ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 138


138 වන කොටස

1918 ඔක්තෝම්බර් 3, යූටා, සෝල්ට් ලේක් නගරයේදී, සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ට දෙනු ලැබූ දර්ශනයකි. 1918 ඔක්තෝම්බර් 4 වන දින, සභාවේ 89 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඔහුගේ ආරම්භක කථාවෙහිදී, ගතවූ මාස කිහිපය ඇතුලත දිව්‍යමය සන්නිවේදනයන් කිහිපයක් ඔහුට ලැබුණු බව සභාපති ස්මිත් ප්‍රකාශ කරන ලදි. මෙයින් එකක් වන, ගැලවුම්කරුවාණන්ගේ ශරීරය සොහොන්ගෙයි තිබියදී උන්වහන්සේ මළවුන්ගේ ආත්මයන් බැහැදැකීම සම්බන්ධව, ඊට පෙර දිනයේදී සභාපති ස්මිත්ට ලැබී තිබිණි. සම්මන්ත්‍රණය අවසන්වූ වහාම එය ලියන ලද්දේය. 1918 ඔක්තෝම්බර් 31 දින, එය පළමු සභාපතිත්වයේ උපදේශකයන්ටද, දොළොස්දෙනාගේ සභාවටද, තවද ආදිපීතෘවරයාටද, ඉදිරිපත් කරන ලදි, තවද එය ඔවුන් විසින් ඒකමතිකව පිළිගන්නා ලදි.

1–10, සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් පේත්‍රැස්ගේ ලිවීම් මත සහ අපගේ ස්වාමින්වහන්සේ ආත්මික ලෝකය බැහැදැකීම පිළිබඳ මෙනෙහි කරයි; 11–24, මරණයට පත්වූ ධර්මිෂ්ඨයින් පාරාදීසයේ එක්රැස්වීම සහ ඔවුන් අතර ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවය ස්මිත් සභාපතිවරයා දකියි; 25–37, ආත්මයන් අතර ශුභාරංචිය දේශනා කිරීම සංවිධානය කර ඇත්තේ කෙසේදැයි ඔහු දකියි; 38–52, ඔහු ආදම්ව සහ ඒවව, තවද මරණයෙන් නැවත නැගිටීමට පෙර ඔවුන්ගේ ආත්මික තත්වය වහල් බවක් ලෙස සිතා සිටි ශුද්ධ වූ ආනාගතවක්තෘවරුන් බොහොමයක්ව දකියි; 53–60, මේ කාලයේ මියගිය ධර්මිෂ්ඨයෝ ආත්මික ලෝකයේ ඔවුන්ගේ වෙහෙසවීම් නොකඩවා කරගෙන යති.

1 එක්දහස් නමසිය දහඅටවෙනි වසරේ, ඔක්තෝම්බර් මස තුන්වන දින, මම මාගේ කාමරයේ වාඩිවී ශුද්ධලියවිලි මෙනෙහි කරමින් සිටියෙමි;

2 තවද ලෝකයේ ගැලවීම උදෙසා, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විසින් කරන ලද මහත් වන්දිගෙවීමේ පූජාව සිහිකරමින් සිටියෙමි;

3 තවද මිදුම්කරුවාණන් ලෝකයට පැමිණීමේ කාරණයේදී, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පෙන්වන ලද්දාවූ මහත් වූ සහ පුදුමාකාර වූ ප්‍රේමයද සිහිකරමින් සිටියෙමි;

4 එනම් උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, තවද ශුභාරංචියේ මූලධර්මයන්ට කීකරුකම මගින්, මනුෂ්‍ය සංහතිය ගලවාගනු ලැබෙන්නේය.

5 මම මෙසේ එයට යොමුව සිටියදී, ස්වාමින්වහන්සේගේ කුරුසිපත් වීමෙන් පසු ශුභාරංචිය දේශනා කළ ස්ථානයන් වූ, පොන්තිය, ගලාතිය, කප්පදෝකිය, සහ ආසියාවේ වෙනත් කොටස් සඳහා ප්‍රේරිත පේත්‍රැස්ගේ ලියවිලි සඳහා මගේ මනස හැරිණි.

