ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 58


58 වන කොටස

1831 අගොස්තු 1, ජැක්සන් ප්‍රාන්තය, මිසුරි හි සයොනයේදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මීට පෙර, මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයට, අනාගතවක්තෘවරයා සහ ඔහුගේ කණ්ඩායම පැමිණීමෙන් පසු, පළමු සබත් දිනයේදී ආගමික මෙහෙයක් පවත්වා ඇති අතර, සාමාජිකයන් දෙදෙනෙකුව බව්තීස්මයෙන් පිළිගෙන තිබුණි. එම සතිය තුළ, තොම්ප්සන් ශාඛාවෙන්, කොල්ස්විල් ශුද්ධවන්තයන් කිහිපදෙනෙක් සහ තවත් අය පැමිණියහ (54 වන කොටස බලන්න). නව එක්රැස් වන ස්ථානයේදී ඔවුන් පිළිබඳව ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉගෙනගැනීමට බොහෝදෙනෙක් උනන්දු වූහ.

1–5, පීඩාව දරාගන්නා අයවළුන්ට මහිමයෙන් කිරුළු පළඳවනු ලබන්නේය; 6–12, ශුද්ධවන්තයන් බැටළු පැටවාණන්ගේ විවාහයට සහ ස්වාමින්වහන්සේගේ භෝජනයට සූදානම් විය යුතු වන්නෝය; 13–18, සභානායකවරු ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් වෙති; 19–23, ශුද්ධවන්තයන් දේශයේ නීති වලට කීකරු විය යුතුවේ; 24–29, මනුෂ්‍යයන් ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස යහපත කිරීම උදෙසා භාවිතා කළ යුතුවේ; 30–33, ස්වාමින්වහන්සේ ආඥා කර සහ නිෂ්ප්‍රභා කිරීම් කරන සේක; 34–43, පසුතැවිලි වීමට, මනුෂ්‍යයන් ඔවුන්ගේ පාපයන් පාපොච්ඡාරණය කොට අත්හල යුතුවේ; 44–58, ශුද්ධවන්තයන් ඔවුන්ගේ උරුමයන් මිලට ගෙන මිසුරි හි එක්රැස් විය යුතුවේ; 59–65, සියලු ජනයා හටම ශුභාරංචිය දේශනා කළ යුතුවේ.

1 අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න, තවද මාගේ වචනයට කන්දෙන්න, නුඹලා සම්බන්ධව මාගේ කැමැත්තද, එසේම මම නුඹලාව යවා තිබෙන මෙම දේශය සම්බන්ධවද, මාගෙන් ඉගෙනගන්න.

2 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ජීවිතයෙහි හෝ මරණයෙහිදී, මාගේ ආඥාවන් පිළිපදින්නා ආශිර්වාද ලබන්නේය; තවද පීඩාවෙහිදී ඇදහිලිවන්තව සිටින්නාටද, ස්වර්ග රාජ්‍යයේදී ඔහුගේ විපාකය මහත් වන්නේය.

3 මෙම කාලයෙන් පසු පැමිණෙන්නාවූ එම දේවල් සම්බන්ධයෙන් නුඹගේ දෙවියන්වහන්සේගේ එම සැලසුම සහ මහත් පීඩාවෙන් පසුව පැමිණෙන එම මහිමය, නුඹට නුඹගේ ස්වභාවික ඇස් වලින්, වර්තමාන කාලය තුළදී බැලිය නොහැකිය.

4 මක්නිසාද මහත් පීඩා වලින් පසු ආශිර්වාද පැමිණෙන්නේය. එමනිසා නුඹව මහත් මහිමයෙන් කිරුළු පළඳවන දවස පැමිණෙන්නේය; පැය තවමත් පැමිණ නැත, නමුත් එය අත ලඟය.

5 මෙය සිහිපත් කරන්න, මම එය නුඹලාට පෙර කියා ඇත, එනම් නුඹලා එය හදවතේ තබාගෙන, පැමිණෙන්නාවූ එම දේ ලබාගනින්න.

