ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 130


130 වන කොටස

1843 අප්‍රියෙල් 2, රේමස්, ඉලිනොයිස් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මගින් දෙනු ලැබූ උපදේශක කරුණුය.

1–3, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ මනුෂ්‍යයින්ට පුද්ගලිකව පෙනීසිටිය හැකිය; 4–7, දේවදූතයන් සෙලෙස්ටියල් අවකාශයේ පදිංචිව සිටින්නෝය; 8–9, සෙලෙස්ටියල් පොළොව මහත් ඌරීම් සහ තුම්මීම් වන්නේය; 10–11, සෙලෙස්ටියල් ලෝකයට ඇතුළුවන්නාවූ සියල්ලන්ට සුදු ගලක් දෙනු ලැබෙන්නේය; 12–17, දෙවන පැමිණීම සිදුවන කාලය අනාගතවක්තෘවරයා වෙතින් වළක්වාගන්නේය; 18–19, මෙම ජීවිතයේ ලබාගන්නා බුද්ධිය අප සමඟ නැවත නැගිටීමේදී නැගිටුවන්නේය; 20–21, සියලු ආශිර්වාදයන් පැමිණෙන්නේ නීතියට කීකරුකම මගිනි; 22–23, පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත ශරීරයන් ඇත.

1 ගැලවුම්කරුවාණන් පෙනීසිටින විට අපි උන්වහන්සේව එලෙසින්ම දකින්නෙමු. එනම් උන්වහන්සේව අපි මෙන්ම මනුෂ්‍යයෙකු ලෙස අපි දකින්නෙමු.

2 තවද එනම් අප අතර මෙහිවූ එම සමාජිකත්වයම එහි අප අතර පවතිනු ඇත, කෙසේවෙතත් එය සදාකාලික මහිමය සමඟ පවතිනු ඇත, එම මහිමය අප මේ මොහොතේ භුක්ති විඳින්නේ නැත.

3 යොහාන් 14:23—එම පදයේ, පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ පෙනීසිටීම, පුද්ගලික පෙනීසිටීමක්ය; තවද පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ මනුෂ්‍යයාගේ හදවතේ වාසය කිරීම යන අදහස පරණ නිකායවාදී අදහසක් වන්නේය, තවද එය වැරදිය.

4 එම ප්‍රශ්නයට පිලිතුරක් ලෙස—දෙවියන්වහන්සේගේ කාලය, දේවදූතයන්ගේ කාලය, අනාගතවක්තෘවරයාගේ කාලය, සහ මනුෂ්‍යයාගේ කාලය, ගණන් ගනු ලබන්නේ ඔවුන් වාසය කරන ග්‍රහලෝකයට අදාළව නොවේද?

5 මම මෙසේ පිළිතුරු දෙමි, එසේය. එහෙත් මෙම පොළොවට දේවසේවය කරන දේවදූතයන් එහි නොමැත, එහෙත් එහි සිටින්නේ එයට අයත් වන හෝ අයත්ව සිටි අයවලුන්ය.

6 දේවදූතයන් පදිංචිව සිටින්නේ මෙම පොළොව මෙන් ග්‍රහලෝකයක නොවේ;

7 එහෙත් ඔවුන් පදිංචිව සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේය, වීදුරු සහ ගින්දර සහිත සාගරයක් වැනි ලෝක ගෝලයකය, එහි ඔවුන්ගේ මහිමයට සියලු දේවල්, අතීතය, වර්තමානය, සහ අනාගතය ප්‍රකාශ වන්නේය, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ නොකඩවාම පවතින්නේය.

8 දෙවියන්වහන්සේ වැඩවසන ස්ථානය ශ්‍රේෂ්ඨ ඌරීම් සහ තුම්මීම් වන්නේය.

9 මෙම පොළොව, එහි පාරිශුද්ධ තවද අමරණීය තත්වයේ, පළිඟුවක් මෙන් සාදනු ලැබ තවද එතැන් පටන් එහි පදිංචි වන්නන්ට ඌරීම් සහ තුම්මීම් වන්නේය, එමගින් පහළ රාජ්‍යයකට සම්බන්ධ සියලු දේවල්, හෝ පහළ පිළිවෙලේ සියලු රාජ්‍යයන්, එහි පදිංචිව සිටින්නාවූ සියල්ලන්ට ප්‍රකාශ වනු ඇත; තවද මෙම පොළොව ක්‍රිස්තුස්වහන්සේගේ වනු ඇත.

