ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 136


136 වන කොටස

අයෝවා හි, කවුන්සිල් බ්ලෆ් අසල, මිසුරි ගංගාවේ බටහිර ඉවුරේ, ඔමාහා නේෂන් හි, ඉශ්‍රායෙලයේ කඳවුරේ, වින්ටර් නිවාස හිදී, සභාපති බ්‍රිගම් යන්ග් තුළින් දෙනු ලැබූ ස්වාමින්වහන්සේගේ වචනය සහ කැමැත්තයි.

1–16, බටහිර ගමන සඳහා ඉශ්‍රායෙල් කඳවුර කෙසේ සූදානම් විය යුතුදැයි පැහැදිලි කරනු ලබයි; 17–27, ශුද්ධවන්තයන්ට බොහෝ ශුභාරංචි ප්‍රමිතීන් මත ජීවත්වීමට ආඥා කරනු ලබයි; 28–33, ශුද්ධවන්තයන් ගායනා කරමින්, නර්තනයේ යෙදෙමින්, යාච්ඤා කරමින්, තවද ප්‍රඥාව ඉගෙනගත යුතු වන්නෝය; 34–42, අනාගතවක්තෘවරුන්ව මරාදමන ලද්දේ එවිට ඔවුන් ගෞරවයට පත්වී තවද දුෂ්ටයන්ව වරදට පත්කරන පිණිසය.

1 ඔවුන්ගේ බටහිරට ගමන් කරන ගමනේදී, ඉශ්‍රායෙල් කඳවුර ගැන ස්වාමින්වහන්සේගේ වචනය සහ කැමැත්ත:

2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සියලු ජනතාවටද, තවද ඔවුන් සමඟ ගමන්ගන්නාවූ අයවළුන්ටද, ස්වාමින් වූ අපගේ දෙවියන්වහන්සේගේ සියලු ආඥාවන් සහ ව්‍යවස්ථාවන් පිළිපැදීමට ගිවිසුමක් සමඟින්, සමූහ ලෙස සංවිධානය වන්නට සලස්වන්න.

3 ඔවුන්ගේ ඉහළින් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මගපෙන්වීම යටතේ, සභාපතිවරයෙකු සහ ඔහුගේ උපදේශකවරුන් දෙදෙනා සමඟ, සියයේ සමූහ සඳහා කපිතාන්වරු, පනහේ සමූහ සඳහා කපිතාන්වරු, තවද දහයේ සමූහ සඳහා කපිතාන්වරු ලෙස, සමූහ සංවිධානය වීමට සලස්වන්න.

4 තවද අපි ස්වාමින්වහන්සේගේ සියලු නියෝගයන් තුළ කටයුතු කරන පිණිස—මෙය අපගේ ගිවිසුම වන්නේය.

5 සෑම සමූහයකටම ඔවුන් උදෙසා සියලු සත්ව රැළ, කරත්ත, සැපයුම්, ඇඳුම්, සහ ඔවුන්ට හැකි ලෙස, මෙම ගමන උදෙසා අවශ්‍ය අනෙකුත් දේ, සපයා ගැනීමට සලස්වන්න.

6 නැවතී සිටින අයවළුන් උදෙසා සූදානම් කිරීම පිණිස, සමූහ සංවිධානය වූ විට ඔවුන්ට ඔවුන්ගේ ශක්තියෙන් යාමට සලස්වන්න.

7 ඔවුන්ගේ කපිතාන්වරුන් සහ සභාපතිවරුන් සමඟ, සෑම සමූහයකටම, අනෙක් වසන්තයේදී කොපමණ දෙනෙකුට යාමට හැකිදැයි තීරණය කිරීමට සලස්වන්න; වසන්තයේ ධාන්‍ය දැමීම උදෙසා සූදානම් කිරීමේ පුරෝගාමීන් ලෙස යාමට, සත්ව රැළ, ධාන්‍ය, සහ කෘෂිකාර්මික උපකරණ රැගෙන යාම සඳහා, ශාරීරිකව ශක්තිමත් සහ ඒ සඳහා දක්ෂ මනුෂ්‍යයන් සෑහෙන සංඛ්‍යාවක් තෝරාගන්න.

