ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 128


128 වන කොටස

1842 සැප්තැම්බර් 6, නාවූ ඉලිනොයිස් හිදී දින තබන ලද, මළවුන්ගේ බව්තීස්මය උදෙසා වැඩිදුර මගපෙන්වීම් ඇතුලත්, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව වෙතට යවන ලද ලියවිල්ලකි.

1–5, ප්‍රාදේශීය සහ පොදු වාර්තාකරුවන් මළවුන්ගේ බව්තීස්මය උදෙසා වූ තොරතුරු සහතික කළ යුතුම වන්නෝය; 6–9, ඔවුන්ගේ වාර්තාවන් පොළොවේ සහ ස්වර්ගයේ මුද්‍රාකර සහ වාර්තා කරනු ලැබෙන්නේය; 10–14, බව්තීස්ම තටාකය සොහොන හා සමරූපතාවක් වන්නේය; 15–17, මළවුන්ගේ බව්තීස්මය උදෙසා අනුයුක්ත බලය එලයිජා විසින් නැවත පිහිටෙව්වේය; 18–21, අතීත කාලපරිච්ඡේදයන්ගේ සියලුම යතුරු, බලයන්, සහ අධිකාරිත්වයන් නැවත පිහිටුවා ඇත්තේය; 22–25, ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතිජනක සහ මහිමාන්විත පණිවිඩයන් ගෞරවයෙන් පිළිගන්වනු ලබන්නේය.

1 මම නුඹලා හට කාලයෙන් කාලයට ලියන්නේ යැයි සහ බොහෝ කාරණාවන් සම්බන්ධව නුඹලාට තොරතුරු ලබාදෙන්නේ යැයි පවසමින්, මාගේ ස්ථානයෙන් පිටවීමට පෙර මාගේ ලිපියේ නුඹලාට සඳහන් කළ ලෙස, එම කාරණාව මාගේ මනසෙහි තදින් රැඳී ඇති නිසාත්, තවද මාගේ සතුරන් මගින් මා ලුහුබඳින කාලයේ පටන්, එය ඉතා දැඩිව මාගේ හැඟීම් මත ඇලී ඇති නිසාත්, මළවුන්ගේ බව්තීස්මය සම්බන්ධ කාරණය ගැන මම දැන් නැවතත් ආරම්භ කරන්නෙමි.

2 මම වාර්තාකරුවෙකු සම්බන්ධව එළිදරව් වූ වචන ස්වල්පයක් ලිවුවෙමි. මෙම කාරණාව සම්බන්ධව වැඩිපුර අදහස් කිහිපයක් මට තිබී ඇත්තේය, එය මම දැන් සහතික වන්නෙමි. එනම්, එහි වාර්තාකරුවෙකු සිටිය යුතු යැයි මාගේ පෙර ලිපියකින් ප්‍රකාශ කර ඇත්තේය, ඔහු ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විය යුතුය, තවද එසේම ඔහුගේ කන් වලින් ඇසිය යුතුය, එනම් ඒ ඔහු සත්‍යයේ වාර්තාවක් ස්වාමින්වහන්සේ ඉදිරියේ තබන පිණිසය.