10 එවිට එළිදරව්ව 2:17 සඳහන් කරන ලද සුදු ගල, එය ලබන සෑම පුද්ගලයෙකුටම එය ඌරීම් සහ තුම්මීම් බවට පැමිණෙන්නේය, එමගින් එම රාජ්‍යයන්හි උසස් පිළිවෙලට සම්බන්ධව දේවල් දන්වනු ලබන්නේය;

11 තවද සුදු ගලක් සෙලෙස්ටියල් රාජ්‍යය තුළට පැමිණෙන්නාවූ සියලුදෙනාටම දෙනු ලබන්නේය, එහි නව නාමයක් ලියනු ලබා තිබෙන්නේය, එය ලබන ඔහු මිස එය කිසිඳු මනුෂ්‍යයෙකු නොදන්නේය. එම නව නාමය මූලපදය වන්නේය.

12 මම ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ නාමයෙන්, අනාවැකි පවසන්නෙමි, එනම් මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමට පෙර මහත් රුධිරය වැගිරීමකට කාරණාවක් වන අසීරුතාවයන්ගේ පටන්ගැන්ම සිදුවන්නේ දකුණු කැරොලිනා හිදීය.

13 එය බොහෝවිට වහළුන් සම්බන්ධ ප්‍රශ්නය තුළින් පැනනගිනු ඇත. 1832 දෙසැම්බර් 25 දින, මෙම කාරණාව සම්බන්ධව මම ඉතා උවමනාවෙන් යාච්ඤා කරමින් සිටින විට, මෙය මා හට ප්‍රකාශ වූ හඬක්ය.

14 මම වරෙක ඉතා උවමනාවෙන් මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේ කාලය දැනගැනීම උදෙසා යාච්ඤා කරමින් සිටියදී, එවිට පහත සඳහන් දේ නැවත නැවතත් පවසන හඬක් මට ඇසිණි:

15 ජෝසෆ්, මාගේ පුත්‍රය, නුඹ වයස අවුරුදු අසූ-පහක් වන තුරු ජීවත් වන්නේ නම්, නුඹ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මුහුණ දකින්නේය; එසේහෙයින් මෙය සෑහෙන්නේය, තවද මෙම කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් මට කරදර නොකරන්න.

16 මෙම පැමිණීම සඳහන් කරන්නේ සහස්‍රයේ ආරම්භය හෝ යම් පෙර පෙනීසිටීමක් දැයි, හෝ නැතිනම් මම මරණයට පත්ව උන්වහන්සේගේ මුහුණ මෙසේ දැකින්නේ දැයි නිශ්චය කිරීමට නොහැකිව, එලෙස මම එම කාරණයේ නැවතුනෙමි.

17 මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීම මෙම කාලයට වඩා කිසියම් ඉක්මනකින් නොවන්නේ යැයි මම විශ්වාස කරමි.

18 මෙම ජීවිතයේ අප ලබාගන්නා කවරාකාර බුද්ධියේ ප්‍රමාණයක් වේද, එය අප සමඟ මරණයෙන් නැවත නැගිටීමේදී නැගිටුවනු ලබන්නේය.

19 තවද පුද්ගලයෙකු මෙම ජීවිතයේදී ඔහුගේ උද්යෝගයෙන් සහ කීකරුකමින් වෙන කෙනෙකුට වඩා වැඩියෙන් දැනුම සහ බුද්ධියක් ලබාගන්නේද, ඔහු පැමිණෙන්නාවූ ලෝකයේ අතිමහත් වාසියක් ලබන්නේය.

20 එහි නීතියක් ඇත්තේය, මෙම ලෝකයේ පටන්ගැන්මට පෙර සිට ස්වර්ගයේ අවලංගු කළ නොහැකි නියමයක් එහි ඇත්තේය, සියලු ආශිර්වාදයන් ඒ මත ප්‍රකාශිතය—

21 තවද අප දෙවියන්වහන්සේගෙන් කිසියම් ආශිර්වාදයක් ලබාගන්නා විට, එය ඉටුවන්නේ එම ප්‍රකාශිත නීතිය මත වූ කීකරුකම මගින්ය.

22 පියාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත මනුෂ්‍යයාගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇත්තේය; පුත්‍රයාණන්වහන්සේටත් එසේමය; එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත ශරීරයක් නොමැත්තේය, එහෙත් උන්වහන්සේ ආත්මික පුද්ගලයෙක්ය. එය එසේ නොවන්නේ නම්, ශුද්ධාත්මයාණන්වහන්සේට අප තුළ වැඩසිටිය නොහැකි වන්නේය.

23 මනුෂ්‍යයෙකු හට ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගත හැකිය, තවද එය ඔහු මත පතිත විය හැකිය තවද ඔහු සමඟ පවතින්නට නොහැකි විය හැකිය.