8 මෙම ජනතාවට විරුද්ධව වැන්දඹුවන්ගේ සහ පියවරු නොමැත්තන්ගේ හැඬුම් ස්වාමින්වහන්සේගේ කන් වෙත නොපැමිණෙන පිණිස, දුප්පතුන්ව, වැන්දඹුවන්ව, පියවරුන් නොමැති වූවන්ව, සහ හමුදාවට ගිය අයගේ පවුල් රැගෙන යාම සඳහා, එක් එක් සමූහයට, ඔවුන්ගේ දේපළ වල කොටසට අනුව, සමාන කොටසක් දැරීමට ඔවුන්ට සලස්වන්න.

9 මෙම සෘතුවෙන් පසුව නවතින්නාවූ අය සඳහා, නිවෙස් සූදානම් කිරීමට, සහ ධාන්‍ය වගාව සඳහා භූමිය සූදානම් කිරීමට එක් එක් සමූහයට සලස්වන්න; තවද මෙම ජනතාව සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත මෙය වන්නේය.

10 ස්වාමින්වහන්සේ සයොනයේ ස්ටේකයන් පිහිටුවන ස්ථානය වෙතට මෙම ජනතාව රැගෙන යාම සඳහා සෑම මනුෂ්‍යයෙකුටම ඔහුගේ සියලු බලපෑම් සහ දේපළ භාවිතා කිරීමට සලස්වන්න.

11 තවද නුඹලා මෙය පවිත්‍ර හදවතක් සමඟ, සියලු ඇදහිල්ලෙන් කරන්නේ නම්, නුඹලා ආශිර්වාදිත වන්නෝය; නුඹලාගේ සත්ව රැල උදෙසාද, තවද නුඹලාගේ පට්ටි උදෙසාද, තවද නුඹලාගේ භූමි උදෙසාද, තවද නුඹලාගේ නිවෙස් උදෙසාද, තවද නුඹලාගේ පවුල් උදෙසාද නුඹලා ආශිර්වාද ලබන්නෝය.

12 මාගේ සේවක එස්රා ටී. බෙන්සන් සහ ඊරාස්ටස් ස්නෝ හට සමූහයක් සංවිධානය කිරීමට සලස්වන්න.

13 තවද මාගේ සේවක ඕර්සන් ප‍්‍රැට් සහ විල්ෆර්ඩ් වුඩ්රෆ් හටද සමූහයක් සංවිධානය කිරීමට සලස්වන්න.

14 එසේම, මාගේ සේවක අමාසා ලයිමන් සහ ජෝර්ජ් ඒ. ස්මිත් හටද සමූහයක් සංවිධානය කිරීමට සලස්වන්න.

15 තවද සභාපතිවරුන්ද, තවද සියයේ සමූහ සඳහා, තවද පනහේ සමූහ සඳහා, තවද දහයේ සමූහ සඳහා කපිතාන්වරුන්ද පත්කරන්න.

16 තවද පත්කර ඇති මාගේ සේවකයින්ට ගොස් මෙය, මාගේ කැමැත්ත, ශුද්ධවන්තයින්ට ඉගැන්වීමට සලස්වන්න, එනම් ඔවුන් සාමයේ දේශයකට යාමට සූදානම් වන පිණිසය.

17 නුඹලාගේ මාර්ගයේ ගමන් කරමින් තවද මා නුඹලාට පැවසූ ලෙස කරන්න, තවද නුඹලාගේ සතුරන්ට බිය නොවන්න; මක්නිසාද ඔවුන්ට මාගේ ක්‍රියාවන් නැවැත්වීමට බලයක් නොමැත්තේය.

18 සයොනය මාගේ ස්වකීය කාලයේදී මුදවාගනු ලබන්නේය.

19 තවද කිසියම් මනුෂ්‍යයෙකු ඔහුවම ගොඩනැගීමට සොයමින්, තවද මාගේ උපදේශනය සොයන්නේ නොමැති නම්, ඔහුට බලයක් නොවන්නේය, තවද ඔහුගේ මෝඩකම එළිදරව් කරනු ලබන්නේය.

20 නුඹලා සොයන්න, තවද එකිනෙකා සමඟ නුඹලා සියලු ප්‍රතිඥා පවත්වන්න; තවද නුඹලාගේ සහෝදරයාගේ එම දේවලට තණ්හා නොකරන්න.