6 මම බයිබලය විවෘත කොට පේත්‍රැස්ගේ පළමුවන ශුභාරංචියේ තුන්වන සහ හතරවන පරිච්ඡේදයන් කියවීමි, තවද මම කියවන විට, මම වෙන කවරදාටත් වඩා, පහත සඳහන් පරිච්ඡේද ගැන මහත් පුදුමයට පත්වීමි:

7 “මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධ වින්ද සේක; උන්වහන්සේ මාංශයෙන් යුතුව මරණයට පත්ව, ආත්මය සම්බන්ධයෙන් ප්‍රාණවත් කරනු ලැබූ සේක:

8 “එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්ම වලට දේශනා කළ සේක;

9 “ඒ ආත්ම නෝවාගේ දවස් වලදී, නැව සාදන අතරතුර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලාසිටි කාලයෙහි අකීකරුව සිටියෝය, ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් ඇතුල්වී වතුර කරණකොටගෙන ගැලවුණෝය.” (1 පේත්‍රැස් 3:18–20.)

10 “මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංශයෙන් යුත් වූ මනුෂ්‍යයන් ආකාරයට විනිශ්චය කරනු ලැබීමට නුමුත්, ආත්මයෙන් දෙවියන්වහන්සේගේ ආකාරයට ජීවත්වෙන පිණිසය.” (1 පේත්‍රැස් 4:6.)

11 ලියන ලද්දාවූ එම දේවල් ගැන මම මෙනෙහි කරමින් සිටියදී, මාගේ තේරුම්ගැනීමේ දෑස් විවෘත විය, තවද ස්වාමින්වහන්සේගේ ආත්මය මා මත පතිත විය, තවද කුඩා සහ මහත් දෙවර්ගයෙන්ම මියගිය සේනාවන් මම දුටුවෙමි.

12 තවද මැරෙනසුළු ජීවිතයේ ජීවත්ව සිටියදී යේසුස්වහන්සේගේ සාක්ෂියට ඇදහිලිවන්තව සිටි අය වන, ධර්මිෂ්ඨ ආත්ම අප්‍රමාණ සමූහයක් එක ස්ථානයක එක්රැස්ව සිටියෝය;

13 තවද ඔවුන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මහත් පරිත්‍යාගයට සමාන පරිත්‍යාගයක් ඔප්පු කළ, තවද ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ නාමයෙන් මහත් පීඩා විඳි අය විය.

14 මොවුන් සියල්ලෝ මැරෙන සුළු ජීවිතය හැරගොස් තිබුණේ, පියාණන් වූ දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින්, මහිමාන්විත නැවත නැගිටීමේ බලාපොරොත්තුවේ ස්ථිරත්වය ඇතිවය.

15 ඔවුන් ප්‍රීතියෙන් සහ සතුටෙන් පිරී සිටිනු මම දුටුවෙමි, තවද ඔවුන්ගේ ගැලවීමේ දවස ආසන්න හෙයින් ඔවුහු එක්ව ප්‍රීති ප්‍රමුදිත වෙමින් සිටියහ.

16 මරණයේ බැඳීම් වෙතින් ඔවුන්ගේ මිදීම ප්‍රකාශ කිරීමට, ආත්මික ලෝකයට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම ගැන ඔවුහු එක්රැස්ව බලාසිටියහ.

17 ඔවුන්ගේ නිද්‍රාගත දුහුවිලි එහි පරිපූර්ණ රූපයට නැවත පිහිටුවා, අස්ථියෙන් අස්ථිය, තවද මාංශපේශි සහ ඒවා මත මාංශයද සහිතව, ආත්මය සහ ශරීරය නැවත කිසිවිටෙකත් නොබෙදෙන පිණිස එක්කරනු ලබන්නේය, එනම් ඔවුන් පූර්ණත්වයේ ප්‍රීතිය ලබාගන්නා පිණිසය.

18 මෙම මහත් ජනසංඛ්‍යාව බලාසිටිමින් තවද කතාකරමින්, මරණයේ දම්වැල් වෙතින් ඔවුන්ගේ ගැලවීමේ පැය ගැන ප්‍රීතිමත්ව සිටියදී, ඇදහිලිවන්තව සිටියාවූ වහළුන්ට නිදහස ප්‍රකාශ කරමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ පෙනීසිටි සේක;

19 තවද එහිදී උන්වහන්සේ ඔවුන්ට සදාකාලික ශුභාරංචියද, මරණයෙන් නැවත නැගිටීමේ දහම සහ වැටීමෙන් සහ පසුතැවිලි වීමේ කොන්දේසිය මත පුද්ගලික පාපයන්ගෙන් මනුෂ්‍ය වර්ගයා මුදාගැනීම පිළිබඳද දේශනා කළ සේක.

