ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 27


27 වන කොටස

1830 අගෝස්තු, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. පාන් සහ වයින් සක්‍රමේන්තුව ලෙස ලබාදිය යුතු ආගමික මෙහෙවරක් සඳහා සූදානම් වීමක් ලෙස, ජෝසෆ් වයින් මිලදී ගැනීමට පිටත් විය. ඔහුට ස්වර්ගීය පණිවිකරුවකු මුණගැසෙනු ලදුව මෙම එළිදරව්ව ලැබුණි, එයින් කොටසක් එම කාලයේ ලියන ලද අතර තවද ඉතිරිය එම සැප්තැම්බර් මාසයේ ලියන ලදි. වයින් වෙනුවට ජලය දැන් සභාවේ සක්‍රමේන්තු මෙහෙයට භාවිතා කරනු ලබයි.

1–4, සක්‍රමේන්තුවට සහභාගි වීමට සංකේතයන් පාවිච්චි කිරීම විස්තර කරනු ලබයි; 5–14, ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සියලුම කාලපරිච්ඡේදයන්ගේ සේවකයන් සක්‍රමේන්තුවට සහභාගී විය යුතුය; 15–18, දෙවියන්වහන්සේගේ මුළු සන්නාහයම පැළඳගන්න.

1 නුඹගේ ස්වාමින් වූ, නුඹගේ දෙවි වූ, සහ නුඹගේ මිදුම්කරුවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬට සවන්දෙන්න, උන්වහන්සේගේ වචනය ක්ෂණිකය තවද බලවත්ය.

2 මක්නිසාද, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා සක්‍රමේන්තුවට සහභාගී වන විට නුඹලා කුමක් කන්නේද හෝ නුඹලා කුමක් බොන්නේදැයි වැදගත් නොවන්නේය, නුඹලා උදෙසා පුදන ලද මාගේ ශරීරය සහ නුඹලාගේ පාපයන්ට සමාව උදෙසා වගුරුවන ලද මාගේ රුධිරය පියාණන්වහන්සේ වෙතට සිහිකිරීම පිණිස—එසේනම්, නුඹලා එය මා මහිමවත් කිරීමේ මාගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව කළ යුතු වන්නේය.

3 එසේහෙයින්, ආඥාවක් මම නුඹලා හට දෙන්නෙමි, එනම් නුඹලා නුඹලාගේ සතුරන්ගේ වයින් හෝ සැර පානයන් මිලදී නොගත යුතු වන්නේය;

4 එසේහෙයින්, නුඹලා සහභාගී විය යුත්තේ නුඹලා අතරේ එය අලුතෙන් සාදන ලද්දොත් මිස පමණි; එසේය, මෙම පොළොව මත ගොඩනගන මෙම මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යය තුළය.

5 බලන්න, මෙය මා තුළ ප්‍රඥාව වන්නේය; එසේහෙයින්, පුදුම නොවන්න, මක්නිසාද පොළොව මත මම නුඹලා සමඟ මිදි වැලෙහි ඵල පානය කරන පැය පැමිණෙන්නේය, තවද මාගේ සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය ඇතුළත් මොර්මොන්ගේ පොත එළිදරව් කිරීමට නුඹ වෙත මා විසින් එවන ලද ඒ තැනැත්තා වූ, ඉප්‍රායිම් සැරයටියේ වාර්තාවේ යතුර මා බාරදී ඇති ඒ තැනැත්තා වූ, මොරෝනි සමඟද;

6 තවද එසේම, අවසන් දවස් සම්බන්ධයෙන්; ලෝකය පටන්ගැන්මේ සිට, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කතා කරන ලද සියලු දේවල් නැවත පිහිටුවීමට යතුරු මා විසින් පවරා ඇති, එලියා සමඟද;

7 තවද එසේම, සෙකාරියා වූ ඔහුව (එලියා) සම්මුඛ වී ඔහුට පුත්‍රයෙකු ලබන පොරොන්දුව ලබාදුන්, තවද ඔහුගේ නම යොහාන් විය යුතු යැයිද, ඔහු එලියාගේ ආත්මයෙන් පූර්ණ විය යුතු වන්නේ යැයිද කී, සෙකාරියාගේ පුත්‍ර වූ යොහාන්ද;