6 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම කාරණය උදෙසා මම නුඹව එව්වෙමි—එනම් නුඹ කීකරු වී, තවද පැමිණෙන දේවලට සාක්ෂි දැරීමට නුඹලාගේ හදවත් සූදානම් කරනු පිණිසය;

7 තවද එසේම අත්තිවාරම දැමීම සහ දෙවියන්වහන්සේගේ සයොනය පිහිටුවන ලබන දේශය වෙනුවෙන් සාක්ෂි දැරීම ගැන නුඹලාට ගෞරවය වන්නේය;

8 තවද එසේම සාරවූ දෙයින් මංගල්‍යයක් දුප්පතුන් උදෙසා සූදානම් වනු ඇත; එසේය, මණ්ඩි හොඳින් පිරිපහදු කළ වයින් වලින් යුත් සාරවූ දෙයින් මංගල්‍යයක්ය, එනම් අනාගතවක්තෘවරුන්ගේ මුඛයන් අසමත් නොවන බව ලෝකයා දැනගන්නා පිණිසය;

9 එසේය, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි හොඳින් සූදානම් කෙරුනු, රාත්‍රී භෝජන සංග්‍රහයක්ය, එයට සියලු ජාතීන් කැඳවනු ලබන්නේය.

10 පළමුව, පොහොසත් සහ උගතුන්, ප්‍රඥාවන්තයන් සහ උත්තමයන්ය;

11 තවද එයින් පසුව මාගේ බලයේ දිනය පැමිණෙන්නේය; එවිට දුප්පතුන්ද, කොරුන් සහ අන්ධයන්ද, බිහිරන්ද, බැටළු පැටවාණන්ගේ විවාහයට පැමිණ, තවද ස්වාමින්වහන්සේගේ පැමිණෙන එම මහත් දවස සඳහා සූදානම් වූ රාත්‍රී භෝජනයට සහභාගී වන්නෝය.

12 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, එය ප්‍රකාශ කළෙමි.

13 තවද සයොනය වෙතින් එම සාක්ෂිය ඉදිරියට යනු ඇත, එසේය, එය දෙවියන්වහන්සේගේ උරුමය වූ නගරයේ මුඛය වෙතින්ය—

14 එසේය, මෙම කාරණය උදෙසා මම නුඹව මෙම ස්ථානයට එවූයෙමි, තවද මගේ සේවකයා වූ එඩ්වර්ඩ් පැට්‍රිජ්ව තෝරාගෙන, මෙම දේශයේ ඔහුගේ ධර්මදූතය උදෙසා ඔහුව පත්කළෙමි.

15 නමුත් ඔහු ඔහුගේ පාපයන් වන, අවිශ්වාසය සහ හදවතේ අන්ධභාවය ගැන පසුතැවිලි නොවන්නේ නම්, ඔහු නොවැටෙන පිණිස ඔහු ඇහුම්කන් දෙත්වා.

16 බලන්න ඔහුගේ ධර්මදූතය ඔහුට දී ඇත්තේය, තවද එය නැවතත් දෙනු නොලබන්නේය.

17 තවද මෙම ධර්මදූතය තුළ නැගිට සිටින කවරෙකු වුවද ඔහුව ඉශ්‍රායෙලයෙහි විනිශ්චයකරුවෙක්ව පත්කරනු ලබන්නේ, පැරණි කාලයේ මෙන්, දෙවියන්වහන්සේගේ උරුමය වූ දේශය උන්වහන්සේගේ දරුවන්ට බෙදාදීමටය.

18 තවද ධර්මිෂ්ඨයින්ගේ සාක්ෂිය අනුව උන්වහන්සේගේ ජනතාව විනිශ්චය කිරීමටද, ඔහුගේ උපදේශකයන්ගේ උපකාරයද මගින්, එය දෙනු ලබන්නේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් දුන් රාජ්‍යයේ නීතීන්ට අනුකූලවය.

19 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම දේශය තුළ මාගේ නීතිය තැබිය යුතු වන්නේය.

