ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 137


137 වන කොටස

1836 ජනවාරි 21, ඔහායෝ, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දෙනු ලැබූ දර්ශනයකි. මෙම අවස්ථාව දේවමාළිගාව කැපකිරීම සඳහා සූදානම් වීමේදී නියෝග ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවකි.

1–6, අනාගතවක්තෘවරයා ඔහුගේ සහෝදර ඇල්වින් සෙලෙස්ටියල් රාජ්‍යයේ සිටිනු දකියි; 7–9, මළවුන් උදෙසා වූ ගැලවීමේ දහම එළිදරව් කරනු ලබයි; 10, සියලු දරුවන්ව සෙලෙස්ටියල් රාජ්‍යයේදී ගලවාගනු ලබයි.

1 ස්වර්ගයන් අප වෙත විවෘත කරන ලද්දේය, තවද මම දෙවියන්වහන්සේගේ සෙලෙස්ටියල් රාජ්‍යයද, තවද එහි වූ මහිමයද දුටුවෙමි, එය ශරීරයෙන් සිටියදීද හෝ එයින් පිටතදීදැයි මට කිව නොහැකිය.

2 දොරටුවේ විශිෂ්ට අලංකාරයද ඒ තුළින් එම රාජ්‍යයේ උරුමක්කාරයන් ඇතුළු වෙනවාද මම දුටුවෙමි, එය ගිනිසිළු භ‍්‍රමණය වන්නාක් මෙන් විය;

3 එසේම පියාණන්ද තවද පුත්‍රයාණන්ද වාඩිවී සිටි, දෙවියන්වහන්සේගේ දැල්වෙන සිංහාසනයද මම දුටුවෙමි.

4 මම එම රාජ්‍යයේ අලංකාර මාර්ග දුටුවෙමි, ඒවා රත්තරං අතුරා තිබූ පෙනීමක් විය.

5 පියවූ ආදම්වද තවද ආබ්‍රහම්වද, තවද මාගේ පියාවද තවද මාගේ මවවද; බොහෝ කලකට පෙර නිද්‍රාවට පත්වූ, මාගේ සහෝදර ඇල්වින්වද මම දුටුවෙමි;

6 තවද එනම් ඔහු මෙම ජීවිතයෙන් පිටත්වූයේ ඉශ්‍රායෙලය දෙවන වතාවට එකතුකිරීමට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හස්තය ඔවුන් මත තැබීමට පෙර නිසාත්, තවද පව් කමාව උදෙසා ඔහු බව්තීස්මය ලබා නොමැති නිසාත්, ඔහු එම රාජ්‍යයේ උරුමයක් කෙසේ ලබාගත්තේදැයි මම පුදුමයට පත්වීමි.

7 එවිට ස්වාමින්වහන්සේගේ හඬ මෙසේ පවසමින්, මා වෙත පැමිණියේය: මෙම ශුභාරංචිය නොදැන මරණයට පත්වූ සියල්ලන්, ඔවුන්ට නැවතී සිටින්නට අවසර තිබුනානම් ඔවුන් එය ලබාගැනීමට ඉඩ තිබුණේ නම්, ඔවුන් දෙවියන්වහන්සේගේ සෙලෙස්ටියල් රාජ්‍යයේ උරුමක්කරුවන් වන්නෝය;

8 එසේම මෙතැන් පටන් එම දැනුම නොමැතිව මරණයට පත්වන්නාවූ සියල්ලන්, ඔවුන්ගේ මුළු හදවතින්ම එය භාරගන්නට ඉඩ තිබුණා නම්, ඔවුන් එම රාජ්‍යයේ උරුමක්කරුවන් වන්නෝය;

9 මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, සියලු මනුෂ්‍යයන්ව ඔවුන්ගේ ක්‍රියාවන් අනුව, ඔවුන්ගේ හදවත් වල ආශාව අනුව විනිශ්චය කරන්නෙමි.

10 තවද එසේම වගකීමේ වයසට පැමිණීමට පෙර මරණයට පත්වූ සියලු දරුවන් ස්වර්ගයේ සෙලෙස්ටියල් රාජ්‍යයයේ ගැලවීම ලබා සිටිනවා මම දුටුවෙමි.