3 දැන්, මෙම කාරණාව සම්බන්ධයෙන්, එක් වාර්තාකරුවෙකුට සෑම අවස්ථාවකදීම පෙනීසිටීම, තවද සියලු කාර්යයන් කිරීම ඉතා අපහසු වනු ඇත. මෙම අපහසුතාවය මගහරවාගැනීමට, නගර වල සෑම කොට්ටාශයක් තුළම වාර්තාකරුවෙකුව පත්කළ හැකිය, ඔහුට ඉතා නිවැරදි රැස්වීම් වාර්තාවන් තබාගැනීමට සුදුසුකම් තිබිය යුතුය; තවද ඔහුට සියලුම ක්‍රියාදාමයන්හිදී ඉතා සවිස්තරාත්මක සහ නිශ්චිත වී වාර්තාවන් තැබිය යුතු වන්නට සලස්වන්න, ඔහුගේ ඇස් වලින් දුටු බවත්, තවද ඔහුගේ කන් සමඟින් ඇසූ බවත් ඔහුගේ වාර්තාවේ සහතික කරමින්, එම දවස, සහ නාමයන්, යනාදී වශයෙන් ලබාදෙමින්ද, තවද සම්පූර්ණ කාර්ය‍යභාරයේ ඉතිහාසය ලබාදෙමින්ද; එසේම ඔවුන්ව කිසියම් කාලයකදී කැඳවූ විට ඒ ගැන සහතික කළ හැකි කිසිවෙකු එහි සිටිනවානම්, ඒ අවස්ථාවේදී එහි සිටින පුද්ගලයින් තිදෙනෙක් නම් කළ යුතුය, එනම් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකගේ මුඛයෙන් සියලු වචන පිහිටවනු පිණිසය.

4 ඉන්පසු, මෙම අනෙකුත් වාර්තාවන් ලබාදිය හැකි, ඔවුන් තැබුවා වූ වාර්තාව සත්‍ය යැයි සහතික කරමින්, ඔවුන්ගේ අත්සන් සහිත සහතික ඉදිරිපත් කළ හැකි, ප්‍රධාන වාර්තාකරුවෙකු එහි සිටීමට සලස්වන්න. ඉන්පසු මෙම ප්‍රධාන සභා වාර්තාකරුට, සහතික සහ සහභාගී වන සියලුම සාක්ෂිකරුවන් සමඟද, ප්‍රධාන තනතුර පිළිබඳ සහ සභාව විසින් එම මනුෂ්‍යයින්ගේ පත්කිරීම පිළිබඳ ඔහුගේ දැනුමෙන්, ඉහත ප්‍රකාශය සහ වාර්තාවන් සත්‍ය බව ඔහු සැබවින්ම විශ්වාස කරන බවට වූ ඔහුගේම ප්‍රකාශයක් සමඟද, ප්‍රධාන සභා පොතෙහි එම වාර්තාව ඔහුට ඇතුළත් කළ හැකිය. තවද මෙය ප්‍රධාන සභා පොතෙහි ඇතුළත් කළ පසුව, එම වාර්තාව ශුද්ධ වන්නේය, තවද ඔහු ඔහුගේම ඇස් වලින් දැක තවද ඔහුගේම කන් වලින් ඇසූ ලෙස එම නියෝගය ස්ථිර වන්නේය, තවද ඒ පිළිබඳව වාර්තාවක් ප්‍රධාන සභා පොතෙහි ඇතුළත් කරන්නේය.

5 මෙම අනුපිළිවෙල ඉතා සුවිශේෂී යැයි ඔබ සිතනවා විය හැකිය; එහෙත් එනම් එය ස්වාමින්වහන්සේ විසින් ලෝකයේ ආරම්භයට පෙර සිටම නියම කළ සහ සූදානම් කළ නියෝගයට සහ සූදානමට අනුගත වෙමින්, ශුභාරංචිය පිළිබඳ දැනුමක් නොමැතිව මරණයට පත්වන මළවුන්ගේ ගැලවීම සඳහා, දෙවියන්වහන්සේගේ කැමැත්තට පිළිතුරක් පමණක් යැයි මම නුඹලා හට පවසන්නෙමි.

6 තවද වැඩිදුරටත්, එළිදරව්කරුවෙකු වන යොහාන් විසින් මළවුන් සම්බන්ධව මෙම මාතෘකාව පිළිබඳව මෙනෙහි කරමින් සිටි බව නුඹලා සිහිකරනවාට මම කැමැත්තෙමි, එළිදරව්ව 20:12 හි ඔබ සොයාගන්නා පරිදි, ඔහු මෙසේ ප්‍රකාශ කළේය—තවද මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා මම දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය; ජීවන-පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය; මළවුන්ව ඔවුන්ගේ ක්‍රියා අනුව පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය.