20 කිසිම මනුෂ්‍යයෙක් ඔහු පාලකයා ලෙස නොසිතාවා; නමුත් ස්වාමින්වහන්සේ තමන්වහන්සේගේ ස්වකීය උපදේශයේ කැමැත්තට අනුව, නැතහොත්, වෙනත් වචන වලින්, උපදෙස් දෙන්නා හෝ විනිශ්චයාසනය ආසනයේ සිටින්නාට අනුව, ඔහුව දෙවියන්වහන්සේ විසින් පාලනය කෙරෙත්වා.

21 දේශයේ නීති කිසිඳු මනුෂ්‍යයෙකු විසින් කඩ නොකෙරේවා, මක්නිසාද දෙවියන්වහන්සේගේ නීතිය පිළිපදින්නාට දේශයේ නීති කැඩීමට අවශ්‍ය නොවන්නේය.

22 එසේහෙයින්, රාජ්‍යය පාලනයට අයිතිය ඇති තැනැත්තා රජකරන තුරු, සහ ඔහුගේ පාද පාමුලට සියලු සතුරන් යටත් කරගන්නා තුරු, බලය ඇත්තන්ට යටත්වන්න.

23 බලන්න, මාගේ හස්තයෙන් නුඹලා ලැබූ නීති සභාවේ නීති වේ, තවද මේ ආලෝකයෙන් නුඹලා ඒවා ඉදිරියට දරනු ලැබිය යුතුය. බලන්න, මෙය ප්‍රඥාව වන්නේය.

24 තවද දැන්, මම මගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් සම්බන්ධව කතා කළ ආකාරයෙන්, මෙම දේශය ඔහුගේ මෙන්ම, ඔහුගේ උපදේශකයන් ලෙස පත්කෙරූවන්ටද වාසස්ථානයේ දේශය වන්නේය; තවද එසේම මාගේ ගබඩා ගෘහය තබාගැනීමට පත්කෙරුවාවූ ඔහුටද එසේම මෙම දේශය වාසස්ථානය වන්නේය;

25 එසේහෙයින්, ඔවුන් අතර සහ මා අතර උපදෙස් ලබාගන්නා ලෙස ඔවුන්ගේ පවුල් මෙම දේශයට ගෙන ඒමට ඔවුන්ට ඉඩදෙන්න.

26 මක්නිසාද බලන්න, මා සියලු දේවල් වලදී ආඥා කිරීම සුදුසු නොවන්නේය; මක්නිසාද සියලු කාරණා වලදී බලකරනු ලබන එවැන්නා, ප්‍රඥාවන්ත සේවකයකු නොව අලසයෙකු වන්නේය; එසේහෙයින් ඔහුට විපාකයක් නොලැබෙන්නේය.

27 සැබවක් මම පවසන්නෙමි, මනුෂ්‍යයන් යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදිය යුතුවේ, තවද ඔවුන්ගේ ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේවල් කළ යුතුවේ, තවද බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ;

28 මක්නිසාද බලය ඔවුන් තුළ ඇත්තේය, එතුළින් ඔවුහු ඔවුන් වෙතටම නියෝජිතයන් වෙති. තවද එපමණකින් මනුෂ්‍යයන් යහපත කරන්නේද, ඔවුහු කිසිවිටෙකත් ඔවුන්ගේ විපාකය නැතිකර නොගන්නෝය.

29 නමුත් ඔහුට ආඥා කරන තුරු කිසිවක් නොකරන්නා, එමෙන්ම සැක සහිත හදවතින් ආඥාවක් ලබාගන්නා, අලසකමින් එය පවත්වන්නේද, එවැන්නා විනාශයට පත්වන්නේය.

30 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, මාගේ ආඥාවන්ට කීකරු නොවන ඔහුව නිර්දෝෂී ලෙස තබාගන්නවා නම්, මනුෂ්‍යයාව මැවූවා වූ මම කවරෙක්ද?

31 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, පොරොන්දු ලබාදී එමෙන්ම ඒවා ඉටු නොකළ මම කවරෙක්ද?

