ එලියා ප්‍රකාශ වී තවද ඔවුන්ගේ යතුරු සහ කාල පරිච්ඡේදයන් ඔප්පුකරයි; 13–16, මලාකි පොරොන්දු වූ ලෙස එලයිජා නැවත පැමිණ ඔහුගේ කාල පරිච්ඡේදයේ යතුරු ඔප්පු කරයි.

1 අපගේ මනසවල් වෙතින් තිරය ඉවත්කරනු ලැබ ඇත, තවද අපගේ තේරුම්ගැනීමේ දෑස් විවෘත කරනු ලැබ ඇත.

2 ස්වාමින්වහන්සේ අපගේ ඉදිරියෙන්, පූජාසනයේ මිටි පවුර මත නැගීසිටිනවා අපි දුටුවෙමු; තවද උන්වහන්සේගේ පාද යටින් කහපාටට හුරු වර්ණයකින් යුතු, පිරිසිඳු රත්තරනින් කෙරුණු කැටයම්ය.

3 උන්වහන්සේගේ දෑස් ගින්දර දළු මෙන් විය; උන්වහන්සේගේ හිසෙහි කොන්ඩය පවිත්‍ර හිම මෙන් සුදුය; උන්වහන්සේගේ මුහුණුවර සූර්යයාගේ දීප්තියට වඩා බැබලිණ; තවද උන්වහන්සේගේ, එනම් යෙහෝවාවහන්සේගේ වුවත් හඬ මහත් වූ ජලයන් ගලායන ශබ්දය මෙන් විය, එය මෙසේ පැවසීය:

4 මම පළමුවෙනියාද අන්තිමයාද වන්නෙමි; ජීවත් වන ඒ තැනැත්තා මම වෙමි, මරණයට පත්කෙරුණු ලැබූ ඒ තැනැත්තා මම වෙමි; මම පියාණන්වහන්සේ සමඟ නුඹලාගේ මැදහත්කරුවාණන් වෙමි.

5 බලන්න, නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව ලබාදී ඇත්තේය; නුඹලා මා ඉදිරියේ පිරිසිඳුය; එසේහෙයින්, නුඹලාගේ හිස් ඔසවා තවද ප්‍රීති ප්‍රමුදිත වන්න.

6 නුඹලාගේ සහෝදරයන්ගේ හදවත් ප්‍රීති ප්‍රමුදිත වීමට ඉඩදෙන්න, තවද මාගේ සියලුම ජනතාවගේ හදවත් ප්‍රීති ප්‍රමුදිත වීමට ඉඩදෙන්න, ඔවුන් ඔවුන්ගේ මහත් බලයෙන්, මාගේ නාමයට මෙම ගෘහය ගොඩනගා ඇත්තෝය.

7 මක්නිසාද බලන්න, මම මෙම ගෘහය පිළිගෙන ඇත්තෙමි, තවද මාගේ නාමය මෙහි තිබෙන්නේය; තවද මම මාගේ ජනතාවට මෙම ගෘහයේදී දයාවෙන් ප්‍රකාශ වන්නෙමි.

8 එසේය, මාගේ ජනතාව මාගේ ආඥාවන් පිළිපදිමින්, තවද මෙම ශුද්ධ වූ ගෘහය අපවිත්‍ර නොකරන්නේ නම්, මම මාගේ සේවකයන් වෙතට පෙනීසිටින්නෙමි, තවද මාගේ ස්වකීය හඬින් ඔවුන් හට කතාකරන්නෙමි.

9 එසේය, වගුරුවනු ලබන්නාවූ ආශිර්වාදයන්හි ප්‍රතිඵල තුළද, තවද මේ ගෘහයේදී මාගේ සේවකයින් බලයෙන් සැරසුණු බලයෙන් සැරසීම නිසාද, දහස් ගණනකගේ තවද දස-දහස් ගණනකගේ හදවත් බොහෝ සෙයින් ප්‍රීතිවන්නේය.

10 තවද මෙම ගෘහයේ ප්‍රසිද්ධිය පිටස්තර දේශයන්හි විසිර යන්නේය; තවද මාගේ ජනතාවගේ හිස්මත වගුරුවන ආශිර්වාදයන්හි ආරම්භය මෙය වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

11 මෙම දර්ශනය අවසන් වූ පසුව, නැවතත් ස්වර්ගයන් අප හට විවෘත විය; තවද මෝසෙස් අප ඉදිරියේ පෙනීසිටියේය, තවද පොළොවේ සතර දිග්භාගයෙන් ඉශ්‍රායෙලය එක්රැස් කිරීමටද, තවද උතුරු දේශය වෙතින් ගෝත්‍ර දහයට මගපෙන්වීමටද එම යතුරු අපට ලබාදුන්නේය.

12 මෙයින් පසුව, එලියා පෙනීසිටියේය, තවද අප සහ අපගෙන් පසු අපගේ වංශයේ සියලු පරම්පරාවන් ආශිර්වාදිත වන බව කියමින්, ආබ්‍රහම්ගේ ශුභාරංචියේ කාලපරිච්ඡේදය ලබාදුන්නේය.

13 මෙම දර්ශනය අවසන් වුණු පසු, තවත් ශ්‍රේෂ්ඨ සහ මහිමවත් වූ දර්ශනයක් අප මත විවෘත විය; මරණය අත්නොවිඳ ස්වර්ගයට රැගත්, අනාගතවක්තෘ එලයිජා, අප ඉදිරියේ සිටිමින්; තවද මෙසේ කීවේය:

14 බලන්න, ස්වාමින්වහන්සේ පැමිණීමට පෙර වූ ශ්‍රේෂ්ඨ සහ භයානක දවසට පෙර ඔහු [එලයිජා] පැමිණිය යුතු බව සාක්ෂි දරමින්—මලාකිගේ මුඛයෙන් ප්‍රකාශ වී ඇති, එම කාලය සම්පූර්ණයෙන්ම පැමිණ ඇත්තේය—

15 පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද, තවද දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටද හැරවීමටය, නැතහොත් මුළු පොළොවම ශාපයකින් පහර ලබනු ඇත—

16 එසේහෙයින්, මෙම කාලපරිච්ඡේදයේ යතුරු නුඹලාගේ හස්තයන් මතට බාරකරන්නෙමි; තවද මේ මගින් ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සහ භයානක දවස ආසන්න බවත්, එමෙන්ම දොරටු සමීපයෙහි බවත් නුඹලා දැනගන්නෝය.