ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 115


115 වන කොටස

1838 අප්‍රියෙල් 26, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, එම ස්ථානය සහ ස්වාමින්වහන්සේගේ ගෘහය ගොඩනැගීම පිළිබඳව දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කරමින්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව මුලසුන දරන නිලධාරීන්ට සහ සභාවේ සාමාජිකයින්ට ආමන්ත්‍රණය කිරීමකි.

1–4, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස නම්කරනු ලබයි; 5–6, සයොනය සහ ඇයගේ ස්ටේකයන් ශුද්ධවන්තයන් උදෙසා ආරක්ෂා සහිත සහ සුරක්ෂිත ස්ථානයන් වන්නේය; 7–16, ශුද්ධවන්තයන්ට ස්වාමින්වහන්සේගේ ගෘහයක් ෆාර් වෙස්ට් හි ගොඩනැගීමට ආඥා කරනු ලබයි; 17–19, ජෝසෆ් ස්මිත් පොළොවේදී දෙවියයන්වහන්සේගේ රාජ්‍යයේ යතුරු දරන්නේය.

1 සැබවක් ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, තවද එසේම මාගේ සේවක සිඩ්නි රිග්ඩන්, තවද එසේම මාගේ සේවක හයිරම් ස්මිත්, තවද මෙයින් පසුව පත්කරනු ලැබෙන නුඹලාගේ උපදේශකයින් හටද;

2 තවද එසේම මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් වන නුඹ හට, සහ ඔහුගේ උපදේශකයන් හටද;

3 තවද එසේම සයොනයේ මාගේ සභාවේ උසස් මන්ත්‍රණ සභාවේ මාගේ ඇදහිලිවන්ත වූ සේවකයන් හටද, මෙසේ නම් කරනු ලැබෙන, ලෝකය පුරා පිටත විසිරී සිටින, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව වන මාගේ සභාවේ සියලුම වැඩිහිටියන්ට සහ ජනතාව හටද [පවසන්නෙමි];

4 මක්නිසාද මාගේ සභාව අවසන් දවස් වලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස වුවත් නම්කරනු ලබන්නේය.

5 සැබවක් මම නුඹලා සියල්ලන් හටම පවසන්නෙමි: නුඹලාගේ ආලෝකය ජාතීන් උදෙසා ආදර්ශයක් වන පිණිස, නැගිට බැබළෙන්න;

6 තවද සයොන දේශයේ සහ ඇයගේ ස්ටේකයන් මත එක්රැස් වන රැස්වීම්, කුණාටුව වෙතින්ද, තවද කෝපය මිශ්‍රණයකින් තොරව සම්පූර්ණයෙන්ම මුළු පොළොව මත වගුරුවන විටද, ආරක්ෂාව සඳහා සහ ආවරණය වීම පිණිසය.

7 ෆාර් වෙස්ට් නගරය, මා වෙතට ශුද්ධ වූ සහ කැපකළ දේශයක් වේවා; තවද එය වඩාත් ශුද්ධ වූ යැයි නම්කරනු ලබන්නේය, මක්නිසාද නුඹ සිටගෙන සිටින භූමිය ශුද්ධවන්තය.

8 එසේහෙයින්, ඔවුන් මා හට නමස්කාර කරන පිණිස, මාගේ ශුද්ධවන්තයන්ව එකට එක්රැස් කිරීම සඳහා, මා උදෙසා ගෘහයක් ගොඩනැගීමට මම නුඹට ආඥා කරන්නෙමි.

9 තවද මෙම ලබන්නාවූ වසන්තයේ, එහි මෙම ක්‍රියාවේ, තවද අත්තිවාරමෙහි, තවද පෙර සූදානම් වීමේ කාර්යයෙහි, ආරම්භයක් වන්නට සලස්වන්න;

10 තවද එම ආරම්භය ලබන ජූලි හතරවන දින ක්‍රියාවට නැංවීමට සලස්වන්න; තවද එම කාලයේ සිට පෙරට මාගේ නාමය උදෙසා ගෘහයක් ගොඩනැගීමට මාගේ ජනතාවට උද්යෝගයෙන් වෙහෙස වන්නට සලස්වන්න;

11 තවද මේ දවසේ පටන් එක් වසරකින් ඔවුන්ට මාගේ ගෘහයේ අත්තිවාරම දැමීම නැවත ආරම්භ කිරීමට සලස්වන්න.

12 මෙසේ එහි ප්‍රධාන ගලෙහි සිට එහි ඉහළට, එහි අවසන් නොවූ කිසිම දෙයක් නොපවතින තුරු, එම කාලයේ සිට එය අවසන් කරන තුරු ඔවුන්ට උද්යෝගයෙන් වෙහෙසවීමට සලස්වන්න.

13 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝසෆ් හට, නැතහොත් මාගේ සේවක සිඩ්නි හට, නැතහොත් මාගේ සේවක හයිරම් හට, මාගේ නාමය උදෙසා ගොඩනගන ගෘහය උදෙසා තවදුරටත් ණය වීමට ඉඩනොදෙන්න.

14 එහෙත් මම ඔවුන් හට පෙන්වනු ලබන සැලසුමට අනුව මාගේ නාමයට ගෘහයක් ගොඩනැගීමට සලස්වන්න.

15 තවද මා විසින් ඔවුන්ගේ සභාපතිත්වයට පෙන්වන ලද සැලසුමට අනුව මාගේ ජනතාව එය ගොඩනගන්නේ නොමැති නම්, මම එය ඔවුන්ගේ අත් වලින් පිළිනොගන්නෙමි.

16 එහෙත් මාගේ ජනතාව මා විසින් ඔවුන්ගේ සභාපතිත්වයට, එනම් මාගේ සේවක ජෝසෆ් සහ ඔහුගේ උපදේශකයන්ට පෙන්වන ලද සැලසුමට අනුව එය ගොඩනගන්නේ නම්, එවිට මම එය මාගේ ජනතාවගේ අත් වලින් පිළිගන්නෙමි.

17 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ශුද්ධවන්තයන්ව රැස්කිරීම තුළින් ෆාර් වෙස්ට් නගරය ඉක්මණින් ගොඩනැගිය යුතුවීම මාගේ කැමැත්ත වන්නේය;

18 තවද කාලයෙන් කාලයට, ඒවා මාගේ සේවක ජෝසෆ් ස්මිත් හට ප්‍රකාශ කරන ලෙස, අනෙකුත් ස්ථානද එහි අවට වටේ ප්‍රදේශ වල ස්ටේකයන් උදෙසා පත්කළ යුතු වන්නේය.

19 මක්නිසාද බලන්න, මම ඔහු සමඟ වන්නෙමි, තවද මම මෙම ජනතාව ඉදිරියේ ඔහුව පාරිශුද්ධ කරන්නෙමි; මක්නිසාද මම ඔහු හට මෙම රාජ්‍යයේ සහ දේවසේවයේ යතුරු ලබාදී ඇත්තෙමි. එය එසේම වන්නේය. ආමෙන්.