32 මා ආඥා කරන්නෙමි තවද මනුෂ්‍යයන් කීකරු නොවේ; මම ඒවා නිෂ්ප්‍රභා කරන අතර, ඔවුහු ආශිර්වාද නොලබන්නෝය.

33 එවිට ඔවුහු ඔවුන්ගේ හදවත් වලින් මෙසේ කියන්නෝය: මෙය ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන් නොවේ, මක්නිසාද උන්වහන්සේගේ පොරොන්දු සම්පූර්ණ වී නොමැත්තේය. එහෙත් එවැන්නන්ට දුක්වේ, මක්නිසාද ඔවුන්ගේ විපාකය රැඳී ඇත්තේ පහළ මිස, ඉහළින් නොවන නිසාය.

34 තවද දැන් මම මෙම දේශය සම්බන්ධව තවදුරටත් මගපෙන්වීම් නුඹලාට දෙන්නෙමි.

35 මාගේ සේවක මාටින් හැරිස්, ඔහුගේ මුදල් සභාවේ සභානායකයා ඉදිරියේ තබමින් සභාව වෙතට ආදර්ශයක් වීම මාගේ ප්‍රඥාව වන්නේය.

36 තවද එසේම, මෙම දේශය වෙතට උරුමය ලබාගැනීමට පැමිණෙන සියලු මනුෂ්‍යයන්ට මෙය නීතියක් වන්නේය; තවද ඔහු ඔහුගේ මුදල් වලින් නීතිය මගපෙන්වන ආකාරයට කටයුතු කළයුතු වන්නේය.

37 තවද එසේම ගබඩා ගෘහයට ස්ථානයක්ද, එසේම මුද්‍රණ කන්තෝරුවක් උදෙසාද ඉන්ඩිපෙන්ඩන්ස් හි ඉඩම් මිලදී ගෙන තිබීම ප්‍රඥාවන්ත වන්නේය.

38 තවද මාගේ සේවක වූ මාටින් හැරිස් සම්බන්ධ වූ අනෙකුත් මගපෙන්වීම් ආත්මයාණන්වහන්සේ විසින් ඔහුට දෙනු ලබන්නේය, එනම් ඔහුට යහපත්ව පෙනෙන ලෙස ඔහුගේ උරුමය ඔහුට ලැබෙනු ඇත;

39 තවද ඔහු ඔහුගේ පාපයන්ට පසුතැවිලි වේවා, මක්නිසාද ඔහු ලෝකයේ ප්‍රශංසාව සොයන්නේය.

40 තවද එසේම මාගේ සේවක විලියම් ඩබ්. ෆෙල්ප්ස් මා ඔහුව පත්කරනු ලැබූ තනතුරෙහි සිටිමින්, තවද ඔහුගේ උරුමය දේශය තුළ ලබත්වා;

41 තවද එසේම ඔහුට පසුතැවිලි වීමට අවශ්‍යතාවයක් ඇත්තේය, මක්නිසාද, ස්වාමින්වහන්සේ වන, මම, ඔහු සමඟ බොහෝ ප්‍රසන්න නොවෙමි, මක්නිසාද ඔහු උසස් වීමට සොයන්නේය, තවද ඔහු ප්‍රමාණවත්ව මා ඉදිරියේ යටහත් වී නැත.

42 බලන්න, සිය පාපයන්ට පසුතැවිලි වූ තැනැත්තාට සමාව ලැබෙන්නේය, තවද ස්වාමින්වහන්සේ වන, මම, ඒවා තවදුරටත් සිහිනොකරන්නෙමි.

43 මෙම කාරණය හේතුවෙන් මනුෂ්‍යයෙක් ඔහුගේ පාපයන්ට පසුතැවිලි වන්නේ නම්—බලන්න, ඔහු ඒවා පාපොච්ඡාරණය කොට තවද ඒවා අත්හල යුතුයැයි නුඹ දැනගන්නෙහිය.