7 පොත් විවෘත වූ බව මෙම උපුටාගැනීමෙහි නුඹලා සොයාගනු ඇත; එමෙන්ම තවත් පොතක් විවෘත විය, එය ජීවන-පොත විය; එහෙත් මළවුන්ව විනිශ්චය කරන ලද්දේ ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව, පොත්වල ලියන එම දේවල් අනුවය; ඒ අනුව, ඒ කතා කරන ලද පොත් ඔවුන්ගේ ක්‍රියාවන් වල වාර්තාවන් ඇතුළත් පොත් විය යුතුම වන්නේය, තවද ඒවා පොළොවෙහි තබාගත් වාර්තාවන් පිළිබඳ විය යුතු වන්නේය. තවද ජීවන-පොත නම් වූ පොත ස්වර්ගයෙහිදී තබාගත් වාර්තාව වන්නේය; මම මාගේ ස්ථානයෙන් පිටත්ව යන්නට මත්තෙන් මම නුඹලා හට ලියන ලද ලිපියෙහි ඇතුළත් එළිදරව්වෙහි නුඹලාට ආඥා කර ඇති දහම සමඟ මෙම මූලධර්මය එකඟ වන්නේය—එනම් නුඹලාගේ සියලු වාර්තාවන් ඒවා ස්වර්ගයෙහිද වාර්තා වන්නේය.

8 දැන්, මෙම නියෝගය සඳහා මූලය ඇත්තේ පූජකවර බලය තුළය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් මගින්ය, එනම් කවරාකාර දෙයක් නුඹ පොළොවේ බඳිනු ලබන්නේද ස්වර්ගයෙහිද බඳිනු ලබන්නේත්, තවද කවරාකාර දෙයක් නුඹලා පොළොවේ මුදනු ලබන්නේද එය ස්වර්ගයෙහි මුදනු ලබන්නේත් එම බලය තුළින්ය. නැතහොත්, වෙනත් වචන වලින්, එම පරිවර්තනය දෙස වෙනස් කෝණයකින් බලනවා නම්, කවරාකාර දෙයක් නුඹලා පොළොවේ වාර්තා කරන්නේද එය ස්වර්ගයෙහිද වාර්තා කරනු ලබන්නේය, තවද කවරාකාර දෙයක් නුඹලා වාර්තා නොකරන්නේද එය ස්වර්ගයෙහිද වාර්තා කරනු නොලබන්නේය; මක්නිසාද ඔවුන් එම නියෝගයට ඉදිරිපත් වූයේ ඔවුන් විසින්ම (propria persona) වුවත්, නැතහොත් ඔවුන්ගේ ස්වකීය නියෝජිතයන් මගින් වුවත්, ලෝකයේ පටන්ගැන්මටත් පෙර සිට දෙවියන්වහන්සේ ඔවුන්ගේ ගැලවීම උදෙසා සූදානම් කළාවූ එම නියෝගයට අනුව, ඔවුන්ගේ මළවුන් සම්බන්ධව ඔවුන් තබා තිබෙන්නාවූ වාර්තාවන්ට අනුව, නුඹලාගේ මළවුන්ව විනිශ්චය කරනු ලබන්නේ එම පොත් වෙතින්ය, ඔවුන්ගේ ස්වකීය ක්‍රියා වලින්ය.