8 මාගේ සේවක, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, තවද ඔලිවර් කවුඩ්‍රි, නුඹලා ලැබූ එම පළමුවන පූජකවරය වෙතට නියම කරනු ලැබීමට එම යොහාන්ව මම නුඹලා හට එවා ඇත්තෙමි, එනම් නුඹලා කැඳවනු ලැබ තවද ආරොන් මෙන් නියම කරනු ලැබීමටය;

9 තවද එසේම එලියාද, කවරෙකුහටද පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද, තවද දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටද හැරවීමේ බලයේ යතුරු මා භාරකොට ඇත, එනම් ශාපයකින් මුළු පොළොව පහර නොලබන පිණිසය;

10 තවද එසේම ඔවුන් මත පොරොන්දු පවතින, යෝසෙප් සහ යාකොබ්, සහ ඊසාක්, සහ ආබ්‍රහම්, යන නුඹලාගේ පියවරුන් සමඟද;

11 තවද එසේම පුරාතනම පුද්ගලයා, සියල්ලන්ගේ පියා වූ, සියල්ලන්ගේ කුමාරයා වූ මිකායෙල්, හෝ ආදම් සමඟද;

12 තවද එසේම ඔබට ප්‍රේරිතයන් වීමට, සහ මාගේ නාමයේ විශේෂිත සාක්ෂිකරුවන් වීමටද, තවද මා ඔවුන්ට එළිදරව් කළ එම දේවල්ම සහ ඔබගේ දේවසේවයේ යතුරු දැරීමටද ඔබව නියම කිරීමට සහ ස්ථීර කිරීමට, මා විසින් නුඹලා හට එවනු ලැබූ, පේත්‍රැස්, යාකොබ්, සහ යොහාන් සමඟද;

13 ඔවුන්ට මම මාගේ රාජ්‍යයේ සහ අන්තිම කාල පරිච්ඡේදය සඳහා ශුභාරංචියේ යතුරු භාරකර ඇත්තෙමි; තවද කාල වල පූර්ණත්වය සඳහාද, ස්වර්ගයේ තිබෙන දේවල් සහ පොළොවේ තිබෙන දේවල් යන දෙකේම තිබෙන සියලු දේවල්, මම එකට එකතු කරන්නෙමි;

14 තවද එසේම ලෝකයෙන් පිටත මාගේ පියාණන්වහන්සේ මා හට දෙනු ලැබූ එම සියල්ලන්ම සමඟය.

15 එසේහෙයින්, නුඹලාගේ හදවත් ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න, තවද නුඹලාගේ ඉඟටිය බැඳගෙන, මාගේ සියලු සන්නාහය නුඹලා වෙත ගන්න, එනම් නුඹලාට නපුරු දවසේ යටත් නොවී සිටීමට හැකි වන පිණිසය, සියල්ලම කිරීමෙන් පසුව, නුඹලාට නැගී සිටිය හැකි වන පිණිසය.

16 නැගී සිටින්න, එමනිසා, නුඹගේ ඉඟටිය සත්‍ය නැමැති බඳපටියෙන් තදකර, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැළඳගෙන, තවද නුඹගේ පාදයන්ට, මම මාගේ එම දේවදූතයන් එවා නුඹ හට භාර කළ, සාමයේ ශුභාරංචියේ සූදානම් වීමේ පාවහන් පැළඳගන්න;

17 ඇදහිල්ල නැමැති පලිහ ගන්න එයින් දුෂ්ටයන්ගේ සියලු ගින්දර ඊතල නුඹට නිවාලිය හැකිවන්නේය;

18 තවද ගැලවීම නැමැති හිස්වැස්මද, තවද නුඹ මත වගුරුවන, මාගේ ආත්මයේ කඩුවද ගන්න, තවද එයින් නුඹ හට එළිදරව් කරන මාගේ වචනයද, තවද නුඹ මාගෙන් ඉල්ලන සියලු දේවලින් කුමනාකාර දෙයක් වුවත් ඒ පිළිබඳව එකඟ වන්නෙමි, තවද මා පැමිණෙන තුරු ඇදහිලිවන්තව සිටින්න, තවද නුඹලාව ඔසවාගනු ලබන්නේය, එනම් මා සිටින තැන නුඹලාත් සිටින්නෙහුය. ආමෙන්.