44 තවද දැන්, සැබවක්, මාගේ සභාවේ ඉතිරි වූ වැඩිහිටියන් සම්බන්ධව මම පවසන්නෙමි, බොහෝ වසර ගණනකට, මෙම දේශයේ ඔවුන්ගේ උරුමය ලැබීමට කාලය තවමත් පැමිණ නැත, ඇදහිල්ලේ යාච්ඤාව තුළින් ඔවුන් ආශා වන්නේ නම් පමණක්, ස්වාමින්වහන්සේ විසින් එය ඔවුන්ට පවරනු ලබන්නේය.

45 මක්නිසාද, බලන්න, ඔවුන් පොළොවේ අන්තයන් වලින් සෙනඟව එක්රැස් වන ලෙස තල්ලු කරන්නෝය.

46 එහෙයින්, නුඹලා සියල්ලෝම එක්රැස් වෙයල්ලා; තවද මෙම දේශයේ රැඳී සිටීමට පත් නොකෙරූ අයවළුන්, මෙම ප්‍රදේශයන් අවට ඔවුන් ශුභාරංචිය දේශනා කරත්වා; තවද එයින් පසුව ඔවුන් ඔවුන්ගේ නිවෙස් බලා හැරී යත්වා.

47 ඔවුන් ගමන් මාර්ගයේද දේශනා කරමින්, තවද සියලු ස්ථානයන්හිදී සත්‍යය පිළිබඳ සාක්ෂි දරමින්, තවද පොහොසතුන්ව, උසස් සහ පහත් අයව, සහ දුප්පතුන්ව පසුතැවිල්ල වෙතට කැඳවත්වා.

48 තවද එපමණකින් පොළොවේ වාසය කරන්නන් පසුතැවිලි වන්නේද, තවද ඔවුන් සභාවන් ගොඩනගත්වා.

49 තවද ඔහායො හි සභාවට, සයොනයේ භූමිය මිලදී ගැනීමට මුදල් රැස්කර ගැනීමට, සභාවේ සම්මුතියෙන් පත්වූ නියොජිතයෙකු පත්කරන්නට සලස්වන්න.

50 තවද මම මාගේ සේවකයා වූ සිඩ්නි රිග්ඩන් හට ආඥාවක් දෙන්නෙමි, එනම් ඔහු සයොනයේ දේශය පිළිබඳ විස්තරයක්, සහ දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශයක් ලියනු ඇත, ඔහු හට ආත්මයාණන් විසින් එය දන්වනු ඇති සේක;

51 එය දෙවියන්වහන්සේගේ දරුවන් උදෙසා උරුමයක් වන පිණිස ඉඩම් මිලදී ගැනීමට, මුදල් ලබාගැනීමට සියලුම සභාවන්ට ඉදිරිපත් කරන්නට, ඔහුට හෝ නියෝජිතයාට, ඔහුට යහපත් යැයි සිතෙන ලෙස ඔහු විසින් මගපෙන්වන පරිදි, සභානායකවරයාගේ අත් වල තැබීමට, ලිපියක් සහ දායකත්ව විස්තරයක්ය.

52 මක්නිසාද, බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඉක්මනින්ම කාලය ඉඩ සලසා දෙන්නේ නම්, ගෝලයන් සහ මනුෂ්‍ය දරුවන් ඔවුන්ගේ හදවත් විවෘත කරමින්, මෙම දේශයේ සම්පූර්ණ ප්‍රදේශය මිලදී ගැනීම වුවත්, ස්වාමින්වහන්සේගේ කැමැත්ත වන්නේය.

53 බලන්න, මෙය ප්‍රඥාව වන්නේය. රුධිරය හැලීමක් නොමැතිව ඔවුන් මෙය කළ යුතු වන්නේය, එසේ නොමැති නම් ඔවුන්ට උරුමය නොලැබෙන්නේය.

54 තවද නැවතත්, ඉඩම් ලබාගන්නා පමණින්, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් උදෙසා වැඩකිරීමට, මෙම දේශය වෙතට සියලු ආකාරයේ කර්මාන්තකරුවන් යැවිය යුතුවේ.