9 පොළොවෙහි සහ ස්වර්ගයෙහි වාර්තා කරන හෝ බඳිනු ලබන බලයක් ලෙස—අපි කතා කරන එය සමහරෙක්ට ඉතා තද දහමක් ලෙස පෙනෙන්නට හැකිය. කෙසේවෙතත්, ලෝකයේ සියලු කාලයන්හි, ස්වාමින්වහන්සේ විසින් සැබෑ එළිදරව් මගින් ඕනෑම මනුෂ්‍යයෙකුට, හෝ මනුෂ්‍ය කණ්ඩායමකට පූජකවරයේ කාල පරිච්ඡේදයක් ලබාදුන් විට, සැමවිටම මෙම බලය ලබාදී ඇත්තේය. එමනිසා, එම මනුෂ්‍යයන් අධිකාරියෙන් යුතුව, ස්වාමින්වහන්සේගේ නාමයෙන් කළ ඕනෑම දෙයක්, සහ එය සත්‍ය ලෙස සහ ඇදහිලිවන්තව කළේද, තවද ඒ පිළිබඳව උචිත සහ ඇදහිලිවන්ත වාර්තාවක් තබාගත්තේද, එය පොළොවේත් ස්වර්ගයේත් නීතියක් වූයේය, ශ්‍රේෂ්ඨ යෙහෝවාවහන්සේගේ නියමයට අනුව, තවද එය අවලංගු කළ නොහැකි වන්නේය. මෙය ඇදහිලිවන්ත ප්‍රකාශයකි. එය ඇසිය හැක්කේ කවරෙකුටද?

10 තවද නැවතත්, පූර්වාදර්ශයක් ලෙස, මතෙව් 16:18, 19: තවද මම නුඹ හට පවසන්නෙමි, එනම් නුඹ පේත්‍රැස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; තවද එයට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත. තවද ස්වර්ග රාජ්‍යයේ යතුරු මම නුඹට දෙන්නෙමි: නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය; තවද නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේය.

11 දැන් සම්පූර්ණ කාරණාවේ ශ්‍රේෂ්ඨ සහ අතිමහත් වූ රහස, සහ ශුද්ධ වූ පූජකවරයේ බලයන් ලබාගැනීම ඇතුළු, සම්පූර්ණ කාරණාවේ අතිමහත් ශ්‍රේෂ්ඨ බව (summum bonum) අප ඉදිරියෙහි තිබෙන්නේය. මෙම යතුරු ලබාදෙන ඔහුට, මළවුන් සහ ජීවත් වන්නවුන් යන දෙපිරිසම, එනම් මනුෂ්‍ය දරුවන් සඳහා ගැලවීම හා සම්බන්ධ කාරණා පිළිබඳ දැනුමක් ලබාගැනීම සඳහා අසීරුතාවයක් නොවන්නේය.

12 මෙහි ගෞරවය සහ මහිමයද, තවද අමරණීයත්වය සහ සදාකාල ජීවනයද වන්නේය—ජලය මගින් බව්තීස්මයේ නියෝගය, මරණයේ අකාරය අනුව වීමට ඒ තුළ ගිල්වන්නේය, එනම් එක් මූලධර්මයක් අනෙක සමඟ අනුකූල වනු සඳහාය; ජලය තුළ ගිලී ඉන්පසු ඔවුන්ගේ සොහොන් වලින් පිටතට එන ආකාරයට මළවුන් මරණයෙන් නැවත නැගිටීම හා සමානව ජලයෙන් නැවත පිටතට පැමිණෙන්නේය; එසේහෙයින්, මෙම නියෝගය පිහිටුවා ඇත්තේ මරණයේ ස්වභාවය හා සමාන වන ලෙස, මළවුන්ගේ බව්තීස්මය සමඟ සම්බන්ධතාවයක් ගොඩනැගීමටය.

13 එහි ප්‍රතිඵලයක් ලෙස, බව්තීස්ම තටාකය පිහිටුවනු ලබා ඇත්තේ සොහොනක් හා සමාන වන ලෙසය, තවද ජීවත් වන අය සාමාන්‍යයෙන් රැස්වන ස්ථානයකට පහළින් එය තැබීමට ආඥා කොට ඇත්තේය, ඒ ජීවත් වන අය සහ මළවුන් වෙන්කොට පෙන්වීම පිණිසය, තවද සියල්ලක්ම ඒ ඒ ආකාරයෙන් නිරූපණය කිරීම සඳහාය, තවද එනම් ඒ එක එකක් අනෙක සමඟ අනුකූල වනු පිණිසය—1 කොරින්ති 15:46, 47, සහ 48 හි පාවුල් ප්‍රකාශ කළ ලෙස, එනම් පොළොවෙන් වන්නාවූ එය එනම් ස්වර්ගයෙන් වන්නාවූ එයට අනුකූල වීම පිණිසය:

14 එසේවුවද එනම් පළමුව පැමිණෙන්නේ ආත්මික දේ නොව, එහෙත් එනම් ස්වභාවික දේය; තවද එනම් පසුව ආත්මික දේය. පළමු මිනිසා පොළොවෙන්ය; පොළොවේ ආකාරයය, දෙවන මනුෂ්‍යයා ස්වර්ගයෙන් වූ ස්වාමින්වහන්සේය. පොළොවේ ආකාරයෙන් වූ තැනැත්තා මෙන්, එසේම එනම් ඔවුන් පොළොවේ ආකාරයෙන් වන්නේය; තවද ස්වර්ගික තැනැත්තා මෙන්, එසේම එනම් ඔවුන් ස්වර්ගික ආකාරයෙන් වන්නේය. තවද නුඹලාගේ මළවුන් සම්බන්ධව පොළොවේ වන්නාවූ වාර්තාවන්ද එසේමය, එය සත්‍ය ලෙසම තබා ඇත්නම්, ස්වර්ගික වාර්තාවන්ද එසේම වන්නේය. මෙය, එසේහෙයින්, මුද්‍රා කිරීමේ සහ බැඳීමේ බලය වන්නේය, තවද, තවත් වචනයෙන් පවසනවානම්, දැනුමේ යතුර මත ඇත්තාවූ, රාජ්‍යයේ යතුරු වන්නේය.

15 තවද දැන්, මාගේ ප්‍රියාදර දයාබර සහෝදර සහෝදරියනි, අපගේ ගැලවීමට සම්බන්ධ, මළවුන් සහ ජීවත් වන්නවුන් සම්බන්ධ මෙම මූලධර්ම සැහැල්ලුවෙන් පසුකර යාමට දිය නොහැකිය. මක්නිසාද ඔවුන්ගේ ගැලවීම අපගේ ගැලවීමට අනිවාර්යය සහ අත්‍යවශ්‍ය වන්නේය, පාවුල් පියවරුන් සම්බන්ධව පවසන්නාක් මෙන්—එනම් අපගෙන් තොරව ඔවුන්ට සම්පූර්ණ වීමක් නොවන්නේය—එලෙසම අපගේ මළවුන් නොමැතිව අපටද සම්පූර්ණ වීමක් නොවන්නේය.

16 තවද දැන්, මළවුන්ගේ බව්තීස්මය සම්බන්ධව, මම නුඹලාට පාවුල්ගෙන් වෙනත් උපුටාගැනීමක් ලබාදෙන්නෙමි, 1 කොරින්ති 15:29: ඇරත් මළවුන් උදෙසා ඔවුන් බව්තීස්ම කරනු ලබන්නෝද, මළාහු කිසිසේත් නැගිටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මය කරන්නේද?

17 තවද නැවතත්, මෙම උපුටාගැනීම සම්බන්ධව මම නුඹලා හට, පූජකවරය නැවත පිහිටුවාලීම මත ඔහුගේ ඇස් රැඳවූ අයෙකු වූ, එක් අනාගතවක්තෘවරයෙකුගෙන් උපුටා ගැනීමක් ලබාදෙන්නෙමි, අවසාන දවස් වලදී මහිමයන් අනාවරණය වනු ලැබෙන්නේය, තවද විශේෂිත වූ ආකාරයකින් සදාකාලික ශුභාරංචියට අයත් සියලු කාරණාවන්ට වඩා, වඩාත් මහිමවත් වූ එය, නාමයෙන්, මළවුන් සඳහා වූ බව්තීස්මය වන්නේය; මක්නිසාද අවසාන පරිච්ඡේදයේ, 5 වන සහ 6 වන පද වල, මලාකි මෙසේ පවසන්නේය: බලව, ස්වාමින්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් අනාගතවක්තෘ එලයිජාව මම නුඹලා වෙතට එවන්නෙමි: තවද මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටත් දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටත් හරවන්නේය.