21 ස්වාමින්වහන්සේගේ නාමය නිකරුණේ නොගනිමින් නුඹලා නපුරෙන් දුරස්ව සිටින්න, මක්නිසාද මම නුඹලාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වෙමි, එමෙන්ම නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වෙමි, ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන්වහන්සේ වෙමි.

22 මිසර දේශයෙන් පිටතට ඉශ්‍රායෙල් දරුවන්ව මගපෙන්වූ ඒ තැනැත්තා මම වෙමි; තවද මාගේ ඉශ්‍රායෙල් ජනතාව ගලවාගැනීමට, මාගේ හස්තය අවසන් දවස් වලදී දිගුකර ඇත්තෙමි.

23 එකිනෙකා සමඟ වාදකිරීමෙන් වළකින්න; එකිනෙකා පිළිබඳ නපුර කතාකිරීමෙන් වළකින්න.

24 බේබදුකමින් වළකින්න; තවද නුඹලාගේ වචන එකිනෙකාව ගොඩනැගීමට යොදවන්න.

25 නුඹ නුඹගේ අසල්වැසියාගෙන් ණයට ගන්නේ නම්, නුඹ ණයට ගත් එය නැවත දිය යුතු වන්නේය; තවද නුඹට නැවත ගෙවිය නොහැකි නම්, එවිට ඔහු නුඹව වරදට පත්නොකරන පිණිස, නුඹගේ අසල්වැසියා වෙතට ගොස් කෙලින්ම පවසන්න.

26 නුඹගේ අසල්වැසියා හට නැතිවූ දේ නුඹ සොයාගත්තේ නම්, නුඹ ඔහුට නැවතත් එය ලබාදෙන තුරු, නුඹ උද්යෝගයෙන් ඔහුව සෙවිය යුතු වන්නේය.

27 නුඹ ප්‍රඥාවන්ත භාරකරුවකු වන පිණිස, නුඹට ඇත්තාවූ දේ ආරක්ෂා කිරීමට නුඹ උද්යෝගිමත් විය යුතු වන්නේය; මක්නිසාද එය නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගෙන් ලැබූ නිදහස් දීමනාවය, තවද නුඹ උන්වහන්සේගේ භාරකරුය.

28 නුඹ ප‍්‍රීතියෙන් සිටිත් නම්, සංගීතය සමඟින්, නර්තනය සමඟින්, තවද ප්‍රසංශාවේ සහ ස්තූතිවන්තකමේ යාච්ඤාවෙන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

29 නුඹ දුකෙන් සිටිත් නම්, නුඹලාගේ ප්‍රාණයන් ප්‍රීතිමත් වන පිණිස, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගෙන් කණ්ණලව්වෙන් ඉල්ලන්න.

30 නුඹලාගේ සතුරන්ට බිය නොවන්න, මක්නිසාද ඔවුන් මාගේ හස්තයෙහිය තවද මම මාගේ කැමැත්ත ඔවුන් සම්බන්ධයෙන් ඉටුකරන්නෙමි.

31 මා හට මාගේ ජනතාව උදෙසා ලබාදීමට ඇති මහිමය, එනම් සයොනයේ මහිමය ලැබීමට ඔවුන් සූදානම් වන පිණිස, ඔවුන්ව සියලු දේවල් තුළ පරික්ෂා කරනු ලැබිය යුතු වන්නේය; තවද තරවටුව දරානොගන්නා තැනැත්තා, මාගේ රාජ්‍යයට සුදුසු නොවන්නේය.

32 නූගතා වන ඔහු ඔහුවම යටහත් කරගනිමින් සහ ඔහුගේ ස්වාමින් වන දෙවියන්වහන්සේට හඬගසමින් ප්‍රඥාව ඉගෙනගනිත්වා, එනම් ඔහු දකින පිණිස ඔහුගේ දෑස් විවෘත වීමටත්, තවද ඔහු අසන පිණිස ඔහුගේ කන් විවෘත වීමත් පිණිසය.

33 මක්නිසාද යටහත් සහ පසුතැවුණු අයට අවබෝධය ලබාදෙන්නටත්, තවද අභක්තිකයන්ව හෙළාදැකීමටත්, මාගේ ආත්මය ලෝකයා වෙත පෙරට යවන ලද්දේය.