55 මෙම සියලු දේවල් නිසි පිළිවෙලට කළ යුතුවේ; තවද සභානායකවරයා හෝ සභාවේ නියෝජිතයා විසින්, කාලයෙන් කාලයට දේශයේ වරප්‍රසාදයන් දැනුම් දිය යුතුවේ.

56 තවද එක්රැස් කිරීමේ ක්‍රියාව හදිසියේ හෝ, පලායමින් නොකළ යුතුවේ; නමුත් සභාවේ වැඩිහිටියන් විසින් සම්මන්ත්‍රණයේදී තීරණය කළ ලෙස, කාලයෙන් කාලයට ඔවුන්ට ලැබෙන දැනුමේ ආකාරයට අනුව එය කළ යුතුවේ.

57 තවද මාගේ සේවක සිඩ්නි රිග්ඩන්ට මෙම දේශය සහ දේවමාළිගාවට ස්ථානයක් පරිශුද්ධ කොට, ස්වාමින්වහන්සේ වෙතට කැප කරන්නට සලස්වන්න.

58 තවද සම්මන්ත්‍රණ රැස්වීමක් කැඳවන්නට සලස්වන්න; තවද මාගේ සේවක සිඩ්නි රිග්ඩන් සහ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, තවද එසේම ඔවුන් සමඟ ඔලිවර් කවුඩ්‍රිද, ඔවුන්ගේ ස්වකීය දේශයේ මා විසින් ඔවුන්ව පත්කරනු ලැබූ ඉතිරි වූ ක්‍රියාවන් සම්පූර්ණ කිරීමට ඔවුන් සමඟ හැරී එනු ඇත, තවද ඉතිරි වූ දේ සම්මන්ත්‍රණය විසින් නියම කරනු ඇත.

59 තවද කිසිඳු මනුෂ්‍යයෙකු ඔහු දන්නා දේ සහ වඩාත් සහතිකව විශ්වාස කරන්නාවූ දේ ගැන මාර්ගයේ සාක්ෂි දරමින් මිස, ඔහු මෙම‍ දේශයෙන් හැරී නොයත්වා.

60 සිබා පීටර්සන් හට දානය කළ දෙය ඔහු වෙතින් ගත්තාවේ; තවද ඔහුගේ ස්වකීය අත් වලින් ඔහුගේ සහෝදරයන් සමඟ වෙහෙස වෙමින්, ඔහුගේ සියලු පාපයන් වෙනුවෙන් ඔහු සෑහෙන ලෙස තරවටු ලබන තුරු, ඔහුට සභාවේ සමාජිකයෙකු ලෙස සිටීමට ඉඩදෙන්න; මක්නිසාද ඔහු ඒවා පාපොච්ඡාරණය කරන්නේ නැත, තවද ඔහු ඒවා සැඟවීමට සිතන්නේය.

61 තවද මෙම දේශයට පැමිණෙන, සමහරෙක් මිනිය හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් ආශිර්වාද ලද, මෙම සභාවේ ඉතිරි වූ වැඩිහිටියන්ට, එසේම මෙම දේශය මත සම්මන්ත්‍රණයක් පවත්වන්නට සලස්වන්න.

62 තවද මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් ඔවුන් විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණයට මගපෙන්විය යුතුය.

63 තවද මාර්ගයේ ශුභාරංචිය දේශනා කරමින්, ඔවුන් හට එළිදරව් කරනු ලැබූ දේවල් සම්බන්ධව සාක්ෂි දරමින්, ඔවුන් එසේම හැරී එත්වා.

64 මක්නිසාද, සැබවක්, මෙම ස්ථානයේ සිට ලෝකයේ සියල්ලන්ටම, සහ පොළොවේ දුරස්තම කොටස් වෙතටද එම හඬ යැවිය යුතු වන්නේය—විශ්වාස කරන්නන්ට සලකුණු සමඟ, සියලු ජනතාව හට ශුභාරංචිය දේශනා කළ යුතු වන්නේය.

65 තවද බලන්න මනුෂ්‍යය පුත්‍රයාණන් පැමිණෙන සේක. ආමෙන්.