18 මා හට මේ සඳහා සරල පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට තිබිණි, එහෙත් එය තිබෙන ආකාරයට මාගේ අරමුණ උදෙසා එය ප්‍රමාණවත් ලෙස සරලය. මෙම කාරණාවේදී, යම් කාරණාවක් හෝ වෙන යමක් මත, පියවරුන් සහ දරුවන් අතර යම් ආකාරයක එක්වන්නාවූ බැඳීමක් හෝ එවැන්නක් නොමැතිනම් පොළොව ශාපයක් මගින් පහර ලබන්නේය—තවද බලන්න එම කාරණාව කුමක්ද? එය මළවුන් සඳහා බව්තීස්මයයි. මක්නිසාද ඔවුන් නොමැතිව අපව සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය; එලෙසම අප නොමැතිව ඔවුන්වද සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය. එලෙසම ඔවුන්වත් නැතිනම් අපවත් එලෙසම ශුභාරංචිය තුළ මියගිය අයගෙන් තොරව සම්පූර්ණ කරනු ලැබිය නොහැකි වන්නේය; මක්නිසාද පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදයේ මුලපිරීම සඳහා එය අත්‍යවශ්‍ය වන්නේය, එම කාලපරිච්ඡේදය මුලපිරීමට දැන් ආරම්භ වී ඇත, එය පූර්ණ සහ සම්පූර්ණ සහ සර්වසම්පූර්ණ එකතුවක්ය, තවද කාලපරිච්ඡේදයන් එකට බැඳී, තවද යතුරුද, තවද බලයන්ද, තවද මහිමයන්ද ස්ථානගත වනු ලැබෙන්නේය, තවද ඒවා ආදම්ගේ දින වල පටන් වර්තමානය දක්වා වුවත් එළිදරව් කරනු ලැබෙන්නේය. තවද මෙය පමණක් නොවේ, එහෙත් ප්‍රඥාවන්ත සහ තේරුම් ඇත්තන්ගෙන් සඟවා තිබූ, ලෝකයේ ආරම්භයේ පටන් කිසිදිනෙකත් එළිදරව් නොවූ එම දේවල්ද, මෙම පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදයේ, බාලයන් සහ කිරි බොන දරුවන් හට එළිදරව් කරනු ලබන්නේය.

19 දැන්, අපට ලැබුනා වූ එම ශුභාරංචිය තුළ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? ප්‍රීතියේ හඬක්ය! ස්වර්ගය වෙතින් වූ දයාවේ හඬක්ය; තවද පොළොවෙන් පිටතට සත්‍යයේ හඬක්ය: මළවුන් උදෙසා වූ ශුභ පණිවිඩයන්ය; ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතියේ හඬක්ය; මහත් ප්‍රීතියේ ශුභ පණිවිඩයන්ය. ශුභ දේවල් පිළිබඳ ප්‍රීතිමත් පණිවිඩ රැගෙන එන අයගේ පාද කඳු පිට කොපමණ අලංකාරද, තවද ඔවුන් සයොනයට මෙසේ පවසන්නෝය: බලන්න, නුඹගේ දෙවියන්වහන්සේ රජ කරන සේක! දෙවියන්වහන්සේගේ පර්වතයේ පිනි මෙන්, දෙවියන්වහන්සේගේ දැනුම ඔවුන් මත පතිත වන්නේය!