20 එහෙත් දුෂ්ටයන් වෙතට උන්වහන්සේ නොගිය සේක, තවද අභක්තිකයන් සහ මාංශයෙන් යුතුව සිටියදී තමන්වම අපවිත්‍ර කරගත් පසුතැවිලි නොවූවන් අතරට, උන්වහන්සේගේ හඬ ඔසවනු නොලැබූ සේක;

21 එසේම අතීත අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි සහ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කළ කැරලිකරුවන් උන්වහන්සේගේ අභිමුඛය දුටුවේවත්, තවද උන්වහන්සේගේ මුහුණ දෙස බැලුවේවත් නැත.

22 මොවුන් සිටි ස්ථානයේ, අන්ධකාරය බලපැවැත්වුණේය, එහෙත් ධර්මිෂ්ඨයන් අතර එහි සමාදානය විය;

23 තවද ශුද්ධවන්තයෝ ඔවුන්ගේ ගැලවීම තුළ ප‍්‍රීති ප්‍රමුදිත වී, දණ නමා, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ව, ඔවුන්ගේ මිදුම්කරුවාණන් ලෙස සහ මරණයෙන් සහ නිරයේ යදම් වලින් ඔවුන්ව ගලවාගන්නා තැනැන්වහන්සේ ලෙස පිළිගත්හ.

24 ඔවුන්ගේ මුහුණුවර බැබලිණි, තවද ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් වූ ප්‍රභාව ඔවුන් මත පතිත විය, තවද ඔවුන් උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය වෙතට ප්‍රශංසා ගී ගායනා කළහ.

25 මම පුදුමයට පත්වීමි, මක්නිසාද ඔවුන්ට සදාකාලික ශුභාරංචිය ඉගැන්වීමට සහ ඔවුන්ව පසුතැවිල්ල වෙතට කැඳවීමට උත්සාහ දරමින්, ගැලවුම්කරුවාණෝ අවුරුදු තුනක් පමණ උන්වහන්සේගේ මෙහෙය යුදෙව්වන් සහ ඉශ්‍රායෙල් වංශයේ අය අතර ගතකළ බව මම තේරුම්ගත්තෙමි;

26 තවද එහෙත්, උන්වහන්සේගේ බලවත් ක්‍රියා, සහ හාස්කම්, සහ සත්‍යයේ ප්‍රකාශයන්, මහත් බලයෙන් සහ අධිකාරිත්වයෙන් සිදුකර තිබියදීත්, උන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දෙමින්, තවද උන්වහන්සේගේ අභිමුඛය තුළ ප්‍රීති ප්‍රමුදිත වෙමින්, තවද උන්වහන්සේගේ හස්තයෙන් ගැලවීම ලැබූ අය සිටියේ ස්වල්ප දෙනෙකි.

27 එහෙත් මළවුන් අතර උන්වහන්සේගේ මෙහෙය, කුරුසිපත්වීම සහ උන්වහන්සේගේ නැවත නැගිටීම අතර වූ කෙටි කාලයට සීමා විය;

28 තවද මම පේත්‍රැස්ගේ වචන ගැන කල්පනා කළෙමි—එහිදී ඔහු කීවේ, නෝවාගේ දවස් වලදී දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලාසිටි කාලයෙහි අකීකරුව සිටි, යම්කලෙක අකීකරුව සිටි, සිරගෙදර ආත්මයන්ට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දේශනා කළ බවය—තවද එම ආත්මයන්ට දේශනා කිරීමට සහ ඔවුන් අතර අවශ්‍ය වූ ක්‍රියාකාරකම් ඉතා කෙටි කාලයකදී ඉටුකිරීමට උන්වහන්සේට හැකිවූයේ කෙසේද.

