ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 21


21 වන කොටස

1830 අප්‍රියෙල් 6, ෆෙයිට් නිව්යෝර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව සභාව සංවිධානයේදී, නම් කරන ලද දින, පීටර් විට්මර් ජ්‍යේෂ්ඨගේ නිවසේදී සිදුකළ අතර, මීට පෙර බව්තීස්ම වූ පුරුෂයන් හයදෙනෙක්, සහභාගී වූහ. ඒකමතික ඡන්දයෙන් මෙම පුද්ගලයින් දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව සංවිධානය වීමට ඇති කැමැත්ත හා අධිෂ්ඨානය ප්‍රකාශ කළහ (20 වන කොටස බලන්න). එසේම ඔවුහු ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ ඔලිවර් කවුඩ්‍රි සභාවේ මූලාසනය උසුලන නිළධාරීන් ලෙස පිළිගැනීමට සහ සහයෝගය දීමට ඡන්දය දුන්හ. අත්තැබීම මගින්, ජෝසෆ් ඉන්පසුව සභාවේ වැඩිහිටියෙකු ලෙස ඔලිවර්ව නියම කරනු ලැබීය, තවද ඒ ආකාරයෙන්ම ඔලිවර් ජෝසෆ්ව නියම කරනු ලැබීය. සක්‍රමේන්තුව මෙහෙයවනු ලැබීමෙන් අනතුරුව, ජෝසෆ් සහ ඔලිවර් සහභාගී වූවන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාදීම සහ සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථීර කිරීම සඳහා සෑමකෙනෙක්ම මත තනි තනිව අත් තැබූහ.

1–3, ජෝසෆ් ස්මිත්ව දර්ශන දකින්නෙක්, පරිවර්තකයෙක්, අනාගතවක්තෘවරයෙක්, ප්‍රේරිතවරයෙක් සහ වැඩිහිටියෙක් ලෙස කැඳවනු ලබයි; 4–8, ඔහුගේ වචනය සයොනයේ ගමන්මග පෙන්වයි; 9–12, ඔහු සැනසිලිදායකයාණන් මගින් කතා කරන විට ශුද්ධවන්තයන් ඔහුගේ වචන විශ්වාස කරනු ඇත.

1 බලන්න, නුඹලා අතරෙහි වාර්තාවක් තබනු ලබන්නේය; තවද දෙවි වූ පියාණන්වහන්සේගේ කැමැත්ත තුළින් සහ නුඹගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් එහි නුඹව දර්ශන දකින්නෙක්, පරිවර්තකයෙක්, අනාගතවක්තෘවරයෙක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙක්, සභාවේ වැඩිහිටියකු ලෙස නම් කරනු ලබන්නේය,

2 ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් එහි වූ අත්තිවාරම දමනු ලැබ, තවද එය වඩාත් ශුද්ධ වූ ඇදහිල්ලක් මත ගොඩනගනු ලබන්නේය.

3 අපගේ ස්වාමින්වහන්සේගේ වසරේ එක්දහස් අටසිය තිහක් වූ, සතරවන මාසයේ, තවද අප්‍රියෙල් යැයි නම් කරනු ලැබූ මාසයේ, සයවන දවසේ එම සභාව සංවිධානය කර පිහිටුවනු ලැබීය.

4 එසේහෙයින්, සභාවේ අර්ථයෙන්, මා ඉදිරියේ සියල්ලෙන් ශුද්ධවන්තව ගමන් කරමින්, ඔහුට ඒවා ලැබෙන ආකාරයට, ඔහු නුඹලාට දෙනු ලබන, ඔහුගේ සියලු වචන සහ ආඥාවන්ට නුඹලා ඇහුම්කන් දෙන්නෙහුය.

5 මක්නිසාද නුඹලා ඔහුගේ වචන, සියලු ඉවසීමෙන් සහ ඇදහිල්ලෙන්, මාගේ ස්වකීය මුඛයෙන් සේම ලබාගන්නෙහුය.

6 මක්නිසාද මෙම දේවල් කිරීම මගින් නුඹලාට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත; එසේය, තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ අන්ධකාරයේ බලය නුඹලා ඉදිරියෙන් පලවාහරින සේක, තවද නුඹලාගේ යහපත සහ උන්වහන්සේගේ නාමයේ මහිමය උදෙසා ස්වර්ග සෙලවෙන්නට සලස්වන සේක.

7 මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෙසේ පැවසූ සේක: යහපත උදෙසා මහත් බලයකින් සයොනයේ කාරණය පිහිටුවීම ඉදිරියට ගෙන යාමට මම ඔහුට අනුභාවය දී ඇත්තෙමි, තවද ඔහුගේ උද්යෝගය මම දන්නෙමි, තවද ඔහුගේ යාච්ඤාවන්ට මම සවන්දී ඇත්තෙමි.

8 එසේය, සයොනය උදෙසා ඔහුගේ හැඬීම මම දැක ඇත්තෙමි, තවද ඇය වෙනුවෙන් ඔහුට තවදුරටත් දුක්වීමට මම ඉඩ නොතබන්නෙමි; මක්නිසාද ඔහුගේ ප්‍රීතිමත් වීමේ දවස් ඔහුගේ පව් කමාව කෙරෙහි පැමිණෙන්නේය, තවද මාගේ ආශිර්වාදයන්ගේ ප්‍රකාශයන් ඔහුගේ ක්‍රියාවන් මත පැමිණෙන්නේය.

9 මක්නිසාද, බලන්න, මාගේ මිදිවත්තේ වෙහෙසවන්නා වූ එම සියල්ලන්ට මහත් වූ ආශිර්වාදයකින් මම ආශිර්වාද කරන්නෙමි, තවද ඔවුහු ඔහුට සැනසිලිදායකයාණන් තුළින් මා දෙනු ලබන, ඔහුගේ වචන මත විශ්වාසය තබන්නෝය, එය පසුතැවුණු හදවතක් වෙත පව් කමාව උදෙසා, එසේය, ලෝකයේ පාපය උදෙසා පව්කාර මනුෂ්‍යයන් විසින් යේසුස්වහන්සේව කුරුසිපත් කළ බව එයින් ප්‍රකාශ වන්නේය.

10 එසේහෙයින් මාගේ ප්‍රේරිත ඔලිවර් කවුඩ්‍රි වන ඔහුව නුඹ විසින් නියම කරනු ලැබීම, මාගේ කැමැත්ත වන්නේය;

11 මෙය නුඹලා වෙතට නියෝගයක් වන්නේය, ඔහු නුඹ හට ප්‍රථමයෙක් වූ නිසා, නුඹ ඔහුගේ හස්තය යටතේ වැඩිහිටියෙක් වන්නේය, එනම් මාගේ නාමය දරමින් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම සභාවට නුඹ වැඩිහිටියකු වන පිණිසය—

12 තවද සභාව වෙතටද, ලෝකය ඉදිරියේද, එසේය, අන්‍ය ජාතිකයන් ඉදිරියේද, මෙම සභාවේ පළමු දේශනාකරුවා වන්නේය; එසේය, තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක, බලව, බලව! යුදෙව්වරුන් හටද එසේ වන්නේය. ආමෙන්.