20 තවද නැවතත්, අපට ඇසෙන්නේ කුමක්ද? කුමෝරා වෙතින් ශුභ පණිවිඩයන්ය! ස්වර්ගයෙන් දේවදූතයෙකු වූ, මොරෝනි, අනාගතවක්තෘවරුන්ගේ සම්පූර්ණවීම ප්‍රකාශ කරන්නේය—එම පොත එළිදරව් කරනු ලබන්නේය. සෙනෙකා ප්‍රාන්තයේ, ෆෙයිට් වනාන්තරයේ ස්වාමින්වහන්සේගේ හඬ, මෙම පොත සම්බන්ධ සාක්ෂි දරන තිදෙනෙකුව ප්‍රකාශ කරනු ලබන්නේය! සස්ක්කුහානා වේල්ල මත මිකායෙල්ගේ හඬ, යක්ෂයා ආලෝකයේ දේවදූතයෙක් මෙන් ප්‍රකාශ වන විට ඔහුව හඳුනාගන්නේය! පේත්‍රැස්, යාකොබ්, සහ යොහාන්ගේ හඬ සස්ක්කුහානා ප්‍රාන්තයේ, හාර්මොනි සහ සස්ක්කුහානා ගංගාව මත බෘම් ප්‍රාන්තයේ, කෝල්ස්විල් අතර වනාන්තරයේ, රාජ්‍යයේ සහ පූර්ණ කාලයේ කාලපරිච්ඡේදයේ යතුරු අතැතිව ඔවුන්වම ප්‍රකාශ කරන්නෝය!

21 තවද නැවතත්, සිනෙකා ප්‍රාන්තයේ, ෆෙයිට් හි වයසක විට්මර් පියාගේ කාමරය තුළ, විවිධ අවස්ථා වලද, මෙම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සියලු ගමන් සහ පීඩා තුළින් වූ විවිධ ස්ථාන වලදීද දෙවියන්වහන්සේගේ හඬ අපට ඇසෙන්නේය! තවද අග‍්‍රදේවදූතයා වූ, මිකායෙල්ගේ හඬ; ගාබ්‍රියෙල්ගේ, සහ රෆායෙල්ගේ, සහ විවිධ දේවදූතයන්ගේ හඬ, මිකායෙල් හෝ ආදම්ගේ සිට වර්තමානය දක්වා, සියල්ලන්ම ඔවුන්ගේ කාලපරිච්ඡේදය, ඔවුන්ගේ අයිතීන්, ඔවුන්ගේ යතුරු, ඔවුන්ගේ ගෞරවයන්, ඔවුන්ගේ තේජස සහ මහිමය, සහ ඔවුන්ගේ පූජකවරයේ බලය ප්‍රකාශ කරමින්; පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට; මෙහි ටිකක්, සහ එහි ටිකක් ලෙස; අපගේ බලාපොරොත්තුව සහතික කරමින්, පැමිණෙන්නට ඇති දේවල් ප්‍රකාශයට පත්කරමින් අපට සැනසීම ලබාදෙන්නේය!

22 සහෝදරවරුනි, අපි ඉතා ශ්‍රේෂ්ඨ කාරණාවක් උදෙසා නොයන්නෙමුද? පසුපසට නොව ඉදිරියටම යන්න. සහෝදරවරුනි, ධෛර්යවන්ත වන්න; තවද පෙරට එන්න, ජයග්‍රහණය වෙතට පෙරට එන්න! නුඹලාගේ හදවත් වලට ප්‍රීති ප්‍රමුදිත වන්නටත් තවද බෙහෙවින් ප්‍රීතිමත් වන්නටත් සලස්වන්න. පොළොව සැණෙකින් ගායනා කරමින් පෙරට පැමිණෙත්වා. මළවුන් එම්මානුවෙල් රජු හට සදාකාලික ප්‍රශංසා ගී ගයත්වා, ලෝකයට පෙර පටන්ම, උන්වහන්සේව නියම කර තිබූ සේක, එනම් ඔවුන්ව ඔවුන්ගේ හිරගෙදරින් මුදවාගැනීමට අපට හැකිවන පිණිසය; මක්නිසාද සියලු සිරකරුවන් නිදහස් විය යුතු වන්නෝය.