29 තවද මම කල්පනා කරන විට, මාගේ දෑස් විවෘත විය, තවද මාගේ තේරුම්ගැනීමද ප්‍රබෝධමත් විය, තවද සත්‍යය ප්‍රතික්ෂේප කළාවූ දුෂ්ටයන් සහ අකීකරු වූවන්ට ඉගැන්වීම සඳහා ඔවුන් අතරට, සිරගෙයට ස්වාමින්වහන්සේ පුද්ගලිකව නොගිය බව මම වටහාගතිමි;

30 එහෙත් බලන්න, ධර්මිෂ්ඨවූවන් අතර, උන්වහන්සේ තමන්වහන්සේගේ සේනාවන් සංවිධානය කර තවද පණිවිඩකරුවන් පත්කර, ඔවුන්ව බලයෙන් සහ අධිකාරිත්වයෙන් සරසා, ඉදිරියට ගොස් අන්ධකාරයේ සිටින අයට, එමෙන්ම සියලුම මනුෂ්‍යයන්ගේ ආත්ම වලට, ශුභාරංචියේ ආලෝකය රැගෙන යාමට නියෝග කළ සේක; තවද මළවුන් අතර ශුභාරංචිය දේශනා කරනු ලැබුවේ මෙසේය.

31 තවද ස්වාමින්වහන්සේගේ පිළිගත් දවස ප්‍රකාශ කර තවද බැඳදමා සිටි සිරකරුවන්ට, එමෙන්ම ඔවුන්ගේ පාප වලට පසුතැවිලි වී ශුභාරංචිය ලබාගන්නා සියල්ලන්ටම පවා, නිදහස ප්‍රකාශ කිරීමට තෝරාගත් පණිවිඩකරුවන් පෙරට ගියෝය.

32 සත්‍යයේ අවබෝධයක් නොමැතිව, හෝ වරදකිරීම තුළ, ආනගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කර, ඔවුන්ගේ පාප තුළ මරණයට පත්වූ අයට ශුභාරංචිය දේශනා කරනු ලැබුවේ මෙසේය.

33 මොවුන් හට දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ල, පාපය වෙතින් පසුතැවිල්ල, පව් කමාව උදෙසා පරාර්ථකෘත බව්තීස්මය, අත්තැබීම මගින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ගැනද උගන්වන ලදි,

34 තවද මාංශයෙන් යුත් වූ මනුෂ්‍යයන්ගේ ආකාරයටම ඔවුන්ව විනිශ්චය කරනු ලැබීමට ඔවුන්වම සුදුසු කරගන්නා පිණිස, ඔවුන් දැනගැනීමට අවශ්‍ය ශුභාරංචියේ අනෙකුත් සියලුම මූලධර්ම ඔවුන් දැනගැනීම සඳහාද, එහෙත් ආත්මයෙන් සිටියදී දෙවියන්වහන්සේට අනුව ජීවත් වීම සඳහාද උගන්වන ලදි.

35 තවද එසේ එය මළවුන් අතර, කුඩා සහ මහත් දෙපිරිසටමද, අධර්මිෂ්ඨ මෙන්ම ඇදහිලිවන්තයන්ටද, මිදීම පමුණුවනු ලැබූයේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කුරුසිය මත පරිත්‍යාගය තුළින් බව දන්වන ලද්දේය.

36 මෙසේ අපගේ මිදුම්කරුවාණන් ආත්මික ලෝකයේ උන්වහන්සේ තාවකාලිකව සිටියදී උන්වහන්සේගේ කාලය ගතකළේ, මාංශයෙන් යුතුව සිටියදී උන්වහන්සේ ගැන සාක්ෂි දැරූ අනාගතවක්තෘවරුන්ගේ ඇදහිලිවන්ත ආත්මයන්ට උපදෙස් දෙමින් සහ සූදානම් කරමින්ය;

37 එනම් ඔවුන් සියලුම මළවුන් අතරට, ඔවුන්ගේ විරුද්ධවාදීකම් සහ වැරදිකිරීම නිසා උන්වහන්සේට පුද්ගලිකව යාමට නොහැකිවූ අය වෙතට, මිදීමේ පණිවිඩය ගෙනයන පිණිසය, තවද එවිට ඔවුන්ද උන්වහන්සේගේ සේවකයන්ගේ දේවසේවය තුළින් උන්වහන්සේගේ වචන අසනු පිණිසය.