34 නුඹලාව පලවාහැර ඇති ජාතිය වන, නුඹලාගේ සහෝදරයන්ද, නුඹලාව සහ නුඹලාගේ සාක්ෂිය ප්‍රතික්ෂේප කොට ඇත්තෝය;

35 තවද දැන් ප්‍රසව වේදනාව විඳින කාන්තාවකට මෙන්, ඔවුන්ගේ විපත්තියේ දිනයද, එමෙන්ම ශෝකයේ දිනයද පැමිණෙන්නේය; තවද ඔවුන් ඉක්මණින්, එසේය, ඉතා ඉක්මණින් පසුතැවෙන්නේ නොමැතිනම් ඔවුන්ගේ ශෝකය අති මහත් වන්නේය.

36 මක්නිසාද ඔවුහු ආනගතවක්තෘවරුන්වද, තවද ඔවුන් වෙතට එවනු ලැබූවන්වද ඝාතනය කළහ: තවද ඔවුහු අහිංසක රුධිරය වැගුරුවෝය, එය ඔවුන්ට විරුද්ධව පොළොවෙන් මොරගසන්නේය.

37 එසේහෙයින්, මෙම දේවල් ගැන පුදුම නොවන්න, මක්නිසාද නුඹලා තවමත් පවිත්‍ර නැත; නුඹලාට මාගේ මහිමය තවමත් දැරිය නොහැකිය; එහෙත් ආදම්ගේ දවස් වල සිට ආබ්‍රහම්ගේ දවස් දක්වාත්, ආබ්‍රහම්ගේ සිට මෝසෙස් දක්වාත්, මෝසෙස්ගේ සිට යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් දක්වාත්, තවද යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ සිට, මාගේ දේවදූතයන්ගේද, මාගේ දේවසේවා සේවකයන්ගේද හඬින්, තවද මාගේ කාර්යය පෙරට පැමිණවීම සඳහා, ස්වර්ගයන්ගෙන් සිට පිටතට එවන ලද මාගේ හඬින්ද, මා කැඳවනු ලබා ඇති ජෝසෆ් ස්මිත් දක්වාත්, මම නුඹලා වෙත දෙන ලද්දාවූ මාගේ සියලු වචන නුඹලා ඇදහිල්ලෙන් පිළිපදින්නේ නම් නුඹලා එය දකින්නෙහුය;

38 ඔහු විසින් එම අත්තිවාරම ගෙඩනැගුවේය, තවද ඇදහිලිවන්ත වූවේය; තවද මම මා වෙතට ඔහුව ලබාගත්තෙමි.

39 ඔහුගේ මරණය නිසා බොහෝ අය පුදුමයට පත්විය; එහෙත් ඔහුගේ රුධිරය සමඟ ඔහු ඔහුගේ සාක්ෂිය මුද්‍රා කිරීම අවශ්‍ය විය, එනම් ඔහු ගෞරවයට පත්ව තවද දුෂ්ටයන්ව වරදට පත්වන පිණිසය.

40 මම නුඹගේ සතුරන්ගෙන් නුඹව මුදවාගෙන නොමැත්තේද, මාගේ නාමයෙන් මා සාක්ෂියක් තබා ඇත්තේ ඒ තුළින් පමණක්ද?

41 දැන්, එසේහෙයින්, අහෝ මාගේ සභාවේ ජනතාව වන නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න; තවද වැඩිහිටියන් වූ නුඹලා එක්ව සවන්දෙන්න; නුඹලා මාගේ රාජ්‍යය ලබා ඇත්තෝය.

42 නුඹලා මත විනිශ්චය නොපැමිණෙන පිණිසද, තවද නුඹලාගේ ඇදහිල්ල නුඹලාව අසමත් නොකරන පිණිසද, තවද නුඹලාගේ සතුරෝ නුඹලාට එරෙහිව ජයග්‍රහණය නොකරන පිණිසද, මාගේ ආඥාවන් පිළිපැදීමේදී උද්යෝගිමත් වන්න. මේ මොහොතේ තවත් දේ නොපවසන්නෙමි. ආමෙන් තවද ආමෙන්.