23 කඳුකරයන් ප්‍රීතියෙන් හඬ නගත්වා, තවද නුඹලාගේ සියලු නිම්නයන් ශබ්දයෙන් මොරගසත්වා; තවද නුඹලාගේ සියලු සාගර සහ වියලි දේශයන් නුඹලාගේ සදාකාලික රජුන්ගේ පුදුමයන් කියත්වා! තවද නුඹලාගේ ගංගාවන්, සහ දිය ඇලි, සහ දොළ පහර ප්‍රීතියෙන් පහතට ගලායත්වා. වනාන්තරයන් සහ නිම්නයේ සියලු ගස් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරත්වා; තවද නුඹලාගේ ඝණ වූ පර්වත ප්‍රීතියෙන් හඬත්වා! තවද සූර්යයා, සඳු, තවද උදෑසන තරු එක්ව ගයත්වා, තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයන් සියල්ලෝම ප්‍රීතියෙන් මොරගසත්වා! තවද සදාකාලික මැවීම් උන්වහන්සේගේ නාමය සදාකාලයෙන් සදාකාලයට ප්‍රකාශ කරත්වා! තවද නැවතත් මම පවසන්නෙමි, අපගේ කන් වලට මහිමය, සහ ගැලවීම, සහ ගෞරවය, සහ අමරණීයත්වය, සහ සදාකාල ජීවනය; රාජ්‍යයන්, රාජධානින්, සහ බලයන් ප්‍රකාශ කරන්නාවූ, ස්වර්ගයෙන් අපට ඇසෙන හඬ කෙතරම් මහිමාන්විතද!

24 බලන්න, ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දවස ලංව තිබේ; තවද කවරෙකුට උන්වහන්සේගේ පැමිණීමේ දිනයේ පැවතිය හැකිද, තවද උන්වහන්සේ පෙනීසිටින විට කවරෙකුට නැගී සිටිය හැකිද? මක්නිසාද උන්වහන්සේ ශුද්ධකරන්නාගේ ගින්දර මෙන්ය, තවද අපුල්ලන්නාගේ සබන් වැනිය; තවද උන්වහන්සේ රිදී ශුද්ධකරන්නෙකු සහ පිරිසිඳු කරන්නෙකු මෙන් වාඩිවී සිටින්නේය, තවද උන්වහන්සේ ලෙවිගේ පුත්‍රයන් ශුද්ධකරන්නේය, තවද ඔවුන්ව රත්තරන් සහ රිදී මෙන් පිරිසිඳු කරන්නේය, එනම් ඔවුන් ස්වාමින්වහන්සේ වෙතට ධර්මිෂ්ඨකමේ පූජාවක් ඔප්පුකරන පිණිසය. එසේහෙයින්, අපි සභාවක් සහ ජනතාවක් ලෙස, තවද පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස, ධර්මිෂ්ඨකමේ පූජාවක් ස්වාමින්වහන්සේ වෙතට ඔප්පු කරමු; තවද අපි, උන්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගාව අවසන් වූ පසු, සියලු පිළිගැනීම් වලට සුදුසු, අපගේ මළවුන්ගේ වාර්තාවක් එහිදී ඉදිරිපත් කරමු.

25 සහෝදරවරුනි, මෙම කාරණාව සම්බන්ධව බොහෝ දේවල් නුඹලාට කීමට මට ඇත්තේය; එහෙත් දැන් වර්තමානය උදෙසා නවත්වන්නෙමි, තවද වෙනත් අවස්ථාවක මෙම කාරණාව නැවත කතා කරන්නෙමි. මම, සදාකාලයටම, නුඹලාගේ යටහත් සේවකයා වෙමි, තවද කිසිදා වෙනස් නොවන මිතුරා වෙමි,

ජෝසෆ් ස්මිත්.