38 මෙම රැස්වූ විශාල ධර්මිෂ්ඨ වූ ජනසභාවේ සිටින ශ්‍රේෂ්ඨ සහ බලවත් අය අතර, පුරාතනම පුද්ගලයා සහ සියල්ලන්ගේම පියාවූ, ආදම් පියාද සිටියේය,

39 තවද අපගේ මහිමාන්විත මව වූ ඒව, සත්‍ය සහ ජීවමාන දෙවියන්වහන්සේට නමස්කාර කළ අතීත කාල වකවානු වල ජීවත්වූ ඇයගේ ඇදහිලිවන්ත දූවරු බොහෝමයක්ද සමඟ එහි සිටියාය.

40 ආබෙල්, පළමුවන ප්‍රාණ ඝාතකයාද එහි විය, තවද ඔහුගේ සහෝදර සෙත්, එනම් ආදම් වන ඔහුගේ පියාගේ ප්‍රකාශිත ප්‍රතිරූපය වූ, සහ බලවතුන්ගෙන් එක් අයෙකු වූ, ඔහුද එහි විය.

41 ජලගැලීම ගැන අනතුරු ඇඟවූ, නෝවාද; ශෙම්, නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයාද; ඇදහිලිවතුන්ගේ පියා වන, ආබ්‍රහම්ද; ඊසාක්, යාකොබ්, සහ ඉශ්‍රායෙලයේ ශ්‍රේෂ්ඨ නීති ලබාදෙන්නා වන මෝසෙස්ද;

42 තවද බිඳුණු සිත් ඇත්තන් සුවකරන්නටද, වහලුන්ට නිදහසත්, තවද හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශ කරන්නටද, මිදුම්කරුවාණන් ආලේපලත් බව අනාවැකි පැවසූ, යෙසායාද එහි විය.

43 වැඩිදුරටත් මළවුන්ගේ මරණයෙන් නැවත නැගිටීමේදී ප්‍රාණවත් ප්‍රාණයන් ලෙස පෙරට පැමිණීම සඳහා, මාංශයෙන් සරසනු ලැබීමට තිබූ, වියළි ඇටකටු සහිත විශාල මිටියාවතක් දර්ශනයකින් පෙන්වනු ලැබූ, එසකියෙල්ද;

44 නැවත කිසිම දිනෙක විනාශ නොකරන එමෙන්ම වෙනත් ජනතාවකට දෙනු නොලබන, පසුදවස් වලදී දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රතිස්ථාපනය කලින් දැක තවද අනාවැකි පැවසූ, දානියෙල්ද;

45 මොසෙස් සමඟ අන්වෙසක් වූ කන්දේ සිටි, එලියාද;

46 තවද එලයිජාගේ පැමිණීම ගැන සාක්ෂි දැරූ අනාගතවක්තෘවරයා වූද—ස්වාමින්වහන්සේගේ පැමිණීමේ මහත් වූද භයානක වූද දවසට පෙර ඔහුගේ පැමිණීම ගැන ප්‍රකාශ කරමින්, මොරෝනි විසින් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට කතා කළ තැනැත්තා වූ මලාකිද—එහි විය.

47 අනාගතවක්තෘ එලයිජා දරුවන්ගේ හදවත් වල ඔවුන්ගේ පියවරුන්ට දුන් පොරොන්දු පිහිටවිය යුතු වන්නේය,

48 උන්වහන්සේගේ පැමිණීමේදී මුළු පොළොවම ශාපයකින් පහරදීම නොවන පිණිස, පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයෙදී, ස්වාමින්වහන්සේගේ දේවමාළිගා තුළදී කළ යුතුව තිබෙන ශ්‍රේෂ්ඨ කාර්යය වන මියගිය අයවලුන්ගේ මිදීම, තවද දරුවන්ව ඔවුන්ගේ දෙමව්පියන්ට මුද්‍රා කිරීම, ඊට පෙර සිදුකළ යුතු වන්නේය.

49 මොවුන් සියල්ලන් සහ තවත් බොහෝ අයද, නෙපිවරුන් අතර ජීවත්වූ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම ගැන සාක්ෂි දැරූ අනාගතවක්තෘවරුන් පවා, එම සුවිශාල රැස්වීම තුළ එකතු වී තවද ඔවුන්ගේ ගැලවීම උදෙසා බලා සිටියහ.

50 මක්නිසාද මළවුන් ඔවුන්ගේ ශරීර වෙතින් ඔවුන්ගේ ආත්මයන් බොහෝකල් ඉවත්ව තිබීම වහල් බැඳීමක් ලෙස දුටුවෝය.

51 ස්වාමින්වහන්සේ මේවා උගන්වා, තවද උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසුව, ඔවුන්ව අමරණීයත්වය සහ සදාකාලික ජීවනය සමඟ ඔටුණු පැළඳවීම සඳහා, උන්වහන්සේගේ පියාණන්ගේ රාජ්‍යයට ඇතුල්වීම පිණිස, පෙරට පැමිණීමට ඔවුන්ට බලය ලබාදුන්නේය.

52 තවද ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ලෙස එම කාලයේ සිට ඉදිරියට ඔවුන්ගේ වෙහෙසවීම් දිගටම පවතිනු ඇත, තවද උන්වහන්සේට ප්‍රේම කරන ඔවුන් සඳහා වෙන්කර තබා ඇත්තාවූ සියලු ආශිර්වාද වල පංගුකාරයන් වන්නෝය.

53 අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, සහ මාගේ පියාද, හයිරම් ස්මිත්, බ්‍රිගම් යන්ග්, ජෝන් ටේලර්, විල්ෆර්ඩ් වුඩ්රෆ්, සහ පූර්ණත්වයේ කාලයේ පසුදවස් වල මහත් කාර්යය සඳහා අත්තිවාරම් දැමීමේ කොටස්කරුවන් වීමට පෙරට පැමිණීම සඳහා වෙන්කර තබාගෙන සිටි තෝරාගත් අනෙක් ආත්මද,

54 දේවමාළිගාවන් ගොඩනැගීම සහ මළවුන්ව මුදවාගැනීම උදෙසා එහිවූ නියෝගයන් ඉටුකිරීම ඇතුලුව ඒ දේවල් ඉටුකිරීම උදෙසා, ආත්මික ලෝකයේ සිටියහ.

55 දෙවියන්වහන්සේගේ සභාව තුළ පාලකයන් වීමට ආරම්භයේ පටන් තෝරාගන්නා ලද, උදාර සහ ශ්‍රේෂ්ඨ අය අතර ඔවුන් සිටින බවද මම නිරීක්ෂණය කළෙමි.

56 ඔවුන් උපත ලැබීමටත් පෙර පවා, ඔවුන්, තවත් බොහෝ අය සමඟ, ආත්මික ලෝකයේදී ඔවුන්ගේ පළමු පාඩම් ලබාගත් අතර, එමෙන්ම ස්වාමින්වහන්සේගේ සුදුසු කාලයේදී පෙරට විත්, මනුෂ්‍ය ප්‍රාණ වල ගැලවීම සඳහා මිදිවත්තේ සේවය කිරීමට සූදානම්ව සිටියහ.

57 මෙම කාලපරිච්ඡේදයේ ඇදහිලිවන්ත වැඩිහිටියන්, ඔවුන් මැරෙනසුළු ජීවිතයෙන් නික්ම ගිය විට, දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ පරිත්‍යාගය තුළින්, පසුතැවීමේ සහ මිදීමේ ශුභාරංචිය, අන්ධකාරයේ සහ පාපයේ බැමි වලට යටත්ව සිටින්නාවූ මළවුන්ගේ ආත්මයන්ගෙන් යුත් මහත් වූ ලෝකය තුළ සිටින්නාවූ අය අතර, දේශනා කිරීමට නොකඩවා වෙහෙසෙන ආකාරය මම දුටුවෙමි.

58 දෙවියන්වහන්සේගේ ගෘහයේ නියෝග වලට කීකරුකම තුළින්, පසුතැවිලි වන මළවුන්ව මුදවාගනු ලබන්නේය,

59 තවද ඔවුන්ගේ වරද වලට ඔවුන් වන්දිගෙවා, සෝදා පවිත්‍ර වූ පසුව, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුන් විපාකයක් ලබන්නෝය, මක්නිසාද ඔවුන් ගැලවීමේ උරුමක්කාරයෝය.

60 මා හට එළිදරව් කරන ලද මළවුන්ගේ මිදීමේ දර්ශනය මෙය වන්නේය, තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන්ගේ ආශිර්වාදය තුළින් මෙම වාර්තාව සත්‍ය බව මම දන්නෙමි, තවද මම සාක්ෂි දරන්නෙමි, එය එසේම වන්නේය. ආමෙන්.